මාහාචාර්ය සුචරිත ගම්ලත් පිළිබඳ විශ්‍රාමික වාමාංශිකයෙකුගෙන් වෘෂභ ප්‍රශ්නයක්

මහාචාර්ය සුචරිත ගම්ලත්

මම ගුරුදේව සුචරිත ගම්ලතුන් වෙසෙසනු වස් “සාහිත්‍යකලා විචාර අඹරේ සුදීප්තිමත් තාරකාව” යන පද පෙළ නිතොර ව්‍යවහාර කරමි. එම පද පෙළට ද ගම්ලතුනට ද සමස්ත වාමාංශිකයනට ද ආසාත්මිකතාවක් පෙන්වන වම හැර ගිය විශ්‍රමික වාමාංශිකයෙක් කෝපාග්නියෙන් දැවී වේදනාබර ව මෙලෙස ප්‍රශ්නයක් නඟයි:

සාහිත්‍යකලා විචාර අඹරේ සුදීප්තිමත් තාරකාව මෙවැනි පුරුෂෝත්තමවාදී ගොබ්බ ප්‍රකාශයක් කළේ ඇයි ද යන්න ඔබට කියා ගියා නම් මෙහි සටහන් කරන්න.” 

පෙර කී විශ්‍රාමික වාමාංශිකයා “මෙවැනි පුරුෂෝත්තමවාදී ගොබ්බ ප්‍රකාශයක්” යනුවෙන් නිග්‍රහ කරන්නේ මතු දැක්වෙන සාර ප්‍රකාශයට යි:

ගිය සැරේ සුනේත්‍රා රාජකරුණානායක කියල කෙනෙක්‌ගෙ පොදු පුරුෂයා කියල පොතකට තෑගි දුන්න. ඒක එහෙම පිටින්ම පපඩම් නව කතාවක්‌. නීරස නාටාමි භාෂාවෙන් ලියල තියෙන ඒ කතාව දැකල සුමිත්‍රා රාහුබද්ධ කියල කෙනෙක්‌ නාටාමි භාෂාවෙන් ඒ ජාතියෙම කතාවක්‌ ගොතල සම්මානෙකුත් ගත්ත. මේ වගේ පොත් ලියල පොත් කියවන මිනිස්‌සුන්ගෙ කාලය විනාශ කරන එක විශාල අපරාධයක්‌. හොඳ පොත් කියල මේ පපඩම් නවකතාවලට සම්මාන දෙන සාහිත්‍ය මණ්‌ඩලවල ඉන්න අයත් ඒ අපරාධයේ හවුල්කාරයෝ.

මෙකී ප්‍රකාශය පිළිබඳ කෙසේ වෙතත් සමස්ත ස්ත්‍රී වර්ගයා කෙරෙහි තමන් තුළ වූ ගෞරවය ගම්ලත්හු මහනුවර ගත කළ සමයේ දී ද හෝමාගම ගත කළ සමයේ දී ද නිතොර පැවසූහ. 

පූර්වෝක්ත (කථන භාෂිත) ප්‍රකාශය තුළ පවතින පුරුෂෝත්තමවාදී දෘෂ්ටිවාදය කුමක් ද? එම ප්‍රකාශයේ කිසිඳු පුරුෂෝත්තමවාදී දෘෂ්ටිවාදයක් ගැබ් ව නැත. පෙර කී විශ්‍රාමික වාමාංශිකයාගේ අර්ථකථනය වූ කලී කීර්තිශේෂභාවෝපගත සුචරිත ගම්ලතුන්ගේ කිතු සිරුරට කලල් පතනය කිරීමේ දුෂ්ට අභිලාෂයෙන් ඔහු විසින් තම මනසේ නිර්මාණය කර ගනු ලබන විඥානවාදී අර්ථකථනයකි. එම අර්ථකථනය තුළ පෙර කී විශ්‍රාමික වාමාංශිකයා විඥානවාදී බර්ක්ලියානු අවතාරයක් බවට පත් වේ.

