පොත් තුනක් ගැන කතාබහක්

අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරකු නවකතා තුනක් පිළිබඳ විචාරයක් (ඔහුට අනුව රසවින්දනයක්) පළ කර ඇත. එම නවකතා තුන නම් Sholokhov ගේ   “And Quietly Flows the Donමහින්ද සෙනරත් ගමගේ පරිවර්තනය, පී.බී. ජයසේකරගේමරියා සිලොනිකා වස්තුව” සහ කිසි යම් ස්ත්‍රියක් විසින් ලියන ලද ඇගේ කතාව පිළිබඳ නවකතාවක් ය. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා මෙම නවකතා තුන අගයන්නේ මූලික ව ම එම නවකතා තුන මඟින් වමටත් වාමාංශිකයනටත් දැඩි විවේචනයක් එල්ල වී අති නිසා බව ඔහු පවසයි. වම හැර ගොස් ලිබරල්වාදය සමඟ සහවාස වූ භ්‍රෂ්ටයකුගෙන් එයට වැඩි ප්‍රතිචාරයක් වාමාංශිකයනට බලාපොරොත්තු වන්නට ද නොහැකි ය. පහතින් දැක්වෙන්නේ එම විචාරය/රසවින්දනය පිළිබඳත් එම නවකතා තුන පිළිබඳත් අප විසින් කරන ලද අවිධිමත් අදහස් දැක්වීමකි. එම අදහස් දැක්වීම අපගේ පැරණි විශ්‍රාමික වාමාංශිකය මිතුරා  අමතන ආකාරයෙන් කථන භාෂණයෙන් ලිය වී ඇති බව සලකන්න. 

ඇයි ඔබ Pasternak ගේ “Doctor Zhivago” ත් උඩ දාන්නේ නැත්තේ? එපමණ යි මෙතනට අඩු දැන්. වමට මඩ ගහන්න ඒක ලියුවාට Pasternak ට ඔබගේ ධනවාදී සංස්ථාපිතය විසින් අර ඩයිනමයිට් සම්මානය පුදනු ලැබුවා නේ. ඕන නම් සරච්චන්ද්‍රයන්ගේ හෙට එච්චර කළුවර නැහැත් එකතු කර ගන්න පුළුවනි මෙතනට. ජානකීගේ වචනයකින් කියනවා නම් එතකොට “ෂෝයි”. හැබැ යි එක දෙයක් කියන්න ඕන: Pasternak ට හෝ සරච්චන්ද්‍රයනට හෝ තිබුණු භාෂාව ව්‍යවහාර කිරීමේ හැකියාව (වචන ගැළපීම ඇතුළු ව) නම් ඔබ ඔය උඩ දාන නෝනලාට නැහැ. සුනේත්‍රා කෙසේ වෙතත් අර අනිත් ස්ත්‍රී රත්නයට නම්  ඒක ගෑවිලාවත් නැහැ. 

ඔය ස්ත්‍රී රත්නය විසින් විරචිත පල් හෑල්ල කවුරුන් හෝ හිතවතෙකු අපට එවා තිබුණා. අපරාදේ ඒක අපට එව්වේ. අප කියවීමට ඇති බැඳීම නිසා ම ඕකත් කියවන්න ගත්තා. පිටු දහයක් විතර කියෙව්වා. අනේ! අපො යි! ශික්ෂණයක් ඇති කෙනෙකුට කියවන්න පුළුවන් පොතක් ද ඕක? කුණු ගඳේ ඔක්කාරයට එනවා. අප ඉක්මනින් පුස්තකාල කාමරයෙන් එළියට පැන ගත්තා. සෑහෙන කාලයක් දූවිල්ල තට්ටු වැදිලා තිබ්බ ඔබ ඔය උඩ දාන ග්‍රන්ථ රත්නයේ ඉතුරු ටික කියෙව්වේ මේ මෑතක දී. ඒ ඔබ නිසා ම යි. පොත කියවීමට පෙර ඩොම්පෙරිඩෝන් මිලිග්‍රෑම් දහයක් බොන්න වුණා වමනයට එන එක පාලනය කර ගන්න. අප දැනන් හිටියා ඔබ කොයි වෙලාවක හරි ඔය නෝනා අභ්‍යවකාශගතකරණයට යමක් ලියන බව. ඔබ ඔය පොත ගැන හෝ ඔබේ  විචාරය/ප්‍රචාරය ගැන හෝ පොඩි පූර්ව දැනුම්දීමක් කළා මීට මාසයකට විතර කලින්.  

