යුරෝපා සංස්කෘතික උලෙළ: සංක්‍රමණික ලාංකිකයාගේ අහිමි වීම හෙවත් ආශාව

යුරෝපා සංස්කෘතික උලෙළවල සුලභාංග

ආසියාවේ කොදෙව්වක චූල සම්ප්‍රදායක සිට යුරෝපය වැනි සුවිශාල භූගෝලීය වසරියක මහා සම්ප්‍රදායකට සංක්‍රමණය වූ ශාස්ත්‍රීය ශික්ෂණයක් නැති මිනිසුන්ගේ විගලිතභාවය නිසා ඇති වන මානසික පීඩාව ශමනය කර ගැනීමට ඊනියා කලා උලෙළ නිතොර යුරෝපයේ පැවැත් වේ. එහෙත් ඒවා සුළුතර ජන රාශීන්ගේ මුළු ගැන්වීම් විනා මහා උලෙළ නො වේ. දැඩිමුණ්ඩ දේව පොල් තෙල් පහනක් දැල්වීම, ආර්ය සිංහල ඇඳුමින් සැරසීම, ලංකාවෙන් තුට්ටු දෙකේ සරසවි ඇදුරකු ගෙන් වීම හා ඒ ගොබ්බයාගේ ගොබ්බ කතා අසා තාවකාලික මාර්ග ඵල ලැබීම වැනි සරලමතික වැඩ විනා සාහිත්‍යකලා පිළිබඳ ගැඹුරු සංවාදයක් මේ ඊනියා කලා උලෙළ මඟින් සිදු නො වේ. 

භෞතික ව යුරෝපයට සංක්‍රමණය වුවත් මේ බොහෝ අයගේ පරිකල්පන ලෝකය තවමත් ලංකාවේ අර්ධ නාගරික පරිසරය තුළ ම රුඳී පවතී. යුරෝපය සමඟ මුසු වීමට ඇති නොහැකියාව හෙවත් තම භාවමය හා ඥානමය සම්පත්වල දරිද්‍රතාව විසින් යුරෝපා වැසි ලාංකිකයන් දෙබිඩ්ඩන් බවට පත් කරනු ලැබ ඇත. යුරෝපය තුළ වෙසෙමින් මොවුන් පවසන්නේ තමන් හදවතින් ලංකාවේ වෙසෙන බව ය. මෙය ප්‍රලාපයක් ලෙස මම එකල සැලකීමි. එහෙත් එය ප්‍රලාපයක් නො වේ. ‍එය සත්‍ය ප්‍රකාශයකි. මේ අයගේ බහුතරය හදවතින් පමණක් නො ව සමස්ත විඥානයෙන් ම ලංකාවේ වාසය කරති. යුරෝපයට සංක්‍රමණය වූවන්ගේ දෙවන හා තෙවන පරම්පරා වන විට මෙම දෙබිඩි ස්වරූපය ක්‍රමයෙන් ගිලිහී යයි. යුරෝපයේ ම ඉපිද යුරෝපයේ ම හැදී වැඩුණු ලාංකික ප්‍රවේණිකත්වයක් ඇති පුද්ගලයන් තුළ මෙකී දෙබිඩි ස්වරූපය දුලභ ය. නමුත් දැන් දැන් යුරෝපාවාසී ලාංකික මුල් පරම්පරා මෙකී දෙබිඩි ස්වරූපය තම දරුමුනුපුරන්ට උරුම කර දීමට වෙහෙසෙන බව පෙනේ. මෙකී ඊනියා කලා උලෙළ පමණක් නො ව ආගමික දෘෂ්ටිවාද වපුරවන ආගමික ගෘහයන් (මේවා පන්සල් ලෙස ද හැඳින් වේ) ද තැන තැන සාදා ගැනීමට මොවුනට අවැසි ය. ලාංකික ක්‍රීඩා සමාජ, ලාංකික මහිලා සමිති පමණක් නො ව ලාංකික මරණාධාර සමිති ද දැන් දැන් යුරෝපයේ බිහි ව තිබේ. 

