පෞද්ගලික විශ්වවිද්‍යාල පෞද්ගලික ද?

බකිංහැම් සරසවිය – එක්සත් රාජධානිය

අප විසින් පෙර දින ලියවුණු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ලිපියෙහි බකිංහැම් සරසවිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බව සඳහන් විණ. බකිංහැම් සරසවිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නො ව “ලාභ නො ලබන පුණ්‍යායතනයක්” බව ඇතමෙක් විශ්වාස කරති. එම විශ්වාසයට ව්‍යවස්ථාපිත පදනමක් තිබේ. එසේ නම් පෞද්ගලික විශ්වවිද්‍යාල යනු කවරාකාර ආයතන සමූහයක් ද? මෙම ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අභිප්‍රේතාර්ථය ය.

බකිංහැම් සරසවිය ලාබ නො ලබන ආයතනයක් බව සැබෑ ය. එහෙත් එය රාජ්‍ය මත නො ව පෞද්ගලික අංශය මත නඩත්තු වන (පසු කාලීන ව රසල් සමූහයේ යාමනයෙන්) එංගලන්තයේ ඇති ස්වාධීන විශ්වවිද්‍යාලවලින් පැරණි ම විශ්වවිද්‍යාලය යි. එහි වෛද්‍ය විද්‍යාවට අදාළ ආචාර්ය උපාධිය සඳහා ලංකාවේ මුදලින් නම් රුපියල් ලක්ෂ සියයත් එකසිය  පනහත් අතර මුදලක් වැය වේ. එම සරසවිය “ලාභ නො ලබන” බව සැබෑවක් වුව ද පුණ්‍යායතනයක් වන්නේ අප පුණ්‍යායතන සඳහා දෙන අර්ථකථනය අනුව ය. මොහාන් ලාල් ග්‍රේරෝ ලයිසියම් ආයතනය ආරම්භ කළේ ද එවැනි “ලාභ නො ලබන” පදනම‍ක් මත බව අප සමඟ වරක්  පැවසී ය. 

පෞද්ගලික සරසවි යනු පුණ්‍යායතන ය යි විශ්වාස කරන පිරිස පුණ්‍යායතන (charity organisations) යනුවෙන් පවසන දෙයට ඔවුන් විසින් සපයනු ලබන අර්ථකථනයත්, උසස් අධ්‍යාපන ආයතනයක් පුණ්‍යායතනයක් ලෙස සංස්ථාපනය කිරීමේ හේතුව ලෙස ඔවුන් විසින් දක්වනු ලබන කරුණත් ඉතා ප්‍රශස්ත ය. පුණ්‍යායතන යනු  යම් ආයතනයක ව්‍යවස්ථාපිත අරමුණක් අරබයා යෙදෙන්නකි. එවන් ආයතනවල “ලාබ” නො ලැබීම යනු තාක්ෂණික ව්‍යවහාරයකි. “ලාබය” හෝ “ආදායමේ අතිරික්තය” හෝ යනු ආයතනික ව්‍යුහයට අනුරූප ව ව්‍යවහාර වන්නකි. පුණ්‍යායතන යැයි පැවසුණ ද එවායේ අධ්‍යාපනය කිසිවෙකුටවත් “පිනට” (මා මෙම වචනය මෙහි යොදනු ලබන්නේ නොමිලේ යන අරුතින් ය) ලැබෙන්නේ නැත. එංගලන්තයේ අනෙකුත් සරසවිවලට වඩා සාපේක්ෂ ව වැඩි ගාස්තුවක් මෙම ඊනියා පුණ්‍යායතනවලට ගෙවිය යුතු ය. එම ආයතන නඩත්තු වන්නේ එම ගාස්තුවලින් ලැබෙන ආදායමේ අතිරික්තය (නො ලබන “ලාබය”) සහ පරාර්ථකාමීන්ගෙන් හා දානපතීන්ගෙන් ලැබෙන මූල්‍යමය, ද්‍රව්‍යමය හා සේවාමය ප්‍රතිපාදන මත ය.  මේවා පුණ්‍යායතන වන්නේ පුණ්‍යාධාර මත ද යැපීම නිසා ය
 
එලෙස ම මේවා පුණ්‍යායතන වනුයේ සම්භාව්‍ය අර්ථයෙන් නො වේ. සම්භාව්‍ය අර්ථයෙන් පුණ්‍යායතනයකට මෙවැනි ගාස්තු අය කළ නො හැකි ය. මේවා වඩාත් නිවරද ව සැලකිය යුතු වන්නේ charitable for-profit ආයතන ලෙස වුවත් නෛතික හා විගණන අර්ථයෙන් ඒවා charitable not-for-profit ආයතන ලෙස සංශෝධන සහිත ව සංස්ථාපනය කර පවත්වා ගෙන යනු ලැබේ. 
 
