“දිශාවක් නො දත් සුළඟ”: ප්ලේටෝගේ සිට මාර්ක්ස් ඔස්සේ ඩෙරීඩා දක්වා කියවීමකට නිසි මාහැඟි කව් මිණ

දිශාවක් නො දත් සුළඟ …
 
ජීවිතය මැටි පිඬකි
කුඩා දරුවෙකු අත
කුරුල්ලන් සේ ම
නයින් ද ඉන් හැදෙත
 
කුරුල්ලාට ද නාගයාට ද
තමා අහිංසකයෙකි
ආදරය සොයා යන
දඩයක්කාරයින් මැද
 
ජීවිතය වෙහෙස ය
දෛනිකව ගතු කියන
ආදරය හැමදාම
සෙවුමක් විතරම ද
 
බලාපොරොත්තුව
පුංචි බිජුවටක කැටි කර
උණුසුම් කර රකින්නේ
තටු ලැබ අහිමි වන්නට ය
 
කුරුළු බිත්තරෙනුත්
නාග බිජුවටෙනුත්
උපදින්නේ එකම
අනාගතයයි නො දත්
 
අතීතය පසුතැවිල්ලකි
අනාගතය පිපිරුණ බිජුවටකි
බිත්තර කටු තුඩ ගාන
ජීවිතය මතකයක් පමණ ය
 
හැඬුමත් සිනාවත්
දෙක ම එක දිය ම ය
සුවඳ ද පිළී දුගඳ ද
හැඟීම් මාත්‍රයක් පමණ ය
 
මම සිටිමි ද මැරී ඇත් ද
නො දනිමි නො හැඟේ ය
කුමක් වුවත් කුමට ද
අප හැම තරු දුහුවිලි ය
 
අනන්ත කාලයක
ඉමක් නො පෙනෙන විශ්වයක
හොඳ නරක සොයා කුමට ද
ඔබට ඔබවත් හමු වෙද
 
ජීවිතය ගෙන දෝතට
යමු ද අපි කඳු මුදුනට
පා කර හරින්නට එය
දිශාවක් නො දත් සුළඟට
 
පැරකුම් ජයසිංහ
2016-06-19

කවීන්ද්‍ර මතුගම පී. ජයසිංහ සූරීන්

පුරෝගාමී වියුණුසටහන්කරුවකු, වෘත්තීය පරිවර්තකයකු, ෆ්‍රීඩ්මානියානු ලිබරල් ධනවාදී බුද්ධිමතකු, විශ්‍රාමික පාඨශාලා ආචාර්යවරයකු, විශ්‍රාමික කැරලිකරුවකු, පිටතොටකරණය වූ වාමාංශිකයකු, බහිෂ්කරණය වූ මාධ්‍යකරුවකු, උපරිව්‍යුහාත්මක හා අපසරණීය සමාජ-දේශපාලන-කලා විචාරකයකු, පර්යේෂණාත්මක නව්‍ය ශානරීය නිර්මාණ සාහිත්‍යකරුවකු සේ ම කලකට පෙර කාව්‍ය සංග්‍රහයක් ද පළ කළ විභවතාපූර්ණ කවියකු ද වන මතුගම ඉද්දගොඩ මහවත්තේ අජිත් පී. ජයසිංහයන්ගේ අභිනව කාව්‍ය සංකල්පනාවේ පද සරණිය අපගේ අවධානයට යොමු විණ. කාව්‍ය නාමයෙන් සළුපිළී අන්දවා සමකාලීන ලංකාවේ නි‍බඳ ව පළ වන, අගනගරයේ බොහෝ සන්ධ්‍යාවන්හි මහත් උත්සවශ්‍රීයෙන් නිකුත් වන කවි බඩකඩිත්තු ද කවි ප්‍රෙහේලිකා ද කවි සටන් පාඨ ද කියවා වෙහෙසට පත් වන මනසට කවීන්ද්‍ර පී. ජයසිංහයන්ගේදිශාවක් නො දත් සුළඟ” නම් කව් පද සරණිය සැනසුම් සුසුමකි; ගිම්හානයේ නිශා යාමයේ ගතසිත සිසිල කරනා පවන් රොදකි; නිරුදක සමකාලීන සිංහල කවි කතරට වට උදක දහරකි.

