ගලප්පත්ති එරෙහි ව සන්නස්ගල නඩුවේ තීන්දුව අදහස් ප්‍රකාශනයේ නිදහස මත සිදු කරන ආචරණය

අපකීර්තනය සහ අදහස් ප්‍රකාශනයේ නිදහස

ප්‍රවීණ සමාජ-දේශපාලන-කලා විචාරක උපුල් ශාන්ත සන්නස්ගලයනට එරෙහි ව අජිත් ගලප්පත්ති නම් ස්වාධීන විචාරකයකු ය යි පැවසෙන තැනැත්තකු විසින් වර්ෂ දෙදහස් අටේ දී කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කරනු ලැබූ අපකීර්තනය නිමිති කර ගත් නඩුවක තීන්දුව පසු ගිය දිනක නිකුත් වී ඇත. දෙදහස් අට වර්ෂයේ ජුලි මස අට වැනි දින සජීවී ව ද ජුලි මස දහතුන් වැනි දින පටිගත ව ද පෞද්ගලික රූපවාහිනි නාළිකාවක විකාශනය වූ කතිකා වැඩසටහනක දී සන්නස්ගලයන් විසින් ගලප්පත්ති යන තැනැත්තා අරබයා කරනු ලැබූ ප්‍රකාශයකින් එම තැනැත්තාගේ කිතුසිරුරට නිග්‍රහ වූ බවත් එම නිග්‍රහට වන්දි ලෙස රුපියල් මිලියන දහයක් අය කර ගැනීමට එම තැනැත්තාට නඩු නිමිත්තක් පහළ වී ඇති බවත් පවසමින් අංක DMR 05975/08 යටතේ අදාළ නඩුව ගොනු කෙරිණි. ගලප්පත්ති නමැත්තාට සිදු කෙරුණු අපකීර්තනය ලෙස වර නැඟුණේ කලකට පෙර සන්නස්ගලයන් විසින් නිෂ්පාදනය කෙරුණු චිත්‍රපටයක් පිළිබඳ විචාරයක් ලියා පළ කිරීම උදෙසා  ගලප්පත්ති නමැත්තා මුදල් ඉල්ලා සිටි බව පෙර කී වැඩසටහනේ දී සන්නස්ගලයන් විසින් පවසනු ලැබීම ය. සන්නස්ගලයන් තම ප්‍රකාශය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීමට සමත් නො වූ බව ද එම ප්‍රකාශයෙන් ගලප්පත්ති නමැත්තාට ස්වාධීන විචාරකයකු ලෙස පවතින කීර්තිප්‍රභාවට හානි වූ බව ද ගරු අධිකරණය විසින් නිගමනය කෙරිණි. එම අපකීර්තනයයෙන් ගලප්පත්ති නමැත්තාට වූ හානිය මූල්‍යපාදක ව නිමානය කළ නො හැකි වුව ද අවම වශයෙන් රුපියල් මිලියන පහක් වන්දි ලෙස ගලප්පත්ති නමැත්තාට ගෙවනු ලැබිය යුතු බව ගරු අධිකරණය විසින් නියෝග කෙරිණි. එම වන්දි මුදලෙන් සමඩක් සන්නස්ගලයන් විසින් ද ඉතිරි සමඩ සන්නස්ගලයන්ගේ ප්‍රකාශය විකාශනය කළ රූපවාහිනී නාළිකාව විසින් ද ගෙවිය යුතු බව ද පැවසිණි. උත්තරීතර අධිකරණයේ තීන්දුව අපි ගෞරවපූර්වක ව පිළිගනිමු. මෙම සටහනින් එම තීන්දුව පිළිබඳ කිසිදු සංශයක් හෝ විරෝධයක් හෝ නො පළ කෙරෙන බව සවිඥානික ව ම අවධාරණය කරමු. 

