නම් වෙනස් වීම් සන්දර්භයෙන් පිටත දී අවභාවිතය 2: ස්වීකරණය පිළිබඳ කතිකාව

20 වැනි ශතවර්ෂයේ මුල දී ස්වදේශීය ඇමෙරිකානු දරුවන් යුරෝපීය-ඇමෙරිකා නේවාසික පාසල්වලට යැවීම අනිවාර්ය කෙරිණි. ස්වදේශීය භාෂා වෙනුවට ඉංගිරිය ව්‍යවහාර කිරීම ද ස්වදේශීය ආගමික ඇදහිලි වෙනුවට ක්‍රිස්තියානිය ඇදහීම ද අනිවාර්ය කෙරිණි. එම බලහත්කාර සම්ප්‍රජන්‍ය සංස්කෘතික ස්වීකරණයකි. එහෙත් ඇතමෙක් එය ශිෂ්ටකරණයක් බව පවසති! 

අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයකු විසින් යම් යම් ජාතිකත්වයන් වෙනත් ජාතිකත්වයන් තුළට ස්වීකරණය වීම පැහැදිලි කිරීම සඳහා පුද්ගල නම් වෙනස් වීම හෝ වෙනස් කිරීම හෝ පිළිබඳ කතිකාවක් අරඹනු ලැබී ය. වෙනත් කිසි යම් තැනෙක පළ වූ නම් පෙරළි නිදසුන් ලැයිස්තුවක් උපුටා දක්වන අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා එම නම් පෙරළි පිළිබඳ තම සුප්‍රකට න්‍යාය සූත්‍රය වන “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍රජාවන් ගොඩනැඟීම” හෙවත් “ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතිකත්වය නැති කිරීම ය යන වියුක්ත වූ ජාතිකත්වනාශනීය අර්ථකථනයක් සපයති. මෙකී කාරණ අලළා මා විසින් ලියවෙන දෙවැනි ලිපිය මෙය ය. මෙමඟින් ස්වීකරණය පිළිබඳ විමසා බැලේ. පළමු වැනි ලිපියේ දී වෙනස් වූ නම් කීපයක් පිළිබඳ මා විසින් විමසා බැලිණි.  

ප්‍රකෘතිමූල ව සංස්කෘතික ස්වීකරණය යනු ස්වාභාවික ක්‍රමික ක්‍රියාවලියකි. එය ඉතා දිගු කාලයක් ඔස්සේ සිදුවන්නකි. ජෛව පරිණාමය යම් සේ අතිදීර්ඝ කාලයක් ඔස්සේ ක්‍රමික ව සිදුවන්නේ ද එලෙස ම සංස්කෘතික ස්වීකරණය ද ක්‍රමික ව සිදු වේ. එය අප විසින් සම්ප්‍රජන්‍ය ව කළ යුතු කාර්යයක් නො වේ. මානවයාගේ ජෛව පරිමාණාමයේ දී ස්වාභාවික වරණය විසින් පරිසරය සමඟ අනුච්ඡවික ජෛව ලක්ෂණ ප්‍රවර්තනය කරනු ලබන සේ ම මානවයාගේ සංස්කෘතික පරිණාමයේ දී සමාජය සමඟ අනුච්ඡවික සංස්කෘතික ලක්ෂණ ද ප්‍රවර්තනය වේ. ස්විකරණය යනු එකී සංස්කෘතික පරිණාමයේ එක් යාන්ත්‍රණයකි. දීර්ඝ කාලයක් පුරා ස්වාභාවික ලෙස ක්‍රමික ව සහ සංශ්‍රේණික ව සිදු වන සංස්කෘතික පරිණාමය කෘතීම ව කඩිනම් කිරීම යනු මානවවාදී කාර්යභාරයක් නො වන අතර ම විකාරරෑපී කාර්යභාරයක් ද වන්නේ ය. එය නූතන මානවයාට වඩාත්ම සමීප ප්‍රාග් මානවයා වූ Homo neanderthalensis නූතන මානවයා වන Homo sapiens දක්වා පරිණාමය වීමේ ක්‍රියාවලියට ගත වූ  කාලය නො සලකා හැරීම වැනි විකාරයකි. සංස්කෘතික පරිණාමය ජෛව පරිණාමයට සාපේක්ෂ ව ශීඝ්‍රයෙන් සිදු වන නමුත් ඒ සඳහා ද දීර්ඝ කාලයක් ගත වේ. ස්වීකරණය කඩිනම් කිරීමට ප්‍රයත්න දැරීම යනු එය සම්ප්‍රජන්‍ය ක්‍රියාවලියක් බවට පත් කිරීමකි. එනම් සපපාතික සංස්කෘතික ස්වීකරණය (spontaneous cultural assimilation) දෘෂ්ටිවාදාත්මක මානනයෙන් සම්ප්‍රජන්‍ය සංස්කෘතික ස්වීකරණයක් (deliberate cultural assimilation) බවට පරිවර්තනය කිරීමකි. සංස්කෘතික ස්වීකරණයේ මෙකී ස්වරූප දෙකෙහි සාධනීය ලක්ෂණ මෙන් ම නිෂේධනීය ලක්ෂණ ද අඩු වැඩි වශයෙන් පවතින නමුත් සමස්තයක් ලෙස සැලකීමේ දී සම්ප්‍රජන්‍ය සංස්කෘතික ස්වීකරණය විසින් මානව ශිෂ්ටාචාරය පුරා සිදු කරනු ලැබ ඇත්තේ මහත් ව්‍යසනයකි.  

