රනිල් ශිරාන් වික්‍රමසිංහ

Ranil.jpg
රනිල් ශිරාන් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය රනිල් ශිරාන් වික්‍රමසිංහයන් දුර්ලභ ධනපති දේශපාලඥයකු බව අවිවාදිත ය. වික්‍රමසිංහයෝ පරිණත, විචක්ෂණ හා ධෛර්යවන්ත පෞරුෂයක් වන්නාහ. සමහසතළිස් වසක් ධනපති දේශපාලනයක නිරත එතුමන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය අරබයා අනුයනු ලබන අදීන අස්ථානය සම්භාවනීය ය. වික්‍රමසිංහයන් විසින් ජාතික සංහිඳියාව සඳහා කරන ලද කැපකිරීම ද දූරදර්ශී සම්ප්‍රදානය ද ඇතැම් ලාංකීය නාමමාත්‍ර වාම දේශපාලන නායකයන්ගේ එකී කාරණය පිළිබඳ අස්ථානයට වඩා අත්‍යුත්කෘෂ්ට ය. තම පෞද්ගලික අර්ථසිද්ධිය උදෙසා ජාතිකත්වය උත්කර්ෂණයට ලක් කිරීමේ සිල්ලර දේශපාලනයක එතුමෝ එදා මෙදා තුළ කවර කලෙකවත් නො යෙදුණහ. අපමණ විසංවාදයන් මධ්‍යයේ වුව නිර්මල වාමාංශිකයනට ද වික්‍රමසිංහයන් විසින් වාර්ගික ගැටලුව අලළා කරන ලද මැදිහත් වීම සමඟ යම් පමණකට හෝ එකඟ විය හැකි ය. එසේ පැවසීම වාමාංශික පතිව්‍රතතාව කෙලෙසා ගැනීමක් වන්නේ ද නැත.

වික්‍රමසිංහයෝ අවම වශයෙන් දශක දෙකක කාලයක් හෝ ජාතික ප්‍රශ්නය අලළා යුදමය නො වූ දේශපාලනමය වූ විසඳුමක අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටියහ. දකුණේ ජාතිවාදී, ජාතිකවාදී, ආගම්වාදී හා ගෝත්‍රවාදී බලමුළුවල නිර්දය විවේචනයන්ට ද අනවරත පුද්ගලාලම්බන කලල් හෙළුමට ද මුහුණ දෙමින් වික්‍රමසිංහයෝ නො සැලෙන ඉන්ද්‍රකීලයක් සේ තම සාධනීය එළඹුමට ම ආසක්ත ව සිටියහ. ඒකී අස්ථානය විසින් වික්‍රමසිංහයන්ට අහිමි කරන ලද දේ අතිමහත් ය. වික්‍රමසිංහයෝ එකී අස්ථානය සඳහා කළ ගෙවීම ද සුවිසල් ය. ධනපති දේශපාලන ධුරාවලියේ උච්චස්ථානයට ම නැඟ ගැනීමට එතුමන්ට තිබූ අවස්ථා කීපයක් ම මඟහැරුණේ ද එකී සද්සම්භාවනීය අස්ථානය නිසා ම ය. එහෙත් ඒ කවර අහිමිවීමකින් හෝ වික්‍රමසිංහයෝ උකටලී නො වූහ. සිව්වරක් මෙරට අගමැති පදවිය හොබවන්නට එතුමන්ට වාසනාව ද කුසලතාවය ද තිබිණ.