මානව ශිෂ්ටාචාරයේ අනාදිමත් කාලයක සිට වර්තමානය දක්වා ද අනාගතය දක්වා ද මානවයා විසින් නන් අයුරින් විමසන ලද, විමසනු ලබන හා විමසනු ලැබීමට නියමිත සදාතනික ප්‍රශ්නයක් කවීන්ද්‍ර පී.ජයසිංහයෝ නව්‍ය කාව්‍යෝක්තියක් ද කාව්‍යමය හද බසක් ද උපයුක්ත කර පුනර්විමර්ශනයකට ලක් කරති. මානව ජීවිතයේ සුපිළිපන්, සුශික්ෂිත සහ සුසාර වූ අභිප්‍රේතාර්ථයෝ, අභිලාෂයෝ සහ අභිධානයෝ කවරහු ද?

මෙකී ප්‍රශ්නය අරබයා කවීන්ද්‍ර පී. ජයසිංහයන් අප වෙත පිළිගන්වන කවි මිණෙහි ද්විඛණ්ඩිත ද්විපාදීය චතුෂ්පද ආකෘතිය ද එහි සාර අන්තර්ගතය ද විසින් අපගේ මතකයට ගෙන එනු ලබන්නේ ශ්‍රේෂ්ඨ පර්සියානු කිවිඳු ඔමාර් ඛයියාම් තම අභිකෘතිය වූ රුබෙයියාට්හි සඳහන් කළ මතු දැක්වෙන අදහස ය. රුබෙයියාට්හි සම්භාවනීය ඉංගිරිසි පරිවර්තනය වන 19 වන සියවසේ මැද දී පළ වූ එඩ්වර්ඩ් ෆිට්ස්ජෙරල්ඩ් පරිවර්තනය එම අදහස මෙසේ පවස යි:

Into this Universe, and why not knowing,
 Nor whence, like Water willy-nilly flowing:
And out of it, as Wind along the Waste,
 I know not whither, willy-nilly blowing.

මෙකී ධ්වනිතාර්ථපූර්ණ කව්මිණිමාලයෙන් උද්දීපනය වූ මඩවල සිරිසේන රත්නායකයෝ පසුගිය සියවසේ දෙවන භාගයේ දී පූර්වෝක්ත ඉංගිරිසි පද මෙලෙස රමණීය සිංහලයට පෙරළුහ:

මන්ද කියාලා කිසිවක් නො දනිමි
දිය දහරක් මෙන් ඇදෙමින් ආවෙමි
කොයි ද කියාවත් කිසිවක් නො දනිමි
මරු කතරක සුළඟක් මෙන් පිටවෙමි

ඛයියාම්ට පෙර ද පසු ද බොහෝ සුධීමත් මානවයෝ මානව ජීවිතය අලළා එකී අතිමූලික ප්‍රශ්නය ම නැඟූහ; නඟති; නැඟීමට නියමිත ය. ඇතන්ස්හි ප්ලේටෝගේ සිට මතුගම පී. ජයසිංහ දක්වා අසංඛ්‍ය මානව සමූහයක් විසින් විවිධාකාරයෙන් එම ප්‍රශ්නය විමසනු ලැබ ඇත. කවීන්ද්‍ර පී. ජයසිංහයන් එකී විමසීම කරනු වස් තම කාව්‍යයේ දී උපයෝගී කර ඇති ද්ව්‍යංගී ප්‍රතිවිරුද්ධතා විධික්‍රමය සැලකිය යුතු වැදගත්කමකින් යුක්ත ය. 

ජීවිතය මැටි පිඬකි
කුඩා දරුවෙකු අත
කුරුල්ලන් සේ ම
නයින් ද ඉන් හැදෙත

මෙහි කුරුල්ලන් යන සංඥාව විසින් හැඟවුම්කරණය වන මෘදු අහිංසකත්වය සේ ම එහි රූපික ප්‍රතිවිරුද්ධතාව වන නාගයන් යන සංඳාව විසින් හැඟවුම්කරණය වන දෘඪ ක්‍රෑරත්වය ද ජීවිතය නම් එක ම  මැටි පිඬකින් ම ජනිත වන අයුරු කවියා නිරූපණය කරයි. එම ප්‍රතිවිරුද්ධ නිර්මාණවල නිර්මාණකරුවා ලෙස කුඩා දරුවකු යෙදවීම ජීවිත පරිඥානය සම්බන්ධයෙන් මානවයාගේ නොපිරිපුන් දුරවබෝධය නිරූපණය කරනු වස් ඖචිත්‍ය කාව්‍යෝක්ති සැකසීමකි. 

