පෞද්ගලික වෛද්‍ය විද්‍යාල: අජිත් පැරකුම් ජයසිංහ මහත්මා නිර්මාල් රංජිත් දේවසිරිට වඩා බුද්ධිමතෙකි

නිර්මාල් රංජිත් දේවසිරි යනු යම් නිශ්චිත අස්ථානයක පිළිපන් තැනැත්තෙකු නො වන බව මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් නො දන්නේ වුව අපි නම් දනිමු. ඔහු රඹුටන් කාලයට රඹුටන් ද අඹ කාලයට අඹ ද පේර කාලයට පේර ද අලෙවි කරන සුළු වෙළෙන්දෙකි. ජනතා විමුක්ති පෙරමුණේ වාගාලාපකරුවන් හැරුණු කල ලාංකේය සමාජ-දේශපාලන ගෝලයේ එදා වේල ප්‍රතිපත්තිය මත යැපෙන ප්‍රමුඛයා රංජිත් දේවසිරි බව අගනගරයේ ශාස්ත්‍රාලීය කව සමඟ සබඳතා ඇති කවුරුත් දනිති; ජයසිංහයෝ නො දනිති. ජයසිංහයන් දන්නා දේ කොහොමටත් අල්ප බැවින් රංජිත් දේවසිරි නිවැරදි ව කියවා ගන්නට ජයසිංහයනට නො හැකි වීම පිළිබඳ අපි නම් පුදුම නො වෙමු. 

රංජිත් දේවසිරි

රංජිත් දේවසිරි යනු බුද්ධිජීවීන් ය යි සැලකෙන කුලකයක සාමාජිකයෙකු බව අපි පිළිගනිමු. එහෙත් ඔහු එම කුලකයේ දීප්තිමත් සාමාජිකයෙකු නො වන බව ඉතා පැහැදිලි ය. තේක්ක, බුරුත, නැදුන් ඈ ප්‍රතාපවත් වෘක්ෂයන් මියැදී ගිය කාන්තාරයක රංජිත් දේවසිරි යනු පතොකකි. රංජිත් දේවසිරි පිළිබඳ අප දැන ගත් මුල් කාලයේ සිට අද දවස වන තෙක් ඔහු විසින් ගොඩනැඟුණු සර්වග්‍රාහී ප්‍රවාදයක් හෝ සමවාය සම්බන්ධිත ප්‍රවාද පද්ධතියක් හෝ නොමැත. සිංහල මහා ජාතියේ සංස්කෘතික සම්භවය පිළිබඳ වැදගත් න්‍යායක් රංජිත් දේවසිරි විසින් මුල් යුගයේ දී සූත්‍රගත කෙරිණි. අපි එම සම්ප්‍රදානය මහත් සේ අගයමු. දශක ගණනකට පෙර කොළඹ සරසවියේ දී මොට වූ න්‍යායාත්මක ආයුධවලින් සන්නද්ධ ව නලින් සමඟ වාදයට ගිය රංජිත් දේවසිරි එතැන් සිට අද දක්වා ගෙවී ගිය දීර්ඝ කාලය තුළ තම න්‍යායාත්මක ආයුධ තියුණු කර ගත් බවක් නො පෙනේ. අප එකඟ නො වූව ද නලින් නම් තම “ප්‍රවාද පද්ධතිය” (ඔහු මෙනමින් අප විසින් හඳුන්වනු ලබන දැනුම සංකේතගත කරන්නේ ප්‍රත්‍යක්ෂ දැනුම ලෙස ය) එතැන් සිට සැලකිය යුතු තැනකට වර්ධනය කර ගෙන තිබේ. අවම වශයෙන්, රංජිත් දේවසිරි සතු ව පූර්වසුනාමි යුගයේ දී   තිබූ, ලාංකේය සමාජය පිළිබඳ විචක්ෂණ කියවීම හෝ වර්තමානයේ දී ඔහු සතු ව නැත. රංජිත් දේවසිරිට පෙර පරම්පරාවට හෝ ඔහුගේ පරම්පරාවේ දයා පතිරණ, කේ. එල්. ධර්මසිරි වැනි විප්ලවවාදීනට හෝ තිබූ සමාජ දැක්මවත් රංජිත් දේවසිරි විසින් ප්‍රකට කරනු ලැබ නැත. කිසිදු සමාජ ප්‍රපංචයකට සංයුක්ත විසඳුමක් රංජිත් දේවසිරි විසින් කෙදිනකවත් ඉදිරිපත් කරනු ලැබ නැත. “Ludwig Feuerbach and the End of Classical German Philosophy” යන ලේඛනයේ ෆොයර්බාක් පිළිබඳ එකළොස් වැනි ප්‍රවාදය ලෙස කාල් මාර්ක්ස් පෙන්වා දෙන පරිදි “මේ දක්වා දාර්ශනිකයන් විසින් නන් නයින් ලෝකය අර්ථකථනය කරනු ලැබ ඇත; එහෙත් වැදගත් කාරණය නම් එය වෙනස් කිරීම ය”. රංජිත් දේවසිරි නම් තවමත් ලෝකය කෙසේ වෙතත් ලාංකේය සමාජ-දේශපාලන වපසරිය හෝ අර්ථකථනය කර‍ ගෙනවත් නැති බව පැහැදිලි ය. එසේ පැහැදිලි වන්නේ ඔහු පවසන දෙය (එය න්‍යායක් ලෙස තවමත් ගොඩ නැඟී නැත) හා ඔහුගේ භාවිතාව අතර ඇති විසංවාදය නිසා ය.  

මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් “ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් නිර්මාල් රංජිත් දේවසිරිට ඉදිරිගාමී දැක්මත් තිබේ” වැනි විකාර දොඩවන විට අපට අධෝමාර්ග හාස නැඟේ. රංජිත් දේවසිරිට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ගැඹුරු සර්වග්‍රාහී කියවීමක් තිබූ බව ඔහු තම ක්‍රියාවෙන් තහවුරු කර නැත. වික්‍රමසිංහ ආණ්ඩුවේ සාම වැඩපිළිවෙළ විකසනය වෙමින් පැවති තීරණාත්මක යුගයක එම ආණ්ඩුව පෙරළා දැමීමට න්‍යායාත්මක උල්පන්දම් දුන් එක් නරුමයෙක් වූයේ රංජිත් දේවසිරි ය. එහෙව් නරුමයෙකු “ඉදිරිගාමී වාමාංශිකයෙකු” කරන්නට වචන නාස්ති කරන පැරකුම් ජයසිංහයනට ඒ අඳුරු අතීතය අමතක සෙයකි. රංජිත් දේවසිරි තම භාවිතාව සාධාරණීකරණය සඳහා යොදා ගත්තේ වික්‍රමසිංහ ආණ්ඩුව ලිබරල් ධනවාදී යෝජනා මඟින් මේ රට විනාශ කරන්නට, මේ රට විකුණන්නට සැරසෙන්නේ ය වැනි ජාතිකවාදී නඩයේ සටන් පාඨ ම ය. මේවා මාර්ක්ස්මය අර්ථයෙන් දෘෂ්ටිමය සත්‍යයන් වුවත් ව්‍යාජ-විඥානය මත පදනම් වූ දෘෂ්ටිවාද ය. මෙකී දෘෂ්ටිවාද විසින් පරාරෝපිත (කලක් අපගේ ගුරු වූ බාහු සහෝදරයාට අනුව නම් විගලිත) පුද්ගල කණ්ඩායම් වියවුලට පත් කරනු ලැබේ. අවසානයේ දී මෙකී දෘෂ්ටිවාද ප්‍රතිගාමීත්වයට ම සේවය කරයි. රංජිත් දේවසිරි නරුම‍වාදී ව වික්‍රමසිංහ ආණ්ඩුවේ සාම වැඩපිළිවෙළ බිඳ දමා ජාතිකවාදයට කඩේ ගොස් ඇති බව ඵෙතිහාසික ව සාධනය වීමෙන් ම ඔහුගේ “ඉදිරිගාමී වාමාංශිකකම” පවතින්නේ පැරකුම් ජයසිංහයන්ගේ විඥානය තුළ බව පැහැදිලි වේ. 

රංජිත් දේවසිරි වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට සැලකිය යුතු කාර්යභාරයක් කළේ ය. ඊනියා මුහුණුපොත් බුද්ධිමතෙකු වන රංජිත් දේවසිරි තමන්ගේ සීමිත අනුගාමිකයන් සමඟ එක් ව කළ කාර්යභාරය ද  එදා වේල ප්‍රතිපත්තිය මත පදනම් වූවක් බව පසු ගිය කාලය පුරා ක්‍රමයෙන් තහවුරු වෙමින් පැවතිණි. දැන් නම් ඒ බව පරිග්‍රාහික ව ම තහවුරු වී අවසන් ය.

