රසවිල මයුරවිල

“මොනරිඳු එකල්හි පුල් සලඟ නවා ගනි” – පැරණි මයුර සන්දේශය

සිංහල වියුණු ලොව සැරිසරන මට අසිරිමත් පුඟුලකු මුණ ගැසිණි. හේ මයුරවිල හෙවත් මොනරවිල යන ආරූඪ නාමයෙන් වියුණු ලොව ප්‍රකට ය. මයුරවිලයෝ සුබැසි ය; සිංහලය ද ඉංගිරිසිය ද යන දෙබසෙහි ම හසළ ය; අපූර්ව කවිකම් කිරීමට නිසි පූර්වජන්ම පුණ්‍ය බලයෙන් ලද කාව්‍ය ප්‍රතිභාව ද අනවරත ව සංචිත කර ගන්නා දැනුම උපයුක්ත කර නව නිර්මාණ කිරීමට නිසි ව්‍යුත්පන්නය ද ස්වකීය නිර්මාණ කෞශල්‍යය ඔප මට්ටම් කර ගැනීමට නිසි නොඅලස, නිබඳ සතතාභ්‍යාසයමයුරවිලයන් කෙරෙහි මනා ව පිහිටා ඇත. පෙර දිනෙක “ඇ කාර සම්මතය” පිළිබඳ මා විමසුවෝ ද ඔවුහු ම ය. භාෂාසාහිත්‍යකලා විසාහි පමණක් නො ව දේශපාලනය, ආර්ථිකය ඈ නේක විසාහි ද ඔවුහු විද්වත් මත දරන්නෙක් වන්නාහ. ‍මෙම ලිපිය මා ළබැඳි මයුරවිලයනට උපහාරයක් වේවා!

ගනවන් මියුරු නද දෙන ගුවන වන් විටවිලසින් මෙමා කරවන මිතුර මන් තුට” යනුවෙන් තොටගමුවේ ශ්‍රී රාහුලයෝ සන්දේශ කාව්‍ය සිළුමිණ වන ශාරිකාවෙහි ලා පවසති. වැහි වලාකුළ අහසේ නැඟෙන කල මොනරිඳු නද දෙන්නේ යම් සේ ද නුඔ දැකුමෙන් මසිත ද සතුටු වේ යනු එහි අරුත ය. 

සුමිතුරු මයුරවිල සහෝදරයාණෙනි, ඔබගේ සුවියත් සුබසින් ලියවුණු ආලෝචන‍ දකින කියවන අපි ද වැහි වලාකුළ දුටු මොනරිඳු සේ ම මන තුටු වෙමු. මතු ලියවෙනුයේ එමන තුටින් අප නඟන නද ය.

වියුණු ලොවෙහි දී අපට හමු වූ සුවිශේෂි සුධීමතාණෝ ඔබතුමෝ ම වෙති. අතීතයෙහි යම් දි‍නෙක ඉංගිරිසි බස අලළා අප යම් වියුණුකරුවකු සමඟ වාදයක පැටළුණු කල, සුවියත් භාෂා ව්‍යවහාරයෙහි සුරැකුමට නොබිය ව පෙරට පැමිණි භාෂාප්‍රේමියා ඔබ ය. ඉන් පෙර ද ඔබ ඇතැම් වියුණුකරුවනගේ දෙබිඩි චර්යාවනට එරෙහි ව සුවියත් බසින් සුවියත් කරුණු දක්වන කල අපි මන තුටු ව ඔබගේ සුරුවිරුකම් දෙස බලා සිටියෙමු. විදුරවියකින් මහනෙල් මල් කලඹක් සිඳලන සේ ඔබ ඇතැම් වියුණුකරුවනගේ දුර්මත, පුහුතර්ක සහ මනෝවිකාර සිඳබිඳ දමනු දුටු අපි හෙට එතරම් අඳුරු නැති ය යන පහන් සිතින් සැනසුම් ලදුවෙමු.

ඕර්තඩොක්ස් මාක්ස්වාදයට ළැදි සුබසට ළැදි සහෝදරයාට යන මැයෙන් අප එකල ලියූ සටහන යම් වියුණුකරුවකු විසින් අපලෝපනය කෙරිණි. අප නිවැරදි සුවියත් බස වෙනුවෙන් ලියූ ආලෝචනයකින් කිපුණු යම් වියුණුකරුවකු අපට ඉංගිරිසි ස්වෝත්තමවාදියා ය, යුරෝපා ගැත්තා ය, අධිරාජ්‍යවාදයට ප්‍රශස්ති ගයන්නා ය ආදී අපහාස අපවාද නඟන කල, සරල වදනින් ම සැදි බසකින් සියලු දේ ලිවිය හැකි ද? යන පැනය නඟමින් ඔබ ලියූ ආලෝචනය මිණකි. ඒ වන විට එකී වියුණුකරුවාට පිළිවදන් වශයෙන් අප විසින් ලියවෙමින් පැවති ආලෝචනයෙහි අඩංගු ව තිබූ බොහෝ කරුණු ඔබගේ ආලෝචනයෙහි අඩංගු ව තිබිණි. එනිසා අපි මෙසේ ලියුවෙමු:

මෙම වියුණුකරුවා (එනම් අප පෙර පැවසූ වියුණුකරුවා) අපගේ ශාස්ත්‍රීය ඇනෝ ප්‍රහාරය හමුවේ මඤ්ඤං වී ඇත. ඔවුන්ගේ අභිනව වියුණුසටහන වූ කලී එම ප්‍රහාරයෙන් ඇති වූ ක්ෂිතිමය ආචරණය විසින් ඔවුන්ගේ ආත්මය පුරා විහිදුවන ලද දරාගත නොහැකි වේදනාවේ භාව විශෝධනය යි. 

