මානව ජීනෝමය සහ ජාතික අනන්‍යතා

අප විසින් යම් තැනෙක පැවසුණු “ජාතික අනන්‍යතාවයන් මානව ජීනෝමය තුළ ලිය වී ඇති ලාක්ෂණිකයන් හා බැඳී ඇත.” යන වැකිය අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරකු විසින් නිවැරදි ව කියවා නැති බව ඔහු ගොඩනඟන තර්කයෙන් ගම්‍ය වේ. එම වාක්‍යයේ අරුත වැරදි කොනින් අල්ලා ගන්නා ඔහු එනයින් අප ජාතිවාදියකු බව ද පවසයි. අපි ජාතික අනන්‍යතාවන් පිළිගන්නෙමු. එහෙත් මානව වර්ගයා ජාතිකත්වය මත ධ්‍රැවීකරණය වී එක් ජාතිකත්වයක් විසින් තවත් ජාතිකත්වයක් යටපත් කර පීඩාවට පත්කිරීම නො පිළිගන්නෙමු. එක් ජාතියක ජාතික අනන්‍යතාව හෝ අනන්‍යතාවන් හෝ තවත් ජාතියක ජාතික අනන්‍යතාව හෝ අනන්‍යතාවන් හෝ තුළට සම්ප්‍රජන්‍ය ව ස්වීකරණය කර නැති කර දැමීම නො පිළිගන්නෙමු. මානවයාගේ විවිධ ලාක්ෂණික මානව ජීනෝමය තුළ ලිය වී පවතී. ජාතික අනන්‍යතා නිර්ණය වීමේ දී එයට පදනම් වන ලාක්ෂණික ද මානව ජීනෝමය තුළ ලිය වී පවතී. ජාතික අනන්‍යතා සහ මානව ජීනෝමය අතර පවතින සම්බන්ධය සරල, සෘජු හා ඒකමතික වූවක් නො ව සංකීර්ණ, වක්‍ර හා බහුමතික වූවකි. 

ජීනෝමය (genome) යනු කිසි යම් ජීවියෙකුගේ ප්‍රවේණි ද්‍රව්‍යයේ සමස්තය ය. පරිණාමික වශයෙන් දියුණු ජීවින්ගේ එය DNA (deoxyribonucleic acid – ඩියොක්සිරයිබොන්‍යුක්ලික් ඇසිඩ්) ලෙස සෛල න්‍යෂ්ටිය (cell nucleus) තුළ ප්‍රධාන වශයෙන් ද සෛල ප්ලාස්මාවේ ඇති මයිටොකොන්ඩ්‍රියා (mitochondria – ශක්තිය නිපදවීමට අදාළ ඉන්ද්‍රිකා) තුළ අවශේෂ වශයෙන් ද සැකසී පවතී. ජීවියාගේ වර්ධනය හා විකසනය යාමනයේ සිට ලාක්ෂණික (traits) නිර්ණය දක්වා අදාළ නේක තොරතුරු මෙකී ප්‍රවේණි ද්‍රව්‍යයේ ගැබ් ව පවතී. එම තොරතුරු කේතගත වී ඇති මූලික ව්‍යුහය ජාන (genes) නම් වේ. මෙකී ජාන, ඇලීල (alleles) නම් අනුකොටස් මඟින් සෑදී ඇත. ජානමය ව්‍යුහය ප්‍රවේණිදර්ශය (genotype) නම් වේ. ලාක්ෂණික ව්‍යුහය රූපානුදර්ශය (phenotype) නම් වේ. සම්භාව්‍ය මෙන්ඩලීය ප්‍රවේණි  විද්‍යාවට (Mendelian Genetics) අනුව ප්‍රවේණිදර්ශය හා රූපානුදර්ශය අතර සම්බන්ධය සෘජු හා රේඛීය එකකි. නිදසුනක් ලෙස මෙන්ඩල්ට අනුව මෑ පුෂ්පයේ පැහැය නම් ලාක්ෂණිකය (රූපානුදර්ශය) නිර්ණය වූයේ එයට අදාළ නිශ්චිත ජානයක ව්‍යුහයකින් (ප්‍රවේණිදර්ශයකින්) ය. එහෙත් නූතන අණුක ජීව විද්‍යාව මත වර්ධනය වූ නූතන ප්‍රවේණි විද්‍යාව අනුව රූපානුදර්ශය හා ප්‍රවේණිදර්ශය අතර සම්බන්ධය සෘජු හා රේඛීය එකක් නො වේ. එනම් ලාක්ෂණික නිර්ණය වන්නේ තනි ජාන මත නො ව ජානමය හා පාරිසරික (භෞතික හා සමාජ පරිසරයන්) බහුවිධ සාධක මත ය. යම් ජනවර්ගයක් ප්‍රජාවක් ලෙස අතිදීර්ඝ කාලයක් තිස්සේ යම් පාරිසරික තත්ත්වයක් (හෝ තත්ත්වයන්) යටතේ පරම්පරා ගණනක් පැවතීමේ දී එකී ජන වර්ග ප්‍රජාව තුළ එක්රැස් වන ජාන කිටුව (gene pool) එකී ජනවර්ග ප්‍රජාවට අනන්‍ය විය හැකි ය. එය ප්‍රජා ප්‍රවේණි විද්‍යාවේ මූලික සිද්ධාන්තයකි. එකී අනන්‍ය ජාන කිටුව වුව පරම්පරා ගණනක දී බහුවිධ සාධක මත වෙනස් විය හැකි ය. එසේ නො වෙනස් ව පවතින සම්මත තත්වයන්හි හැසිරීම හා අපගමනයන් හාඩි-වයින්බර්ග් සමතුලිතය (Hardy-Weinberg equilibrium) මඟින් ගණිතමය ව වුව අධ්‍යයනය කළ හැකි ය. 

