“මී මල් යළි පිපුණා”: කලා විචාරයේ විධික්‍රම ප්‍රශ්න කෙරෙන කාව්‍යයක්…

මී මල්

 

මී මල් යළි පිපුණා …
 
හැන්දෑවේ රන් එළියේ
මල් වැස්සක් වැස්සා
ඒ වැස්සෙන් පණ බීගෙන
මී මල් යළි පිපුණා
 
මී මල් නම් පිපුණි එහෙත්
පුංචි පුතා නැතුවා
 
ගල පාමුල පරඬැල් පත්
තෙමී සුවඳ දුන්නා
වැහි රැල්ලට තෙමුණ කූඹි
ගුල්වලට ම ඇදුණා
මද්දහනේ රත් වුණ ගල්
තෙමිලා දුම් දැම්මා
හේබා ගිය ළා තණ පත්
හිස ඔසවා බැලුවා
 
පුංචි කොබෙයි පුතු විතරක්
බිම වැතිරී හිටියා
ජීවිත බර පොළවට දී
සැහැල්ලුවෙන් හිටියා
 
මී පුප් ලද කොබෙයියන්ට
ලොවක් අහිමි වූවා
ඊයම් බරු කුරුළු හදේ
පතුලෙ කිඳා බැස්සා 
සදාකල්ම දුක් ගීයක
රන්කැටි පුතු හිටියා
රන්කැටි පුතු හිටියා
 
අජිත් පැරකුම් ජයසිංහ
2016 – 07 – 08

 

කිවියර පැරකුම් ජයසිංහයන් මී මල් පිළිබඳ ලියන මේ කවි පද නම් මාහැඟි යි. එහි බස සරල යි; සුමට යි; අරුත්බර යි; වස්තු බීජයට කදිමට පෑහෙයි. කිවියර පැරකුම් ජයසිංහන්ගේ සජීවී බස මත පා ව අපි අපගේ ළමා කල අත්විඳි වමත්කාරජනක අත්දැකීම් පෙළක් වෙත යළි එළ‍ෙඹමු. මාතලේ උකුවෙල ගෙවුණු යම් කාලයක දී අපි කිවියර පැරකුම් ජයසිංහයන් මවන මධුර-මනෝහර සංකල්පරූප ඉන්ද්‍රීයගෝචර ව අත්විඳියෙමු.  

හැන්දෑවේ රන් එළියේ – මල් වැස්සක් වැස්සා” යි පැවසෙන කල අපි එම මනරම් දර්ශනය දකින්නෙමු. එවදන් මුසුව තුළ කිවියර පැරකුම් ජයසිංහයෝ දෘශ්‍ය සංකල්පරෑප ජනනය කරති. “ගල පාමුල පරඬැල් පත් – තෙමී සුවඳ දුන්නා” යි පැවසෙන කල අපි එම සුවඳ ආඝ්‍රාණය කරන්නෙමු. එවදන් මුසුව තුළ කිවියර පැරකුම් ජයසිංහයෝ ආඝ්‍රාණ සංකල්පරූප ජනනය කරති. “මද්දහනේ රත් වුණ ගල් –  තෙමිලා දුම් දැම්මා” යි පැවසෙන කල එම උණුසුම අපට සංවේදනය වේ. එවදන් මුසුව තුළ කිවියර පැරකුම් ජයසිංහයෝ ස්පර්ශක සංකල්පරූප ජනනය කරති. මෙලෙස ජනනය වන සංකල්පරූප සමස්තය මන-නයන පොබවයි; ඒ දෙසට ම ආසක්ත කරවයි. 

හේබා ගිය ළා තණ පත් – හිස ඔසවා බැලුවා” යන්න පැසසිය යුතු කාව්‍යකරණ විධික්‍රමයකි. තණ පත් හිස ඔසවා බලන්නේ කවි සමයේ ය. එය රමණීය පුද්ගලාරෝපණයකි. එමඟින් කිවියර පැරකුම් ජයසිංහයන් මවන සංකල්පරූප තව තවත් තීව්‍ර වේ.    මෙවැනි සූර කවිකම් පෑවෝ එසේ මෙසේ කවීන්ද්‍රයෝ නො වෙති. උදාහරණ කීපයක් දක්වමු.

