කම්කරුවාගේ විප්ලවීය විභවයට ගරහන විශ්‍රාමික වාමාංශිකයෝ

ප්‍රංශ සමාජය නිර්මාණය වූයේ වැඩ කරන පන්තියේ ශ්‍රමයෙන් බව ප්‍රංශ ධනපති පන්තියට සිහි කර වූ Jean-François Millet ගේ The Gleaners සිතුවම

වම හෙවත් වාමාංශික දේශපාලනය හැර ගිය බොහෝ දෙනෙකු තුළ වම පිළිබඳ  (වඩා විශේෂිත ව පවසන්නේ නම් විප්ලවීය වම සමඟ) තිබෙන නිදන්ගත වෛරය ඔවුන්ගේ සෑම වදනකින් ම පිටවෙන බව මගේ හැඟීම යි. අත්‍යන්ත වශයෙන් සැලකූ විට  වම පිළිබඳ ඔවුන්ගේ බද්ධ වෛරය යනු ඔවුනට  වම සංකේතකර ගැනීමට ඇති නොහැකියාවේ රෝග ලක්ෂණයක් පමණ යි. යමෙකුට යම් ප්‍රස්තුත කාරණයක් පිළිබඳ ඇති නොදැනුම්වත්කම එම පුද්ගලයාගේ රෝග ලක්ෂණයක් බවට පත්වන්නේ සාමාන්‍ය සංදර්භයක් තුළ නො ව සුවිශේෂ සන්දර්භයක් තුළ යි. එම සුවිශේෂී සන්දර්භය මා දන්නා X නම් පුද්ගලයාගේ වි‍ෂයේ නිර්වචනය වන්නේ මෙලෙස යි:

X කලකට පෙර වම සංකේතකරණය කර ගැනීමේ ව්‍යායාමයක නිමග්න වූ අතර ඒ සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික අභ්‍යාසයක යෙදුණේ ය. X ට වාම දේශපාලනයේ න්‍යායාත්මක ව්‍යාකරණය ද ප්‍රායෝගික කෞෂල්‍යය ද ප්‍රගුණ කර ගැනීමට නො හැකි වූයේ ය. වඩා නිවැරදි ව කිවහොත් X ට එකී කර්තව්‍යය සඳහා අවශ්‍ය ඥ‍ාන සම්පත් තිබුණේ නැත. කාලය ගෙවී යන විට X සමඟ වාම දේශපාලනයට එළඹි බුද්ධි ජීවීන් වාම දේශපාලනයේ ප්‍රභාමත් තාරකා බවට පත්වන විට X වමෙන් දූරීභූත වුයේ ය. කලක් තම සඟයන් ව සිටියවුන් වාම දේශපාලනය ප්‍රභාමත් කර ඔවුන් ද ලෙව්හි වැජඹෙන කල X ගේ දේශපාලනය ද ජීවිතය ද ඉන්දියානු සාගරයේ කොදෙව්වක ග්‍රාමීය ප්‍රදේශයකටත්, බ්ලොග් පඩංගුවකටත් ඌනිත වීම යනු X ගේ මනසට දරාගත නො හැකි ක්ෂිතියකි. X එම ක්ෂිතියෙන් මිදීම සඳහා තමා සමඟ ම කරන අරගලය පිට කරනුයේ තමාට අහිමි වූ ප්‍රමෝදයේ අනෙකාගේ සමකාලීන හිමිකාරීත්වයට වෛරකිරීමෙනි.

උපවිඥානය තුළින් මෙහෙයවෙන මෙකී රෝග ලක්ෂණය වම හැර ගිය පුද්ගලයන්ගේ සවිඥානික යටපත්කර ගැනීම බිඳගෙන බොහෝ විට පිට වේ. වම හැර ගිය පුද්ගලයෙකු විසින් කම්කරු පන්තියට ගරහමින් ලියූ ලිපියක් පසු ගිය දිනයක දී මා නෙත ගැටිණි.