හැඬුමත් සිනාවත්
දෙක ම එක දිය ම ය
සුවඳ ද පිළී දුගඳ ද
හැඟීම් මාත්‍රයක් පමණ ය

මම සිටිමි ද මැරී ඇත් ද
නො දනිමි නො හැඟේ ය
කුමක් වුවත් කුමට ද
අප හැම තරු දුහුවිලි ය

හැඬුම-සිනාව, සුවඳ-දුගඳ, සිටීම-මැරීම ඈ රූපික ප්‍රතිවිරුද්ධතාවන් අන්‍යෝන්‍ය ලෙස අභිමුඛ කර තම කාව්‍යාහිප්‍රේතාර්ථය වූ ජීවිතයේ සාරයන් ප්‍රශ්න කිරීම වඩාත් තීව්‍ර කිරීමට කවින්ද්‍ර පී. ජයසිංහයන් ප්‍රශංසනීය වෑයමක් දරා ඇත. 

මානව ජීවිතය පිළිබඳ රූපික ව එකිනෙකට ප්‍රතිපක්ෂ වන ද්ව්‍යංගී ප්‍රතිවිරුද්ධතාවන් පැවතීම නිෂේධනීය ද? නැත හොත් සාධනීය ද?

19 වන සියවස දක්වා ම පැවති සම්භාව්‍ය හෙවත් ඇරිස්ටෝටලියානු රූපික තර්ක ශාස්ත්‍රය මත පදනම් වූ විශ්ලේෂණ විධික්‍රමය තුළ නම් කළු හෝ සුදු හෝ ය; දෙකෙන් එකක් පමණි. නැත හොත් හොඳ හෝ නරක හෝ ය; දෙකෙන් එකක් පමණි. හොඳ ය යි සලකන ලද දෙය පැවතිය යුතු බවත් නරක නොපැවතිය යුතු බවත් එකී ශික්ෂාව පවත්වා ගැනීම පරම මානව කාර්යභාරයක් බවත් පිළිගැනිණි. මානව සංහතියේ ඉතිහාසය පුරා මහත් ව්‍යසනයන් ඇති වූයේ මෙලෙස හොඳ ය යි සලකනු ලැබූ සාරයන් ප්‍රවර්ධනයටත් නරක ය යි සලකනු ලැබූ අසාරයන් නාශනයටත් මානව වර්ගයා සිදු කළ ගැටුම් නිසා ය. 

යමක් හොඳ වීමත් එහි රූපික ප්‍රතිවිරුද්ධතාව නරක වීමත් නිර්ණය වූයේ කෙසේ ද? සත්‍ය ලෙස ම එකී නිර්ණය සඳහා සර්වත්‍ර ව පිළිගත හැකි නිර්ණායකයෝ කිසි කලෙක නොපැවතියෝ ය. 

හොඳ සහ නරක අතර ද්ව්‍යංගී ප්‍රතිවිරුද්ධතාව වූ කලී මානව ශිෂ්ටාචාරය පුරාවට ම අතිමහත් බලපෑමක් කළ, එහි ප්‍රගමනයේ දිශානතිය නිර්ණය කළ ඉතා වැදගත් සාධකයකි. මානව සංහතියේ ප්‍රගමනයේ සුවිශේෂි සංධිස්ථානයන් සනිටුවහන් කෙරී ඇත්තේ මෙකී හොඳ-නරක පිළිබඳ ඒ ඒ යුගවල, ඒ ඒ මානවයන් හෝ මානව සමූහයා හෝ ලබා දුන් අර්ථකථන අනුව ය. එකී අර්ථකථන පදනම් වන්නේ සලකනු ලබන යුගයේ අධිපති දෘෂ්ටිවාදය මත ය. අධිපති දෘෂ්ටිවාදයට පරිබාහිර දෘෂ්ටිවාදයෝ ද ඒවා දරන්නෝ ද සම්මත සමාජයයේ සීමා මායිමෙන් ඉවතට පිටමං කරනු ලබති. 

හොඳ හෝ නරක හෝ නිර්ණය කිරීමේ නිර්ණායක ව්‍යාකූල ව පවතින තත්ත්වයක් යටතේ දී එකී ද්විරූපකය මත පදනම් ව සමාජයේ එක් කොටසක් පහත හෙළා තවත් කොටසක් උත්කර්ෂණයට ලක් කිරීම පරම ප්‍රතිගාමී අස්ථානයකි. 

