අනුභූතික සාක්‍ෂ්‍ය : සංසන්දනාත්මක දර්ශන විද්‍යාත්මක පරිකථනයක්

 බුද්ධිවාදීන් සහ අනුභූතිවාදීන් අතර ඵෙතිහාසික ගැටුම

තරුණ වාමාංශික බුද්ධිමතකු වන රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා විසින් ලියවුණු ලිපියක් විශ්ලේෂණය කරන ප්‍රවීණ දේශපාලන විචාරක, පෙරපරදෙදිග භාෂාදර්ශන විශාරද සහ විශ්‍රාමික ඉංගිරිසි උපගුරු අජිත් පැරකුම් ජයසිංහ මහත්මා අනුභූතික යන පදය පිළිබඳ විද්වත් අදහස් දැක්වීමක් කරයි. පෙරපරදෙදිග භාෂා දර්ශනය පිළිබඳ ජයසිංහ මහත්මා තරම් විශාරදත්වයක් මෙම ලියුම්කරුට නොමැති වුව ද ලියුම්කරුගේ නැණ පමණට ජයසිංහ මහත්මාගේ විග්‍රහය ඉදිරියට ගෙන යාම මෙම ලිපියෙහි අරමුණ ය. 

රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා ජයසිංහ මහත්මාගේ අදහසක් පිළිබඳ මෙසේ පවස යි (උපුටනය පෙරේරා මහත්මා ලියා ඇති ආකාරයෙන් ම දක්වා ඇති බව සලකන්න):

ඔහුට අනුව රජයේ වෛද්‍යවරුන් සිතා මතා වෛද්‍ය හිගයක් රට තුල නඩත්තු කරති. ඒ රෝගීන්ව සූරාකෑමේ අරමුණෙනි. මෙවැනි නිගමනයකට අජිත් පැරකුම් එලැඹෙන්නට පදනම් කරගත් සාධක මොනවාද? මේ ආකාරයේ බරපතල ප්‍රකාශයක් ඔහු කරන්නේ කවර අනුභූතික සාක්ෂි මත පදනම්වද?

ඉහත ප්‍රකාශයේ එන “අනුභූතික සාක්ෂි” යන වදන් ද්වයය නෙත ගැටි සැණ ජයසිංහ මහත්මා දණ්ඩෙන් පෙ‍ළන ලද සර්පයකු සේ කිපෙන්නේ “දැන් මෙතැනදී අනුභූතික කියලා රමිඳු බර වචනයක් පාවිච්චි කරනවා. (වාමාංශිකයන් මෙවැනි බර වචනවලට හරි කැමතියි)” යනාදී වාග් ප්‍රහාරයක් පෙරේරා මහත්මාට මතු නො ව සමස්ත වාමාංශික සුධීමත් ප්‍රජාවට ම එල්ල කරයි. ඉනික්බිති ව ජයසිංහ මහත්මා භාෂාදර්ශන විෂයෙහි තම අසමසම පාණ්ඩිත්‍ය විදහා දක්වමින් “අනුභූතික” යන වදනට අරුත්නිරුත් දක්ව යි. ජයසිංහ මහත්මා අනුභූතික යන්නට ඉංගිරිසියෙන් ද සංස්කෘතයෙන් ද අරුත් බිණියි. 

ජයසිංහ මහත්මා දිවුරුම් දුන් වෘත්තීය භාෂා පරිවර්කයකු බව පැවසේ. ඒ මහත්මාගේ භාෂා පරිවර්තන සේවය ලබා ගන්නා ජාතික සහ අන්තර්ජාතික ආයතන නාමාවලියක් ද ඒ මහත්මාගේ නිල වියුණුසටහන් අඩවියෙහි දැක ගත හැකි ය. ලාංකික භාෂා පරිවර්තකයන්ගේ අනන්‍ය ලාක්‍ෂණිකයක් ජයසිංහ මහත්මා වෙතින් ද විද්‍යාමාන වේ. එනම් මෙවලම් පරිවර්තන (mechanical translations) කිරීමේ නැඹුරුව යි. පරිවර්තනය කළ යුතු පෙළ වදනින් වදන ගෙන ශබ්දකෝෂය පෙරළා එම වදන්වල අරුත් ගෙන පරිවර්තිත පෙළ සැකසීම මෙවලම් පරිවර්තනයන්හි දී සිදු වේ. ප්‍රතිඵල ලෙස අගනා විසුළු පරිවර්තන බිහි වේ. 

