ජාතික අනන්‍යතා සහ ජාතික ප්‍රශ්නය

වාර්ගික අනන්‍යතාවල විවිධත්වය මානව සංහතියේ අසිරියකි.

කලකට පසු අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරකු වැදගත් යමක් පවසන බව හැඟේ. ඔහුගේ “ලාංකික” සංකල්පය පිළිබඳ අපට තිබෙන්නේ සර්ව-ප්‍රතිවිරෝධයක් නො ව වරණීය-ප්‍රතිවිරෝධයකි. එනම් ඔහු විසින් අනුයනු ලබන “ලාංකික” හැඟවුම්කරණයෙහි සංයුතිය පිළිබඳ විසංවාදයකි.  

අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා ”ලාංකික” යන වදන ව්‍යවහා‍ර කරන්නේ “සෝවියට් මිනිසා” වැනි වාර්ගික අනන්‍යතා නො නසන එහෙත් එකී වාර්ගික අනන්‍යතා සමතික්‍රමණය ‍කරන සංකල්පයකට නම් එය ඉතා සාධනීය එළඹුමකි. වාර්ගික අනන්‍යතා යනු හුදු සංස්කෘතික අනන්‍යතා ම නො ව වඩා පුළුල් ජෛව-සංස්කෘතික අනන්‍යතා බව අප මින් පෙර දීර්ඝ ව සාකච්ඡා කර ඇත. එවැනි වාර්ගික අනන්‍යතා නාශනය කර අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරාට ළඟා කර ගත හැකි මානවවාදයක් නොමැති අතර එවැනි එළඹුමක් තුළ ඔහු ලාලසාව දක්වනුයේ වාර්ගික ස්වෝත්තමවාදීත්වය කෙරෙහි ය. එනම් එක් ප්‍රමුඛ වාර්ගික ජාතිකත්වයක් තුළට අවශේෂ වාර්ගික ජාතිකත්වයන් ස්වීකරණය කරවා වාර්ගික ව සමජාතීය සමාජයක් ගොඩනැගීමකි. සිංහල මහා ජාතිකත්වය තල තෙල් ගඳ නැති දෙමළාට අකමැති නැති බව අප නිතොර පවසන්නේ පෙර කී වාර්ගික අනන්‍යතා ස්වීකරණයේ කාව්‍යමය ප්‍රකාශනයක් ලෙස ය. 

අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා විසින් නිරන්තර ව විකෘති කෙරෙන අපගේ අස්ථානයක් වන්නේ ජාතීන්ගේ ජාතික අනන්‍යතා පිළිගෙන ඒවා සුරක්ෂිතකරණය හා ප්‍රවර්ධනය කළ යුතු ය යන්න ය. අප එමඟින් එක් ජාතිකයක ජාතික අනන්‍යතාවක් උක්කර්ෂණය කිරීමක් පාඨාර්ථයෙන් හෝ ශබ්දාර්ථයෙන් හෝ කිසි ම ආකාරයකට හැඟවුම්කරණය කර නැත. එහෙත් අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා ද්වේෂසහගත ව අපගේ අස්ථානය විකෘති කර දක්වන්නේ අප දෙමළ ජාතිවාදීන් පිරිසක් බව පවසමිනි. අප පෙනී සිටින්නේ සියලු ජාතීනට තම ජාතික අනන්‍යතා ප්‍රවර්ධනය කර ගෙන අනෙකාගේ ජාතික අනන්‍යතාවනට ගෞරව කරමින් එක ම රටක් තුළ අවම සීමාකරණයකින් යුත් ස්වයං-පාලනයක් සහිත ව ජීවත් වීම සඳහා ය. දකුණේ පිසෙන සිංහල හාලේ සුවඳ මෙන් ම උතුරේ රත් වෙන තල තෙලේ සුවඳ ද මේ රටේ වා ගැබ පුරා පැතිරෙන සොඳුරු ශ්‍රී ලංකාව බිහි වන්නේ එමඟිනි. තමා ද ශ්‍රී ලාංකා රාජ්‍යයේ සුජාත කොටස්කරුවෙකි යන හැඟීම දකුණේ සිංහල සහෝදරත්වයට සේ ම උතුරේ දෙමළ සහෝදරත්වයට ද එක ලෙස දැනෙන ඒ අනාගත සාර සමාජය තුළ “ලාංකික” අනන්‍යතාවක් බිහි වනු ඇත. 