ඇමෙරිකාවේ චිකාගෝහි පර්යේෂණ පිළිබඳ මහත් අභිරුචියෙන් ලියන අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා තමන්ගේ පෙළ තුළ සංස්කෘතික ස්වීකරණයේ මෙකී ද්විරූප්‍යතාව ඉතා සූක්ෂ්ම ලෙස සඟවයි. ඔහු එසේ කරන්නේ කවර හේතු ප්‍රකාරව ද? යන ප්‍රශ්නය අප විග්‍රහ කර ගත යුතු ය. පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා මෙසේ පවසයි: 

උතුරු කොළඹ සිට හලාවත දක්වා වෙරළබඩ තීරයේ ක්‍රිස්තියානි දෙමළ ජනයා ද මේ අනදමින් ම සිංහල සමාජය තුළට ස්වීකරණය වෙමින් සිටිති.

සියලු ජාතික අනන්‍යතා සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ධීරානන්ද ගුණහේරත් සහෝදරයා සමඟ අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා දීර්ඝ කාලයක සිට කරමින් සිටින ජාතික අනන්‍යතා පිළිබඳ සංවාදයේ දී ද අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා එම ප්‍රකාශය කර ඇත. එම ප්‍රකාශය දෘශ්‍යමානය තුළ සිංහල ජාතිකවාදී සහෝදරත්වයට රුචිකර වන ලෙස ඔහු විසින් භාෂණය කරනු ලැබ ඇත. එය ස්වීකරණය නම් අයිසින් තවරන ලද කේජු කැබැල්ලකි. සිංහල ජාතිකත්වය පිළිගන්නා, එය වෙනුවෙන් පෙනී සිටින සියලු සුධීමතුන් අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයාගේ ස්වීකරණ අයිසින් තැවරූ කේජු කැබැල්ලෙන් පරිස්සම් විය යුතු බව සිංහල ජාතිකත්වය පිළිගන්නා පුද්ගලයකු වන මම පවසමි. එයට හේතුව එම ප්‍රණීත අයිසින්වලින් වසා ඇති කේජු කැබැල්ල පුස් ගසා තිබීම පමණක් නො ව එයට හලාහල විෂ ද මුසු කර තිබීම ය.උතුරු කොළඹ සිට හලාවත දක්වා වෙරළබඩ තීරයේ ක්‍රිස්තියානි දෙමළ ජනයා සිංහල සමාජය තුළට ස්වීකරණය වෙමින් සිටිති” යන අනාගතවාදී වාක්‍යය තුළ ඇති සපපාතික සංස්කෘතික ස්වීකරණයේසපපාතික” (spontaneous) යන විශේෂණය සඟවන අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා එමඟින් ස්වීකරණය නම් ක්‍රියාවලිය පොදු ලෙස සුජාතකරණය කරයි. එකී සුජාතකරණය ඔස්සේ ඔහු තම ලිබරල්වාදී කන්‍යාභාවය ද රැක ගනිමින් උතුරු-නැගෙනහිර දෙමළ ජනයාගේ ජාතික අනන්‍යතා  ද සිංහල ජනයාගේ ජාතික අනන්‍යතා තුළ සම්ප්‍රජන්‍ය (deliberate ~ forceful) සංස්කෘතික ස්වීකරණයක් කරවීම සඳහා වරපතක් නිර්මාණය කරයි (අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා තම ප්‍රකාශය තුළ අනන්‍යතා වෙනුවට “දෙමළ ජනයා” සහ “සිංහල සමාජය” යන සමරෑපී නො වන සෞම්‍ය වදන් දෙකක් භාවිත කරන්නේ ද පාඨකයා මුළා කිරීමට ය). 

අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා මෙලෙස සිංහල ජාතිකවාදී සහෝදරත්වය වසඟයට ගන්නට තතමන්නේ ඇයි? සිංහල ජාතිකවාදී සහෝදරත්වය අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයාගේ වසඟකාරීත්වයෙන් මිදිය යුත්තේ ඇයි?

මෙම ප්‍රශ්නවලට පිළිතුරැ සැඟව ඇත්තේ අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා ‍සිංහල ජාතිකවාදී සහෝදරත්වයට පිළිගන්වන ප්‍රණිත ය යි පෙනෙන කේජු කැබැල්ල මත තවරා ඇති ස්වීකරණ අයිසින් තට්ටුවට යටින් ය. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා මෙසේ පවසයි:

ස්වීකරණය ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තරිකව පමණක් සිදු වන ක්‍රියාවලියක් නො වේ. ලාංකිකයන් ලෝක ප්‍රජාව තුළ ස්වීකරණය වන ආකාරය හඳුනාගත හැකි සාධක ද තිබේ.

දෙමළ ජාතිකත්වයේ අනන්‍යතා සිංහල ජාතිකත්වයේ අනන්‍යතා තුළට සම්ප්‍රජන්‍ය ස්වීකරණයකට ලක් කරන්නට වරපත් සකසා ගත් අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා ඊ ළඟට කොටන්නේ සිංහල ජාතිකත්වයේ අනන්‍යතාවලට ය. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා යනු ලබ්බට තැබූ අත පුහුලට නොතබන ජාතියේ සත්ත්වයෙක් නොවන්නේ ය. මක් නිසා ද යත් ඔහු වර්තමානයේ කැප වී සිටින ආගමික නිකායේ ඉගැන්වීම්වල ස්වභාවය එලෙස නිසා ය. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා තම ස්වාමියා වෙනුවෙන් ඉටු කරමින් සිටින කොන්ත්‍රාතුවේ අත්‍යන්ත අරමුණ වන්නේ සියලු ජාතික අනන්‍යතා අවසානයේ දී එක් සර්ව ව්‍යාප්තික ගෝලීය අනන්‍යතාවක් තුළට ස්වීකරණය කරවීම ය; එමඟින් සමජාතීත්වයක් ඇති කිරීම ය. ඒ වූ කලී අන් කිසිවක් නො ව නූතන අධිරාජ්‍යවාදයේ අනන්‍යතාව හෙවත් ඇමෙරිකානු ව්‍යාප්තවාදයේ අනන්‍යතාව යි. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා වර්තමානයේ සන්ධානගත වී සිටින්නේ ඇමෙරිකන් ව්‍යාප්තිවාදයේ ලාංකික නියෝජිතයා සමඟ ය. විවිධ වියුණු ඔස්සේ අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා ඉටු කරන්නේ එකී නූතන අධිරාජ්‍යවාදයේ න්‍යායපත්‍රය යි. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා මෙසේ පවසයි:

ස්වීකරණය පිළිබඳ මෙම සටහන තබන්නට හේතු වුණේ, පුළුල් දේශපාලන අනන්‍යතා සංවර්ධනය කිරීමෙහිදී ස්වීකරණය ඉතා වැදගත් නිසා ය. අප සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලන අනන්‍යතාවන් ඉක්මවා ගිය පුළුල් දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් පෙනී සිටින විට ස්වීකරණයේ ප්‍රවණතා කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය ය.

අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයාගේ සිංහල, දෙමළ, මුස්ලිම් අනන්‍යතාවන් ඉක්මවා ගිය පුළුල් දේශපාලන ප්‍රජාව පිළිබඳ උතෝපියාව වැටී ඇත්තේ අවශේෂ ජාතිකත්වයන් සිංහල ජාතිකත්වය තුළට ස්වීකරණය කරවා අවසානයේ දී සිංහල ජාතිකත්වය නූතන අධිරාජ්‍යවාදය තුළට ස්වීකරණය කරවීම ඔස්සේ ය. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයාගේ ස්වීකරණ ව්‍යාපෘතියට සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකවාදී සහෝදරත්වයන් එකා වන් ව විරුද්ධ විය යුත්තේ එහි ඇති සර්ව ජාතිකත්වනාශක අත්‍යන්ත අරමුණ නිසා ය. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා මෙසේ පවසයි: 

එහෙත්, ස්වීකරණය යනු බලහත්කාරයෙන් කළ හැකි ක්‍රියාවක් නො වේ.

එම ප්‍රකාශය යනු තම නීච අධ්‍යාශයට බුද්ධිවාදී සින්දුරම් තැවරීමක් පමණි. බලහත්කාරී ස්වීකරණය ඉතා නින්දිත ලෙස අවභාවිත කිරීමට වරපත් සකසන අතර ම එම බලහත්කාරය උපද්‍රව සහිත විය හැකි බව ද ඔහු පවසයි. බැලූ බැල්මට සබුද්ධික ය. එහෙත් එම ප්‍රකාශය “දුම්බීම පිළිකා ඇති කරයි” යන ප්‍රකාශය වැනි ය. 

මම මගේ භාෂාවට අසීමිත ව ආදරය කරමි. ඒ තරමට ම මම ඉංගිරිසියටසංස්කෘතයටපාලියටග්‍රීක හා ලතින් භාෂාවලට ද ප්‍රංශ භාෂාවට ද ආදරය කරමි. මට දෙමළ භාෂාව ද උතුරැ පළාතේ රාජ්‍ය සේවයේ නිරත වීම නිසා සැලකිය යුතු මට්ටමකට ව්‍යවහාර කර ගත හැකි ය. භාෂාව යනු සංස්කෘතියේ අනුශාංගික නිර්මිතයකි. වාග් විද්‍යා දර්ශනය අනුව භාෂාව තරමට ස්වීකරණයට ලක් වන වෙනත් සංස්කෘතික අංගයක් නැති තරම් ය (මා විසින් මෙහි දී අවධාරණය කෙරෙන්නේ භාෂාව තුළ සිදු වන ස්වරශාස්ත්‍රීය සිවීකරණය පිළිබඳ නො ව භාෂා අතර සිදු වන ස්වීකරණය පිළිබඳ ය). එනමුත් භාෂාවක් ස්වීකරණය තුළ නැති වී යන්නට ඉඩ දිය යුතු නැත; එසේ වන්නේ ද නැත. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයාට තබා නැපෝලියන් බෙනෙපාර්ට්ට හෝ වර්ධිත භාෂාවන් ස්වීකරණය මඟින් නැති කරවන්නට හැකි වූයේ නැත. 