එකී මෙවලම් පරිවර්තන නැඹුරුව නිසා දෝ ජයසිංහ මහත්මා “අනුභූතික සාක්ෂි” යන සුනිශ්විත සංකල්පය නිරූපණය කෙරෙන පද ද්වයයෙන් “අනුභූතික” යන පදය වෙන් ව ගෙන ශබ්දකෝෂ පෙරළමින් නන් නයින් අරුත් බිණියි. ප්‍රතිඵල ලෙස අගනා විසුළු අරුත් විවරු බිහි වේ. වාම බුද්ධිමතකු වන රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා විසින් සුනිශ්චිත අර්ථයක යෙදෙන සංකල්පයක් විකෘති කරන අජිත් පැරකුම් ජයසිංහ මහත්මා එමතු නො ව පෙරේරා මහත්මාගේ තර්කයනට ද විසුළු කරයි. 

අනුභූතික සාක්ෂි (සාක්‍ෂ්‍ය) යනු අපරදිග දර්ශනයෙහි ද පෙරදිග දර්ශනයෙහි ද මනාව විග්‍රහ වන්නකි. ජයසිංහ මහත්මා විසින් විශේෂ කර සඳහන් කරනු ලැබූ නිසා මෙම ලියුම්කරු අනුභූතිය, අනුභූතික සහ අනුභූතික සාක්‍ෂ්‍ය පිළිබඳ පෙරපරදෙදිග දර්ශන විද්‍යාහි විග්‍රහයන් කීපයක් මෙලෙස සක්‍ෂිප්ත ව දක්වනු රිසි ය. 

පළමු ව අපරදිග (බටහිර) දර්ශනය වෙත යොමු වෙමු. දැනුම පිළිබඳ අධ්‍යයනය හෙවත් විද්‍යාව බටහිර දර්ශනයෙහි ඥාන විභාගය (epistemology) නම් වේ. දැනුම පිළිබඳ අධ්‍යයනය බටහිර දර්ශනයෙහි අතිමූලික සංරචකයකි. දැනුමෙහි ස්වභාවය, විශ්වාසය සහ යුක්තිසාධනය ඥාන විභාගයෙහි මූලිකාංග ය. සලකනු ලබන යම් දැනුමක් පිළිබඳ විශ්වාසය යුක්තිසාධනය කිරීම යනු දැනුම පිළිබඳ කතිකාවෙහි ඉතා වැදගත් අවස්ථාවකි. 

දැනුමෙහි ප්‍රභවය හා පැවැත්ම අනුව දැනුම පිළිබඳ අධ්‍යයනය හෙවත් ඥාන විභාගය සංරචක කීපයකට වෙන් කළ හැකි ය:

1. දැනුම බිහි වන්නේ මූලික ව ම සංවේදන අනුභූතීන් හෙවත් අත්දැකීම් නිර්ණායක (පාදක) කර ගෙන ය යන සංකල්පය – මෙය අනුභූතිවාදය (empiricism) නමි.

2. දැනුම බිහි වන්නේ මූලික ව ම බුද්ධිය හා අපෝහනය නිර්ණායක (පාදක) කර ගෙන ය යන සංකල්පය – මෙය බුද්ධිවාදය/හේතුවාදය (rationalism) නමි

3. දැනුම යනුවෙන් සප්‍රමාණික ස්ථිතියක් පවතින්නේ  නැත. එනිසා සප්‍රමාණික දැනුම ලබා ගත නො හැකි ය යන සංකල්පය – මෙය සංශයවාදය (scepticism) නමි.  

මෙම ලිපියෙහි විෂය පථයට අයත් වනුයේ අනුභූතිවාදය නිසා අපි අනුභූතිවාදය පිළිබඳ විමසා බලමු. දැනුම බිහි වන්නේ මූලික ව ම සංවේදන අනුභූතීන් හෙවත් අත්දැකීම් නිර්ණායක (පාදක) කර ගෙන ය යන්න අනුභූතිවාදයෙහි පදනම බව පෙර සඳහන් කෙරිණි.

අනුභූතිවාදීහු සහජ දැනුම (innate knowledge), පුර්ව දැනුම (a priori knowledge) හෝ අන්තර්ඥානය (intuition), අවිෂ්කරණය (revelation), උද්ධාරය (deduction),  උද්ගමනය (induction) යනාදී ක්‍රම මඟින් එළඹි දැනුම නො පිළිගනිති. අනුභූතිවාදීන්ගේ පිළිගැනීම වනුයේ ඉන්‍ද්‍රියගෝචර ව සංවේදනය මඟින් එළඹි දැනුම ය. එවන් අනුභූතික දැනුම ස්වභාවික (ජෛවීය සහ භෞතීය) විද්‍යාවන්හි එළඹ ගනු ලබන්නේ පර්යේෂණ ඔස්සේ සංවේදනය කරනු ලබන සාක්‍ෂ්‍ය මඟිනි. 

