සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය. දෙමළ සිරකරුවෝ මනුෂ්‍යයෝ නො වෙත් ද?

සිරකරුවෝ මනුෂ්‍යයෝ ය.

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අප සමඟ දීර්ඝකාලීන සංවාදයක සිටින අපගේ පැරණි මිත්‍රයකු ලාංකීය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් තහවුරු කිරීමේ තම උදාර අරමුණ පෙර දැරි ව “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය; දුමින්ද සිල්වා ද මනුෂ්‍යයෙකි” යන මැයෙන් ලිපියක් ලියා ඇත. “සිරගත වීම කණ(න)ගාටුදායක ඉරණමකි” යි ද “අධිකරණයෙන් මරණීය දණ්ඩනයට ලක් වීම යනු පහසුවෙන් ලිහා ගත නො හැකි ගැටයක සිර වීමකි” යි ද “ලංකාවේ බන්ධනාගාරවල සිරකරුවන්ට ලබා දෙන වෛද්‍ය ප්‍රතිකාර පමණක් නො ව, මූලික පහසුකම් පවා ඉතා දුර්වල මට්ටමක පවතින බව ඇත්තකි” යි ද “සිරකරුවකුට මැරෙන්නට හරින්නේ නම් එය රජය විසින් කරනු ලබන අනියම් මිනීමැරුමකි” යි ද පවසන  අපගේ  පැරණි මිත්‍රයා තම සංවේදී වදන් කැඳ හැළියට එක් කරන “මානව හිමිකම්” ලුණු මිට “සිරකරුවන් ද මනුෂ්‍යයන් බව” යි. අපගේ  පැරණි මිත්‍රයාගේ ලිපිය කියවන පාඨකයාගේ ළයමඬල සෝ ගින්නෙන් දැවේ; නෙතග කුඳුළු නැඟේ. 

අපගේ පැරණි මිත්‍රයාට පෙර ද බොහෝ අය මෙවැනි ම වාගාලාප පැවසූහ. අපගේ  පැරණි මිත්‍රයාට සමකාලීන ව ද බොහෝ අය මෙවැනි වාගලාප පවසති. අපගේ  පැරණි මිත්‍රයාට පසු ද බොහෝ අය මෙවැනි ම වාගලාප පවසනු ඇත. එහෙත් අපගේ  පැරණි මිත්‍රයා හෝ ඔහු අනුයන මඟට එළඹි අන් අය හෝ මෙතුවක් කල් අපේක්ෂා කළ “මානව හිමිකම්” හෝ “ප්‍රජාතන්ත්‍රවාදය” හෝ තවමත් යථාකරණය වී නැත්තේ කවර නම් හේතුවක් නිසා ද?

ඒ සඳහා එක ම හේතුව නො වේ නම් අවම වශයෙන් මූලික හේතුවක් හෝ වන “මහා මඟහැරීම” නැත හොත් “මහා අතපසු වීම” අපගේ  පැරණි මිත්‍රයාගේ වාගාලාප සංහිතාව තුළ ම සැඟ ව තිබේ. අපගේ  පැරණි මිත්‍රයා සිරකරුවන්ගේ හිමිකම් පිළිබඳ තම කතිකාව ගොඩනඟන්නේ කවර නම් භූගෝලිය වපසරියක සමාජ-දේශපාලන කතිකාවක් තුළ ද යන්න විමසීමෙන් එසේ සැඟ වී තිබෙන “මහා මඟහැරීම” නැත හොත් “මහා අතපසු වීම” හඳුනගත හැකි ය. 

අපගේ පැරණි මිත්‍රයා සිරකරුවන්ගේ හිමිකම් පිළිබඳ කතිකාව ස්ථාපනය කරන්නේ දකුණ තුළ ය. දුමින්ද සිල්වා පිළිබඳ සෝ ගී ගයන අපගේ  පැරණි මිත්‍රයා අතින් වධකඳවුරු සමාන සිරගෙවල මියදෙන උතුරේ දෙමළා පිළිබඳ එකඳු හෝ සෝ වැකියක් ලිය වෙන්නේ නැත. දුමින්ද සිල්වා පිළිබඳ නෙතඟ කඳුළු නැඟෙන පද ගළපන අපගේ පැරණි මිත්‍රයාගේ ලිපියේ සෙල්වරාජා යෝගචන්ද්‍රන් පිළිබඳ හෝ නඩරාජා තංගදුරෙයි පිළිබඳ හෝ එක් වදනක් හෝ සඳහන් වන්නේ නැත. තමන් විසින් ජාතික ප්‍රශ්නය ද ප්‍රජාතන්ත්‍රවාදය ද රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය ද පිළිබඳ ලිපි හාරදහසකට වඩා ලියන ලද බව පරවම්භනය කරන අපගේ පැරණි මිත්‍රයාගේ එකී ලේඛනාගාරයේ කිසිඳු ලිපියක දෙමළ ජාතික විමුක්ති අරගලයට ජීව ප්‍රාණය සැපයීම නිසා ඊනියා ත්‍රස්තවාදය වැළැක්මේ පනත යටතේ සිරගත කරන ලද සහ එම සිරකුටිවල අවසන් සුසුම් හෙළු එකඳු දෙමළකු පිළිබඳ සාධනීය කියවීමක් සොයා ගත නො හැකි ය.

සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනි

දෙමළා නො ඉවසන සිංහල මහා ජාතිකත්වය විසින් ගාමක බලය සපයන ලද දකුණේ පාලක පන්තිය විමුක්තිය උදෙසා අරගල කළ උතුරේ පීඩිත දෙමළ ජනයා මර්දනය කිරීම සුජාතකරණය සඳහා ගොඩ නැඟූ අපනාමකරණය වූයේ ත්‍රස්තවාදය යන්න ය. අශිෂ්ට වූ ඊනියා ත්‍රස්තවාදය වැළැක්මේ පනත වූ කලී එකී සුජාතරණයට නෛතික පදනමක් සකසා දීම ය. එක්දහස් නවසිය අසූ එක වර්ෂයේ බක් මහේ පස් වැනි දින (1981-04-05) මෙකී නීති ප්‍රකාර ව දෙමළ විමුක්ති අරගලයට පණ දුන් සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටිමනී) සහ නඩරාජා තංගදුරෙයි ඇතුළු සය දෙනෙක් පාලක පන්තියේ අත්අඩංගුවට පත් වූහ. එම වර්ෂයේ ඉල් මහේ ඇරඹි නඩුව අවසන් වූයේ එක්දහස් නවසිය අසූතුනේ නවම් මහේ අග දී සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටිමනී) සහ නඩරාජා තංගදුරෙයි ඇතුළු විමුක්තිකාමීන් සය දෙනෙකුට මරණිය දණ්ඩනය නියම කිරීමෙනි. පසු ව එම දණ්ඩනය දිවි ඇති තෙක් සිරගත කිරීමක් බවට පත් කෙරිණි.  

සිංහල මහා ජාතියේ දැහැමි මුහු‍ණට අපකීර්තිමත් කැළැලක් එක් කළ 1983 වර්ෂයේ ජුලි මස එළඹෙන විට මෙම සිරකරුවන් රඳවා තැබුණේ වැලිකඩ බන්ධනාගාරයේ ය. පාලක පන්තියේ අනුබල ලද, පාලක පන්තියේ මත්දියෙන් වෙර ලද සිංහල මැර සිරකරුවන් විසින් 1983 වර්ෂයේ ජුලි මස 25 වැනි දින සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටිමනී) සහ නඩරාජා තංගදුරෙයි ඇතුළු විමුක්තිකාමීහු 35 දෙනෙක් අමානුෂික වධ බන්ධනයෙන් බන්ධනාගාරය තුළ දී ම ඝාතනය කරනු ලැබූහ. මරණ දණ්ඩනය ප්‍රකාශ කෙරුණු කල “මගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පෙර මගේ දෙනෙත් ගලවා පෙනීම නැති දෙමළකුට බද්ධ කරන්න” යි පවසා තිබූ කුටිටිමනීගේ දෙනෙත් අමානුෂික ලෙස ලෝහ දණ්ඩෙන් ඇන විනාශ කර ඉවතට ඇද දැමුණි. උදාර මානවභක්තියේ වදන්වලට ශබ්දය සැකසූ කුට්ටිමනීගේ දිව කපා දැමූ සිංහල මැර සිරකරුවන් එයින් වෑහුණු රුධිරය බිව් බව පැවසේ. ඉනික්බිති දෙදිනක් ගත වන්නට ද පෙර තවත් දෙමළ විමුක්තිකාමීහු 18 දෙනෙක් ද පෙර සේ ම ඝාතනය කරනු ලැබූහ.

