වතුකම්කරු අයිතීන් දිනා ගැනීමේ ඉතිහාසයේ වාම සලකුණ

සුන්දර උඩරට කඳුකරයේ තේ දලු නෙළන ලියන්ගේ ජීවිත සුන්දර නැත

ලංකාවේ වතු වගාව පිළිබඳ කවදත් රසවත් කතා පවසන විශ්‍රාමික  වාමාංශික මිතුරු මහාචාර්යතුමෙකු මෙවර ලාංකික වතුවගා ඉතිහාසයේ චූල පුරාවෘත්තයක් පිළිබඳ රසවත් ලිපියක් ලියා ඇත. මහාචාර්යතුමා ලාංකික වතුවගා ඉතිහාසය පිළිබඳ ප්‍රාමාණිකයෙකි. එනිසා එතුමා විසින් ලියවෙන බොහෝ ලිපිවල වතුවගාව හා එහි බලපෑම පිළිබඳ යම් අදහසක් ගැබ් වේ. මහාචාර්යතුමා ලාංකික වතුවගාවට දක්වන ලාලසාව විසින් මගේ මතකයට ගෙන එන්නේ එකල පේරාදෙණියේ ඉතිහාස අධ්‍යයනාංශය ශෝභමාන කළ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද සූරීන් වෙල්ලස්ස මහා කැරැල්ලට දැක් වූ ලාලසාව ය. මහාචාර්ය විමලානන්ද වෙල්ලස්ස කැරැල්ල පිළිබඳ සඳහන් නො කර කිසිදු දේශනයන් අවසන් නො කරන්නට පුරුදුව සිටියේ ය (සුබස් මිණි කවීන්‍ද්‍ර මයුරවිලයනට උපහාර පිණිස වෙල්ලස්ස කැරැල්ල පිළිබඳ ලිපියක් බන්‍ධුල කුදලාගම විසින් ලිය වී ඉදිරියේ දී පළ වීමට නියමිත ය). විශ්‍රාමික වාමාංශික මිතුරු මහාචාර්යතුමා ලාංකික වතුවගාව පිළිබඳ නව්‍ය න්‍යායක කතුවරයා ද වේ. “යටවිජිතවාදී වතුවගාව නිසා ලංකාවේ ඇති වූ ප්‍රධාන ගැටලුව නම් උඩරට ගවයනට තණ උළා කෑමට භූමිය අහිමි වීම ය” යන නව්‍ය න්‍යායේ කර්තෘවරයාණෝ අප මිතුරු මහාචාර්යතුමාණෝ ය. මහාචාර්ය බුද්ධදාස හේවාවිතාරණට සහ මහාචාර්ය මයිකල් රොබර්ට්ස්ට පසු ලාංකික වතුවගාව පිළිබඳ වැදගත් ම සාරගර්භ කතිකාව ඇති කරන ලද්දේ අප මිතුරු මහාචාර්යතුමා විසින් බව අවිවාදිත ය. 

මහාචාර්යතුමා මෙවර වතුකම්කරුවාගේ දුක්ඛදෝමනස්සයන් පිළිබඳ අවධානය යොමු කර ඇත. ලාංකික වතුවගාවේ ඉතිහාසය පිළිබඳ ප්‍රාමාණිකයෙකු වශයෙන් මහාචාර්යතුමා වතුකම්කරුවා තම වැටුප වර්ධනය කර ගැනීමට කළ අරගලයට ඵෙතිහාසික ප්‍රවේශයක් ලබා ගනී. එක්දහස් නවසිය තිස්නව වැන්නේ (1939) දී නුවරඑළියෙහි උඩහේවාහැට වතුයායක ඇති වූ වතුකම්කරු අරගලයක් ද එහි දී පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය ගෝවින්දන් ද පිළිබඳ මතු නො ව සර් දොන් බාරෝන් ජයතිලක සහ එවකට පොලිස්පති ව සිටි පී. එන්. බෑන්ක්ස් පිළිබඳ ද මහාචාර්යතුමා ලිය යි. එහෙත් එම වතුකම්කරු අරගලයට විප්ලවීය ප්‍රාණය සැපයූ ලංකාවේ පැරණි වම (ලංකා සමසමාජ පක්ෂය) හෝ ඔස්ට්‍රේලියාවෙන් පැමිණ එම අරගලයට සහය දුන් මාර්ක් ඇන්තනී ලිස්ටර් බ්‍රේස්ගර්ඩ්ල් හෝ පිළිබඳ මහාචාර්යතුමා මුනිවත රකී. මෙය ශාස්ත්‍රීය කුහකකමකි; වම පිළිබඳ මහාචාර්යතුමාගේ ආත්මය පුරා නැඟෙන වෛරී කෝපාග්නිය විසින් මෙහෙය වනු ලබන අසාධු හා අශාස්ත්‍රීය චර්යාවකි. 

