එක්සත් රාජධානි‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන් වීම

එක්සත් රාජධානියේ බහුතර ජනතාව එක්සත් රාජධානි යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව තීරණය කර ඇත. එක්සත් රාජධානි තව දුරටත් යුරෝපා සංගමය තුළ සිටිය යුතු ද නැත හොත් එයින් ඉවත් විය යුතු ද යන්න තීරණය කිරීම සඳහා පැවති ජනමතවිචාරණයේ අවසන් ප්‍රතිඵලය වූයේ එක්සත් රාජධානි යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු ය යන්න ය. 

ඩේවිඩ් කැමරන්

ජනමතවිචාරණය අවසන් වීමෙන් පසු රටවැසියන් අමතමින් අගමැති ඩේවිඩ් කැමරන් කළ කතාව ඉතා වැදගත් එකකි. යුරෝපා සංගමය පිළිබඳ තමන් දැරූ අස්ථානය පරාජය වීමෙන් පසු ශිෂ්ට සමාජයක දේශපාලනඥයෙකු හැසිරිය යුතු ආකාරය පිළිබඳ පරමාදර්ශයක් කැමරන්ගේ කතාව තුළ ගැබ් ව තිබේ.  යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බිරිතානින් ගත් තීරණයෙන් කන්සර්වෙටිව් පක්ෂය තුළ පසු ගිය සමයේ වර්ධනය වූ විසංවාදයන්ට කිසියම් සුජාතභාවයක් ලැබී ඇති බව පෙනේ. යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට ප්‍රබල හඬක් කන්සර්වෙටිව් පක්ෂය තුළින් ම මතු කිරීමටත් ඒ සඳහා බිරිතානි ජනමතය සැකසීමටත් සුවිශාල කාර්යභාරයක් කළ බිරිතානි පාර්ලිමේන්තුවේ රිදී සීනුව වන සමර්සෙට් ප්‍රාන්ත නියෝජිත ජේකොබ් රීස්-මොග් මෙම ජයග්‍රහණය ටෝරි පක්ෂ ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයක් වනු ඇති බව සලකයි.

ජේකොබ් රීස්මොග්

අපගේ විශ්වාසය නම් මෙම ජනමතවිචාරණ ප්‍රතිඵලය විසින් බිරිතානි දේශපාලනයේ වඩාත් සම්ප්‍රදායික පක්ෂය වන කන්සර්වෙටිව් පක්ෂයේ දේශපාලන දර්ශනයේ සැලකිය යුතු වෙනසක් සිදු කෙරෙනු ඇති  බව ය. කන්සර්වෙටිව් පක්ෂය ඉතා සෙමින් වෙනස් වන පක්ෂයකි. 19 වන සියවසේ සර් රොබර්ට් පීල්ගේ සුප්‍රකට ටැම්වර්ත් අධිප්‍රකාශයට පසු කන්සර්වෙටිව් පක්ෂ ඉතිහාසයේ වැදගත් ම විපර්යාසය මෙම ජනමතවිචාරණය ඔස්සේ සිදු වේ ද යන්න අපි බලා සිටිමු. 

කන්සර්වෙටිව් පක්ෂය හෝ ලේබර් පක්ෂය හෝ වෙනත් කවර පක්ෂයක් හෝ බලයට පැමිණිය ද බිරිතානින් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන සෘජු දේශපාලන ස්ථාවරය වෙනස් වන්නේ නැත. Brexit හි පශ්චාත් ආචරණයන් ශ්‍රී ලංකාවට වඩාත් බලපානු ඇත්තේ ආර්ථික සාධකයක් ලෙස ය (එය ලාංකික දේශපාලන ස්ථාවරයන්ට අනියම් බලපෑමක් කළ හැකි ය). 

සිරිසේන මහත්මා කැමරන් මතවාදයට සහය දීම සඳහා ලාංකීය සම්භවයක් ඇති බිරිතානින් දිරිමත් කිරීමට මෙරටින් නියෝජිතයන් යැවූ ව ද වික්‍රමසිංහ මහත්මා විශිෂ්ට විවෘත ලිපියක් ලියූ ව ද ලාංකීය සම්භවයක් ඇති බිරිතානිනටත් එහි වසන ලාංකිකයනටත් ඒවා එතරම් වැදගත් නැත. වික්‍රමසිංහ මහත්මාට ඇති අවබෝධය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඇස ගසා ගෙන සිටින සෙසු “නායකකාරාදීනට” නැත. 

යුරෝපා සංගමය පිළිබඳ ලාංකිකයනට ඇති අඳෝනාවල සාරය නිරූපණය කරන වයිබර් පණිවුඩයක් තෙමසකට පමණ පෙර අපගේ මිත්‍රයකු විසින් එවන ලදී. එමඟින් ඔහු විමසා තිබුණේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වුව හොත් ලාංකික වෛද්‍යවරුනට එංගලන්තයේ රැකියාවක් සොයා ගැනීම පහසු වන බවට පවතින මතය සත්‍යයක් ද යන්න ය. ලාංකික වෛද්‍ය කණ්ඩායමක් එසේ වන බව පවසමින් ලියූ සාවද්‍ය ප්‍රකාශනයක් එහි දී ඔහු විසින් උපුටා දක්වනු ලැබ තිබිණි. හංගේරියාවෙන් එංගලන්තයට පැමිණෙන වෛද්‍යවරුන් සංඛ්‍යාව අඩු වූ පමණින් රෝගීනට සතුනට මෙන් සලකන්නට පුරුදු වී සිටින බහුතර ලාංකික වෛද්‍යවරුනට එංගලන්තයේ සෞඛ්‍ය බාර කරන්නට එංගලන්තයේ වෛද්‍ය සභාවට මනෝ ව්‍යාධියක් නැත. යුරෝපා සංගමය පිළිබඳ මෙකී අදහස එට්කා පිළිබඳ අදහස නො ඉක්මවන බව මින් නො පෙනේ ද?

අගමැතිතුමා ඉංගිරිසියෙන් කුමක් ලියූ ව ද ඇතමකු එවා පරිවර්තනය කළ ද තවත් අය සැලකිය යුතු ලිපි උක්ත කාරණය අලළා ලියූ ව ද ලාංකික දේශපාලන විඥානය සදා කූපමණ්ඩුක ය.

බිරිතානින්ගේ මෙම ජනමතවිචාරණයේ ප්‍රතිඵලය ලාංකික ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරය ද වෘත්තීය සමිති අටමගලය ද වම්මුයි බබ්බුයි කියා ගන්නා සිවිල් ක්‍රියාකාරීන් ද එට්කාවට එරෙහි ව අපහරණය කරන ආකාරය ඉදිරියේ දී අපට දැක බලා ගත හැකි ය. ඉතිහාසය පුනර්කරණය වීමේ දී පළමු ව එය ඛේදවාචකයකි; දෙවනු ව එය විගඩමකි! ඛේදවාචකය එක්සත් රාජධානියේ ය. විගඩම ළඟ දී ම මේ කොදෙව්වේ දී දැක බලා ගත හැකි වනු ඇත

වික්‍රම වික්‍රමාදිත්‍ය වික්‍රමරත්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s