ජාතිවාදී, ජාතිකවාදී, වර්ගවාදී, ආගම්වාදී රාජපක්ෂ නඩය කුලප්පු වී සිටින මොහොතක රංජිත් දේවසිරි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ අවශේෂ කාරණා අල්ලා ගෙන වර්තමාන ආණ්ඩුව පෙරළා දමන්නට උඩගෙඩි දෙයි. තමා නරුමවාදියෙකු බව රංජිත් දේවසිරි යළි යළිත් තහවුරු කරයි. මේ ආණ්ඩුව ලිබරල් ධනවාදී ප්‍රතිපත්ති අනුයන බව රංජිත් දේවසිරි දැන ගත්තේ ඊයේ පෙරේදා ද? මෙවැනි “බබා හුකුං” කතා රංජිත් දේවසිරිගේ මුහුණුපොත් නඩයේ බහුතර සමාජිකත්වය වන ඇටෙන් පොත්තෙන් නො ගිය කොල්ලනට කෙල්ලනට නම් සාරගර්භ දේශනයන් විය හැකි ය. 

උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව ඒ සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරාලන ලද සෑම පුද්ගයෙකුට ම හිමි විය යුතු බව පිළිගන්නට මාර්ක්ස්වාදියෙකු හෝ වාමාංශිකයෙකු හෝ වීමට අවශ්‍ය නැත. ලාංකේය සන්දර්භය තුළ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා රජය විසින් ම ප්‍රතිපාදනය කළ යුතු බව පැවසීම උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව පුළුල් කිරීම පිළිබඳ පෞරාණික සිහිනයක් තව තවත් ඉදිරියට ගෙන යාමක් පමණකි. අඩසිය වසකට වැඩි කලක් පැරණි එම සිහිනය තවත් අඩසිය වසක් ගිය ද ඉටු නො වන බව නම් ඉඳුරා ව පැවසිය හැකි ය. එයට හේතුව ආර්ථිකය සම්බන්ධයෙන් මෙරට අනුයන අසමත් ප්‍රතිපත්තිය ය. නිදහසින් පසු ජනතාව දශක හයකට වැඩි කලක් පටි තද කරගෙන සිටිය ද තවමත් ලාංකේය ආර්ථිකය ශක්තිමත් වී නැත. ඒ පිළිබඳ මෙම සටහනින් අපි සාකච්ඡා නො කරන්නෙමු. රජයට උසස් අධ්‍යාපන අවස්ථා තනි ව පුළුල් කළ නො හැකි තත්ත්වයක් යටතේ පෞද්ගලික අංශය එයට දායක වීමට එරෙහි වීම ලාමකකමක් පමණක් නො වේ. තමා ලද අවස්ථාව තවත් විශාල පිරිසකට ලැබෙනු දැකීමට ඇති අකමැත්ත නැත හොත් කුහකකම ද එහි ගැබ් ව තිබේ. වාමාංශිකයන් හෝ මාර්ක්වාදීන් හෝ යනු කුහකයන් පිරිසක් ය යන වැරදි වැටහීමක් ලාංකේය සමාජය තුළ පැතිර ගියේ රංජිත් දේවසිරි විසින් අද අනුයනු ලබන කලක් ජ.වි.පෙ. විසින් අධිපතිවාදී ව අනුයන ලද පෙර කී අස්ථානය නිසා ය.  

