මාධ්‍යකරුවාගේ සාපේක්‍ෂ නිදහස පිළිබඳ ලක්‍ෂ්මනියානු න්‍යාය

ලක්ෂ්මන් ගුණසේකර සහෝදරයා

වාමාංශිකයකු වන චන්දන කීර්ති බණ්ඩාර සහෝදරයා බී.බී.සී යට එරෙහි ව ගොනු කළ නඩුව දිනා ඇත. කීර්ති බණ්ඩාර සහෝදරයා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වැදගත් වාම මතයක් දැරූ අයෙකි. එලෙස ම සම්භාව්‍ය බී.බී.සී යේ සිංහල සේවයේ අවසාන සම්භාවනීය මාධ්‍යකරුවා වන්නෙත් කීර්ති බණ්ඩාර සහෝදරයා ය. වර්තමානයේ දී නම් එහි සිටින්නෝ පුස්සෝ ය; මාධ්‍ය සාකච්ඡාවල දී දේශපාලනඥයන් ඉදිරියේ විසුළු ප්‍රශ්න විමසීමට රුසියෝ ය; ශ්‍රාවක, ප්‍රෙක්ෂක හා පාඨක වර්ගයාගේ භාවප්‍රකෝපනයෙහි සුරුවෝ ය. වර්තමානයේ දී සන්දේශයට සවන් දුන් විට කනගාටුවක් ම ඇති වේ.  එසේ වන්නේ සුනන්දලා,  වසන්තලා අතීතයේ දී කළ කී දෑ සිහි වීමෙන් ය.

කීර්ති බණ්ඩාර සහෝදරයාගේ නෙරපීමට ආසන්න ම හේතුව වූයේ සහෝදරයා විසින් ම කලකට පෙර අතහිත දී තැනකට ගෙනෙන ලද පුස්සන් රෑන සහෝදරයාට එරෙහි ව අසාධු ලෙස නැඟී සිටීම බව පැවසේ. ඒ නොහැදියාව සමහර මාධ්‍යකරුවන්ගේ සන් ලකුණකි. පුස්සන්ගේ චෝදනාව නෙරපිමක් දක්වා දුර දිග ගියේ වෙනත් හේතුවක් නිසා බව මාධ්‍ය වාර්තාවලින් පැවසේ. 

චන්දන කීර්ති බණ්ඩාර සහෝදරයා

ජෝර්ජ් කුමාරයා උපන් දවස එංගලන්තයට පමණක් නො ව ලෝකයේ අනෙක් රටවලටත් වැදගත් අවස්ථාවක් ලෙස සැලකිණි. ලිබරල්වාදී සමාජ-දේශපාලන පරිසරයක් සැකසී තිබෙන රටක් වුව ද එංගලන්තයේ මිනිසුන්ගේ හදමන තුළ තවමත් රජ පවුලට ළැදියාවක් තිබේ. එංගලන්තයේ සියලු මාධ‍්‍ය විසින්  තමන්ගේ අනාගත මහ රජ්ජුරුවන්ගේ උපතට ප්‍රමුඛත්වයෙන් දෙන ලදී. කුමක් හෝ අවාසනාවකට කීර්ති බණ්ඩාර සහෝදරයාට ඒ වැදගත් සිද්ධිය මඟ හැරිණි. ඒ ගැන වරදකාරීත්වය සලකා කීර්ති බණ්ඩාර සහෝදරයාට අවසන් අවවාදයක් නිකුත් කරන්නට බී.බී.සී යට සිදු විණ. 

එලෙස අවසන් අවවාදයක් නිකුත් වී තිබූ පසුබිමක පෙර කී පුස්සන් කල්පනා කරන්න ඇත්තේ “මේකා එළවා දමන්නට සුදුසුම මොහොත එළඹ ඇති” බව ය. පාසල් ළමුන් පිරිසක් ගුරුවරයකුට අ‍නෙක් ළමයින් ගැන ගතු කියන්නාක් මෙන්  මේ පුස්සන් රෑන කීර්ති බණ්ඩාර සහෝදයා ගැන තමන්ගේ ප්‍රධානියාට ගතු කියු බව සැල යි. දශක දෙකක් බී.බී.සී යේ සිංහල සේවය ඔස්සේ ජාතික ප්‍රශ්නය ගැන වමට සහයක් දුන්න කීර්ති බණ්ඩාර සහෝදරයා අවසානයේ දී බී.බී.සී යෙන් එළියට විසි වුණේ ය. 

ජෝර්ජ් කුමාරයාගේ සිද්ධිය මාධ්‍ය ගැන වැදගත් කතිකාවකට මුල පුරයි. මාධ්‍යකරුවකුට තිබෙන නිදහස යනු නිරපේක්‍ෂ සංකල්පයක් ද? නැත හොත් සාපේක්‍ෂ සංකල්පයක් ද? අපි සෛද්ධාන්තික නිදර්ශනයක් මතු දැක්වෙන ලෙස සලකා බලමු: 

