සරළ ද? නැත හොත් සරල ද?

මා හිතවත් සංවාදශීලී මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහයෝ “සරල යන වදන සරළ ලෙස නො ව සරල ලෙස ම ලියනු ලැබිය යුත්තේ කිනම් හේතුවක් නිසා ද?” යන පැනය නඟති. පැරකුම් විමසන වදන “සරල” විය යුතු බවත් එය “සරළ” නො විය යුතු බවත් මා විසින් පැව‍ෙසන්නේ සහේතුක ව ය.

භාෂාවක නීති, රීති හා සම්ප්‍රදායන් යනු දේවභාෂිතයන් නො වේ. ව්‍යාකරණ නීති යනු සද්භාෂා ව්‍යවහාරයන් දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කර, විමසුම් කර, අධ්‍යයනය කර එකී විෂයේ පණ්ඩිතයන් විසින් සම්මත කර ගනු ලැබූ නිගමනයන් ය. නීතියක්, රීතියක්, සම්ප්‍රදායක් නැත්තෝ අශිෂ්ටයෝ ය. අප විසින් අනුයනු ලැබිය යුත්තේ ශිෂ්ටයන්ගේ ව්‍යවහාරය විනා අශිෂ්ටයන්ගේ ව්‍යවහාරය නො වේ. “ශිෂ්ටප්‍රයෝගාඃ සාධවඃ” යැයි සකුවෙහි නිතොර පැවසේ. අප විසින් ශිෂ්ටයන්ගේ ව්‍යවහාරය ම අනුයනු ලැබිය යුත්තේ කුමක් නිසා ද යන්න කුමරතුඟුවෝ තම මාහැඟි සිදත් සඟරා විවරණයෙහි ලා මෙසේ පවසති:

අශිෂ්ටයෝ තමන් බසෙහි පිහිටා නො සිටිති. ඊයේ එක් ලෙසෙකින් කියූ දැය අද අන් ලෙසෙකින් කියත්; අද එ ලෙස කී දැය ද හෙට වෙනස් වූ ලෙසෙකින් පවසත්. ඔවුන් මසක් වහරට ගත් දෑ විමැසුව හොත්, එක් එක් දිනැ ගත්, එක් එක් ශබ්දයට එක් එක් පදයට එක් එක් වාක්‍යයට එක් එක් රීතිය බැගින් පහළ කළ යුතු සේ පෙනී යෙයි. භාෂාව කෙලසවන්නාහු අඥානයෝ යැ. ‘යම් කිසිවක් පැවැසියැ යුත්තේ ඔවුන් ගේ මන වඩන බසිනැ‘ යි කියමින් ‘සියල් සද’රුත් විදි අසේ පියෝනනට අනුරූ’ කරන්නට සැරැසෙන භාෂා පරිවර්තකයෝ ස්වකීය අඥ භාවය, නොදන්නා පාලකයන් ගෙන්, සඟවන්නට තැත් කෙරෙති.

සරල හා සරළ යන දෙක ම ව්‍යවහාරයේ පවතී” යනුවෙන් පැරකුම් පවසයි. එනිසා “ඒ දෙක ම නිවැරදි ය” යන සාධනයක් ද පැරකුම් අනියමින් පවසයි. එහි දී පැරකුම් “වහරනුසෙරෙන් සපයා” යන සිදත් සඟරා වැකියේ සාවද්‍ය අර්ථකථනයක් අනුයයි (එය සාවද්‍ය වන්නේ කුමක් නිසා ද යන්න මා විසින් වෙනත් ලිපියක විග්‍රහ කරනු ලැබ ඇත).

සිංහල භාෂාවේ දන්තජ “ල” අන්ත පද සමූහයක් ද මුර්ධජ “ළ” අන්ත පද සමූහයක් ද පවතී. 

හසළ, අදාළ, අග්ගළ, අඩාළ, පළ, පහළ, ඉළ, ඉහළ, එළ, ඇසළ, කසළ, කඳුළ, වෙරළ, සක්වළ, දෙමළ, රළ  ඈ පද “ළ” අන්ත පද ය.

බාල, බහුල, නිසල, නිෂ්ඵල, නිර්මල, අමිල, අචල, දුබල, සකල, සසල, සිංහල ඈ පද “ල” අන්ත පද ය. මේවා බොහෝමයක් විශේෂණ පද ය. සරල යන ප්‍රස්තුත වදන ද මෙවැනි “ල” අන්ත පදයකි.

