කථන භාෂණය

ව්‍යාකරණ ඕන ද? යන ප්‍රශ්නය සමහරුන් විමසනවා. ව්‍යාකරණ ඕන. ඒත් කථන භාෂණයේ දී සිංහලයේත් ඉංගිරිසියේත් ව්‍යතිරේක තිබෙනවා. අර ප්‍රතිද්විගුණනය (Reduplication) ගැන අප පසු ගිය දවසක සාකච්ඡා කළේ මූලික ව ම කථන භාෂණයට අදාළ ව යි. 

කථා ව්‍යවහා‍ර සම්ප්‍රදායන් (Colloquial Traditions) දක්ෂිණ එංගලන්තයේ ඉංගිරිසි ව්‍යවහාරයේත් තිබෙනවා. ලන්ඩනයේ Cockney සහ තේම්ස් නිම්නය අසබඩ Estuary යන ඉංගිරිසි ව්‍යවහාරයන් තුළ දක්ෂිණ එංගලන්තයේ සම්මත ඉංගිරියට අනුගත නො වන ව්‍යවහාරයන් තිබෙනවා. එංගලන්තයේ උතුරු දෙසට වන්නට ව්‍යවහාර වන ඉංගිරිසිය සම්මත ඉංගිරිසියට අනුගත වුණත් මාත්‍රා අවධාරණයේ විශාල වෙනස්කම් තිබෙනවා (මාත්‍රා අවධාරණය වැදගත් ද නැති  ද යන්න  ගැනත් විවිධ මත තිබෙනවා). ජෙෆ් බොයිකොට්, ඩේවිඩ් ලොයිඩ් වගේ යෝක්ෂයර් වැසියනට සවන් දුන්නොත් ඒ වෙනස හඳුනාගන්න පුළුවන්. දක්ෂ ක්‍රිකට් නායකයෙකු වුණු මයික් බ්‍රියර්ලි වගේ කේම්බ්‍රිජ්වල උගත් කෙනෙකුගේ ඉංගිරිසිය ලීඩ්ස්වල ඉංගිරිසියට වඩා වෙනස්. 

යක්කඩුවේ ප්‍රඥාරාම නා හිමි

සිංහලය ගැන කතා කරනවා නම් කාලයක් සංවාදයක් ආවා ලිඛිත භාෂණ සම්ප්‍රදායෙන් ම කථනය කළ යුතු ද කියලා. හෙළ හවුලේ ඇතැම්  අය එතන හිටියා. අප එතරම් ම අන්තයකට යන්නේ නැහැ. යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවන් ලිඛිත භාෂාවෙන් ම කථනය ගැන සාරගර්භ අදහස් දැක්වීමක් කළ කෙනෙකු වෙනවා. උන්නාන්සේ උන්නාන්සේගේ  සෝපාහසාත්මක භාෂාවෙන් මරු කතා කිව්වා ලිඛිත භාෂණ ව්‍යාකරණයෙන් ම කථනය ගැන. 

අප මේ සටහන ලියන්නේ හිතාමතා ම අප අනුයන කථන හාෂණයෙන්. හෙළ හවුලේ ඇතැම් අයගේ මළ කෝලම් නැති ව, එහෙත් වියරණ නො බිඳ කතා කළ හැකි යි. “මා නම් අනුයන්නේ ඒ ක්‍රමය”. ඒක දීර්ඝ කාලයක් ව්‍යවහාරයෙන් හැදෙන්න ඕන දෙයක්. ඉහත “මා නම් අනුයන්නේ ඒ ක්‍රමය” කිව්වා ම වියරණ  බිඳිලත් නැහැ; නුහුරකුත් නැහැ. “මා ගෙදර යනවා” කිව්ව ම වියරණ බිඳිලා නැහැ. එහි උක්තය වන්නේ “මා ගෙදර යනවා” යන වාක්‍ය ඛණ්ඩය යි. එහි අවසානයට වියරණානුකූල ව තිබිය යුතු “වේ” යන්න අධ්‍යහාරයෙන් ගත හැකි යි. “මම ගෙදර යමි” කියලා කිව්වොත් වගේ අහගෙන ඉන්න කෙනා අන්ද-මන්ද වෙන්නෙත් නැහැ. නන්දදාස කෝදාගොඩ, විනී විතාරණ, අරිසෙන් අහුබුදු වගේ  අය යස අගේට ඔය කිව්ව ප්‍රායෝගික ක්‍රමයට කතා කරලා තියෙනවා.  