කවීන්ද්‍ර පී. ජයසිංහයෝ මෙම කරුණ තම කවි මිණෙහි මෙලෙස පවසති:

අනන්ත කාලයක
ඉමක් නො පෙනෙන විශ්වයක
හොඳ නරක සොයා කුමට ද
ඔබට ඔබවත් හමු වෙද

කෙතරම් ප්‍රශස්ත කාව්‍යකරණ සුරුවිරුකමක් ද මෙය? මාහැඟි ය. එමතු නො ව කවීන්ද්‍ර පී. ජයසිංහයෝ එකී ද්විරූපික විඛණ්ඩනයේ ව්‍යාකූලත්වය මනරම් කාව්‍යෝක්තියකට ද නඟති:

කුරුල්ලාට ද නාගයාට ද
තමා අහිංසකයෙකි
ආදරය සොයා යන
දඩයක්කාරයින් මැද

යන චතුෂ්පාදයේ දී කවීන්ද්‍ර පී. ජයසිංහයෝ හොඳ-නරක පිළිබඳ සරාර්ථවල ඇති සාපේක්ෂ බව කාව්‍යරූපී ව ඉස්මතු කරති. 

හොඳ යනු කුමක් ද යන්න මානව සංහතියේ දාර්ශනික දැනුම් සංශ්ලේෂණයේ පූර්වකාලීන යුගවල සිට ම කතිකාවට බඳුන් වූ ප්‍රශ්නයක් බව පෙනේ. ආදී ග්‍රීක දාර්ශනික ප්ලේටෝ විසින් හොඳ යන්න විග්‍රහ කරන ලද්දේ සාංකල්පික “සාමාන්‍යයන්” පිළිබඳ දැනුම ලෙස ය. ප්ලේටෝ තම “ජනරජය” සංවාදයේ දී විග්‍රහ කරන අයුරු ප්ලේටෝනියානු “සාමාන්‍යයන්” යනු ද්‍රව්‍යමය යථාර්ථයන් නො වූ අතර එවා “සාංකල්පික හොඳ”  නමැති “දිව්‍යමය” සංකල්පයන් විණ. ප්ලේටෝට අනුව ලෝකයේ පවතින සියලු හොඳ (යහපත්) දේ දිව්‍යමය හොඳට අනුරූප ව ව්‍යුත්පන්න කර ගනු ලබන දේ ය. මෙය “සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලදී” යන ආගමික විශ්වාසය තුළ එළඹ ගත් අස්ථානයකි. හොඳ සහ නරක පිළිබඳ මෙකී ආගමික නැඹුරුව කෙතරම් ප්‍රබල වී ද යත් හොඳ පිළිබඳ ප්ලේටෝනියානු සංකල්පයට එරෙහි වී එය ද්‍රව්‍යමය ආකාරයකට විස්තීරණය කළ ඇරිස්ටෝටල් ද දෙවියන් වහන්සේ පිළිබඳ භක්තිය අභිභවා පුද්ගල නිදහස පිළිබඳ කතිකාව ප්‍රමුඛත්වය පැමිණි යුරෝපයේ බුද්ධි යුගය තුළ සමාජ එකඟත්වය පිළිබඳ කතිකාව සැකසූ ශන්-ශක් රූසෝ ද පුද්ගල නිදහසෙන් යම් ප්‍රමාණයක් රාජ්‍ය නම් පොදු සංස්ථාපිතය සඳහා කැපකිරීමේ කතිකාව සැකසූ තොමස් හොබ්ස් ද පුද්ගල නිදහස සුරැකීමේ වගකීම රාජ්‍ය සංස්ථාපිතයට පැවරීමේ කතිකාව සැකසූ ජෝන් ලොක් ද ස්වභාවික යුක්තිය පිළිබඳ කතිකාව සැකසූ හියුගෝ ග්‍රෝශස් ද කිසියම් ක්‍රියාවක හොඳ හෝ නරක හෝ නිර්ණය කිරීමේ දී එම ක්‍රියාවේ ප්‍රතිඵල නො ව එකී ක්‍රියාවේ නෛසර්ගික සාරය ම සැලකීමේ කතිකාව (යුක්තිවේදය) සැකසූ එම්මැනුවෙල් කාන්ට් ද ආගමික නැඹුරුවෙන් සම්පූර්ණයෙන් ම මිදුණු බවක් නො පෙනේ. 