සරල යන්න සරළ යනුවෙන් වියත් වහරේ දී යෙදෙනු අප නම් දැක නැත. “වහරනුසෙරෙන් සපයා” යනු “බහුතරය වහරන ඕනෑ ම ආකාරයක්”   නො වන බව යළිදු සිහි කරනු රිසි ය.

සිංහලයේ ඇතැම් පද “ල” අන්ත වූ කල එක් අරුතක් ද “ළ” අන්ත වූ කල වෙනත් අරුතක් ද පවස යි. නිදර්ශන කීපයක් මෙසේ ය:

අපුල (අප්‍රිය අරුත් දේ)

අපුළ (ඇපිළීම ඈ ක්‍රියා අරුත් දේ)

ඇල (ඇල පිල්ල, ඇල වීම ඈ පැත්ත යන අරුත් දේ)

ඇළ (ඇළ දොළ, ඇළ වේලි ඈ දිය පහර අරුත් දේ)

අලු (එකලු ඈ ආලෝකය අරුත් දේ)

අළු (මිනී අළු ඈ භෂ්ම අරුත් ද, අළු හම්, අළු ගෝමර, අළු පුහුල් ඈ අළු වර්ණ අරුත් ද පා අළු ඈ ආධාර අරුත් ද දේ)

කල (තරුණ කල ඈ කාලය අරුත් ද මනකල ඈ ආකර්ෂණීය අරුත් ද දේ)

කළ (දිය කළය ඈ ඝටය අරුත් ද අවසන් කළ ඈ ක්‍රියා අරුත් ද දේ)

අසල (අසල රුඳි ඈ සමීප අරුත් ද අසලිඳු ඈ නො සෙලවෙන අරුත් ද දේ)

අසළ (හෙළ, පෙළ, සකු හසළ ඈ පුරුදු අරුත් ද පෙර කල අසළ ඈ ඇසුරු කළ අරුත් ද දේ)

නල (මද නල ඈ සුළඟ අරුත් ද නල මැද දැවී ඈ ගින්න අරුත් ද දේ)

නළ (ජල නළය  ඈ බටය අරුත් ද නළඟන ඈ රඟන අරුත් ද දේ)

එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ. රළ යන්නට පෙර ව “ස‍” යොදා මනා රළ යන අරුතක් සරළ යන්නට නිමැවිය හැකි වුව ද වියත් වහරේ එවැන්නක් නො පවතී. එවැනි සරළ යන නව්‍ය පදයක ලිහිල් යන අරුතක් පවතින්නේ ද නැත. ඒ වූ කලී “සපැමිණි සසියලු සුවියත් සතුන් සාදරණීය ව සපිළිගනිමු” වැනි සෑම පදයකට ම පෙර “ස” කාර යොදා සුවියත් වන්නට දත කන විසුළු නිවේදකනිවේදිකා රළකගේ වහරකි.

සිංහලයේ ඇතැම් පදවල “ල” යෙදිය යුතු ද නැතහොත් “ළ” යෙදිය යුතු ද යන්න වියතුන් අතර ද එකඟතාවයක් නැති අවස්ථා පවතී. එවැනි අවස්ථා අල්ප ය. නිදර්ශන කීපයක් මෙසේ  ය:

ලිහිණි හෝ ළිහිණි හෝ

ඇතුල් කිරීම හෝ ඇතුළු කිරීම හෝ

නෙලුම් යාය හෝ නෙළුම් යාය හෝ

(අජිත් ධර්මගේ යාය මෙනයින් නිවැරදි ය!)

ලිප හෝ ළිප හෝ

මාලිගාව හෝ මාළිගාව හෝ

මලුව හෝ මළුව හෝ (මිදුල අරුතින්)

තුරුල් හෝ තුරුළු හෝ

ගඩොල් හෝ ගඩොළු හෝ

කුකුල් හෝ කුකුළු හෝ

සතලිස  හෝ සතළිස හෝ

(එහෙත් අතළොස්, සතළොස් ඈ වදන් නම් මුර්ධජ “ළ” සහිත ව ම ලියැ වේ)

එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ.

