ධනපති පන්තිය යනු ලබ්බට තැබූ අත පුහුලට නො තබන පංතියක් නො වේ

ඵෙතිහාසික භෞතිකවාදය

අතීතයේ දී වාමාංශිකයකු ව සිට පසු ව වම හැර ගොස් ලිබරල් ධනවොදය සමඟ සහවාස වී තමා අමුතු ම ආකාරයක සමාජවාදයක් ගොඩනඟන බව වර්තමානයේ දී  නිතොර පවසන අපගේ පැරණි මිතුරෙක් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය අලළා ලියන ලිපි මාලාවක දී ජාතිකත්වය යන සංකල්පය පිළිබද ප්‍රස්තුත 3ක් ඉදිරිපත් කරයි. 

1. “දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම යනු මානව ඉතිහාසය පුරා ම සිදු වී තිබෙන ස්වාභාවික ක්‍රියාවලියකි.”

2. “දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම ජාතියෙන් අවසන් වන්නේ නැත. ප්‍රගතිශීලීන් හෝ වාමාංශිකයන් සිටිය යුත්තේ ඉතිහාසය සමග මිස දෘෂ්ටිවාදයන් සමග නො වේ.”

3. “දෙමළ ජාතිය නම් වත්මන් තත්වයට ගොඩනැගීම සම්පූර්ණ කර ගත්තේ දෙමළ සන්නද්ධ අරගලය තුළයි.”

අපගේ පැරණි වාමාංශික මිතුරා කතිකාවට ගෙන එන පළමු වැනි ප්‍රස්තුතය පිළිබඳ අපට විසංවාදයක් නැත. එනිසා ඒ සම්බන්ධයෙන් අපට ඇත්තේ කෙටි පිළිතුරකි. තුන් වැනි ප්‍රස්තුතය පිළිබඳ විසංවාද වන්නට අපට අවැසි නැත. එනිසා ඒ සම්බන්ධයෙන් ද අපට ඇත්තේ කෙටි පිළිතුරකි. අපගේ පැරණි වාමාංශික මිතුරා කතිකාවට ගෙන එන දෙවැනි ප්‍රස්තුතය සාකච්ඡාවට ගත යුතු වැදගත් එකකි. එනිසා ඒ සම්බන්ධයෙන් අපට දීර්ඝ පිළිතුරක් ඇත.

1. “දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම යනු මානව ඉතිහාසය පුරා ම සිදු වී තිබෙන ස්වාභාවික ක්‍රියාවලියකි.” 

ඉතිං කවුරු නම් එසේ නැති බව පැවසුවේ ද? නිෂ්පාදන සබඳතාවල ප්‍රගමනය සමඟ එය සිදු‍ වේ. Das Kapital හා A Contribution to the Critique of Political Economy යන දීප්තිමත් ප්‍රකාශන ද්වයය පමණක් අධ්‍යයනය කළ ද එය එසේ සිදුවන්නේ කෙසේ ද යන්න මනා ව අවබෝධ කර ගත හැකි ය. 

 

2. “දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම ජාතියෙන් අවසන් වන්නේ නැත. ප්‍රගතිශීලීන් හෝ වාමාංශිකයන් සිටිය යුත්තේ ඉතිහාසය සමග මිස දෘෂ්ටිවාදයන් සමග නො වේ.”  