මා ඔබට පවසන්නේ ලාංකිකයකු ලෙස ජීවත් වන්නට නම් යුරෝපයට නො පැමි‍ණෙන ලෙස ය. ඔබට සිංහල හාලේ බත පොල් සම්බෝල සහ බැදපු මිරිස් කරල් සමඟ ගිල දමන්නට අවශ්‍ය නම් ඔබ මෙහි එන්නට අවශ්‍ය නැත. අරුමය නම් ලංකාවේ සිටිය දී සිංහල හාලේ බත නො ගිලෙන එවුන් ද මෙහි පැමිණි පසු සිංහල හාලේ බතට ලොල් වීම ය. ඇත්තෙන් ම මොවුනට ලංකාවේ සිටිය දී ද සිංහල හාලේ බත පීසාවලට වඩා දිරවයි. එහෙත් මොවුහු එසේ නො වන බවට රඟති. යුරෝපයේ ජීවත් වෙමින් ඊනියා සිංහල සංස්කෘතියක් සොයන එහෙත් ලංකාවට පදිංචියට යන්නට අකමැති මෙකී ලාංකික සංක්‍රමණිකයන්ගේ හැසිරීම පිළිබඳ මෙම සංසිද්ධිය දාර්ශනික ව රුචිකර ය. 

ආශාව යනු කුමක් ද? යන ප්‍රශ්නයට පිළිතුර මේ මළ කෝලම් තුළ ගැබ් ව පවතී. ආශාව යනු අහිමි වීමේ ඵලය යි. ඔබට යමක් අහිමි වන තරමට ඔබ එයට ආශා කර යි. අහිමි වීම තීව්‍ර වන්නට වන්නට ආශාව ද තීව්‍ර වේ. කුමක් අහිමි වීම ද? අනෙකාගේ අහිමි වීම ය (අනෙකා නො ව අනෙකාගේ අහිමි වීම බව අවධාරණය කරමි). අනෙකාගේ අහිමි වීම යනු අනෙකාගේ ආශාව යි. “අපගේ ආශාව යනු අනෙකාගේ ආශාව යි” යනුවෙන් ලකාන් පවසන්න මෙම සම්බන්ධය යි. අපට අනෙකාගේ ආශාව සුපරිපූර්ණ ව සංකේතීය සරණිය තුළ හැඟවුම්කරණය කර ගත නො හැකි ය. ලකාන්ගේ ආශාවේ වස්තුව පදනම් වන්නේ මෙකී සම්බන්ධය මත ය. අහිමි වීම නිසා හට ගන්නා ආශාව විසින් අපහසුවට පත් වන මනසේ තවකාලික සැනසීම වාස්තවිකත්වයෙන් මිදී සුපරිපූර්ණ පරිකල්පනීය ලොවක ජීවත් වීම ය. ‍එම පරිකල්පනය නරක ම දෙයක් නො වන්නේ ය. එහෙත් එවැනි තාවකාලික සැනසීමක් සඳහා කරන ගෙවීම වන්නේ පුද්ගල අනන්‍යතා අර්බුද ය. යුරෝපයට සංක්‍රමණය වූ ලාංකිකයන්ගේ අනන්‍යතා අර්බුද ශමනය කර ගැනීමට සහය දීම මගේ කාර්යභාරයට අදාළ නැත. එනිසා මම කිසිදු සංස්තෘතික හෝ කලා උලෙළකට සහභාගී නො වෙමි. මට නැති වන්නට ලාංකික අනන්‍යතාවක් ලංකාව තුළ සිටිය දී ද නො තිබිණි. එනිසා මට රෝමයට ගිය විට රෝමානුවකු ලෙස ද අයිස්ලන්තයට ගිය විට අයිස්ලන්තවැසියකු ලෙස ද ජීවත් විය හැකි ය. 