මාර්ක්ස්වාදීන් වන අපට නම් කම්කරු පංතිය ඉතා ප්‍රබල ම විප්ලවීය විභවයකින් යුත් පංතිය යි. කොමියුනිස්ට් මැනිෆෙස්ටෝවේ ලා මාර්ක්ස් සහ එංලග්ස් පවසන පරිදි ම කම්කරු පංතියට යදම් හැර නැති වෙන්නට දෙයක් නැත. ධනපති ක්‍රමය බිඳදැමිය හැකි වන්නේ රැක ගැනීමට දෙයක් නැති පංතියකට විනා “සින්න සින ආසෙයි” තත්ත්වයක සිටින සුළු ධනපති පංතියකට නො වේ. සුළු ධනපති පංතියේ අභිලාෂයන් වෙනත් ඒවා ය.  එක් නිදර්ශනයක් පවසතොත් ලාංකීය යුදවාදී පාලක පංතිය විසින් උතුරේ දැවැන්ත ජන සංහාරයක් සිදු කරනු ලබන සමයක දී එයට එරෙහි ව ලාංකීය විප්ලවීය වම මාරාන්තික අරගලයක යෙදෙන කල එක් “ව්‍යාජ වාමාංශිකයෙකුගේ” ඒකායන අරමුණ වූයේ යතුරු පැදියෙන් මොටර් රියකට මාරු වීම සඳහා මුදල් රැස්කර ගැනීම ය.

කම්කරු පංතියට විප්ලවීය විභවයක් තිබූ පමණින් ඔවුන්ට විප්ලවය කළ හැකි බවක් අපගේ ආදිආචාර්ය කාල් මාර්ක්ස් පවසා නැත. මාර්ක්ස් තබා “මහජනයා බුද්ධිමත් ය” යන උත්කර්ෂණවාදී සංකල්පයේ ආදිකර්තෘ වූ මාවෝ සහෝදරයා හෝ එවැනි ගොන් කතාවක් පවසා නැත.

කම්කරු පංතියට තම විප්ලවීය විභවය යථාකරණය සඳහා අවශ්‍ය විප්ලවීය විඥානය ලබා දිය යුතු ය. අපගේ සාර සමාජය  වන පංති රහිත සමාජය ධනපති සමාජය බිඳ නිර්මාණය කළ හැකි වන්නේ විප්ලවීය විඥානයෙන් ආරෝපිත කම්කරු පංතියකට ය. වාමාංශිකයන් වන අපගේ ඵෙතිහාසික කාර්යභාරය එකී විප්ලවීය විඥානය ප්‍රවර්ධනය යි. ලෙනින් තම වෘත්තීය විප්ලවවාදී කුලකය යන සංකල්පය සූත්‍රගත කළේ එකී කාර්යය සඳහා ය. කම්කරු පංතිය කර්මාන්තශාලාවලින් එළිය ඇද කැතිපොලුමුඟුරු අතට දී සාර් මරනු යැයි උසිගැන්‍වීමෙන් රුසියානු සමාජය තුළ විප්ලවයක් කළ නො හැකි බව ලෙනින් දැන සිටියේ ය.  විප්ලවීය විඥානයක් නැති නැත හොත් විප්ලවීය විඥානයෙන් නොමේරූ කම්කරු පංතියක් උසිගැන්වීමෙන් වන ඛේදාන්තය වූ කලී එකී කම්කරු පංතිය තම විප්ලවීය විභවය නාශනය කර ගෙන අවසානයේ දී ධනපති පංතියට ම සේවය කරන ඊනියා වෘත්තිය සමිති නම් අටමගලය බවට පත් වීම යි.  අන්තර්ජාතික කීර්තියක් තිබූ මෙරට පැරණි ම වාමාංශික පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය ඊනියා හර්තාලය හැර වෙනත් කළ දෙයක් නැත්තේ ද එම හේතුව නිසා ය.

වම හැර ගිය බොහෝ දෙනා කම්කරු පංතියට ද නිර්ධන පංතියට ද වමට ද ආඬපාලී කියන්නේ වාම විප්ලවීය දේශපාලනය පිළිබඳ තමන්ගේ නොදැනීමත් එනයින් ම තම හද තුළ නැඟෙන වෛරයත් නිසා ය. එවැනි අවමාන තුළින් ඔවුනට කෙදිනකවත් වම කියවා ගන්නට හැකි වන්නේ නැත. එවැනි යම් පුද්ගලයෙකු වම හැර ගිය පසු ද තමා වාමාංශිකයෙකු වන බව වැරදීමකින් හෝ පවසයි නම් එහි උපරිම සීමාව විය හැක්කේ ඊනියා නියුටෝනියානූ ලාංකීය වම හෙවත් ලාංකීය ස්ටැලින්වාදය යි. එකල නිව්ටන් ගුණසිංහට ද මහජනයා ජහමනයා ලෙස පෙනිණි. නිව්ටන් ගුණසිංහ යනු ශාස්ත්‍රවන්තයෙකි. එහෙත් වම හැර ගොස් කම්කරු පන්තියට ගරහන බොහෝ දෙනා නිව්ටන් ගුණසිංහ වැනි ශාස්ත්‍රවන්තයෝ නො වෙති.

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම. 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s