මෙය හුදු පරිකල්පනයක් නො වේ. මෙය වාස්තවික සත්‍යයකි. වෛද්‍ය විද්‍යාවේ යම් යම් රෝගවලට හේතු (aetiology) හෝ අවදානම් සාධක (risk factors) හෝ විමර්ශනයේ දී ද ඇතැම් ඖෂධ සඳහා ඇතැම් රෝගීන් දක්වන ප්‍රතිචාර විමර්ශනයේ දී ද ජනවර්ග මූල ව පවතින ජාන සංයුතීන්ගේ දායකත්වය හඳුනාගත හැකි ය. සුපැහැදිලි නිදර්ශන කීපයක් මෙසේ ය: 

පෙණහලු ඇතුලු විවිධ ඉන්ද්‍රීයන්ට බලපාන සිස්ටික් ෆයිබ්‍රෝසිස් (cystic fibrosis) නම් රෝගී තත්ත්වය උතුරු යුරෝපීය ජනවර්ග අතර සුලබ වුවත් අන්‍ය ජනවර්ග අතර දුලබ ය. මූලික ව ම ස්නායු පද්ධතියට බලපාන ටේ-ශාච්ස් (Tay-Sachs disease) නම් රෝගී තත්ත්වය ඇශ්කෙනාසි යුදෙව්වන්  (Ashkenazi Jews) අතර සුලබ වුවත් අන්‍ය ජනවර්ග අතර දුලබ ය. රුධිරය කැටි ගැසීම වැළැක්මට දෙනු ලබන වෝෆරින් (warfarin) නම් ඖෂධය ස්වදේශීය ඇමෙරිකානුවන් තුළ ක්‍රියාකරන ආකාරයට වඩා සැලකිය යුතු තරම් වෙනස් ආකාරයකට අප්‍රිකානු සම්භවයක් ඇති ඇමෙරිකානුවන් තුළ ක්‍රියා කරයි. මෙවැනි නිදර්ශන රැසක් පවතී. 

Human Genetic Diversity by Fairbank Edwards

මානවවිද්‍යාත්මක පර්යේෂණ විධික්‍රම මඟින් ද ජනවර්ගවල අනන්‍යතා නිෂේධනය නො කෙරේ. Homo sapiens sapiens මානව වර්ගයාට පොදු වූ ප්‍රමුඛ ලාක්ෂණිකවලට අදාළ ජානමය පදනම සේ ම ඒ ඒ ජනවර්ගවලට විශේෂිත ලාක්ෂණිකවලට අදාළ ජානමය පදනම ද මානව ජීනෝමය තුළ සංචිත ව පවතී. එය ප්‍රතිශතමය ලෙස කුඩා වීම වෙනත් කතාවකි. එංගලන්තයේ කේම්බ්‍රිජ්හි උගත් ෆෙයාර්බෑන්ක් එඩ්වර්ඩ්ස්ගේ (Fairbank Edwards) විසිඑක් වැනි සියවසේ මුල පළ වූ Human Genetic Diversity වැනි පර්යේෂණ පත්‍රිකාවක අප පවසන කරුණ පෙන්වා දී ඇත. “මානව ජීනෝමය වැඩිපුර අවධාරණය කරන්නේ මානවයාගේ පොදුබවයි” යනුවෙන් අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා පවසන කල ඔහු පදනම් වන්නේ රිචර්ඩ් ඩෝව්කින්ස්ගේ (Richard Dawkins) The Ancestor’s Tale මත ය. එඩ්වර්ඩ්ස් ද කියවන මෙන් අපි අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරාට ආරාධනා කරමු.

The Ancestor’s Tale by Richard Dawkins

අප මේ සියලු දේ පවසන්නේ ජාකික අනන්‍යතාවන් යනුවෙන් යමක් පවතින බව සාධනය කිරීමට විනා ජාතිකත්වය ධ්‍රැවීකරණය වී බිහි වන ඊනියා ජාතිවාදයක් සඳහා න්‍යාය සපයන්නට නො වේ. මාර්ක්ස්වාදීන් වන අපට එවැනි අභිලාෂ නොමැත. එලෙස ම මාර්ක්ස්වාදියකු වූ පමණින් ජීව විද්‍යා දැනුම් පද්ධතිය ඉවතලන්නට අපට නො හැකි ය. එසේ කළ යුතු බව මාර්ක්ස් හෝ එංගල්ස් හෝ පවසා ද නැත.

ජාතිකත්වය යනු හුදෙක් ජානමය පදනම මත ගොඩ නැඟුණු දෙයක් බව අපි නො පැවසුවෙමු. අප පැවසුවේ “ජාතික අනන්‍යතාවයන් මානව ජීනෝමය තුළ ලිය වී ඇති ලාක්ෂණිකයන් හා බැඳී ඇත.” යන්න පමණි. එහි අරුත අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරාට දැන් වැටහෙති යි අපි සිතමු.  

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s