අනුභූතික සාක්‍ෂ්‍ය (සාක්ෂි) යනු යම් දැනුමක සත්‍යාසත්‍යතාව පිළිබඳ විශ්වාසය යුක්තිසාධනය කිරීම සඳහා උපයෝගී කර ගත හැකි, සංවේදන අත්දැකීම් (අනුභූතීන්) මත පදනම් වූ තොරතුරු ය. මෙකී අනුභූතික සාක්‍ෂ්‍ය (empirical evidence) බටහිර විද්‍යාවෙහි මූලික පදනම වන විද්‍යාත්මක ක්‍රමයෙහි සංඝටනීය අංගයකි (බටහිර වෛද්‍ය විද්‍යාවෙහි විද්‍යාත්මක පදනම අලළා ටොරන්ටෝවෙහි බන්‍ධුල කුදලාගම විසින් ලියවුණු සටහනෙහි විද්‍යාත්මක ක්‍රමය පිළිබඳ විග්‍රහයක් අඩංගු ව ඇත). අනුභූතික සාක්‍ෂ්‍යයන්හි නිර්වචනීය ලාක්‍ෂණික නම් එම සාක්‍ෂ්‍ය සමාචායනය කරනු ලැබූ සුපැහැදිලි ක්‍රමවේදයක් තිබීම, එම සාක්‍ෂ්‍ය ප්‍රතිසිද්ධ සහ සම්පරීක්‍ෂා කරනු ලැබිය හැකි වීමත් එම සාක්‍ෂ්‍ය මඟින් අධ්‍යයනය කරනු ලබන ප්‍රපංචය පිළිබඳ සුපැහැදිලි නිර්වචනයක් තිබීමත් යනාදිය ය. අනුභූතික සාක්‍ෂ්‍ය සමාචායනයෙහි (රැස් කිරීමෙහි) දී අනභිනත (unbiased) වීම දැනුම පිළිබඳ වලංගුතාවක් ඇති වීම සඳහා ආවශ්‍යයික ය. අනුභූතික සාක්‍ෂ්‍ය ස්වභාවික විද්‍යාවන්හි‍ සේ ම සමාජ විද්‍යාවන්හි ද උපයෝගී වේ. අනුභූතික සාක්‍ෂ්‍ය, ප්‍රමාණාත්මක (quantitative) සේ ම ගුණාත්මක (qualitative) ද විය හැකි ය. ඒ දෙවර්ගයෙහි ම අනුභූතික සාක්‍ෂ්‍ය සංඛ්‍යාන විද්‍යාත්මක ව විශ්ලේෂණය කළ හැකි ය. අනුභූතික සාක්‍ෂ්‍ය තුළ ගැබ් වූ “අර්ථවිභව සහිත කරුණු (facts) සහ සංඛ්‍යා (figures)” හෙවත් දත්ත (data), තොරතුරු (information) සහ දැනුම (knowledge) බවට පත් වන්නේ මෙකී ක්‍රියාවලිය අවසානයෙහි දී ය. 

වාමාංශික බුද්ධිමතකු වන රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා කරුණාසීතල හදවතින් අජිත් පැරකුම් ජයසිංහ මහත්මාට තම විග්‍රහයන් අනුභූතික සාක්‍ෂ්‍ය, කරුණු සහ දත්ත මත පදනම් කර ගන්නා ලෙස ද තම සිතට නැඟෙන හුදු සිතිවිලි මත පදනම් නො කර ගන්නා ලෙස ද ආයාචනා කරන්නේ අප පෙර සාකච්ඡා කළ දාර්ශනික අර්ථයෙනි. එය ම ඥාන විභාගයෙහි පාරිභාෂික වදනින් පවසතොත් මෙසේ ය:  ජයසිංහ මහත්මාණනි, ඔබ ඔබගේ විග්‍රහය සංවේදන දත්තයක් (sense datum) මත පදනම් කර ගනු මිස විඥාන දත්තයක් (ideatum) මත පදනම් නො කර ගනු මැනවි. 

