අසිරිමත් අජිත පැරකුමු ජයසිහ පවත

අජිත පැරකුමු ජයසිහ මැතිඳු

අජිත පැරකුමු ජයසිහ ශ්‍රී නාමය සුවිසෙස් සුරුවිරු මාධ්‍යකාර ලක් නාමාවලිය හොබවයි. පැරැණි පස්යොදුන් කෝරලයෙහි මතුගම ගම් පියසෙහි සොඳුරු රන්වලාගල කඳු පාමුල පෙරැ සියවස්හි පසු අඩෙහි උපන් පැරකුමුවෝ සවන පැරකුමුවනගේ රුධිර ධාතුක බන්‍ධුවෙක් වන්නාහ. ස්වකීය ආදී පූර්වජයා සේ මැ පැරකුමුවෝ ද සාහිතකලාහි ද දේශපාලනයෙහි ද කෙළ පැමිණි පඬිරුවනක් වන්නාහ. මතුගම අනඳ සිප්හල් සෙවණෙහි අකුරු කළ පැරකුමුවෝ මින් තිස් වසකට පමණ පෙරැ රත් ගැන්වුණු තුරුණු රුධිර ධාතුවෙන් කැලැඹී ගියෝ ගිනිඅවි සුරත දරා වල වැදියෝ ය. රුදුරු පාලක පන්තියෙහි අමනුස මර්දනයෙන් යටපත් වැ, අඵල කැරැල්ලක චූදිතයකු සහ පීඩිතයකු බවට පත් වැ, දකුණු රට අපායසමාන රැඳැවුම් කඳුවුරුහි දෙතිස් වද විඳි පැරකුමුවෝ තුමු මැ වෙර දරා සිප්නැණ වඩා සිරිලක එකලු කළ දුලබ වියත් පඬි පරපුරෙක අවසන් මිණක් බවට පත් වුවෝ ය. ඔවුනගේ සුරුවිරුකම්හි අරැමැසින් මනතුටු වැ, කලෙක ඔවුනට එරෙහි වූ පාලක පන්තිය මැ මෙසිරිලක සුවහසක් දරුවනට සුවියත් ඉංගිරිසි බස ඉගැන්වීමට පාසල් ගුරුකමක් පැරකුමුවනට පිදූහ. 

යම් දිනෙක මෙසිරිලක සිව් දිග වැසි දනන් තුඩ තුඩ තම නම රැව් පිළිරුව් දෙනු දකිනු ලොල් වූ පැරකුමුවෝ ගුරුකමෙන් සැනසුමක් නොලද්දෝ යළිදු වාම දේශපාලනය වෙත මැ හැරුණාහු ය. ගුරුකමෙන් ද පිරිහී අසරණ වැ වැටී සිටි පැරකුමුවනට නැඟෙන්නට අතහිත දුන්නෝ ඌව පළාත්හි සාන්ත තෝමසු විදුහල්හිකන්‍ද උඩරට දම්රජ විදුහල්හි ද කිතුගොස නංවා ලක් වාම දේශපාලන අම්බරයෙහි සුදිල තරුව බවට පත් වැ සිටි මනකල් මාණවකයාණෝ ය. ඔවුහු රෝහිත භාෂණයෝ ය. රෝහිත භාෂාණයනගේ සාදර සහයෙන් වාම දේශපාලනය ද මාධ්‍යකරණය ද හසළ පැරකුමුවෝ කෙටි කලෙකින් මැ ඒ දෙවිසාහි වැජැඹෙන්නට වූහ. අජිත පැරකුමු ජයසිහ ශ්‍රී නාමය මෙසිරිලක සිසාරා පැතිරෙන්නට වූයේ ඊර්ෂ්‍යාමදමාන ඈ දුර්ගුණ නැසූ සත්පුරුෂයකු වූ රෝහිත භාෂණයන විසින් කරුණ සිතින් නිලොබ වැ වාම විප්ලවීය දේශපාලනයෙහි පුවත්පත් සිළුමිණ වූ හිරු පුවත්පතෙහි අගසකසුකම පැරකුමුවනට පිදීම සමඟ ය. 

කල් යල් බලා පැරකුමුවෝ තමනට අතහිත දුන් සත්දනන් හට එරෙහි වැ නික්ම ගියාහු රෝහිත භාෂණයනටහිරු කණ්ඩායමට ද නව නින්දා අපහාස කරමින් පදනම් විරහිත අසත් චෝදනා නඟන්නට වූහ. බෝසත්ගුණවත් රෝහිත භාෂාණයෝ ද ඔවුනගේ සත් ඔවදනින් හික්මුණු හිරු කණ්ඩායම ද කිසි දිනෙක පැරකුමුවනට නපුරු නො වූහ;  තමන් හට නොසමයන් වන කලට සම – මු‍වින් නො බැණ ඉවසනු සුදන ගරුකම යැ යි අගලියවන්නයන විසින් පැවැසුණු සුබසෙහි මැ පිළිපන්හ. 