රනිල් ශිරාන් වික්‍රමසිංහ ශ්‍රී නාමය ශ්‍රී ලංකාවේ අතිසුවිශේෂී ධනපති දේශපාලන නායක නාමාවලි හොබවන්නකි. ඔවුහු ලාංකීය ධනපති දේශපාලනයේ අවිවාදිත අතිදැවැන්තයා වන ජූනියස් රිචර්ඩ් ජයවර්ධනයන් තරමට ම කුශාග්‍ර වූ ද විභවතාපූර්ණ වූ ද දේශපාලනඥයෙක් වන්නාහ. ජයවර්ධනයන් සේ ම වික්‍රමසිංහයෝ ද ඉවසිලිවන්ත ය. වරක් වරීන්ද්‍ර ටාසී විට්ටච්චීන් ජයවර්ධනයන් පිළිබඳ ලියූ පරිදි ම, වික්‍රමසිංහයන් ද පා ආවරණ පැලඳ, පිතිකරණයට තමනට අවස්ථාව පැමිණෙන තෙක් බොහෝ කලක් බලා සිට, අවස්ථාව පැමිණි කල ඇති වෙන්නට ම එම අවස්ථාව භුක්ති විඳින බවක් පෙනේ.  එහෙත් ජයවර්ධනයන්ගේ තරමට ම වික්‍රමසිංහයන්ගේ දේශපාලන දත්ත සටහන සුදීප්ත නැත. අප මෙම විෂමතාවයට  මූලික හේතුවක් ලෙස දකින්නේ වික්‍රමසිංහයන්ගේ දේශපාලන සමාගම තුළ ජයවර්ධනයන්ගේ සමාගම තුළ සිටි ආකාරයේ පරිණත, සුවියත් හා නිපුණ සහයකයන්ගේ මඳ බව ය. සත්‍ය ලෙස ම, ධනපති අර්ථයෙන් ප්‍රභාමත් දේශපාලනඥයන් වූ ගාමිණි, ලලිත්, ප්‍රේමදාස හෝ රොනී වැනී කාර්යශූර චරිත වික්‍රමසිංහයන් වටා නැත.  වික්‍රමසිංහයන් වටා සිටින්නෝ හුදු කයිවාරුකාර පුස්සෝ ය. ඔවුනට නිසි ඉගෙනුමක් ද කුසලතාවක් ද මහජන අභිලාෂයන් ප්‍රතිග්‍රහණය කරගත හැකි ජනවිඥානයක් ද නැත. එනිසා වික්‍රමසිංහයන්ගේ අනර්ඝ අධ්‍යාශයන් සැම දා රජස්  බවට පත් වේ.

සුදුස්සාට සුදුසු තැන නො දීම වික්‍රමසිංහයන්ගේ ප්‍රබල දුබලතාවකි. එකී දුබලතාව විසින් වික්‍රමසිංහයන්ගේ බුද්ධිමය විභවය ප්‍රායෝගික ව සුපුෂ්පිත වීම නිතොර වළක්වනු ලැබේ. මේ සියවස ඇරඹුමේ දී වික්‍රමසිංහයන් විසින් ජාතික ප්‍රශ්නය සඳහා කරන ලද සාධනීය වූ ද යුදමය නො වූ ද දේශපාලන මැදිහත්කරණය සාර්ථක කර ගැනීමට ඔවුනට නො හැකි වූයේ ද මානව සම්පත් කළමනාකරණයේ දී ඔවුන් විසින් ප්‍රකට කෙරෙන එකී දුබලතාවය නිසා ය. ජාතික ප්‍රශ්නය සඳහා යුදමය නො වූ දේශපානලනමය විසඳුමක් සඳහා ලාංකීය මහජන විඥානය පුබුදුවා ජනමතයක් ගොඩ නැඟීමට වාමාංශික හා ලිබරල් බුද්ධිමතුන්ගේ සහය ලබා ගැනීමට ද ඔවුනට අවස්ථාවක් ලබා දීමට ද වික්‍රමසිංහයෝ උනන්දු නො වූහ. අවසානයේ දී සිදුවූයේ ඊනියා ජාතිවාදී, ජාතිකවාදී, ගෝත්‍රවාදී හා ආගම්වාදී වාචාල හැතිකරය විසින් වික්‍රමසිංහයන් මේ රට බෙදන, මේ රට විනාශ කරන රාක්ෂසයෙකු ලෙස අසත්‍ය මතයක් ප්‍රචාරණය කර දේශපාලන බලය උදුරා ගැනීම ය. එහි ප්‍රතිඵල අප පසුගිය දශකයක් පුරා අත්විඳ ඇත.