අපගේ සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ විවරණ රැසක ම සරල යන්න යෙදේ. එළු අත්තනගලු වංශ විවරණ සංඥාපනයේ ද මුවදෙව් දා විවරණයේ   ද  කුමරතුඟුවෝ “සරල” එලෙස ම යොදති. සියබස් ලකර විවරුවේ අලවුඉසි සැබිහෙළයෝ ද “සරල” එලෙස ම යොදති. ලෝකෝපකාරයේ සම්මත   සම්භාව්‍ය සංස්කරණය “සරල සන්න සහිත ලෝකෝපකාරය” නමි.

සිඛවළඳ හා සිඛවළඳ විනිසමජ්‌ඣිම නිකාය ද බුද්ධ පුත්‍රයන්ගේ ද බුදුන්ගේ ද අල්පාහාරය විස්තර කිරීමට සරළු යන වදනක් උපයුක්ත කර ගනී. ධම්පියා අටුවා ගැටපදයේ පංච කල්‍යාණය විස්තර කිරීමට ද සරළු යන වදනක් යොදා තිබේ (කේස කල්‍යාණ නම් කළු සිනිඳු සරළු කෙහෙ). එහෙත් ඒ කිසිඳු තැනෙක සරළ යන වදනක් නම් නැත.

වර්ෂා, හිරු, ආදරය ගින්දරක්, උතුම් පැතුම්, බොඳ මීදුම් ඈ “අතිසම්භාව්‍ය” ග්‍රන්ථරත්නයන්ගේ සරළ යන වදන තිබේ දැ යි මම නො දනිමි.

මෙම භාෂා ගැටලුව විමැසුමට ඇති විදුහුරු තවත් ක්‍රමයක් නම් පාරකාලික (diachronic) විශ්ලේෂණීය වාග්විද්‍යා විධි ක්‍රමයක් මඟින් විමසීම ය. එනම් මෙකී ප්‍රස්තුත වදනෙහි නිරුක්ති විමසීම ය. 

සරල යන වදන සංස්කෘත භාෂාවෙන් සිංහලයට තත්සම වූ වදනක් බව අපගේ  විශ්වාසය යි. සංස්කෘතයේ එය සරල ය. ලිහිල්, පහසු, ලෙහෙසි, සෘජු ඈ අරුත්  සරල යන්නට යෙදේ. මේඝ දූතයේතං චෙද්වායෞ සරති සරලස්කන්ධසංඝට්ටජන්මා” යනු සුළං හමන කල සරල ගස් එකිනෙක ගැටීමෙන් හටගත් ළැව්ගිනි යන්න  ය. (සරල නම් ගස්; ආමාවතුර ගැට    පද විවරණයේ ද  සළල යන්නට සරල හෙවත්  සොර ගස් යන අරුතක්  පවස යි)

සංස්කෘතය ලියනු ලබන දේවනාගරී අක්ෂරයෙන් සරල යන්න सरल ලෙස ලියැ වේ. සංස්කෘත දේවනාගරියේ මුර්ධජ “ළ” නොමැත. කුමක් නිසා ද යත්, දිව අග තල්ලෙහි මුඳුනේ හෙවත් මුර්ධයෙහි ගැටීමෙන් උපදින “ළ” ශබ්දයක් සකුවෙහි නොමැති බැවින් ය. දේවනාගරියේ එන ल යනු සිංහලයේ දන්තජ “ල” ශබ්දයට ආසන්න ශබ්දයේ අක්ෂරීය නිරූපණය යි. සංස්කෘත “සරල” සිංහලයට තත්සම වන්නේ ද “සරල” ලෙස ම ය. මේ අරුතින් සරල යන්න විනා සරළ යනුවෙන් වියත් වහරක් නො පවතී.

එහෙත් සංස්කෘතයෙන් හෝ පාලියෙන් හෝ සිංහලයට තත්භව වූ ඇතැම් වදන්වල දී මාතෘ භාෂාවේ අදාළ වදන්වල පවතින “ට”, “ඨ”, “ඩ”, “ඪ” අක්ෂර වෙනුවට මුර්ධජ “ළ” ආදේශ වේ. නිදර්ශන කීපයක් මෙසේ ය:

 කුටි (පාලි) –> කිළි (සිංහල)

(පැරකුම් ගඳකිළි පිළිබඳ කලකට පෙර ලියූ බව අපට මතක ය!)

