නිදහස වෙනුවට සිර කුටිය පුළුල් කිරීමට යෝජනා කිරීම

නිදහස වෙනුවට සිර කුටිය පුළුල් කිරීම නිෂ්ඵල ක්‍රියාවකි.

දේශපාලනය, ආර්ථිකය, සාහිත්‍යකලා ඈ නේක විසාහි සුවිසෙස්, සුසාධනීය හා සු‍සංවාදීය අදහස් දැක්වීම් කරන ප්‍රවීණ සමාජ-දේශපාලන විචාරකයකු, ලිබරල් ධනවාදී බුද්ධිමතකු හා සංවාදශීලී සොඳුරු මානවයෙකු වන අපගේ පැරණි (විශ්‍රාමික) වාමාංශික මිතුරෙකු අපට සිහි වේ. ඔහු ස්වකීය දෘෂ්ටිවාදයන්ගේ ප්‍රකාශනය සෑම අවස්ථාවක ම පාහේ ඉතා නිරවුල් ව හා සෘජු ව ඉදිරිපත් කරන්නෙකු බව අපි දනිමු. වසර ගණනක් තිස්සේ ඔහුගේ ලියුම්-කියුම් කියවන-අසන අපට ඔවුන් එක් කරුණක දී නම් ඉතා දියාරු, වැටකොළු-බණ්ඩක්කා-පතෝල ආකාර අස්ථානයක් අනුයන බව නිරීක්ෂණය කළ හැකි ය. එකී කරුණ නම් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය ය. ලාංකීය දේශපාලන අවකාශය තුළ ක්‍රියාකාරී බුද්ධිජීවීන්ගේ දෘෂ්ටිවාදාත්මක අස්ථානයේ ප්‍රතිගාමීත්වය හෝ ප්‍රගතිශීලීවත්ය හෝ සම්පරීක්ෂාවට ලක් වන තීරණාත්මක මොහාත එළඹෙන්නේ ඔවුන්ගේ දෘෂ්ටිවාද ජාතික ප්‍රශ්නය නම් උරගල මත සම්පරීක්ෂා කළ විට ය. 

අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරා ජාතික ප්‍රශ්නය අලළා අනුයන අස්ථානය පිළිබඳ අපට නිනව්වක් නැති ව ම නො වේ. දේශපාලන වශයෙන් අසත් මඟක වැටී වල්මත් ව සිටි ඔහු සත් මඟ වෙත පිය නැඟූ පශ්චාත්-ජ.වි.පෙ. යුගය තුළ ඔවුන් ගෙවූ වසන්ත සමය අපට අමතක නැත. “උතුරේ පෙරමුණට දකුණේ පසුමුණක් වීමට වඩා දකුණේ ම දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කර ගැනීම වැදගත් ය” යන සීමිත අරමුණකට එළඹි ඔහු විසි එක් වන සියවසේ පළමු දසකය ගෙවෙන්නට මත්තෙන් උත්තරාර්ධගෝලයේ වසන්ත සමයට සමු දී දක්ෂිණාර්ධගෝලයේ ශරත් සමය වෙත පිය නැඟූවේ ය. අප ගිම්හානයේ හිරු කිරණින් බල ගැන්වෙන විට ඔහු ශිශිරයේ ශීත සුළඟේ සැනසෙමින් සුප්ත කාලයකට එළඹුණේ ය. අවාසනාවකට එම ශිශිරය ඔහු කිසි දා හැර ගියේ නැත. ඔහු එතැන් සිට අද වන තෙක් සුප්ත සමයේ ම රැඳී සිටියි.