And Quiet Flows The Don

ඔබ කියවා තිබූ පොත්වලින් Sholokhov ගේ “And Quietly Flows the Don” වැදගත් එකක්. අප ඉංගිරිසියෙන් සිංහලයට කෙරෙන පරිවර්තන කියවන්නේ කලාතුරකින්. ඔය මෙවලම් පරිවර්තන කියවන්න කාලය නාස්ති කරන එක බොරු වැඩක්; අපේ රුධිර ධාතුව රත් වෙන එක විතර යි වෙන්නේ. මෑත කාලයේ දී වැඩකට ඇති පරිවර්තනයකට අප කියෙව්වේ අ‍ර සුදුවැලිකන්දගේ කාලිඩ් හොසෙයිනි පරිවර්තනයක් විතර යි. ඒක හොඳ වෑයමක්. ඒත් සෙනරත්ගේ පරිවර්තනය මීට අවුරුදු දහයකට විතර එහා අප කියෙව්වා. ඒක දැවැන්ත වැඩක්. අප එකඟ නැහැ සෙනරත් ඇතැම් අදහස් පරිවර්තනය කර තියෙන විකාරරූපී ආකාරයට. ඒත් අප මෙතන දී සලකන්නේ අන්තර්ගතය ගැන. ඔබ එළඹෙන ඇතැම් නිගමන අර්ධ සත්‍යයන්. ඒත් සාධනීය යමක් ද ඔබ ඒ අතර පවසනවා

ඔබ මේ පොත ගැඹුරින් කියවන්න ඇති බව අප විශ්වාස කරනවා. එහෙම නම් ඔබ Sholokhov ඔබේ මට්ටමට කපා ගැනීමක් නේ ද මෙතන කරන්නේ? Sholokhov ගේ “And Quietly Flows the Don” 1912 විතර කාලයේ සිට පළමු වැනි ලෝක යුද්ධයත් රුසියන් විප්ලවයත් රුසියන් සිවිල් යුද්ධයත් සිදු වූ කාල පරාසය තුළ විහිදෙන්නක්. 19 වැනි ශතවර්ෂයේ දෙවැනි භාගයේ දී ක්‍රිමියන් යුද්ධය නිසා පිරිහී ගිය දොන් නිම්නයේ දොන් කොසැක්වරුන්ගේ ජන ජීවිතය 20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී සිදුවන පෙර පැවසූ ගැටුම් සමඟ මුහුණ දෙන දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ විචිත්‍ර සාහිත්‍යයික නිරූපණයක් Sholokhov විසින් සිදු කෙරෙනවා. පසමිතුරු ජාතීන් දෙකක් අතර සිදු වූ ප්‍රේම සම්බන්ධයක් ද අසම්මත ප්‍රේම සම්බන්ධයක් ද ඔහු එයට එක්කර සංවේදී පෙළක් බවට පත් කරවනවා. සෙනරත්ගේ පරිවර්තනය පළ වූ කාලයේ Sholokhov ගේ “And Quietly Flows the Don” පිළිබඳ ලියමින් අප පැවසූ දෙය මෙවැන්නක්: “එක් ඉවුරකටවත් නො ඇලී දොන් නදිය මේ අලකලංචි මැදින් නිහඬ ව සෙමින් ගලා යන්නේ යම් සේ ද ෂෝලහොව්ගේ ‘And Quietly Flows the Don’ නවකතාවේ පෙළ ද වම් ඉවුරට ද දකුණු ඉවුරට ද නො ඇලී නිහඬ ව සෙමින් ගලා බසී“.   