දැනුම පිළිබඳ අනුභූතවාදී (empiricist) එළඹුම බටහිර දර්ශනයෙහි මූලාරම්භයෙහි සිට ම පැවති බව නිරීක්‍ෂණය කළ හැකි ය. ක්‍රිස්තු පූර්වයෙන් තුන්වැනි ශතවර්ෂයෙහි දී ඇරිස්ටෝටල් තම “On the Soul” කෘතියෙහි ලා පවසන්නේ මිනිස් සිත උපතෙහි දී දැනුමෙන් තොර බව ය. කිසිවක් නො ලියවුණු හිස් පතුරු පාෂාණයක් (ලතින් – tabula rasa, ඉංගිරිසි – empty slate) වැනි මිනිස් සිත මත දැනුම නම් අකුරු ලියවෙනුයේ බාහිර ලෝකය පිළිබඳ සංවේදනයෙහි අනුභූතිය කරණ කර බව අනූභූතවාදයෙහි අග්‍රේසරයකු ලෙස ද සැලකිය හැකි වන ඇරිස්ටෝටල් (ගුරුකුලයක් ලෙස සැලකීමෙහි දී බුද්ධිවාදියකු/හේතුවාදියකු වුව ද) විශ්වාස කළේ ය. ඔහුගේ ගුරුවරයා වූ ඇතන්ස්හි ප්ලේටෝ විසින් පැවසුණු පරිදි මිනිස් සිතෙහි පූර්ව-ඥානය දිව්‍යලෝකයෙහි දෙවියන් වහන්සේ සතු ව පැවත එම පූර්ව-ඥානය උපතේ දී මෙලොවට පැමිණ කය සමඟ සම්බන්‍ධ වන බව ඇරිස්ටෝටල් පිළිගත් බවක් නො පෙනේ. ඇරිස්ටොටල්ගේ අතිමහත් ශාස්ත්‍රීය සම්ප්‍රදානය ගැඹුරින් හදාරා, ශාස්ත්‍රීය පර්යේෂණ කර, ඒ පිළිබඳ ප්‍රසිද්ධ දේශන පවත්වා ඇති ජයසිංහ මහතා මෙම කරුණු මනා සේ දනී. 

ක්‍රිස්තු වර්ෂයෙන් දාහත්වැනි ශතවර්ෂයෙහි දී එංගලන්තයෙහි උපන් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූ ජෝන් ලොක් ඉංගිරිසි අනුභූතවාදයෙහි අපට හමුවන වැදගත් ම දාර්ශනිකයකු බව පැවසීම යුක්ති යුක්ත ය. අනුභූතවාදය නුතන අර්ථයට වර්ධනය කළ ආදිකර්තෘ ‍ජෝන් ලොක් ය.  ඇරිස්ටෝටල්ගේ හිස් පාෂාණය ලොක් විසින් සුදු කඩදාසියක් බවට පත් කෙරුණු  අතර එම කඩදාසිය මත දැනුම ලිවීම ජීවිත කාලය පුරා සංවේදන (sense), ප්‍රත්‍යක්‍ෂ/සංජානන (perception) සහ ආවර්ජන (reflection) මඟින් සිදු වන බවට සංකල්පයක් ඔහු විසින් ගොඩ නැඟිණි. ජෝන් ලොක් තම “An Essay Concerning Human Understanding” කෘතියෙහි සිවි වැනි අනුග්‍රන්ථයෙහි ලා දැනුම පිළිබඳ වැදගත් අදහස් පළ කර ඇත. සංවේදන අනුභූතියට-පසු (a posteriori) දැනුමක් මිස සංවේදන අනුභූතියට-පෙර (a priori) දැනුමක් පැවතිය නො හැකි බව ලොක්ගේ මූලික තර්කය විය. 