අතීත ලාංකික දෙමළ පවුලක්

අනෙකාගේ ජාතික අනන්‍යතාවල පැවැත්ම නො ඉවසන, නො සලකන, සහ ඒවාට ගෞරව නො කරන දකු‍ෙණ් මහා සිංහල ජාතිවාදයට සේ ම උතුරේ දෙමළ ජාතිවාදයට ද අපි සර්වාකාරයෙන් ම විරුද්ධ වෙමු. ආන්තගාමී වාර්ගික ධ්‍රැවීකරණයක් මඟින් අප බලාපොරොත්තු වන සා‍ර සමාජය ළඟා කර ගත නො හැකි ය. වාර්ගික ධ්‍රැවීකරණය (අනන්‍යතා  නො ව) යනු මානව ප්‍රගමනයේ ස්වභාවික යුක්තියක් නො වේ. එය බල ලොභීත්වය හා අශිෂ්ටත්වය මඟින් කුළු ගැන්වුණු සුළුතරයක් විසින් මානව සමාජය පුරා පතුරුවන ලද ප්‍රචණ්ඩ විෂ බීජයකි. අනෙකාගේ අනන්‍යතාවනට ගෞරව නො කිරීම වාර්ගික ධ්‍රැවීකරණය ඇති වීමට හේතුවක් සේ ම එය පැවතීමට හා වර්ධනය වීමට ද (එක ම හේතුව නො වේ නම්) ප්‍රධාන හේතුවක් වේ. අනෙකාගේ ජාතික අනන්‍යතාව නො සලකන දකුණේ අධිපති සිංහල මහා ජාතිකත්වය විසින් අනෙකාගේ ජාතික අනන්‍යතාව නො සලකන උතුරේ පීඩිත දෙමළ ජාතිකත්වය පෝෂණය කරනු ලබන්නේ ය යන්න සත්‍යකරණය වන්නේ එනිසා ය. මෙය අන්‍යෝන්‍ය වශයෙන් අනුලෝම ව සමානුපාතික සම්බන්ධයකි. මෙය ද්විදිශාත්මක සම්බන්ධයක් ද වන්නේ ය. මෙම සම්බන්ධතාවේ විචල්‍යයන් දෙකට ම ඒ ඒ සන්දර්භ තුළ දී ස්වායත්ත විචල්‍යය සේම පරායත්ත විචල්‍යය ලෙස ද හැසිරිය හැකි ය. වාර්ගික ධ්‍රැවීකරණය බිහි කරන හා පවත්වා ගෙන යන මූලික හේතුව වන අනෙකාගේ අනන්‍යතාව නො සලකා හැරීම පිළිබඳ විවේචනාත්මක නො වී අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරයා ඊනියා “ලාංකික” අනන්‍යතාවක් පිළිබඳ බණ කීමේ අරමුණ කුමක් ද? අතිශය ආන්තික ව වාර්ගික ධ්‍රැවීකරණයකට ලක් ව පවතින වර්තමාන ලාංකික සමාජය තුළ ඊනියා “ලාංකික” අනන්‍යතාවන් පිළිබඳ රොමැන්තික සිහින දකින අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා හොර රහසේ පෙම් කරන්නේ ද සේවය කරන්නේ ද අධිපති සිංහල මහා ජාතිකත්වයේ  හෙජමොනික දෘෂ්ටිවාදට ය. අපගේ ආදිආචාර්ය කාල් මාර්ක්ස් The German Ideology කෘතියේ මෙසේ පවස යි: 

the ideas of the ruling class are in every epoch the ruling ideas, i.e. the class which is the ruling material force of society, is, at the same time, its ruling intellectual force.

යුගයක රජයන දෘෂ්ටිවාදය නම් එම යුගයේ රජයන පංතියේ දෘෂ්ටිවාදය ය යන මාර්ක්ස්ගේ සංකල්පය අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරාගේ ඊනියා “ලාංකික” අනන්‍යතාව තුළ වෙස් වළාගෙන සිටියි. වාර්ගික ව අතිශය ධ්‍රැවීකරණය වී පවතින සමකාලීන ලාංකීක සමාජය තුළ ජාතිකත්වය නැති කිරීම නමැති මායාකාරී ප්‍රලාපය ඔජ වඩවා ඊනියා “ලාංකික” අනන්‍යතාවක් ඇති කිරීම යනු අධිපති සිංහල මහා ජාතිකත්වයේ හෙජමොනිකත්වය සුජාතකරණය කිරීමක් පමණකි. 