නඩරාජා තංගදුරෙයි

එතැන් සිට වසර 29 දෙනෙක් ගෙවෙන කල 2012 වර්ෂයේ ඉල් මහේ අග දී එම වැලිකඩ බන්ධනාගාරය තුළ දී ම දකුණේ සිංහල සිරකරැවෝ 24 දෙනෙක් පාලක පන්තිය විසින් අමානුෂික ව ඝාතනය කරනු ලැබූහ. දකුණේ ඊනියා මානවහිතවාදීන්ගේ ලිබරල් වින්තනය ප්‍රකම්පනය විණ. ඔවුන්‍ගේ ළයමඬල ගිනි ගැනිණි. මියගියවුන් සඳහා යුක්තිය ඉල්ලා හඬ නැඟිණි. වසර 29කට පෙර උතුරේ දෙමළ සිරකරුවන් 53 දෙනකු අමානුෂික වධ බන්ධනයෙන් වැලිකඩ බන්ධනාගාරය තුළ දි ඝාතනය කරනු ලැබූ විට ඒ පිළිබඳ සංවේදි නො වු දකුණේ බහුතර මහා සිංහල ජනයා 2012 වන විට දකුණේ සිංහල සිරකරුවන් 23 දෙනකු වැලිකඩ බන්ධනාගාරය තුළ දී අමානුෂික ව ඝාතනය වූ කළ ඒ පිළිබඳ සංවේදී වූහ. සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටිමනී), නඩරාජා තංගදුරෙයි සහ ජෙගනාදන් ඇතුළු විමුක්තිකාමීන්ගේ ඇස් උගුළුවා, දිව කපා වැලිකඩ බන්ධනාගාරයේ දී ඝාතනය වීම අලළා “සිරකරුවන් ද මනුෂ්‍යයන්” යන වැකිය අකුරු නොකෙරෙන අජිත් පැරකුම් ජයසිංහ මහත්මාගේ අතින් දකුණේ පුද්ගල ඝාතනයකට වරදකරු වූ දුමින්ද සිල්වාගේ සෞඛ්‍යය අලළා “සිරකරුවන් ද මනුෂ්‍යයන්” යන වැකිය අකුරු කෙරේ. එම වෙනසට හේතුව අපට රහසේ පවසන නීරස යථාර්ථය කුමක් ද? එක ම ප්‍රශ්නය වුව දකුණ සඳහා එක් ආකාරයකටත් උතුර සඳහා තවත් ආකාරයකටත් දකුණේ සිංහල මහා ජාතිය විසින් සලකනු ලබන බව නො වේ ද? 

උතුර නො සලකා දකුණ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්නට සිහින මවන අපගේ පැරණි මිත්‍රයාට 2016 වර්ෂයේ දී නො වැටහෙන යථාර්ථය නඩරාජා තංගදුරෙයි 1983 වර්ෂයේ දී කොළඹ මහාධිකරණයේ දී මෙසේ පැවසූවේ ය:

අප ඉල්ලා සිටිනුයේ බෙදී වෙන් වීම නො ව නිදහස ය. අප එය ඉල්ලා සිටිනුයේ පටු අදහසින් නො වේ. අප අපේක්ෂා කරනුයේ දෙමළ ජනයාගේ විමුක්තිය පමණක් නො ව සිංහල ජනයා සඳහා ද වඩා වැඩි යහපත ය. මක් නිසා ද යත්, එතැන් සිට (එනම් දෙමළ ජනයා විමුක්තිය ලද පසු), ඊනියා දෙමළ ප්‍රශ්නය අවස්ථාවාදී සිංහල දේශපාලනඥයන්ගේ ජීවනෝපාය වීම නවතිනු ඇති බැවින් ය. එමඟින් සිංහල ජනයාට තමා මෙදවස බැඳ තැබෙන දේශපාලන, සාමාජීය සහ ආර්ථික විලංගුවලින් නිදහස් වීමට ද සැබෑ වහල්භාවය රඳනා තැන වටහා ගන්නට ද ප්‍රස්තාවක් සැපයෙනු ඇත.

වෙනස් ජාතීන් දෙදකට අයත් වන්නේ වුව, එක ම දූපතක ජීවත් වන සුමිතුරු මානවයන් ලෙස අපි මෙම (නඩු) විභාගයට සහභාගී වනුයේ (සිංහල) ඔබගේ අවබෝධය අපේක්ෂාවෙනි. වත්මන අප අපගේ අස්ථානය සුපැහැදිලි ව දක්වා ඇත. එමඟින් ගලනා අවබෝධය අනාගතයේ දී අප වෙනුවෙන් ඔබගේ හඬ නැඟීමට ඔබ පොලඹවන්නේ නම් අපගේ හදවත් සන්තර්පණයෙන් පිරී යනු ඇත. 

එම අවබෝධය යථාර්ථයක් බවට පත් නො වූව ද, ඔබ ඔබගේ නිදහස සඳහා ද වත්මන ඔබ සිර කර තබනු ලබන සමාජ සහ ආර්ථික විලංගු සිඳ බිඳ දමන්නට ද  අනාගතයේ දී නැඟී සිටින කල ඔබගේ අධ්‍යාශය පිණිස අප අපගේ පූර්ණ සහය ලබා දෙන බව මම ඔබට මේ මොහොතේ හිතෛෂී ව පවසන්නට අපේක්ෂා කරමි. 

