වම-දකුණ පමණක් නො ව උතුර-දකුණ ද මාරු වූ විශ්‍රාමික වාමාංශිකයෝ

දේශපාලනික වම සහ දකුණ

හරවත් යමක් සාහිත්‍යකලා පිළිබඳ ලියමින් සිටි වම හැර ගිය විශ්‍රාමික වාමාංශිකයකු යළි නන්දෙඩවීම අරඹා ඇත. සුළු ධනපති දේශපාලනය වාම දේශපාලනය සමඟ පටලවා ගන්නා මෙම තැනැත්තා සුළු ධනපති දේශපාලනයේ නිෂේධනීය ලක්ෂණ වාම විප්ලවීය දේශපාලනය වෙත ප්‍රක්ෂේපණය කරයි. වම-දකුණ මාරු වීම නො සලකා හැරිය හැකි රෝග ලක්ෂණයක් නො වේ. එය ඉතා භයානක ව්‍යාධියක සායනික අර්පණයක් විය හැකි ය. එකී ව්‍යාධිය ප්‍රමුඛ පාර්ශ්වික කණ්ඩිකාවේ අක්‍රමිකතාවයකින් හට ගන්නා ජර්ස්මාන් සින්ඩ්‍රෝමය යි. වම හැර ගිය විශ්‍රාමික වාමාංශික හිටපු සහෝදරයාණෙනි, ඔබට අලේඛතාවය හෝ දුර්ලේඛතාවය (ලේඛනය මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ නොහැකියාව හෝ දුර්වතාවය), ආගණනතාවය හෝ දුර්ගණනතාවය (සරල ගණිතමය ගැටලු විසඳීමේ නොහැකියාව හෝ දුර්වලතාවය) සහ අංගුලිකා අසංඥතාවය (තමාගේ හෝ අන්‍යයන්ගේ ඇඟිලි හඳුනා ගැනීමේ නොහැකියාව) යන රෝග ලක්ෂණ ද වම-දකුණ මාරු වීම සමඟ ම පවතී නම් වහා ම රෝග නිර්ණ පරීක්ෂණ සඳහා යොමු විය යුතු බව කරුණා සීතල හදින් පවසමු. 

වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයා තම මහා දේශපාලන විශ්ලේෂණ ආඛ්‍යානය මඟින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන න්‍යාය සහ භාවිතය සමඟ බැඳි ප්‍රපංචයන් කීපක් විග්‍රහ කර එමඟින් තමන් එළඹෙන නිගමනයන් ලාංකීය වාම දේශපාලනය මතට ප්‍රක්ෂේපණය කරයි. මෙම විශ්ලේෂණ විධික්‍රමය ද එමඟින් ඔහු එළඹෙන නිගමනය ද සාවද්‍ය ය. ඔහුගේ නිරීක්ෂණ සත්‍යය ය; උපකල්පණ වියවුල් ය; න්‍යාය අර්ධ සත්‍යය ය; නියම පරම අසත්‍යය ය.

