න්‍යායමුක්ත භාවිතය, වරණීය ඉතිහාසකරණය සහ ආගමික විශ්වාස

ලංකාවේ ආගමික ශාස්තෘවරුන්ගේ යාවත්කාලීන කළ ලේඛනය යන ශීර්ෂයෙන් යුක්ත ව ලියන ලද ලිපියක් කියවන්නට ලැබිණි. න්‍යායාත්මක දේශපාලන භාවිතය ප්‍රශ්න කරමින් ද ලාංකීය වාම ඉතාහාසය විමර්ශනය කරමින් ද ආගමික විශ්වාස යන සංකල්පයක් විවරණය කරමින් ද ලියන ලද එම ලිපිය පිළිබඳ අපගේ ආලෝචනය මෙලෙස සටහන් කරන්නෙමු. 

න්‍යායමුක්ත භාවිතය යනු ඉතා ම භයානක එළඹුමකි. ගෝලීය ධනවාදය වැනි ප්‍රබල ප්‍රතිවාදියෙකුට එරෙහි ව න්‍යායමුක්ත වූ අතිසරල විග්‍රහ මත පදනම් වන අතිධාවනකාරී ප්‍රතික්‍රියා ඔස්සේ පිළිමල් වීම නිෂ්ඵල ය. න්‍යාය විසින් අප එක් අරමුණක් ඔස්සේ ප්‍රගමනය කරනු ලැබේ. අපගේ අරගලය කුමක් ද?, එය සාක්ෂාත් කර ගැනීමේ විධික්‍රමය කුමක් ද?, එහි පුර්වගාමීහු කවරහු ද?, එය ක්‍රියාවට නැංවීමේ  ප්‍රශස්ත කාලය කුමක් ද? ආදී වැදගත් කාරණ නිර්ණය වන්නේ න්‍යායාත්මක පදනම මත යි. පෙර පැවසූණු ලිපියේ කතුවරයා ඊයේ එකක් පවසා, අද තවෙකක් පවසා, හෙට වෙනෙකක් පවසන්නේ න්‍යායමුක්ත භාවිතාවේ වියවුල නිසා ය.

පෙර පැවසූණු ලිපියේ කතුවරයා ඔහුගේ තීසිසය තුළ ලාංකීය වාම දේශපාලනය උඩු යටිකුරු කිරීමක් කරන්නට වෑයම් කර යි. ඔහු මෙම කර්තව්‍ය සාක්ෂාත් කරගැනීම උදෙසා ලාංකීය වාම දේශපාලනය එයට ප්‍රතිපක්ෂ වන ආගම නැමැති සංකල්පය සමඟ සසඳා අවසානයේ දී වාම දේශපාලනය ආගම සමඟ සමරූපී කිරීමක් කර යි. වම වශයෙන් අප එම කතුවරයාගේ තීසිසයට ශාස්ත්‍රීය (ශාස්ත්‍රාලීය නො වේ) ප්‍රතිචාරයක් දැක්විය යුතු බව අපි විශ්වාස කරමු. අපි පළමු ව එම කතුවරයා ලාංකීය වාම දේශපාලන ඉතිහාසය විශ්ලේෂණය කරන විධි ක්‍රමය පිළිබඳ අවධානය යොමු කරමු.

