රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටිය සහ නීතියේ කාර්යභාරය

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටිය

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියට (COPE – Committee On Public Enterprise) කළ හැකි වන්නේ කරුණු ගවේෂණයක් සහ ඒ පිළිබඳ වාර්තාකරණයක් පමණ යි. එමඟින් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සම්බන්ධයක් ඇති කෙරේ. ව්‍යවස්ථාදායකයේ අනුමැතිය මත මහජන මුදල් රාජ්‍යය විසින් වියදම් කරනු ලැබීම පිළිබඳ ප්‍රත්‍යවලෝකනීය ආවේක්ෂණ සහ සංතුලන ක්‍රියාවලියක් එකී කොමිටිය ‍විසින් සිදු කරනු ලැබ විධායකයේ අවධානය පිණිස යොමු කෙරේ. රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියේ මෙකී සීමාව අප විසින් වටහා ගත යුතු ය. ‍‍ඵෙතිහාසික ව මෙකි කොමිටිවල සභාපති ධුරය වාමාංශිකයනට ලැබීම රසවත් අහඹුවකි. එහෙත් නීරස සත්‍යය නම් බර්නාඩ් සොයිසාගේ (එවකට රාජ්‍ය ගිණුම් කොමිටිය යටතේ) සිට සුනිල් හඳුන්නෙත්ති දක්වා සභාපති ධුර දැරුවන් ද සාමාජිකයන්ගේ බහුතරය ද මෙකී රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියේ කාර්යභාරය හා සීමාව නැත හොත් ප්‍රොටෝකෝලය (මගේ හිතවතකුගේ “ප්‍රොටෝකෝලය” යන පේටන්ට් වදන ප්‍රතිරෑපණ අයිතිය උල්ලංඝනය කර මම භාවිතයට ගනිමි!) නො දැන හෝ දැන හෝ නො සලකා හැරීම යි. මෙකී කොමිටිය සඳහා නිර්දේශ වන සමාජිකයන් ද සභාපති ද ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිවාදයන් සහ න්‍යාය පත්‍ර මත කටයුතු නො කළ යුතු වීම මූලික අවශ්‍යතාවයකි. එහෙත් වර්තමානය වන විට මෙකී කොමිටිය ද දේශපාලන පක්ෂ මූල ව ධ්‍රැවීකරණය වූ තවත් එක් සමූහයක් බවට පත් ව ඇත. 

සුනිල් හඳුන්නෙත්ති හා එහි සාමාජිකයන් කොමිටියේ දී හැසිරෙනුයේ තම ප්‍රොටෝකෝලය පිළිබඳ වගේ වගක් නැති ව ය. සුනිල් හඳුන්නෙත්ති සභාපතිකම අතහරින්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මිස වෙනත් සැලකිය යුතු හේතුවකට නො වේ. කොමිටියක විවිධ මත ගැටුම් වන බව නො දැන සිටින්නට හඳුන්නෙතති යනු තොත්ත බබෙක් නො වේ. තමා භාර ගත් කාර්යය නිසි ලෙස අවසන් නො කර අතර මඟ දී හැර යෑම ජනතා විමුක්ති පෙරමුණේ අනන්‍ය ලක්ෂණයකි. හඳුන්නෙත්ති යනු හොඳ ජනතා විමුක්ති පෙරමුණු සමාජිකයෙකි. ඔහු මෙම නාඩගම නටන්නට සැරසෙන බව දුරදක්නා නුවණින් ඇතැම් දේශපාලන විචාරකයෝ කල් තියා ම පැවසූහ. සභාපති  හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ සුපුරුදු න්‍යාය පත්‍රයට අනුව වැරදිකරුවන් නම් කර ඔවුනට දඬුවම් කළ යුතු බවට නිර්දේශාඥා නිකුත් කර යි. “තමා හැදූ” වාර්තාවක් පිළිබඳ මාධ්‍ය සංදර්ශන පවත්වන සභාපති හඳුන්නෙත්ති ඇතැම් සමාජිකයන් ප්‍රතිවිරුද්ධ මත දැරීම “හොරුන් ආරක්ෂා කිරීමක්” ලෙස අර්ථකථනය කරයි. අයෙක් කෝප් වාර්තාව යනු ජූරියේ තීන්දුව වැනි ඒකමතික හෝ බහුතර හෝ “තීන්දුවක්” විය යුතු බව පවසති. නීතිය පිළිබඳ ප්‍රවීණ ගුරුවරයකු වන සාමාජිකයෙක් යම් යම් පුද්ගලයනට දඬුවම් කිරීමට තමා කෝප් වාර්තාවෙන් නිර්දේශ කළ බව පවසයි. දඬුවම් කළ හැකි වන්නේ නීති ප්‍රකාර ව ය. එය අධිකරණයේ කාර්යභාරයකි. දශක හතරකට වඩා අතීතයේ දී අහෝසික කරන ලද අධිනීතිඥ නම් අපනාමයකින් තමා හඳුන්වා ගන්නා එම සාමාජිකයා මෙලෙස නිර්දේශ කළේ ගරු අධිකරණයට ද? එසේ කරන්නට ඔහුට බලතල පැවරී නැත. නීති විද්‍යාල ප්‍රවේශ විභායට රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියේ කාර්යභාරය නැති නිසාවත් ‍ඔහු ඒ පිළිබඳ නො දන්නේ ද යන සැකය මසිත නැඟේ. 

