ඇගේ ඇස අග අනෙකාගේ ඇස අගින්

ඇගේ ඇස අග

අජිත් පැරකුම් ජයසිංහ කල්පයක් පෙරුම් පුරා හඳයාගේ අභිනව සිනමාව පිළිබඳ ස්වකීය පැරාමය කියවීම පළ කර ඇත. සකල විධ ලෝක ධාතුවේ සෑම සියලු ගැටලුවකට ම පිළිතුරු සපයන ජයසිංහයන්ගේ මහා ආඛ්‍යානය විසින් ම එහි විසංයෝජනයක් ද ඉල්ලා සිටිනු ලැබේ. අජිත් පැරකුම් ජයසිංහ සුපුරුදු ලෙස තම මහා ආඛ්‍යානය අවසන් කරන්නේ වමට ආඩපළියක් පැවසීමෙනි. ඉන් නො නවතින ජයසිංහයෝ මනෝවිශ්ලේෂණය පිළිබඳ ද දැවැන්ත විනිශ්චයක් ලබා දෙති.  

අජිත් පැරකුම් ජයසිංහට අනුව හඳයාඇගේ ඇස අග” තුළින් වාමාංශිකයන්ට ද මනෝවිශ්ලේෂකයන්ට ද ටොෆි කවා ඇත. ඩේන්ටී, එඩ්නා, ඩයනා, යා-සොන්කෝ ඈ නේක ටොෆී නිෂ්පාදකයන් සිටින රටක තමා ද “ඇගේ ඇස අග” නමින් ටොෆි නිෂ්පාදනයක් එළි දක්වන්නට තරම් හඳයාට මඤ්ඤං ය යි අපි නො සිතමු. ජයසිංහයන් වාමාංශිකයන් පිළිබඳ පවසන මුග්ධ ප්‍රකාශ අප විසින් දිගු කලක් තිස්සේ විචාරණයට ලක් කරනු ලැබ ඇත. එනිසා මෙම ආලෝචනය මඟින් අපි ජයසිංහයන් මනෝවිශ්ලේෂණයත් ඒ හා සබැඳි ලකානියානු මාර්ක්ස්වාදයත් ප්‍රංශ ව්‍යුහවාදයත් පිළිබඳ ප්‍රකට කරවන අස්ථානීය අනවබෝධයන් කීපයක් පිළිබඳ සම්පරීක්ෂා කරමු. 

ෆ්‍රොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණය හෝ එයට යම්  ආකාරයකින් විසංවාදී වූ යුංගේ ඉලෙක්ට්‍රා සංකීර්ණය හෝ එකී ද්විත්වය ම සමතික්‍රමණය කළ ලකාන්ගේ සංකේතීය පියා හෝ අජිත් පැරකුම් ජයසිංහ පවසන ආකාරයේ සීනි බෝල සංකල්පයන් නො වේ. ඒවා දාර්ශනික වශයෙන් සුනිශ්චිත සංකල්පයන් ය. 

ළදරුවකු තම මව සමඟ ද ළදැරියක තම පියා සමඟ ද ලිංගික සම්බන්ධතාවයට දක්වන “ආශාව” අවිඥානික ව ගතිකාවරෝධනයකට ලක් කර ගැනීම නිසා එකී ළදරුවාගේ හෝ ළදැරියගේ හෝ මනස තුළ ජනනය වන මනෝගතීන් හා භාවයන් ඥානනය කිරීම සඳහා ෆ්‍රොයිඩ් ඊඩිපස් සංකීර්ණය සංකල්පගත කළේ ය. එහි දී ඔහු සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේ එන සොපොක්ලීස්ගේ ඊඩිපස් නාට්‍යාඛ්‍යානයේ එක් චරිතයක නාමකරණය භාවිතා කර ඇත. යුං විසින් සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේ එන සොපොක්ලීස්ගේඉලෙක්ට්‍රා නාට්‍යාඛ්‍යානයේ එක් චරිතයක  නාමකරණය භාවිතා කර සංකල්පගත කරන ලද ඉලෙක්ට්‍රා සංකීර්ණය හෙවත් ළදැරියක තම පියා සඳහා තම මව සමඟ කරන මනෝලිංගික තරඟය, ෆ්‍රොයිඩ් විසින් ඊඩිපස් සංකීර්ණය මඟින් ස්ත්‍රී පුරුෂ ද්විලිංගයට ම සර්වත්‍ර කරන ලදී. 

