නළුනිළි කැලගේ මඩ, කුණු, රොඩු ඈ නිසරු දෑ නො දොඩැ, පෙරා පිරිපහදු කැරැ අරුත්බර, රසබර සරු දෑ පිළිසඳරට ගනී නම් එය සැබෑ “පෝටාවේ ඉසක්කළුවකි”.

අරුණ පෙරේරාණන්ගේ සිත් ගත් පෝටාවේ ඉසක්කළුව

වියුණු ලොවැ හෙළ හවුලෙන් බස් පැනයක් විමසනු රිසි අරූගේ අඩවිය නම් රසවත් වියුණුවේ හිමිකාර අරුණ පෙරේරාණෝපෝටාවේ ඉසක්කළුව” යනු කිමෙක් දැ යි පහදන්නට අපට ඇරයුම් කරති. හුදු හෙළයෙන් නො වැ “තේරෙන” බසින් එනම්, පෙළ හා සකු දෙබසින් තත්සම හා තත්භව පද මුසු බසින් එවදන් යුග පහදන්නැ යි ද පෙරේරාණෝ ඉල්ලා සිටිති. අරුණ පෙරේරාණන්ගේ ඉල්ලීම අපි මෙලෙස ඉටු කරන්නෙමු. එනිසා මෙම සටහන හෙළ, පෙළ හා සකු මුසු බසකින් මැ ලියැ වේ. 

පෝටාවේ ඉසක්කළුව” යන වදන් මුසුව සුලබ වහරක් නො වේ. පෙරපර දෙදිග බස් වෙසරද මා සන්මිතු මයුරවිලයෝ ද එබැව් පවසති. “පෝටාව” යන වදන නම් සම්මත වහරකි. “ඉසක්” හා “කළුව” යනු ද එසේ මැ යැ. මෙහි එන ”ඉසක්” හා “කළුව” අදාළ පද බැඳියැ අරුත් බිණුම සමඟ නොපෑහෙන බැව් හැඟේ. “පෝටාවේ ඉසක්කළුවට” අරුත් බිණුමට පෙරැ වාපි තක්ෂණයැ වැව්කමැ සිප්යුරු වදන් කීපයක අදහස් විමසනු නිසි බැව් හැඟේ. 

අප ඉපැරැණි වාපි ශිෂ්ටාචාරයේ සුවිසෙස් පදනම වැව සමඟ බැඳී තිබිණි. ලොවැ පළමු වැව් තැනුවෝ හෙළයෝ යැ. පඬු අබා රජ කලැ තැනුණු අබය වැවට ද පෙරැ හෙළයන් විසින් වැව් බැඳි බව පුරාවිදු පිරිසුමින් තහවුරු වේ. “ගම යි, පන්සල යි – වැව යි, දා ගැබ යි” යනු ගැමි සංස්කෘතියැ සන් ලකුණෙකි. එයින් ද වැව යනු ගැමි දිවියැ පණනල යැ. එදවසැ පැරැණි වැව් තැනුවෝ තම සුරුවිරුකමින් මෙදවසැ මැවිසුරුවන ද මවිත කළෝ යැ. 

අප වැව් සිරි නරඹනු වස් බෝ විට රැඳෙනුයේ වැව් බැම්මැ මත යැ. ඒ වූ කලී වැව කැණ ලද පස ලා ගොඩනැඟි බැම්මෙකි. වැව් දිය රඳවා තබනු වැව් බැම්මෙන් සිදු වේ. වැව් දිය අවැසි පමණ පිටතට ගනුයේ වැව් බැම්ම ඔස්සේ සොරොව්වෙනි. වැව් බැම්මට මැ වැව් කන්ද, වෑ කන්ද, වෑ කණ්ඩිය ලෙස ද පැවැසේ. සකු/පෙළ වාපි බිඳැ එන වෑ යනු වැවට මාහැඟි හෙළ වදන යැ. වෑ කන්ද සවිමත් යැ. බිඳුණු කලැ විපත් යැ. අප තුරුණු කලැ කන්තලයැ වෑ කන්ද බිඳී වූ විපත ඉමහත් යැ. 

අරුණ පෙරේරාණෙනි, අර ඈතින් පෙනෙන වන ළැහැබ ඇත්තේ වැව් ඉහත්තෑවේ යැ. වැව් දියත් වැව් ඉහත්තාවත් අතර පෙදෙසේ වැව් තාවුල්ල ද පෝටාව ද පිහිටියේ යැ.