කොප් වාර්තාව මහ බැංකු බැඳුම්කර ගැටලුව අලළා මෙතරම් උත්කර්ෂණයට ලක් කළ යුතු ද? යන්න විමසා බලනු වටී. කෝප් වාර්තාවේ බැරෑරුම්කම ඇගයිය යුත්තේ අදාළ කොමිටියේ සාමාජිකත්වය මත ය. මෙහි සාමාජිකත්වය සැකසෙන්නේ පාර්ලිමේන්තුවේ සමාජිකයන්ගෙනි. ලංකාව වැනි සර්වනියෝජිත පාර්ලිමේන්තුවක (ජාතික ලැයිස්තුව යනු සාමි මන්ත්‍රී මණ්ඩලයක් හෝ කොංග්‍රස් සභාවක් නො වේ) සාමාජිකයන්ගෙන් සැඳුම් ලත් පාර්ලිමේන්තු කොමිටිවල ඇති ප්‍රධාන ගැටලුව වන්නේ විමසුමට බඳුන් වන ප්‍රස්තුත කාරණය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත පුද්ගලයන් මෙම කොමිටිවල නො සිටීම ය. රාජ්‍ය ව්‍යවසාය වැනි ක්ෂේත්‍රයක් පිළිබඳ තීන්දු තීරණ හා නිර්දේශ නිකුත් කිරීමට තරම් සුවිශේෂි හැකියාවක් මෙම ඊනියා කොමිටුවලට පත් වන පුද්ගයනට නැත. මගේ හිතවත් දේශපාලන විචාරකයකු නිවරද ව වරක් පැවසූ ලෙස ම යම් ප්‍රස්තුත කාරණයක් පිළිබඳ ප්‍රශ්න කිරීමට විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත විශේෂඥයකු විය යුතු නැත. එහෙත් එම කාරණය පිළිබඳ තීන්දු තීරණ ගෙන විසඳුමක් ලබා දීමට නම් අදාළ කාරණය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් හා විශාරදත්වයක් තිබිය යුතු ය. එසේ නො වන සාමාජිකත්වයකින් යුත් ඊනිය‍ා පාර්ලිමේන්තු කොමිටි මඟින් සිදු වන්නේ සාමාන්‍ය රටවැසියන් විසින් කරනු ලබන ප්‍රශ්න කිරීම ම විසඳුම් සෙවිය යුතු තැන දී ද සිදු කරනු ලැබීම ය. එවැනි කොමිටි වාර්තා බැරෑරුම් ලෙස ගෙන කටයුතු කිරීම රාජ්‍ය ව්‍යවසාය තව තවත් අකර්මණ්‍ය කිරීමකි. ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමති වූ කල ඔහු මේ බව වටහා ගත් බව පෙනේ. ඔහු විශේෂඥයන්ගෙන් යුත් සංස්ථා අංශයක් මුදල් අමාත්‍යාංශයේ පිහිටුවා ගෙන පාර්ලිමෙන්තු කොමිටි කාර්යභාරය ඉටු කර ගත්තේ එනිසා ය. මෑතක් වන තුරු ම ඊනියා කෝප් වාර්තා කිසිවෙකු විසින් බැරෑරුම් ව සැලකුවේ ද නැත. ඒ පෙර කී හේතු නිසා ය. කෝප් නිර්දේශ යනු ඇමෙරිකාවේ කොංග්‍රසය හෝ එංගලන්තයේ සෙනටය හෝ වැනි විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති මණ්ඩලයක තීන්දු තීරණ නො වේ. ‍එසේ නම් මහජන මුදල් ද කාලය ද නාස්කි කරන අර්ථශූන්‍ය සංයුතියකින් යුත් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියක් මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ මේ නටන නාඩගම කුමක් ද? 