‍වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයා තම ආඛ්‍යානය අසත්‍ය මඟකට ගෙන යන්නේ ආරම්භයේ දී ම ය. “ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික පක්ෂයක් ය” යන අතිශය මුග්ධ අස්ථානයකට ඔහු එළඹ සිටියි. ඔහු මෙම “වාමාංශික” යන වදන ව්‍යවහාර කරන්නේ එහි ඵෙතිහාසික සම්භාව්‍ය අර්ථයෙන් හෝ වඩා පුළුල් සමකාලීන අර්ථයෙන් හෝ නම් ගැටලුවක් නැත. වම යන වදන ඵෙතිහාසික සම්භාව්‍ය අර්ථයෙන් යෙදෙන්නේ සමාජ අසාධාරණයට සහ සමාජ අසමානාත්මතාවට එරෙහි ව සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින යන අර්ථයෙනි. දහඅට වැනි සියවසේ දී ප්‍රංශයේ පැරණි ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවෙහි වම් පස අසුන් ගත් රාජාණ්ඩු විරෝධි, ජනරජවාදී ප්‍රංශ විප්ලවවාදීන් වෙසෙසනු වස් වම යන්න ව්‍යවහාරයට පැමිණි බව නිරීක්ෂණය කළ හැකි ය. එතැන් සිට වම යන්න නිදහස්වාදීන්, ජනරජවාදීන්, අරාජිකවාදීන්, ‍සමාජවාදීන්, කොමියුනිස්ට්වාදීන්, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් ආදීන්ගේ ක්‍රියාකාරීත්වයන් වෙසෙසීම සඳහා  ව්‍යවහාර විණ. සමකාලීන ව වම යන වදන ස්ත්‍රීවාදීන්, පරිසරවාදීන්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන්, යුද විරෝධීන් වැනි විවිධ සමාජ ක්‍රියාකාරීන්ගේ ව්‍යාපාර වෙසෙසීම සඳහා පුළුල් අර්ථයකින් ව්‍යවහාර වේ. එක්සත් ජනපදයේ හරිත පක්ෂය ද එක්සත් රාජධානියේ හරිත පක්ෂය ද ජර්මනියේ හරිත පක්ෂය ද පුළුල් අර්ථයෙන් වාමාංශිකය! සංරක්ෂණවාදයට එරෙහි ව වෙනසක් සඳහා පෙනී සිටීම යන අරුත වාමාංශික යන්න තුළ ගැබ් ව ඇත. එනමුත් ලාංකීය සමාජ-දේශපාලනික සන්දර්භය තුළ වම හා වාමාංශික යන වදන් ව්‍යවහාර වන්නේ මාර්ක්ස්වාදය මත පදනම් වූ සමාජ-දේශපාලනික ක්‍රියාකාරීත්වයන් හා ව්‍යාපාර වෙසෙසීමට ය. වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයා ද වම හා වාමාංශික යන වදන් ව්‍යවහාර කරන්නේ ද මාර්ක්ස්වාදය මත පදනම් වූ සමාජ-දේශපාලනික ව්‍යාපාර වෙසෙසීමට බව ඔහු විසින් රචිත ලිපිලේඛන විමර්ශනයෙන් නිගමනය කළ හැකි ය. ඔහු විසින් “ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික පක්ෂයක් ය” යන්න පැවසෙන්නේ ද පෙර කී අර්ථයෙනි. ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියැදියක් ලෙස ගෙන ඒ මත එළඹෙන නිගමන සමස්ත ලාංකීය මාර්ක්වාදී සමාජ-දේශපාලන ව්‍යාපාරයට ම ප්‍රක්ෂේපණය කරයි. එමඟින් ද ඔහු වාමාංශික යන්නට මාර්ක්වාදී අර්ථකථනයක් ලබා දෙයි. එම අර්ථ සලකන කල ජනතා විමුක්ති පෙරමුණ (ජ.වි.පෙ.) සැබෑ නැත හොත් දර්ශීය වාමාංශික පක්ෂයක් ද යන්න සංශයාත්මක ය; විවාදසම්පන්න ය.