කාන්ට්ට ප්‍රතිපක්ෂ ව යමින් කිසියම්  ක්‍රියාවක හොඳ හෝ නරක හෝ නිර්ණය කිරීමේ දී එම ක්‍රියාවේ ප්‍රතිඵලය සැලකීමේ කතිකාව (උපයෝග්‍යතාවාදය) සැකසූ ජෙරමි බෙන්තම් හා ස්ටුවර්ට් මිල් ද ප්‍රපංචයන්ගේ තාර්කික (පරිමේය) ස්ථාවරය මත ඒවා ඇගයීමේ කතිකාව සැකසූ විල්හෙම් හේගල් ද දකුණු (වෘද්ධ) හේගලියානුවන් ද වුව හොඳ සහ නරක පිළිබඳ ආගමික විග්‍රහයෙන් සම්පූර්ණයෙන් මිදු‍ණු බවක් නො පෙනේ. හොඳ සහ නරක පිළිබඳ එතෙක් පැවති විඥානවාදී කතිකාව උඩු යටිකුරු කරන ලද්දේ වම් (තරුණ) හේගලියානුවකු වූ කාල් මාර්ක්ස් විසිනි. දෙවියන් වහන්සේ විසින් ස්වකීය ස්වරූපයෙන් මිනිසා මවනු ලැබීම නො ව මිනිසා විසින් ස්වකීය ස්වරූපයෙන් දෙවියන් වහන්සේ මවනු ලැබීම සිදු වුණු බව මාර්ක්ස් විශ්වාස කළේ ය (මෙය ඔහු ලුඩ්විග් ෆොයර්බාක් සමඟ හවුලේ දරන ලද අස්ථානයකි). ආගමික නැඹුරුව ප්‍රතික්ෂේප කළ මාර්ක්ස් විසින් ආගම සලකන ලද්දේ සමාජයේ උපරිව්‍යුහයේ පවතින පූර්වතාර්කික (පූර්වපරිමේය) සංඝටකයක් ලෙස ය. මාර්ක්ස්ගේ ලේඛන තුළ හොඳ, නරක, සදාචාරවත් ආදී ව්‍යාකූල වදන් ඉතා විරල ය. ඔහුට වැදගත් වූයේ ක්‍රියාවක දිශානතිය සමාජ ප්‍රගමනයේ ප්‍රගතිය දෙසට යොමු වේ ද නැත හොත් සමාජ ප්‍රගමනයේ ප්‍රගතියෙන් ඉවතට යොමු වේ ද යන්න ය. 

වාම (තරුණ) හේගල්වාදය සමඟ එක මඟ පිය නඟන කාල් මාර්ක්ස්  එක් සංධිස්ථානයක දී හේගල්වාදයට සමුදෙමින් සම්ප්‍රදානය කරන වැදගත් ම විශ්ලේෂණ විධික්‍රමය වන්නේ අපෝහක භෞතිකවාදය යි. ප්‍රවාද- ප්‍රතිවාද-සහවාද යන ත්‍රිපාදීය සූත්‍රය ඇසුරින් රූපික ප්‍රතිවිරුද්ධතාවන්ගේ අන්‍යෝන්‍ය ඝට්ටනය, නිෂේධනය, අන්තර්විනිවිදීම හා පොළාපැනීම මඟින් සිදුවන ප්‍රගමනය හැඟවුම්කරණය වන අපෝහකය හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ හේගල්ට ය (පෙරදිග දර්ශනයේ ද මීට සමාන විධික්‍රමයක් පැවති බව නාගාර්ජුන, ධර්මකීර්ති, දිග්නාග වැනි පෙරදිග දාර්ශනිකයන්ගේ සම්ප්‍රදානය විමර්ශනය කළ විට දැක ගත හැකි ය). එහෙත් හේගල් විසින් අපෝහකය භාවිතා කරන ලද්දේ වියුක්ත විඥානවාදී ආකාරයකට ය. විඥානවාදී අපෝහකය හෞතිකවාදී අපෝහකයක් බවට පත් කරනු ලබන්නේ මාර්ක්ස් විසිනි. හේගල් විසින් හිස මත සිටුවා තිබූ අපෝහකය තමා විසින් දෙපා මත සිටුවන ලද බව මාර්ක්ස් තම අභිකෘතිය වූ දාස් කැපිටාල්හි‍ පෙරවදනෙහි සඳහන් කරන්නේ එකී හේතුව නිසා ය.