ආණ්ඩුව මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනයට මෙවැනි කොමිටියක් පත් කර ගන්නේ ම මෙවැනි නාඩගමක් නටමින් කාලය නාස්ති කිරීමට හා ජනතා අවධානය මෙවැනි නාඩගම්වලට යොමුකර ගැනීමට ය. මේ කොමිටි වාර්තාව පළ කළ පමණින් කිසිවක් සිදු ව නැත. හඳුන්නෙත්තිගේ බහුභූත සාක්ෂිවලින් සවිමත් නීති තර්කයක් හෝ නෛතික සාක්ෂියක් මතු ව එන්නේ නැත. එසේ වන්නට ද නො හැකි ය. ඔහු සහ ඔහුගේ ගෝල රෑනට කළ හැකි වන්නේ පොදු රටවැසියන් කරන ටික ම පමණි. විගණකාධිපති වාර්තා ද අවශේෂ වාර්තා ද නිලධාරීන් ප්‍රශ්න කිරීමේ වරය ද අජිත්ට ලබා දුන්නා නම් හඳුන්නෙත්තිගේ ඊනියා කෝප් වාර්තාවට වඩා පදනමක් සහිත වාර්තාවක් ඊට අඩු කාලයක දී සියල්ල දත් මුහුණුපොත් විශේෂඥයන් විසින් ලබා දෙනු ලබන බව මට විශ්වාස ය. 

අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු බැඳුම්කර සිද්ධියේ දී කර ඇති මැදිහත් වීම නෛතික ගැටලුවකට වඩා ආචාර ධර්මීය ගැටලුවකි. මහ බැංකුවේ බැඳුම්කර ගැනීමකට මහ බැංකුවේ අධිපතිගේ බෑණා ඉදිරිපත් වීම හා ඒවා ඔහු විසින් හිමි කර ගනු ලැබීම යනු බැඳියාව පිළිබඳ ගැටුමකි. බැඳියාව පිළිබඳ ගැටුමක් යනු මූලික ව ම ආචාර ධර්මීය කාරණයකි. එවැනි බැඳියාව පිළිබඳ ගැටලුවක් සිදු නො වන සේ කටයුතු කළ යුතු ව තිබිණි. ඔක්ස්ෆර්ඩ්හි ඉගෙන අන්තර්ජාතික ආයතන රැසක ඉහළ ම තනතුරු දැරූ අර්ජුන මහේන්ද්‍රන් සේ ම කොළඹ සරසවියේ නීතිය මැනැවින් උගත්, දශක හතරක දේශපාලන පරිචයක් ඇති අගමැති වික්‍රමසිංහ ද මෙම බැඳුම්කර ගනුදෙනුවේ බැඳියාව පිළිබඳ ගැටුම ද නෛතික තත්ත්වය ද දැන සිටි බවට මට නම් කිසිඳු සැකයක් නැත. බැඳියාව පිළිබඳ ගැටුමක් නෛතික ගැටලුවක් විය හැකි මුත් එය නෛතික ව සාධනය කිරීම පහසු කාර්යයක් නො වේ. ආචාර ධර්ම රුකිය යුත්තේ එමඟින් සුරැකෙන කාරණා නීතිය මඟින් සුරැකීමට අපහසු නිසා ය. හඳුන්නෙත්තිගේ ඕපාදූප කතා නෛතික සාක්ෂ්‍ය නො වේ. වැලිපාරවල හොර ගමන් යන්නෝ පිය සටහන් නො තබන්නට වග බලා ගනිති. අර්ජුන මහේන්ද්‍රන් නීතිය මඟින් නිදොස් කර නිදහස් කෙරෙනු ඇත. එහෙත් මානව චිත්තයේ යම් ගැඹුරු තැනෙක සැඟ ව ඇති හෘදය සාක්ෂිය නම් හැඟුමක් විසින් මේ ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයනට දිවි ඇති තුරා දඬුවම් කරනු ඇත. එම දඬුවමේ වේදනාව වැඩිපුර ම දැනෙනු ඇත්තේ දශක හතරකට වැඩි කාලයක් මූල්‍ය පාරිශුද්ධත්වයක් රැක ගෙන පැමිණි අගමැති වික්‍රමසිංහට ය. ඔහුට අත් වූ ඛේදනීය ඉරණම පිළිබඳ මම ද කනගාටු වෙමි. 