උඩකැන්දවල සිරි සරණංකර හිමි

හැටේ දශකයේ හැරවුමේ දී රෝහණ සහෝදරයා එකී හැරවුම් ලක්ෂය දක්වා පැවති ලාංකීය වම පිළිබඳ කිසියම් සැලකිය යුතු කියවීමක් කරයි. ඔහුගේ කියවීම තුළ දී ලාංකීය වම පිළිබඳ ඔහුගේ නිරීක්ෂණ ද එකී නිරීක්ෂණ පිළිබඳ ඔහුගේ අර්ථකථන ද එකී අර්ථකථන මත ඔහු එළඹෙන නිගමන ද පිළිබඳ අපට විසංවාදයන් අපමණ තිබුණ ද සමස්තයක් වශයෙන් රෝහණ සහෝදරයා එතෙක් පැවති ලාංකීය වම පිළිබඳ පරිග්‍රාහික හා පරිණාමික කියවීමක් කරන බව පිළිගත යුතු ය. රෝහණ සහෝදරයා තමන්ගේ න්‍යාය ජ.වි.පෙ. තුළ ව්‍යාප්ත කිරීමේ මූලික යාන්ත්‍රණය වශයෙන් භාවිතා කරන පන්ති පහ තුළ, ඔහු ඔහුගේ ලාංකීය වම පිළිබඳ කියවීම අවම වශයෙන් පහෙන් එකක් තරම්වත් වැදගත් කර තිබිණි. ජ.වි.පෙ පන්ති පහට පවා සහභාගී වූ පෙර පැවසුණු ලිපියේ කතුවරයා, ලාංකීය වම කියවීමේ දී එදා රෝහණ සහෝදරයා ප්‍රකට කළ අතිමූලික ලක්ෂණය වූ පරිග්‍රාහික හා පරිණාමික කියවීම හෝ කර නැත. මේ අනුව ඔහුගේ තීසිසය තුළ උඩකැන්දවල සිරි සරණංකර හිමියන්ගේ සිට රෝහණ සහෝදරයා දක්වා ද එතැන් සිට රෝහිත භාෂණ සහෝදරයා දක්වා ද විශාල රික්තක ශ්‍රෙණියක් ම පවතී. ලාංකීය වාම ඉතිහාසය ඔහු විසින් කියවනු ලබන්නේ අනවරත ගලායාමක් ලෙස නො ව ආධානග්‍රාහී පොළාපැනීම් කීපයක් ලෙස පමණ යි. මෙය එම ලිපියේ කතුවරයා විසින් තමන්ගේ කූට අරමුණ වූ ලාංකීය වාම දේශපාලනය හා ආගම සමරූපී කිරීමේ නිෂේධනීය ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා සවිඥානික ව ම කරනු ලබන්නකි.

කීර්ති බාලසූරිය

මාර්ක්ස්වාදී න්‍යාය මත පදනම් වූ දේශපාලන භාවිතය පිළිබඳ ලාංකීය වාම ඉතිහාසයේ හමු වන පූර්වකාලීන වැදගත් ම විප්ලවීය දේශපාලන ව්‍යාපාරය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මෙම තීසිසයට මඟ හැරීම අහඹුවක් ම නො වේ.  වි.කො.ස නිර්මාතෘ කීර්ති බාලසූරිය සහෝදරයා තරම් සම්භාව්‍ය මාර්ක්ස්වාදී න්‍යාය මත භාවිතය පදනම් කරගත් පුද්ගලයෙකු නොමැති තරම්. කුමක් හෝ ගැටලුවක දී ඒ පිළිබඳ මාර්ක්ස්වාදී අස්ථානය කෙසේ විය යුතු ද යන්න සූත්‍රගත කිරීමට මාර්ක්ස්වාදී ශාස්ත්‍රීය සාගරයේ කිමිදීම කීර්ති බාලසූරිය සහෝදරයාගේ සාධුතර චර්යාවක්. පෙර පැවසුණු ලිපියේ කතුවරයා විසින් භාෂා ජිමික්ස්කරුවෙකු යැයි ගර්භාවට ලක්කරනු ලබන ගම්ලත් සහෝදරයා වැනි අතිදැවැන්ත කියවීමක් සහිත ලාංකීය ප්ලෙකානොව් කෙනෙකු බිහි වන්නේ ද කීර්ති බාලසූරිය සහෝදරයාගේ මාර්ක්ස්වාදී ක්ෂේමභූමියේ දී බව එම කතුවරයාට සිහි කරවනු වටී. කීර්ති බාලසූරිය සහෝදරයාගේ අකල් වියෝවීමත් සමඟ ම න්‍යායමුක්ත භාවිතයකට එළඹෙන වි.කො.ස සමාජවාදී සමානතා පක්ෂය ලෙස රූපාන්තරණය වී විජේ ඩයස්ගේ ද පියසීලි සහෝදරියගේ ද ප්‍රතිමාර්ක්ස්වාදී අස්ථානයක සිට පසු ව සුනිල් සහෝදරයා යටතේ කාලක්‍රියා කළේ ය. අද ස.ස.ප යනු පාණී වැනි න්‍යායක් හෝ භාවිතයක් හෝ නැති පුස්සන්ගේ නාමික පක්ෂයක් පමණ යි. අපට අද වන විට ස.ස.ප. සමඟ කිසිඳු සබඳතාවක් නැත. කීර්ති බාලසූරිය සහෝදරයාගේ අභාවයත් සමඟ ම අපගේ සබඳතා ද අවසන් ය. නමුත් කීර්ති බාලසූරිය සහෝදරයා නො සලකා හැර ලාංකීය වාම ඉතිහාසය පිළිබඳ කතා කිරීම පෙර පැවසුණු ලිපියේ කතුවරයාට පමණක් කළ හැකි නිෂ්ඵල කාර්යයකි. අප එසේ පවසන්නේ මාර්ක්ස්වාදී අර්ථයෙන් ගරු ණයක් ගෙවීමක් ලෙස ය.