ෆ්‍රොයිඩ් පවසන “ආශාව” (desire)  යනු මානව ජීවිතයේ වැදගත් ම ගාමක බලය යි. මෙකී “ආශාව” යනු කුමක් ද යන්න විග්‍රහ කරන ලකාන් පවසන්නේ එය හුදු කැමැත්තක් පමණක් නො ව “අහිමි වීම” පිළිබඳ සංවේදනයක් බව ය. ලකාන්ට අනුව මෙම “ආශාව” මානව ජීවිතයේ විවිධ අවධිවල දී විවිධ වස්තු හා සංකල්ප වෙත යොමු වේ. “ආශාව” මෙලෙස යොමු වන වස්තු හා සංකල්පවල සංඝටකයන්ගේ සර්වත්‍ර කුලකය ලකාන් විසින් “මහා අනෙකා” (the Big Other) හෙවත් “සංකේතීය සරණිය” (the symbolic order/the symbolic) ලෙස සංකල්පගත කෙරිණි (ලකාන් මේ සඳහා යොදා ගන්නා the symbolic යන වදන ඔහු යොදන්නේ විශේෂණාර්ථයෙන් නො ව නාමාර්ථයෙන් ය). ෆ්‍රොයිඩ්ට අනුව ළදරුවා හෝ ළදැරිය හෝ තම “ආශාව” අවරෝධනය කර ගන්නේ වන්ධ්‍යකරණයට ලක් වීමට ඇති බිය නිසා වු ව ද ලකාන්ට අනුව එකී “ආශාව” අවරෝධනය කර ගනු ලබන්නේ මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළට ළදරුවා හෝ ළදැරිය හෝ අන්තර්ග්‍රහණය වීමේ දී එකී මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළ පවතින හාෂාත්මක සන්නිවේදනයත්, අන්තර්පුද්ගල සම්බන්ධතාත්, දෘෂ්ටිවාදීමය රීතීනුත්, නීතියට අවනත වීමත් යන සංඝටකයන් සමඟ අනුගත වීමක් ලෙස ය. එනම් මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළට අන්තර්ග්‍රහණය වන ළදරුවා හෝ ළදැරිය හෝ  එකී භාෂාත්මක ලෝකය තුළ ව්‍යභිචාරවාරණිත දෘෂ්ටිවාදමය රීතීන්ට හා නීතීන්ට අනුගත වීමක් ලෙස තම මව හෝ පියා හෝ කෙරෙහි පවතින මනෝලිංගික ආශාව අහිමි කර ගනී. මෙලෙස ළදරුවකු තම මව කෙරෙහි හෝ ළදැරියක තම පියා කෙරෙහි  හෝ දක්වන “ආශාව” අත්හැරීමේ දී ඒ සඳහා විකල්පය ලෙස තෝරාගනු ලබන හැඟවුම්කාරකය (signifier) කුමක් ද යන්න ලකාන් සංකල්පගත කළේ ය. ලකාන් එකී හැඟවුම්කාරකය “පීතෘ නාමය” (the name of the father) ලෙස සංකල්පගත කළේ ය. එනම් මව පිළිබඳ ආශාව අහිමි වීම හැඟවුම්කරණය ලකානියානු “පීතෘ නාමය යි. මෙනයින් අපට පෙනී යනුයේ ලකානියානු “පීතෘ නාමය” යනු සංකේතයක් බව ය. එනම් “පීතෘ නාමය” (the name of the father) යන්නට “සංකේතීය පියා” (symbolic father)  යන්න පර්යාය වේ. “පීතෘ නාමය” හෙවත් “සංකේතීය පියා” මේ අනුව පුරුෂ වීම ම අවශ්‍ය නැත. එය අහිමි කරනු  ලැබූ ආශාවට අනුගත ව පුරුෂ හෝ  ස්ත්‍රී හෝ  විය හැකි ය. සැබවින් ම “පීතෘ නාමය” හෙවත් “සංකේතීය පියා” යනු ලකානියානු ශාස්ත්‍රීය සම්ප්‍රදානයේ එන සංකේතීය (the symbolic), විත්තරූපීය (the imaginary) හා යථාමය/”යථ” (the real) යන ත්‍රිවිධ සංකල්පයන්ගෙන් එකක් පමණි. පූර්ව භාෂාත්මක අවධියේ දී මව තම මහා අනෙකා බවට පත් වුව ද,  භාෂාත්මක අවධියේ දී පියා තම මහා අනෙකා වන්නා සේ ම මානව ජීවිතයේ  පසු අවධිවල දී විවිධ බලාධිකාරීත්වයන් හා සමාජායතනයන් තම මහා අනෙකා බවට  පත් වන බව ප්‍රංශ ව්‍යුහාත්මක මාර්ක්ස්වාදීහු න්‍යායසූත්‍රගත කළහ (මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය පිළිබඳ ජීවමාන නිදර්ශන අප මෙහි ලා නො දක්වනුයේ ජයසිංහයන් අමනාප විය හැකි බැවිනි).                   