ස්ටැන්ෆර්ඩ් සරසවිය – එක්සත් ජනපදය

එක්සත් ජනපදයේ පමණක් නො ව මෙරට ද බොහෝ විශ්වවිද්‍යාල ආරම්භ වූයේ පරාර්ථකාමීන්ගේ (philanthropists) හා දානපතීන්ගේ (donors) ප්‍රතිපාදන මත ය. ලංකා වෛද්‍ය විද්‍යාලය හා මහාරෝග්‍යශාලාව අරඹන්නට මහා ධනස්කන්ධයක් වැය කළෝ මෑත කාලීන ලාංකීය ඉතිහාසයේ මහා පරාර්ථකාමියා වූ මොරටුවේ චාර්ල්ස් හෙන්රි ද සොයිසා ශ්‍රීමතාණෝ ය. ලංකා විශ්වවිද්‍යාලයත් ඉන් බිඳී ඇරඹි කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලත් අරඹන්නට මහා ධනස්කන්ධයක් වැය කළෝ ශ්‍රීමත් ජේම්ස් පීරිස් ප්‍රමුඛ පරාර්ථකාමීහු ය. 
 
පෞද්ගලික සරසවි යනු පුණ්‍යායතන ය යි විශ්වාස කරන පිරිස පවසන එක්සත් ජනපදයේ හාර්වඩ්, යේල්, කෝර්නෙල්, ප්‍රින්ස්ටන් වැනි විශ්වකීර්තිමත් සරසවි ද පරාර්ථකාමීන්ගේ හා දානපතීන්ගේ පුණ්‍යාධාර මත පදනම් වන අයිවි ලීගයේ (Ivy League) ප්‍රතිපාදන මත යැපේ. ඒවා පෞද්ගලික (private) විශ්වවිද්‍යාල ය. හාර්වර්ඩ් සේ ම සම්භාවනීය සරසවියක් වන ස්ටැන්ෆර්ඩ් සරසවිය ද පෞද්ගලික විශ්වවිද්‍යාලයකි. එක්සත් රාජධානියේ බකිංහැම් සරසවිය සේ ම ස්ටැන්ෆර්ඩ් සරසවිය ද නඩත්තු වන්නේ අය කර ගනු ලබන ගාස්තු හා අවශේෂ ප්‍රතිපාදන රැස්කිරීම් මත ය. මේවා පෞද්ගලික විශ්වවිද්‍යාල වුව ද බදුමුක්ත (tax-exempted) ආයතන ය. එසේ බදුමුක්ත වන්නේ අධ්‍යාපනික පුණ්‍යායතන (educational charities) යන පදනමින් ය. 
 
මෙකී විශ්වවිද්‍යාල හැඳින්වීමට “පුද්ගලික”* යන වි‍ශේෂණය යෙදීම “අවභාවිතාවක්” බව ඇතමකු විසින් පැවසේ. Private යන ඉංගිරිසි වදනට සිංහලයේ පෞද්ගලික යන වදන (හෝ පුද්ගලික ලෙස ඇතමකු විසින් හඳුන්වනු ලබන වදන) ව්‍යවහාර කිරීම අවභාවිතාවක් නො වේ. පෞද්ගලික සරසවි යනු පුණ්‍යායතන ය යි විශ්වාස කරන පිරිස පවසන එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල private සහ public යනුවෙන් මූලික ව දෙවර්ගයකි.  
 
Public යනු මූලික ව ම රාජ්‍ය ප්‍රතිපාදන මත යැපෙන විශ්වවිද්‍යාල ය. මෙහි දී අප “මූලික ව ම” යන විශේෂණය යොදන්නේ අවශේෂ වශයෙන් public විශ්වවිද්‍යාලවලට ද පරාර්ථකාමීන්ගේ හා දානපතීන්ගේ පුණ්‍යාධාර වැනි ප්‍රතිපාදන මත ද යැපිමට අවසර ඇති නිසා ය. ප්‍රාන්තමූල ව මෙවැනි public විශ්වවිද්‍යාල රැසක් එක්සත් ජනපදය පුරා තිබේ. 
 
Private යනු මූලික ව ම රාජ්‍ය ප්‍රතිපාදන මත නො යැපෙන, පරාර්ථකාමීන්ගේ සහ දානපතීන්ගේ පුණ්‍යාධාර ද අය කරනු ලබන ගාස්තු ද මත යැපෙන විශ්වවිද්‍යාල ය. මෙහි දී ද අප “මූලික ව ම” යන විශේෂණය යොදන්නේ අවශේෂ වශයෙන් private විශ්වවිද්‍යාල ද බදු සහන, සුළු ප්‍රතිපාදන ඈ වක්‍ර හෝ සෘජු හෝ රාජ්‍ය  ප්‍රතිපාදන මත යැපෙන නිසා ය.
 
