පාද යාත්‍රා

Dandi Salt March – 1930

ඒකාබද්ධ විපක්ෂය විසින් ජනසටන පාද යාත්‍රාව සංවිධානය කරනු ලැබීමත් සමඟ ම පාද යාත්‍රා පිළිබඳ පැරණි මතකය අවදි විණි. මෙම ලිපිය දෙස්-විදෙස්හි ප්‍රකට යාත්‍රා යාත්‍රා පිළිබඳ කියවීමකි. 

පාද යාත්‍රා යනු දේශපාලන වශයෙන් නිෂ්ඵල ක්‍රියාකාරකමක් ම නො වේ. කිසියම් නිෂ්චිත දේශපාලන අරමුණක් ප්‍රවර්ධනයටත් ජන විඥානය හා ජන උද්‍යෝගය පුබුදුවාලීමටත් පාද යාත්‍රා මඟින් සාධනීය කාර්යභාරයක් ඉටු වේ. පාද යාත්‍රා යන නමට වඩා වැඩි ඉතිහාසයක් එනමින් හැඟවුම්කරණය වන ක්‍රියාකාරකමට ඇත.

ඉන්දීය නිදහස් සටනට අවිහිංසාවාදී ජීව ප්‍රාණය එකතු කළ මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි 1930 දී සුප්‍රකට “Dandi Salt March” නම් වූ පාද යාත්‍රාව සිදු කළේ බිරිතානි අධිරාජ්‍යවාදී පාලනය විසින් පනවන ලද ලුණු බද්දට විරෝධය පෑමක් ලෙස ය. දින 24 ක් පුරා කිලෝමීටර හාරසියයක් පමණ දුරක් ගෙවූ එකී පාද යාත්‍රාව 1942 වන විට විජයග්‍රාහී ව පරිසමාප්තියට පත් වූ ඉන්දීය නිදහස් සටනට ලබා දුන් ජීවය සුළුපටු නො වේ. 

The Great March on Washington – 1963

වර්ණභේදවාදයෙන් පීඩිත ඇමෙරිකානු ජනයාගේ සිවිල් අයිතිවාසිකම්  දිනා ගැනීම සඳහා සම්භාවනීය කාර්යභාරයක් සිදු කළ මාටින් ලූතර් කිං 1963 දී සංවිධානය කළ “The Great March on Washington” නමැති රැලිය ද එක් ආකාරයක සුවිශේෂි පාද යාත්‍රාවකි. එක්සත් ජනපදයේ නන් දෙසින් සහස්‍රසංඛ්‍යාත ජන සන්නිපාතයක් වොෂින්ටනය වෙත දෙදිනක් පුරා ඇදී පැමිණියහ. ලින්කන් සමාධිය පාමුල මුළු ගැන්වුණු එකී ජන සන්නිපාතය ඇමතූ ලූතර් කිං  “I have a dream” නම් විශිෂ්ට කතාව කළේ ය. 1964 දී සිවිල් අයිතිවාසිකම් පනත සම්මත කර ගැනීම සඳහා මෙම පාද යාත්‍රාව මඟින් ඉටු වූ සේවය අතිමහත් ය. 

වර්ණභේදවාදයෙන් පීඩිත ඇමෙරිකානු ජනයාගේ ඡන්ද අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ද මාටින් ලූතර් කිංගේ සහභාගීත්වයෙන් මෙවැනි පාද යාත්‍රා කීපයක් ම ඇලබාමා ප්‍රාන්තයේ දී ද 1965 වර්ෂයේ දී සිදු විණි. ඒවා “Selma to Montgomery Marches” යන නමින් හැඳින් වේ. 1965 වර්ෂයේ දී ඡන්ද අයිතිවාසිකම් පනත සම්මත කර ගැනීම සඳහා මෙම පාද යාත්‍රා මඟින් ඉටු වූ සේවය අතිමහත් ය.