කුහක දේශපාලන අභිලාෂයන්ගේ ගාමක බලයෙන් මිදුණු නිමේෂයක, බුද්ධිමතකු වන ඔබට ඔන්න ඔය සත්‍යය වැටහෙනවා. ඒක නිස යි වමට මඩ ගහන්න මෙහෙයවෙන ඔබේ ඔය අතින් ම පහත රුවන් වැකිය ලියවෙන්නේ:

ෂෝල‍හොව්ගේ කතාවේ මෙවැනි වීරයන් නැහැ. ඔහු පරමාදර්ශ හොයන්නේ නැහැ. රුසියානු විප්ලවයේ මුල් යුගයේ සෝවියට් දේශයට පක්ෂපාතී සමාජවාදී ලේඛකයකු ලෙස පවා ඔහු කරන්නේ පවත්නා ඇත්ත ඒ විදියට නිරූපණය කිරීම විතරයි.

ඔන්න ඔය හේතුව නිස යි ඊනියා “සමාජවාදී යථාර්ථය” කියල දෙයක් කරපින්නා ගත්ත ස්ටැලින්වාදී නිලධාරිතන්ත්‍රය 1941 දී කෘතියට ස්ටැලින් ත්‍යාගය දෙත් දී ඔබගේ ධනපති පංතිය අප පෙර පැවසූ ඊනියා ඩයිනමයිට් සම්මානය 1965 දී කර්තෘට දෙන්නේ (1965 වන විට Sholokhov කොහොමත් ස්ටැලින්වාදී වම හැර ගොස් අවසන්). 

ඒත් කුහක දේශපාලන අභිලාෂයන්ගේ ගාමක බලයෙන් මෙහෙයවෙන නිමේෂයක නරුමවාදියකු වන ඔබ සත්‍ය විකෘති කරමින් යුදවාදී හා පශ්චාත් යුදවාදී සමාජයක දොන් කොසැක්වරුන් මුහුණ දුන් සියලු දුක්ඛ දෝමනස්සයන්ගේ වරදකාරීත්වය රුසියානු විප්ලවයේ ගිණුමට බැර කරමින් මෙසේ පවසනවා:

ෂෝලහොව් ලියන්නේ මාක්ස් ලෙනින්වාදී ආගම ව්‍යාප්ත වීම ආරම්භ වූ 1917 අවට කාලය තුළ සෝවියට් දේශයේ රතු පාට කුරුස යුද්ධ නිසා දොන් නදීබඩ කොසාක්වරුන්ගේ ජීවිතයට එයින් කරපු බලපෑම හෙවත් විනාශය ගැනයි. ස්වයං පෝෂිත ගොවි සමාජයක මිනිස්සු තමන්ට අදාළ නැති කම්කරු විප්ලවයක් එක්ක කරන අරගලය ගැන අතිශය ගැඹුරු සාහිත්‍යමය විග්‍රහයක් එහි අඩංගු වෙනවා.
 
අජූව යි නේ ද ඔබේ වැඩ?
 
