ජාතික ප්‍රශ්නය ගැන කතාබහක්

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් තවමත් අවශ්‍ය ව ඇත

අප ජාතික ප්‍රශ්නය පිළිබඳ බොහෝ දේ ලියා ඇත. “ලංකාවට සන්ධීය ක්‍රමයක් ද ඉන් ඉදිරියට යන සහ-සන්ධීය ක්‍රමයක් ද සුදුසු වන්නේ ඇයි?” යන ප්‍රශ්නය පිළිබඳ අප ලියූ දෑ අප කලක් සම්බන්ධ ව සිටි ශාස්ත්‍රාලීය ආයතන මඟින් පළ කරනු ලැබුවේ අනූව දශකයටත් පෙර යි. 

ජාතික ප්‍රශ්නය සඳහා විසඳුමක් ලබා ගැනීමට අප කුමාරතුංග ආණ්ඩුවටත් වික්‍රමසිංහ ආණ්ඩුවටත් අපගේ දෑත ම දිගු කළා. ඒත් ඒ ආණ්ඩු දෙක ම අවසානයේ දී අවංක ව ක්‍රියා කළේ නැත. එම ආණ්ඩු දෙක හැර නිදහසෙන් පසු වෙනත් කිසිදු ආණ්ඩුවක් ජාතික ප්‍රශ්නය සඳහා වැදගත් විසඳුමක් වෙනුවෙන් නාමමාත්‍ර ව හෝ පෙනී සිටියේ නැත. ට්‍රෝජන්වරුන්ගේ හෙකියුබා බිසවගේ ලාංකීය අවතාරය සේ බලයට පැමිණි කුමාරතුංග මහත්මිය වමට සිග්නල් දමා කැත විධියට දකුණට හැරුණා. වික්‍රමසිංහ මහත්මයා නම් සෑහෙන කාලයක් අපගේ විසඳුම වෙනුවෙන් පෙනී සිටියා. එහෙත් ඔහුගේ දෝෂය ඔහු මේ විසඳුම ජනතාව අතරට ගෙන යන්න උත්සාහ නො කර පෞද්ගලික වැඩක් ලෙස කරන්නට යාම යි. අන්තිමේ දී ආන්තික ජාතිකවාදී, ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී හා ගෝත්‍රවාදී කටවාචාලයන් විසින් ජාතික ප්‍රශ්නය වෙනුවෙන් වික්‍රමසිංහ මහත්මයා පෙනී සිටි විසඳුම රට බෙදීමක් ලෙස විකෘති කර ප්‍රචාරය කරනු ලැබුවා.

අප ජාතිවාදයට විරුද්ධ වුණේ මාර්ක්ස්වාදියෙකු වීමටත් පෙර කුඩා කාලයේ සිට ම යි. අප ශිෂ්‍ය කාලයේ දීත් සිටියේ ඔය මෙත්තානන්දලගේ කුලරත්නලගේ ජාතිය හා ආගම අධ්‍යාපනයට බද්ධ කරන වැඩ අනවශ්‍ය ය කියන තැන යි. ජාතික අනන්‍යතාව නැති කළ යුතු නැත. ඒක අපට ආයාසයෙන් කළ හැකි දෙයක් නො වෙ යි. එය සමාජ පද්ධති ප්‍රගමනය වීමේ දී කාලයත් සමඟ සෙමින්  නිරායාසයෙන් සිදු වනු ඇති දෙයක්. ජාතික අනන්‍යතාව වෙනුවට ශ්‍රී ලංකික අනන්‍යතාව කියන විකාරයක් හඳුන්වා දුන් අය කළේ සිංහල මහා ජාතියේ අනන්‍යතාව ශ්‍රී ලාංකික  සම්මතය බවට පත් කර ගැනීමේ ව්‍යාපෘතියක්. අදටත් ඕනෑ ම  ලේඛනයක Nationality යන්නට ඉදිරියෙන් Sri Lankan ලෙස ලියා Religion යන්නට ඉදිරියෙන් හොඳට පෙනෙන්නට ඉරක් අඳින අප ඊනියා ලාංකික අනන්‍යතා ව්‍යාපාරයට විරුද්ධ වුණේ එනිසා. 