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටිය විසින් නැටුණු තොවිලයකුත් නැත; බෙරේ පළුවකුත් නැත. මහබැංකු බැඳුම්කර සිද්ධිය සහ කෝප් වාර්තාව විසින් අපට හඬ නඟා පවසන්නේ පශ්චාත් යටත්විජිත ලංකාවේ රජ්‍යකරණය තව දුරටත් ඉදිරියට ඇද ගෙන යා නො හැකි තරම් යල් පැන ඇති බව යි. එම රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය කිරීම යුහුසුළු ව කළ යුතු කාර්යයකි. රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය යනු ව්‍යවස්ථාදායකය, විධායකය හා මූලික නීතිය යන ඒවායේ ව්‍යුහාත්මක  හා කෘත්‍යාත්මක වෙනසක් සිදු කරන ආණ්ඩුකරණයේ වෙනසකි. ලාංකීය සමාජය රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය පිළිබඳ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු නො සලකා හැර ඇති සෙයකි. රජය ද සිවිල් සමාජය ද මාධ්‍යය ද මහ බැංකු බැඳුම්කර සිද්ධියක් හා කෝප් වාර්තාවක් දෙස ආලෝක ධාරා යොමු කර නෙතු පිය නො හෙළා බලා සිටින කල පැරණි වාමාංශිකයෙකුගේ මූලිකත්වයෙන් මෙරටේ මූලික නීතිය වෙනස් කරන්නට කටයුතු සිදු කෙරේ. සමස්ත රටවැසියා ම දායකත්ව ය දැක්විය යුතු මූලික නීතිය වෙනස් කිරීම යනු හුදු නෛතික කාර්යක් නො ව දේශප‍ාලන කාර්යයකි. මෙරටේ මූලික නීතිය වෙනස් කළ යුත්තේ උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පමණක් නො ව, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය කරා යන ගමනේ අනුශාංගික කොටසක් ලෙස ය. ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය නැති වූයේ රාජ්‍යකරණයේ ස්වභාවය තුළ ය. එහෙත් අප ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සොයමින් සිටින්නේ එය ගිලිහීමට ‍අදාළ තැන නො වේ. රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය වන තැන අඳුරේ තබා ප්‍රතිඵල රහිත කාර්යයක් වෙත අප විසින් ආලෝකය යොමු කරනු ලැබ ඇත. සමාජය නම් සරසවියෙන් බිහි වූ සමාජ බුද්ධිමතුන් රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය පිළිබඳ මීට වඩා අවධානය යොමු කළ යුතු ය. ඒ කාර්යය පැරණි වාමාංශිකයෙකුට බාර කර බලා සිටීම භයානකා චර්යාවකි. රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය පිළිබඳ පැරණි වාමාංශිකයන්ගේ ඉතිහාසය බියකරු ය. 

දහස් වරක් පවසනු ලැබූ දෙයන් අවසන යළිත් පවසමි. අප ඉඳිකටුව සොයමින් සිටින්නේ ආලෝකය ඇති පහන් කනුව යට ය. එහෙත් ඉඳි කටුව නැති වූයේ වෙන තැනක ය. ඉඳි කටුව නැති වූ තැනට ඔබගේ ඥානාලෝක කදම්බය යොමු කරන්න. අප ඉඳි කටුව සෙවිය යුත්තේ එය නැති වූ තැන ය. 

වික්‍රම වික්‍රමාදිත්‍ය වික්‍රමරත්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s