ධනපති පන්තියේ කටු ලෙවකන, ධනපති පන්තියේ කොන්ත්‍රාත් ඉටු කරන පක්ෂයක් වාමාංශික (මාර්ක්ස්වාදී අරුතින්) පක්ෂයක් වන්නේ කෙසේ ද? ජ.වි.පෙ. වාමාංශික පක්ෂයක් නම් එය පෙනී සිටින සමාජවාදය නාසි සමාජවාදය ද? බොල්ශෙවික්-මෙන්ශෙවික් දෙමුහුම් ගර්භාෂය තුළ අධිරෝපණය කරවා, වර්ධනය කරවා, විකසනය කරවා බිහි කර වූ ජ.වි.පෙ. උපතේ සිට විපත දක්වා ම සුළු ධනපති පක්ෂයකි. රෝහණ සහෝදරයා සමාරම්භක යුගයේ යම් කලක් ආණ්ඩුවලට මුක්කු නො ගසා යම් වාමවාදී අස්ථානයක සිටි බව සැබෑවකි. එකල පේරාදේණියේ ඔගස්ටා කන්දට පැමිණි රෝහණ සහෝදරයා පැවසුවේ මාර්ක්ස් හා ලෙනින් සහෝදරවරු මිනී වළෙන් නැඟිට “යන්න රෝහණ සහෝදරයා පාර්ලිමේන්තුවට” යැයි පැවසුව ද තමා නම් එම පාවාදීම නො කරන බව ය. සුගීස්වර අබේවර්ධන වික්‍රමසිංහ වැනි අය පිළිබඳ ඔහුට තිබුණේ ද ධනපති ආණ්ඩුවලට මුක්කු ගැසීම පිළිබඳ විවේචන ය.  කලකට ජයවර්ධන ආණ්ඩුවේ ද කලකට ප්‍රේමදාස ආණ්ඩුවේ ද කලකට කුමාරතුංග ආණ්ඩුවේ ද කලකට රාජපක්ෂ ආණ්ඩුවේ ද පමණක් නො ව ඇමෙරිකන් තානාපති කාර්යාලයේ ද (මූලාශ්‍රය: වාස් තිලකරත්න රහස් පොලිසියට දුන් කටඋත්තරය) කොන්ත්‍රාත් ඉටු කළ පක්ෂයක් වාමාංශික පක්ෂයක් ලෙස අභිෂේක කරන්නට තරම් වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයාට මඤ්ඤං ද? පීඩිත ජන වර්ගයක විමුක්ති අරගලයක් න්‍යාය මුක්ත ව සන්නද්ධ අරගලයක් බවට පත් වූ කල (වඩා නිවරද ව කිව හොත් පාලක පන්තිය විසින් සන්නද්ධ අරගලයක් බවට පත් කළ කල) එම විමුක්ති අරගලය ජනඝාතක යුද්ධයකින් මර්දනය කර, නිම කරන්නට ධනපති පාලක පන්තියට උඩගෙඩි දුන් පක්ෂයක් වාමාංශික ද? ධනපති ආණුඩුවල කොන්ත්‍රාත් ඉටු කළ ජ.වි.පෙ. වාමාංශික කරන්නට වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයා මෙතරම් තතනන්නේ තමා ද වර්තමානයේ කරමින් සිටින්නේ ධනපති ආණ්ඩුවක කොන්ත්‍රාත් ඉටු කිරීම නිසා ද යන්න අපි නො දනිමු. එනිසා ම, “ලයනල් රණසිංහගේ ගෙදරින් බත් වේල් ගණනාවක් කා ඇති ටිල්වින් සිල්වා” (මෙය අපගේ වාක්‍යයක් නො ව වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයාගේ වාක්‍යයකි) මෙන් ගුණමකු නො වන නිසා “පිටකෝට්ටෙන් තුන් වේලම කා ඇති වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයා” ධනපති ආණ්ඩුවකට ප්‍රශස්ති ගයන්නේ ද යන ප්‍රශ්නය අපි නො විමසන්නෙමු. 

වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයා කුමක් ලියුව ද කුමක් කියුව ද කොහෙන් හෝ කැරකී එන්නේ ලාංකීය මාර්ක්වාදී දේශපාලන ව්‍යාපාර වෙත ම ය. ලාංකීය මාර්ක්ස්වාදී  දේශපාලනයට ආඩපළි නොගසන්නේ නම් ඔහුට දිවා ආහාරය නො ගත් සෙයකි. ඔහුගේ මෙකී චර්යාව අපට සිහි කරවන්නේ එකල පේරාදෙණියේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ සිටි ‍කුමක් කතා කළ ද බෝරෝන් (එනම් මූලද්‍රව්‍යය) පිළිබඳ කතා කරන්නට අමතක නො කළ ආචාර්යවරයෙකි. නැත හොත් ඉතිහාස අධ්‍යයනාංශයේ සිටි කුමක් කතා කළ ද වෙල්ලස්ස කැරුල්ල පිළිබඳ කතා කරන්නට අමතක නො කළ ආචාර්යවරයෙකි.  