සන්නස්ගලයෝ ප්‍රකට සිංහල භාෂා ආචාර්යවරයෙක් ද ශාස්ත්‍රවන්තයෙක් ද සාර්ථක ව්‍යාපාරිකයෙක් ද වෙති. සමකාලීන සහ සම්භාව්‍ය සාහිත්‍යයේ අභිවර්ධනයට ඔවුන් විසින් ශාස්ත්‍රීය ව ද ව්‍යාපාරික ව ද ප්‍රාමාණික සම්ප්‍රදානයක් සිදු කෙරුණු බව පැවසිය යුතු ය. සන්නස්ගලයන්ගේ “අපේ සිංහල පන්තිය” ඇතැම් ප්‍රවීණ විචාරකයන් විසින් “උපුල්ගේ කුකුල් (කුකුළු) කූඩුව” ලෙස සදයෝපහාසාත්මක ව හඳවන්වනු ලැබු ව ද, එමඟින් සිංහල භාෂාසාහිත්‍යය විෂයක් ලෙස ප්‍රචලිත කිරීමට සැලකිය යුතු මෙහෙයක් ඉටු වී තිබේ. සන්නස්ගලයනට හිමි ව තිබූ ග්‍රන්ථ ප්‍රකාශනායතනය විසින් ආර්ථික ව ලාභදායක නො වන විෂයනට අදාළ කෘති වුව පළ කරනු ලැබීමෙන් ආධුනික හා ප්‍රවීණ දෙපිරිසට ම සේවයක් සිදු ව ඇත.

සන්නස්ගලයෝ මින් පෙර ද ශාස්ත්‍රීය කටයුතුවලට අදාළ නඩුහබ කීපයක පැටලුණහ. ඒවා ප්‍රතිරූපණ හිමිකම නිමිති කර ගත් නඩුහබ ය. මනමේ නාට්‍යයේ පෙළ පළ කිරීම පිළිබඳ ඔවුන් සරච්චන්ද්‍ර සිරිමතිය සමඟ නඩුවක පැටලුණු කල අපගේ අදහස වූයේ එය එතුමිය සමඟ මන්ත්‍රණයෙන් සමථනය කර ගත යුතු බව ය. අවසානයේ දී එය එසේ සිදු විණි. ඔවුන් වර්තමානයේ පැටලී සිටින ප්‍රතිරූපණ හිමිකම පිළිබඳ තවත් නඩුවක් ද එලෙස ම මන්ත්‍රණයෙන් සමථනය කර ගත යුතු බව අපගේ අදහස ය. 

උපුල් ශාන්ත සන්නස්ගල

ගලප්පත්ති නමැත්තා පිළිබඳ නඩුව නම් අපකීර්තනය පිළිබඳ නඩුවකි. සන්නස්ගලයන් පැවසූ පරිදි ගලප්පත්ති නමැත්තා අදාළ විත්‍රපටය පිළිබඳ විචාරයක් ලියා පළ කිරීමට මුදල් ගත්තේ ද නො ගත්තේ ද යන්න අපි නො දනිමු. එහෙත් අධිකරණ විනිශ්චය ප්‍රකාර ව එසේ මුදල් නො ගත් බව කිසිදු සංශයකින් තොර ව අපි පිළිගනිමු. පවතින නීතියට ගරු කිරීම ශිෂ්ට ලක්ෂණයකි. නීතියක් රීතියක් නැත්තේ අශිෂ්ටයනට බව අපි විශ්වාස කරමු. පවතින නීතියේ ලුහුඬුකම් සකසා ගැනීම හෝ ඒවා ඉවත් කිරීම හෝ අප විසින් කරනු ලැබිය යුතු වන්නේ ශිෂ්ට සම්මත ක්‍රමයට ය. බාන බිඳගත් ගවයෙකු සේ සතර දිග දිව යෑමෙන් නීති සංශෝධනය හෝ අපලෝපනය හෝ සමාලෝපනය හෝ කළ නො හැකි ය. 

අදහස් පළ කිරීම සහ අපකීර්තනය යන ක්‍රියාවල සීමා නිර්ණය කෙරෙන නිර්ණායක ඉතා සියුම් ය; වැදගත්  ය. වර්ෂ දෙදහස් දෙකට පෙර පැවති ඊනියා සාපරාධී අපහාස නීතියට පදනම් වූ දණ්ඩ නීති සංග්‍රහයේ දහනව වන පරිච්ඡේදයේ හාරසිය හැත්තෑනව වැනි වගන්තිය වුව දීර්ඝ වූයේ ද එනිසා ය. වර්තමානයේ සාපරාධී අපහාස නීතිය සමාලෝපනය වී තිබුණ ද සිවිල් අපහාස නීතිය යටතේ අගතියට පත් වූවනට නෛතික සරණ පැතිය හැකි ය. ගලප්පත්ති නමැත්තා සරණ ගොස් ඇත්තේ එම නීතියේ ය.