වැව් සිරි බැලුමට නිසි මැ අයුර නම් වෑ කන්දැ සිට බැලු කලැ දුර ඈතින් පෙනෙන අනෙක් පස සිට වැව දෙස බැලීම යැ. වැ‍වට දිය සපයන වැව් ඉහත්තාව පිහිටියේ එපසැ යැ. තුරු හිසින් සොබන වැව් ඉහත්තාව මැ වැව් ඉස්මත්ත සහ වෑ බඳ ලෙස ද හැඳින් වේ. ඉහත්තාවැ සිට වැව දෙසට මැ වන පෙදෙස වැව් තාවුල්ල යැ. ඉහත්තාවැ සිට වැවට ගලනා දිය වැවට ඇතුළු වන්නේ වැව් තාවුල්ල හෙවත් තාවල්ල ඔස්සේ යැ. වැව් දිය රැඳෙන සීමාවට හෙවත් ගිල්මට නුදුරු මැ පෙදෙස වැව් තාවුල්ල යැ. 

බෝ දුර අතීතයැ මා තුරුණු කලැ මම රජයේ සේව‍යට වන්නෙම් වැව් බැඳි රට රජරටැ විසුවෙමි. එකලැ මම බෝ වැව්හි තාවුල්ලට ද ඉහත්තාවට ද යනු පුරුදු වැ සිටියෙම් මනරම් වැව් සිරි වැව් තාවුල්ලැ සිට බැලියෙමි. මෙකලැ නම් වැව් තාවුල්ලට ද ඉහත්තාවට ද යනු තහනම් කැරැ වැට බඳිනු ලැබැ ඇත. එය නිසි යැ. වැව් පෝෂක පෙදෙස් වන ඉහත්තාව ද තාවුල්ල ද සුරැකියැ යුතු මැ යැ. 

අරුණ පෙරේරාණෙනි, මතු දැක්වෙන අස (කොටස) ඔබට ඉතා වැදගත් යැ. සිහි එළඹ කියවා සිහි රඳවනු මනා යැ. අපගේ විමසුමට අදාළ වැව් සැකැසුම මෙසේ සලකුණු කරමු:

වැව් කන්ද ——————- වැව් දිය ——————- වැව් තාවුල්ල —– පෝටාව —– වැව් ඉහත්තාව

සුවිසල් වැව්හි වැව් ඉහත්තාව සහ වැව් තාවුල්ල අතර සුවිසෙස් පෙදෙසකි. ඉහත්තා‍වැ සිට තාවුල්ල ඔස්සේ වැවට ගලන දියැ මුසු රොන් මඩ, රොඩුබොඩු ඈ නොනිසි දෑ ඉවත ලා එම දිය පෙරහන් කැරැ පිරිසිඳු කරන පෙනැහැරේ හෙවත් පෙනේරය වන්නේ මෙකී සුවිසෙස් පෙදෙස යැ. එ පෙදෙස “පෝටා වැටිය” හෙවත් “පෝටාව” නමි. පෝටා වැටිය වැල් පඳුරු පරඬැල් එක් වැ බැඳි පෙරහන් පවුරක් සේ යැ. එසේ නම් පෝටාව යනු වැවට ගලනා දිය පෙරා පිරිපහදු කරනා පෙදෙස යැ. පෝටාව බෝ විට කඳු බෑවුම් අසල බැඳි වැව්හි දැකැ ගතැ හැකි යැ. බදුලු දිසාහි ඉපැරණි පරඬවල් පෝටාව ඒ නම් ලදුයේ පෙර කී අරුතින් විය යුතු යැ. එබව මනා වැ දන්නා පුඟුලෝ දෙදෙනෙකි. ඔහුහු පෝටාවට නුදුරු පසල් දනව්වෙක ඉපිද වැඩුණහ. එකකු ළබැඳි උපුල් සාන්ත සන්නස්ගලයෝ යැ. අනෙකා නම මා නොලියනුයේ එම නම දුටු සැණ මා පැරැණි තවත් මිතුරකු කුලප්පු වැ තප්පුලන බැවින් යැ.  