විලියම් වර්ඩ්වර්ත්හු I Wandered Lonely as a Cloud කාව්‍යයේ දී  මෙසේ පවසති:

I wandered lonely as a cloud 
That floats on high o’er vales and hills, 
When all at once I saw a crowd, 
A host, of golden daffodils; 
Beside the lake, beneath the trees, 
Fluttering and dancing in the breeze. 

කාලිදාසයෝ තම දූතයා වූ වලාකුළ අමතා මේඝ දූතයේ (41  වැනි ශ්ලෝකයේ) දී මෙසේ පවසන්නෝ ය: 

තස්‍යා කිඤ්චිත්කරධෘතමිව ප්‍රාප්තවානීරශාඛං නීත්වා නීලං සලිලවසනං මුක්තරොධොනිතම්ඛම් ප්‍රස්ථානං තෙ කථම්පි සඛෙ ලම්බමානස්‍යර භාවි, ඥතාසවාදො විවෘතජඝනාං කො විභාතුං සමර්ථඃ?” 

එම ලලනාවගේ (හෙවත් නදියේ) නීල සළුපට (හෙවත් නිල් දිය) නිතඹින් (හෙවත් දෙවුරින්) ඉවතට ඇදි කල (හෙවත් පිටත හෙළු කල) ඇය තම නග්න සිරුර යම්තම් වසා ගනු වස් වේවැල් මිටක් සිහින් දෙයතට ගත් ආකාරයෙන් දිස් වන විට (හෙවත් ඉවුරේ ඇති ගස්වල අතු නදී දිය මත ගැටෙන විට) ඒ විලාසය දකිමින් එහි ගැවසෙන ඔබට (වලාකුළට) ඉවතට යන්නට නො සිතෙයි. සැපත විඳි විරු අය, සළු හෙළා නිතඹ ‍පෙන්වා සිටින ලලනාවක කෙසේ හැර යත් ද?

කිවියර පැරකුම් ජයසිංහයන් කෙටි විරිතට මාත්‍රා ගළපන අයුරු සූර කවිකමක් පමණක් නො වේ; කාව්‍ය සන්දර්භය හා රසික සමූහයාගේ මනෝභාවය ධීමත් ව ග්‍රහණය කර ගැනීමක් ද වේ. මෙම අනර්ඝ පද සුගේය ලාක්ෂණික යි. මාතෘ ක්‍රෝධයේ  හඬන දරුවා සුමට වෘත්තයෙන් බැඳි නැළැවිලි ගීයෙන් සැනසෙන සේ රසික හද ද සුමට වෘත්තයෙන් බැඳි පැදියෙන් සැනසේ. සන්දර්භානුකූල ව කෙටි විරිත් යෙදීම කව්සිළුමිණ වැනි සම්භාව්‍ය ගී කාව්‍යවල ද දැක ගත හැකි යි. එහෙත් කිවියර පැරකුම් ජයසිංහයන් යොදා ඇති මාත්‍රා ගැළපීම පිංගලනාථයන්ගේ වෘත්තරත්නාකරයේ හෝ එළු සඳැස් ලකුණේ හෝ ප්‍රාකෘතික ව දැක ගත හැකි චිරන්තන විරිතක්  නො වේ. විරිත් බැඳීමෙන් ද වස්තු බීජයෙන් ද භාෂා ප්‍රයෝගයෙන් ද කාව්‍යෝක්ති නිපයුමෙන් ද කිවියර පැරකුම් ජයසිංහයන්ගේ කාව්‍යය ඥාතීත්වය පෙන්වනුයේ කුමරතුඟුවන්ගේ දොරට වැඩුමට ය. දොරට වැඩුම කියවීමෙන් අප ලද ආස්වාදය ද සංකල්පරූප මඟින් ලද චමත්කාරය ද කිවියර පැරකුම් ජයසිංහයන්ගේ කවි පෙළෙන්  ද නොමඳ ව ලද බව පවසන්නේ මන තුටින් ය. 