අප පවසන සෑම සියලු අදහසක් ම සාක්ෂ්‍ය මත නෛතික ව සාධනය කිරීම කළ නො හැකි ය. අපකීර්තනය පිළිබඳ නීති දර්ශනයේ දී “අදහස” අපකීර්තන නීතියට ආධීන නො වන බව පොදුවේ පිළිගැනෙන නමුත් නෛතික අර්ථයෙන් අදහස යන්න නිර්වචනය වන ආකාරය අනුව ප්‍රකාශනයේ නිදහසට දෘඪතර සීමාකරණයක් සිදු වේ. අදහස් යනු අසත්‍යය යයි සාධනය කළ හැකි වන කරුණුමය අභිධානයන් නොමැති ප්‍රකාශන ය; නැත හොත් සත්‍ය කරුණු පැවසෙන බව සාධාරණ ව අර්ථකථනය කළ නො හැකි ප්‍රකාශන ය. කිසි යම් භාෂාත්මක ප්‍රයෝගයකින් සත්‍ය කරුණු සඟ වන ලද ප්‍රකාශන ද අදහස් ලෙස නො සැලකේ. එනයින් අදහස් යනු නෛතික අර්ථයෙන් ඉතා සීමිත පරාසයක විහිදෙන්නකි.

යම් අදහසක් හෝ ප්‍රකාශයක් හෝ සාක්ෂ්‍යය මත නෛතික ව සාධනය කළ නො හැකි වූ පමණින් එම අදහස හෝ ප්‍රකාශය හෝ අසත්‍යය යන  නිගමනයට පරිග්‍රාහික ව එළඹිය නො හැකි ය. පසු ගිය දශකය තුළ රාජ්‍ය තන්ත්‍රය හෙබ වූවනට නැඟෙන බොහෝ චෝදනා නෛතික ව තහවුරු කිරීම සරල කාර්යයක් නො වේ. එහෙත් ඔවුනට නැඟෙන චෝදනා අසත්‍ය නො වන බව ව්‍යවහාරික ඥානයෙන් පැවසිය හැකි ය. යම් අදහසක් හෝ ප්‍රකාශයක් හෝ නෛතික ව තහවුරු කිරීමට සාක්ෂ්‍ය අප සතු ව නැති වූ පමණින් අපි නිහඬ විය යුතු වෙමු ද? දූෂණ, වංචා ඈ නේක චෝදනාවනට ලක් වූ, සැබෑ ලෙස ම ඒවාට සම්බන්ධ වූවෝ “හොඳ යි පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න” යි සාඩම්බර ලීලාවෙන් පවසති. වෘත්තීය ව දූෂණ, වංචා ඈ අකටයුතුවලට සම්බන්ධවන්නන් නෛතික ව එම අකටයුතුකම් තහවුරු කළ හැකි වන සේ සාක්ෂ්‍ය ශේෂ නො කරන බව කවුරු නම් නො දනිත් ද?

