නම් වෙනස් වීම් සන්දර්භයෙන් පිටත දී අවභාවිතය 1: වෙනස් වූ නම් කීපයක්

සුරූපී සන්‍ධ්‍යා කුමාරි සිනමාවට පැමිණෙන්නට පෙර ඉවෝන් පෙරේරා ය.

නම් වෙනස් වීම් පිළිබඳ සටහනක් තබන්නට මා සන් මිතු මයුරවිලයන් මට ඇරයුම් කර ඇත. මේ දිනවල මා මගේ පැරණි ලිපි සමුච්චයක් සංස්කරණය කරමින් සිටින නිසා මයුරවිලයන්ගේ ඇරයුම මා ‍නෙත ගැටුණේ  මඳක් පමා වී ය. පමා වී හෝ මා සන් මිතු මයුරවිලයන්ගේ ඇරයුම නෙත ගැටි සැණ මම මෙම සටහන තබමි.

මයුරවිලයන්ගේ ඇරයුමට නිමිත්ත වන්නේ අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයකු විසින් යම් යම් ජාතිකත්වයන් වෙනත් ජාතිකත්වයන් තුළට ස්වීකරණය වීම පැහැදිලි කිරීම සඳහා පුද්ගල නම් වෙනස් වීම හෝ වෙනස් කිරීම හෝ පිළිබඳ කතිකාවක් අරඹනු ලැබීම ය. වෙනත් කිසි යම් තැනෙක පළ වූ නම් පෙරළි නිදසුන් ලැයිස්තුවක් උපුටා දක්වන අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා එම නම් පෙරළි පිළිබඳ තම සුප්‍රකට න්‍යාය සූත්‍රය වන “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍රජාවන් ගොඩනැඟීම” හෙවත් “ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතිකත්වය නැති කිරීම ය යන වියුක්ත වූ ජාතිකත්වනාශනීය අර්ථකථනයක් සපයති.

මා සන් මිතු මයුරවිලයෙනි, පුද්ගල නම් වෙනස් වීම පිටුපස බහුවිධ හේතුනන් නය රසකතා ද පවතී. පෙර සංවාදයේ දී සඳහන් ව නැති සහ සුවිශේෂී නම් වෙනස් වීම් කීපයක් මෙලෙස සටහන් කරන්නේ මයුරවිලයනට උපහාර පිණිස ය. 

එංගලන්තයේ මහ රුජිනට සැතපෙන්නට යහන සෑදූ දොන් කරෝලිස් හේවාවිතාරණගේ පුතකු වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණයන් අනගාරික ධරිමපාල වීමත්, එඩ්වර්ඩ් ද සිල්වාණන් ඊ. ද එස්. වලිසිංහ වී පසු ව වලිසිංහ හරිස්චන්ද්‍ර වීමත්, දොන් ජුවන් අප්පුහාමිගේ පේදිරිස් සිල්වාණන් පියදාස සිරිසේන වීමත් පිටුපස ලාංකීය නිදහස් සටනට අදාළ රසවත් ඉතිහාසයක් ඇත. 

මුනිදාස කුමාරණතුංගයන් මුනිදාස කුමාරතුංග වී පසු ව කුමරතුඟු මුනිදස් වීමත්, දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධයන් අරීසෙන් (අරිසෙන් නො වේ) අහුබුදු වීමත්, චන්ද්‍රදාස කෝපරහේවාණන් (සඳගෝමීගේ පියා) සඳදස් කෝපරහේවා වීමත්, සවියෙල් අල්විසුන් අලව් ඉසි සැබිහෙළ වීමත් මතු නො ව හෙළ බසට ළැදි තරුණයකු වන ජයන්ත ප්‍රියදර්ශන ජයත්මිණි පියදස් වි පසු ව ජයත්මිණි පියදසුන් වී අවසන ජයත් පියදසුන් වීමත් පිටුපස හෙළ බස් පුබුදුවට අදාළ රසවත් ඉතිහාසයක් ඇත. 