බිරිතානි යටත්විජිත සමය තුළ ලංකාවේ කෝපි වගාව වාණිජ මට්ටමෙන් වර්ධනය වීමත් සමඟ ඒ සඳහා කම්කරු ශ්‍රමය සපයා ගැනීම පිළිබඳ ගැටලුවක් ඇති විණි. එදවස මෙරට ප්‍රමුඛ වැවිලිකරුවා වූ ජෝර්ජ් බර්ඩ්ගේ ඉල්ලීම පරිදි ආණ්ඩුකාර සර් එඩ්වර්ඩ් බාන්ස් 1827 දී පමණ ඉන්දියාවේ ටැමිල් නාඩුවෙන් ලංකාවට දෙමළ කම්කරුවන් කැඳෙව්වේ ය. දිලීර රෝගයක් ව්‍යාප්ත වීමෙන් කෝපි වගාව බිඳ වැටීමත් සමඟ 1867 දී පමණ ජේම්ස් ටේලර්ගේ මූලිකත්වයෙන් මහනුව‍ර ලූල්කඳුරෙහි දී තේ වගාව ඇරඹෙන කල ලංකාවේ ඉන්දීය දෙමළ වතුකම්කරුවන් පනස්දහසක් (50 000) පමණ සිටින්නට ඇති බව සැලකේ. තේ වගාව සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමඟ ඉන්දීය දෙමළ වතුකම්කරුවන්ගේ සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර 1911 දී සිදු කරන ලද ජන සංගණනයට අනුව ලක්ෂ පහකට (500 000) වැඩි ‍ඉන්දීය දෙමළ වතුකම්කරු ප්‍රජාවක් ලංකාවේ වාසය කර තිබේ (ලංකාවේ පළමු විධිමත් ජන සංගණනය 1871 දී සිදු වුව ද එහි දී ඉන්දීය දෙමළ වතු කම්කරු ජනයා ද ගණනය කෙරුණේ ලාංකික දෙමළ ජනයා සමඟ එක ම කාණ්ඩයක ය. ඉන්දීය දෙමළ වතුකම්කරු ජනයා වෙන ම කාණ්ඩයක් ලෙස ගණනය කෙරුණු පළමු ජන සංගණනය සිදු වූයේ 1911 දී ය). 

මුල් යුගයේ වතුකම්කරුවෝ

වතුවගාව සමඟ මෙලෙස වැඩුණු වතුකම්කරු ජනතාව ඉතා දුක්ඛිත, තිරිසන් සමාන ජීවන තත්වයකට ඇද දමනු ලැබ තිබිණි. මනුෂ්‍ය ජීවිතයට නුසුදුසු ඊනියා ලයින් කාමරවල තෙරපෙමින් ඔවුහු මිහිබට අපායක ජීවත් වූහ. බිරිතානි යටත් විජිතවාදීන් මෙන් ම ලාංකික වරප්‍රසාදිත ජනයා ද මෙකී ඉන්දීය දෙමළ වතුකම්කරුවන්ගේ ශෝචනීය ජීවන තත්ත්වය කෙරෙහි උනන්දු වූයේ නැත. ජෝර්ජ් බර්ඩ්ගේ සිට ජෙරොනිස් ද සොයිසා දක්වා ද ජේම්ස් ටේලර්ගේ සිට චාර්ල්ස් හෙන්රි ද සොයිසා දක්වා ද එකදු වැවිලිකරුවෙකුට හෝ වතුතම්කරුවාගේ දුක්ඛදෝමනස්සය විෂය වූයේ නැත. වතු කම්කරුවාගේ ශ්‍රමය සූරා කා නිෂ්පාදනයේ අතිරික්ත වටිනාකම සංචිත කර ගැනීම පමණකි වැවිලිකාර පන්තියට අවශ්‍ය වූයේ. 