මෑත ඉතිහාසයේ ලංකාද්වීප බැබළ වූ පැවිදි මහා පඬිවරුවනක් වූ යක්කඩුවේ ප්‍රඥාරාම නා හිමියන්ට නම් “මා යනවා“, “අප යනවා” වැනි ව්‍යවහාරයන් රුචිකර වුණේ නැත. උන් වහන්සේ තමන්ගේ සුපුරුදු අදීන වාග් විලාශයෙන් පහත අදහස් දක්වන්නේ වන කතා පොත් අංක 1 – මිතුරන් කෙටවීම නමැති පොතේ සංඥොපනයේ දී.

ව්‍යවහාර භාසාව ව්‍යාකරණානුකූල නොවේ” – මේ උගත් බොහෝ දෙනාගේ මතයයි. ඒ නිසාම අපේ සමහර පඬිවරු කථික මණ්ඩපවලදී පමණක් නොව, නිකම් කතාබහ කිරීමේදී පවා, ‘මම යනවා‘, ‘අපි යනවා‘ නොකියා, ‘මා යනවා‘, ‘අප යනවා‘ කියමින් තමුනුත් අමුතු තත්වයක් ඇති, අමුතුම වරිගයක අයවලුන් බව ඇඟවීමට උත්සාහ කරති. අවට අසා සිටින අය තොල් විකා සිනා කාගෙන සිටින බව බලබලාත්, සිංහල ගතියට, ජම්ම පුරුද්දට ඉබේ කියවුණු ‘අපි‘ යන්න ‘අප‘ කියා නැවත සකස් කොට, ‘අප යනවා‘ කියමින් හොදම වික්‍රම, හැබෑම හාස්කම්, හරිම පුදුම පෙළහර පාන බවද ඉතා ප්‍රකට ය; මට ද දැක පුරුදුය.

ව්‍යවහාර භාසාව ව්‍යාකරණානුකූල නොවේ ද? නොවේ නම් එකෙකුගෙන් කියවෙන අදහසක් අනිකා නිවැරදිව වටහා ගන්නේ කෙසේද? අදහස් අනුන්ට ඇඟෙන අන්දමට කියනවාය, ලියනවාට වැඩියෙන් ඇති ව්‍යාකරණය කුමක්ද? ‘ව්‍යාකරණය‘ කියන්නේ අමුතු විදියේ විච්චූර්ණ බඩුවක් ද? අමුතු හාස්කමක් ද? ඕනෑම ප්‍රයෝගයක් ව්‍යාකරණානුකූල වීමට ඕනෑ කරන එකම දෙය එය ‘ව්‍යාකරණානුකූලය‘ කියා පිළිගැනීමම විනා වෙන කුමක් ද?

සංස්කෘතයට වඩා ව්‍යාකරණ නීති රීතිවලින් බැඳ රැක ගත්, ව්‍යාකරණානුකූල භාසාවක් තවත් මිහිපිට තිබේ ද? ‘එතැන් පටන්‘ යන අර්ථය දීම සඳහා සංස්කෘතයේ භාවිත වන්නේ ‘නතඃ ප්‍රහෘති‘ යනුයි. මේ නම් ‘නතඃ ප්‍රහෘත්‍යා’ යන්නේ විකාර රූපයකි. එසේ නොපිළිගත හොත් එය අදහස් කරන විභක්ත්‍යාර්ථය පවා දීමට අපොහොසත් ව්‍යාකරණ විරෝධී ප්‍රයෝගයකි. “වෘත් = පැවතීමෙහි”, “වෘධ් = වැඩීමෙහි” මේ ධාතු සංස්කෘතයේ ඉතා ප්‍රකට ආත්මනේපද ධාතුය; වර්තමාන ක්‍රියා රූප: ‘වර්තතෙ‘, ‘වර්ධතෙ‘ කියා ය. බැරි වෙලාවත් “වර්තති, “වර්ධති” කියා පරස්මෛපද රූපහෙම ලියවුණොත් නම් මහාම බරපතළ ව්‍යාකරණ දෝසයකි. නමුත් මේ ධාතු දෙනෙක් ම අනාගත කාලයට ඒ ඒ පරස්මෛපද රූප ලැබෙයි. ‘වර්තති‘, ‘වර්ධති‘ කියා වර්තමානයට නරක් වූ මහා ව්‍යාකරණ දෝසයක් වූ ‘ඉ’ යන්න ‘වර්ත්ස්‍යති‘ කියා අනාගතයට හොඳ වූයේ, ව්‍යාකරණානුකූල වූයේ කෙසේ ද?