පෙර පැවසුණු ලිපියේ කතුවරයා විසින් ගම්ලත් සහෝදරයා පිළිබඳ කරනු ලබන හැඟවුම්කරණය අසත්‍ය එකකි. ගම්ලත් සහෝදරයා කෙදිනක හෝ කල්ලිවාදයක් හෝ ගුරුකුලයක් හෝ අනුගාමික පරම්පරාවක් හෝ බිහි කළේ නැත. ඔහු සැම දා සිටියේ අනුගාමික ගෝල පරම්පරා බිහි කිරීමට එරෙහි ව ය. සරච්චන්ද්‍රයනට පිළිමල් ව ගම්ලත් සහෝදරයා විසින් කරන ලද ශාස්ත්‍රීය සංවාදයන් ඒ බව හඬනඟා පවසනු ඇත. ධම්ම, උදේනි, සමිත වැනි අයගේ ස‍හය ඇති ව ඔහු විසින් එක් යුගයක පවත්වන ලද දේශන මාලා මඟින් හෝ ගම්ලත් සහෝදරයා පෙර පැවසුණු ලිපියේ කතුවරයා පවසන ආකාරයේ ශාස්තෘවරයෙකු වීමට උත්සාහ කළේ නැත. එම නිසා පෙර පැවසුණු ලිපියේ කතුවරයා තම ඊනියා ශාස්තෘ නාම ලේඛනයට අනුපූරකයක් ලෙස ගම්ලත් සහෝදරයාගේ නම එක්කර ගැනීම අපි දැඩි ලෙස හෙළා දකිමු. එවැනි චේතිය බොරු පැවසීමෙන් විසුළුවට ලක් වන්නේ පෙර පැවසුණු ලිපියේ කතුවරයා ම මිස ගම්ලත් සහෝදරයා හෝ අප හෝ නො වේ.

පෙර පැවසුණු ලිපියේ කතුවරයා විසින් උපයුක්ත ඉතිහාසකරණයේ විධික්‍රමය හෙරඩෝටස්ගේ සිට රොමිලා තාපර් දක්වා හෝ දීපවංශකරුවාගේ සිට ලෙස් ගුණවර්ධන දක්වා හෝ කවරෙකු විසින් හෝ නො අනුයන ලද ආකාරයේ අතිශය වරණීය හා වියවුල්සහගත එකකි. රේඛීය ඉතිහාසයක් අතිශය පක්ෂග්‍රාහී හා ආධානග්‍රාහී ලෙස ලේඛනගත කළ මහාවංශකාර මහානාමයෝ ද පෙර පැවසුණු ලිපියේ කතුවරයාට වඩා යම් සාධනීය ඉතිහාසකරණයක යෙදී ඇත. 

මාර්ක්ස්වාදී ශාස්ත්‍රීය සම්ප්‍රදානය පිළිබඳ පෙර පැවසුණු ලිපියේ කතුවරයා නො දැනුම්වත්කම ද අනවබෝධය ද ඉස්මතු වන වැදගත් එහෙත් වැරදිසහගත නිගමනයන් කීපයක් ම ඔහුගේ තීසිසය තුළ හමු වේ:

//ජවිපෙ තමයි ලංකාවේ ඩිෆෝල්ට් මාක්ස්වාදී ආගමික සංස්ථාව.//

(ජ.වි.පෙ. මාර්ක්ස්වාදී දේශපාලන ව්‍යාපාරයක් නො ව සුළු ධනපති පක්ෂයක් බව කතුවරයාට නො වැටහේ.)

//මහින්ද රාජපක්ෂ වාමාංශික ශාස්තෘවරයෙකු ලෙස ලැයිස්තුගත කිරීම//

(කතුවරයා මෙසේ කරනුයේ හිට්ලර් ද තමා සමාජවාදියෙකු බව පැවසූ අර්ථයෙන් විය යුතු ය.)