සංකේතීය පියා” යනු අජිත් පැරකුම් ජයසිංහ පවසන හෝ සිතන හෝ ආකාරයේ ටොෆියක් නො වේ. ජයසිංහයෝ මෙසේ පවසති: 

පළමුවැන්න චිත්‍ර‍පටයේ වියපත් විශ්වවිද්‍යාල ආචාර්යවරයාට පෙම් බඳින සිසුවියගේ පියා ගැන ඇය ලවා කියවන කතාවයි. ඒ අනුව ඇය සොයන්නේ පියා ය කියන්නට ද සංකේතීය පියා ගැන කතා කරන්නට කැමති අයට ඒ ගැන කතා කරන්නට ද දැන් අවස්ථාව තිබේ.” 

ඇය එක් අවස්ථාවක සිය පියා සහභාගි වන රූපවාහිනී වැඩසටහනක් නරඹමින් සිටියි. අවශ්‍ය නම් ඇය ද සංකේතීය පියා සොයමින් සිටින බව කිව හැකි ය.

පියා අහිමි වූ තරුණියක වියපත් පුරුෂයකුට මනෝලිංගික ආසක්තතාවක් පෑ පමණින් හෝ තවත් දැරියක තම පියා රූපවාහිනියේ නැරඹූ පමණින් හෝ අජිත් පැරකුම් ජයසිංහ නිගමනය කරනුයේ ඇය සංකේතීය පියා සොයන බව ය. ඒ කියනා ඊනියා “සංකේතීය පියා” ලකානියානු සංකේතීය පියකු නො ව පැරාමය සංකේතීය පියකු විය යුතු ය.  ජයසිංහයන් තම මහා ආඛ්‍යානය සිංහල බසින් ලියා ඇත්තේ ස්ලාවෝ ජිජැක්ගේ වාසනාවකට ය. මක් නිසා ද යත් යම් හෙයකින් ජයසිංහයන්ගේ ලිපිය අන්තර්ජාතික බසකින් ලිය වී විශිෂ්ට ම සමකාලීන ලකානියානු අර්ථකථනවේදියා වන ස්ලාවෝ ජිජැක් විසින් කියවිණි නම් ජිජැක් වස කා ස්ලෝවේනියාවේ ශාන්ත මේරි කඳු මුදුනින් පැන සිය දිවි නසා ගනු නියත ය.         

අජිත් පැරකුම් ජයසිංහට මාර්ක්ස්වාදයේ ව්‍යාකරණය නොතේරෙන නිසා ඔහු මාර්ක්ස්වාදීන් වන අපට සදයෝපහාස නඟන සේ ම, අජිත් පැරකුම් ජයසිංහට මනෝ විශ්ලේෂණයේ ව්‍යාකරණය ද නොතේරෙන නිසා ඔහු සර්පයාට ද සදයෝපහාස නඟයි. සත්‍ය ලෙස ම ජයසිංහයන් සදයෝපහාස නඟාගත යුක්තේ තමන්ට ම ය. පැරකුම් ජයසිංහයන්ට මඤ්ඤං වුණාට සමන් කුමාරයන්ට මඤ්ඤං නැත.