පාළියේ ‘රාජන්‘ ප්‍රකෘතියෙන් සම්බන්ධය ඇඟවීමට යෙදෙන නියම රූප – භාසාධර්මතාවට අනුව ලබාගත හැකි රූප – නම්: ‘රාජිනො‘; ‘රඤ්ඤො‘ යන දෙකයි. ‘රඤ්ඤස්ස‘ යන රූපය සාධු රූපයක් වන්නේ කෙසේ ද? එයින්ම ආධාරය ඇඟවීමට ‘රාජිනි‘, ‘රඤ්ඤි‘ යන රූප විනා ‘රඤ්ඤි‘ වෙනුවට ‘රඤ්ඤෙ‘ යන්නක් කෙසේ සාධු විය හැකි ද? ව්‍යාකරණානුකූල විය හැකි ද?

පාළියේ ආලපන පදයක් වසයෙන් පාවිච්චි කරන ‘භණෙ‘ යන රූපය නාමපදයක් ද? නාමපදයකින් විනා අනිකකින් ආලපනයක් ලැබෙයි ද? ‘භණෙ‘ යනු ‘මම කියම්‘ යන අර්ථයේ ක්‍රියාපදයකි. එය ඉංග්‍රීසියේ ‘අයි සේ‘ – ‘මම කියම්‘ යන්න ආලපන වෙලා තිවෙයනවා වගේ ආලපනයක් විය. මේ මොන ව්‍යාකරණ ද? මේවා ව්‍යාකරණානුකූලයි පිළිගන්නේ කෙසේ ද?

ස්ත්‍රී‘ යන්න වෙනුවට පාළියේ ‘ඉත්ථි‘, ‘ථි’ කියා රූප දෙකකි. පදයක මුල බැඳි අකුරක් තිබීම අච්චාරණයට අපහසු නිසා පාළියෙහිත් ව්‍යවහාරයේ පවතින ප්‍රාකෘත ආදී කොයි භාසාවකත් එවැනි රූප දෙවිධියකින් ව්‍යවහාර වෙයි. එක්කෝ ඒ සංයෝගයේ මුල් අකුර නැති වෙලා යයි; ‘ථි’ යන්න මෙනි. නැත්නම් ළඟ ඇති අකුරුවලට ගැළපෙන ස්වරයක් මුලට හෝ මැදට හෝ එයි; ‘ඉත්ථි‘; ‘ස්නාන‘ = ‘සිනාන‘, ‘නහාන‘ යනුවෙනි.

පාළියෙහිත් මෙසේ තිබියදී, ඒ ‘ස්ත්‍රී‘ යන්න අපේ භාසාවට ගැළපෙන හැටියට ‘ඉස්ත්‍රී‘ කියා මුලට ‘ඉ’ යන්න යොදා පාවිච්චි කිරීම නොගැළපෙන්නේ කවර නම් ව්‍යාකරණයකට ද? ඒ නිසා ළපටියන්, පිටිසරයන්ගෙන් කියවෙන හැටියට ලියන තරමට (කටින් කියන හැටියට කිරීම උසස්ම දියුණුවක් ලත් උත්තම ගුණයකි) හැදී සිටිනවුන්ගෙන් ලියවෙන ‘ඉස්ත්‍රී‘, ‘ඉස්කෝල‘, ‘ඉස්පිරිතාල‘ ආදිය සදොස් යයි කියන කටුගාන උගතුන් ගුරුවරයන් කරන්නේ කොයි තරම් මහ නොහොබිලාකමක් ද? එහෙත් මෙන්න පුදුමයෙනුත් පුදුමයක හැටි: ඒ උගත්තුම, ඒ ගුරුවරුම, ඒ මහා වෛයාකරණයෝම ඒ වෙනුවට ‘ඉතිරි‘ කියා මුලට ‘ඉ’ ලියා මහ නෙය්යාඩගම් ද කරති.