පෞද්ගලික අංශය යනු රාක්ෂසයෙකු ලෙස සලකා පලවාහැරිය යුතු සංරචකයක් නො වේ. ඉතා පුළුල් පරාසයක ස්වායත්ත ගතිකයක යෙදෙන පෞද්ගලික අංශයක් යනු ලිබරල් ධනවාදයේ සංඝටනීය අවශ්‍යතාවකි. එහෙත් ලාංකේය පෞද්ගලික අංශය එලෙස පූර්ණ ස්වායත්ත ගතිකයක් ලෙස ක්‍රියාත්මක විය හැකි තරම් වර්ධිත අවස්ථාවක නැත. ලාංකේය පෞද්ගලික අංශය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට වඩා උනන්දු වන්නේ වාණිජ තැරැව්කරණය පිළිබඳ ය. රංජිත් දේවසිරි වැනි ව්‍යාජ බුද්ධිමතුන් පෞද්ගලික අංශය යනු බිල්ලෙකු ය යන දුර්මතය ප්‍රචාරය කරන්නේ එම ලුහු තැන අපහරණය කර ය. රංජිත් දේවසිරි අව‍බෝධ කර ගත යුතු වැදගත් කරුණ නම් දැන් සිටිනා බබ්බු “බිල්ලා එයි බත් නො කෑවොත්” කියූ පමණින් බිය වී බත් කන්නේ නැති බව ය. 

මාලඹේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ඇති ගැටලුව විය යුත්තේ එහි ප්‍රමිතිය පිළිබඳ කාරණා ය. රජය කළ යුත්තේ එහි ප්‍රමිතිය යාමනය කිරීම පිළිබඳ තීන්දු තීරණ ගැනීම ය. මහජන චීනයට ගොස්, රුසියාවට ගොස් ලාංකේය අවශ්‍යතාවන්ට බොහෝ දුරස්ථ වූ වෛද්‍ය විද්‍යා දැනුමක් ඉගෙන ගෙන එන වෛද්‍ය උපාධිධාරීනට ද විභාගයකින් පසු මෙරට වෛද්‍ය සේවයට අනුයුක්ත වීමට අවස්ථාව ලැබේ නම් අපගේ අධීක්ෂණය යටතේ මෙරට දී ගෙවීම් පදනම මත අපට ගැළපෙන වෛද්‍ය අධ්‍යාපනයක් අපේ දරුවනට ලබා දීමට එරෙහි ව රංජිත් දේවසිරි වැනි ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු කලබල විය යුතු නැත. නෙවිල් ඩී. පෙරේරාගේත් ගැමුණු විජේරත්නගේත් දරුවෝ අපේ රටේ දරුවෝ නො වෙත් ද? මාලඹේ වෛද්‍ය විද්‍යාලය වසා දැමුවත් එම දරුවනට උසස් අධ්‍යාපන අවස්ථා සපයා දෙන්නට තරම් ආර්ථික ශක්තියක් නෙවිල්ටත්  ගැමුණුටත් තිබේ. එහෙත් එතරම් ආර්ථික ශක්තියක් නැති දෙමව්පියන්ගේ දරුවනට ද උසස් අධ්‍යාපනය සඳහා (වෛද්‍ය විද්‍යාව පමණක් නො ව අනෙකුත් විෂයන් ද ඇතුලු ව) ඇති අවස්ථා පුළුල් වන සේ පෞද්ගලික විශ්වවිද්‍යාල සම්මත ප්‍රමිතීන්ගෙන් යුතු ව ඇරඹිය යුතු ය. මාලඹේ වෛද්‍ය විද්‍යාලයෙන් විශිෂ්ට වෛද්‍යවරුන් අනාගතයේ බිහි නො වෙති යි යන පූර්ව නිගමනයකට අප එළඹිය යුතු නැත. කිසිදු නිවරද විෂය දැනුමක් න්‍යායාත්මක ව හෝ ප්‍රායෝගික ව හෝ නො හසළ නාමික වෛද්‍යවරුන්  රජයේ වෛද්‍ය විද්‍යාලවලින් ද බිහි වන බවත් මලික් සමරසිංහ, අර්ජුන ද සිල්වා වැනි විශිෂ්ටයින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් ද බිහි වන බවත් රංජිත් දේවසිරි වැනි සරලමතිකයන් දැන ගත යුතු ය. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් අවසන් කාලයේ පැමිණි මලික්, අර්ජුන වැනි විශිෂ්ටයනට එකල උපහාස කිරීම ද ඒ සඳහා තරුණ ශිෂ්‍යශිෂ්‍යාවන් පෙලඹ වීම ද ගැන අපි අපේ පරම්පරාව ලෙස අදට ද කනගාටු වෙමු. රජයේ වෛද්‍ය විද්‍යාලවල නජිත් ඉන්දිකලා, රයන් ජයලත්ලා රජයේ රෝහල්වලට නො ගොස්  ලිප්ටන් වටරවුමේ විප්ලවීය පුහුණුව ලබන විට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල දරුවනට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබන්නට අවස්ථාව දීම අපරාධයක් වන්නේ කෙසේ ද යන්න ශාස්ත්‍ර පීඨයට වී මුහුණුපොතෙන් රජයේ විශ්වවිද්‍යාලවල තරුණතරුණියන් චූන් කරන රංජිත් දේවසිරි පැවසිය යුතු ය. 