මී පුප් ලද කොබෙයියන්ට – ලොවක් අහිමි වූවා” යනු මෙම කාව්‍යට මූල වන ජනශ්‍රැතියේ එන “මී පුප් ලදින් දරු නො ලදින් – රන් කැටියා කෝ? කෝ?” යන දාරකවියොවෙන් කම්පිත ව කොබෙයි මව කළ හැඬූම කාව්‍යරූපී ව ‍යොදා ගැනුමකි. ඒ පවත මෙලෙස ය:

කැලේ ගහක මල් දැකලා නෙළා ගලේ වැනුවා
එමල් වේලි අඩු වෙනකොට දරුවන් ඇන මැරුව
සක් දෙවියෝ දිවැස් බලා වැස්සක් වැස්සෙව්වා
එමල් බෝ වි වරෙන් පුතේ අම්මා අඬගැහුවා

ජනශ්‍රැතියේ හෝ වෙනත් තැනෙක හෝ එන පවත එලෙස ම පවසන්නට කවියන් අනවශ්‍ය ය. කුස ජාතකය එලෙස ම පවසන්නට නම් කව්සිළුමිණක් කුමකට ද? චුල්ලධනුද්ධර ජාතකය එලෙස ම පවසන්නට නම් මනමේ කුමකට ද? කාව්‍යකරණයේ අභිලාෂයන් මැනවින් වටහා ගත් කිවියර පැරකුම් ජයසිංහයන් අපගේ පරම්පරාවේ බොහෝ දෙනෙකු කුඩා කල අසා ඇති කොබෙයියන්ගේ කතාව නවමු ආකාරයකට ඉදිරිපත් කර ඇත.

ඊයම් බරු කුරුළු හදේ – පතුලේ කිඳා බැස්සා” යනු නිර්මාණාත්මක කාව්‍යෝක්ති සැකසුමකි; වර්තමානය අතීතය හා සම්බන්ධ කරන සේතුවකි. කවියේ සමවාය සම්බන්ධය නො බිඳෙන සේ ද ඡන්දස නො බිඳෙන සේ ද “ඊයම් බරු” වැනි වදන් ද්වයයක් යොදා ඇති ආකාරය අපගේ පැසසුමට ලක් විය යුතු ය. කවි බස නො හඳුනන කවියෙකුට එවැනි පද බැඳීමක් කිරීමට අපහසු ය. කවි බස නො හැඳින කවිකම් කරන්නට යන බොහෝ කුකවියෝ නොනිසි වදන් ආගම කර කාව්‍ය රසය භංගත්වයට පත් කර ගනිති. කිවියර පැරකුම් ජයසිංහයෝ එසේ නො කර ගනිති.

ජනශ්‍රැතියට අනුව කොබෙයියන්ගේ හඬලෑමේ ධ්වනිය විසින් පැවසෙන්නේ “මී පුප් ලදින් දරු නො ලදින් – රන් කැටියා කෝ? කෝ?” යන දාරකවියෝවේ ශෝක ගීතය යි. කිවියර පැරකුම් ජයසිංහ තම මාහැඟි කාව්‍යය අවසන් කරන්නේ ද එම ධ්වනිථාර්ථය දෙන කවි තෙපාදයකින් ය: 

සදාකල්ම දුක් ගීයක
රන්කැටි පුතු හිටියා
රන්කැටි පුතු හිටියා

කොබෙයි පැටවුන්ගේ මරණයක් (මරනු ලැබීමක්) පිළිබඳ, එකී වදන කිසිඳු අවස්ථාවක නො යොදා, එකී අනුවේදනීය සිදුවීම රසික විත්තසන්තානයේ ප්‍රතිනිර්මාණය කරමින් කවියට නඟා ඇති අයුරු කාව්‍යකරණ සුරුවිරුකමක් නො වේ ද? එයින් ජනනය වන කරුණා-ශෝක රසභාවයන්ගෙන් කම්පිත අප මෙවන් ඛේදයක් කිසිඳු ජීවියෙකුට නො වේවා යි පතන්නට පෙලඹේ.