අපෝහක භෞතිකවාදය

අපෝහක විශ්ලේෂණ විධික්‍රමය අනුව ප්‍රතිවිරුද්ධතාවන්ගේ පැවත්ම යනු අවසාන වශයෙන් සාධනීය කරුණකි. කුමක් නිසා ද යත් එකී ප්‍රතිවිරුද්ධතාවන්ගේ (ප්‍රවාද හා ප්‍රතිවාද) ගැටීම විසින් අවසානයේදී නව්‍ය ප්‍රගමනයක් (සහවාද) ජනනය කෙරෙන බැවින් ය. මානව සංහතියේ ඉදිරි ගමන ට දායක වන ගාමක බලය වන්නේ ප්‍රවාද බිහි වීම, එවාට ප්‍රතිවිරුද්ධ ව ඒවා නිෂේධනය කරමින් ප්‍රතිවාද බිහි වීම සහ එකී ප්‍රවාද-ප්‍රතිවාද ගැටීමෙන් නව සහවාද බිහි වීම ය. 
 
කවීන්ද්‍ර පී. ජයසිංහයන් තම කවි මිණ පබඳින්නට ප්‍රයෝජ්‍ය කළ ද්ව්‍යංගී ප්‍රතිවිරුද්ධතා විධික්‍රමය වූ කලී  මාර්ක්ස්ට, එංගල්ස්ට හා ප්ලෙකානොව්ට පසු ව වාග්විද්‍යා දර්ශනය තුළ ස්වාධීන ව විශාල වර්ධනයක් ලැබූ විශ්ලේෂණ විධික්‍රමයකි. ෆර්ඩිනන්ඩ් ඩී සෝෂුවර්ගේ සිට ශක් ඩෙරිඩා දක්වා ශතවර්ෂයක පමණ කාලයක් පුරා ප්‍රංශ ව්‍යුහවාදය ආලෝකමත් කළ ද්ව්‍යංගී ප්‍රතිවිරුද්ධතා විධික්‍රමය තුළ ප්‍රතිවිරුද්ධ අර්ථ ඇති වදන් යුග්ම යනු විසංවාදයන් නො ව අන්‍යෝන්‍ය ලෙස අනුපූරක ස්ථිතීන් ය. එපිළිබඳ සාකච්ඡා කිරීම අපි මෙම ලිපියෙන් නො කරන්නෙමු. යථා කාලයේ දී අදාළ සන්දර්භයන් තුළ එපිළිබඳ සාකච්ඡා කරමු.
 
කවීන්ද්‍ර පී. ජයසිංහයෝ රමණීය කවි බසකින් කව්මිණිමාලයක් නිමවති. ඔවුන්ගේ කාව්‍යාත්මක හද සමඟ ඒකාත්ම වන රසික ජනයා හෙවත් සමාන හදැති සහෘදයෝ එකී කාව්‍යාස්වාදයෙන් ස්වකීය ආනන්ද මණ්ඩලයේ නිම් වළලු සම්ප්‍රසාරණය කර ගනිති. එලෙස ආනන්දයෙන් උද්දීපනය වන සහෘද මනස කවීන්ද්‍ර පී. ජයසිංහයන් පවසන ද්ව්‍යංගී ප්‍රතිවිරුද්ධතාවන්ගේ සමතුලිතතාව වඩාත් සුපුෂ්පිත හා සුපරිපූර්ණ අන්තය වෙත යොමු කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ සිතා බලයි. එයට බාධා කරන සතුරු සමාජ සම්බන්ධතාවන් මොනවා ද එම බාධා ජයගත හැකි වන්නේ කෙසේ ද යන කරුණු පිළිබඳ සහෘද මනස යොමු වේ. එනයින් සහෘදයෝ ස්වකීය ඥාන මණ්ඩලයේ නිම් වළලු ද සම්ප්‍රසාරණය කර ගනිති. මෙකී දෑ සිදුවන විට කවීන්ද්‍ර පී. ජයසිංහයන් තම කවි මිණ අවසන් කර නික්ම ගොස් ය. එහි කවර නම් වරදක් ද? කිසිඳු වරදක් නැත. කවියකු ලෙස තම කාර්යභාරය කවීන්ද්‍ර පී. ජයසිංහයන් අවබෝධ කර ගෙන ඇති බවට එය මනා සාක්ෂ්‍යයකි. ඔවුන්ගේ වචනයෙන් ම පවසතොත් කලාකරුවාගේ ප්‍රොටොකෝලය කවීන්ද්‍ර පී. ජයසිංහයෝ මනා ලෙස වටහා ගෙන සිටිති. 
 