විප්ලවයෙන් පලා ගිය භ්‍රෂ්ටයෙකු වන වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයාගේ පැවැත්ම නැති කිරීමට එනම් “අනිවාර්ය සුද්ද කිරීමට” (වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයාගේ වචන) නව සමසමාජ පක්ෂය හෝ වෙනත් මාර්ක්ස්වාදී ව්‍යාපාරයක් හෝ කවර නම් අසාධු කාර්යභාරයක් කළේ ද? එවැනි නිෂ්ඵල වැඩ සඳහා එකී කාලවල නව සමසමාජ පක්ෂයට හෝ වෙනත් දේශපාලන ව්‍යාපාරවලට නිදහස් කාලයක් තිබුණේ ද නැත. මිනී මෝරුන් සමඟ සටන් කරනා අස්සේ කූනිස්සන් පිළිබඳ වෙහෙසෙන්නෝ කවරහු ද? 

වම හැර ගිය විශ්‍රාමික වාමාංශිකයාණෙනි, දේශපාලනය පිළිබඳ පිරිපහදුවක් ලබන්නට ද මාධ්‍යකරණය පිළිබද පන්නරයක් ලබන්නට ද අතහිත දුන් සුධීමතුනට අවලාද නඟමින්, අස්ථානීය චෝදනා නඟමින් “කන්න දුන්න අත සපා කන” ඔබ “ලයනල් රණසිංහගේ ගෙදරින් බත් වේල් ගණනාවක් කා ඇති ටිල්වින් සිල්වා” පිළිබඳ  දෙසන්නේ වැදි බණ නො වේ ද? රනස්ගල්ලේ හිමියෝ ලෝකෝපකාරයේඔවා දෙනු පර හට – තමා සම්මතෙහි සිට – දුසිරිත දනන් දෙන – ඔවා වැද්දන් කියන බණ වැන” යනුවෙන් පවසති. වීදුරු ගෙයක නිරුවත් ව සිට නො වේ ද ඔබ අන්‍යයනට ගල් ගසන්නේ? ඔබ කලකට පෙර පාසල්වාදය අලළා ලියූ වියුණු සටහනකට අප එක්කල ආලෝචනයක් මඟින් ද අපි ඔබගේ මෙම දෙබිඩි චර්යාව පෙන්වා දුන්නෙමු. ඔබ එහි දී අපට ඉංගිරිසි ස්වෝත්තමවාදී අධිරාජ්‍යගැති ගතානුගතික මාර්ක්ස්වාදි‍යා යනුවෙන් අපනාම බඳවා සංවාදය වෙනතකට අපගමනය ක‍ර වූ බව සිහි කරමු. 

වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයා ආඥානයෙක් නො වේ. ඔහු සත්‍යය නො දන්නේ ද නො වේ. කුහක දේශපාලන අභිලාෂයන්ගේ ගාමක බලයෙන් මෙහෙයවෙන කල ඔහු නරුමවාදී වේ. එකී කුහක දේශපාලන අභිලාෂයන්ගේ ගාමක බලයෙන් මිදුණු නිමේෂයක ඔහු ඉතා සුන්දර සංවාදශීලී මානවයෙක් වේ. වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයා තුළ සිටින විශිෂ්ට නිර්මාණ සාහිත්‍යකරුවාට අප ආසක්ත වන්නේ එනිසා ය. වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයා කරන මතු දැක්වෙන ප්‍රකාශයේ සසප පිළිබඳ වන සංයුක්ත සත්‍යය සාධනීය ය: 

න්‍යායිකව කෙසේ වෙතත්, භාවිතාව තුළ මෙම පක්ෂවලත් ස්ටාලින්වාදී ප්‍ර‍වණතා තිබෙනවා. මේවා හොඳින් ම නිරූපණය වෙන්නේ මතවාදීමය හේතු මත මෙම පක්ෂවලින් ඉවත් වන අය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය තුළයි. සුචරිත ගම්ලත් සම්බන්ධයෙන් සසප/විකොස ප්‍ර‍තිචාර නිරීක්ෂණය කළ විට මෙම ලක්ෂණ දක්නට ලැබේ.