කිවියර පැරකුම් ජයසිංහ සූරීන්

මේ කාව්‍යය අරබයා අවැසි නම් කෙනෙකුට විවිධ අරුත් බිණිය හැකි ය. මෙවැනි කවියක් කිවියර පැරකුම් ජයසිංහයන් විසින් ලිය වී ඩබ්ලිව් තුන ලංකාහි පළ වී ඇති බව අපට වයිබර් මඟින් දැන් වූ වාම සහෝදරයෙක් “පැරා යුද විරෝධී කවියක් ද කොහෙ ද ලියලා ඔන්න ඒ ගමන” යි පැවසුවේ ය! අවශ්‍ය නම් කවිය තමනට අවැසි ලෙස කියවා “රුදුරු වෙඩි උණ්ඩයෙන් තම දරුවා  මියගිය මවකගේ ශෝක ගීය මෙය යි” යනුවෙන් “යුද විරෝධී කවියකි” යන්නට ඉදිරියෙන් ඇති කොටුවට හරි ලකුණක් දමා “නියම යි!” යනුවෙන් පැවසිය හැකි ය. තවත් අයෙකුට අවැසි නම් “රටේ ආර්ථිකය කඩා වැටීමෙන් තම දරුවාට කුසට අහරක් ලබා දීමට නො හැකි නිසා දරුවා මරා දැමූ මවකගේ පශ්චාත්තාපය” වැනි හැඳින්වීමක් ද කළ හැකි ය. 

එවැනි කියවීම් සඳහා කිවියර පැරකුම් ජයසිංහයන්ගේ කාව්‍ය නිර්මාණය විසින් ඉල්ලීමක් නො කරනු ලබන බව අපගේ විශ්වාසය යි. මෙම කවිය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ එහි පෙළ මත කරනු ලබන සෞන්දර්යවාදී කියවීමකි. “එසේ නම් මේ කවිය ගැන මාර්ක්ස්වාදී විචාරකයෙකු වන ඔබ මොන හත් ඉලව්වකට ලියනවා ද?” යන ප්‍රශ්නය ඇතමෙකු විසින් නඟනු ලැබිය හැකි ය. මීට දශක දෙකකට පමණ පෙර අගනගරයේ ග්‍රන්ථ ජනගතකිරීමක දී හමු වූ හතර වැනි ජාත්‍යන්තරයට සම්බන්ධ පක්ෂයක සහෝදරයෙක් එම ප්‍රශ්නය ම වෙනත් ආකාරයකට මෙසේ විමසුවේ ය: “වැඩවසම් පාලක පංතියට ප්‍රශස්ති ගැයීමට ලියූ සන්දේශ කාව්‍ය අගය කරමින් වාමාංශිකයෙකු වන ඔබ විචාර ලියන්නේ ඇයි?

