හෙළ ගීයැ සමරිසි තැන් සොයනට රිසි බකපඬුවෝ

හෙළ ගී සයුරැ මිණි වන් ගී කීපයක මැ අරුත් බිණුමැ නව නයෙක් ඇතමකු විසින් මෙදවස පකට කරවනු ලැබේ. ඔවුනගේ නව නය අනුවැ හෙළ ගී මිණිවලැ සමරිසි අරුත්, පවත් බෝ සේ යැ. එපඬුවෝ ගී පද තම නය මත විමසන්නෝ පෙම්කිතුවන මතු නො වැ සේකරයනසමරිසි යැ පවසන්නෝ යැ. එවන් එපඬු බස නම් විසුළු යැ. සුවියත් සුදන මන එවිසුළු නොනිසි බසින් රිදුම් දේ. අපමණ වූ ගුණ කැටි වූ සුවියත් ගී පදකරුවනට සමරිසි අපනාම නඟන එබකපඬුවනට එරෙහි වැ මා සන්මිතු මයුරවිලයන තම සුබස් අවියෙන් දැඩි වැ පහර ‍දීම අරඹා ඇත. එකී විසුළු නව නයැ මුල් නයුවකු වන පුඟුලකුගේ දුගඳ අපදානය මයුරවිලයන විසින් ලියැ වී පළ වැ ඇත. ගී පදවලට සමරිසි අරුත් බිණින එබකපඬුවෝ තුමු සකු බසැ හසළ මහපඬුවකු වන බැව් ද හඟවති. ඔවුන දන්නා සකුවෙක් නැති. ඔවුන සිතා සිටිනුයේ තුමු මහැදුරු මෝනියර මෝනියර-විලියම්ස පඬිරුවනගෙන් ද කලිදස් මහකිවිඳුගෙන් ද පැවැත එන බව යැ! මා සන්මිතු මයුරවිලයන විසින් විරචිත එබකපඬුවාගේ දුගඳ දෙන අපදානයට මම මතු සඳහන් දිගු වැ ඒක් කරමි. එය මා සන්මිතු මයුරවිලයන අමතා ලියනු ලැබැ ඇත. 

(*හුදු රසවිඳුමට මැ පමණි. දුටු සිත් නැති.)

දෙස-බස-රැස රැකුමට සිතැති සුබැසි සුමිතුර,

නුඹ ලියු සුබස් මිණි පබඳ මම මන තුටින් කියැ වීමි. එබසැ රසයෙන් මම අමපල රස විඳියෙමි. නුඹ පවසන දෑ සැබෑ යැ. දැන් දැන් බස් වැඩුවන් නො වැ බස් වඩුවන් මැ සුලබ බව පෙනේ. ඒ අතරැ බස් පෙරළුවෝ ද තුමු සකු බසැ වෙසරද බැව් පෙන්වනු රිසි වැ මහ දවල් බකමූණු කෙළි කෙළති. නුඹ වන් සුබැසියනගෙන් මෙරඟ මඬල හිස් වැ ගිය කල මහ දවල් බකමූණු කෙළි හැර අන් කවරෙක් නම් දැකැ ගනු යැ? කුමරතුඟුවන අප හැරැ ගිය කල කිවියර පී. බන්‍ධුතිලකයෝ මෙසේ පැවසූහ:

ඔබෙන් හිස් වූ නිසා සත් රඟ
මඬල එළි බැස නැති ව විළිපිළි
බැලිය හැකි වෙයි ඉතින් කාටත්
මහ දවල් බකමුහුණු නළුකෙළි” 

කවිරුත් බිණුමැ නව නයෙක් යම් බකපඬිරුවකු විසින් පැවැසිණි. ඔවුහු ඇරිස්ටෝටලයනගේ සිට අයි. ඒ. රිචර්ඩ්සුවන, ඇෆ්. ආර්. ලිවීසුවන ඔස්සේ ශක් ඩෙරිඩාවන, ස්ලාවොයි ජිජැකුවන මතු නො වැ දීප්ත කුමර ගුණරතන පඩිරුවන දක්වා විදුවනගේ අපරදිග කලා විමැසුම් නය අතැඹුලක් සේ හසළ දුලබ පඬිරුවනෙක් වාන්නාහ. එමතු නො වැ ඔවුහු භරතමුනින, ආනන්‍දවර්ධනයන, අභිනවගුප්තයන, විශ්වනාථ කවිරාජයන ඈ විදුවනගේ පෙරදිග කලා නය ද අතැඹුලක් සේ හසළ දුලබ පඬිරුවනෙක් වන්නාහ. එවන් පඬිරුවනකගේ හිරු රැස දුටු අප වැනි දුහුනන් හිරු දුටු කදෝපැණියන සේ සැඟ වැ නිහඬ වීම අරුමයක් නොවන්නේ යැ. 

