වියුණුකරණය පිළිබඳ අතීතාවලෝකනයක්

වියුණුකරණය (බ්ලොග්කරණය)

අපි කලකට පෙර වියුණුකරණයේ (බ්ලොග්කරණයේ) නිමග්න ව සිටියෙමු. 2005 වර්ෂයේ මුල් භාගයේ දී ඇරඹි එය පසු කලෙක නවතා දැමිණි. මුල් යුගයේ වමේ ව්‍යාපාරයේ  සිටි කුසල් (පෙරේරා) තම My Thought වියුණුව (බ්ලොගය) ඇරඹුවේ ද අප වියුණුකරණයට (බ්ලොග්කරණයට) පිවිසි එකී කාලයේ ම ය (වර්තමානයේ විවිධ තැන්වල සිටින වාම දේශපාලනය ගැන උනන්දු අප කවුරුත් කලක් සිටියේ බාහු සහෝදරයා සමඟ වීම අපූර්ව කරුණකි). අද පැරාගේ W3Lanka සේ මුල් යුගයේ දී සාරවත් සංවාද මණ්ඩපයක් ව පැවතියේ කුසල්ගේ My Thought ය. ඒකකේත පරිගණක අක්ෂර භාවිතයක් නො පැවතුණු එකල අප වියුණුකරණයේ (බ්ලොග්කරණයේ) යෙදුණේ ඉංගිරිසියෙන් පමණි. පුද්ගල පරිගණකවල ස්ථාපනය කළ හැකි Google Transliteration යෙදවුම හෝ එකල නො තිබිණ. අපගේ මතකයේ හැටියට blogspot අඩවිය එකල පවත්වාගෙන ගියේ Google Blogger ලෙස නො වේ. WordPress මතින් Moving Images ඹස්සේ වියුණුකරණයට (බ්ලොග්කරණයට) පිවිසි නාලක ගුණවර්ධන වුව සිංහලයෙන් සටහන් පළ කළේ 2011 හෝ 2012 හෝ කාලයේ සිට ය. අපගේ මතකයට අනුව කරූ පරණවිතාන වියුණුකරණයට (බ්ලෝගකරණයට) පිවිසෙන්නේ ද එම කාලයේ දී ය.

සංඝයා වහන්සේ දේශපාලනයට පිවිසීම අනවශ්‍ය මැදිහත්වීමක් බවත් සංඝ සමාජයේ සාර අභිලාෂයන් සමඟ එකී එළඹුම විසංවාදී බවත් පෙන්වා දෙමින් අප විසින් ලියැවුණු ශාස්ත්‍රීය ලිපියකින් කිපී සිටි කොළඹ සරසවියේ සිංහල මහා ජාතිකවාදී සහෝදරත්වය රාජගිරිය පැත්තේ තක්කඩින් රෑනක් සමඟ අටවා ගත් මොකක් දෝ “සවියක්” හරහා අප ලිවිය යුතු සහ නො ලිවිය යුතු දෑ පිළිබඳ “උපදෙස්” ලබා දෙන්නට ඉදිරිපත් විණ. අපගේ බ්ලොග් සටහන් පිළිබඳ ද ඔවුන්ගේ අවධානය යොමු විණ. සහ-සන්ධීය ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි නිසා “යූ.ඇන්.පී. කාරයෙකු” (!) යැයි ලේබලයක් ඇල වී තිබූ අපට “සිංහල කොටි” ලේබලය තදට ඇල වුණේ ද එම කාලයේ දී ම ය.  අප කෙදිනකවත් යූ.ඇන්.පී වූයේ නැත. ජාතික ප්‍රශ්නය විසඳීමට රනිල් වික්‍රමසිංහට තිබූ දැක්ම පිළිබඳ නම් එදත් අදත් අපට ඇගයීමක් ඇත. සිවරාම් ඝාතනය කෙරුණු කල කුසල් විසින් ලියැවුණු ලිපියක් යළි පළ කරමින් සරසවියේ දී සාකච්ඡාවට බඳුන් කිරීම නිසා පෙර කී සිංහල මහා ජාතිකවාදී තරුණ නඩයේ රුධිර ධාතුව රත් විණ. නඩරාජා රවිරාජ් අධිආරක්ෂිත කොළඹ නගරයේ දී ම ඝාතනය කරනු ලැබූ විට අප විසින් ලියැවුණු වියුණු (බ්ලොග්) සටහනකින් තත්ත්වය නරක අතට හැරිණි. ඉන්පසු එළඹි තදනන්තර සමයේ දී සිදු වූ අප්‍රසන්න සිදු වීම් සන්තතියක් සමඟ ම අප වියුණුකරණයෙන් (බ්ලොග්කරණයෙන්) දුරස්ථ විණි. වියුණුව (බ්ලොගය) ද ඉවත් කෙරිණි.