‘යමකු නෙළා ගන්නේ තමා වපුළ දෙය ය’ යන කියමන අපි දැඩි ව විශ්වාස කරන්නෝ වෙමු. එනමුත් මගේ ළබැඳි යාතිකාව නම් බලලෝභී සිංහල දේශපාලනඥයන් විසින් වපුරන ලද දේ අහිංසක සිංහල ජනයා විසින් නෙළනු ලැබිය යුතු නැති බව ය.

ශ්‍රී සභාරත්නම්ගේ නායකත්වයෙන් ඇරඹෙන දෙමළ විමුක්ති අරගලයේ මූලාරම්භක සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ පුරෝගාමියකු වූ නඩරාජා තංගදුරෙයි 1983 වර්ෂයේ දී දකුණේ සිංහලයා අමතා කළ එම කතාව තුළ දෙමළ ජනයාගේ සාර අභිලාෂයන් ගැබ් ව තිබේ. උතුරේ ප්‍රශ්නය දකුණේ ප්‍රශ්නවල අනුශංගික සංඝටකයක් වන්නේ කිනම් ආකාරයකින් ද? ශෙල්වනායගම්ගේ සත්‍යග්‍රහවල සිට සර්වනාශනීය සන්නද්ධ අරගලයක් දක්වා දෙමළ විමුක්ති අරගලයේ මූලාභිලාෂයන් කවරේ ද? යන ප්‍රශ්නවලට පිළිතුරු එම ඵෙතිහාසික කතාව තුළ ලබා දී තිබේ. 

එහෙත් අවාසනාව නම් දකුණේ බහුතර සිංහල ජනයා සේ ම උතුරේ පශ්චාත් කාලීන සන්නද්ධ විමුක්ති අරගලකරුවන් ද නඩරාජා තංගදුරෙයි එදා සුපැහැදිලි ව ප්‍රකාශ කළ කරුණු නො සලකා හැරීම ය. වර්තමානයේ සිංහල ජාතිකත්වය සඳහා අරගල කරන දකු‍ණේ සහෝදරයන් ද දෙමළ ජාතිකත්වය සඳහා අරගල කරන උතුරේ සහෝදරයන් ද විසින් අධ්‍යයනය කරනු ලැබිය යුතු ම ප්‍රකාශනයක් වන්නේ නඩරාජා තංගදුරෙයි 1983 දී කළ සම්පූර්ණ කතාව ය. සිංහල ජාතිකත්වය ප්‍රවර්ධනය කිරීම යනු දෙමළ ජාතිකත්වය නිෂේධනය කිරීමක් නො වන බව ද දෙමළ ජාතිකත්වය ප්‍රවර්ධනය කිරීම යනු සිංහල ජාතිකත්වය නිෂේධනය කිරීමක් නො වන බව ද එමඟින් වටහා ගත හැකි ය. මෙදවස දකුණේ රජයන මතය වන දෙමළා නො සලකන සිංහලකම ද උතුරේ හිස ඔසවමින් පවතින සිංහලයා නො සලකන දෙමළකම ද විසින් සැම දා අපහසුවට පත් කරනු ලබන්ගේ ඒ ඒ ජාතිකත්වයන්ගේ ජාතික අනන්‍යතාවනට අන්‍යෝන්‍ය වශයෙන් ගෞරව කරමින් එක ම රටක් තුළ සියලු ජාතීන් ජීවත් වීම සඳහා උතුරේත් දකුණේත් පීඩිත ජනයා වෙනුවෙන් අරගල කරන වාම සහෝදරත්වය ය. 

ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතිය නැති කිරීම බව ද සිංහල ජාතිකත්වය බිහි වන්නේ දෙමළා පසමිතුරු කර‍ ගෙන බව ද දෙමළ ජාතිකත්වය බිහි වන්නේ සිංහලයා පසමිතුරු කර‍ ගෙන බව ද වැනි මුග්ධ ප්‍රකාශ කරමින් විජාතික දෘෂ්ටිවාදයන් ප්‍රචලිත කරන්නට තතනන, උතුර නො සලකා දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ස්ථාපනය කරන්නට තතනන අපගේ පැරණි මිත්‍රයා ද නඩරාජා තංගදුරෙයිගේ ඵෙතිහාසික කතාව නිදහස් නිවහල් මනසකින් යුතු ව යළි කිය විය යුතු ය යි මම යෝජනා කරමි (එකල නම් අපගේ පැරණි මිත්‍රයා එය කියවා ඇත. මෙකල එය අමතක ව හෝ අමතක කර හෝ ඇත!).

දකුණේ සිංහල සිරකරුවන් වෙනුවෙන් අපගේ පැරණි මිත්‍රයා විසින් ගැළපෙන, පාඨක ‍ළය සෝ ගිනි නැඟෙන, පාඨක නෙතග කදුළු නැඟෙන වදන් උතුරේ දෙමළ සිරකරුවන් වෙනුවෙන් ද ගැළපේවා!

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s