මම දැන් නිල වැ ඉසුඹු සමයට එළැඹ සිටිමි. මා පැරැණි සබඳෙක් වෙඩි සැර, ගිනි සැර, හී සැර, දුනු සැර, කඩු සැර ඈ නන් නය සැරින් මා නසන්නේ යැ යි වහසි බස් දොඩයි. එමතු නො වැ තම ගමැ කැලෑ වෙහෙරැ වැසි යකා හාමුදුරුවන ලවා පිල්ලියක් මතුරුවැ සත් සමුදුරෙන් ඔබ්බට එවැ මා නසන්නේ යැ යි ද තර්ජන ගර්ජන කරන්නේ යැ. දබරයට රිසි නැති මම නිසි කල එළැඹෙනු පෙර මැ ඉසුඹු සමයට පිළිපන්නෙමි. එනමුත් සුබැසි සබඳ, නුඹ විසින් ලියැවුණු මිණි පබඳ පිළිබඳ පවත සවනත වැටි සැණ මෙම සටහන නො තබැ සිටිනු නොහැකි විණ.  

මහැදුරු මෝනියර මෝනියර-විලියම්ස පඬිරුව

මා මෙහි නැති වුවැ නුඹ නුඹගේ සුබස් සුරුවිරුකම් පෙළහර මතුවට ද පවත්වා ගනු ඇතැ යි හඟිමි; පතමි. බකපඬුවන් නුඹට මඟ පෙන්වනු ඇත. ඉංගිරිසි ලොවැ පැරැණි මැ සරසවිය වන එංගලන්තයැ ඔක්ස්ෆර්ඩ සරසවියැ සකු බස් අදියුරු මඬලැ සකු බසැ මහැදුරු වැ සිට සිරිලකැ දුහුනනගේ නැණ පහන දල්වනු රිසි වැ මෙලක පැමිණි සකු බස් මහැදුරු එබකපඬු‍වන් නුඹට සකුව ද උගන්වනු ඇත.  එබකපඬුවනට මෝනියර-විලියම්ස යන වාසගමෙක් ඇති බැව් දන්නෝ දුලබ වන්නාහ. භරත දෙසැ ඉපිද සකු බස ඉගෙන එංගලන්තයැ ඔක්ස්ෆර්ඩ සරසවියැ සකු බසැ පිළිබඳ මහැදුරුකම කැරැ මාහැඟි ඉංගිරිසි-සකු සහ සකු-ඉංගිරිසි අරුත් විමැසුම් ගත් යුගලක් ද සකු බස ඉගැනුමට පෙළ ගත් මාලයක්සකු කව් ‍ගතට විදුහුරු විවරු මාලයක් ද සැකැසූ මහැදුරු මෝනියර මෝනියර-විලියම්ස පඬිරුවන එබකපඬුවනගේ මුත්තා යැ.* එසේ වීමට අදාළ සසඟ  පවත මෙහි ලියන්නට මම නො රිසියෙමි. පිය පස වැ සකු මහැදුරු මෝනියර මෝනියර-විලියම්සනට නෑකම් පෑ එබකඬුවන, මව් පස වැ නෑකම් කියනුයේ එසේ මෙසේ සකු බස් සුරුවෙකුට නම් නො වේ.* එපවත සැකැවින් මෙසේ යැ:

කුමරදස් නම් රජෙකු සිරිලක රජයන කලැ භරත දෙසැ උදේනියැ විකුමාදත රජ සබ‍යැ කලිදස් නම් කිවියර කෙනෙක් රජපඬුවකු වැ විසී යැ. මේ කලිදස් කවිහු නම් සකු මහකිවිසුරු කලිදස්හු මැ ය. කුමරදස් නිරිඳුන කුමර කලැ සිරිලක ඇති වූ බල පොරයක් හේතුවෙන් කුමර කලැ භරත දෙස ගතැ කරන්නේ සකුව මැනැවින් හදාළේ යැ; කලිදසුන හා මිතුදමින් වෙළු‍ණේ යැ. පසු කලැ කුමරදස් සිරිලක රජ වූයේ යැ; කලිදස් විකුමාදත රජ සබයැ රජපඬුවෙක් වූයේ යැ. සකුවෙන් මැ ජානකීහරණ නම් කව ලියූ කුමරදස් නිරිඳුහු තම මිතු කලිදස් කිවිඳුනට ඇරයුම් කැරැ සිරිලකට වර වර ගෙන්වැ ගත්තෝ යැ. මාතොටැ හත්බෝවත්තැ පකට අබිසරුලියක තමනට මැ වෙන් කැරැ ගෙනැ රස බැලුමැට කුමරදස්කලිදස් දෙමිතුරු කිවියෝ පුරුදු වැ සිටියහ. දිනෙක සසඟෙන් තුටු වැ සයනයැ වැදැ හොත් කුමරදස්හු කුටි බිතැ කව් දෙපදක් මෙලෙස ලියුවෝ ඒ අඩකවට ඉතිරි කව් දෙපද ලියනවුනට තුටුපඬුරු පුදන බැව් පැවැසි යැ:  