පුළුල් ව සැලකූ විට අපකීර්තනය පිළිබඳ නෛතික දණ්ඩනය යනු අදහස් ප්‍රකාශනයට එරෙහි වන සීමාවකි. ප්‍රවෘත්තිවල මූලප්‍රභවවල නිරවද්‍යතාව පිළිබඳ සම්භාවිත රීතීන් මාධ්‍යකරණයේ පවතී. ප්‍රමුඛධාරාවේ සම්මත මාධ්‍ය මූලප්‍රභවයන්හි නිරවද්‍යතාව සම්පරීක්ෂා නො කර ප්‍රවෘත්ති පළ නො කරන්නේ එනිසා ය. අන්තර්ජාලය පුළුල් ව ව්‍යාප්ත වූ පසු ගිය දශක දෙකක පමණ කාලයේ දී සමාජජාල, වියුණුසටහන් අඩවි, එසැණ පුවත් ඈ නන් නයින් වර්ධිත වෛකල්පික ජනසන්නිවේදන ක්‍රම ඔස්සේ තොරතුරු සන්නිවේදනය වන්නට වූ කල පෙර කී දෘඪ රීතීන් ලිහිල් ව ව්‍යවහාර වන්නට විණ. විශේෂයෙන් ම විවාදසම්පන්න මාතෘකා පිළිබඳ අදහස් පළ වීමට තිබූ සීමා බිඳ වැටිණි. නෛතික නො වූ පරිවේෂණ සාක්ෂ්‍ය මත පිහිටා ව්‍යවහාරික ඥානයෙන් තමන් එළඹි නිගමන ද ඒවා පිළිබඳ තම අදහස් ද නිදහසේ පළ වන්නට විණ. දේශීය විදේශීය වියුණුසටහන් අඩවි රැසක් මෙම ශික්ෂාව මත පිහිටා ඇත. 

නෛතික ව තහවුරු කළ හැකි සාක්ෂ්‍ය මත ම අදහස් ප්‍රකාශ කිරීම සිදු විය යුතු නම් එම නිර්ණායකයට අනුගත ව ප්‍රකාශ කළ හැකි අදහස් ඉතා සීමිත වනු ඇත. එසේ විය යුතු වූයේ නම්, ලාංකේය සිංහල භාෂා වියුණුසටහන්කරණයේ සම්මානිත අග්‍රේසරයන්ගේ මූලාදර්ශීය වියුණුසටහන් අඩවිවල පළ වන ලිපි ප්‍රමාණය හස්තාංගුලිකාසංබ්‍යාත වන්නට ඉඩ තිබිණි. ඔවුන් විසින් ලියවෙන බොහෝ වියුණුසටහන් නෛතික ව තහවුරු කළ නො හැකි කරුණු මත පදනම් ව ඇත;  බොහෝ කරුණු කනින්කොනින් ඇසූ ළිඳ ළඟ සංගම් සම්ඵප්‍රලාප ය;   අතැම් කරුණු පට්ටපල් චේතිය බොරු ය; තවත් කරුණු හුදු පුද්ගාලාලම්බන කලල්පතනයන් ය. ඔවුන් පැටලෙන්නේ ද එසේ මෙසේ පුද්ගලයන් සමඟ නො වේ. ඔවුහු තෝරුන්, මෝරුන් සමඟ විනා කූනිස්සන්, හාල්මැස්සන් සමඟ නො පැටලෙති. මෙකී වියුණුසටහන්කරුවන්ගෙන් අයෙක් මිලියන හතරකට වැඩි පාඨක සමාජයක සාඩම්බර හිමිකරුවෙක් ද වන්නේ ය. එහෙත් ඔවුනට එරෙහි ව අපකීර්තන නඩුවක් මේ සා දීර්ඝ කාලයක් තුළ පැවරූවෝ කවරහු ද? කිසිවෙකු එසේ කර ඇති බවක් අපි නො දනිමු. එපමණ නො වේ; සමහරෙක් මෙකී වියුණුසටහන්කරුවාට එරෙහි ව සාහසික කරුණු අඩංගු ප්‍රකාශන ආලෝචන ලෙස පළ කරති. ඒවා සැබෑ අපකීර්තන ය. එහෙත් පැසුණු නරකෙසින් බුහුමන් ලබන අඩසියවසක් ලෙව්හි වැසි ඔවුහු නම් කිසි කළ නො කිපෙති; අපකීර්තනය නිමිත කර නඩු මඟට නො බසිති. ඇතැම් විට තමන් නිර්දය විවේචනයට ලක් කරමින් නිර්නාමික ව ලියවුණු ආලෝචන ද ඔවුහු නො ලසා නව වියුණුසටහන් ලෙස පළ කරති; ඒවායේ අඩංගු විලම්බීත වැකි වියත් සභා මැද ඇද දමති. තමනට එරෙහි ව නැඟි අපකීර්තන ඔවුහු සූර ලෙස කීර්තියක් බවට පත් කර ගනිති.

