වාමාංශිකයනට ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා අකැප ද?

අනුර කුමාර සහෝදරයා යුරෝපයේ කළ සංචාරය අලළා ශ්‍රී ලාංකීය මාධ්‍ය විසින් යම් නිෂේධනීය මැදිහත් වීමක් කරනු ලබන බව පෙනේ. අනුර කුමාර සහෝදරයාගේ දේශපාලනය පිළිබඳ මට මූලධර්මීය විසංවාදයන් ඇතත්  ප්‍රස්තුත කාරණය අරබයා මාධ්‍යයේ වර්යාව මම අනුමත නො කරමි. 

Karl Marx සහ Jenny von Westphalen

අනුර කුමාර සහෝදරයාගේ විවාහය හෝ දරු සම්පත් හෝ පිළිබඳ කාරණ දේශපාලනික ව අපට වැදගත් නැත. ස්ත්‍රිවාදී කතිකාව අරබයා ඉදිරිපත් වුණු “පෞද්ගලිකත්වය දේශපාලනික ය” යන ලැකානියානු සුසමාදර්ශය සන්දර්භයෙන් පරිබාහිර ව අවභාවිත කිරීම නිසා අනූව දශකයේ මුල් භාගයේ සිට ලාංකීය සමාජ-දේශපාලනික කතිකා මණ්ඩපවල ඉස්මතු ව පැමිණි ප්‍රවණතාවක් වූයේ වෛෂයික ප්‍රශ්න කිරීම්වලට පුද්ගලාලම්බන ප්‍රතිචාර දැක්වීම ය. අනුර කුමාර සහෝදරයාට හෝ වාම විප්ලවවාදියෙකුට හෝ කුටුම්බ සංරක්ෂණය සඳහා හෝ දාරක පෝෂණය සඳහා හෝ ඇති අනුල්ලංඝනීය මානව හිමිකාරීත්වය වාම විප්ලවීය දේශපාලනය විසින් බැහැර කෙරෙන්නේ නැත. 

ස්ත්‍රී-පුරුෂ අන්තර්සම්බන්ධතා යනු ක්‍රමික ව පරිණාමයට බඳුන් වන්නකි. සමාජයක රජයන වෛවාහික විධි වූ කලී පවතින පන්ති සමාජය විසින් ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවන් සඳහා දෙනු ලබන ස්වජාතකරණයන් පමණි. පන්ති සමාජය විසින් ස්වජාතකරණය කරනු ලබන ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා කුටුම්බය යන සංකල්පය තුළ ස්ථානගත කළ විට පුද්ගල දේපළ රැස්කිරීම පිළිබඳ ලාලසාව තව තවත් ගොඩනැඟේ. පංති සමාජය තුළ පවතින මානව ජීවිතය සුපුෂ්පිත වීමට බාධා කරන සතුරු බලවේග මානව සංහතියේ ආරම්භයේ සිට ම විකාසනය වූ ආකාරය එංගල්ස් ස්වකීය “The Origin of the Family, Private Property and the State” කෘතියේ සඳහන් කරයි. වාමාංශිකයෝ වියළි හදවතැත්තෝ නො වෙති. වාමාංශිකයන්ගේ ඒකායන අරමුණ ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා පන්ති සමාජය නම් යදමින් මුදවාගෙන නිදහසේ වැඩෙන්නට ඉඩ හැරීම ය. ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා යනු මානව ජීවිතයේ අත්‍යන්ත හිමිකමකි. අනුර කුමාර සහෝදරයාට පමණක් නො ව ගලබොඩ අත්තේ ඥානසාරට ද ඒ හිමිකම ඒක සේ ඇත. මාධ්‍ය කළ යුතු දෙය තබා නො කළ යුතු දෙය කරන්නට ව්‍යාවෘත වීම ඛේදවාචකයකි. උවමනා දෑ ද නුවමනා දෑ ද පිළිබඳ මනස්ගාත ලියා බ්ලොග් පඩංගුවලින් දේශපාලනය කරන්නට යන පිස්සු ඩයල්වලට ද පවසන්නට ඇත්තේ දේශපාලනය යනු වෛෂයික ප්‍රපංචයක් බව වටහා ගන්නා ලෙස යි.

දිවයින වැනි අධිපති මාධ්‍ය සංරචකයක පළ වූ අනුර කුමාර සහෝදරයා පිළිබඳ පුද්ගලාලම්බන විවේචන සහිත එකී විශේෂාංග ලිපිය “නොවැදගත්”, “එහි ඇති දෙයක් නැහැ” වැනි වැකි මඟින් අවප්‍රමාණය කළ යුතු නැත. මක්නිසා ද යත් එකී ලිපිය විසින් හැගවුම්කරණය කරනු ලබන ඊනියා සදාචාර සහ සත්භාව සම්මතයන් සුළුපටු ඒවා නො වන නිසා ය. වම හැර ගොස් ලිබරල් ධනවාදය සමඟ සහවාස වූ ඇතැම් පුද්ගලයෝ මෙහි දී තම ජවිපෙ විරෝධී මනෝභාවයන් උද්දීපනය කරනු ලබන දිවයින, එහි ඇති වර්ගවාදී, ආගම්වාදී හා ජාතිවාදී වසුරු ද නො සලකා වැලඳ ගනිති. එවැන්නන්ගේ ඊනියා ලිබරල් ධනවාදී සමාජ සාධාරණත්ව මූලධර්මවල දරිද්‍රතාවය පමණක් නො ව එවැන්නන්ගේ කුහකකම ද එමඟින් ප්‍රකට වේ. ක්‍රියාව ප්‍රතිඵලය මත ඇගැයීමට ලක් කරනු ලබන බෙන්තම් සහ මිල් ආකාරයේ පැරණි උපයෝග්‍යතා ප්‍රවාදයක නූතන ඇමරිකානූ වේශය වන කෘත්‍යවාදයේ සරණ යන එවැන්නෝ, ක්‍රියාව ක්‍රියාවේ ම සාරය මත ඇගැයීමට ලක් කරනු ලබන කාන්ටියානු යුක්තිවේදය අමතක කර දමති.එකී අමතක වීම යනු එවැන්නන්ගේ වංකභාවය යි. ඊනියා ලිබරල් ධනවාදයට නො වැදගත් වන ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා සඳහා  මානව වර්ගයාට ඇති  හිමිකාරීත්වය වෙනුවෙන් වම සදා පෙනී සිටින බව හඬ නඟා පැවසිය යුතු ම ය. 

දිවයිනේ හෙජමොනික මාධ්‍ය භාවිතාව හෙළා දකිමු! දිවයිනට කඩේ යන වම හැර ගිය විශ්‍රාමිකයන්  ද හෙළා දකිමු. 

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s