මරියා සිලොනිකා වස්තුව

දැන් අපි පී. බී. ගේ “මරියා සිලොනිකා වස්තුව” ගැන කෙටියෙන් බලමු. පී. බී. නවකතාවේ ශිල්පීය ක්‍රම පිළිබඳ මනා ශික්ෂණයක් පෙන්වනවා. ඔබ අර උඩ දමන ස්ත්‍රී රත්නයට ඒ සූරකමේ පේන තෙක් මානයකට එන්නවත් බැහැ. එහෙත් පී. බී. තමන්ගේ සූර ශිල්පීය දක්ෂතාවය නිසරු නිර්මාණයක් වෙනුවෙන් නිස්කාරණයේ නාස්ති කරනවා. වාම විප්ලවවාදියා යනු “සමාජය නම් මඩ ගොහොරුවේ කලල් දිය බිඳගෙන එහෙත් කලල් නො ගෑ වී මතු ව පැමිණි සුධවල අරවින්දයක් ය” යන සත්තාව පිළිබඳ අර දීඝ නිකායේ මහාපදාන සූත්‍රයේ එන යති දෘෂ්ටියක් මරිය සිලොනිකා වස්තුවෙන් නිරූපණය වෙනවා.  ඒක වාම විප්ලවීය දේශපාලනය පිළිබඳ ඉතා නිෂේධනීය ජනප්‍රියවාදී “පොප්” කියවීමක්. එමඟින් වාම විප්ලවීය දේශපාලනයත්, වාම විප්ලවවාදියාත් සමාජයෙන් පරාරෝපිත, විගලිත පරමාදර්ශයන් බවට පත් කරනවා. වාම විප්ලවීය දේශපාලනයට සාන්තුවරයන් හෝ මුනිවරයන් හෝ අවශ්‍ය නැහැ. එහෙම අය ඔය ජ.වි.පෙ නම් ඉන්නවා ලු නේ ද? ඒ වගේ ම තමා පී.බී. වාම විප්ලවවාදියා ලෙස සංකේතගත කර ගන්නා චේ කල්ලි කෙතරම් වාමවාදී ද යන්න ගැටලුවක්. පොතක් ජනගත කරන දවසක සවස කොළඹ හතේ ග්‍රීන්පාත් එකේ දී හරි ටොරින්ටන් එකේ දී හරි ඔය කියන චරිත අනන්තවත් දැක ගත හැකි යි.  කොණ්ඩ වවාගෙන, රැවුල් වවාගෙන, කරාබු දාගෙන, චේගේ රූපය තිබෙන ටී ෂර්ටයක් ඇඳගෙන කවි නමින් වාක්‍යක් දෙකට තුනට කඩා ලියුවා ම ඒ අය වාම විප්ලවවාදින් වෙනවා නම් විප්ලවය මාර සිම්පල් වැඩක් නේ. 
 
ඔබ ඊට වඩා ගැඹුරු කියවීමක් තිබෙන මිනි‍සකු බව අප දන්නවා.  ඔබට අප පවසන දෙය මනා ලෙස ඥානනය වෙනවා. ඒක නිසා ඔබ මෙන්න මේ ටික ලියනවා:
 
පී.බී. ජයසේකර සම්මත කතා ආකෘතිය තුළ රහස් සැඟවී ගත්, කුතුහලය සපිරි කතාවක් කියන ගමන් පරමාදර්ශී චරිතයක් ද ගොඩනගනවා. ඒ තමයි කරුණාපාල. අසරණ වුණ ගැහැනියකට වරදට සමාව දීපු, අනුන්ගේ ලෙයින් සැදුණු ආබාධිත දැරියක තමන්ගේ ම දරුවකු ලෙස රැක බලා ගන්නා, කම්කරුවන්ගේ, ගොවීන්ගේ අරගලවල ඉදිරියෙන් සිටින, නාට්‍ය කරන, මිනිස්කම උතුරා ගිය කරුණාපාල තමයි චරිතය. සියලු චරිත ගොඩනැගෙන්නේ මේ පරමාදර්ශී චරිතය වටායි. ඔහුගේ පරමාදර්ශයන් සමග තබා අපට සෙසු චරිත විනිශ්චය කරන්නට මාපකයක් ලේඛකයා ඉදිරිපත් කරනවා.
 
ඒත් ඔබ ගම කනවා ඊ ළඟ ඡේදය මෙහෙම ලියලා:
 
කතානායකයා වචනයේ පරිසමාප්ත අරුතින් ම උතුම් ජීවිත හා සමාජ අරමුණු වෙනුවෙන් කැප වුණ මානව දයාවේ ප්‍රතිමූර්තියක් වන් මිනිසෙක්. ඒ එක්තරා අතකට වාමාංශික පරමාදර්ශී මිනිසා හෙවත් වාමාංශිකයන්ගේ දේශපාලන ෆැන්ටසිය.
 
එහෙම ෆැන්ටසියක් වාමාංශිකයනට තිබෙන බව උඹට කිව්වේ වාමාංශික නො වන ජ.වි.පෙ කවුරු හරි ද? හීනෙන් ද කිව්වේ? අපට තිබෙන්නේ පන්ති රහිත, පුද්ගලික දේපළ වෙනුවට පොදු දේපළ මත පදනම් වූ සමාජයක් පිළිබඳ අරමුණක් හා අභිලාෂයක් මිස ෆැන්ටසියක් නො වේ.
 