එක්දහස් නවසිය විසිඅටේ (1928) දී ඩොනමොර් කොමිසම විසින් සර්වජන චන්ද බලය ලාංකිකයනට ලබා දීමේ දී පස් වසරකට වැඩි කලක් ලංකාවේ වාසය කළ ඉන්දීය දෙමළ වතුකම්කරු ජනයාට ද එකී ඡන්ද බලය ලබා දීමට නිර්දේශ කරනු ලැබීමෙන් පසු ලාංකික ප්‍රභූ පන්තිය වතුකම්කරුවා පිළිබඳ අවධානය යොමු කරන්නට වූහ. සත්‍ය ලෙස ම ලාංකික ප්‍රභූ පන්තියට අවශ්‍ය වූයේ වතුකම්කරුවනට ඡන්ද බලය නො දී සිටීමට ය. උඩරට සිංහලයා ද පොන්නම්බලම් රාමනාදන් මහත්මා විසින් නියෝජනය කෙරුණු ලාංකික ප්‍රභූ ‍දෙමළා ද ඇතුලු බොහෝ ප්‍රභූහු වතුකම්කරුවාට ඡන්ද බලය ලබා දෙන ඩොනමොර් නිර්දේශයට වි‍රුද්ධ වූහ. ජාතික සමඟිය පිළිබඳ උනන්දුවක් තිබූ ඩී. එස්. සේනානායක මහත්මා වුව වතුකම්කරුවාට ඡන්ද බලය ලබා දීමට ප්‍රබල ව පෙනී නො සිටියේ ය. එම අවස්ථාවේ දී එතුමා වතුකම්කරුවාගේ ඡන්ද අයිතියට  විරුද්ධ වූ බවක් ද නො පෙනේ.

අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගැනීම පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් ගොඩ නැඟෙන එක්දහස් නවසිය තිහේ දශකයේ දී තරුණ සංගමය වටා රුස් වූ තරුණ බුද්ධි ජීවීන් ඔස්සේ ලංකාව තුළ මාර්ක්ස්වාදී අදහස් ව්‍යාප්ත වන්නට විණ. කම්කරුවා මූලික කර ගත් සමාජ විප්ලවයක් විශ්වාස කළ මාර්ක්ස්වාදය විසින් කම්කරු අරගල පිළිබඳ ආස්වාදය ලාංකික සමාජය තුළ ජනනය කරන ලදී. එක්දහස් නවසිය තිස්තුන (1933) වසරේ දී ඇවිළී ගිය වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරු අරගලය ලාංකික මාර්ක්ස්වාදී දේශපාලනයෙහි සමාරම්භක සන්ධිස්ථානයකි. උඩකැන්දවල සිරි සරණංකර හිමි වැනි පැවිදි උතුමන්ගේ ද අනුශාසකත්වයෙන් යුතු ව එක්දහස් නවසිය තිස්පහ (1935) වසරේ දී පිහිටුවා ගනු ලැබූ ලංකා සමසමාජ පක්ෂය කම්කරු අරගලය නව මානයකට ගෙන යමින් ඉන්දීය දෙමළ වතු කම්කරුවාගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා පුළුල් ව පෙනී සිටියේ ය. වතු කම්කරුවෝ රොද බැඳ ඇන්. ඇම්. සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ලංකා සමසමාජ පක්ෂය වටා එක්රැස් වූහ.  

මාර්ක් ඇන්තනි ලිස්ටර් බ්‍රේස්ගර්ඩ්ල් සමඟ කොල්වින්, විල්මට් හා පිලිප් ඇතුළු සමසමාජ සහෝදරවරු