මාර්ක්ස් විසින් මානව සමාජය ප්‍රගමනය වීම නිෂ්පාද සබඳතා මත සිදුවන ආකාරය පැහැදිලි කිරීමට සුනිෂ්චිත අර්ථයකින් භාවිතා කෙරැණු ප්‍රජාවන් පුළුල් වීමේ කතිකාව සහ ඵෙතිහාසික හෞතිකවාදය අපගේ පැරණි වාමාංශික මිතුරා විසින් පදනම් විරහිත ව, අදාළ නො වන සන්දර්භයක් තුළ අවභාවිතා කරනු ලැබ එකී සංකල්පවල අර්ථය විකෘති කරනු ලැබේ. ප්‍රාග්ධනය හා ශ්‍රමය ද්විභින්න ව සංචිත වීමත් සමඟ ඇති වන සමාජ සබඳතා, අතිමූලික සමාජයන්හි සිට වර්තමානය දක්වා ද වර්තමානයේ සිට අනාගත පන්ති රහිත සමාජවාදී සාර සමාජය දක්වා ද නිෂ්පාදන සබඳතා මත වර්ධනය හා විකසනය වීම අතීතය මත පිහිටා වර්තමානය තුළ විවරණය කිරීම ඵෙතිහාසික භෞතිකවාදය යි. අපගේ පැරණි වාමාංශික මිතුරා  “ප්‍රජාවන් පුළුල් වීම” යනුවෙන් සංකේතගත කරන්නේ මෙකී “සමාජ සබඳතාවල වර්ධනය හා විකසනය” විය යුතු ය. ඔහු “ප්‍රගතිශීලීන් හෝ වාමාංශිකයන් සිටිය යුත්තේ ඉතිහාසය සමග” යන ප්‍රකාශයේ “ඉතිහාසය” යනුවෙන් සංකේතගත කරන්නේ මෙකී “ඵෙතිහාසික භෞතිකවාදය” විය යුතු ය. එසේ නැති ව හෙරඩෝටස්ගේ හෝ ප්ලිනිගේ හෝ දීපවංසකරුවාගේ හෝ මහාවංසකරුවාගේ හෝ අධිපති පාලක පන්තියේ රේඛීය ඉතිහාසයෙන් අපට වැඩක් නැත. ඉතිහාසය ලෙස ශාස්ත්‍රීය අර්ථයෙන් සංකේතගත කෙරෙන දැනුම් පද්ධතිය පිළිබඳ වුව අප විමසනුයේ ජෝර්ජි ප්ලෙකානව් හෝ ලෙස් ගුණවර්ධන හෝ රොමිලා තාපර් හෝ (මෙම සුධීමත් නාමයන් අතරට අප මිය යන්නට පෙර අනාගතයේ යම් දිනෙක වමාගේ නාමය ද එකතු කරන්නට හැකි වේවා යන පැතුමක් අපට ඇත) අනුයන ආකාරයට ය. 

ඉතිං අප සැම දා සිටියේ ද සිටින්නේ ද එම ඵෙතිහාසික භෞතිකවාදය මත ය. ලිබරල් ධනවාදියෙකු අපට මෙතරම් කරුණාවෙන් අප සිටිය යුතු තැන මතක් කරන්නේ ඇයි ද යන්න අපි හොඳින් දනිමු. සිංහල මහා ජාතිකත්වයටත් එයින් බල ගැන්වෙන පීඩක ධනපති පාලක පන්තියටත් පීඩිත ජනයා තළා, පෙළා, නැතිභංගස්ථාන කිරීමට ඇති ප්‍රධාන ම බාධකය වම ය. එනිසා පීඩිත ජනයාගේ විමුක්ති අරගලයෙන් න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් වාමාංශිකයන් පිටුවහල් කිරීම සිංහල මහා ජාතිකත්වයේත් එයින් බල ගැන්වෙන පීඩක ධනපති පාලක පන්තියේත් අරමුණ ය. අපගේ පැරණි වාමාංශික මිතුරා සිංහල මහා ජාතිකත්වයේත් එයින් බල ගැන්වෙන පීඩක ධනපති පාලක පන්තියේත් කොන්ත්‍රාත්තුව කැපවීමෙන් බාර ගෙන ඇති සෙයකි. 

මාර්ක්ස්වාදයේ අත්‍යන්ත අභිප්‍රේතාර්ථය වූ පන්ති රහිත සමාජවාදී සාර සමාජය ළඟා කර ගැනීම සඳහා මාර්ක්ස්වාදීන්ගේ කාර්යභාරය වන්නේ ධනපති ක්‍රමයට කොන්දේසි විරහිත ව පහර දී එය පෙරළා දැමීම ය. එය කළ හැකි වන්නේ පීඩක ධනපති පන්තියට එරෙහි ව පීඩිත නිර්ධන පන්තිය මුළු ගන්වන නිර්ධන පන්තියේ සර්වව්‍යාප්තික අරගලයකින් ය. ධනපති භීමරූපියාට එරෙහි ව නිර්ධන පන්තිය කරන බිහිසුණු අරගලයේ දී නිර්ධන පන්තිය එක්සත් විය යුතු ය. ජාතීන් වශයෙන් හෝ ආගම් වශයෙන් හෝ සමාජයේ උපරිව්‍යුහයේ පවතින වෙනත් මොනයම් හෝ ලාක්ෂණිකයක් මත පීඩිත නිර්ධන පන්තිය භේදභින්න නො විය යුතු ය. එසේ භේදභින්න වීම පීඩිත නිර්ධන පන්තියේ අරගලය බෙලහීන කිරීමකි; පීඩක ධනපති පන්තිය ශක්තිමත් කිරීමකි. මාර්ක්ස්වාදය පීඩිත ජනයා ජාතින් වශයෙන් ධ්‍රැවීකරණය වීමට එරෙහි වන්නේ එම හේතු ව නිසා ය. එසේ නැති ව පීඩිත ජාතීන්ගේ ජාතික අනන්‍යතාවන් අධිපති ජාතීන්ගේ අන්‍න්‍යතාවන් තුළ දිය කර හැරීමට නො වේ. රුසියානුවා ද ඉංගිරිසියා ද ප්‍රංශුවා ද තමන්ගේ අනන්‍යතා අතහැර ජරමානුවෙකු ලෙස ජීවත් විය යුතු බවක් මාර්ක්ස් නො කීවේ ය. එවැනි දේ පවසන්නෝ ධනපති පන්තියේ කුලීකාර දෘෂ්ටිවාද නිපදවන්නෝ ය. එවැනි දාර්ශනිකයෝ විසිඑක් වන සියවසේ දී ‍මෙසිරිලක පමණක් නො ව දහනව වැනි සියවසේ දී යුරෝපයේ ද සිටියෝ ය. මාර්ක්ස් හා එංගල්ස් විසින් එවැනි දෘෂ්ටිවාද නිපදවන්නන්ගේ කියුම්-කෙරුම් පිළිබඳ යස අගේට Ludwig Feuerbach and the End of Classical German Philosophy නම් විශිෂ්ට ලේඛනයේ විග්‍රහ කරන ලදී. 