මේ එක්ක ම පැවසිය යුතු දෙයක් තිබෙනවා. “පිරිමින්ගේ ස්වයංජාත වැනි දුර්වල නවකතාවලට සම්මාන දෙන විට මේ විචාරකයන් මේ තරම් කිපුණේ නැති” යනුවෙන් ඔබ පවසන දෙය සත්‍යය විකෘති කිරීමක්. කිසියම් කෘතියක් ඇගයීමේ දී එහි පෙළ දේශපාලනික ව කියවීම පමණක් කළ යුතු නැහැ. ස්වයංජාත යනු රමණීය භාෂාකරණයක්. රන් කරඬුව වගේ නීරස බසකින් ලිය වුණ ගොබ්බ කතාවලට සම්මාන දෙන, ධනපති පාලක පන්තියට කඩේ යන, කුලීකාර විනිශ්චය මණ්ඩලවල සිටින අය විළි වසා ගැනීමට හිටි ගමන් ස්වයංජාත වැනි සාහිත්‍යාත්මක ව ඇගයිය යුතු පොත්වලටත් සම්මාන දෙනවා. සූර භාෂා ව්‍යවහාරයන්ගේ අග්‍රඵල දෙකක් වුණ සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා සහ මළගිය ඇත්තෝ වැනි කෘති ඔබ ඊනියා “පිරිමින්ගේ” යන සම්බන්ධ විභක්ති විශේෂණයෙන් වෙසෙසා නො සලකා හරිනවා ද? 
 
අර ඔබේ වන්දනවාට පාත්‍ර වන, ඔබ විසින් අභ්‍යවකාශගත කෙරෙන ස්ත්‍රී රත්නයේ පල් හෑල්ල ගැනත් ටිකක් කතා නො කළොත් හොඳ නැහැ‍ නො වැ. ඒත් වැඩි දෙයක් කතා කරන්න නැහැ; කතා කළ යුතුත් නැහැ. මේ ටික හරි කථන භාෂණයෙන් ලියන්නේ ක්වෝට් කරන්න, සර්ච් කරන්න බැරි වෙන විදියට. ඔබ මේ ගැන මැදිහත්වීමක් කළ නිස යි අප මේ ටික හරි ලියන්නේ. ඔබ වමට ගහන්නේ මොනවා වුණත් යම් ශික්ෂණයක් ඇති ව යි. ඔබට ඔය ලිංගික ඌනිතතාවාදය කියන ගාය නැහැ. ඒක ලොකු දෙයක්. 
 
අපගේ හිතවත් ශාස්ත්‍රාලීය ස්ත්‍රීවාදිනියක ඔය ඔබ උඩ දමන ග්‍රන්ථ රත්නය පිළිබඳ මාහැඟි කතාවක් මේ ළඟක දී අපට පැවසුවා. එම ප්‍රකාශය ඔබ ඔය උඩ දාන ඇගේ කතාව ගැන සකලාර්ථය ම සම්පිණ්ඩනය කරන්නක්: “සාහිත්‍යයත් ඉවර යි; ස්ත්‍රීවාදයත් ඉවර යි
 