මුල් කාලයේ තරම් සංඛ්‍යාත්මක ව ඵලදායි නො වූව ද කුසල් නම් තවමත් ඉඳහිට සාරවත් වියුණු (බ්ලොග්) සටහන් පළ කරයි. නාලක නම් අලුත් නමකින් සරුසාර වියුණුකරණයක (බ්ලොග්කරණයක) යෙදෙන බව පෙනේ. දැන් ධනපති දේශපාලනයේ ඉහළට ගොස් සිටින පරණේ පෙර සේ වියුණුකරණයේ (බ්ලොග්කරණයේ) යෙදෙන්නේ ද යන්න අපි නො දනිමු. අප අවසන් වරට පරණේ ලියූ වියුණු (බ්ලොග්) සටහනක් කියවූයේ කාර්ඩිෆ්හි දී ය. එය ඔහු සුචරිත ගම්ලතුන්ගේ අභාවය අලළා ලියූ සටහනකි.

හිරු කණ්ඩායමෙන් පිටමං වුණු පැරා ඇරඹූ W3Lanka වර්තමානය වන විට සඵල කාර්යභාරයක් ඉටු කරන වියුණුවකි (බ්ලොගයකි). පැරා නිබඳ ව වැදගත් මාතෘකා කතිකාවට ගෙන එයි. පැරා භාෂා-සාහිත්‍ය-කලා  පිළිබඳ අවුළවන සංවාදය ඉතා වැදගත් ය. එතරම් වැදගත් කාර්යයක් ලංකාවේ සරසවිවලින් නම් සිදු නො වේ. ලංකාවේ සරසවිවල භාෂා අධ්‍යයන අංශවල භාෂා අධ්‍යයනය හැර අන් සියලු දේ සිදු කෙරේ. භාෂාව පිළිබඳ පර්යේෂණ කරනු වෙනුවට ඒවායේ දැන් කෙරෙන්නේ Women’s Studies ල! මෑතක දී එක සරසවි ලලනෝත්තමාවක ඇගේ භාෂා පර්යේෂණයකට අදාළ සාකච්ඡාවකට පැමිණ අපගෙන් විමසූයේ “Is there anything related to the women’s studies in the school of Rasa?” යන්න ය.  භරත මුනීනට හෝ අභිනවගුප්තවයනට හෝ රසවාද පිළිබඳ women’s studies කරන්නට වුවමනා වූයේ නැත. හේමපාල වි‍ජයවර්ධන වැනි අග්‍රගණ්‍ය භාරතීය සෞන්දර්යවේදීන් සිටි ලාංකීය සරසවිවල වර්තමාන තත්ත්වය එය ය.  පැරා වැරදියි කියන්නට හෝ අප කාලය වැය කර යමක් ලියන්නේ පැරාගේ සාධනීය කාර්යභාරයට කරන ඇගයීමක් ලෙස ය.

බන්‍ධුල කුදලාගම,

ටොරන්ටෝව. 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s