 //ලංකාවේ වාමාංශිකයන්ගේ පංතිය වන මධ්‍යම පංතිය//

(මෙවැනි විකාරයක් අප කියවන පළමු අවස්ථාව මෙය ය. මාර්ක්ස්වාදයේ අ යනු ආ යනු හෝ කිය වූ පුද්ගලයෙක් මෙවැනි මෝඝ ප්‍රකාශයක් කරන්නේ නැත.)

Henry Habberley Price

මෙම තීසිසයේ සඳහන් නාම ලේඛන විමසා බලන කල පෙනී යන්නේ, එහි කතුවරයා ආගමික විශ්වාස යනුවෙන් කිසියම් වැදගත් ලාක්ෂණික සමූහයක් හඳුනාගන්නට උත්සහ කරන බව ය. එහෙත් තම නිරීෂණයන්, අර්ථකථනයන් හා නිගමනයන් සංකල්පගත කර, එය භාෂාත්මක ආඛ්‍යානයක් බවට පරිවර්තනය කර ගැනීමට අවැසි ව්‍යාකරණයක් ඔහු සතු ව නැත. එනිසා විශ්වාසය පිළිබඳ තීසිසයක් ලියන ඔහුගෙන් එකී විෂය ම අලළා තීසිසයක් ලියූ එච්. එච්. ප්‍රයිස් වැනි මහා දාර්ශනිකයෙකු බිහි වන්නේ නැත. 

විශ්වාසය දෙයාකාරය: යමක් පිළිබඳ විශ්වාසය (belief in) සහ යමක් බව විශ්වාසය (belief that) යනුවෙනි. කිසි යම් දෙයක පැවැත්ම පිළිබඳ (උදාහරණය: නලින් ද සිල්වා නාථ දෙවියන් විශ්වාස කරයි) හෝ යම්කිසි හැකියාවක්/ගුණයක් (උදාහරණය: ජයසිංහ මහතා වික්‍රමසිංහයන්ගේ අව්‍යාජත්වය විශ්වාස කරයි) පිළිබද හෝ වන ආකල්ප belief in අකාරයේ විශ්වාස ය. මේවා ඥානවිභාගය තුළ සංවාදයට බඳුන් කළ නො හැකි බුද්ධිමය වශයෙන් ප්‍රාථමික විශ්වාස ය. ආගමික විශ්වාස ලෙස හඳුන්වන්නේ මේවා ය. පෙර පැවසුණු ලිපියේ කතුවරයා පවසන ලාංකීය ආගම් පිළිබඳ විශ්වාස මෙවැනි ඒවා ය.

කිසි යම් ප්‍රස්තුත පද්ධතියක් කෙරෙහි වන ආකල්ප belief that ආකාරයේ විශ්වාස ය (උදාහරණය:  ජයසිංහ මහතා ලිබරල් ධනවාදය සියලු ප්‍රශ්නවලට විසඳුම බව විශ්වාස කළේ ය). මේවා ඥානවිභාගය තුළ සංවාදයට බඳුන් කළ හැකි සත්‍යාසත්‍යතාවය අන්වේෂණය කළ හැකි විශ්වාස  ය. ප්‍රස්තුතමය විශ්වාස ලෙස හඳුන්වන්නේ මේවා ය. මේවා ආගමික විශ්වාස ලෙස හඳුන්වන්නේ නැත. මාර්ක්වාදය විශ්වාසයක් නම් එය අයත් වන්නේ මෙකී ප්‍රස්තුතමය විශ්වාස කාණ්ඩයට විනා පෙර පැවසුණු ලිපියේ කතුවරයා පවසන ආගමික විශ්වාස කාණ්ඩයට නො වේ. 

විශ්වාස පිළිබඳ පූර්වෝක්ත කරුණු කීපය නිරවුල් ව පවසන්නට හෙන්රි හැබර්ලි ප්‍රයිස් හැකි වීමත් පෙර පැවසුණු ලිපියේ කතුවරයාට නො හැකි වීමත් යන වෙනස යනු හෙන්රි හැබර්ලි ප්‍රයිස් බටහිර දර්ශනය විරාජමාන කළ පඬිරුවනක් වීමත් පෙර පැවසුණු ලිපියේ කතුවරයා හුදු නන්දොඩවන වියුණුසටහන්කරුවෙකු වීමත් ය. 

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s