යම් වාම විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් වාම විප්ලවීය පුවත්පතක් අරඹන්ණේ ය. ඒ පුවත්පතේ කර්තෘ ලෙස යම් පුද්ගලයකු පුහුණු කර පත් කරනු ලැබේ. දැන් කර්තෘට පුළුවනි ද ඔහුට සිතෙන සිතෙන දේ පත්තරයට ලියන්න? දේශපාලන ව්‍යාපාරය යම් විමුක්ති අරගලයක පසුමුණ විය යුතු බව තීරණය කර තිබිය  දී කර්තෘට නො හැකි යි “එක එකාගේ පසුමුණ වෙන්න ඕන නැහ; අප අපගේ ප්‍රදේශයේ අයට දේශපාලන ව්‍යාපාරයක් හදනවා.” යනුවෙන් කතුවැකිය ලියන්නට. එසේ වුව හොත් එහි ප්‍රතිඵල දෙකකි: කර්තෘ පටි රෝල් නො කර ගෙන ඉල්ලා අස්වෙන්න සිදු වීම එක් ප්‍රතිඵලයකි.  නැති නම් “දූවපිය යන්න” යි පවසා කර්තෘගේ පශ්චාත් භාගයට දෙකක් දෙන්න දේශපාලන ව්‍යාපාරයට  සිදු වීම දෙවන ප්‍රතිඵලය ය.  

මෙකී ප්‍රායෝගික යථාර්ථය ඇතැම් සම්මානනීය බ්ලොග්කරුවන්ට ඥානනය කර ගන්න නො හැකි වූව ද ලංකාවේ දෙවැනි පැරණි ම පුවත්පතේ කර්තෘ ධුරයට ගෞරවණීය ව දෙවරක් පත් කර ගනු ලැබූ ප්‍රබුද්ධ මාධ්‍ය විශාරද සුමිතුරු ලක්ෂ්මන් ගුණසේකර සහෝදරයාට මනා ව වැ‍ටහේ. ලකී සහෝදරයා මෙකී කාරණය ඉතා ළඟන්නාසුලු ලෙස පවසයි. “මාධ්‍යකරුවාගේ ප්‍රතිපත්තිය තම හාම්පුතාගේ ප්‍රතිපත්තිය ය” යන සංකල්පයෙන් ලකී සහෝදරයා මාධ්‍යකරුවාගේ නිදහසේ සාපේක්ෂතාව හැඟවුම්කරණය කරයි. ලකී කතිකාවට ගෙනෙන ලද සහෝදරයා විසින් කතිකාවට ගෙනෙන ලද මාධ්‍යවේදියාගේ සාපේක්‍ෂ නිදහස හා පුළුල් අයිතිවාසිකම් යන සංකල්ප අපගේ අවධානයට ලක් විය යුතු යි. 

කීර්ති බණ්ඩාර‍ සහෝදරයා එම සංකල්පය නො දනී ය යි මම නො සිතමි. සහෝදරයාගෙන් සිදු වූයේ අතපසු වීමක් බව මම සිතමි. කාර්යබහුලත්වයත් එයට එක් හේතුවක් වන්නට ඇති. කවර හේතු ප්‍රකාර ව වුව ආයතනික රෙගුලාසි නො සලකා හැරීම වෘත්තීයභාවය බිඳීමක් ලෙස අරුත් ගැන් වී ඇත. එසේ නැති ව සංකේතීය වූ රජ පවුලත් සමඟ වාමාංශිකයන්ට අනවශ්‍ය ගැටුම් අවශ්‍ය නැත. කොන්දේසි විරහිත ව රජ පවුලට විරුද්ධ වීම වාමාංශිකයකුගේ ආවශ්‍යයික ලක්ෂණයක් නො වේ. ජාතීන්ගේ ප්‍රශ්නය අදටත් වාමාංශිකයකු හඳුනා ගැනීමේ ලිට්මස් පරීක්‍ෂාව යි. 

චන්දන කීර්ති බණ්ඩාර සහෝදරයාට අපගේ සුබ පැතුම්!

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම.

 

අධෝලිපිය:

චන්දන කීර්ති බණ්ඩාර සහෝදරා පිළිබඳ ඉහත අදහස් දැක්වීම අප විසින් පළමු ව සිදු කෙරුණු පසු විවිධ අදහස් පාඨකයන් අතරින් මතු ව පැමි‍ණියේ ය. ඒම අදහස්වල පදනම වී තිබුණේ “කීර්ති බණ්ඩාර සහෝදරයා රාජපක්ෂ පාලන සමයේ අවසාන කාලයේ දී රාජපක්ෂයන්ගේ මාළිගාවට ගියේ ය“, “කීර්ති බණ්ඩාර සහෝදරයා බී.බී.සී යෙන් පහ කරනු ලැබීමට ඔහුගේ එකී රාජපක්ෂ ඇසුර හේතු විණ“, කීර්ති බණ්ඩාර සහෝදරයා ලන්ඩනයේ ධනීධන සුඛෝප‍භෝගී ජීවිතයක් ගත කරන්නේ ය” වැනි කාරණ ය. කවරාකාර ගැටලු තිබුණත් කීර්ති බණ්ඩා‍ර සහෝදරයා දෙමළ ජනයාගේ විමුක්ති අරගලය වෙනුවෙන් අතීතයේ යම් කාල පරාසයක වැදගත් මතවාදමය කාර්යභාරයක් ඉටු කළ බව අපි පිළිගත යුතු වෙමු. වසන්තාට පසු නො බිය ව ඒ කාර්ය කළ කෙනකු ලෙස කීර්ති බණ්ඩාර සහෝදරයා අප විසින් සිහි කරනු ලැබේ. “කීර්ති බණ්ඩාර සහෝදරයා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වැදගත් වාම මතයක් දැරූ අයෙකි” යන වාක්‍යය තුළ අප කීර්ති බණ්ඩාර සහෝදරා පිළිබඳ අපගේ ස්ථාවරය පැහැදිලි ව පවසා ඇත. 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s