ජරමානු සමාජයට වඩා විෂමජාතිය ජාතික අනන්‍යතාවන් මත සැකසුණු රුසියානු සමාජය තුළ මාර්ක්ස්වාදය ස්ථාපනය වීමේ දී ජාතික අනන්‍යතාවන් පිළිබඳ කතිකාව වඩාත් වර්ධිත අවස්ථාවකට පැමිණි බව නිරීක්ෂණය කළ හැකි ය. මාර්ක්ස්වාදයේ මාර්ක්ස්-ලෙනින්වාදී දිගුව ඉතා පැහැදිලි ව ජාතික විමුක්ති අරගලයන් ඥානනය කර ගන්නේ පීඩිත පන්තිය පීඩක පන්තියට එරෙහි ව කරන ආස්වාදනීය අරගලයක් ලෙස ය.  මූලික ලෙස ම සම්භාව්‍ය මාර්ක්ස්වාදය (මාර්ක්ස්-එංගල්ස් විසින් සූත්‍රගත කෙරුණු මාර්ක්ස්වාදය) අනුයන්නේ වුව අපි ජාතික ප්‍රශ්නය අරබයා මාර්ක්ස්-ලෙනින්වාදී විස්තීර්ණය පිළිගන්නෙමු. අප දෙමළ  ඊළාම් විමුක්ති අරගලය අවාසනාවන්ත ලෙස පරාජයට පත් වූ විට කනගාටු වූයේ එය නොමඟ ගොස් සිටියේ වුව විමුක්තිකාමී මාණවකමාණවිකාවන් පිරිසක් විසින් පීඩක පන්තියට එරෙහි ව පීඩිත පන්තිය වෙනුවෙන් අරඹන ලද අරගලයක් නිසා ය. අප ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ වූයේ වුව රෝහණ සහෝදරයා ඝාතනය කෙරුණු කල කනගාටු වූයේ ද එම පදනමින් ය. එදා ආරුණාශලම් ශාලාවෙන් පිටතට පැමිණෙන කල අල්විස් පොකුණ වටා කඳින් වෙන් කළ තරුණ හිස් තබා තිබිය දී අප කම්පා වූයේ ද එම පදනමින් ය. 

දෙමළ ජනයාගේ අභිලාෂයන් සැලකිල්ලට ගනු ලබන දෙමළ ජනයාගේ අනන්‍යතාවන් නො නැසෙන ආකාරයේ විසඳුමකින් විනා “දේශපාලන ප්‍රජාවන් පුළුල් කිරීම” යැයි සන්දර්භයෙන් විනිර්මුක්ත ව නන්දෙඩවීමෙන් ජාතික ප්‍රශ්නය විසඳෙන්නේ නැත. මෙතෙක් කාලයක් සිංහල මහා ජාතිය හා ධනපති පාලක පංතිය එක් ව සිදු කළේ ද එලෙස දෙමළාගේ ප්‍රශ්නයට දෙමළා නොමැති විසඳුම් සෙවීම ය. අපගේ පැරණි වාමාංශික මිතුරා “ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතිය නැති කිරීම ය” යි පැවසීම “ජීවිතය දුකක් වීමට විසඳුම මිය යෑම ය” යි පැවසීම වැනි විකාරයකි. අප කළ යුත්තේ ජාතික ප්‍රශ්නය ඇති වීමට හා පැවැත්මට හේතු වූ සාධක ‍සඳහා විසඳුම් ලබා දීම ය. දෙමළ ජනයාගේ අභිලාෂයන් නො සලකා හැර “දේශපාලන ප්‍රජාවන් පුළුල් කිරීම” මඟින් එකී කාර්යය සාධනය වන්නේ නැත.  