සිනමාවේ නම් වෙනස් වීම් රැසකි; ඒවාට හේතු ද රැසකි. විජිතා ද සිල්වා විජිත මල්ලිකා වූයේත්, හෙට්ටිආරච්චිගේ එමැනුවෙල් ඇලොයිසියස් රොඩ්රීගෝ  ප්‍රෙම් ජයන්ත් වූයේත්, ආමර් වීදියේ සුපුකට ව්‍යාපාරික‍යකු වූ එල්. පී. පෙරේරාගේ ‍දෙවැන පුතු වූ බොනිෆස් පෙරේරා රවීන්ද්‍ර රන්දෙණිය වූයේත්, වසන්තා ඩොරීන් පීටර්සන් වසන්ති චතුරාණි වූයේත්, ජයසූරිය ආරච්චිගේ මේරි ඉවෝන් පෙරේරා අතිසුන්දර සන්ධ්‍යා කුමාරි වූයේත්, සන්ධ්‍යා කුමාරිය සිහි වනු පිණිස රෝහිණි ජයකොඩි තම දියණියට තැබූ වර්ජිනී සන්ධ්‍යා පීරිස් නම පසු ව වීණා ජයකොඩි වූයේත් සීනමාරූපීත්වය සලකා ය. 

සංගීතයේ ද නම් වෙනස් කිරීම් බහුල ය. ඇතැම් නම් වෙනස් වීමට තාගෝර්තුමාගේ සාන්තිනිකේතනයේ ඇසුර ද බලපා ඇත. බැද්දේලියනගේ ජෝශප් ජෝන් සාන්තිනිකේතන ඇසුරින් සුනිල් සාන්ත වූයේ ය. ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් පසු ව ආනන්ද සමරකෝන් වූයේ ය. ජේම්ස් පීරිස් සිරිමතුන්ගේ පුත්‍රරත්නය වූ හර්බර්ට් චාල්ස් ජේකොබ් පීරිසුන් දේවාර් සූර්ය සේන බවට පත් වූයේ ය. හර්බර්ට් චාල්ස් ජේකොබ් පීරිස් හෙවත් දේවාර් සූර්ය සේනගේ දේවිය වූ ප්‍රකට පියානෝ වාදනශිල්පිණී බැප්ටිස්ඩ් ජූලියා පෝලින් විනිෆ්‍රිඩ් ද සිල්වා  නෙලුන් දේවී බවට පත් වූවා ය. ප්‍රියදර්ශන සූරියසේන ලියනගේ ප්‍රියා සූරියසේන වූයේ මනා ව සත්සරයට මුසුවන්නට නම් නො වේ. ඒ නම් වෙනස් වීම පිටුපස තිබුණේ රිය ධාවන තරඟ ලෝලයකි. හේරත් මුදියන්සේලාගේ කරුණාරත්න සංගීත ක්‍ෂේත්‍රයට පැමිණෙන්නේ කරුණාරත්න දිවුල්ගනේ ලෙස නම් පෙරළියක් සමඟ ය.

ශාස්ත්‍රාලීය ශාස්ත්‍රවන්තයන් තමන්ගේ නම් වෙනස් කර ගැනීම් පිළිබඳ දිගු ලේඛනයක් සකසන්නට හැකි ය. ඒ බොහොමයක් නම් වෙනස් වීම් උපැවිදි වීම් සමඟ බැඳී ඇති නිසා ද ඇතැමුන් පිළිබඳ ඇති ගුරු භක්තිය නිසා ද මම එපිළිබඳ නො ලියමි. මලලගේ ජෝර්ජ් පීරිස් පසු ව ගුණපාල පියසේන මලලසේකර බබට පත් වූයේ ය. යූස්ටස් රෙජිනල්ඩ් ද සිල්වාණන් ඊ. ආර්. ද එස්. සරච්චවන්ද්‍ර වී පසු ව වැදිතන්ත්‍රීගේ එදිරිවීර රන්ජිත සරච්චන්ද්‍ර ‍(සරත්චන්ද්‍ර නො වේ) වූයේ ය. සාන්තිනිකේතනයේ ඇසුර ලබා පැමිණෙන හෙතෙම අවසානයේ දී එදිරිවීර සරච්චන්ද්‍ර වූයේ ය. නුගේගොඩ තිලක උයනේ පදිංචි ව සිටි නීතිඥ නිමල් කුරුවිට බණ්ඩාරගේත් ‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යපති තිලකරත්න කුරුවිට බණ්ඩාරගේත් බාල සහෝදරයා සුනිල් කුරුවිට බණ්ඩාර වූයේ නැත. ඔහු සුනිල් ආරියරත්න නම් වූයේ ය.