එම්මැනුවෙල් කාන්ට්: බුද්ධිවාදීන් සහ අනුභූතිවාදීන් අතර සංහිඳියාව

දැනුම පිළිබඳ ලියවෙන මෙම ලිපිය ආරම්භයෙහි දී අප අනූභූතවාදය (empiricism) සහ ‍බුද්ධිවාදය/හේතුවාදය (rationalism) යන ඉගැන්වීම් දෙකක් පිළිබඳ සාකච්ඡා කළෙමු. බේකන්, ලොක්, බර්ක්ලි, හ්‍යුම් වැනි අනූභූතවාදීන් දැනුම වූ කලී සංවේදන අනුභූතියට-පසු (a posterior) දැනුම ම විය යුතු ය යි ද ‍ ඩෙකාට්, ස්පිනෝසා, ලයිබිනීස් වැනි බුද්ධිවාදීන්/හේතුවාදීන් දැනුම වූ කලී සංවේදන අනුභූතියට-පෙර (a priori) දැනුම ම විය යුතු ය යි ද පැවසීම නිසා යුරෝපා බුද්ධි මණ්ඩලය ප්‍රකම්පනය කළ ශාස්ත්‍රීය සංවාදයක් ඇවිළී ගියේ ය. අනූභූතවාදය (empiricism) සහ ‍බුද්ධිවාදය/හේතුවාදය (rationalism) අතර ඇති වූ ගැටුම පිළිබඳ සමථනයක් ඇති වනුයේ දහඅටවැනි ශතවර්ෂයෙහි දී ජර්මනියෙහි එම්මැනුවෙල් කාන්ට් විසින් “A Critique of Pure Reason” නම් යුගකාරක කෘතිය ලිවීමත් සමඟ ය. කාන්ට් මධ්‍යස්ථ අස්ථානයක එළඹුණු බව පැවසිය හැකි ය. කාන්ට්ගේ අදහස වූයේ හුදු සංවේදන අනුභූතියට-පෙර (a priori) දැනුමක් පැවතිය හැකි වුවත් එමත ම පදනම් ව හුදු තර්කයෙන් ම දැනුම ළඟා කර ගත නො හැකි බවත්, එලෙස ම හුදු සංවේදන අනුභූතියෙන් (empirically) ම දැනුම ළඟා කර ගත නො හැකි බවත් ය. කාන්ට් යෝජනා කරනුයේ සංවේදන අනුභූතියට-පෙර දැනුමක් පවතින නමුත් එම දැනුම වඩා වර්ධිත දැනුමක් බවට පත් කර ගත හැකි වනුයේ එකී සංවේදන අනුභූතියට-පෙර පවතින දැනුම අනුභූතික දනුම සමඟ සම්බන්‍ධ කර ගැනීමෙන් බව ය. අජිත් පැරකුම් ජයසිංහ මහත්මා සහ රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා අතර වන විසංවාදය සමථනයට ද කාන්ටියානු යෝජනාව යෝග්‍ය බව මෙම ලියුම්කරුගේ අදහස ය. ප්‍රායෝගික ලෙස සැලකූ විට, පෙරේරා මහත්මා අනුභූතික සාක්‍ෂ්‍ය යන්නට කාන්ටියානු සහ පශ්චාත්-කාන්ටියානු අරුතක් දී ඇති බව සිතිය හැකි ය. 

රජයේ වෛද්‍යවරුන් සිතා මතා වෛද්‍ය හිගයක් රට තුල නඩත්තු කරති. ඒ රෝගීන්ව සූරාකෑමේ අරමුණෙනි.” යනාදී බරපතළ ප්‍රකාශයක් ජයසිංහ මහත්මා ඉදිරිපත් කරන්නේ කුමන ශ්‍රාස්ත්‍රීය පදනමකින් ද? මෙම දැනුම ජයසිංහ මහත්මාට ලැ‍බුණේ සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ද? නැත හොත් සවඥතා ඥානයෙන් ද? එසේත් නැත හොත් මෙම ප්‍රකාශය ජයසිංහ මහත්මාගේ ප්‍රස්තුතමය විශ්වාසයක් (propositional belief) පමණක් ද? එනම් “රජයේ වෛද්‍යවරුන් සිතා මතා වෛද්‍ය හිගයක් රට තුල නඩත්තු කරති. ඒ රෝගීන්ව සූරාකෑමේ අරමුණෙනි.” යන ප්‍රස්තුතය හෝ ප්‍රස්තුත පද්ධතිය හෝ “පිළිබද විශ්වාසය” (belief that) ජයසිංහ මහත්මාගේ පදනම ද? එසේත් නැත හොත් “වෛද්‍යවරු යනු දුර්ජනයෝ ය” යන මූලික (සහ හුදු) විශ්වාසය මත පිහිටා ඉහත දැක් වූ ප්‍රස්තුත පිළිබඳ ජයසිංහ මහත්මාගේ විශ්වාසය, උද්ධාරය (deduction) හෝ උද්ගාමය (induction) මඟින් යුක්තිසාධනය (justification) කිරීම ඒ මහත්මාගේ පදනම ද?

බුද්ධිමතකු වන රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා ඉල්ලා සිටින්නේ එවැනි බුද්ධිවාදය/හේතුවාදය (rationalism) මත පදනම් වූ ඥාන විභාගයක් නො වේ. ඔහු ඉල්ලා සිටින්නේ වෛද්‍යවරුන් පිළිබඳ ජයසිංහ මහත්මා විසින් පෙර දක්වන ලද දැනුමට අදාළ ජයසිංහ මහත්මාගේ විශ්වාසය, සංවේදන අනුභූතික (sense experience)යුක්තිසාධනය කර පෙන්වන ලෙස ය. විග්‍රහයන් අනුභූතික සාක්‍ෂ්‍ය (empirical evidence), කරුණු (facts) සහ දත්ත (data) මත පදනම් කර ගන්න ය යි පැවසීමෙහි අර්ථය එසේ ය. 