ගම්ලතුන්ගේ පූර්වෝක්ත ප්‍රකාශය වූ කලී සමකාලීන ලාංකීය නවකතාවේ ඛේදනීය තත්ත්වය පිළිබඳ කෙරුණු සාර ප්‍රකාශයකි.  සමකාලීන ලාංකීය නවකතාව සාහිත්‍යාත්මක ව ද භාෂාත්මක ව ද ඉතා අවියත් අගාධයක වැටී ඇති බව පෙර කී විශ්‍රාමික වාමාංශිකයා නො දන්නේ වුව ශාස්ත්‍රවන්තයෝ නම් මැනවින් දනිති. සුචරිත ගම්ලතුන් ඒ බව දැඩි විවේචනාත්මක බසකින් පවසා ඇත. ගම්ලතුන් කර ඇති විවේචනය එකී කෘතිවල නිසරු අන්තර්ගතය සහ අවියත් බස පිළිබඳ විවේචනයක් විනා එකී කෘතිවල කර්තෘත්වය ස්ත්‍රීන්ගේ වීම පිළිබඳ විවේචනයක් නො වේ. සෙන්ටිමීටරයක තරම් හෝ මස්තිෂ්ක බාහිකයක් ඇති පුද්ගලයෙකුට ඒ බව වැටහෙනු ඇත. සුචරිත ගම්ලතුන් ජීවිතයේ කවර කලෙකවත් පුරුෂෝත්තමවාදියෙකු නො වූ බව දන්නෝ දනිති; පෙර කී විශ්‍රාමික වාමාංශිකයා නො දනී. 

අසූව දශකයේ අග දී සුනේත්‍රාගේ සඳුන්ගිර ගිනි ගනියි කෘතිය පිළිබඳ ගම්ලත්හු සාධනීය විචාරයක් කළහ.  සුනේත්‍රා දක්ෂ ලේඛිකාවක වූ බව අපි පිළිගනිමු. පශ්චාත් කාලීන ව යෝගාචර වූ සුනේත්‍රා වත්මනෙහි ලියන දෑ තුළ අප එකල දැන සිටි සුනේත්‍රාගේ ලියවිලිවල තිබූ ප්‍රභාව විද්‍යාමාන නො වේ. මේවා සුනේත්‍රාගේ කෘති අලළා කෙරෙන සාහිත්‍යකලා නිගමන විනා ඇයගේ ස්ත්‍රීත්වයට එරෙහි වන නිගමන නො වේ. කලා කෘතියක් විචාරයේ දී අපට කර්තෘගේ ස්ත්‍රී-පුරුෂභාවය හෝ ගිහි-පැවිදිභාවය හෝ රැකි-රක්ෂාව හෝ වැදගත් නැත. ඇගයීමට මෙන් ම විවේචනයට ද එකී සාධක අවිෂය ය. සුමිත්‍රාගේ බුමුතුරුණු පිළිබඳ දශක ගණනකට පෙර යම් ඇගයීමක් කරන කල ද ඇගේ විකාරරූපී මෑත කාලීන කෘති පිළිබඳ යම් විවේචනයක් කරන කල ද සුමිත්‍රාගේ ස්ත්‍රීත්වය අපට වැදගත් වන්නේ නැත. ශාන්ති දිසානායක උතුරු මැද පළාතේ ගෘහිණියක ව සිට වරාමල් ලියූ පමණින් වරාමල් විශිෂ්ට කෘතියකි යි පවසන්නය අපට හෝ සමන් වික්‍රමාරච්චිට හෝ පිස්සුවක් තිබුණේ නැත. 