වැවට ගලන දිය පෙරා පිරිසිඳු කරන පෝටාව මැ පෝටා වැටි සේ මැ ඉස් බැමි හා ඉස් වැටි ලෙස ද හැඳින් වේ. ඒ වැව් ඉස හෙවත් වැව් හිස බැඳි බැමි ඈ අරුතිනි. අරුණ පෙරේරාණෙනි, “පෝටාවේ ඉසක්කළුව” නම් ඔබ හද බැඳි තෙලදසුන් කිරියපෙළට පෝටාව සබැඳෙන්නේ “වැවට ගලන දිය පෙරා පිරිපහදු කරන පෙදෙස” යන අරුතින් බව මා හැඟුම යැ. පෙරා පිරාපහදු කරනු ලබන්නේ කවරක් ද? ඒ එම කිරියපෙළට පැමි‍ණෙන නළුනිළි කැලැ අතීත මතක යැ; අදහස්-උදහස් යැ; සිතුම්-පැතුම් යැ; ආ-ගිය තොරතුරු යැ.

දැන් ගැටැලුව ඉසක්කළුව යැ. ඉසක් යන වදන පැරුණි සාහිතයැ හිසක් යන අරුතින් යෙදේ. පූජාවලිකාර මයුරපාදයෝදැන් නුඹ මෙසේ වූ පරදාරාදි උදාර වූ පවු කොට නරකාදි වූ දුකින් මිදී කවර ක‍ෙලක නම් ඉසක් නඟන (හිස ඔසවන) සේක් දැ” ලෙස ද රතනාවලිකාර ධම්මසේනයෝඒ යකා මකු කම් ඉවසා ගත නො හී කිපී ගොසින් භය නැති බුදුන්ට භයක් ඇති කෙරෙමී සිතා තමාගේ අත් වැබ් භයානක කොට මවන්නේ පර්වතයක් සා ඉසක් (වැනි හිසක්) ඇති …” ලෙස ද පවසති. ඉසක් යන්නට වහර අරුත් ලෙස මුදුන, ශිර්ෂය ද බිණිය හැකි යැ. ඉසක් යන්නැ ඉසඅක් ද ලෙස විසඳ කළ කලැ මතු වන අක් යන්නට අග (අක් මුල්), ඉවත/පිටත (අක් වෙරළ) ඈ අරුත් ද පවතී. එනයින් “පෝටාවේ ඉසක්කළුව” යන තැනැ ඉසක් යන්නට නිසි අරුත “හිසින් ඉවතට” යන්න බව හැඟේ. එසඳ “පෝටාවේ ඉසක්කළුව” යන තැනැ “වැවට ගලන දිය පෙරා පිරිපහදු කරන පෙදෙසැ හිසින් ඉවතට” යන අරුත ඇති බව මා මතය යැ.

අවසන් ගැටැලුව කළුව යැ. කළුව යන්නට සුලබ අරුත අඳුර (වැහි කළුව ඈ) යන්න යැ. එනමුත් කළුව යන්නට වෙනත් අරුත් ද ඇත. කළුව යන්න වැව් බැඳි රටැ දන වහරැ හබල, පත්ත ඈ අරුතින් ද යෙදේ. එලෙස මැ කළුව යන්න හබල් ගෑම, පෙරට යෑම, ඉදිරියට යෑම යන අරුත් ද දේ. එනයින් “පෝටාවේ ඉසක්කළුව” යන තැනැ කළුව යන්නට නිසි අරුත “පෙරට/ඉදිරියට යෑම” යන්න බව හැඟේ. එසඳ “පෝටාවේ ඉසක්කළුව” යන තැනැ “වැවට ගලන දිය පෙරා පිරිපහදු කරන පෙදෙසැ (පෙදෙසේ) හිසින් (මුදුනින්) ඉවතට ඉදිරියට යෑම” යන අරුත ඇති බව මා මතය යැ.

පෝටාවෙන් ඉවතට, ඉදිරියට යන කලැ හමුවන්නේ පෙරා පිරිසිදු කළ වෑ දිය නිල්ල යැ. හෙළ බිමැ කෙත් වතු සරුසාර වැ වැඩුණේ ඒ සුනිල දියෙනි. පෝටාවෙන් ඉවතට, ඉදිරියට යන කලැ කුණු රොඩු, මඩ රොඩු, වැලි රොඩු ඈ නොනිසි දෑ නම් හමු නො වේ. අරුණ පෙරේරාණන්ගේ හද බැඳි තෙලදසුන් කිරියපෙළට “පෝටාවේ ඉසක්කළුව” යන්න වහරනු ලැබීම නිසි යැ යි පැවැසිය යුත්තේ එම කිරියපෙළැ දී එහි පැමිණෙන නළුනිළි කැලගේ මඩ කුණු රොඩු ඈ නිසරු දෑ නො දොඩැ, පෙරා පිරිපහදු කැරැ අරුත්බර, රසබර සරු දෑ පිළිසඳරට ගනී නම් පමණි. ඒ එසේ වන්නේ දැ යි තෙලදසුන නොබලන මම නම් නො දනිමි. 