බැද්දේ කුලවමිය

මේ දිනවල මම රූපා ශ්‍රියානි ඒකනායකගේ බැද්දේ කුලවමිය නවකතාව පිළිබඳ විචාරයක් ලියමින් සිටිමි. අහිමි වීම හා ආශාව අතර සම්බන්ධය ඇය තම ‍නවකතාවේ පෙළ තුළ මනා ව විදහා දක්වන බව පෙනේ. නාගරික හා අර්ධ නාගරික පරිසරයක හැදී වැඩුණු වෛද්‍යවරයෙක් යම් අරුමපුදුම ජීවිතාවබෝධයක් එක වර ම ලබා වෛද්‍ය වෘත්තිය අතහැර දමා ග්‍රාමීය වනගත පරිසරයක් සොයා යයි. නගරය තුළ නිර්මාණය වූ ඔහුට ගම යනු සුපරිපූර්ණ ව සංකේතනය කර ගත නො හැකි ෆැන්ටසිමය අත්විඳීමකි. මේ අතර තුර දී ඔහුට චංචලා දේවි නම් ගැමි යුවතිය මුණ ගැසේ. ගැමි පරිසරයක හැදී වැඩෙන චංචලා දේවියට ගම යනු ෆැන්ටසියක් නො වේ. ඇයට අනුව අපාය සමාන ගම අතහැර ඇයගේ ෆැන්ටසිමය පරිසරය වන නගරය කරා එළඹීමට කටයුතු සැකසෙයි. ඇයගේ ආශාවේ විභවය නගරය හා නාගරික උගත් වෘත්තිකයා ය (චංචලාදේවි එකී ආශාවේ බැඳී එකී ආශාව තම ජීවිතයේ අවශ්‍යතාවක් නො කර ගන්නා බව සැබෑ ය). ඇයගේ ආශාව නගරය හා නාගරික උගත් වෘත්තිකයා ය. ඔහුගේ ආශාව ගම හා ගැමි නූගත් ගෘහිණිය ය. ඔබ ඔබගේ ආශාව තෘප්ත නො කර සිටින තෙක් එනම් ඔබට අහිමි දෙය ඔබ හිමි නො කර සිටින තෙක් එය සොඳුරු ය. වෛද්‍යවරයා හා තරුණයා විවාහ වෙති. ආශාව හෙවත් අහිමි වීම නැති ව යයි. දෙදෙනාගේ ම ෆැන්ටසිය බිඳී ඔවුන් යථ හා අභිමුඛ වේ. අවසානය ක්ෂිතිමය අත්දැකීමක් පමණි. 

යුරෝපාවාසී ලාංකික සංක්‍රමණිකයා ලකාන් පිළිබඳ නො දැන සිටිය ද  යථ හා අභිමුඛ වීමේ ක්ෂිතිමය අත්දැකීම කටුක එකක් බව කූට බුද්ධියෙන් දැන ගෙන ඇත (අනුභූතිවාදී ව හෝ බුද්ධිවාදී ව හෝ). එනිසා ඔවුහු ලංකාවට නම් නො යති. ඒ වෙනුවට ආශාවේ වස්තුව පරිකල්පනීය ව පෝෂණය කිරීමට ඔවුහු රුචි වෙති. එම තෝරා ගැනීමේ අතුරු ආබාධ සඳහා ‍ගෙවීමට ඔවුන් සූදානම් ය. ඊනියා කලා උලෙළ යනු එවැනි ගෙවීමකි. ඉන් එහා කිසිවක් එහි නැත. 

ලන්ඩනය වැනි ලාංකික සංක්‍රමණිකයන් සංකේන්ද්‍රණය වන ප්‍රදේශවල මෙකී විකාර සුලභ ය. ඔබ එංගලන්තයට සංක්‍රමණය වන්නේ නම් කරුණාකර ලන්ඩනයෙන් දුරස්ථ ලාංකිකයන් සුලභ නො වන ප්‍රදේශයක් තෝරා ගන්න. ලන්ඩනය තවත් මෙල්බර්නයක් බවට පත් වී අවසන් ය. එසේ නැති නම් ඉතා ළඟක දී ම පත් වන්නට නියමිත ය. 

ලන්ඩනයට සංක්‍රමණය වන ලංකිකයන් සාදරයෙන් පිළිගෙන තම මඩිය තර කර ගන්නට ලාංකික සම්භවයක් ඇති යුරෝපාවාසි සංස්කෘතික මුදලාලිලා උකුසු ඇසින් බලා සිටිති. 

වික්‍රම වික්‍රමාදිත්‍ය වික්‍රමරත්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s