තොරතුරුවල නිරවද්‍යතාව යනු ස්ථිතිකයක් නො ව ගතිකයකි. තවත් ආකාරයකින් පැවසුවහොත් තොරතුරුවල නිරවද්‍යතාව යනු සංශ්‍රේණික ව වර්ධනය වී ඉස්මතු වන වන ක්‍රියාවලියකි. අයෙක් පරිවේෂණ සාක්ෂ්‍ය මත තම ව්‍යවහාරික ඥානයෙන් එළඹෙන නිගමන තම වියුණුවල පළ කරති. ඇතැම් පාඨකයෝ එම නිගමනවල ලුහු තැන් පෙන්වා දෙමින් ද ඒවා නිවැරදි කරමින් ද ආලෝචන පළ කරති. වියුණුසටහන්කරුවෝ යළිත් තම අස්ථානය පහදමින් ආලෝචන මඟින් ප්‍රතිචාර දක්වති. ඇතැම් විට ඇතැම් වියුණුසටහන්කරුවෝ තමන්ගේ ලුහු  ප්‍රකාශන නාමික ව පැමිණ තුතිපූර්වක ව නිවැරදි කර, ඉන් පසු නිර්ණාමික ව පැමිණ වරද පෙන්වා දුන්නවුනට ශිෂ්ට භාෂාවෙන් ප්‍රශංසා කරති. මේ සියල්ල සිදුවන විට ඔවුන් මුලින් පැවසූ තොරතුරුවල නිරවද්‍යතාව ද සම්පරීක්ෂා වේ. 

කිසි යම් සමාජයක් ශිෂ්ටත්වයෙන් සංතෘප්තියට පත් වන කල කිනම් ආකාරයක හෝ අදහස් පළ කිරීමට ඇති නිදහස තහවුරු විය යුතු ය. ඊනියා සාපරාධී අපකීර්තන නීතියට එරෙහි ව අතීතයේ දී සමාජ කතිකාවක් ගොඩ නැඟූ සේ ම, වර්තමානයේ දී ඊනියා කිතුසිරුරුවල සාඩම්බර හිමිකරුවන්  අවිචාරවත් ලෙස සිවිල් අපකීර්තන නීතියේ සරණ යාමට එරෙහි ව අපි සමාජ කතිකාවක් ගොඩ නැඟිය යුතු වෙමු.  අපකීර්තන නීතිය පැවතිය යුතු වන්නේ ඇයි? යන ප්‍රශ්නයට නීති දර්ශනය අනුව බොහෝ කරුණු ඉදිරිපත් කළ හැකි වුව ද අප එය ඇගයිය යුතු වන්නේ පුළුල් ව ප්‍රකාශනයේ නිදහස පාදක කර ගෙන ය. කවර හෝ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීමේ දී එම ප්‍රකාශය කළ තැනැත්තා නෛතික දණ්ඩනයකට ලක් කිරීමට වඩා වර්ධිත හා සුශික්ෂිත ක්‍රම පවතී. මානව සමාජය නෛතික දණ්ඩනය මත ම ශික්ෂණය කිරීම යනු ශිෂ්ටත්වයෙන් අසංතෘප්ත ප්‍රාථමික සමාජවල ලාක්ෂණිකයකි. මෙවැනි නීති සමාලෝපනය කිරීමට ද වඩා වැදගත් වන්නේ ඒවායේ සරණ යාමට පෙර ඊනියා කිතුසිරුරුවල සාඩම්බර හිමිකරුවන් ළාමකත්වයෙන් මිඳී පරිණත ව සිතීම ය. 
 
ප්‍රස්තුත නඩු තීන්දුවෙන් නව ප්‍රාණයක් ලබා නුදුරු අනාගතයේ දී උට්ඨානයට පත් වනු ඇති පිරිස නම් පෙර සඳහන් කළ “හොඳ යි පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න” යි වහසි බස් පවසන අසත්පුරුෂයෝ ය. ඔවුන් තමනට එරෙහි ව නැඟෙන චෝදනා යටපත් කරනු වස් ඊනියා අපකීර්තන නීතියේ සරණ තව තවත් සොයා යනු ඇත. රූපවාහිනියේ හෝ වෙනත් තැනෙක හෝ මුළු ගැන්වෙන කතිකා මණ්ඩපයකට දුරකථනයෙන් සම්බන්ධ වන අයෙකු තමනට  එරෙහි ව අදහසක් දැක් වූ විට, “මේ අපහාසයට මම තමුසෙට විරුද්ධ ව නඩු දානවා” යි පවසන්නෝ ද එකී පුද්ගලයෝ ම ය. 
 