අජිත් පැරකුම් ජයසිංහ මහත්මා සංස්කෘත භාෂා පඬිවරයකු වන නිසා දෝ අනුභූතිය යන සංස්කෘතයෙන් සිංහලයට තත්සම වූ වදනට විශිෂ්ට මෝනියර්-විලියම්ස් ශබ්දකෝෂය පෙරළා අරුත්නිරුත් සොයයි. මේ වූ කලී කව්සිළු‍මිණෙහිකතක බොන මිහිවිතැහෙත කියඹුමිහිසිඳුවරදුරැ ලන්නසින් පිඹි සේමුවමිහි ගතෙ මිහිසුරා” යන ගීයෙහි “මුව මී” යන්නෙහි අරුත සොරත ශබ්දකෝෂය පෙරළා බලා අරුත් බිණීම වැනි විසුළුවකි. ගුරුදේවයන් සිටියේ නම් කොක්හඬ ලා සිනාසෙනු නියත ය. රජතුමා ස්ත්‍රියකගේ මුඛයෙහි තිබූ කෙළ (ඛේටය) ගත්තේ ය යි පැවසුවහොත් යස අගේට තියේවි නො වැ! ‍මුව මී යන්නට කෝෂාර්ථ ලෙස කෙළ යන්න ගත්තේ නම් කාව්‍යාර්ථය විකෘති වී විසුළුවක් වන බව පැහැදිලි ය.

අක්‍ෂපාද ගෞතමයන්ගේ න්‍යාය සූත්‍රය

පෙරදිග දර්ශනයෙහි දැනුම පිළිබඳ විශිෂ්ට සම්ප්‍රදානයක් පවතී. ලිපියෙහි දිග සීමා කරනු වස් ඉතා සංක්‍ෂිප්ත ව ඒ පිළිබඳ පවසනු රිසි ය. දැනුම යන්නෙන් සිංහලයෙහි හැඳින්වෙන්න පෙරදිග දර්ශනය මූලික ව ලිය වී ඇති සංස්කෘතයෙහි ඥාන, විඥාන, ධී, බුද්ධි ආදී වචන කීපයකින් හැඳින්වේ. සුලභ ව භාවිත වචනය ඥාන ය. දැනුම යන්නට පර්යාය ලෙස ඉංගිරිසියෙහි යෙදෙන knowledge යන්න ඥාන යන්නට දාර්ශනික අර්ථයෙන් එතරම් ගැළපෙන බවක් නො පෙනේ. මක්නිසා ද යත් පෙරදිග දර්ශනයෙහි ඥාන යන්න සත්‍ය ඥාන සහ ව්‍යාජ ඥාන ලෙස දෙවැදෑරුම් වුව ද අපරදිග දර්ශනයෙහි knowledge යන්නෙහි එවැනි ද්විත්වාර්ථයක් නැති නිසා ය. ඥාන හෙවත් සිංහලයෙහි දැනුම ලෙස හැඳින්වෙන්න මූලික ව ස්මෘති (සිහි කිරීමෙන් එළඹෙන යන අරුතින් – remembrance) සහ අනුභූති (අත්දැකීමෙන් එළඹෙන යන අරුතින් – experience, වඩාත් නිවැරදි ව පවසතොත් වටහා ගන්නා යන අරුතින් apprehension) ලෙස වර්ග කළ හැකි ය. එනම් ස්මෘති මඟින් එළඹෙන ඥාන හැරුණු කල අවශේෂ ඥාන පොදුවේ අනුභූති ඥාන ලෙස සැලකේ. මෙම කරුණ අපගේ සාකච්ඡාවෙහි පසුවට වැදගත් වන නිසා අවධාරණය කරනු රිසි ය. 

ලිපියෙහි සන්දර්භය තුළ අපගේ අවධානය යොමු වන්නේ භාරතීය දර්ශනයෙහි අනුභූති ඥාන සහ එය ළඟා කර ගැනීමේ ක්‍රමවේදය නැත හොත් සාක්‍ෂ්‍ය පිළිබඳ ය. භාරතීය දර්ශනයෙහි ඥාන සහ ඥාන සාධනයෙහි ක්‍රමවේදය ප්‍රමාණ යනුවෙන් හැඳින්වේ.  අප බටහිර දර්ශනයෙහි ඥාන විභාගය (epistemology) යනුවෙන් හැඳින්වූවට සමරූපීව භාරතීය දර්ශනයෙහි පවතින්නේ ප්‍රමාණ ය. ඥාන සාධනය වන්නේ ප්‍රත්‍යක්‍ෂ (සංජානනය – perception), අනුමාන (inference), උපමාන (comparison), අර්ථාපත්ති (උපග්‍රහණ – postulation), අනුපලබ්ධි (නිර්සංජානනීය ඥානන – non-perceptive cognition) සහ ශබ්ද (words of valid experts) යන ක්‍රමවලිනි.