එක්සත් රාජධානියේ ද විශ්වවිද්‍යාල මේ අයුරින් private සහ public ලෙස ‍මූලික ව දෙවර්ගයකි. එක්සත් රාජධානියේ මෙකී විභේදනයේ දී ප්‍රතිපාදන සැපයීම සේ ම අදාළ විශ්වවිද්‍යාල යාමනය පිළිබඳ ද විශේෂ අවධානයක් යොමු කර ඇත. (එක්සත් රාජධානියේ පාසැල් පද්ධතිය සම්බන්ධයෙන් private සහ public යන සංකල්ප ව්‍යවහාර වන්නේ වෙනස් ආකාරයකට ය. ඒ පිළිබඳ විග්‍රහ කිරීම මෙම ලිපියේ අභිප්‍රේතාර්ථයට පරිබාහිර ය.)
 
මෙතෙක් සාකච්ඡා කළ කරුණු සියල්ල ම අප අපගේ පාදීය ලිපියෙහි  සංක්ෂිප්ත ව එහෙත් පැහැදිලි ව දක්වා තිබේ. එසේ තිබිය දී ඇතමෙකු විසින් බකිංහැම් සරසවිය පුණ්‍යායතනයක් බව පමණක් ඉස්මතු කෙරෙන්නේත් එය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බව යටපත් කෙරෙන්නේත් ඇයි? අප මූලික විසංවාදය සඟවා බකිංහැම් සරසවිය පුණ්‍යායතනයක් ද? ඇමෙරිකාවේ තිබෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ද? යනාදී විතණ්ඩ ප්‍රශ්න විමසා වැඩක් නැත.
 
පෞද්ගලික සරසවි යනු පුණ්‍යායතන ය යි විශ්වාස කරන පිරිස “පෞද්ගලික” යන (හෝ පුද්ගලික ලෙස ඇතමෙකු විසින් හඳුන්වනු ලබන) වදන අරබයා නඟන ප්‍රශ්නවලට පදනම ද්විපාදීය “විය හැකි ය”. ඒවා නම්:
 
1. අවවර්ධිත පෞද්ගලික අංශයක් (private sector) ඇති ශ්‍රී ලංකාවේ”, පෞද්ගලික යන්නට පරිපාලනමය වශයෙන් ද සමාජ-දේශපාලනමය වශයෙන් ද ලැබී ඇති අර්ථයේ පවතින සංදිග්ධතාව ය.
 
2. උසස් අධ්‍යාපනය රාජ්‍ය අංශය විසින් ම සිදු කළ යුතු අතිපූජනීය සමාජ සත්කාරයක් ය යන අස්ථානය ය. 
 
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය පිළිබඳ බොහෝ දෙනෙකු එතරම් විශ්වාස නො කරන බව පෞද්ලික අංශයේ වෙසෙසනු පිණිස “මුදලාලිලා” යන වදන ඔවුන් විසින් ව්‍යවහා‍ර කරනු ලැබීමෙන් හැඟවුම්කරණය වේ. ඔවුන්ගේ සංශය සාධාරණ ය. ඔවුන් පවසන අවදානම සැබෑ ය. එහෙත් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය රාක්ෂසයෙකු ලෙස සලකා සංවර්ධනය පිළිබඳ සමාජ-දේශපාලන කතිකාවේ සීමා මායිමෙන් ඉවතට පලවා හැරීමෙන් ලාංකික රාජ්‍යය සංවර්ධනය කළ නො හැකි තත්ත්වයක් වර්තමානයේ නිර්මාණය වී ඇත. එය ලාංකික සන්දර්භය තුළ පමණක් නො ව සමස්ත ලෝකය තුළ වුව වාස්තවික යථාර්ථයකි. අපි මෙසේ පැවසුවෙමු:
 
පෞද්ගලික අංශය යනු රාක්ෂසයෙකු ලෙස සලකා පලවාහැරිය යුතු සංරචකයක් නො වේ. ඉතා පුළුල් පරාසයක ස්වායත්ත ගතිකයක යෙදෙන පෞද්ගලික අංශයක් යනු ලිබරල් ධනවාදයේ සංඝටනීය අවශ්‍යතාවකි. එහෙත් ලාංකේය පෞද්ගලික අංශය එලෙස පූර්ණ ස්වායත්ත ගතිකයක් ලෙස ක්‍රියාත්මක විය හැකි තරම් වර්ධිත අවස්ථාවක නැත. ලාංකේය පෞද්ගලික අංශය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට වඩා උනන්දු වන්නේ වාණිජ තැරැව්කරණය පිළිබඳ ය.
 