ජාතික අනන්‍යතා පිළිබඳ ප්‍රශ්නයට විසඳුම ජාතික අනන්‍යතා නැති කිරීම ය යන දෘෂ්ටිවාදය අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා විසින් නිර්මාණය කෙරෙන විට ඔහු යථාර්ථය ය යි අනෙකාට හැඟෙන යමක් පවසයි. එහෙත් එය යථාර්ථය නො ව යථාර්ථයේ ඡායාවකි. එංගල්ස් 1893 වර්ෂයේ ජුලි මස 14 වැනි දින Franz Mehring වෙත ලිපියක් ලියමින් මෙලෙස පවසයි:

Ideology is a process accomplished by the so-called thinker consciously, indeed, but with a false consciousness. The real motives impelling him remain unknown to him, otherwise it would not be an ideological process at all. Hence he imagines false or apparent motives. Because it is a process of thought he derives both its form and its content from pure thought, either his own or that of his predecessors.

ජාතික අනන්‍යතා නැති කර ලාංකික අනන්‍යතාවක් ගොඩ නැඟීම යන අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරාගේ ප්‍රලාපමය  ප්‍රවාදය ව්‍යාජ විඥානයක් (false consciousness) බව අප පවසන්නේ එංගල්ස් අනුයමින් ය. එවැනි ව්‍යාජ විඥානයන් ප්‍රචලිත කිරීම මඟින් අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා විගලිත සමාජ කණ්ඩායම්වලට සමාජ සම්බන්ධතා ඥානනය කිරීමට නො හැකි වන ලෙස ව්‍යාකූලත්වයක් නිර්මාණය කරයි. එනම් පවතින පාලක පන්තියට අභියෝග කළ හැකි විකල්පයක් බිහි වීම ඔහු විසින් වළක්වනු ලබ යි. පාලක පන්තියේ මහගෙදර වත්තේ වැලි නො පාගා ඒ මහ ගෙදර සුරක්ෂිත කරන අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරාගේ න්‍යාය නම් යස අගේ ය. 

යම් යුගයක රජයන පාලක පන්තියේ දෘෂ්ටිවාදය එම යුගයේ රජයන දෘෂ්ටිවාදය ලෙස සමාජය මත සිදු කරන ආචරණය කෙතරම් ප්‍රබල ද යන්නට දිය හැකි මාහැඟි නිදර්ශනයක් වන්නේ ද අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා ම ය. අතීතයේ දී සිංහල-දෙමළ මහා කලා උලෙළක් සංවිධානය කළ පුද්ගයකු වන ඔහු වර්තමානයේ ජාතික අනන්‍යතා නැති කිරීමට කතා කරයි. එලෙස ම ජාතික අනන්‍යතා ප්‍රවර්ධනය පිළිබඳ කතිකාව ඊනියා ජාතිවාදයක් සමඟ පටලවා “දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි විරෝධයකින් තොර සිංහල ජාතිවාදයක් ද, සිංහල, දෙමළ, ඉන්දියානු දෙමළ විරෝධයෙන් තොර දෙමළ ජාතිවාදයක් ද නැත.” යන ප්‍රකාශය කරයි. අහිංසක තරුණ පරපුර නොමඟ යැවීම අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා විසින් වහා ම නවතා දමනු ලැබිය යුතු යි. විශ්‍රාමික වාමාංශිකයකු ලෙස පෙනී සිටිමින් ධනපති පන්තියේ කොන්ත්‍රාත් ඉටු කිරීම වහා ම නවතනු!

