බස රසයන සා රසයන

කාව්‍ය රසභාව විඳුම

මල්ලේ පොල් නමැති ප්‍රකට වියුණුවෙහි හිමිකාර සා රසතුමා හෙවත් සරසතුමා භාෂා ප්‍රේමියෙකි; සාහිත්‍යකාලා රසිකයෙකි; කවියෙකි; දන්ත වෛද්‍යවරයෙකි. දසක කීපයකින් ම මට වඩා කනිටු වන්නේ වුව සා රසතුමා වියුණු ලොව මගේ සන්මිත්‍රයෙකි. එතුමා මා විසින් ලියවෙන ලිපි නිබඳ ව රසවිඳින්නෙකි. එතුමා මා විසින් පෙර දිනෙක උපුටා දක්වන ලද ශ්ලෝකයක් කියවා මනතුටු ව සිටියි. බස් විස්කමින් මනතුටු ව සැනසීම දුලභ ගුණයකි. මෙම ලිපිය කාව්‍ය රසභාවයන් විඳුමෙහි දුලභ ගුණය පිළිබඳ ය. මෙම ලිපිය මා සන් මිතු සරසයනට උපහාරයක් වේවා!

දඹදෙණියෙහි කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පැරකුමුවෝ කව්සිළුමිණෙහි ලා මෙසේ පවසති:

සරසවිය බැලුම – සෙක්නි වෙත් වා කිවි දන
පෙදෙහි රසහව් විඳුනා – දනතා ඉතා දුලබෝ

කලාවනට අධිපති සරසවියගේ මඳ බැලුමක් ලද ජනයා ද කවීහු බවට පත් වෙත්වා. එසේ වුව ද ක‍වියෙහි රසභාව විඳුමට සමත් ජනයා නම් ඉතා දුර්ලභ ය. දඹදෙණියෙහි දෙවැනි පැරකුමුවන් විසින් පැවසෙන කාව්‍ය ශාස්ත්‍රයෙහි රසභාව විඳුමට සමත් ඒ දුලබ දන නම් සරසතුමා, මයුරවිලයනරසික සූරියආරච්චි මහත්මා, මතුගම අජිත පැරකුමු පඬුවා ඈ වියත් සජ්ජන පරපුර ය. 

දණ්ඩීනගේ සකු කාව්‍යාදර්ශය සියබස්ලකර ‍යන නමින් හෙළයට නැඟූ අනුරපුරයෙහි සලමෙවන් සේනයෝ එම මහඟු ගතෙහි ලා මෙලෙස පවසති:

ගවඟන වේ පසස්නදා 
බස් කැරැ සකස් පියසුව හට
අන් හට ගව බව් මෙ හුදු සාදා” 

භාෂාව මනා ව සකසා පැවසුවනට එය මහත් ඵල දෙන සුරබිදෙනකි (සිතූ පැතූ සම්පත් දෙන දිව්‍යමය ගවඟන). එසේ නො කරන අන්‍යයනට නම් භාෂාව විසින් සාදා දෙනුයේ ගොන්කම පමණි. අනුරපුරයෙහි සලමෙවන් සේනයන් විසින් පැවසෙන නොසැකසූ බස විසින් හුදු ගොනුන් බවට පත් කරනු ලැබූ ඒ අන්‍යයන් නම් කවුරුන් ද යන වග අපි නො පවසමු. 

හර්තෘහරීන්ගේ සංස්කෘත ප්‍රත්‍ය ශතකයෙහි එන ප්‍රස්තුත ශ්ලෝකය ලස්සන බව සරසතුමනට සිතෙන්නේ කිනම් හේතුවක් නිසා ද? එයට හේතු වන්නේ පූර්වජන්ම පුණ්‍යකර්මයන්ගේ බලමහිමෙන් මෙලොව දී ලද වාසනා ගුණයකි. එම වාසනා ගුණය නම් කවියාගේ හෘදය සමඟ හෘදයසංවාද වී, තම හදවත දර්පණයක් සේ සුමට කර ගෙන, ඒ මත කවියාගේ හෘදය ප්‍රතිබිම්බිත කර ගැනුමේ වාසනා ගුණය යි. එනම් කවියාගේ හදවතට සමාන හදවතක් තමනට ද ඇති කර ගැනීම යි. සමාන හදවතක් ඇත්තේ සහෘදයා ය. විද්වත් සා රසතුමන් සහෘදයෙකු බැවින් ප්‍රස්තුත ශ්ලෝකයෙහි රසභාව දැනී ඇත. 

භාරතීය සෞන්දර්යයෙහි ධ්වනිවාදයෙහි අග්‍රේසරයා වූ ආනන්දවර්ධනයන් විසින් විරචිත ධවන්‍යාලෝකයට විශිෂ්ට ව්‍යාඛ්‍යාවක් ධවන්‍යාලෝචන නමින් ලියූ අභිනවගුප්තයෝ සරසතුමන් සහෘදයෙකු වූ සැටි මෙසේ සූත්‍රගත කර පවසති:

යෙෂං කාව්‍යානුශීලනාභ්‍යාසවශාද්විශදීභූ‍තෙ මනොමුකු රෙ වර්ණනීයතන්මයිභාවනයොග්‍යතා තෙ ස්වහෘදයසංවාදභාජං සහෘදයාං

නන් නයින් රචිත කාව්‍යයෝ හදාළ යුතු වන්නාහ. එවිට මනස සුපැහැදිලි දර්පණයක් සේ ප්‍රතිබිම්බනය කිරීම අරඹනු ඇත. එවන් තත්ත්වයක දී කාව්‍යාභිප්‍රාය වැටහෙනු ඇත. එවිට හෘද සමානත්වය සාක්ෂාත් වේ. එවන් පුද්ගලයෝ සහෘදයෝ ය.

මෙනයින් විමසන කල සරසතුමාණෝ ද එසේ මෙසේ කෙනෙක් නො වෙති. 

අවසන් වශයෙන් යම් කරුණක් සම්බන්‍ධයෙන් සරසතුමාට තුති පුදමු. සරසතුමා FG සිරිමතියගේ සේයාරුවක් එතුමාගේ වියුණුවේ පළ කර ඒ සිරිමතියට ගෞරව කර තිබෙනු දුටුවෙමු. එය අගය කළ මනා කාර්යයකි;  වෙසෙසි ව අගය කරමු. යෞවන සිරිදු‍ව තවමත් ඇය හැර නො ගොස් ඇති බවට කවර නම් සංශයක් ද? 

ශාස්ත්‍රෝන්නතිකාමී,

බන්‍ධුල කුදලාගම,

ටොරන්ටෝව.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s