පුද්ගලික ද? නැත හොත් පෞද්ගලික ද?

පුද්ගලික ද? පෞද්ගලික ද?

සිංහල භාෂාවේ “ඉක” යන තද්ධිත ප්‍රත‍යය නාම ප්‍රකෘතියක අගට එක් වීමේ දී අදාළ නාම ප්‍රකෘතියෙහි මුල පවතින්නේ සරල ස්වරයක් (තනි ස්වරයක්) නම්, පද සාධනයේ දී එකී සරල ස්වරය සංයුක් ස්වරයක් (තනි ස්වර කීපයක් එක් ව සැදි ස්වරයක්) බවට වෘද්ධි වේ. එය සිදුවන්නේ නාම ප්‍රකෘතියෙහි මුල ඇති අක්ෂරයට අදාළ සරල ස්වරය (මෙය නාම ප්‍රකෘතියෙහි ආදි ස්වරය ලෙස ද හඳුන්වනු ලැබේ) වෙනුවට අනුරූප සංයුක්ත ස්වරයක් නිසි ලෙස ආදේශ වීමෙන් ය. එනම් සන්ධි වීමෙන් ය (පෙරපර වණන් නිසි විදින් ගළපනු සඳ නම්සිදත). මෙය ස්වරාදේශ සන්ධිය ය.

සමකාලීන සිංහලයේ සංයුක්ත ස්වර තෙවැදෑරුම් ය. ඒවා පහත ආකාරයට ව්‍යුත්පන්න වේ.

අ + අ = ආ

අ + ඉ = ඵෙ

අ + උ = ඖ

සම්බන්ධ, අයත්, ජනිත ඈ අරුත් දෙන “ඉක” තද්ධිත ප්‍රත්‍යය නාම ප්‍රකෘති අගට එක් වීමට අදාළ සම්මතය විමසමු. නාම ප්‍රකෘතියක් අගට “ඉක” තද්ධිත ප්‍රත්‍ය එකතු වීමේ දී බොහෝ විට සිදුවන්නේ නාම ප්‍රකෘතියෙහි අග ඇති අක්ෂරයට අදාළ ශබ්දයේ ස්වරය ලොප් වී ඉතිරි වන ගාත්‍රාක්ෂරය “ඉක” තද්ධිත ප්‍රත්‍යයේ “ඉ” ස්වරය සමඟ සන්ධි වීම ය (පූර්වස්වරලෝප සන්ධිය). මෙලෙස සෑදෙන පද බොහෝමයක් විශේෂණ පද ය.

1. “ආ” සංයුක්ත ස්වරාදේශය:

සමාජ + ඉක 

ස් + අ + මා +ජ් + අ + ඉ + ක (ගාත්‍රාක්ෂර හා ස්වර වෙන් වීම)

ස් + අ + මා +ජ් + ඉ + ක (නාම ප්‍රකෘතිය අග “අ” ස්වරය ලෝප් වීම)

ස් + අ + මා + ජි + ක (“ජ්” ගාත්‍රාක්ෂරය හා “ඉ” ස්වරය සන්ධි වීම)

ස් + ආ + මාජික (නාම ප්‍රකෘතියෙහි මුල ඇති “අ” සරල ස්වරය වෙනුවට “ආ” සංයුක්ත ස්වරය ආදේශ වීම)

සාමාජික (“ස්” ගාත්‍රාක්ෂරය හා “ආ” සංයුක්ත ස්වරය සන්ධි වීම)

ලංකා + ඉක = ලාංකික, කය + ඉක = කායික, ප්‍රමාණ + ඉක = ප්‍රාමාණික, දර්ශන + ඉක = දාර්ශනික, ශරීර + ඉක = ශාරීරික, අංග + ඉක = ආංගික, මණ්ඩල + ඉක = මාණ්ඩලික,  පරිසර + ඉක = පාරිසරික, අම්ල + ඉක = ආම්ලික, ධර්ම + ඉක = ධාර්මික ඈ පද “ආ” සංයුක්ත ස්වරාදේශයට නිදර්ශන ය. 