ඉංගිරිසි සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවකු වූ මාර්ක් ඇන්තනි ලිස්ටර් බ්‍රේස්‍ගර්ඩ්ල් තේ වතු කර්මාන්තය හැදෑරීම සඳහා ඒස්. එස්. බෙන්ඩිගෝ නෞකාවෙන් ලංකාවට පැමිණෙන්නේ මේ කාලයේ දී ය; එනම් 1936 වර්ෂයේ දී ය. මාතලේ දිසාවේ රිලුගස් වතුයායේ වැඩ කටයුතු අරඹන බ්‍රේස්ගර්ඩ්ල් වතු කම්කරුවන් විඳි දුක්ගැහැට දැක මහත් කම්පාවට පත් වන්නේ එම වර්ෂයේ දී ම කොළඹ දී කොල්වින් ආර්. ද සිල්වා සහෝදරයාගේ මැදිහත් වීමෙන් ලංකා සමසමාජ පක්ෂයට බැඳෙන්නේ ය. සුදු ජාතිකයනට සහ ඔවුනට ගැතිකම් කළ ලාංකික වැවිලිකාර පන්තියට එරෙහි ව සුදු ජාතිකයකු ද සමඟ පැමිණ වතුකම්කරුවාගේ අයිතිවාසිකම් උදෙසා සටන් කළ ලංකා සමසමාජ පක්ෂයට තව තවත් වතු කම්කරුවෝ ආකර්ෂණය වූහ. ලංකා සමසමාජ පක්ෂය විසින් දෙමළ භාෂාවෙන් පළ කරවන ලද සමධර්මන් පුවත්පතෙන් කම්කරු අයිතිවාසිකම් පිළිබඳ වතුකම්කරුවාගේ සවිඥානිකත්වය වර්ධනය කෙරිණි. ලංකා සමසමාජ පක්ෂයේ නායකත්වයෙන් මෙහෙය වුණු සමස්ත ලංකා වතුකම්කරු සමිතිය විසින් වතුකම්කරුවාගේ සුභසාධනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කෙරිණි.

ලංකා සමසමාජ පක්ෂය විසින් වතුකම්කරුවා තුළ රෝපණය කරන ලද කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ සවිඥානිකත්වය වර්ධනය වීමෙන්  එක්දහස් නවසිය තිස්නවය (1939) වර්ෂයේ අග දී උඩරට වතු කම්කරුවෝ මහා කම්කරු අරගලයක් ඇරඹූහ. එම අරගලය ළැව්ගින්නක් සේ පැතිර ගියේ ය. මෙහි තීරණාත්මක අවස්ථාවක් මහනුවර දිසාවේ හේවාහැට මූල්ඔය වතුයායේ සටහන් විණ. මූල්ඔය අරගලය ඇරඹුණේ සමස්ත ලංකා වතුකම්කරු සමිති‍යට සම්බන්ධ ව වතුකම්කරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කළ මූල්ඔය වතුයායේ සේවක සිවනාදන්ට වතු පරිපාලනය විසින් ලබා දුන් ස්ථාන මාරුවක් නිසා ය. වතුකම්කරුවාගේ වැටුප සත සතළිසේ සිට තවත් සත දහසයකින් වැඩි කර ගැනීම පිළිබඳ ඉල්ලීම මතු ව පැමිණියේ පසු ව ය. මූල්ඔය වතුයායේ පාලකයා වූ ඩබ්ලිව්. ඊ. ස්පාර්ලිං දැඩි මර්දනකාරීත්වයකින් වතුකම්කරු අරගලයට මුහුණ දුන්නේ ය. රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි නුවරඑළියේ මන්ත්‍රී ව සිටි එෆ්. ඩබ්ලිව්. අබේගුණසේකරගේ අනුදැනුමෙන් යුතු ව, මූල්ඔය වතුයායේ වැඩ කිරීමට නව කම්කරුවන් බඳවා ගැනීමට ස්පාර්ලිං කටයුතු කළේ ය. එනිසා නව කම්කරුවන් හා පැරණි කම්කරුවන් අතර ගැටුමක් ඇති විණි. මෙම ගැටුම මැඬලීමට පැමිණි පොලිසියේ වෙඩිල්ලකින් වතුකම්කරුවකු වූ ගෝවින්දන් 1940 වර්ෂයේ ජනවාරි මස 19 වැනි දින මිය ගියේ ය. වතුකම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනේ දී දිවි පිදූ පළමු වැනි වතුකම්කරුවා ලෙස ගෝවින්දන් ඉතිහාසගත වූයේ ය. එක්දහස් නවසිය හැට වසරේ දී ලංකා සමසමාජ පක්ෂයේ කෙටි ඉතිහාසයක් ලියූ ලෙස් ගුණවර්ධන එහි පළමු  වැනි පරිච්ඡේදයෙහි ලා ගෝවින්දන් පිළිබඳ මෙසේ පවසයි: “the first of a long list of martyrs of the working class in the plantations”. 