ජයන්ත භට්ටයන්ගේ න්‍යායමංජරිය

හාරතීය දර්ශනයෙහි දැනුම පිළිබඳ වැදගත් ම සම්ප්‍රදානය සිදු කරනු ලැබ ඇත්තේ න්‍යාය ගුරුකුලය විසිනි. න්‍යාය යනු ප්‍රමාණ පිළිබඳ අධ්‍යයනය හෙවත් විද්‍යාව යි. න්‍යාය ගුරුකුලය විසින් ඥාන සාධනය සඳහා උපයෝගී කර ගනු ලබන්නේ ප්‍රත්‍යක්‍ෂ (perception), අනුමාන (inference), උපමාන (comparison) සහ ශබ්ද (words of valid experts) යන ක්‍රම සතර ය. එම ක්‍රමයන්ගෙන් අපගේ සාකච්ඡාවට මූලික ව අදාළ වන ප්‍රත්‍යක්‍ෂ පිළිබඳ විමසමු. න්‍යාය ගුරුකුලයෙහි දීප්තිමත් න්‍යායයිකයා වූ අක්‍ෂපාද ගෞතමයන්ගේ න්‍යාය සූත්‍රය සහ ජයන්ත භට්ටයන්ගේ න්‍යායමංජරිය අපි මෙහි දී මූලාශ්‍ර කර ගනිමු. ප්‍රත්‍යක්‍ෂ යන්න ලෞකික හා අලෞකික ලෙස දෙවැදෑරුම් ය. 

ලෞකික ප්‍රත්‍යක්‍ෂ යනු සංවේදන ඉන්‍ද්‍රිය බාහිර ලෝකයෙහි වස්තු සමඟ ස්පර්ශයෙන් එනම් ඉන්‍ද්‍රිය-වස්තු අන්තර්ක්‍රියාවෙන් ඉතා නිරවද්‍ය ඥාන සාධනයක් සිදු වීම යි. මෙහි දී සැලකෙන ඉන්‍ද්‍රීය සංවේදන නම් ඇස, කන, නාසය, ස්පර්ශය සහ රසය මඟින් සිදු වන සංවේදන ය. මෙකී ලෞකික ප්‍රත්‍යක්‍ෂ යන්න ඉන්‍ද්‍රර්ථසන්නිකර්ෂ (සංවේදන ඉන්‍ද්‍රිය හා වස්තුව ඍජු ව ඝට්ටනයෙන්) විය යුතු ය; අව්‍යපදේශ්‍ය (අන්‍යන්ගේ සංවේදන මත නො රඳන) විය යුතු ය; අව්‍යභිචාර (නො සැලෙන හා නො වෙනස්) විය යුතු ය; ව්‍යවසායාත්මක (නිසැක) විය යුතු ය. 

අලෞකික ප්‍රත්‍යක්‍ෂ යන්න යෝගජ/ප්‍රතිභා, සාමාන්‍යලක්‍ෂණප්‍රත්‍යක්‍ෂ සහ ඥානලක්‍ෂණප්‍රත්‍යක්‍ෂ යනාකාරවලින් සිදු වේ. මේවා මනස මූලික කර ගෙන සිදු වන ප්‍රත්‍යක්‍ෂ ය (භාරතීය දර්ශනයෙහි මනස යනු සංවේදන ඉන්‍ද්‍රියකි). 

මේ අනුව පෙනී යන කරුණක් නම් භාරතීය දර්ශනයෙහි සංවේදන අත්දැකීමෙන් (අනුභූතියෙන්) එළඹෙන දැනුම මූලික ව විග්‍රහ වන්නේ ලෞකික ප්‍රත්‍යක්‍ෂ (ordinary perception) නම් සංකල්පය තුළ බව ය. එනම් බටහිර දර්ශනයෙහි අනුභූතිවාදය (empiricism) ලෙස අප සාකච්ඡා කළ දැනුම පිළිබඳ විග්‍රහයට වඩාත් සමරූපී වනුයේ ‍භාරතීය දර්ශනයෙහි ලෞකික ප්‍රත්‍යක්‍ෂ (ordinary perception) ය. බටහිර දර්ශනයෙහි බුද්ධිවාදය/හේතුවාදය (rationalism) යටතට ගැනෙන අනුමාන (inference), උපමාන (comparison), අර්ථාපත්ති (උපග්‍රහණ – postulation) වැනි ඥාන සාධන ක්‍රම භාරතීය දර්ශනයෙහි එන අනුභූති (experience/apprehension) මත පදනම් වූ ඥාන (එනම් ස්මෘති හැර අවශේෂ ඥාන) සාධනයෙහි ක්‍රම ලෙස ගැනේ. මෙම වෙනස්කමට හේතුව සම්භාව්‍ය බටහිර දර්ශනයෙහි මනස සංවේදන ඉන්‍ද්‍රියක් ලෙස නොසැලකීමත් භාරතීය දර්ශනයෙහි මනස සංවේදන ඉන්‍ද්‍රියක් ලෙස සැලකීමත් බව මෙම ලියුම්කරු අධ්‍යයනය මත පදනම් ව විශ්වාස කරයි.  

