සරසතුමන්ගේ ගුරු සිරිමතිය පිළිබඳ අතීත සැමරුම්

ගුරු ගුණ සමරන සරසතුමන

මල්ලේ පොල් වියුණුවේ හිමිකාර සරසතුමා (සා රසතුමා, සාරසතුමා ලෙස ද එතුමෝ හඳුන්වනු ලබති) වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. හෙතෙම පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස ද කලක් සේවය කළේ ය. සරසතුමා කොළඹ රාජකීය විද්‍යාලයේ උගත්තෙකි. 1985-86 සමයේ දී සරසතුමන්ගේ සත්ත්‍ව විද්‍යා ගුරුවරිය වූ ද පංති භාර ගුරුවරිය වූ ද සිරිමතියක පිළිබඳ එතුමෝ පසු ගිය දිනෙක ගුරු ගුණ සමරමින් ලියූහ. මතු පළ වන්නේ ඒ ගුරු සිරිමතිය පිළිබඳ මගේ මතක සටහනකි. එම සටහන මා විසින් සරසතුමන් අමතා ලියවුණු ලිපියකි.  

අතිගරු සා රසතුමනි

අපි කාලයක සිට ඔබතුමන්ගේ හරබර ආලෝචන නිතොර කියවන්නෙමු. එහෙත් අපට අතිමහත් ආනන්‍දයක් දැනුණු දිනය නම් අද ය. උගතකු හා බුද්ධිමතකු වන ඔබතුමන් අපගේ චීරකාලීන සන්සඛී ගුරු… සිරිමතියගේ ශිෂ්‍යරත්නයක් බව දැන ගන්නට ලැබී ම මහත් ප්‍රහර්ෂයකි. ඔබගේ ආලෝචනය විසින් අපගේ මතක හදවිල පියුම් පොබයවනු ලැබේ. මෙම කෙටි ආලෝචනය එකී හෘදරසායනීය විචිත්‍ර මතකයන් කීපයක් පිළිබඳ යි. 

ෆේ. ගුරු… (FG) සිරිමතිය අපගේ ඇදුරුතුමියක වන්නට තරම් අපගේ පරම්පරාව යෞවන වූයේ නැත. එහෙත් ඇය අපගේ සමකාලීන විද්‍යාර්ථිනියක වූ බව පවසන්නට තරම් අපි වාසනාවන්තයෝ වූයෙමු. FG පිළිබඳ අපගේ මතකය හැත්තෑව දශකයේ මුල් කාලයට දිව යයි. එවකට අප කොළඹ සරවියේ යම් පීඨයක අධ්‍යයන කටයුතු කරමින් සිටියෙමු. ඇය කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයෙන් කොළඹ සරසවියට පැමිණි ප්‍රියමනාප ශිෂ්‍යාවක වූවා ය. හැත්තෑව දශකයේ මැද දී ඇය විද්‍යාවේදී උපාධිය ලබා කොළඹ සරසවියෙන් පිට ව රාජකීය විද්‍යාලයට ආචාර්යවරියක ලෙස එක් වූවා ය. අනූව දශකයේ මුල දී විශ්‍රාම ගන්නා තෙක් දශක එකහමාරක කාලයක් ඇය රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයනට සත්ත්‍ව විද්‍යාව ඉගැන්වූවා ය. 