ස්ත්‍රී වර්ගයාගේ ඒකායන ගැලවුම්කරුවා තමා යයි හඟවන පෙර කී විශ්‍රාමික වාමාංශිකයා ස්ත්‍රීත්වය පිළිබඳ අනුයන අස්ථානය ස්ත්‍රීවාදී කතිකාවට සාකල්‍යයෙන් ම ප්‍රතිවිරුද්ධ ය. ස්ත්‍රීහු නම් එම තැනැත්තා වැනි මෝඝ පුරුෂයන්ගේ ව්‍යාජ ලෙස ගිනිගෙන දැවෙන ළයමඬ‍ලේ සානුකම්පිත ළසෝ ගීයෙන් සැනසෙන්නට බලා සිටින දුර්වල පෞරුෂත්වයක් ඇති පිරිසක් නො වෙති. ස්ත්‍රීවාදී කතිකාව බිහි වන්නේ ම පුරුෂයන්ගේ සානුකම්පාවට එරෙහි ව ස්ත්‍රී හිමිකාරීත්වය පිළිබඳ කතිකාවෙනි. පළමු රැල්ලේ ස්ත්‍රීවාදී කතිකාවේ පුරෝගාමී ඉංගිරිසි ප්‍රකාශිකාව වූ මේරි වොල්ස්ටෝන්ක්‍රාෆ්ට්ගේ ද පුරෝගාමි ඇමෙරිකානූ ප්‍රකාශිකාව වූ මාග්‍රට් ෆුලර්ගේ ද සිට ශ්‍රී ලංකාවේ සුනිලා අබේසේකර දක්වා කිසිඳු ස්ත්‍රීවාදිනියක පෙර කී විශ්‍රාමික වාමාංශිකයා වැනි පුරුෂයන්ගේ ව්‍යාජ සානුකම්පාව බලාපොරොත්තු වූයේ නැත. සුනිලා ජීවත්ව සිටියා නම් “ඔය අයගේ අනුකම්පාවෙන් අපට වැඩක් නැත ” යි පවසනු ඇත. ස්ත්‍රීනට විමුක්තිය ලබා දීම තම වියුණුව ඔස්සේ තම සානුකම්පාව මත ම සිදු විය යුතු ය යි පෙර කී විශ්‍රාමික වාමාංශිකයා සිතීම ම පරම පුරුෂෝත්තමවාදී ආකල්පයකි. මේ වූ කලී දෙමළ ජනතාවට විමුක්තිය ලබා දීම සිංහල මහා ජාතියේ සානුකම්පාව මත ම සිදු විය යුතු ය යි සිතීම වැනි අතිශය ප්‍රතිගාමී ආකල්පයකි. දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ සිංහල මහා ජාතියේ සානුකම්පාව නො ව තම හිමිකම් බව සිංහල මහා ජාතිය වටහා නො ගන්නා සේ ම, ස්ත්‍රී වර්ගයාට අවශ්‍ය වන්නේ පුරුෂ වර්ගයාගේ සානුකම්පාව නො ව තම හිමිකම් බව ද පෙර කී විශ්‍රාමික වාමාංශිකයා වටහා නො ගනී. 

නිර්මල මාර්ක්වාදියකු වූ සුචරිත ගම්ලතුනට කලල් පතනය කරනා රිසියෙන් පුරුෂෝත්තමවාදී අපනාම බඳවන පෙර කී විශ්‍රාමික වාමාංශිකයා එකී අසාධු ව්‍යායාමයෙන් තමන්ගේ අඥ බව ම ප්‍රකට කරවයි. සාහිත්‍යකලා විචාර ක්ෂේත්‍රයේ අන්‍යතර සුධීමතුන් පවා හුදු පිග්මීන් බවට පත් කළ අසම සම දැවැන්තයකු වූ සුචරිත ගම්ලතුන්ළඳුන් වෙත සතතා – කරව් බුහුමන් අමිතා” යන සාර අධ්‍යාශයෙන් කටයුතු කළ ප්‍රාඥයකු බව පෙර කී විශ්‍රාමික වාමාංශිකයා නො දනී. සුචරිත ගම්ලතුන් එවකට මෙරට පැවති “කාන්තා විමුක්ති” ව්‍යාපාරයේ න්‍යායාත්මක ලුහු තැන් කීපයක් පෙන්වා දුන් කල, අතීතයේ යම් දිනෙක මොනිකා රුවන්පතිරණ සිරිමතිය “සුචරිත කාන්තා විමුක්තියට එරෙහි පුරුෂෝත්තමවාදියෙකි” යි පැවසුවා ය. “කාන්තා” යන්න සියලු ස්ත්‍රීන් අරබයා ව්‍යවහාර කිරීම ම පරම පුරුෂෝත්තමවාදී අස්ථානයක් බව පෙන්වා දෙමින් ද මොනිකා උත්සුක විය යුත්තේ “ස්ත්‍රී විමුක්තිය” සඳහා බව පෙන්වා දෙමින් ද ගම්ලතුන් ලියූ විශිෂ්ට ලිපි පෙළ තුළ ඔවුන් ස්ත්‍රී වර්ගයා කෙරෙහි පෑ ගෞරවනීය ආකල්පය මනා ව පිළිබිඹු විණ. 

පෙර කී විශ්‍රාමික වාමාංශිකයා මේවා නො දනී. ඔහු දන්නා එක ම දෙය නම් ධනපති පංතියේ වසුරු බුදිමින් වාමාංශිකයනටත් ශාස්ත්‍රෝන්නතිකාමී සුධීමතුනටත් මඩ ගැසීම ය. අප විරුද්ධ වන්නේ පෙර කී විශ්‍රාමික වාමාංශිකයාගේ කාබනික සංස්ථිතියේ පැවැත්මට නො ව ඔහුගේ අසාධු චර්යාවට ය.

බන්‍ධුල කුදලාගම,

ටොරන්ටෝව.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s