2.  “ඵෙ” සංයුක්ත ස්වරාදේශය: 

විෂය + ඉක 

ව් + ඉ + ෂ + ය් + අ + ඉ + ක (ගාත්‍රාක්ෂර හා ස්වර වෙන් වීම)

ව් + ඉ + ෂ + ය් + ඉ + ක (නාම ප්‍රකෘතිය අග “අ” ස්වරය ලෝප් වීම)

ව් + ඉ + ෂ + යි   + ක (“ය්” ගාත්‍රාක්ෂරය හා “ඉ” ස්වරය සන්ධි වීම)

ව් + ඵෙ + ෂයික (නාම ප්‍රකෘතියෙහි මුල ඇති “ඉ” සරල ස්වරය වෙනුවට “ඵෙ” සංයුක්ත ස්වරය ආදේශ වීම)

වෛෂයික  (“ව්” ගාත්‍රාක්ෂරය හා “ඵෙ” සංයුක්ත ස්වරය සන්ධි වීම) 

ඉතිහාස + ඉක = ඵෙතිහාසික, දින + ඉක = දෛනික, නිරුක්ති + ඉක = නෛරුක්තික, නීති + ඉක = නෛතික, නිසර්ග + ඉක = නෛසර්ගික, විකල්ප + ඉක = වෛකල්පික, වේද + ඉක = වෛදික ඈ පද “ඵෙ” සංයුක්ත ස්වරාදේශයට නිදර්ශන ය.

3.  “ඖ” සංයුක්ත ස්වරාදේශය:

පුද්ගල + ඉක 

ප් + උ + ද්ග + ල් + අ + ඉ + ක (ගාත්‍රාක්ෂර හා ස්වර වෙන් වීම)

ප් + උ + ද්ග + ල් + ඉ + ක (නාම ප්‍රකෘතිය අග “අ” ස්වරය ලෝප් වීම)

ප් + උ + ද්ග + ලි + ක (“ල්” ගාත්‍රාක්ෂරය හා “ඉ” ස්වරය සන්ධි වීම)

ප් + ඖ + ද්ගලික (නාම ප්‍රකෘතියෙහි මුල ඇති “උ” සරල ස්වරය වෙනුවට “ඖ” සංයුක්ත ස්වරය ආදේශ වීම)

පෞද්ගලික  (“ප්” ගාත්‍රාක්ෂරය හා “ඖ” සංයුක්ත ස්වරය සන්ධි වීම)

පුරාණ + ඉක = පෞරාණික, ලෝක + ඉක = ලෞකික, මූල + ඉක = මෞලික, භූත + ඉක = භෞතික ඈ පද “ඖ” සංයුක්ත ස්වරාදේශයට නිදර්ශන ය.

පුද්ගලික යන්න සදොස් බව ද එය පෞද්ගලික ලෙස නිදොස් විය යුතු බව ද දැන් අවබෝධ වී ඇති බව සිතමු. පුද්ගලික යන්න සුලබ ව දැකිය හැකි සදොස් ව්‍යවහාරයකි. සුලබ වූ පමණින් එය නිදොස් නො වන බව අප විසින් අතීතයේ දී පෙන්වා දෙනු ලැබ ඇත

සංස්කෘතයෙන් තත්සම වූ පදවල නාම ප්‍රකෘති සමඟ “ඉක” පමණක් නො ව “අ”, “ඒය”, “ය” යන තද්ධිත ප්‍රත්‍ය ද එකතු වන කල ඒවායේ සම්මතයන් ද මෙලෙස ම විමසිය හැකි ය. 

බොහෝ නීතිවලට ව්‍යතිරේක තිබෙන ලෙස ම “ඉක” තද්ධිත ප්‍රත්‍යය පිළිබඳ සම්මතයට ද ව්‍යතිරේක කීපයක් පවතී. 

ව්‍යවහාර + ඉක = ව්‍යවහාරික මිස වෛවහාරික නො වේ. 

ක්ෂණ + ඉක = ක්ෂණික මිස කෛෂණික නො වේ. 

පන්ති + ඉක = පන්තික මිස පාන්තික නො වේ.

රසායන + ඉක = රසායනික මිස රාසායනික නො වේ. 

රස + ඉක = රසික මිස රාසික නම් නො වේ! 

බන්‍ධුල කුදලාගම,

ටොරන්ටෝව.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s