කලාකරුවාගේ කාර්යභාරය වූ කලී සතතාභ්‍යාසයෙන් සහ ව්‍යුත්පන්නයෙන් ඔපවත් වූ තම ප්‍රතිභාව උපයුක්ත කර සහෘදයාගේ ආනන්ද මණ්ඩලයේ නිම් වළලු සම්ප්‍රසාරණය කරවා මානව ජීවිතය වඩාත් සුපුෂ්පිත සහ සුපරිපූර්ණ වීමට බාධා කරන පසමිතුරු සමාජ සම්බන්ධතාවල නිස්සාර ස්වභාවය ඉස්මතු කිරීමෙන් සහෘදයාගේ ඥාන මණ්ඩලයේ නිම් වළලු සම්ප්‍රසාරණය කරවීම ය. කලාකරුවාගේ කාර්යභාරය එතැනින් නිම ය. විශිෂ්ට කලාකෘති පරිශීලනයෙන් ආනන්ද-ඥාන මණ්ඩල ප්‍රකම්පනය වී නැඟී එන සහෘද මානවයාගේ විප්ලවිය විභවය උපයුක්ත කර සමාජ-දේශපාලන විප්ලවය සිදු කර මානව ජීවිතය වඩාත් සුපුෂ්පිත හා සුපරිපූර්ණ කිරීම දේශපාලන කාර්යයකි. ලියෝ ටෝල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැටපත වූ බව ලෙනින් ප්‍රකාශ කළේ පෙර කී කලාකරුවාගේ කාර්යභාරය සලකා ය. කලාකරුවා දේශපාලන මතවාද වැපිරීමට නිර්මාණ කිරීම කලාව ද දේශපාලනය ද යන දෙක ම පිරිහීමට හේතුවකි. කලාකරුවා දේශපාලන ප්‍රචාරණවාදියකු නො විය යුතු බව අපෝහක භෞතිකවාදය ඉතිහාසය හා කලාව කියවීමේ ක්‍රමවේදයක් බවට පත් කරවීමට යුගකාරක මෙහෙයක් සිදු කළ රුසියානු මාර්ක්ස්වාදයේ පීතෘ ජෝර්ජි ප්ලෙකානොව් ප්‍රකාශ කළේ ද ඉහත අර්ථයෙන් ය.
 
කවීන්ද්‍ර පී. ජයසිංහයන් තම කව්මිණිමාලය අවසන් කරන්නේ මෙලෙස ය:
 
ජීවිතය ගෙන දෝතට
යමු ද අපි කඳු මුදුනට
පා කර හරින්නට එය
දිශාවක් නො දත් සුළඟට
 
කවීන්ද්‍ර පී. ජයසිංහයන් අපට ජීවිතය දෝතට ගෙන කඳු මුදුනට යන්නට ඇරයුම් කරන්නේ ජීවිතය පිළිබඳ නීට්ෂියානු ශුන්‍යවාදී දර්ශනයකින් නො විය යුතු ය; උස් කඳු තැනිතලා මතින් පා වී වලා රොදක් සේ සැරිසරමින් මානව නිදහසේ රන්වන් කුසුම් දහසක සිරි නැරඹුමට විය යුතු ය. 
 
රසබර, හරබර මෙවන් මාහැඟි කව් මිණි තව තවත් පබඳින්නට මතුගම ඉද්දගොඩ මහවත්තේ අජිත් පී. ජයසිංහයනට කුසලතා වාසනා ලැබේවා! “දිශාවක් නො දත් සුළඟ” ද කවීන්ද්‍ර අජිත් පී. ජයසිංහ ශ්‍රී නාමය ද කව් රස විඳුමට සිතැති දුලබ දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රැව් පිළිරුව් දේවා!
 
බන්‍ධුල කුදලාගම,
 
ටෙරොන්ටෝව.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s