පසු ගිය දා යාපනය සරසවියේ ගැටුම සම්බන්ධ ව වියුණු සටහනක් පළ කරමින් ඔහු යළි ජාතික ප්‍රශ්නය වෙත එළඹ ඇති සෙයකි. එම වියුණු සටහන අලළා අප හා අනෙකුත් පාඨකයන් විසින් නඟන ලද ප්‍රශ්න කිසිවකට පිළිතුරු නො දුන් ඔහු එම වියුණ සටහන වර්ධනය කරමින් තවත් වියුණු සටහනක් ද පළ කර ඇත. ජාතික ප්‍රශ්නය පිළිබඳ ඔහු යළි සංවාද වීම අපට විත්තප්‍රසාදජනක ය. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරා කවර නම් අස්ථානයක් ප්‍රකට කරන්නේ ද? ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරාගේ දිගංශය කුමක් ද? 

ජාතික ප්‍රශ්නය අරබයා අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරාගේ ප්‍රවිෂ්ටයේ පදනම වන්නේ වාමාංශික පංති රහිත සමාජයට සමරූපී ව ලිබරල් ධනවාදය තුළ ගොඩ නැඟී ඇති සමානාත්මතා මූලධර්මය ය. ඔහු තම වියුණු සටහන මෙලෙස අවසන් කරයි:

වාමාංශිකයන් ඉතා පැහැදිලිව ජාතිවාදයෙන් වෙන් විය යුතු ය. ජාතීන්ගේ ප්‍ර‍ශ්නයට විසඳුම ලෙස සුළුතර ජාතිවාදයන් හෝ ප්‍ර‍වර්ධනය නො කළ යුතු ය. වාමාංශිකයන් පෙනී සිටිය යුත්තේ සුළුතර ජාතිවාදයන් වෙනුවෙන් නොව, ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීම වෙනුවෙනි. සරළව කිවහොත්, ජාතිය යනු වාමාංශිකයන්ට අදාළ දෙයක් නො වේ.

බැලූ බැල්මට මෙම ප්‍රකාශය ඉතා හරවත්, සබුද්ධික හා මධ්‍යස්ථ එකකි. සිංහල මහා ජාතිකත්වය විසින් බල ගැන්වෙන කෛරාටික ධනපති පාලක පන්තිය ධනවාදයේ ලිබරල් යුගය තුළ මෙකී රස කරවන ලද හලාහල විෂ ලාංකීය ජන විඥානය තුළට ඇතුළු කරනු ලැබ ඇත. “ඔහු කෙතරම් විද්වත් මතයක් දරන්නෙක් ද? මෙවන් විශ්ලේෂකයන් අපගේ පිනට ම පහළවන්නේ ය” යන පහන් සංවේගයක් එකී ප්‍රකාශය කියවන පාඨක සමූහයා තුළ ඇති විය හැකි ය. එහෙත් මෙම ප්‍රකාශය අන්ත ප්‍රතිගාමී ය; අන්ත අධිපතිවාදී ය; සිංහල මහා ජාතියේ ඊනියා පඬි කුලයේ හෙජමොනික දෘෂ්ටිවාදයට වක්‍ර ව න්‍යායාත්මක ජීව ප්‍රාණය සපයන්නේ ය. 

අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරා පවසන “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීම” යන වියුක්ත ප්‍රකාශයේ භාවිත අර්ථය කුමක් ද? එමඟින් බිහි වන ඊනියා ලිබරල් ධනවාදී සමානාත්මතාවය කුමක් ද? මේ අන් කිසිවක් නො ව, විෂමජාතීය අනන්‍යතාවන්ගෙන් හෙබි ලාංකීය සමාජය සමජාතීය ශ්‍රී ලාංකික අනන්‍යතාවක් බවට පත් කර ගැනීමේ කූට ව්‍යාපෘතියකි. එමඟින් බිහි කර ගන්නා ඊනියා සමානාත්මතාව සමපාත වන්නේ සිංහල මහා ජාතියේ අනන්‍යතාව මත ය. එනම් සිංහල මහා ජාතියේ සම්මතය තුළට පීඩිත ජාතීන් ස්වීකරණය කරවා එකී පීඩිත ජාතීන්ගේ අනන්‍යතාවන් සිංහල මහා ජාතියේ හෙජමොනික (අධිපති) අනන්‍යතාවන් තුළ දිය කර හැරීම ය. මෙය පරම සිංහල මහා ජාතිකවාදය යි. අනෙකාගේ අනන්‍යතාවට ගෞරව කර එය පිළිගැනීම වෙනුවට අනෙකාගේ අනන්‍යතාව නැති කර අනෙකා ද තමා හා සමාන අයෙකු බවට පත් කිරීම සිංහල මහා ජාතිකත්වය පෝෂණය කිරීමක් පමණි. තල තෙල් ගඳ නැති දෙමළා කෙරෙහි සිංහල මහා ජාතිකත්වයට විරෝධයක් හෝ ගැටලුවක් හෝ නැත. සිංහල මහා ජාතිකත්වයට ගැටලුව ඇත්තේ දෙමළාගේ අනන්‍යතාව පිළිබඳ ය. දෙමළ ජනතාවගේ විමුක්ති අරගලයට සාපේක්ෂ ව අතිශය ප්‍රතිගාමී අස්ථානයක සිටි භ්‍රෂ්ටයෙකු වූ, තල තෙල් ගඳ නැති, සිංහලකරණය වූ දෙමළෙකු වූ ලක්ෂ්මන් කදිරගාමරයන් සිංහල මහා ජාතිකත්වයට වීරයෙකු වූයේ එනිසා ය. කදිරගාමරයනට අගමැති ධුරය ලබා දිය යුතු බවට හඬ නැඟුවේ සිංහල මහා ජාතිකත්වය මිස දෙමළ සහෝදරත්වය නො‍ වේ. වාමාංශිකයන්ගේ අරමුණ සියලු ජාතීන්ගේ අනන්‍යතාවන්ට  අන්‍යෝන්‍ය ලෙස ගරු කරන, ඒවා ඉවසන සාර සමාජයක් ගොඩ නැඟීම ය. දෙමළ ජනයාට සිංහල හාලේ බත් කන්නට බල කරන,  සිංහල ඇදුම් අඳින්නට බල කරන, සිංහලෙන් වැඩ කරන්නට බල කරන ඊනියා ලාංකීය අනන්‍යතාවකින් අපට වැඩක් නැත. “විවිධත්වයේ එක්සත්කම”  විනා “විවිධත්වය වෙනුවට ඒකීයත්වයක්” අපට අවශ්‍ය නැත. අප සිංහල මහා ජාතිකත්වයට පවසන්නේ ඔබලාගේ “ඊනියා සමානාත්මතාවත් සාටෝපවත් ‘ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන්’ ගොඩනැගීමත් ඔබලා ම පෙට්ටගමක දමා තබා ගන්න” යනුවෙනි. අපගේ ආදිආචාර්ය කාල් මාර්ක්ස් විසින් සංකල්පගත කළ “අන්තර්ජාතිකවාදියා” යනු අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරා පවසන අධිපති සිංහල මහා ජාතිකත්වයට වක්‍ර ව සහය දෙන ඊනියා සමානාත්මතාවාදියකු නො වේ. 

ජාතික අනන්‍යතාවන් පිළිබඳ අපගේ අස්ථානය මෙසේ ය:

අපි ජාතික අනන්‍යතාවන් පිළිගන්නෙමු. එහෙත් මානව වර්ගයා ජාතිකත්වය මත ධ්‍රැවීකරණය වී එක් ජාතිකත්වයක් විසින් තවත් ජාතිකත්වයක් යටපත් කර පීඩාවට පත්කිරීම නො පිළිගන්නෙමු. එක් ජාතියක ජාතික අනන්‍යතාව හෝ අනන්‍යතාවන් හෝ තවත් ජාතියක ජාතික අනන්‍යතාව හෝ අනන්‍යතාවන් හෝ තුළට සම්ප්‍රජන්‍ය ව ස්වීකරණය කර නැති කර දැමීම නො පිළිගන්නෙමු.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම වශයෙන් ඉදිරිපත් වන යෝජනාවේ මූලික පදනම විය යුත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හෙබවීම සඳහා පීඩිත ජාතීන් පුළුල් ලෙස දායක කර ගැනීමේ අව්‍යාජ අභිප්‍රේතාර්ථය ය. සිංහල භාෂාව ප්‍රමුඛ ව ව්‍යවහාර නො කරන, නිෂ්චිත සංස්කෘතික අනන්‍යතාවයක් සහිත පීඩිත ජන වර්ගයන්ට තමන්ගේ කටයුතු වඩා කාර්යක්ෂම ව කර ගත හැකි, තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් ප්‍රවර්ධනයකර ගත හැකි, තමන් ද ශ්‍රී ලංකා රාජ්‍යයේ සුජාත කොටස්කරුවෙකු බව දැනෙන  ආණ්ඩුකරණයක් අවශ්‍ය ය. මෙම අරමුණ හුදු පරිපාලන බලය බෙදීම මඟින් ඉටු කර ගත නො හැකි ය. අප ඉල්ලා සිටින්නේ පුළුල් ලෙස ආණ්ඩු බලය හවුලේ බුක්ති විඳීමකි (මේ  සඳහා “බෙදීම” යන වචනයක් ව්‍යවහාරයට ගෙන එන ලද්දේ සිංහල මහා ජාතිකත්වය විසින් ය). වාර්ගික  අනන්‍යතාවකින් යුත් පීඩිත  ජනයා සඳහා තම අවශ්‍යතා මත (ස්වයං නිර්ණිත) තමන් විසින් මෙහෙය වනු ලබන අර්ථවත් පාලන ක්‍රමයක්   (ස්වයං පාලනයක්) ඇති කර ගැනීම පීඩිත ජන වර්ගයාගේ අභිලාෂය ය.  

එවැනි විසඳුමක ආරක්ෂණය සඳහා අප විසින් ඉල්ලා සිටින ස්වයං නිර්ණ අයිතිය සිංහල මහා ජාතිකත්වය විසින් “රට බෙදීම” ලෙස අපනාම ගන්වා විකෘති කරනු ලැබ ඇත. දෙමළ විමුක්ති අරගලය වෙන ම රටක් වෙනුවෙන්  ආරම්භ වූවක් නො වේ. දෙමළ ජනයා සඳහා වෙන ම රටක් යනු වාස්තවික යථාර්ථයක් නො  වේ. අධිකරණ ශාලාවක් හෝ  බැංකු කඩයක් හෝ කැලෑ පොලීසියක් හෝ පිහිටුවා ගත් පමණින් වෙන ම රාජ්‍යයක් බිහි වන්නේ නැත. එවැනි ප්‍රකාශනවාදී වැරදිසහගත අස්ථානයකට අතීතයේ යම් කාල පරිච්ඡේදයක දී දෙමළ විමුක්ති අරගලයේ ප්‍රමුඛ ප්‍රකාශකයා වූ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරය එළඹීම ඔවුන්ගේ න්‍යායාත්මක දෝෂයකි. එවැනි විගඩම් මුලින් ම මෙරටට හඳුන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ළදරු මානසිකත්වය විසින් බව අද ජනතා විමුක්ති පෙරමුණට ද අමතක ව ඇත.