දෘෂ්ටිවාද ප්‍රචාරණයට කලාකරුවන් කලාකෘති බිහි කළ යුතු නැත. වරක් ලෙනින් ම පවසා ඇත්තේ කලාව සම්බන්ධයෙන් නම් සෝවියට් නිල කලාකරුවන් කියවීමට වඩා ධනවාදී පුෂ්කින් කියවීම මනා බව ය. ප්‍රතිභාසම්පන්න කවියකු වූ මයාකොවුස්කි හුදෙක් විප්ලවයේ කවියා පමණක් වූයේ ද දෘෂ්ටිවාද ප්‍රචාරණයට කලාව භාවිතා කිරීමට යාම නිසා ය. සමාජ-දේශපාලන විප්ලවයේ දී කලාකරුවාගේ කාර්යභාරය මාර්ක්ස්වාදී අපට නම් පැහැදිලි ය. එනම් මානව ජීවිතය නිදහසේ සුපුෂ්පිත වන්නට බාධා කරන ඊනියා සමාජ සම්බන්ධතාවල අඵලත්වය ඉස්මතු කර ඒවා ප්‍රශ්න කරනු ලබන තැනට රසික ජනයාගේ ආනන්දයත් ප්‍රඥාවත් පුබුදුවාලීම ය. එලෙස අවදි වන ජනතාව මුළු ගන්වා විප්ලවීය වෙනස කිරීම දේශපාලන කාර්යයකි.  

පතී හෑත්තෑව දශකය පුරාවට ඉටු කළේ ද හඳයා පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ඉටු කළේ ද කලාකරුවාගේ එකී කාර්යභාරය ය. විශිෂ්ට කලාකෘතිවලින් අවදි වන මාණවකමාණවිකාවන්ගේ විප්ලවීය විභවය විප්ලවීය යථාර්ථයක් බවට පරිවර්තනය කරනු පිණිස අවැසි වාම විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟනු වෙනුවට අජිත් පැරකුම් ජයසිංහ කරමින් සිටින්නේ ධනපති පංතිය සමඟ සංවාස වී එහි ප්‍රමෝදයෙන් උද්දීපනය වී වාම විප්ලවීය දේශපාලනයට ගැරහීම ය. 

තරුණ ශිෂ්‍යාව වියපත් ආචාර්යවරයාට මනෝලිංගික ආසක්තතාවයක් පෑමත් එමඟින් අවසානයේ වන වියවුලත් පිළිබඳ නොදන්නා “සංකේතීය පියෙක්” අල්ලාගෙන නන්දොඩවන අජිත් පැරකුම් ජයසිංහට අවසානයේ දී එම වියවුල එසේ වූයේ ඇයි? යන වැදගත් ම ප්‍රශ්නයට පිළිතුර මඟ හැරේ. ජයසිංහයෙනි, මානව ජීවිතය නිදහසේ සුෂුෂ්පිත ව වැඩෙන්නට බාධා කරන ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන් බිඳ දැමීමකින් තොර ව ළඟා කරගත හැකි විමුක්තියක් නොමැත. එකී ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන්ගේ ආරක්ෂකයා ද ප්‍රවර්ධකයා ද වන ධනපති පාලක පංතියට කොන්දේසි විරහිත ව පහර දී සුනු විසුනු නො කර ඔවුන් හා සංවාස වී ඔවුන්ගේ වසුරු බුදිමින් නන්දෙඩවීමෙන් ඔබ ද අප ද බලාපොරොත්තු වන සාර සමාජය යථාකරණය කර ගත නො හැකි ය. 

අජිත් පැරකුම් ජයසිංහ කන්දක් විලිලා වැදූ මුෂික පැටියා වන ඔහුගේ “ඇගේ ඇස අග” කියවීම නම් අජූව ය. මීට දශක එකහමාරකට පමණ පෙර එක් සොඳුරු සැඳෑවක කොළඔ නගරයේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ වේදිකාව මත සිට විද්වත් සභාවක් අමතා ලාංකීය වාම විප්ලවීය දේශපාලනයේ අතිදීප්තිමත් තාරකාව වන රෝහිත හාෂණ සහෝදරයා ප්‍රසන්නගේ ඉර මැදියම පිළිබඳ කළ අර්ථවත් හා රසවත් විචාරය මට සිහි වේ. සමාජ-දේශපාලනමය කලා විචාරය වූ කලී එවැන්නක් නො වේ ද? අජිත් පැරකුම් ජයසිංහයෙනි, තොපි මේ සා කාලයක් කවර නම් නයක්  උගත්තාහු ද?

බන්‍ධුල කුදලාගම,

ටොරන්ටෝව.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s