ගස් වැටේ‘, ‘මා ගමට යති‘ – මේ කවුරුත් පිළිගන්නා හොඳම ව්‍යාකරණානුකූල ප්‍රයෝග දෙකකි. හොඳින් විමසා බැලිය යුතුයි: ඇත්තටම මෙහි ඇති ව්‍යාකරණය කුමක් ද? මෙය කවර ව්‍යාකරණ ක්‍රමයකට ගැළපිය හැකි ද? කර්තෘපදය හා ක්‍රියාපදය වත් එකිනෙකට ගැළපේ ද? ඉතින් මේ ප්‍රයෝග ව්‍යාකරණානුකූල වූයේ කෙසේ ද? පිළිගැනීමෙන්ම පමණක් නොවේ ද? ඒ නිසා අපේ මිනිසුන් ව්‍යාකරණානුකූල නොවන ගම්මැදි භාසාවෙන් කතා කරන අසීලාචාර ගණයට නොවැටී ‘මම යනවා‘, ‘අපි යනවා‘ යනාදිය ව්‍යාකරණානුකූලයි කියා පිළිඅරගෙන ව්‍යාකරණ නොවරද්දා ලියන්නට මෙන්ම කියන්නටත් සූදානම් වෙනවා නරක ද?

ශිෂ්ටප්‍රයෝගාඃ සාධවඃ” යනු පෙරදිග පරණ පඬිවරයන් පිළිගත් ප්‍රධානම ප්‍රතිපත්තියයි. මෙයින් පැහැදිලි වන්නේ සිස්ටයන්ගේ යෙදුම්-භාසාව ව්‍යාකරණානුකූල බවයි. එයින්ම යම් භාසාවක් ව්‍යාකරණානුකූල නොවෙයි නම් එය අසිස්ට භාසාවක් බවත් එවැනි භාසාවක් කතාබහ කරන ජාතිය අසිස්ට අසීලාචාර මහම නැහැදිච්ච ජාතියක් බවත් ඉබේම ඔප්පු වෙයි. මෙහි තේරුම කුමක් ද? අපේ සිංහල ජාතිය කතාබහ කරන භාසාව ව්‍යාකරණානුකූල නොවෙයි නම්, උගත් නූගත් හැම සිංහලයාම ජාතියක් වසයෙන් අසිස්ට අසීලාචාර වනචර මිනිසුන් බව නේද?

දැන් සියලුම සිංහලයන්ගේ සිත් මේ බරපතල කාරණය පිලිබඳව බැරෑරුම් අන්දමට යොමු විය යුතුයයි සිතමි. අපේ භාසාව ව්‍යාකරණානුකූල කරගෙන සියලු සිංහලයෝම ජාතියක් වසයෙන් සීලාචාර වෙමු ද? නැත්නම් කවුරුත් උගත් නූගත් හැම දෙනාම පොදුවේ ව්‍යාකරණ වරද්ද වරද්දා කතාබස් කරමින් අසිස්ට අසීලාචාර වනචර ජාතියක් වෙමු ද? හිතාමතා තීරනයට බැසීම ඔබට බාරය.

එකක් නම් කාටවත්ම කොහොමවත්ම කවදාවත්ම වෙනස් කළ නොහැකි ලොකුම ඇත්තක්, හරිම හැබෑවක් මට කිය හැකිය. එනම්: ඉර හද පවතිනා තුරුම ජාතියක් වසයෙන් අපේ කටින්, ‘මා යනවා‘, ‘මා ගියා‘, ‘අප යනවා‘, ‘අප ගියා‘ කියා නම් කියවෙන්නේ නැතුවා නැතුවා නැතුවාමයි. උගත් පන්තිය පොත්පත්වල ලියකියවිලිවල එසේ ලියනවා විය හැකිය. නමුත් ඔවුන්ගෙනුත් කීයෙන් කීදෙනෙක්, සීයෙන් එක් කෙනෙක්වත්, කතාබහේදී ඒ සීලාචාර භාසාව පාවිච්චි කරද්ද? ඉතින් එසේ නම් කළ යුත්තේ කුමක් ද? අපේ පැරණි උගත් සිංහලයනුත් අනික් රටේ ලෝකේ කල්පනාකාරී පැරණියනුත් මොනම නීතියකටවත් මොනව ව්‍යාකරණයකටවත් නැති, වැඩි දෙනෙකු පාවිච්චි කරන, පරම්පරාගත නොයෙක් භාසා ප්‍රයෝග ‘ව්‍යාකරණානුකූලය‘ කියා පිළිගත්තාක් මෙන් අදත් කළ යුතුව තියෙන්නේ: අපේ භාසාවේ බොහෝ දෙනාගේ ව්‍යවහාරයෙහි පවත්නා, එවැනි වෙනස් නොවන, වෙනස් කරන්ටත් බැරි භාසා ප්‍රයෝග ‘ව්‍යාකරණානුකූලය‘ කියා පිළිගැනුම නේද?

බන්‍ධුල කුදලාගම,

ටොරන්ටෝව.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s