(ජාතිවාදී ප්‍රශ්නයට විසඳුම ජාතිය නැති කිරීම යයි පවසන වම හැර ගිය විශ්‍රාමික වාමාංශිකයන් එක්දහස් නවසිය හැට ගණන්වල එක්සත් ජනපදයේ සිටියේ නම් ඔවුන් පවසනු ඇත්තේ වර්ණභේදවාදී ප්‍රශ්නයට විසඳුම වර්ණය නැති කිරීම බවත් ඒ සඳහා එක්සත් ජනපද ආණ්ඩුව කළු සමක් සහිත මිනිසුන්ට නොමිලේ විරංජන ප්‍රතිකාර හා ප්ලාස්ටික් ශල්‍යකර්ම පහසුකම් සපයා දිය යුතු බවත් ය. ඒ වූ කලී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම රජයේ කාර්යාලවලට දෙමළ යතුරුලියන ලබා දීම යයි පැවසීමට වඩා විසුළුවකි!)

වීන විප්ලවයට පුරෝගාමී නායකත්වය දුන් මාවෝ සේතුං ද “The Long March” නම් පා ගමනක් 1934 දී සිදු කළේ ය. වර්ෂයක පමණ කාලයක් ඇදී ගිය එම පා ගමනට සහභාගී වූවෝ රතු හමුදාවේ කම්කරුවෝ ද ගොවියෝ ද වූහ. මාවෝවාදී විප්ලවීය න්‍යාය මත පදනම් වූ  “The Long March” සන්නද්ධ පා ගමනක් වූ බැවින් එය පාද යාත්‍රා ගණයට එකතු කිරීමට අපගේ එතරම් කැමැත්තක් නැත. එහෙත් මාවෝවාදීන් එය ද පාද යාත්‍රාවක් ලෙස සැලකු ව ද අපගේ විරෝධයක් නැත. 

කොළඹ සිට මහනුවරට පාද යාත්‍රාව – 1957

පාද යාත්‍රා පිළිබඳ ලාංකීය ඉතිහාසය කෙසේ ද? අනල්ප සංඛ්‍යාත්මක ය; අල්ප ගුණාත්මක ය; අඳ දෘෂ්ටිවාදාත්මක ය. 1957 ජුනි මාසයේ දී අත්සන් කෙරුණු බණ්ඩා-ශෙල්වා ගිවිසුමට විරෝධය පා කුශාග්‍ර ධනපති දේශපාලඥයෙකු වුවත් ජාතික ප්‍රශ්නය පිළිබඳ ඉතා අපරිණත අස්ථානයක සිටි ජේ. ආර්. ජයවර්ධනයන්  විසින් 1957 ඔක්තෝබර මාසයේ දී කොළඹ සිට නුවරට පාද යාත්‍රාවක් අරඹන ලදී. යක්කල බණ්ඩාරනායක වලව්වේ ඇස්. ඩී. බණ්ඩාරනායකයන්ගේ බාධාකිරීම් නිසා එම පාද යාත්‍රාව අසාර්ථක වුව ද එමඟින් බණ්ඩා-ශෙල්වා ගිවිසුම් ප්‍රකාර බලය බෙදීමට එරෙහි ව ඇති වූ ජනතා ප්‍රකෝප  කිරීම නො සලකා හැරිය යුතු නැත. වාහන අංක තහඩුවල “ශ්‍රී” අක්ෂරය යෙදීමක් ද මේ විරෝධයට එකතු වූ කල නිදහසින් පසු ලංකාවේ  පළමු ජාතිවාදී කෝලාහලය ඇති විණි. බල තණ්හාවෙන් මෙහෙය වුණු බණ්ඩාරනායක සිරිමත්හු තමන් බලයට ගෙනා සංඝ සමාජයේ බලපෑමට යටත් ව අවසානයේ දී බණ්ඩා-ශෙල්වා ගිවිසුම ඉරා දැමූහ.  