පද්මාද් පද්මෝද්භූතඃ (කමලෙ කමලොද්භූතං)
ශ්‍රැයතේ න ච දෘශ්‍යතෙ
 
(පියුමෙන් තවත් පියුමෙක් උපන බව – ඇසි මුත් නො දිසි කිසි දිනෙක) 

පසු දිනැ කලිදස්හු ද මේ අබිසරුලිය රස විඳුමට යන්නෝ සසඟෙන් තුටු වැ සයනැ වැදැ හොත් පෙර කී කව් දෙපද දැකැ ඉතිරි කව් දෙපද මෙලෙස ලියුවෝ යැ:

බාලෙ ස්ත්‍රී මුඛාම්භෝජතෙ
ත්‍රෞනේත්‍රීන්දීවරද්වයම්

(බාලය, ලියකගේ මුව නමැති පියුමෙන් – උපන් දෙනෙත නම් නීලමානෙල් දෙක නො පෙනේ යැ?)

තුටුපඬුරට ලොල් වූ අබිසරුලිය කලිදස් කිවිඳුන් මරා එකව තමන් විසින්  ලියැවුණු බැව් පැවසී යැ. තම දිවිසම මිතු කලිදසුනගේ වියොවින් දුකට පත් කුමරදස්හු කලිදසුනගේ ගිනිගෙනැ දැවෙන විතකයට මැ පැනැ සිය දිවි ද නැසැ ගත්හ. මහාවංසකාර මහානාමයනට මඟහැරුණු මෙම පවත පැරකුම්බා සිරිතැ මෙසේ සඳහන් යැ:

වෙහෙර දසටක් පුරා කරවා දස අටක් මහ වැව් බැඳී 
ව ස ර එක දා බිසව් අබිසෙස් මහණුවම් තෙමඟුල් යෙදී
ඇ ජ ර කිවියර පිනින් ජානකිහරණ ඈ මහ කව් බැඳි
කු ම ර දස් රද කාලිදස් නම් කිවිඳු හට සිය දිවි පිදී

පූජාවලියැ උද්දේසික කථාහි ද මෙපවත මෙසේ සඳහන් යැ (මෙහි ඔහු යනුවෙන් හැඳින්වෙන්නේ දාසෙන් රජ පුත් මුගලන් යැ. කුමරදස්හු මුගලනුනගේ පුත්හු යැ): 

ඔහු පිත් කුමරදස් රජ මහපඬි ව, නව හවුරුද්දක් රාජ්‍ය කොට කාලිදාස නම් යහළුවා මළ දා තෙමේ ද ගිනි වැද පරලොව ගිය.

මෙපවත රාජාවලියැ ද මෙසේ සඳහන් යැ (ඇතැම් පෙළ සකසුවැ “ඔහු පුත්“ යන වදන් නැති මුත් වඩා විදුහුරු සකසුව වන ඒ. වී. සූරවීර සකසුවැ එවදන් පවතී):

ඔහු පුත් කුමාරදාස රජ මහපණ්ඩිතව නව අවුරුද්දක් රාජ්ජය කර කාලිදාස යාළුවා මළ ගිනිවළට පැන යාළුවා නිසා මිය පරලොව ගියාහ.