ගලප්පත්ති එරෙහි ව සන්නස්ගල නඩුවේ තීන්දුව විසින් සන්නස්ගලයනට පමණක් නො ව ඔවුන් සමඟ පැවති කතිකා වැඩසටහන විකාශනය කළ රූපවාහිනි ආයතනයට ද දඬුවම් කරනු ලැබ ඇත. එය නීති ප්‍රකාර ව සංයුක්ත ලෙස නිරවද්‍ය තීන්දුවක්  බවට අප තුළ සංශයක් නැත. එහෙත් එමඟින් වියුක්ත ලෙස ඇති කරනු ලබන ආචරණය නො සලකා හැරිය යුතු නැත. මෙකී ආචරණයේ අනිසි ඵල ලෙස වියුණුසටහන් අඩවිවල පළ වන ආලෝචන පිළිබඳ ඒවායේ හිමිකරුවන් විසින් ඉදිරියේ දී දෘඪතර ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබීමට ද හැකි ය. එමඟින් ඔවුන්ගේ වාරණයේ අයෝමය පාදපාව තව තවත් ශක්තිමත් වන්නට ද හැකි ය. 
 
සන්නස්ගලයනට මෙම ඛේදාන්තයට මුහුණ දීමට සිදු වූයේ කවර නම් සහේතුක හෝ අහේතුක හෝ  කරුණක් නිසා ද? පාළි ත්‍රිපිටකයේ ධම්මපදපාළියේ නිරය වර්ගයේ  “අභූතවාදී නිරයං උපෙති – යොචාපි කත්වා නකරොමි චාහ – උභොපිතෙ පෙච්ච සමා භවන්ති – නිහීන කම්මා මනුජා පරත්ථ” (පදනම් විරහිත අසත්‍ය අපවාද අන්‍යයනට නඟන තැනැත්තේ ද යම් ක්‍රියාවක් තමන් විසින් කළේ වුව නො කළ බව පවසන තැනැත්තේ ද යන පහත් ක්‍රියා ඇති මනුෂ්‍යයෝ දෙදෙනා ම මිය ගොස් නිරයේ සමාන ව උපදිති) යනුවෙන් ද සුත්ත නිපාතයේ චූල වර්ගයේ ධම්මික සූත්‍රයේසභග්ගතො වා පරිසග්ගතො වා – එකස්ස චෙතො න මුසා භණෙය්‍ය – න භාණයෙ භණතං නානුජඤ්ඤා – සබ්බං අභූතං පරිවජ්ජයෙය්‍යවප” (සභාවකට ගියේ හෝ පිරිසක් මැදට ගියේ හෝ තනි වූ පුද්ගලයෙකු සමඟ හෝ අසත්‍ය කරුණු නො බිණිය යුතු ය; අන්‍යයන් ලවා හෝ නො බිණවිය යුතු ය; බිණීමට අනුබල නො දිය යුතු ය; පදනම්ක් නැති නො සිදු වූ සියල්ල දුරු කළ යුතු ය) යනුවෙන් ද පැවසෙන ශික්ෂාව සන්නස්ගලයන් විසින් නො සලකා කටයුතු කරනු ලැබීම නිසා ද? නැත හොත් ශුද්ධ වූ බයිබලයේ හිතෝපදේශ ග්‍රන්ථයේAn hypocrite with his mouth destroyeth his neighbour: but through knowledge shall the just be delivered.යනුවෙන් ද කොලොසියන්ස් ග්‍රන්ථයේ Let your speech be alway with grace, seasoned with salt, that ye may know how ye ought to answer every man.” යනුවෙන් පැවසෙන ශික්ෂාව නො සලකා සන්නස්ගලයන් විසින් කටයුතු කරනු ලැබීම නිසා ද? මෙකී ආගමික ශික්ෂාවන්හි සත්‍යාසත්‍යතාව කුමක් වුව ද සන්නස්ගලයන් මුහුණ දුන් ඛේදාන්තය විසින් අපගේ අවධානයට යොමු කරවනු ලබන වැදගත් කරුණක් තිබේ. එනම් පවතින නීතිය තුළ සිටිමින් එය උල්ලංඝනය නො වන සේ අපගේ අදහස් පළ කිරීමේ සූක්ෂ්ම ක්‍රමවල වැදගත්කම යි. 
 