වැඩවසම් සමාජ සම්බන්ධතාවල සිට සමකාලීන ධනපති දේශපාලනයට එරෙහි ව නැඟී සිටින වාම හෝ වාම යැයි කියා ගන්නා හෝ දේශපාලන ව්‍යාපාරවල පුද්ගල සම්බන්ධතා දක්වා සකලවිධ ගතිකයන් ඔබේ ඔය ස්ත්‍රී රත්නය ඇගේ කතාව තුළ දකින්නේ, විවරණය කරන්නේ ලිංගික සූරා කෑමක් විදියට යි. හත් ඉලව්වක් නේ! එක අතකින් ඔය ඔබේ ස්ත්‍රී රත්නයට නිෂ්පාදන සම්බන්ධතා සමඟ මානව ශිෂ්ටාචාරය පවුල් සංස්ථාව, රාජ්‍ය සංස්ථාව හා පුද්ගල දේපළ යනුවෙන් සංවිධිත ව ප්‍රගමනය වන ආකාරය ගැන මාර්ක්ස්මය කියවීමක් නැති ව ඇති නේ. ඔබේ ඔය ස්ත්‍රී රත්නය (නව)කතාවේ පෙළ තුළ මවන පුරුෂ චරිත ඇගේ සාවද්‍ය දෘෂ්ටිවාදය ප්‍රචාරණයට මවන කිසිඳු විශ්වසනීයත්වයක් නැති රූකඩ පමණ යි. හැදෑරීමක් නැති චරිත ඇය විසින් ම මවනු ලැබ, ඇය විසින් ම ඒවා උත්කර්ෂණයට ලක් කරනු ලැබ, ඇය විසින් ම ඒවා දුෂ්ටත්වයට පත් කරනු ලැබ, ඇය විසින් ම ඒවාට පහර දෙනු ලබනවා. පරීකල්පනීය ලොව තුළ ඇය කරන උතෝපියානු විප්ලවය වාස්තවික ස්ත්‍රීවාදී කතිකාවට කරන අවමානයක්. ඔබ මොන තරම් උඩ දැම්මත් ඔය ස්ත්‍රී රත්නයේ ඔය පල් හෑල්ල ඇගේ චිත්ත සන්තානයට වද දෙන යම් අතීත සිදුවීමක් පිළිබඳ පීඩනය මුදා හැරීමක් පමණ යි. ඇය ඇගේ මනෝ ලෝකය තුළ ඇගේ මනස තුළ සිටි හෝ සිටින හෝ අර අප පෙර පැවසූ ආකාරයේ සරලමතික වාමවාදියෙකුට ඇති තරම්. පහර ගසනවා. ඕවා සාහිත්‍ය නිර්මාණ වෙන්නේ නැහැ. ඔය වගේ පල් හෑලි ලියූ තවත් ස්ත්‍රීන් පසු ගිය කාලයේ අප දැක්කා. 
 
මානව සමාජය යනු හුදු ලිංගික සූරාකෑමට ලක් වන එක් පන්තියක් හා එයට එරෙහි ව නැඟී සිටින තවත් පන්තියක් එකිනෙක ගැටීමෙන් ප්‍රගමනය වූවක් ලෙස සැලකීම ම ස්ත්‍රීවාදී කතිකාව පරාරෝපණය කිරීමක්. මේ වූ කලී ස්ත්‍රීවාදී කතිකාව පුළුල් සමාජ විපර්යාසයකට දායකත්වය දෙන විප්ලවීය දේශපාලනයක අන්තර්-සම්බන්ධතාවයන්ගෙන් ගලවා, නිදන කාමරයේ හෝ කුස්සිය මුල්ලේ හෝ විප්ලවයක් බවට යළි පත්කරවීමේ පසුගාමී ව්‍යායාමයක්. සමාජය වෙනස් කිරීමේ පුළුල් කාර්යභාරයේ දී අන්තර්ඡේදනීය එළඹුමක් දක්වා වර්ධනය වී ඇති ස්ත්‍රිවාදී කතිකාව එම පුළුල් කාර්යභාරයෙන් ගලවා ඉවත් කර ගෙන හුදකලා අරගලයක් බවට යළි පත් කිරීම ප්‍රතිගාමී නො වේ ද? තුන් වැනි රැල්ලේ ස්ත්‍රීවාදී කතිකාව එහි දෙවන රැල්ල දක්වා පරාවර්තී ගතිකයකට පත් කිරීම ප්‍රතිගාමී නො වේ ද? bell hooks ගේ සිට Simone de Beauvoir දක්වා ආපසු යෑම ප්‍රතිගාමී නො වේ ද? ඔබේ ඔය ස්ත්‍රී රත්නයට කියනව ද ටිකක් ගැඹුරින් හදාරන්න කියලා ලාංකික Simone de Beauvoir වෙන්න කලින්? මොක ද Simone de Beauvoir ගැඹුරු දැක්මක් තිබුණ සුධීමතියක්. හැදෑරීමක් සහිත ස්ත්‍රීවාදීනියනි, මේ ප්‍රතිගාමීත්වයට එරෙහි ව නැඟී සිටිනු මැනවි.
 