එහෙත් එකී සංයුක්ත සත්‍යය විස්තීර්ණය කරමින් එය නව සමසමාජ පක්ෂය ඇතුළු සමස්ත ලාංකීය මාර්ක්ස්වාදී වාමාංශික ව්‍යාපාරයට ද අදාළ වියුක්ත සත්‍යයක් බවට පත් කරවන්නට ප්‍රයත්න දරන කල වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයා නිශේධනීය එළඹුමක් ප්‍රකට කරයි. නිරීක්ෂණ මත පදනම් වූ සංයුක්ත සත්‍යය සාර්වත්‍ර න්‍යායික සත්‍යය බවට වර්ධනය කර නියම බවට සූත්‍රගතකිරීමේ ශාස්ත්‍රීය ශික්ෂණයක් නොමැති වීම මෙම දෝෂයට හේතු වන ප්‍රධාන කරුණක් බව අපගේ විශ්වාසය ය. එංගලන්තයේ කේම්බ්‍රිජ්හි ඇපල් ගසකින් ඇපල් ගෙඩියක් වැටුණු කල එතැන් සිට සියවස් ගණනක් (අවම වශයෙන් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය තෙක් හෝ) සම්භාව්‍ය හෞතික විද්‍යාව විරාජමාන කළ ගුරුත්වාකර්ෂණ නියමය බිහි වුණ ද ශ්‍රී ලංකාවේ කළුතර දිස්ත්‍රික්කයේ ගමක පොල් ගසකින් පොල් ගෙඩියක් වැටුණු කල එවැන්නක් බිහි නො වේ. වියුක්ත සත්‍යය සූත්‍රගත කිරීම බුද්ධිමය ව්‍යායාමයකි. 

ස්ලාවොයි ජිජැක් (ඔහු ම ද තම නම ජිජැක් බව පවසන කල එය ශිශෙක් විය යුතු ය යි ‍පවසන්නට තරම් පිස්සුවක් ලාංකීය කුමාරවරුනට ඇත්තේ ජිජැක්ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය කියවා තේරුම් ගැනීමට තරම් මොවුන්ගේ මස්තිෂ්ක බාහික වර්ධනය වී නැති නිසා ද?) උපුටා දක්වන ලද්දේ වුව වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයාගේ “සෝමවංශ අමරසිංහගේ මළගම හා ලාංකීය ස්ටාලින්වාදයස්ලාවොයි ජිජැක්ගේThe Two Totalitarianisms” තරම් දීප්තිමත් නිබන්ධනයක් වන්නේ නැත. එමෙන් ම වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයාගේ “බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ ඓතිහාසික තීන්දුව හමුවේ ලංකාවස්ලාවොයි ජිජැක්ගේCould Brexit Breathe New Life into Left-wing Politics?” වැනි කියවීමක් ද වන්නේ නැත.

කරුණු එසේ තිබිය දී ද වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශිකයා  ස්ටැලින්වාදයට එරෙහි ව නැඟී සිටීම හොඳ ය. අප ලාංකීය ස්ටැලින්වාදය හෙවත් නි‍යුටෝනියානු වමට එරෙහි වූයේ අද ඊයේ සිට නො වේ. ස්ටැලින්වාදයට ගසන්නට යාම නිසා සයිමන් අපට සුබ සහ යස දර්ශනයක් බලන්නට “උඹලා එන්න ඕනෑ නැහැ” යි කීවේ ද අද ඊයේ නො වේ. එහෙත් ස්ටැලින්වාදයට ගසන විලාසයෙන් ඇඟට නො දැනී ට්‍රොට්ස්කිවාදයට ද කෙටේරි පහරක් ‍දීම නම් නරක ය. එසේ කළ විට ස්ටැලින්වාදයට සදා විරුද්ධ ට්‍රොට්ස්කිවාදයට හිතැති සම්භාව්‍ය මාර්ක්ස්වාදීන් වන අපට ද වම හැර ගිය පෙර කී විශ්‍රාමික වාමාංශික මිතුරාට එරෙහි ව නැඟී සිටීමට සිදු වේ. 

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s