ලුහුඬුකම් තිබුණ ද පවතින නීතිය නො සලකා කටයුතු කිරීම බුද්ධිගෝචර නො වේ. නෛතික ප්‍රශ්න ඇති නො වන සේ අදහස් ප්‍රකාශ කිරීම ද නිපුණතාවකි. එය ප්‍රගුණ කිරීම විවාදාපන්න විෂයන් පිළිබඳ ලේඛනයේ යෙදෙන සුධීමතුන්ගේ වගකීමකි. 
 
ප්‍රකාශනයේ නිදහස හා අපකීර්තන නීතිය අතර පවතින සංඝට්ටනය මූලික අයිතිවාසිකම් පිළිබඳ කතිකාවේ සංඝටනීය අංගයකි. එම සංඝට්ටනය මානව සමාජයේ ආරම්භයේ සිට අද දක්වා ම පවතින්නකි. බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ සිට  ත්‍රිපිටකයේ සූත්‍රපිටකය ඔස්සේ ලාංකේය සිවිල් නීති සංග්‍රහය දක්වා ද ජේසුන් වහන්සේට එරෙහි ව ව්‍යාජ භක්තිකයන්ගේ සිට බුදුන් වහන්සේට එරෙහි ව තීර්ථකයන් ඔස්සේ ගලප්පත්ති නමැත්තාට එරෙහි ව සන්නස්ගලයන් දක්වා ද අපකීර්තනය පිළිබඳ කතිකාව පුළුල් ව පැකිර තිබේ. විනිශ්චයකාර සුප්පයියා ශර්වානන්ද ලංකාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ලියූ තමන්ගේ මාහැඟි ග්‍රන්ථයෙහි ලා සඳහන් කරන පරිදි අපකීර්තනය පිළිබඳ නීතිය විසින් අන්වේෂණය කරනු ලබන්නේ අදහස් ප්‍රකාශනයේ නිදහසත් යම් පුද්ගලයෙකුට තම කීර්තිය අනිසි නිග්‍රහ කිරීම්වලින් ආරක්ෂා කර පවත්වා ගැනීමට ඇති අයිතියත් අතර පවතින සංඝට්ටනය සමථනය කිරීම ය. මෙකී සමථනය වූ කලී ප්‍රකාශනයේ නිදහස සහ අපකීර්තනයේ නිෂේධය අතර ගතික සමතුලිතතාවකි. එම ගතික සමතුලිතතාව ස්ථානගත වන්නේ ප්‍රකාශනයේ නිදහස සහ අපකීර්තනයේ නිෂේධය අතර සමමිතික විභේදනයක් ඇති වන ලෙස ද? නැත හොත් ප්‍රකාශනයේ නිදහස දෙසට වඩා නැඹුරු ව ද? එසේත් නැති නම් අපකීර්තනයේ නිෂේධය දෙසට වඩා නැඹුරු ව ද? මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු ඒකවිධ නො වේ; ඒවා බහුවිධ වේ. එකී බහුවිධ පිළිතුරු සමෝධානය කිරීම කළ යුතු වන්නේ පුළුල් සමාජ-දේශපාලන කතිකාවකින් ය. නීතිය යනු ප්‍රගතිය කරා මානව සමාජය ප්‍රගමනය වීමට උපකාර වන පදනමක් මිස සමාජ ප්‍රගමනයට බාධා කරන යදමක් නො විය යුතු ය. සෑම ගැටලුවකට ම විසඳුම නීතියේ සරණ යාම ම නො වන බව සියලු සත්ත්වයෝ වටහා ගනිත්වා! 
 
බන්‍ධුල කුදලාගම,
ටොරන්ටෝව.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s