දෙමළ විමුක්ති අරගලය සඳහා ස්වයං නිර්ණ අයිතිය අවශ්‍ය වන්නේ වෙන ම රටක් බිහි කර ගැනීමට නො ව ස්වයං පාලනයේ  ආරක්ෂණ යාන්ත්‍රණයක් ලෙස ය. ස්වයං නිර්ණ අයිතිය රූපික ව සලකන විට විවාහ සංස්ථාව තුළ දික්කසාදය සඳහා ඇති  අයිතියට සාම්‍යයකි. අධිපති සංරචකය විසින් අවශේෂ සංරචකය පීඩාවට පත් කරනු  ලැබීමට එරෙහි  ව අවශේෂ සංරචකය සඳහා  ඇති ආරක්ෂණ යාන්ත්‍රණය දික්කසාද අයිතිය යි. දික්කසාද අයිතිය පිළිගැනීම යනු දික්කසාද වීම නො වේ. සිංහල මහා ජාතිකත්වය දෙමළ ජනයා සඳහා ස්වයං නිර්ණ අයිතිය සහිත ස්වයං පාලනයකට බිය වන්නේ පීඩිත ජන වර්ගයන්ට අව්‍යාජ ව විමුක්තිය ලබා දීමට ඇති අකමැත්ත නිසා ය. සිංහල මහා  ජාතිකත්වය නො කියා කියනුයේ “දෙන්නේ නැහැ, පුළුවන්නම් ගහලා  ගනිං” යන්න ය. දෙමළ විමුක්ති අරගලය  වරක්  සිංහල මහා ජාතිකත්වයේ මෙම ප්‍රකෝප කරවීම් නමැති මර උගුලට හසු වී නොමඟ ගියේ ය. යාපනය සරසවියේ අවාසනාවන්ත සිදුවීම දෙමළ විමුක්ති  අරගලය යළි නොමඟ යාමක  ආරම්භය නො විය යුතු ය. එසේ  වුවහොත් දෙමළ විමුක්ති අරගලය යළි අසූව දශකයේ මුලට පසුගමනක යෙදෙනු ඇත. දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් පෙනී සිටින අප යාපනය සරසවියේ  සිදුවීමට බිය වන්නේ එනිසා ය.   

සරළව කිවහොත්, ජාතිය යනු වාමාංශිකයන්ට අදාළ දෙයක් නො වේ.” යනුවෙන් අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරා පවසයි. සැබවින් ම මෙය සරල නො ව අතිසරල ප්‍රකාශයකි. වමේ ව්‍යාපාරයේ තිස් වසක් තුමු සිටි බව නිතොර පරවම්භනය කරන අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරා මෙවැනි මෝඝ ප්‍රකාශයක් කිරීම පිළිබඳ අපි කනගාටු වෙමු. ජාතිය පිළිබඳ සංකල්පය වම තුළ පුළුල් කතිකාවකට බඳුන් වූවකි. දෙවන ජාත්‍යන්තරය තුළ දී ද ඉන් පිටත දී ද එය සාකච්ඡාවට බඳුන් වී ඇත. ජාතිය පිළිබඳ විද්වත් කතිකාවක් ඇති කළ ලෙනින් ද එ‍යට එරෙහි අස්ථානයක සිටි ලක්සම්බර්ග් ද පමණක් සැලකු ව ද ජාතිය පිළිබඳ වමාංශිකයන් කර ඇති ශාස්ත්‍රීය සම්ප්‍රදානය අතිමහත් ය. පීඩිත ජාතීන්ගේ විමුක්ති  අරගලයේ දී ස්වයං නිර්ණ අයිතියේ කාර්යභාරය වූ කලී මාර්ගෝපකරණයක් පමණි. නදියෙන් එතෙර වන්නට භාවිතා කළ ඔරුව ඉන් පසු කර තබාගෙන යෑම වාමාංශික සම්ප්‍රදාය නො වේ. තිස් වසක් වමේ ව්‍යාපාරයේ සිටි බව පවසන අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරා වාමාංශික ශාස්ත්‍රීය සම්ප්‍රදානය ඇසුරු කර නැති සෙයකි. අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරාණෙනි,  තෙපි තිස් වසක් වම වැද පොල් ගෑවාහු ද?

අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරා අංශක තුන්සිය හැටක් කැරකී යළි සුපුරුදු  සිංහල මහා ජාතිකවාදී අස්ථානයට ම පැමිණ ඇත. ලිබරල් ධනවාදී කසී සළුවෙන් ඕජස් ගලන තම සිංහල මහා ජාතිකවාදී කුණපය වසා ගන්නට වෙර දරන අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරාට වඩා යම් ආකාරයකින් “අන්තිම දෙමළාගේ සමින් ද සිංහලයන් සඳහා පාවහන් සාදන තෙක් සටන් කරන්නට” කතා කළ උන්මත්තක සිංහල මහා ජාතිකවාදියෙකු වූ කේ. එම්. පී. රාජරත්න අව්‍යාජ ය. මක් නිසා ද රාජරත්න අවම වශයෙන් තම සිංහල මහා ජාතිකවාදී මතය සඳහා පෙනී සිටියේ ය. එහෙත් අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරා ජනතාව නොමඟ යවමින් ව්‍යාජ මානවවාදීත්වයක් පෙන්වයි. 

අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරාණෙනි, ජාතික ප්‍රශ්නය සඳහා “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීම” යන වියුක්ත විසඳුමක් යෝජනා කරන ඔබ අන්තර්ජාතිකවාදීත්වය හා පංති රහිත සාර සමාජය පිළිබඳ නිර්මල මාර්ක්ස්වාදී ඉගැන්වීම් විකෘති කරයි. ඒ වූ කලී සසර දුක නැති කර ගැනීමට සංසාරය කෙටි කර ගනු වස් සියදිවි නසා ගැනීමට යෝජනා කරමින් නිර්මල බුදු දහම විකෘති කිරීම වැනි සාපරාධි ක්‍රියාවකි.

නිදහස වෙනුවට සිර කුටිය පුළුල් කිරීමට යෝජනා කරන අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරා ආන්තික සිංහල මහා ජාතිකවාදියෙකි. දෙමළ විමුක්ති අරගලයේ ආත්මීය දෝංකාරය විසින් ඉල්ලා සිටින්නේ අනන්ත ආකාශයේ රිසි සේ සැරිසරන්නට නිදහස යි. අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරා  ඇතුළු සිංහල මහා ජාතිකත්වය දෙමළ සහෝදරත්වයට යෝජනා කරනුයේ කූඩුව පුළුල් කර දීමට ය. දෙමළ ජනයාගේ අභිලාෂයන් නො සලකා හරින, දෙමළ ජනයාගේ අනන්‍යතාවන් නැති කරන ඊනියා සිංහල මහා ජාතිකත්වයේ ව්‍යාජ සංහිඳියාවෙන් දෙමළ ජනයාට වැඩක් නැත. බණ්ඩා-ශෙල්වා ගිවිසුමේ සිට සිංහල මහා ජාතිය විසින්  දෙමළ සහෝදරත්වයට බන්දේසිවල තබා පිළිගන්වන ලද පුස් ගැසූ කේක් ගෙඩි කා ඇති වෙන්නට තරම් දෙමළ සහෝදරත්වය බඩේ රුදාව සාදාගෙන තිබේ. එනිසා යළිත් දෙමළ සහෝදරත්වයට පුස් කේක් අවශ්‍ය නැත. දෙමළ  කතා කරන ජනයාගේ අභිලාෂයන් අවබෝධ කර ගන්න ය යි අපි සිංහල මහා ජාතිකත්වයෙන් ඉල්ලා සිටිමු. අවසන් දෙමළාගේ සමින් ද සිංහලයන්ට පාවහන් සාදන්නට එදා රාජරත්න සිතුව ද එවැන්නක් අද නම් සිංහල මහා ජාතියට සිතන්නටවත් නොහැකි ය. දෙමළ විමුක්ති අරගලයට එරෙහි ව අද යමකු නැඟී සිටින්නේ නම් ඒ තැනැත්තාට එය කරන්නට සිදුවන්නේ සමස්ත ලෝකයට එරෙහි ව ය. ලෝකයට තබා තමිල්නාඩුවෙන් එහාටවත් යාමට අපගේ විශ්‍රාමික වාමාංශික මිතුරා විසින් ද වක්‍ර ව සහය දෙනු ලබන සිංහල මහා ජාතිකත්වයට නො හැකි බව අවසන් වශයෙන් පවසමු. පීඩිත ජාතීන්ගේ ලෝක ව්‍යාප්ති විමුක්ති අරගල දිනේවා! 

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s