ශබ්දකෝෂ පෙරළා කෝෂාර්ථ ගෙන ශාස්ත්‍රීය සංකල්ප විශ්ලේෂණය කිරීම නුසුදුසු බව සලකනු ලබන්නේ මෙවැනි හේතු නිසා ය. ශබ්දකෝෂවල වචනාර්ථ සඳහන් කරනුයේ විවිධ සන්දර්භයන්ගෙන් ගෙන ය. සැබවින් ම විශිෂ්ට සංස්කෘත-ඉංගිරිසි සහ ඉංගිරිසි-සංස්කෘත ශබ්දකෝෂයක් වන මොනියර්-විලියම්ස් ශබ්දකෝෂය අප මෙහි සාකච්ඡා කළ දාර්ශනික කරුණු නිසි ලෙස සලකා අනුභූති යන්‍නට අරුත් බිණ තිබේ.  එම අර්ථ නිසි ලෙස උපයුක්ත කිරීමට නම් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීමක් ද තිබිය යුතු ය. ශාස්ත්‍රීය සංවාදයක දී එවැනි ශික්‍ෂා අතිශය වැදගත් ය. අජිත් පැරකුම් ජයසිංහ මහත්මා මෙම ලිපිය විවේක බුද්ධියෙන් කියවා ඉන් පසු නැවත වරක් මෝනියර්-විලියම්ස් ශබ්දකෝෂය විමර්ශනය කළ හොත් මෙම ලිපියෙන් පැවසෙන කරුණු නිසි ලෙස වැටහෙනු ඇත. එලෙස ම රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා අනුභූතික සාක්‍ෂ්‍ය ලෙස හැඳින්වූයේ කුමක් ද? අනුභූතික සාක්‍ෂ්‍ය යන්න ඔහු ව්‍යවහාර කරන්නේ කුමන දාර්ශනික සන්දර්භයක් තුළ ද? යන කරුණු ද වඩාත් හොඳින් වැ‍ටහෙනු ඇත. මෙම ලිපිය කියවා ජයසිංහ මහත්මා විසින් සඳහන් කළ ශබ්දකෝෂ ද්වයය ම යළි විමර්ශනය කරන මෙන් අජිත් පැරකුම් ජයසිංහ මහත්මාට මෙම ලියුම්කරු ඉතා කාරුණික ව පවසනු රිසි ය.

තරුණ වාමාංශික බුද්ධිමතකු වන රමිඳු ලක්ඛික පෙරේරා මහත්මා වැනි සුනිශ්චිත වාම විප්ලවීය විභවයක් සහිත බුද්ධිජීවීන් රැක ගැනීම සමාජවාදී සාර සමාජයක් පිළිබඳ දැල්වුණු අපේක්‍ෂාවන්ගෙන් යුත් සැමගේ ඵෙතිහාසික කාර්යභාරයකි. ධනපති භීමරූපියාට එරෙහි ව තීරණාත්මක අනාගත විප්ලවීය අරගලයක පෙරටුගාමීන් විය හැකි වන්නේ එවන් වාම බුද්ධිමතුනට ය. මානව ජීවිතය වඩාත් සුපුෂ්පිත හා සුපරිපූර්ණ කර ගැනීමට එරෙහි ව පසමිතුරු ව සිටිනා ධනපති සමාජ සබඳතා සුනුවිසුනු කර දැමීමට රත් වූ රුධිරයෙන් ඔද වැටී නැඟී එන මාණවකමාණවිකාවනට විප්ලවීය විඥානය ලබා දීමට සමත් මාර්ක්ස්වාදී සම්ප්‍රදානයක් සිදු කරන්නට රමිඳු ලක්ඛික පෙරේරා මහත්මාට හැකි වේවා! 

වැදගත් මාතෘකාවක් පිළිබඳ ගැඹුරු ශාස්ත්‍රීය කතිකාවක් ඇරඹූ කලක් වාමාංශිකයකු ව සිට පසු ව මිල්ටන් ෆ්‍රීඩ්මන් ආකාරයෙහි ලිබරල් ධනවාදියකු ව සිටින අපගේ සදාදරණීය අජිත් පැරකුම් ජයසිංහ මහත්මාට මෙම ලියුම්කරුගේ විශේෂ ප්‍රණාමය පුදන්නේ සතුටිනි. පිළිගනු මැනවි. 

සෑගිරියේ කීරාළ විසිනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s