අතීත සිංහල පවුලක්

ලාංකික අනන්‍යතාව පිළිබඳ කතිකාව අන්තර්ගතය වශයෙන් විකාසනය වූ ආකාරය අපගේ සංවාදයට අදාළ ව යුග තුනක් ඔස්සේ විමර්ශනය කළ හැකි ය. එනම් ඉංගිරිසි යටත්විජිත සමයේ තෙවැනි කාර්තුව, එයට පෙර සහ පසු වශයෙනි. ඉංගිරිසි යටත් විජිත සම‍යේ තෙවැනි කාර්තුවට පෙර ලාංකික අනන්‍යතාව අන්තර්ගතය ලෙස සිංහල-බෞද්ධ එකකි. එහෙත් නිදහස දිනා ගැනීම පිළිබඳ කතිකාව නැඟී පැමිණි ඉංගිරිසි යටත් විජිත සමයේ තෙවැනි කාර්තුවේ දී ලාංකික අනන්‍යතාවෙන් සිංහල සහ බෞද්ධ යන සංඝටක ගිලිහී ගිය බව පෙනේ. එය නිදහස දිනා ගැනීම පිළිබඳ නිශ්චිත මෙහෙයක් අරබයා සිදු වූවකි. සියලු ජාතීන් ද ආගම් ද ලංකා ජාතික සංගමය තුළ රොද බැඳ තිබිණි (මේ කරුණ සම්බන්ධයෙන් කුමාරි ජයවර්ධන කියවන මෙන් අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරාගෙන් ඉල්ලා සිටිමු). එය තාවකාලික තත්ත්වයක් වු බව නිදහස දිනා ගෙන කෙටි කලකින් ම පැහැදිලි විණි (එම තත්ත්වය පසු ගිය කාලයේ අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරාට එරෙහි ව ගොඩ නැඟි කතිකා මණ්ඩපයට සමාන ය. මහින්දවාදීන් ද, ගෝඨාභයවාදීන් ද, සිංහල ජාතිවාදීන් ද බෞද්ධ ආගම්වාදීන් ද මාර්ක්ස්වාදීන් ද වාමවාදීන් ද අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරාට එරෙහි ව අරගලයේ දී එක ම රේඛාවක පෙළ ගැසුණු බව අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා දකින්නට ඇත!). ජාතික අනන්‍යතා හා ජාතිකත්ව පිළිබඳ පුළුල් කතිකාවකින් තොර ව හුදු අධිරාජ්‍ය විරෝධය ම අරමුණු කර ගෙන ගොඩ නැඟුණු එකී “ලාංකික (Ceylonese)” අනන්‍යතාව එකී කාර්යය සාධනයෙන් පසු දිය වී ගිය බව අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරාට මතක් කර දීමට රිසි ය. ඉන් පසු කාලයේ දී ජාතික අනන්‍යතා ප්‍රවර්ධනය සඳහා ඒ ඒ ජාතීහු ව්‍යාවෘත වූහ. ජාතික අනන්‍යතා පමණක් නො ව ආගමික, කුල හා ප්‍රදේශික අනන්‍යතා ද අඩු වැඩි වශයෙන් පුනර්ජීවය ලද බව නිරීක්ෂණය කළ හැකි ය. යුරෝපා ජාතීන්ගේ යටත්විජිතවාදී වතුවගාව නිසා අපට සිදු වූ ගැටලුව “උඩරට ගවයනට තණ උළා කෑමට භූමියක් නැති වීම ය” යි වරක් අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා පැවසුවේ ය. යටත්විජිත හා පශ්චාත් යටත්විජිත කතිකාව පිළිබඳ අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරාගේ ස්වයංසිද්ධ ඥානයේ මානයන් අප වටහා ගත්තේ එදින ය. අදාළ විෂයේ ඔහුගේ දැනුම පිළිබඳ අප එදින එළඹි නිගමනය සත්‍යය බව ඔහු ම දැන් තහවුරු කරයි.  යටත්විජිත හා පශ්චාත් යටත්විජිත කතිකාවන් පිළිබද ගැඹුරු කියවීමකින් තොර ව අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා පවසන පහත ප්‍රකාශය කෙතරම් සරලමතික ද? 

කුලභේදය නැති කළ හැක්කේ කුලය නැති කිරීමෙනි. කුල, උඩරට, පහතරට වැනි අනන්‍යතාවන් වෙනුවට ජාතිය ස්ථාපිත කිරීමෙන් සිංහල ජාතිය තුළ කුලභේදය සෑහෙන දුරට යටපත් වුණ බව ඇත්තකි.

මෙම සංසිද්ධිය ම යාපනය, වන්නි, මඩකලපු, කුල අනන්‍යතාවන් යටපත් කරමින් දෙමළ අනන්‍යතාව ඉස්මතු වන්නට දෙමළ ජාතික අරගලයේදි හේතු විය.

අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා යථාර්ථයේ ඡායාවන් පෙන්වා තරුණ පරපුර නොමඟ යැවීමක් මෙහි දී ද සිදු කරයි. යම් පුද්ගලයකු උඩරට සිංහල බෞද්ධ පරිසරයක ජන්මය ලබා හැදී වැඩීම එම පුද්ගලයා අන්‍ය ජාතීනට ද අන්‍ය ආගමිකකයනට ද පහතරැටියනට ද ගෞරව කිරීමට බාධාවක් නො වේ.  එලෙස ම යම් පුද්ගලයකු විවාහ වන විට ආගමික කටයුතු සිදු කිරීම හෝ පෝරුවට නැඟීම හෝ එකී පුද්ගලයාගේ අසහාය විප්ලවීත්වය කෙළසා ගැනීමක් ද නො වේ. අවශ්‍ය වන්නේ තමා තම ජාතික අනන්‍යතාව ප්‍රවර්ධනය කර ගැනීමට දක්වන කැමැත්ත හා එයට තමාට ඇති අයිතිය අන්‍යයනට ද ඔවුන්ගේ ජාතික අනන්‍යතාව සම්බන්ධයෙන් පනතින බව පිළිගැනීමට තරම් සමාජ සවිඥානිකත්වයක් වර්ධනය කර ගැනීම යි. එය ආකල්පමය වෙනසකි. ආකල්පමය වෙනස්කම් කුඩා කල සිට ම සිදු විය යුතු ය. වාර්ගික හා ආගමික අනන්‍යතා මත පාසල් වර්ගීකරණය නො විය යුතු ය යන අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා විසින් ගොඩ නැඟෙන සංකල්පය අප අගයන්නේ එනිසා ය. අපට අවශ්‍ය වන්නේ අන්‍ය ජාතීන්ගේ අභිලාෂ කෙරෙහි අනුකම්පාව (sympathy) නො ව තදනුභූතිය (empathy) ය. අර්ථවත් හා ධරණීය ලාංකික අනන්‍යතාවක් ගොඩ නැඟෙන්නේ එමඟින් විනා අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා පවසන ඊනියා ජාතිය නැති කිරීමේ ප්‍රලාපීය ප්‍රවාද මඟින් නො වේ. සිංහලයාට සිංහලයාගේ අනන්‍ය දිවි පෙවෙත ද දෙමළාට දෙමළාගේ අනන්‍ය දිවි පෙවෙත ද ගත කිරීමට ඉඩ නො දෙන අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරාගේ ඊනියා “ලාංකික” අනන්‍යතාව විසින් තව තවත් වාර්ගික අර්බුද විනා වාර්ගික සංහිඳියාවක් නම් ඇති නො කෙරෙනු ඇත. 

බහුවිධ ජාතික අනන්‍යතා පිළිගනිමින් එම අනන්‍යතා අභිභවා යන පුළුල් ජාතික අනන්‍යතාවක් ගොඩ නැඟීම පිළිබඳ මයිකල් රොබර්ට්ස් මෙසේ පවස යි

I hold that a situational   shift from the Level X of meaning ‘up’ to the more encompassing Level Y of meaning    does not mean that X has been discarded like an item of clothing. Rather X is not pertinent    in that situation and is ‘on hold;’ and is therefore available for use when relevant for the    speaker/writer. A Lancashireman arguing fervently with a Yorkshireman about the respective merits of their cricket teams has not discarded his English patriotism, but put it ‘on hold.’ Indeed, the allegiances to the English team (and all that this signifies) may be    partly constituted by his attachment to his locality and his shire.

එහෙත් අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා මෙසේ පවස යි:

ජාතික අනන්‍යතාවන් ආරක්ෂා කිරීම එක් එක් ජාතීන්ගේ ජාතිවාදීන්ගේ වැඩක් මිස ප්‍රගතිශීලීන්ගේ කාර්යයක් නො වේ.

රොබර්ට්ස් පේරාදෙණිය සරසවියේ ඉතිහාස අංශයඇඩිලේඩ් සරසවියේ මානවවිද්‍යා අංශය ද ශෝභමාන කළ ශාස්ත්‍රවන්තයෙකි. ශාස්ත්‍රාලීය ශික්ෂණයක් පුද්ගලයකුට අවශ්‍ය වන්නේ කවර නම් හේතුවක් නිසා ද යන්න රොබර්ට්ස් හා අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිතුරා තම සමාජ විනිශ්චයනට එළඹෙන ආකාරවල වෙනසෙන් පැහැදිලි වේ.

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම. 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s