මාර්ක්ස්වාදය මත පදනම් වූ ලංකා සමසමාජ පක්ෂය ප්‍රමුඛ වම වතුකම්කරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින විට අප මිතුරු මහාචාර්යතුමාගේ වර්තමාන ආගමික නිකාය වන එක්සත් ජාතික පක්ෂයේ හැසිරීම කෙසේ වී ද? ඉතා නින්දිත ය; නිකෘෂ්ට ය; නිර්ලජ්ජිත ය. එක්දහස් නවසිය විසිඅටේ (1928) දී ඩොනමොර් කොමිසම විසින් නිර්දේශ කරනු ලැබූ සර්වජන ඡන්ද බලය වතුකම්කරුවනට ලබා දීම පිළිබඳ ඇල්මැරුණු ස්වභාවයකින් කටයුතු කළ ඩී. එස්. සේනානායක මහත්මා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය 1947 වන විට තම ස්ථාවරය වෙනස් කළ බව පෙනේ. ඉන්දීය දෙමළ වතුකම්කරුවා ලංකා සමසමාජ පක්ෂය වටා රැස් වනු දැකීමෙන් දේශපාලන බියක් ඇති කර ගත් සේනානායක මහත්මා 1948 දී ලංකා පුරවැසි පනතෙන් ද 1949 දී ඉන්දු-පකිස්ථාන් පුරවැසි පනතෙන්පාර්ලිමෙන්තු මැතිවරණ පනතේ සංශෝධනයකින් ද වතුකම්කරුවාගේ ඡන්ද බලය කප්පාදු කළේ ය. 
 
එක්සත් ජාතික පක්ෂය වතුකම්කරුවාගේ ඡන්ද අයිතිය හා සමාජ අයිතිවාසිකම් පිළිබඳ යම් සාධනීය සැලකිල්ලක් දැකවූයේ 1977 දී ජයවර්ධන පාලන සමයෙහි දී ය. ඒ වන විට වතුකම්කරුවා  වමෙන් ඉවතට විකර්ෂණය වී තිබුණේ පමණක් නො ව පැරණි වම ද විනාශ ව ගොස් තිබිණ. ජයවර්ධන මහත්මාට බිය වන්නට කරුණුකාරණ නො තිබිණ. වතුකම්කරුවා තම අභිමතය පරිදි ජයවර්ධන පාලනයේ චිරස්ථිතියට යොදා ගැනීම සඳහා අවශ්‍ය පුද්ගල සාධකයක් 1977 වන විට ජයවර්ධන මහත්මා විසින් වසඟයට ගනු ලැබ තිබිණි.  එකී පුද්ගල සාධකය වූයේ සෞම්‍යමූර්තී තොන්ඩමන් මහත්මා ය. වතුකම්කරුවා වාමාංශිකයාගෙන් වෙන් කිරීම ඇරඹෙන්නේ 1939 දී මතු ව පැමිණි සෞම්‍යමූර්ති තොන්ඩමන් මහත්මාගේ නැඟීම සමඟ ය. එතැන් සිට අඩසියවසකට වැඩි කාලයක් පුරා ලංකාවේ රජුන් තනන්නා බවට තොන්ඩමන් මහත්මා ක්‍රමයෙන්  පත් වූ අතර  ලාංකාවේ ආදිවාමාංශික පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සාරි පොටේ එල්ලී තම ‍වාම දේශපාලන පිවිතුරු බව නසා ගත්තේ ය. 1948 දී ලංකා පුරවැසි පනතට විරුද්ධ වූ තොන්ඩමන් මහත්මා 1964 දී සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමට ද විරුද්ධ වූයේ ය. කන්කානියකු ලෙස සේවය කිරීමට ඉන්දියාවෙන් ලංකාවට පැමිණි තොන්ඩමන් පරම්පරාව නුවරඑළියෙහි වේවන්ඩන් වතුයායේ හිමිකරුවන් බවට පත් වුව ද ලංකා දේශපාලනයෙහි දශක හයකට වඩා කාලයක් රැඳී සිටිය ද වතුකම්කරුවාගේ දුක්ඛිත තත්ත්වය වෙනස් වූයේ නැත. එක්දහස් අටසිය විසි හතේ (1827) සිට වතුකම්කරුවා සිරකර තබන ලයින් කාමරයෙන් ඔහු මුදවා ගන්නටවත් තොන්ඩමන් මහත්මාට හැකි වූයේ නැත. තොන්ඩමන්ගේ සිට දිගම්බරන් දක්වා ඊනියා  වතුකම්කරු නායකයන් සිදු කළේ ද සිදු කරමින් සිටින්නේ ද වතුකම්කරුවාගේ ඡන්දය ධනපති පාලක පන්තියට විකිණීම පමණි. එසේ විකුණා ලබන ලාභයෙන් සොච්චමක් වතුකම්කරුවන්ගේ සුභසාධනයට යෙද වේ. අප මිතුරු මහාචාර්යතුමා දිවා රෑ නො බලා කුලී සේවය සපයන ඔහුගේ ශාස්තෘවරයා ද ධනපති ක්‍රමයේ කයිකාවල වන පාර්ලිමේන්තුවෙහි දී කලිසම උස්සමින් වතුකම්කරුවනට ලබා දීමට පොරොන්දු වූ කිසිවක් මේ දක්වා ලබා දී නැත. 
 