‍“රාජ්‍ය නම් ලෞකික සංස්ථාපිතයකි. එහි කටයුතුවලට ඇඟිලි ගැසීම සංඝයාගේ කාර්යභාරය නො වේ. සංඝයා තමන්ගේ වැඩක් බලා ගෙන පන්සල්, ආරාමවලට වී සිටිය යුතු ය” යි පවසන්නට බණ්ඩාරනායක සිරිමතුනට කොන්ද පණ තිබුණේ නැත (ඔක්ස්ෆර්ඩ්හි උගත් බුද්ධිමතෙකු වූ තරුණ බණ්ඩාරනායක මහතා එක්දහස් නවසිය විසි ගණන්වල දී ෆෙඩරල් ක්‍රමයක් පිළිබඳ සාධනීය අස්ථානයක සිටි බව අප විසින් මින් පෙර කීප වරක් වෙනත් ලිපිවල දී පවසන ලදී).

ඉන් පසු බලයට පැමිණි මහත්මා දේශපාලනඥයෙකු වූ ඩඩ්ලි සේනානායකයන් විසින් 1966 දී ඩඩ්ලි-ශෙල්වා ගිවිසුම අත්සන් කෙරුණු කල එයට විරෝධය පෑවේ බණ්ඩාරනායක සිරිමතුන් විසින් ගොඩ නඟන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නො වේ. වාමාංශිකයකු ලෙස පවසන්නට ද ලැජ්ජාසහගත කරුණ නම් ලංකාවේ පැරණි වමඩඩ්ලි-ශෙල්වා ගිවිසුමට එරෙහි ව තමනට කළ හැකි පමණට අගනගරය තුළ හෝ කුඩා පාද යාත්‍රා යාම ය. “ඩඩ්ලිගේ බඩේ – මසල වඩේ” වැනි නීච සටන් පාඨ සාදන ලද්දේ ධනපති පංතියේ මහා සිංහල  ජාතිකවාදය විසින් නො ව ලාංකීය පැරණි වමේ එතෙක් සැඟ ව තිබූ මහා සිංහල ජාතිකවාදය විසිනි.

ජනඝෝෂා පාද යාත්‍රාව – 1992

පාද යාත්‍රා සම්බන්ධ ව වඩා සංවිධිත ක්‍රියාකාරකමක් දැක ගත හැකි වූයේ 1992 දී ය. ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහි ව සිදු වූ එම පාද යාත්‍රාව මනා මහජන දායකත්වයක් ලද මෙරට එක ම පාද යාත්‍රාව බව පැවසිය හැකි ය. පාද යාත්‍රාව යන නම පුළුල් ව ව්‍යවහාරයට පැමිණියේ ද ඒ සමඟ ය. කොළඹ සිට කතරගම දක්වා ගමන් කළ එම ජනඝෝෂා පාද යාත්‍රාව අවසානය තෙක්  ගෙන යන ලද්දේ එයට එක් වූ ජනතාව විසිනි. 1992 දී සිදු වූ එකී දර්ශීය පාද යාත්‍රාවේ රස කතා හොඳින් ම දන්නා තැනැත්තා විශිෂ්ට දේශපාලන විචාරක, කෘතහස්ත මාධ්‍යවේදී සහ ජාතික ප්‍රශ්නය පිළිබඳ අදීන මතධාරී කුසල් පෙරේරා ය. කුසල්ගේ බුද්ධිමය දායකත්වය නො වන්නට පාද යාත්‍රාව මොරටුව දක්වාවත් නො යන්නට ඉඩ තිබිණි. වසර 17 ක එක්සත් ජාතික පක්ෂ පාලනයෙන් පරිපීඩිත ජනතාව 1994 වන විට ආණ්ඩු පෙරළියකට යොමු කරවන්නට ජන විඥානය පුබුදුවාලනු ලැබූ එක් වැදගත් සාධකයක් වූයේ 1992 වර්ෂයේ සිදු වූ පාද යාත්‍රාව ය. 