උසස් අධ්‍යාපනය සඳහා පවතින අවස්ථා පුඵල් කිරීමේ සාර අභිලාසයේ දී උසස් අධ්‍යාපනය, අසමත් රාජ්‍ය අංශයේ ඒකාධිකාරයෙන් මුදවාගෙන, ආරම්භයේ දී අවේක්ෂණ හා සංතුලන සහිත ගමනක් පෞද්ගලික අංශය සමඟ යා යුතු බව අපගේ අදහස ය. සංක්‍රාන්ති සමය ගෙවා පෞද්ගලික අංශය වර්ධිත අවස්ථාවකට එළඹෙන කල, පෙර කී දැඩි අවේක්ෂණ හා සංතුලන ඉවත් කළ හැකි ය. ශාස්ත්‍රාලීය ශාස්ත්‍රවන්තයනට වැටහෙන ආකාරයට පවසන්නේ නම් “රාජ්‍යය විසින් පෞද්ගලික අංශය දැඩි ව යාමනය කරනු ලබන ‍කෙයිනිසියානු ධනපති ක්‍රමයෙන් නික්මී පෞද්ගලික අංශය එහි ම ස්වායත්ත ගතිකයන්ගෙන් යාමනය වන ෆ්‍රීඩ්මනියානු ධනපති ක්‍රමයක් කරා යන සුසුමාදර්ශීය වෙනසක් ශ්‍රී ලංකාව විසින් වහා අරඹනු ලැබිය යුතු ය”. 
 
අප පෙනී සිටින්නේ (ඇතමකු විසින් පැවසෙන පරිදි) “අටවා” ගත් මාලඹේ ආයතනය එලෙස ම පවත්වා ගැනීම සඳහා නො වේ. එහි ප්‍රමිතිය පිළිබඳ විසඳාගත යුතු ගැටලු රැසක් පවතී. එම ගැටලු පිටුපස පවතින්නේ අපගේ පෞද්ගලික අංශයේ අවවර්ධිතභාවයත් එම තත්ත්වයෙන් පෞද්ගලික අංශය ගලවා ගැනීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණ නො ගැනීමත් ය. එම ගැටලු විසදීම යනු පෞද්ගලික අංශය විසින් උසස් අධ්‍යාපන අවස්ථා නිර්මාණය කරනු ලැබීම වැළැක්ම නො වේ. “මාලඹේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ඇති ගැටලුව විය යුත්තේ එහි ප්‍රමිතිය පිළිබඳ කාරණා ය. රජය කළ යුත්තේ එහි ප්‍රමිතිය යාමනය කිරීම පිළිබඳ තීන්දු තීරණ ගැනීම ය.” යනුවෙන් අප පැවසූයේ එනිසා ය. 
 
උසස් අධ්‍යාපනය නිදහස් විය හැකි ය. එහෙත් එය කෙදිනකවත් නොමිලේ ලැබුණේ නැත. කන්නන්ගරයන්ගේ නිදහස්  අධ්‍යාපනය යනු නොමිලේ ලැබුණු දෙයක් නො වේ. අප නොමිලේ ලැබුණේ යැයි සිතන බොහෝ දේ සඳහා අපගේ අනෙකා ගෙවීම කර ඇත. ඔබ ද මා ද බාලාංශයේ සිට ආචාර්ය උපාධිය දක්වා ලැබූ අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ වැඩ කරන ජනතාව අඩුපාඩු නැති ව ගෙවා ඇත. අප ඉගෙන ගෙන ඒ වෙනුවෙන් රටට සේවය කළා යැයි පවසා ලිස්සා යන්නට අපට නො හැකි ය. අපට ඉගෙන ගන්නට වියදම් කළ වැඩ කරන ජනතාව ම අප ඉගෙන ගෙන කළ ඊනියා සේවයට ද මාසික ව ලක්ෂ ගණනින් ගෙවා ඇත. තව දුරටත් මෙම ක්‍රමය ඉදිරියට යා යුතු නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ යුතු සේ ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ද ගාස්තු අය කරන ක්‍රමයක් ඇති කළ යුතු ය. රජය කළ යුත්තේ නිශ්චිත කාලයක් තුළ නැවත ගෙවන පදනම මත උසස් අධ්‍යාපනය සඳහා ණය මුදලක් ලබා දීම වැනි කාර්ය ය. එසේ වූ කල ලිප්ටන් වටරවුමේත් වෝර්ඩ් පෙදෙසේත් පිස්සු කෙළිමින් වසර ගණනක් සරසවිවලට වී උපාධිය සම්පූර්ණ නො කරන දරුවන් තමන් කළ යුතු සැබෑ කාර්යය කුමක් ද යන්න සිතා බලනු ඇත.
 
අවම සුදුසුකම් සපුරා ඇති සියල්ලනට ම උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා ලැබේවා!
 
වික්‍රම වික්‍රමාදිත්‍ය වික්‍රමරත්න.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s