පීඩක ධනපති පන්තිය බලා සිටින්නේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාගේ පීඩිත පන්තිය ජාතිය, ආගම, කුලය ඈ නේක වෙනස්කම් මත භේදභින්න කරවා, පීඩක ධනපති පන්තියට එරෙහි ව නැඟී එන පීඩිත නිර්ධන පන්ති අරගලය බෙලහීන කිරීමට ය (විවිධ ජාතීන් ඔවුන්ගේ ජාතික අනන්‍යතාවන්ට අන්‍යෝන්‍ය ලෙස ‍ගෞරව නො කර, අනෙකා නො ඉවසන තත්ත්වයකට යාමෙන් ඇති වන වාර්ගික ධ්‍රැවීකරණය කරණ කර මෙකී භේදභින්න වීම සිදු වේ). වර්තමානයේ දී ලිබරල් ධනවාදී දාර්ශනිකයෙකු බවට පත් ව සිටින අපගේ පැරණි වාමාංශික මිතුරා දෙමළ-මුස්ලිම් සංහිඳියාව බිඳ දැමීමට නො සෑහෙන වෑයමක් දරමින් පරණ කුණු ගොඩවල් අවුස්සන්නේ ද එම අදහසින් ම ය. අපගේ පැරණි වාමාංශික මිතුරා යනු පීඩක ධනපති පන්තියේ නීච අරමුණ සාක්ෂාත් කර ගැනීමට පීඩක ධනපති පන්තිය විසින් භාවිතා කරනු ලබන සුළු කොන්ත්‍රාත්කරුවෙකු පමණි. කුමාර වාපා බණ්ඩාර, දයාන් ජයතිලක වැනි මහා කොන්ත්‍රාත්කරුවන් සිටිය දී අපගේ පැරණි වාමාංශික මිතුරා වැනි සුළු කොන්ත්‍රාත්කරුවෙකුට පමණක් පහර දීම නුසුදුසු ය. එනිසා අප මෙම සටහන් ලියන්නේ ඉතා ඉවසීමකින් ය.

ධනපති පන්තිය පීඩිත දෙමළ ජනයාට එරෙහි ව ඔසවන මුඟුර යම් දිනක දී පීඩිත සිංහල ජනයාට ද පීඩිත මුස්ලිම් ජනයාට ද ඔසවන බව අප තේරුම් ගත යුතු ය. ධනපති පන්තිය යනු ලබ්බට තැබූ අත පුහුලට නො තබන පන්තියක් නො වේ. සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු පීඩිත නිර්ධන පංති ජනයා කළ යුත්තේ එක්සත් ව පීඩක ධනපති පාලක පන්තියට එරෙහි ව නැඟී සිටීම ය. මෙකී කළ යුතු දෙය සිංහල සමාජයේ පීඩිත නිර්ධන පන්තියත් දෙමළ සමාජයත් පීඩිත නිර්ධන පංතියත් වටහා ගෙන ඇති බවක් නො පෙනේ. මුස්ලිම් සමාජයේ පීඩිත නිර්ධන පන්තිය ද නැගෙනහිර හැසිරෙන ආකාරයෙන් ඔවුන් ද මෙකී කළ යුතු දෙය වටහා ගෙන ඇති බවක් නො පෙනේ. 

 

3. “දෙමළ ජාතිය නම් වත්මන් තත්වයට ගොඩනැගීම සම්පූර්ණ කර ගත්තේ දෙමළ සන්නද්ධ අරගලය තුළයි.”  

අපගේ පැරණි වාමාංශික මිතුරා මෙය ඉගෙන ගත්තේ නලින්ගෙන් ද අමරසේකරගෙන් ද? කෙ‍සේ වෙතත් අපගේ පැරණි වාමාංශික මිතුරාගේ ප්‍රකාශය තුළින් දෙමළ සන්නද්ධ අරගලය විසින් දෙමළ ජාතික විමුක්ති අරගලය සම්බන්ධයෙන් සාධනීය කාර්යභාරයක් කරන ලද බව පිළිගෙන ඇත. 

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම. 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s