1992 වර්ෂයෙන් පසු සුළු පරිමාණයේ පාද යාත්‍රා කීපයක් සිදු වුව ද ඒවායේ අභිප්‍රේතාර්ථයන් පුළුල් දේශපාලන පරාසයක වූ බවක් නො පෙනේ. එක්සත් ජාතික පක්ෂයේ ජනබල මෙහෙයුම හැරුණු කල අතිප්‍රබල ආචරණයක් ජන විඥානය මත සිදු කිරීමට අවශේෂ සුළු පාද යාත්‍රා සමත් වූ බවක් අපි විශ්වාස නො කරමු. ලාංකීය හෙකියුබා බිසව ලෙස යුද විරෝධයකින් බලයට පැමිණි කුමාරතුංග මැතිනියගේ ජනාකර්ෂණය බිද වැටෙමින් පැවති යුගයක ජනබල මෙහෙයුම ඇයගේ ආණ්ඩුවේ මිනී පෙට්ටියට ගැසූ ඇණයක් විණ. 

ජනසටන පාද යාත්‍රාව – 2016

මෙවර නුවර සිට කොළඹ දක්වා පැමිණෙන ජනසටන පාද යාත්‍රාව අභිප්‍රේතාර්ථයන්ගෙන් ද සංවිධානාත්මක භාවයෙන් ද සහභාගීත්වයෙන්ද අජූව බව සත්‍යයකි. එයට සහභාගී වන දේශපාලනඥයෝ බොහෝ දෙනෙක් දූෂණ වංචා චෝදනාවලට බඳුන් වූවෝ ය; සමහරු ඇප පිට ය; සමහරුනට ඇපත් නැත. මෙම පාද යාත්‍රාව දකින විට අපට සිහිවන්නේ කලකට පෙර තිස්සමහාරාම, හම්බන්තොට වැනි පැතිවල සිට අගනගරයට පැමිණි ලොරි ය. එම ලොරිවල ඉදිරිපස සඳහන් ව තිබුණේ “බුදු සරණ යි!” යනුවනි. එහෙත් පිටුපස පුරවා තිබුණේ හොර හරක් ය. 

මාධ්‍යපති කුසල් පෙරේරා

පසු ගිය සමයේ දී මුහුණුපොතට එක් කරනු ලබන වීඩියෝ මඟින් ජනතාවට දේශපාලනය පිළිබඳ දේශන පැවැත් වූ, කලක් යහපාලන රජයේ ගුණ වැයූ එක් ලලනෝත්තමාවියක ද කාලවර්ණ වස්ත්‍රයෙන් සැරසී තමනට ද නො වැටහෙන සටන් පාඨ පවසමින් තම මුග්ධ ප්‍රසන්නයන් (fans) සමඟ මෙම ජනසටන පාද යාත්‍රාවේ යනු අපි දුටුවෙමු. අඩු ව තිබුණේ එවන් විගඩමක් පමණක් සේ ය. මෙම විසූක දස්සන දකින, අනූව දශකයේ  මුල දී අතිසාර්ථක පාද යාත්‍රාවකට බුද්ධිමය සම්පත් සැපයූ, පාද යාත්‍රා වදනේ ද නිර්මාතෘ  වූ ළබැඳි කුසල්, බෙල්ලන්විලට වී “අහෝ! පාද යාත්‍රාවට වූ නස්පැත්තියක්!” ය යි සුසුම් හෙළනු ඇත. 