අරුණ පෙරේරාණන් විමසන “‍පෝටාවේ ඉසක්කළුව” යන වදන් මුසුවැ අරුත “වැවට ගලන දිය පෙරා පිරිපහදු කරන පෙදෙසැ (පෙදෙසේ) හිසින් (මුදුනින්) ඉවතට, ඉදිරියට යෑම” බව දැන් පැහැදිලි විය යුතු යැ.

පැනසර පැනයක් විමසූ අරුණ පෙරේරා සුධීමතුනට සරස, මයුරවිල, කීරාළ ඈ නයුවනගේ වියුණු හෙළ හවුලේ තුති පුදනු රිසි යැ.

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

3 thoughts on “නළුනිළි කැලගේ මඩ, කුණු, රොඩු ඈ නිසරු දෑ නො දොඩැ, පෙරා පිරිපහදු කැරැ අරුත්බර, රසබර සරු දෑ පිළිසඳරට ගනී නම් එය සැබෑ “පෝටාවේ ඉසක්කළුවකි”.

  1. මේ පිලිබඳවත් මට ඇත්තේ නොදන්නා දෙයක් කියාදීමට ඔබ ගන්නා වෙහෙස පිලිබඳ ගෞරව ආචාරයකි. මෙම වැඩ සටහන මෙහෙයවූ සනත් විමලසිරි නම් රංගධරයා සහ පාසල් ගුරුවරයා පිලිබඳ මම කාලයක් සිට විමසිල්ලෙන් සිටි කෙනෙකි. ඔහු සැබැවින්ම උගත්, බුද්ධිමත් කලාකරුවෙක් බව මම සිතමි.

    Like

    1. අරුණ පෙරේරාණෙනි,

      සනත් විමලසිරි මට එක් වරක් මුණගැසිණි. ඒ අනූව දශකයේ අග දී විය යුතු ය. එදවස මා රද්දොළුගම නිවාස සංකීර්ණයේ විසූ මගේ පැරණි මිතුරකු මුණ ගැසීමට ගිය ගමනක දී සනත් විමලසිරි එසේ මුණගැසිණි. ඔහු එකල ජනප්‍රිය චරිතයක් ව සිටියේ ජයන්තගේ මදුරු දඟර වෙළඳ දැන්වීමක් නිසා ය.

      ඔහු පසු කලෙක සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල රඟපෑමට තෝරා ගැනිණි. එසේ නම් ඔහු විශිෂ්ට රංගධරයකු විය යුතු ම ය. වේදිකාව යනු නළුවකුගේ සැබෑ පරීක්ෂාවකි. එහි රඟන බව රඟන්නට නොහැකි ය. අතිදක්ෂයකුට හැර කිසිවකුට සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයක නම් රඟන්නට සිතන්නට හෝ නොහැකි ය.

      සනත් ගුරුවරයකු ද වූ බව මම නො දැන සිටියෙමි. ඔහු ඔබගේ සිත්ගත් වැඩසටහන හොඳින් කරන බව මගේ අදහස යි (ඔබ එවූ පුරුක් ඔස්සේ මම එම වැඩසටහනේ කොටස් කීපයක් ම නැරඹීමි). ඔහු ගජමන් පුවතට අදාළ නාට්‍යයක් සමඟ ලොව සරන බව දැන ගතිමි. ඔහු යුරෝපයේ ද සංචාරය කළේ ද?

      අරුණ පෙරේරා‍ෙණනි, ඔබගේ දැනුම සහ දැනහැඳුනුම්කම් සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිකයකුට වඩා පත්තරකාරයකුට (මා මෙවදන යොදන්නේ ගෞරවයෙනි. මාධ්‍යවේදී කතා පැමිණියේ පසු ව ය) හිමි බව මට සිතේ.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

      1. බොහොම ස්තුතියි!!

        සනත් විමලසිරි අති දක්ෂ ගායකයෙක් බවත් ලියා තබමි.

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s