භට (පාලි) –> බළ (සිංහල)

පාඨ (පාලි) –> පෙළ (සිංහල)

පඨම (පාලි) –> පළමු (සිංහල)

 බිඩාල (සංස්කෘත) –> බිළාල (සිංහල)

ක්‍රීඩා (සංස්කෘත) –> කෙළි (සිංහල)

 මූඪ (සංස්කෘත) –> මුළා (සිංහල)

ආෂාඪ (සංස්කෘත) –> ඇසළ (සිංහල)

එහෙත්  සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ.

සංස්කෘතයේත් පාලියේත් යන ද්විභාෂාහි ම පවතින ඇතැම් වදන් සිංහල භාෂාවට පැමිණි කල, ඒවා පාලියට අනුකූල ව මුර්ධජ “ළ” සහිත ව ද සංස්කෘතයට අනුකූල ව දන්තජ “ල” සහිත ව ද ලියැ වේ. ඒ දෙයාකාරය ම විදුහුරු ය. පාලියට ළැදි අයෙක් මුර්ධජ “ළ” සහිත ව ලියති. සකුවට ළැදි (අප වැනි) අයෙක් දන්තජ “ල” සහිත ව ලියති. නිදර්ශන කීපක් මෙසේ ය:

කෝමල (සංස්කෘත) හෝ කෝමළ (පාලි) හෝ කොමළ (සිංහල) හෝ

වූල වංශය(සංස්කෘත) හෝ වූළ වංසය (පාලි) හෝ

නාලි (සංස්කෘත) හෝ නාළි (පාලි) හෝ

පාලි භාෂාව (සංස්කෘත) හෝ පාළි බස (පාලි)

එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ. පාලියේ බිළාර සිංහලයට බළල් ලෙස ද පාලියේ යුගළ සිංහලයට යුවළ ලෙස ද පාලියේ කීලා සිංහලයට කෙළි ලෙස ද පාළියේ ගුළිකා සිංහලයට ගුළි ලෙස ද මුර්ධජ “ළ” සහිත ව ම පාලියෙන්   සිංහලයට පැමිණ තිබුණ ද, සරළ යන සිංහල වදනක් පාලියේ සරළ යන වදනකින් පැමිණි බව කිව නො හැකි ය. එයට හේතුව පාලියේ සරළ යන වදනක් නැති වීම ය. පාලියට ද සරල යනු සරල ම ය.

පැරකුම් සමඟ එකඟ වීමට ඇති දෘඪාපේක්ෂාව නිසා ම පාලියේ යම් තැනක සරළ තිබේ දැ යි අපි සිතා බැලුවෙමු. අවාසනාවක මහත! සම්භාව්‍ය පාලි භාෂාවේ සරළ ඇති තැනක් අපගේ මතකයට නො නැඟේ. දශක ගණනකට පෙර පරිශීලනය කළ පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ පාලිභාෂාවතරණයේ හෝ “සරළ” තිබූ බවක් මතකයේ නැත. බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ පාලි ශික්ෂකයේ ද “සරළ” තිබූ බවක් මතකයේ නැත. උන්වහන්සේගේ පොතේ නම ම වුව “සරල පාලි ශික්ෂකය” ය.

පාලි ග්‍රන්ථ කීපයක  කරහම්පිටිගොඩ සුමනසාරාභිනන්දන සංස්කරණවල ද “සරළ” සොයා ගත නො හැකි ය. ත්‍රිපිටක පාලියේ මජ්‌ඣිම නිකායේ හා දීඝ නිකායේ යම් තැනෙක “සරළ” තිබේ දැ යි තැනින් තැන (තිබිය හැකි යැයි සිතුණු තැන් කීපයක) බැලුවෙමු. හමුවුයේ නැත. වෙනත් කරුණක් විමර්ශනය කරන කල හමුවුවහොත් නො ලසා, නො සඟවා පැරකුම්ට දන්වන්නම්. එසේ “සරළ” යන්නක් තිබිය නො හැකි බව අපගේ විශ්වාසය ය.

මේ අනුව හමාර දෙසුමේ දී අපට පවසන්නට වන්නේ “සරල” යන්න විනා “සරළ” යන්න විදුහුරු නො වන බව ය. පැරකුම් අප සමඟ උරණ නො වේවා!

බන්‍ධුල කුදලාගම,

ටොරන්ටෝව.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s