මෙවන් විකාරවලින් යුත් “ජනසටන” පාද යාත්‍රාව ආණ්ඩුව විසින් නො සලකා හරිනු ලැබ යුතු ද? අපගේ අදහස නම් ආණ්ඩුව මෙම පාද යාත්‍රාව ඉතා ගැඹුරින් සලකා බැලිය යුතු බව යි. ඉතිහාසය විසින් පෙන්වා දී ඇති සත්‍යයක් නම් මහා පරිමාණ පාද යාත්‍රාවලට ජනතා නැඟිටීමක් ඇති කරවීමේ ද ජනවිඥානය ප්‍රේරණය කිරීමේ ද විභවය පවතින බව ය. ලාංකීය සමාජය ඉතා පහසුවෙන් ජාතිකවාදී ප්‍රේරණයකට ලක් කළ හැකි එකකි. දෙවරක් පරාජය වූයේ වුව රාජපක්ෂයන් යනු තවමත් සිංහල මහා ජාතිකත්වයේ අසමසම වීරයා ය. ඔහුගේ බලාපහරණයට ද දුෂණයට ද අකමැති අය පවා ඔහුගේ ඊනියා ජාතිකවාදී පෞරුෂයට ආකර්ෂණය වෙති. 

මහා ජනපදනමක් සහිත ‍වියුණුසටහන්කාර සහ මුහුණුපොත්කාර ලිබරල් ධනවාදී දේශපාලන න්‍යායාචාර්යවරුන්ගේ  පූර්ණ දායකත්වය ලබමින් වුව, යහපාලන නඩය ලැබූ ජයග්‍රහණය සැලකිය යුතු  වෙනසකින් (සංඛ්‍යාත්මක ව) යුත් ජයග්‍රහණයක් වූයේ නැති බව අප අමතක කළ යුතු නැත. වර්තමාන රජය ජනතාවගෙන් දිනෙන් දින දුරස් වන කල, ආණ්ඩු විරෝධී ජනමතය රාජපක්ෂයන් වටා එක් රැස් විය හැකි ය. යහපාලනය එපා වූ පමණින් ලාංකීය ජනතාව වම වෙත එක්රැස් වන්නේ  නැත. වමට පමණක් නො ව සුළු ධනපති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ වෙත  හෝ එක්රැස් වන්නේ නැත (ප්‍රධාන ද්විපක්ෂ දේශපාලනය ශ්‍රී ලංකාවේ පමණක් නො ව එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ ද පවතින ගැටලුවකි). 

මේ අනුව ජනබලය පාද යාත්‍රාව විසින් ලබා දෙනු ලබන සංඥාව ආණ්ඩුව විසින් මනා ව ප්‍රතිග්‍රහණය කර ගනු ලැබිය යුතු ය; එම සංඥාවේ කේතය නිවැරදි ව කියවා ගනු ලැබිය යුතු ය. ආණ්ඩුව තම ගමන් මඟ තිරණය කිරීමේ දී එම කේතයේ ගැබ් ව ඇති තොරතුරු ප්‍රයොජනයට ගත යුතු ය; සැලකිල්ලට ගත යුතු ය. එසේ නැති වුවහොත් අතීත වැරදි පුනර්කරණය විය හැකි ය. 

ලංකාවේ උගත් තරුණ පිරිසක් පාලක පන්තියට එරෙහි ව කිසි යම් නැඟී සිටීමකට සැරසෙන ආකාරයක් පෙනෙන්ට ඇති බව එක්දහස් නවසිය හැත්තෑවේ යම් දිනෙක පැරණි වමේ පීටර් කෙනමන්ට පැවසූ විට ඔහු පැවසුවේ “ඒවා ගැන වද වෙන්න එපා. ශිෂ්‍යයන් පංතියක් නො වන නිසා ඒ අයට විප්ලවීය නැඟී සිටීමක් කළ නො හැකි යි” යනුවෙනි. වසරක් ගෙවෙන්නට කලින් 71 කැරැල්ල ඇති විණ. පැරණි වමේ දේශපාලන සංඥා කියවීම එලෙස ය. 1992 වර්ෂයේ පාද යාත්‍රාව පිළිබඳ සියලු සංඥා ප්‍රේමදාස  ආණ්ඩුව නො සලකා හැරියේ ය. පාද   යාත්‍රාව පිළිබඳ “වද වීමට අවශ්‍ය නැති බවට” ලණුවක් ප්‍රේමදාස ආණ්ඩුවට දුන්නේ එකල ප්‍රේමදාස ආණ්ඩුවේ ප්‍රබල හා විශ්වාසී හිතවතෙකු ව සිටි ඔසී අබේගුණසේකර ය. 1994 වන විට එක්සත් ජාතික පක්ෂය පාද යාත්‍රාවේ තරම වටහා ගන්නේ විපක්ෂයේ සිට ය. 