මාධ්‍ය ලෝකයේ මෙවැනි නම් වෙනස් වීම් රුසකි. ජෝර්ජ් කුඩච්චි හෙළ හවුල ඇසුරින් අනඳපිය තුඩාතිහි වූයේ ය. ආනන්ද කේ. විජේතුංගයන් බණ්ඩාර කේ. විජයතුංග වූයේ භාවමය වූ පෞද්ගලික හේතුවක් නිසා ය (බණ්ඩාරේගේ සමිපූර්ණ නම සෙනරත් බණ්ඩාර කුලතිලක විජේතුංග ය). සූර ඉංගිරිසි පුවත්පත් කර්තෘ මර්වින් ද සිල්වාගේ පුතු දයාන් ද සිල්වා නො ව දයාන් ජයතිලක වූයේ ය. ජෝර්ජ් ස්ටීවන් පෙරේරා පුවත්පත්වලට අවශ්‍ය ම සාහිත්‍යකරුවකු වූයේ රෝහණ කස්තුරි නාමයෙන් ය. 

මා සන් මිතු මයුරවිලයෙනි, මෙවැනි නම් වෙනස් වීම් සහ ඒ සමඟ බැඳුණු රසකතා පිළිබඳ ලිපි කීපයක් වුව ලියන්නට හැකි ය. එහෙත් ස්වීකරණය මඟින් “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍රජාවන් ගොඩනැඟීම” හෙවත් “ජාතිකත්වය නැති කිරීම” යන වියුක්ත වූ ජාතිකත්වනාශනීය න්‍යාය  ප්‍රවර්ධනය සඳහා නම් වෙනස් කිරීම අවභාවිත කිරීම මම පිළිකුලෙන් හෙළා දකිමි. භාෂාව ජාතික අනන්‍යතාවයේ වැදගත් ම අංගයකි. අද දින දෙමළ ජාතිකත්වයට ගැ‍ෙසන අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයාගේ කෙටේරි පහර හෙට දින අපේ සිංහල ජාතිකත්වයට ගැසෙනු නියත ය. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා වැන්නවුන් සමඟ කිසිඳු සුහද ලීලයක් අවැසි නැත. නිසි වන්නේ එවැන්නවුන්ට එළව  එළවා පහර දිය යුතු ය; නිහඬ වන තුරු ම පහර දිය යුතු ය. එහෙත් අප පහර දීම අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා ප්‍රවර්ධනය නො වන ලෙස සිදු කළ යුතු ය. මයුරවිලයෙනි, සරසයෙනි, අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා ප්‍රවර්ධනය වන කිසිඳු වැකියක් මෙහි ලිවීමට ජාතිමාමක, භාෂාප්‍රේමී ඔබගේ සුබස් මිණි අපතේ නො යවන්න. 

අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා තරුණ පරපුර නොමඟ යැවීමට සෑම සමාජ ප්‍රපංචයක් ම විකෘති කර අර්ථකථනය කරයි. ස්වීකරණය අවභාවිත කර ඔහු සිදු කරන්නට තතමන නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය ‍පිළිබඳ මම පසු ව ලියා නිසි තැන පළ කරමි.

සියලු ජාතික අනන්‍යතාවන් සපපාතික ස්වීකරණය (spontaneous assimilation) හැර අන් කිසිඳු සම්ප්‍රජන්‍ය ස්වීකරණයකින් (deliberate assimilation) හෝ වාර්ගික විවිධත්ව නිරසනයනින් (elimination) හෝ අන්තර්ධාන නො වේවා!

අනාගත පරපුරේ සුරක්ෂිතතාව උදෙසා මම මෙසේ පවසමි: අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා‍ණෙනි, තරුණ පරපුර නොමඟ යැවීම වහා ම නවතා දමනු!

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s