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි ව අසූව දශකයේ ඇති වූ විරෝධය ඉතා ආචාසනාවන්ත තත්ත්වයකට වර්ධනය විණි. අද ත්‍රිමාලාගේ වෙනුරලාගේ ඡායාරූපවලට වන්දනාමාන කරන රයන් ජයලත්ලා වැනි ගිරා පෝතකයෝ අසූව දශකයේ දී එම වීරයන් සමඟ බුද්ධිමය සංවාද කරන්නට ගොස් මේ රට ද අතහැර එංගලන්තයට, ප්‍රංශයට පැන ගන්නට වූ අපේ පරම්පරාව විඳි දුක් ගැහැට නො දනිති. ඒදා මේ රට රත් රුධිරයෙන් නැහැවෙන කල ඉන් ලැබූ කාලකන්නි ආස්වාදය සිහි වී තිරිහන් වීමෙන් දෝ රංජිත් දේවසිරි වැනි ව්‍යාජ බුද්ධිමත්හු යළිත් උගත් තරුණ පිරිස් නො මඟ වන්නට මාන බලති. වමේ පැරණි සහෝදරයෙකු වූ සී. ඒ. වන්ද්‍රපේම  ඔහු කලක් පෙම් කළ මාර්ක්ස් අනුව යමින් වරක් පැවසුවේ හැත්තෑව දශකයේ මුල දී ඛේදාන්තයක් වූ තරුණ නැඟිටීම අසූව දශකයේ අග දී විගඩමක් වූ බව ය. රංජිත් දේවසිරි වැනි ව්‍යාජ බුද්ධිමතුන් තරුණ පිරිස් කුපිත කරවා ඇති කරවන්නට යන තෙවන තරුණ නැඟීටීම වෙසෙසිය යුතු වදනක් මාර්ක්ස් තම “The Eighteenth Brumaire of Louis Napoleon” රචනයේ සඳහන් කර නැත.  

පෞද්ගලික අංශය මේ රටේ උසස් අධ්‍යාපනය අවස්ථා වැඩි කිරීමට දායක කර ගත යුතු  ය. ලාංකේය පෞද්ගලික අංශය මඟින් ඇරඹෙන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පමණක් නො ව එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල උසස් විශ්වවිද්‍යාලවලට අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතන ද මෙරට සංස්ථාපනය කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තිරණයක් විවෘත ව ගත යුතු ය. 

රංජිත් දේවසිරි වැනි මුහුණුපොත් බුද්ධිමතුන් තම බැතිමතුන් කීප දෙනා සමඟ එක් ව නඟන බලු කෙඳිරිවලින් රජය තම නිවරද තීරණ හකුළා ගත යුතු නැත. හැත්තෑව දශකයේ අග දී මිල්ටන් ෆ්‍රීඩ්මන් වැනි විශිෂ්ට ලිබරල් ධනවාදී චින්තකයෙකුගේ මඟ පෙන්වීම මත මාර්ග්‍රට් තැචර් එංගලන්තයේ ලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරණ ඇති කරන කල ද රංජිත් දේවසිරි පන්නයේ ඊනියා බුද්ධිමත්හු ඔක්ස්ෆර්ඩ්හි ද කේම්බ්‍රිජ්හී ද වියත් සභා මැදට වැද සර්වඅසුභවාදී කන්කෙඳිරි ගෑහ. එහෙත් මාර්ග්‍රට් තැචර් අධ්‍යාපන ලේකම් ව සිටිය දී එක්දහස් නවසිය හැත්තෑතුනේ දී ඇරඹි බකිංහැම් යුනිවර්සිටි කොලීජිය ඇය අගමැති ධුරයට පත් වූ පසු එක්දහස් නවසිය අසූතුනේ දී බකිංහැම් සරසවිය ලෙස එංගලන්තයේ ප්‍රථම පූර්ණ පෞද්ගලික විශ්වවිද්‍යාලය බවට පත් වීම නැවතුණේ නැත; එය වසා දැමුණේ හෝ රජයට පවරා ගැනුණේ හෝ නැත. වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රථම, පශ්චාත් හා ආචාර්ය උපාධි දක්වා අධ්‍යයනයට පහසුකම් ඇති එංගලන්ත විශ්වවිද්‍යාල විසිහයෙන් එකක් ලෙස අද වන විට එය වැජඹේ. 