එක්දහස් අටසිය විසිහතේ (1827) දී ඇරඹි ඉන්දීය වතුකම්කරුවාගේ ඉතිහාස කතාව තුළ ලංකාවේ පැරණි වම වූ ලංකා සමසමාජ පක්ෂය ඉටු කළ කාර්යභාරය අද්විතීය බව ඉතා පැහැදිලි ය. වතුකම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයේ පදනම සකස් කළේ ද එම අරගලය න්‍යායාත්මක ව පෝෂණය කළේ ද භාවිතය මඟින් එම අරගලය යථාකරණය කළේ ද වම ය. එකදහස් නවසිය හතළිහ (1940) වසරේ ජනවාරි මස දහනව (19) වැනි දින පාලක පන්තියෙහි රුදුරු ‍වෙඩි සැරෙන් ගෝවින්දන් ඝාතනය වීම යනු වාම වතුකම්කරු අරගලයෙහි ඵෙතිහාසික සලකුණ යි. එතැන් සිට වසර හැත්තෑහයකට පසු ලාංකික වතුකම්කරු අරගලය ක ගෝවින්දන් පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් ලියන විශ්‍රාමික වාමාංශික මිතුරු මහාචාර්යතුමාට වම අමතක වීම අහම්බයක් ද? එදවස ලංකාවේ පොලිස්පති ව සිටි පිලිප් නෝර්ටන් බෑන්ක්ස් පිළිබඳ අමතක නැති මහාචාර්යතුමාට මූල්ඔය වතුකම්කරුවනට සහල් සැපයූ වම අමතක වීම යනු අහම්බයක් නො ව සුනිශ්චිත ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය වූ කලී ඉතිහාසයෙන් වම මකා දැමීමේ ‍අනවරත අභිලාෂය යි. මහාචාර්යතුමාගේ යුගකාරක නිබන්ධනය වන ලංකාවේ ආගමික ශාස්තෘන්ගේ යාවත් කළ ලේඛනයෙහි ලාංකික වාම ඉතිහාසය පිළිබඳ පරිච්ඡේදයෙන් උඩකැන්දවල සිරි සරණංකර හිමිගේ සිට කීර්ති බලෙසූරිය සහෝදරයා දක්වා සමය ගිලිහී ගොස් ඇත්තේ ද එම ව්‍යාපෘතියේ ම කොටසක් වශයෙනි. 
 
භෞතිකවාදී ලෝක දෘෂ්ටියට අනුව මානවයාගේ ඉතිහාසය යනු පන්ති අරගලයේ ඉතිහාසය ය. විශ්‍රාමික වාමාංශික මිතුරු මහාචාර්යතුමාගේ  විඥානවාදී ලෝක දෘෂ්ටියට අනුව ඉතිහාසය යනු පාලක පන්තියේ වරණීය ඉතිහාසය යි. මහාචාර්යතුමාට ලෙස්ලි ගුණවර්ධන හෝ රොමිලා තාපර් හෝ මුණ ගැසී නැත; මුණ ගැසෙන්නේ ද නැත. විශ්‍රාමික වාමාංශික මිතුරු මහාචාර්යතුමනි, කරුණාකර තරුණ පරපුර නො මඟ යැවීම වහා ම නවතා දමනු මැනවි. 
 
සෑගිරියේ කීරාළ විසිනි.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s