මේ විධියට බැලූ විට ඔබේ ඔය ස්ත්‍රී රත්නයේ හිස්ටරික පල් හෑල්ල දෘෂ්ටිවාදාත්මක ව මාර ප්‍රතිගාමි යි. භාෂාව එහෙම කොහොම ද බලමු නේ ද? භාෂාත්මක නිර්මිතයක් වන සාහිත්‍ය කෘතිවල භාෂාව පිළිබඳ සොයා බලන එක ගැන ඔබ ගැටලුවක් කර ගන්න එපා. ඔබ ඔය උඩ දාන ස්ත්‍රී රත්නය විසින් විරචිත ග්‍රන්ථ රත්නයේ භාෂාව නම් මාර යි; කියලා වැඩක් නැහැ. ඇගේ කතාවේ භාෂාව ඉස්තරම් ම නිදර්ශනයක්. මොකට ද දන්නව ද? හඩු භාෂාව කියන එකට. පොත අතට ගත්ත ම බ්ලූමැන්ඩල් කුණු කන්ද ළඟ ඉන්නවා වගේ දැනෙන්නේ. ඒ තරම් සුවඳවත්. කථන භාෂාවටත් නැහැ; ලිඛිත භාෂාවටත් නැහැ. ඔබ ඔය උඩ දාන ස්ත්‍රී රත්නය රාවයේ හිටිය කියලා ආරංචි යි. අපට තියෙන ප්‍රශ්නය ඒ ස්ත්‍රී රත්නය රාවයට මොනව ද ලිව්වේ කියන එක. මොකක් වුණත් සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය හැරුණු කල කියවන්න පුළුවන් එක ම සිංහල පත්තරය රාවය නේ. 
 
අප ඔබට පවසන්නේ අප මෙම විවේචනය කරන්නේ ඔබ ඔය උඩ දමන ග්‍රන්ථය ස්ත්‍රියක විසින් ලිය වුණු නිසා නො වන බව යි. ස්ත්‍රීන් විසින් ලියන ලද විශිෂ්ට කෘති අපගේ විචාරයට ලක් ව ඇත. ගැටලු ව වන්නේ වමට මඩ ගැසීමට පල් හෑලී හඩු බසින් ලියනා අවියත් ස්ත්‍රී රත්නයන් ඔබ විසින් අඟහරු ලොවට යැවීම ය. කත්‍යානාගේ නිලි වැස්ස පිළිබඳ වචන දෙකක් ලියන්නට වේලාවක් නැති ඔබට, වමට මඩ ගසන ස්ත්‍රී රත්නයන් අභ්‍යවකාශගත කරන්නට නම් වේලාව ඇති සෙයකි. මෙය ඔබගේ විචාර කලාවේ නව මුහුණුවර ද? මඩ ගැසීම කලාවක් ලෙස සලකන ඔබගේ විචාර කලාවේ නිර්ණායක මත අනෝමාගේ පුනරැක්ති සම්පරීක්ෂා කළොත් ලැබෙන නිගමන කොහොම තියේ වී ද? 
 
හමාර දෙසුමේ දී අපට පවසන්නට ඇත්තේ මෙය යි: ඔබ සාහිත්‍යකලා පිළිබඳ යළි බාල්දියක් පෙරළා ඇත! ඔබ සංවාදයට ගෙන එන කෘති තුනෙක් දෙකක් පිළිබඳ ඔබගේ නිගමන සමඟ අපට බොහෝ දුරට එකඟ විය හැකි ය. එහෙත් තුන් වැන්න නම් අජූව ය. එහි ඇති එක ම ප්‍රයොජනය නම් ඔබ වැනි වමට මඩ ගසන්නට බලා සිටින වාම විරෝධීනට වමට මඩ ගැසීමට මඩ අනා දීම යි. ඡිඃ! තුඃ! 
 
ධීරානන්‍ඳ ගුණහේරත්,
නෙළුම්කුලම. 
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s