රංජිත් දේවසිරි විසින් කළ යුතු ව ඇත්තේ තමා පුද්ගල දේපළ රැස් කිරීමට විරුද්ධ බව පවසමින් නන්දෙඩීම නො ව පුදගල දේපළ පිළිබඳ මාර්ක්ස්වාදී සම්ප්‍රදානය වර්තමානය තුළ යළි කියවීම ය. රංජිත් දේවසිරිගේ වැඩක් නො කෙරෙන කයිවාරු කතාවලින් අපට වැඩක් නැත; මේ රටට වැඩක් ද නැත; මේ ලොවට වැඩක් ද නැත. රංජිත් දේවසිරි තම එදා වේල ප්‍රතිපත්තියට අනුකූල ව වර්තමානයේ සේවය කරනුයේ කවර නම් ව්‍යාපාරයකට ද යන්න ලංකා සී නිවුස් වෙබ් අඩවියට පිවිසි කළ වටහා ගත හැකි ය. දැන හෝ නො දැන හෝ රංජිත් දේවසිරි රාජපක්ෂවාදී නඩයට කඩේ යයි. එය අන්ත ප්‍රතිගාමීත්වයකි. 

නිර්මාල් රංජිත් දේවසිරි තමන්ගේ බැතිමතුන්ගේ පහන් සංවේගය පිණිස මුහුණුපොතේ බහුබූත වාක්‍යයක් දෙකක් පැයෙන් පැයට පළ කරමින් ඒවා ගැන තව තවත් බහුබූත ලියමින් වටිනා කාලය අපතේ නො හැර නිවරද ව පර්යේෂණ පත්‍රිකාවක් ලියන ආකාරයත් ආචාර්ය උපාධි අපේක්ෂකයන් ඔවුන්ගේ පර්යේෂණ සඳහා මෙහෙයවන ආකාරයත් තව ටිකක් ඉගෙන ගන්නේ නම් එමඟින් රටට සේවයක් වනු ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වර්තමානයේ පත් ව තිබෙන ශෝචනීය තත්ත්වයට පත් වීමට නිර්මාල් රංජිත් දේවසිරි වැනි මුහුණූපොත් බුද්ධිමතුන් මහත් දායකත්වයක් දක්වා තිබෙන බව කනගාටුවෙන් පවසමු (ජයදේව උයන්ගොඩඅර්ජුන පරාක්‍රම හා දයාන් ජයතිලක එහි නැති නිසා අපට ඒ බව පවසන්නට කිසිදු සැකයක් නැත). 

මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට මහත් කාර්යභාරයක් ඉටු කළ මිලියන හතරක ජනමතයක් සහිත මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ නම් මේ ආණ්ඩුවේ වරද නිවරද කරගෙන එය ඉදිරියට ගෙන යන්නට ප්‍රශංසනීය මෙහෙයක් ඉටු කරති; නිබඳ ව වියුණ සටහන් පළ කරති; පක්ෂ විපක්ෂ දෙපිරිසෙන් ම නින්දා අපහාස ලබති; එහෙත් එදා මේ ආණ්ඩුව බලයට ගෙනෙන්නට තමන් කළ මැදිහත් වීමේ වගකීම බාර ගනිති. දහසක් විසංවාද ජයසිංහයන් සමඟ අපට තිබුණ ද අප ජයසිංහයනට ගෞරවාදර කරනුයේ ඒ උදාර ගුණාංගය සලකා ය. මේ ආණ්ඩුව රැක ගැනීමට අපි මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ දෑත ශක්තිමත් කරමු. මක් නිසා ද යත් ප්‍රේත දිෂ්ටි වෙනුවට මහසොහොන් දිෂ්ටි වැද්ද ගැනීම භයානක බැවිනි. 

වික්‍රම වික්‍රමාදිත්‍ය වික්‍රමරත්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s