එක්සත් ජනපද ජනාධිපතිවරණය 2016

ට්‍රම්ප්, ක්ලින්ටන් සහ සැන්ඩර්ස්

එක්සත් ජනපදයේ 2016 වර්ෂයේ ජනාධිපතිවරණ නාමයෝජනා සඳහා සුදුස්සන් තෝරා ගැනීමට පැවැත්වෙන පුර්ව මැතිවරණ අපේක්ෂක තරඟය මේ වන විට තීරණාත්මක සංධිස්ථානයකට එළඹ තිබේ. වර්තමානයේ පාලන බලය හොබවන ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හිලරි ක්ලින්ටන් විසින් හිමි කර ගනු ලැබීමට නියමිත ය. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඇයට සැලකිය යුතු මට්ටමක හෝ අභියෝගයක් එල්ල කළ හැකි වූයේ යම් ආකාරයක මාර්ක්ස්වාදී දැක්මක් තිබූ බර්නි සැන්ඩර්ස්ට පමණි (සැන්ඩර්ස්ට අනුව නම් ඔහු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදියෙකි). මේ වන විට සැන්ඩර්ස්ගේ ජනාධිපතිවරණ සිහිනය බිඳ වැටී අවසන් ය. දේශපාලන බලාපහරණයේ සටකපට රැජිනියක වන හිලරි ක්ලින්ටන් මෙලෙස එක්සත් ජනපදයේ 45 වන ජනාධිපති තනතුර සඳහා වඩ වඩාත් ළං වීම වාමාංශිකයනට නම් එතරම් සතුටු විය හැකි තත්ත්වයක් නො වේ. 

රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හිමි කර ගනු ලබනු ඇති බව පැහැදිලි ය. ට්‍රම්ප්, ක්ලින්ටන්ට සාපේක්ෂ ව නම් සැර අඩු  රාක්ෂසයෙකි. එක්සත් ජනපද ජනාධිපති ධුරය සඳහා වන ක්ලින්ටන්-ට්‍රම්ප් තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බව එක්සත් ජනපද දේශපාලන විශ්ලේෂණ වාර්තා පවසයි. 

හිලරි ක්ලින්ටන් විසින් පසුගිය සමයේ සිදු කරන ලද දේශපාලන බලාපහරණයන් ද නොපනත්කම් ද දැන් දැන් මතු ව පැමිණේ. එක්සත් ජනපද ඉතිහාසයේ මෑත කාලීන ව බිහි වූ වඩාත් සාධනීය ම ජනාධිපතිවරයා ලෙස පිළිගැනෙන බැරක් ඔබාමා ද (අකමැත්තෙන් වුව) පවසන පරිදි ක්ලින්ටන් යනු ඉතිහාසයේ  එක්සත් ජනපද ජනාධිපති ධුරයට තරඟ වදින වඩාත් ම වෘත්තීය සුදුසුකම් ලත් අපේක්ෂිකාව ය. එහෙත් ඒ තරමට ම ඇගේ බලාපහරණ වාර්තාව ද අපකීර්තිමත් ය.  

ක්ලින්ටන්-ට්‍රම්ප් තරඟයට කුමක් සිදු විය හැකි ද යන්න අපි එක්සත් ජනපදයේ බර්ක්ලිහි කැලිෆෝර්නියා සරසවියේ දර්ශන අංශයේ අපගේ පැරණි මිතුරෙකුගෙන් විමසුවෙමු. ඔහුගේ අදහස නම් අප්‍රමාණ දූෂණ චෝදනා මධ්‍යයේ වුව ද එක්සත් ජනපද ජනතාව විසින් අවසානයේ දී හිලරි ක්ලින්ටන් තම 45 වන ජනාධිපති ලෙස පත් කර ගනු ලබනු ඇති බව ය. මෙය දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් විරුද්ධාභාසයකි. එක්සත් ජනපද ජනතාවගේ මනස අභිභවා හදවත ක්‍රියාවට  නැංවීමට තරම් හිලරි ක්ලින්ටන්ට ඇති දේශපාලන කරිස්මාව කුමක් ද? නැත හොත් මෙය දේශපාලනය පිළිබඳ සුසමාර්දශයන්ගේ විතැන් වීමක් ද? 

ශ්‍රී ලංකාද්වීපයේ පසුගිය සමයේ දී අභියෝගයකට ලක් කළ නො හැකි දේශපාලන කරිස්මාවක් තිබූ පාලකයෙකු දෙවරක් පරාජය කර වීමට තරම් සූරවීර දේශපාලන න්‍යායාචාර්යවරු සිංහල වියුණු (බ්ලොග්) ලොව සිටිති. එක්සත් ජනපද ජනාධිපතිවරණය පිළිබඳ ද ලාංකික හා ලෝක දේශපාලනය කෙරෙහි එක්සත් ජනපද ජනාධිපතිවරණයේ වැදගත්කම පිළිබඳ ද විග්‍රහයක් එම න්‍යායාචාර්යවරුන් විසින් කරනු ලැබිය යුතු බව අපගේ විශ්වාසය යි.  

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම. 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s