FG හා අපගේ මිතුදම වැඩෙන්නට එක් හේතුවක් වූයේ අප ද දෙහිවල ප්‍රේ.. ඇවන්‍යුහි කලක් පදිංචි ව සිටීම ය. ඇය පසු ව වික්‍ර…. වූ බව සා රසතුමන් විසින් පැවසිණි. ඇය විවාහ වූයේ කීර්තිමත් විද්‍යාර්ථියකු වූ ආචාර්ය සු.. වික්‍ර…. (SSW) සමඟ ය. විවාහයෙන් පසු FG යන නාමය වෙනුවට ඇය බොහෝ විට භාවිත කළේ FW නාමය යි. අප අසූව දශකයේ අග දී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා යුරෝපය කරා නික්ම යන තෙක් ම SSW-FW යුවළ අපගේ හිතෛෂීහු වූහ. අනූව දශකයේ මැද දී කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි කල අප යළි මුණගැසුණෙමු. ඒ අපගේ ඥාති සහෝදරියකගේ පුතණුවෙකුට සත්ත්‍ව විද්‍යාව ඉගැන්වීමට ඇයට භාර කිරීමට අප ඇය සොයා ගිය නිසා ය. ඒ වන විට ඇය රාජකීය විද්‍යාලයේ සේවයෙන් විශ්‍රාම ගෙන කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයේ තාවකාලික පදනම මත සේවයේ නිරත ව සිටි බව අපට මතක ය. 

FG ඉතා පිළිවෙළට වැඩ කටයුතු කළ තැනැත්තියකි. ඇය තම ශිෂ්‍යශිෂ්‍යාවනට ලබා දීමට ඇගේ කුඩා අත්අකුරින් ලියූ සටහන්වල ඡායාපිටපත් අපට පෙන්වූවා ය. ඇයගේ එම සටහන් ඉතා උනන්දුවකින් සුපරික්ෂාකාරී ව සකස් කර තිබිණි. ඒ වන විට ඇයගේ සිංහල ඉතා හොඳ තත්ත්‍වයක තිබිණි (ඇයට කවදත් සිංහල ව්‍යවහාරයට අපහසුවක් තිබූ බවක් අපට නො දැනිණි. ඇයගේ මව සිංහල ස්ත්‍රියක වූ බවට යම් මතකයක් අපට ඇත). උසස් පෙළ සත්ත්‍ව විද්‍යා විෂයට මානව ජීව විද්‍යාව වැඩි වශයෙන් එක් කිරීම ඇරඹුණු මුල් යුගය වූයේ අනූව දශකයේ මැද අප පවසන එම සමය ය. “දැන් ගෙම්බො කැරපොත්තො එළවන්න යි හදන්නේ” යි ඇය සිනා සෙමින් පැවසූ ආකාරය මට අද ද මැවී පෙනේ. ඇය තමන්ගේ ශිෂ්‍යශිෂ්‍යාවනට ලබා දෙන ප්‍රශ්නවලට ඔවුන් ලියූ පිළිතුරු ඉතා උවමනාවෙන් පරීක්ෂා කරන බව පැහැදිලි විණි. ඔවුන් ලියා තිබූ ඇතැම් පිළිතුරුවල වාක්‍ය ඛණ්ඩ ද ඇයට මතකයෙන් පැවසිය හැකි ව තිබිණි. 

SSW පසු කලක තම විෂය ක්ෂේත්‍රයේ මහාචාර්ය ධුරයක් ලැබූ බව අපි දනිමු. FW මෙතෝදිස්තයේ ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වන බව වසර හතකට අටකට පමණ පෙර දැන ගන්නට ද ලැබිණි. ඔවුන් පිළිබඳ මෑතක දී අපට කිසිදු තොරතුරක් දැන ගන්නට නො ලැබිණි. එහෙත් ඔවුන් තවමත් ප්‍ර්.. ඇවන්‍යුහි වාසය කරන බව නම් විශ්වාස ය. 