මාර්ක්ස්වාදී විචාර කලාව යනු කලා කෘතියක් විමසුමට ඇති එක ම විධික්‍රමය නො වේ. ඇතැම් කලා කෘති විමසීමට ඒවායේ සන්දර්භයට අදාළ වෙනත් විචාර විධික්‍රම භාවිතා කිරීමට සිදු වේ. ට්‍රොට්ස්කි පවා ඒ බව පිළිගෙන තිබේ. වැඩවසම් පාලක පංතියට ලියූ ප්‍රශස්ති ලෙස සලකා සම්භාව්‍ය සිංහල සාහිත්‍යය ද ආගමික බණ කතා ලෙස සලකා පාලි සාහිත්‍යය ද පුරුෂෝත්තමවාදී ප්‍රකාශන ලෙස සලකා සංස්කෘත සාහිත්‍යය ද විඥානවාදී පල් හෑලි ලෙස සලකා යුරෝපීය රොමෑන්තික සාහිත්‍යය ද කුණු කූඩයට දමන්නේ නම් සාහිත්‍යකලා ලෙස අප‍ට ඉතිරි වන්නේ මොනවා ද? විප්ලවය සඳහා ලියූ ප්‍රචාරණවාදී ලේඛන කීපයක්  හා වෙනත් කෘති කීපයක් පමණකි. මාර්ක්ස්වාදීන් එවැනි ප්‍රතිගාමී අස්ථානයක් අනුයන්නේ නැත. රුසියානු මාර්ක්ස්වාදයේ පීතෘ  වූ ප්ලෙකානොව් ද පරමාදර්ශී මාර්ක්ස්වාදී විප්ලවයක නායකයා වූ ලෙනින් ද මාර්ක්ස්වාදී විචාර කලාව පිළිබඳ වැදගත් ම සම්ප්‍රදානයක් කළ ට්‍රොට්ස්කි ද දේශපාලන ප්‍රචාරණය සඳහා කලාව අවභාවිතා කිරීමට සපුරා විරුද්ධ වූහ. අප අනුයන්නේ ද ඒ සුධීමතුන්ගේ මඟ ය.

කිවියර පැරකුම් ජයසිංහයන්ගේ මෙම කවිය විචාරය කිරීමට අප විසින් ව්‍යවහාර කරන ලද විචාර විධික්‍රමය භාරතීය රසවාද ද අලංකාරවාද ද ධ්වනිවාද ද ගුණවාද ද න්‍යායවාද ද යුරෝපීය භාවිත විචාර විධික්‍රමය ද ඇසුරෙන් ව්‍යුත්පන්න කර ගත් එකකි. ‍සාහිත්‍ය පෙළ මත ම කියවනු ලැබිය යුතු කෘති සඳහා එකී විධික්‍රමය යෝග්‍ය ය. මාර්ක්ස්වාදය සෞන්දර්යවාදයට පිළිමල් නැත. කලා කෘති විචාරයට ඇති එක ම විධික්‍රමය මාර්ක්ස්වාදී විචාරය හෝ පශ්චාත් මාර්ක්ස්වාදී විචාරය හෝ ව්‍යුහවාදී විචාරය හෝ පශ්චාත් ව්‍යුහවාදී විචාරය හෝ පමණක් නො වේ

කිවියර පැරකුම් ජයසිංහයන්ගේමී මල් යළි පිපුණා” නම් මාහැඟි කාව්‍යය නිසරු ව ගොස් වල් වැදි සිංහල කවි කෙතෙන් මතු ව පැමිණි මී මල් ශාකයකි. ඒ මී මල් රසයෙන් අපි කුල්මත් වන්නෙමු. ප්‍රාමාණික ශාස්ත්‍රාලීය ශාස්ත්‍රවන්තියක වන මා ප්‍රිය මැණිකේ ද මෙම කවිය තම මුහුණු පොතේ උපුටා දක්වා තිබූ බව දුටුවෙමු. ගුණදාස අමරසේකරයන්ගෙන් පසු යුගයේ කවියකු ඇය විසින් අගයනු ලබනු අප අසා හෝ දැක හෝ ඇත්තේ ඉතා කලාතුරකින් බව පවසන්නේ කිවියර පැරකුම් ජයසිංහයනට කරනා ගෞරවයක් ලෙස ය. සුවහසක් සහෘද සජ්ජනයා ද මේ අනර්ඝ කාව්‍ය නිර්මාණය රස විඳින බවට අපට නැත සැක. 

බන්‍ධුල කුදලාගම,

ටොරන්ටෝව.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s