ශ්‍රී ලාංකික අනන්‍යතාවක් සකසා ගත හැකි වන්නේ අප එකිනෙකාගේ අනන්‍යතාවට ගැරු කරන තත්ත්වයක දී පමණ යි. සෑම ජනවර්ගයකට ම මේ රට පිළිබඳ තීරණ ගැනීමට දායක විය හැකි වන ලෙස ආණ්ඩු බලය හවුලේ තබා ගත හැකි දිනයක අපට ශ්‍රී ලාංකික පොදු අනන්‍යතාවක් ගොඩ නඟා ගත හැකි යි. ශෙල්වනායගම් මහත්මයා හරහා දෙමළ ජනයාගේ අයිතිවාසිකම්  ලබා ගැනීමේ සටන ආරම්භ වුණේ ඔන්න ඔය යහපත් අරමුණකින්. ශෙල්වනාගම්  වැනි හොඳ මිනිසුන්ගේ සත්‍යග්‍රහයන් අබිබවා පසු කලක සන්නද්ධ විමුක්ති අරගල ඉස්මතු වුණා. ශෙල්වනායගම්ග සිට අමිර්තලිංගම් දක්වා පැමිණි දෙමළ විමුක්ති අරගලයේ දේශපාලනික එළඹුම ශ්‍රී සභාරත්නම් සිට ප්‍රභා දක්වා සන්නද්ධ එළඹුමක් බවට පරිවර්තනය වන විට දෙමළ විමුක්ති අරගලය ක්‍රමයෙන් වාස්තවික යථාර්ථයෙන් ඉවතට ඇදී ගියා. රුද්‍රකුමාරන් සහෝදරයා  සූත්‍රගත කළ යාවකාලීන සංක්‍රාමීය ඊළාම් ආණ්ඩුව මෙකී පරිකල්පනීය අභිලාෂවල උච්ච අවස්ථාවක්. මෙවැනි  විකාර වැඩ නිසා දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් ඉතා අවදානම්සහගත ලෙස  දකුණේ පෙනී සිටින අප හැමදාමත් අපහසුවට පත් වුණා. 

උතුරත් දකුණත් මේ මහා විනාශයට සම වැරදිකාරයෝ. කොළඹ දී සිංහල-දෙමළ කලා උලෙළට පහර දීම වගේ ම යාපනේ දී  වෙස් නැටුමට පහර දීමත් වැරදි යි. එහෙම කියලා දෙමළ කතා කරන ජනයාගේ අයිතිවාසිකම් නැති කරන්න ඉඩ දෙන්න බැහැ. ඵෙතිහාසික නිජ බිමක් තිබුණත් නැතත් ශ්‍රී ලංකාව දෙමළ ජනයාටත් අයිති භූමියක්. මේ රට හදන්න දෙමළ ජනයාත් විශාල කාර්යභාරයක් කළා. අප පවසන්නේ ජාතික අනන්‍යතාව ප්‍රේරණය කර සමාජය ජාතිකත්වය මත ධ්‍රැවීකරණය කරන්න එපා කියන එක යි. ජාතිවාදය පැන නඟින්නේ අප අනෙකාගේ අනන්‍යතාවට ගරු නො කිරීම තුළ යි. වාසනාවකට අප ලද අධ්‍යාපනය තුළ අනෙකා නො ඉවසන ආන්තික ජාතිකත්වය හා ආගම සඳහා තිබුණේ ඉතා සීමිත ඉඩක්. අප ආගම් ඉගෙන ගත්තේ පෞද්ගලික කාරණයක් ලෙස යි. 

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s