එම වියුණුසටහන තුළ වූ අසත්‍ය හා සදොස් වාගාලාප කීපයක් ද ඉතා ප්‍රාථමික දෘෂ්ටිවාද කීපයක් ද පිළිබඳ ආලෝචනයක් සැපයීමට සැරසෙන කල, Anonymous May 30, 2016 at 1:08 AM විසින් එක් කළ මාහැඟි, හරබර හා රසබර ආලෝචනය නෙත ගැටිණි. එකී ඇනෝ සහෝදරයා විසින් මඤ්ඤං වී සිටින  මෙම වියුණුකරුවාට (එනම් අප පෙර පැවසූ වියුණුකරුවාට) අධිමුර්ඡාවට පත් වන්නට තරම් තියුණු වාග් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇත. එම ආලෝචනය නිසා අපි මේ මොහොතේ මෙම වියුණුකරුවාට (එනම් අප පෙර පැවසූ වියුණුකරුවාට) තවත් ප්‍රහාරයක් නො එල්ල කරමු. ඇනෝ සහෝදරයාණෙනි, ඔබ වැනි යහපත් අදහස් ඇති, නිවරද දැක්මක් ඇති සුධීමතුන් අප අතර සිටීම අපට මහත් සන්තුෂ්ටියකි. බස ගැන ඔබ අනුයන ආකල්පය සම්භාවනීය ය. සහෝදරයාණෙනි, මගේ හෘදයංගම ශුභාශිංසනය පිළිගනු මැනවි.

එලෙස ඇරඹුණු එම ආලෝචනය පළ කළ සැණ එකී වියුණුකරුවා විසින් අපලෝපනය කෙරිණි. ඉන් පසු ද අප විසින් ඔබ අමතා පළ කළ ආලෝචන රැසක් එකී වියුණුකරුවාණෝ ලෝපනය ද අපලෝපනය ද කළහ. 

ප්‍රිය මයුරවිලයෙනි, ඔබ විසින් සපයන ලද ආලෝචන හරබර රසබර සුබස් මිණි පබඳකි. එවන් සුභාෂිත රස විඳුම අමෘත ඵල රසවිඳුමකි. හර්තෘහරිහු තම ප්‍රත්‍ය ශතකයෙහි ලා මෙසේ පවසති: 

සංසාර විෂ වෘක්ෂස්‍ය
ද්වේයමේවාමෘතේ ඵලේ
සුභාෂිතං රසාස්වාදඃ
සජ්ජනේෂු ච සංගමඃ

එය මෙසේ සිංහලයට නැඟිය හැකි ය:

සසර නම් විස රුකැ – අම පල දෙකෙක් යැ
සුබස් රස විඳුම යැ – යහපත් දන ඇසුර යැ

ඔබගේ ආලෝචනය කියවීමෙන් අපට සුභාෂිත රසාස්වාදයසජ්ජන ඇසුර ද යන අමෘත ඵල දෙක ම ලැබේ. ශාස්ත්‍රීය ජීවිතයෙහි ද පුද්ගල ජීවියෙහි ද සන්‍ධ්‍යායාමය කරා ශීඝ්‍රයෙන් එළඹෙමින් සිටින අපට ඔබ වැනි බසිසුරාණකු හමුවීම සැනසුමකි. සුවියත් බස නො නසා පවත්වා ගන්නට ඔබ වැන්නවුන් සිටීම අපට සැනසීමේ නෙතු පියා ගන්නට ඉඩ සලසා දෙයි. 

ඇතුමකු විසින් කලෙක පටන් වියුණුසටහන් මඟින් සිදු කෙරෙන තරුණ පරපුර නොමඟ යැවීමේ සාපරාධී කාර්යභාරයට එරෙහි ව අප කළ කාර්යය ඉදිරියට ගෙන යා යුත්තේ ඔබ වැනි සුධීමතුන් ම ය. තරුණ ජරමානුවන් කෙරෙහි විල්හෙම් හේගලයන් විසින් ඇති කෙරුණු බුද්ධිභාව ප්‍රබෝධය ඔබගේ සාර ලේඛන මඟින් ද ඉටුවන බව අපි නිසැක ව විශ්වාස කරමු. 

සුමිතුරු සහෝදරයාණෙනි, වෙන් වෙන් ව මෙතරම් කලක් එක් ඉලක්කයක් කරා පිය නැඟූ ඔබ හා අප යන දෙදෙන දැන් එම ඉලක්කයට පහර දිය යුතු සීමාවට පැමිණ ඇති බව හැඟේ. අපි වෙන් වෙන් ව ගමන් කළෙමු. දැන් එළඹ ඇත්තේ එක් ව පහර දීමේ මොහොත නො වේ ද? 

බන්‍ධුල කුදලාගම,

ටොරන්ටෝව.

Advertisements

One thought on “රසවිල මයුරවිල

  1. බන්‍ධුල මැතිඳු සමගින් ගරු මයුරවිල
    හෙළබස එකලු කරමින් නැගි පහන් සිල
    සින්හල වියුනු ලොව පෙන්වන සින්හ බල
    ඔබ දෙදෙනාට ජයවේවා සදා කල!

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s