මෙසිදුවීම් මෙලෙස සිදුවන කලැ මාතොටැ හත්බෝවත්තැ පකට අබිසරුලිය කුසැ දරුගැබෙක් පිළිපන් බැව් සැල වේ. ඒ දරුගැබ වැඩැ පැවැත එන පරපුරැ වත්මනැ පුඟුලා නම් අප බකපඬුවා මැ යැ. දැන් යම් ගැටලුවෙක් පැන නැඟේ. එනම් මේ අප බකපඬු තැන කුමරදසුනගෙන් පැවැතැ එන්නේ යැ? නැත හොත් කලිදසුනගෙන් පැවැත එන්නේ යැ? ඒ කවරකුගෙන් පැවත එන්නේ වුවැ අප බකපඬුවා නිසැක වැ සකු බස වෙසරදබව උරුම වැ උපන් බව නියත යැ. අප බකපඬු වංස පවත පිළිබඳ පිරිසුම් කළ සුවියතුනගේ මතය නම් අප බකපඬුවා කලිදස් පරපුරට මැ බැඳි බව ය.* හරත දෙසට බැඳි ඒ පෙළපත් බැඳුම නිසා දෝ වතමනැ අප බකපඬුවෝ එට්කාවෙන සිරිලක භරත දෙසට බැඳියැ යුතු බැව් අදහති; එසඳහා දිවි පරදුවට තැබැ සටනට බට යැ. 

දමයන්තිය අබියස නල කුමර ගුණ කී හංසයා ද එම ගුණ ගී පදයට නැඟූ සේකරයන ද එම ගී පද ගැයූ අමරදේවයන ද සමරිසි යැ යි පවසන බකපඬු පරපුරෙක් ද වත්මනැ සිටිති!

පිය පස වැ සකු බසැ මහැදුරු මෝනියර මෝනියර-විලියම්සයනගෙන ද මව් පස වැ සකු මහකිවියර කලිදසුනගෙන ද පැවැතැ එන, සකු බසැ වෙසරද අප බකපඬුවා ගී කව් පද දෙස බලමින් එපද ලියුවනට සමරිසියන් යැ පද කීම ඔවුනගේ මහදැනැමුතුකමට තරම් නො වන බැව් පැවැසියැ යුතු යැ. පරපුරැ ගණනෙක සැනැසූ සේකරයනගේ සුගේය පද අමරස හඬ මුසුකැරැ අමරදෙව් පඬු සුගැයුම් කළැ ලීලයෙන් සැනැසුණු අපට මේ විගඩම් කලා විමැසුම් සිත රිදුම් දෙන්නකි. සකු බස් වෙසරද බකපඬිතුමනි, නුඹ හිස රන්වලා සෙල ගැටුමෙන් වූ කම්පනයෙන් යුතු වැ මේ සමරිසි හරුප ගත් විසුළු කලා විමැසුම නුඹ විසින් ලියැවිණි යැ? ඔබ නව නය අනුව, කලිදස් වියොවෙන් දුක් වැ සිය දිවි නැසූ කුමරදස් නිරිඳු ද සමරිසි වන්නේ යැ? කුමාරසම්භවයැ ඉසුරු දෙව් නන් නයින් වැනූ කලිදස්හු ද සමරිසි වන්නාහු යැ? බුද්ධ චරිතය වැනූ අස්ගොස්හු ද සමරිසි වන්නාහු යැ? කාර්තවීර්යාර්ජුනයැ අර්ජුනයන වැනුවෝ ද සමරිසි වනිනාහු යැ? නලෝපාඛ්‍යාන‍යැ නල කුමරුවන වැනුවෝ ද සමරිසි වන්‍නාහු යැ? මහකව් පැබැඳුමැ විරුවන නන් නයින් වැනිය යුතු යැ යි කාව්‍යාදර්ශයැ පැවසූ දණ්ඩීනහු ද සමරිසි වන්නාහු යැ? විසුළු නො කැරැවැ බකපඬිතුමනි.

දෙස-බස-රැස රැකුමට සිතැති සුබැසි සුමිතුර, අප බකපඬිරුවන පතුරුවන දුර්මත සිඳබිඳ දැමුම නුඹ විසින් නො නවත්වා කැරැ ගෙනැ යනු ලැබිය යුතු මැනැවි.

ගිරා සඳෙස්කරු පැවැසි ලෙස මැ මිතු පෙම වඩවන ඉටු දෙවියෙකු වැනි මිතුර, නෙතු යොමු කැරැ මුළු ලොව දෙස බැලුව ද මා සිතැ පැතූ එම කටයුත්ත ඉටු කළ හැකි පමා නො වන මිතුරා නුඹ හැර වෙනකෙක් නොවන්නේ මැ යැ.

පෙ මා වඩන ඉටු සකි සඳිනි දස දෙ ස
යොමා නුවන බැලුවත් මුළු මෙලෝ කු ස
මෙ මා සිතන කටයුතු සිදු කරන ලෙ ස
ප මා නොවන මිතුරෙක් නැත මෙතෙප මි ස

බන්‍ධුල කුදලාගම,

ටොරන්ටෝව.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s