පසු ගිය දිනෙක පැරකුමුවනගේ වියුණුසටහන් අඩවියෙහි පළ වූ ආලෝචනයක් පදනම් කැරැ ගෙනැ, එය හිරු කණ්ඩායම විසින් මැ ලියැවිණි යැ යන පූර්ව නිගමනයෙහි මැ එළැඹ, පැරකුමුවන විසින් නින්දිත කලල් පතනයෙක් රෝහිත භාෂණයනගේහිරු කණ්ඩායමෙහි ද කිතුසිරුර මත සිදු කරනු ලැබ ඇත. රෝහිත භාෂණයනගේ හෝ හිරු කණ්ඩායමෙහි හෝ වියත් ලියමන්හි දැක ගත හැකි සන්ලකුණු කිසිවෙක් එම ලියමනෙහි නැති. එනමුත් එම ලියමනෙහි විමසා ඇති ඇතැම් කරුණු වැදගත් බව නම් හැඟේ. පැරකුමුවන විසින් කරනු ලැබැ යුතු වැ තිබුණේ එකී විමසුම් පිළිබඳ ස්වකීය කියැවීම ඉදිරිපත් කිරීම ය. එනමුත් පැරකුමුවන විසින් සිදු කරනු ලැබැ ඇත්තේ කළ මනා දේ පසෙක ලා නොකළ මනා දේ මැ සිදු කිරීම ය. බුදුන් වැඩහුන් සමයෙහි ද මෙලෙස කළ මනා දේ තබා නොකළ මනා දේ මැ කර විපතට පත් වූවෝ සිටියහ. එවැන්නකු වූ මහධනසිටුපුතු විපතට පත් වූ කල්හි අනන්ත කරුණා නිදාන වූ ලොව්තුරු බුදුහු ද ලුහු වැ සිනා පහළ කළහ. 

පැරකුමුවෝ කිතුලොබ වැ කිතුලොබින් මැ කිරියට එළැඹෙන පුඟුලෙක් වන්නාහ. කිතුගොස නම් කවර නයින් වුව මනා යැ යන පිළිවෙතෙහි ඔවුහු පිළිපන්හ. එනිසා මැ තමනට එරෙහි වැ පළ වන කවර නම් හෝ සටහනක් වුව පැරකුමුවෝ නන් නයින් ඉස්මතු කර නව වියුණුසටහනක් ලෙස පළ කරති. පෙරැ කලෙක නොහික්මුණු බසෙකින් ලියැවුණු සටහනක් ද පැරකුමුවන විසින් විළිබිය නො සලකා ඉස්මතු කෙරිණි. එනමුත් එම සටහනෙන් ද විමැසුණු කරුණු කෙරෙහි පැරකුමුවෝ තම සිත නො යොමු කළහ. කිතුලොබින් නිබඳ වැ නොමඟ යන පැරකුමුවෝ මද කිපුණු හස්ති රාජයකු සේ මහත් ප්‍රකෝපකාරී වන්නාහ. ඔවුනගේ නොපනත් හැසිරීම ඔවුනට ම හානිකර බව පැරකුමුවෝ නො වටහා ගනිති. අදාළ සටහන් දෙක මැ හෝ දෙවැනි සටහන පමණක් හෝ පැරකුමුවන විසින් මැ ලියැවෙන්නට ඇති බවට නැඟෙන චෝදනා ද නො සලකා හළ යුතු නැත. පැරකුමුවනගේ අතීත කිරිය වත විමසන කල එවැන්නෙක් නො වියැ හැකි යැ යි පවසනු නොනිසි යැ. ඔවූහු නිර්නාමික වැ ස්වකීය වියුණුසටහන්වලට මැ ආලෝචන සැපැයීමට රුසියෙක් වන්නාහ. 

පෙරැ කල අපගේ ළබැඳි සුමිතුරාණ කෙනකු වූ අජිත පැරකුමු ජයසිහයෙනි, යමකු ඔබට සඳ පෙන් වූ කල ඔබ බැලිය යුතු වන්නේ සඳ දෙස විනා ඒ සඳ දෙස යොමු වූ ඇඟිල්ල දෙස නො වේ. හත්වැනි සියවසේ අග සිට අටවැනි සියවසේ මුල දක්වා සෙන් බෞද්ධ සමයෙහි ගණපිතෘ වැ විසූ Huineng හු එම අදහස වඩා මනපිය වැ ද සවනපිය වැ ද මෙලෙස පැවසූහ:  

Truth has nothing to do with words. Truth can be likened to the bright Moon in the sky. Words, in this case, can be likened to a finger. The finger can point to The Moon’s location. However, the finger is not The Moon. To look at The Moon, it is necessary to gaze beyond the finger” 

පස්යොදුන් කෝරලයෙහි කුඩා ගමෙක ගැමි පවුලෙක ඉපිද නැතක් දහදිය කඳුළු වගුරුවමින් සහසක් කම්කටුලු මැදින් අජිත පැරකුමු ජයසිහ සිරිමතුන් පැමිණි දිගු ගමන් මඟ සැබෑ අසිරියකි. එම අසිරිමත් ගමන් මඟ පිළිබඳ පවත මෙසිරිලක ජනසාහිතකතා මාලයෙහි මාහැඟි මිණෙකි. අජිත පැරකුමු ජයසිහ ශ්‍රී නාමය දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රුව් පිළිරුව් දේවා!

බන්‍ධුල කුදලාගම,

ටොරන්ටෝව.i

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s