වික්‍රමසිංහයන් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඇති බවක් ද නො පෙනේ. ඔවුන් විසින් යෝජිත දූරදර්ශී වැඩ පිළිවෙළක් වන එට්කා හෙවත් ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා එකඟතාවට එරෙහි ව අසත්‍ය වූ ද අදූරදර්ශී වූ ද මහජන කැලඹවීමක් දැන් දැන් පෙර කී ඊනියා ජාතිවාදී, ජාතිකවාදී, ගෝත්‍රවාදී හා ආගම්වාදී අවස්ථාවාදීන් විසින් ද ඊනියා වෘත්තීය සමිති අටමගලකරුවන් විසින් ද සිදු කරනු ලබන බවක් පෙනේ. වික්‍රමසිංහයෝ තවමත් නිහඬ නිද්‍රා ව්‍රතයෙන් ම සිටිති. එකී එට්කා වැඩ පිළිවෙළ පිළිබඳ සාධනීය මූලධර්මීය එකඟතාවයක් ඇති, ඒ පිළිබඳ බොල් නො වූ හඬක් ඇති, ඒ පිළිබඳ ජන විඥානය පුබුදුවන්නට සඵල මැදිහත්වීමක් කළ හැකි ලිබරල් බුද්ධිමතුනට හෝ පුළුල් අවස්ථාවක් ලබා දීමට වික්‍රමසිංහයන් තවමත් අවධානය යොමුකර නැත. තමන් වෙනුවෙන් උපරිම සේවයකට සැදී පැහැදී සිටින දක්ෂ මිනිසුනට වික්‍රමසිංහයන් වහා ම නිසි තැන ලබා දිය යුතු ය.

ප්‍රියවයස්‍ය අභිනතියට වික්‍රමසිංහයන් දක්වන ලාලසාව විසින් ඔවුනට විනාශයක් විනා යහපතක් නම් සිදු කරනු ලබන්නේ  නැත. ජරාපත් හිවලුනට රන්තලිවල මුත්‍රා කිරිමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින තත්ත්වයක් ද සැහැල්ලු ලබු කබල් දියේ පාවෙන්නේ නැති ව බර වස්තූන් මෙන් දියේ ගිලෙන තත්වයක් ද විශාල ගල් ජලයෙහි පාවෙන තත්ත්වයක් ද මෙරටේ ඇති වන්නට වික්‍රමසිංහයන්ගේ මෙකී නො කී ලුහුඬුකම් ද හේතු වූ බව පිළිගත යුතු ය.

සෑම සාර්ථක මිනිසෙකු පිටුපස ම ගැහැනියක සිටින බව පැවසේ; එය සත්‍යයකි. එලෙස ම සෑම අසාර්ථක මිනිසකු පිටුපස ම ද ගැහැනියක සිටින බව ද සැලකිය යුතු ය. මෝඝමඳමානයෙන් තොර භාර්යාවක ලැබීම ස්වාමිපුරුෂයෙකුගේ වාසනාව ය. එනයින් රනිල් වික්‍රමසිංහයෝ  වාසනාවන්තයෙක් වෙති. මෛත්‍රී වික්‍රමසිංහ සිරිමතිය උගත්, බුද්ධිමත් ස්ත්‍රියකි. ඇය රාජ්‍ය නායකයෙකුගේ භාර්යාවක ලෙස තම හිමිකම් හා යුතුකම්වල සීමාවන් (වෙනත් වදනින් පවසන්නේ නම් “ප්‍රොටෝකෝලය”) මැනවින් දනී. මෑතකාලීන ලාංකීය දේශපාලන ඉතිහාසයේ බොහෝ රාජ්‍ය නායකයන්ගේ “ආර්යාවනට” තමා කවරෙකු ද යන්න නොදැනීමේ අනන්‍යා අර්බුදය තිබිණි. මෙරට පමණක් නො ව එක්සත් ජනපදයේ ද ආර්යාවනට මෙකී අර්බුදය තිබේ. එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති ධුරයට පත්වන්නට බලා සිටින හිලරි ක්ලින්ටන් මැතිනිය තම ස්වාමිපුරුෂයා වන බිල් ක්ලින්ටන් ජනාධිපති ව සිටි සමයේ කළ අකටයුතු දැන් දැන් කරළිය පැමිණෙමින් පවතී. එහෙත් වික්‍රමසිංහ සිරිමතියට එවන් ගැටලු නැත.

අවසාන වශයෙන් අපගේ මතකයට නැඟෙන්නේ ලුවී අල්තූසර් මියගිය කළ ප්‍රංශ සමාජවාදීන් පැවසූ ප්‍රකාශයකි:

ඔහු ස්ටැලින්වාදියෙක් වූයේ ය. එහෙත් සෑම ස්ටැලින්වාදියකු ම ඔහු වැනි නො වී ය.

රනිල් ශිරාන් වික්‍රමසිංහයෝ ධනීධන ධනපති දේශපාලනඥයෙක් වන්නාහ. එහෙත් සෑම ධනපති දේශපාලනඥයකු ම ඔහු වැනි නො වී ය.

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s