දැන් වික්‍රමසිංහ ආණ්ඩුව වෙනුවෙන් ලියන බේරේ ගෙදර කණ්ඩායමත් අනෙකුත් ආයතනවල අයත් ජනබලය පාද යාත්‍රාව පිළිබඳ “වද වීමට අවශ්‍ය නැති බවට” මතයක් ජනනය කරමින් වික්‍රමසිංහ ආණ්ඩුවට ලණු ගිල්වමින් සිටිති. තමා ආරක්ෂා කරන්නට වඳුරන් අතට කඩු දුන් ආණ්ඩුව පරිස්සම් විය යුතු ය. මැස්සාට කෙළින පහර ආණ්ඩුවට වැදීමට බොහෝ ඉඩ ඇත. 

වික්‍රමසිංහයන් නම් ජන බලය (ජනතාවගේ බලය) කෙරෙහි එතරම් විශ්වාසයක් තබන බවක් නො පෙනේ. ඔවුන් තීරණ ගන්නේ ජන විඥානය සලකා නො වේ. ජන විඥානය නො හඳුනන තම හිතවතුන් කීප දෙනෙකු සමඟ එක් ව බැරෑරුම් තීන්දු ගැනීම 2001 දී මෙන් ම මෙවර ද ඔවුන් කෙරෙන් දිස් වේ. 2001 දී සාම වැඩ පිළිවෙළ පිළිබඳ යහපත් ජන මතයක්  ගොඩනඟන්නට වික්‍රමසිංහ ආණ්ඩුව එතරම් උනන්දු වූයේ නැති බව අප මින් පෙර ද පවසා ඇත. එසේ ම දේශපාලනය කළ යුතු තැන දී වික්‍රමසිංහයන් දේශපාලනය කළේ ද නැත. එනිසා සාම වැඩ පිළිවෙළට නිර්මාණාත්මක සහයෝගයක් දිය හැකි වාමාංශිකයන් වික්‍රමසිංහයනට කිට්ටු ව සිටිය දී ද රාජිත  සේනාරත්න වැනි කලක් වමේ සිටි සූර දේශපාලන ප්‍රයෝගකරුවන් වික්‍රමසිංහයන් වටා සිටිය දී ද අවසානයේ දී වික්‍රමසිංහයෝ ආණ්ඩු බලය නැති කර ගත්හ. 

වික්‍රමසිංහයන් අවම වශයෙන් ජාතික ප්‍රශ්නය පිළිබඳ හෝ යම් සාධනීය මැදිහත් වීමක් කරති යි අපි විශ්වාස කරමු. වික්‍රමසිංහ ආණ්ඩුව කුමන්ත්‍රණ මඟින් පෙරළා සිංහල මහා ජාතිකවාදී රාජපක්ෂයන් යළි බලයට ගෙන ඒමට අප විරුද්ධ වන්නේ එනිසා ය. වික්‍රමසිංහ ආණ්ඩුව රැක ගනිමින් එය නිවරද මාර්ගයේ ගෙන යාම එම ආණ්ඩුව බලයට ගෙන එන්නට මහත් කාර්යභාරයක් කළ ලිබරල් බුද්ධිමතුන්ගේ වගකීමකි. දරුවන් ජාතක කර ඔවුන් උපන් දා සිට අතහැර දමා අනාථ කිරීම ජනතා විමුක්ති පෙරමුණේ පුරුද්ද ය. වගකීම්බර පියවරුන් ලිබරල්වාදය තුළ සිටිති යි අපි සිතමු!

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s