අපටත් ගුරු වූ මෙවැනි ම විශිෂ්ට ගුරුවරියක් එකල වැල්ලවත්තේ ෆසල්ස් වීදියේ පදිංචි ව සිටියා ය. ඇය නම් විශිෂ්ට රසායන විද්‍යා ගුරුවරියක වු වල්ලිපුරම් සිරිමතිය යි. කාබනික රසායනය ඉගැන්විමට ඇය තරම් සූර ගුරුවරියක අප තවමත් දැක නැති තරම් ය. ඇය කාලයක් ගම්පහට නුදුරු වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක ඉගැන්වුවා ය. වැල්ලවත්තේ සිට දිනපතා වේයන්ගොඩට රාජකාරිය සඳහා ගිය වල්ලිපුරම් සිරිමතිය කිසි දිනෙක පමා වි පාසලට නොපැමිණි බවත් පාසලට යොදුන් කීපයක දුරින් පදිංචි ව සිටි ගුරුවරියක සෑම දිනක ම පමා වි පැමිණි බවත් අපට දැන ගන්නට ලැබිණි. ඒ බව අපට පැවසුවෝ ද විශිෂ්ට ගුරුදේවයාණ කෙනෙක් වූහ. කලක් ඔවුහු සූර හා ප්‍රකට භෞතික විද්‍යා ආචාර්යවරයෙක් වූහ. ලියනගේ යන නාමය එකල  ග්‍රේරෝ නාමය තරමට ම භෞතික විද්‍යාව සමඟ බැඳී තිබිණි. සා රසතුමා වල්ලිපුරම් සිරිමතියගේත් ශිෂ්‍යයකු වූයේ ද? යන්න දැන ගනු රිසියෙමු. 

අප දැන සිටි බොහෝ ගුරුවරු මෙවැනි විශිෂ්ටයෝ වුහ. දේශපාලනයත් ගුරු වෘත්තියත් දෙක ම කරන්නට ගොස් අවසානයේ දී ඒ දෙක ම අසාර්ථක කරගෙන සම්මානනීය බ්ලොග්කරුවකු බවට පත් ව ගුරු වෘත්තියට අපහාස කරන අසත්පුරුෂයන් නම් අප දැන සිටියේ එකකු පමණි. එවැන්නවුන් දකින විට අපට සිතෙන්නේ ගුරු වෘත්තියෙන් සමුගෙන දේශපාලනයට කැප වුණු පාණී විජේසිර්වර්ධන සහෝදරයා රත්තරන් නො වේ ද? යන්න යි. 

විශිෂ්ට ගුරුවරියක වූ ෆේ. ගුරු… සිරිමතිය පිළිබඳ මතකය අවදි කළ සා රසතුමාටත් ඇය පිළිබඳ මුල් සටහන තැබූ ඉයන් මැතිඳුනටත් අපගේ ගෞරව ප්‍රණාමය. 

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

2 thoughts on “සරසතුමන්ගේ ගුරු සිරිමතිය පිළිබඳ අතීත සැමරුම්

  1. ඉතාමත් ලගන්නා සුලු වියුනුවක්….

    මේ වියුනුව ගැන අද (03/01/2017) වනතෙක් මා දැන සිටියේ නැහැ. මා මින් පසු නිතරම මේ වියුනු වට පැමිනෙන්නට සිතා ගත්තා!!

    Like

    1. බොහෝ ස්තුතියි ගරු සරසතුමනි. ඔබතුමා වැනි විදග්ධයකුගේ පැමිණීම අපට මහත් ගෞරවයකි. එමෙන් ම ඔබතුමා අපගේ The Public Sphere වියුණුවේ පළමු වැනි ආලෝචනකරු ලෙස ඉතිහාසගතවනු ඇත. අප මෙම වියුණුව ජනගත කළේ දෙදහස් දහහත වර්ෂයේ ජනවාරි පළමු වැනි (2017-01-01) දින ය. ආරම්භයේ දී මෙහි පළ වී ඇත්තේ ඔබතුමාගේ කල්‍යාණ මිත්‍ර බන්‍ධුල කුදලාගම සහ තවත් අය විසින් පෙර කල ලියන ලද ලිපි ය.

      සරසතුමාගේ ද දායකත්වය අනාගතයේ දී අපි අපේක්ෂා කරමු. සියලු මතවාද සඳහා The Public Sphere විවෘත ය.

      ගරු සරසතුමාගේ සපැමිණීම යළි අපි අගය කරමු. ස්තුතියි!

      සංස්කාරක මණ්ඩලය,
      The Public Sphere.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s