1915-18 සමයේ දී ඔටෝමාන් අධිරාජ්‍ය තුළ විසූ ආර්මේනියානුවෝ තුර්කි රජය විසින් වර්ගසංහාරය කරන ලදහ. 

සිංහල ජාතිකත්වය තුළට දෙමළ සහ මුස්ලිම් ජාතිකත්වයන් සපපාතික ව ස්වීකරණය වීම පිළිබඳ ගැටලුවක් නැත. එහෙත් සිංහල ජාතිකත්වය තුළට දෙමළ සහ මුස්ලිම් ජාතිකත්වයන් සම්ප්‍රජන්‍ය ව ස්වීකරණය කරවීම ගැටලු සහගත ය. එය සිදුවන්නේ ම ආවශ්‍යයික බලහත්කාරීත්වයක් ඔස්සේ ය. එතුළ පවතින්නේ අනුච්ඡවික සංස්කෘතික ලක්ෂණ ප්‍රවර්තනය වීමක් නො ව දෘෂ්ටිවාදාත්මක මානනයකි. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා ජාතික ප්‍රශ්නයට විසඳුම් ලෙස ස්වීකරණය මඟින් “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍රජාවන් ගොඩනැඟීම” හෙවත් “ජාතිකත්වය නැති කිරීම” යන වියුක්ත වූ ජාතිකත්වනාශනීය න්‍යාය ගෙන ඒම තුළ ස්වීකරණය යන්න සම්ප්‍රජන්‍ය ස්වීකරණයක් බවට පත් වේ. එසේ නොවන්නේ නම් අජිත් පැරකුම් ජයසිංහ තමන්ගේ ඊනියා න්‍යායෙන් ජාතික ප්‍රශ්නය විසඳන්නේ ඊ ළඟ ආත්මය තෙක් බලා සිට ද? ඒ වූ කලී අනාගතවාදී උතෝපියානු සමාජවාදයක් පිළිබඳ බලාපොරොත්තු වීම වැනි නිෂ්ඵල කාර්යයකි. 

බහුවාර්ගික සමාජවල ජාතික ප්‍රශ්න විසඳීමේ (විසඳෙන තුරු බලා සිටීමේ නො වේ) සුවිශේෂ අරමුණේ දී ස්වීකරණයට ඇති වටිනාකම සමස්තයක් ලෙස සැලකූ විට නිෂේධනීය ය. බහුවාර්ගික සමාජවල ජාතික ප්‍රශ්න විසඳීමේ දී වාර්ගික අනන්‍යතාවල විවිධත්වය පිළිබඳ මූලික ප්‍රවේශ දෙකක් පවතී. 

1. වාර්ගික විවිධත්වය නිරසනය (elimination) මඟින් සමජාතීය සමාජයන් ගොඩනැඟීම.

2. වාර්ගික විවිධත්වයන් කළමනාකරණය මඟින් වාර්ගික ආතතීන් සහ ගැටුම් අවම කර, සියලු අනන්‍යතාවන්ට අන්‍යෝන්‍ය වශයෙන් ගෞරව කරන විෂමජාතීය සමාජයන් ගොඩ නැඟීම.  

1944 වර්ෂයේ මැයි මස 18 වැනි දින සමස්ත ක්‍රිමියන් ටාටාර් ජන ප්‍රජාව ම මධ්‍යම ආසියාවට සහ සයිබීරියාවට නිර්වාස කරන ලදහ. මෙම බලහත්කාරී ජන ප්‍රජා ස්ථානමාරුව සිදු වූයේ ස්ටැලින්ගේ පාලන තන්ත්‍රය යටතේ ය.

වාර්ගික විවිධත්වය නිරසනය යනු පහසු එහෙත් නාස්ත්‍යාත්මක ප්‍රවේශයකි. එකී වාර්ගික නිරසනය සිදු කෙ‍ෙරන ක්‍රම වන්නේ වර්ගසංහාරය, බලහත්කාරී ජන ප්‍රජා ස්ථානමාරුව, නිර්ගමනය (secession) සහ ස්වීකරණය යන ඒවායෙන් එකක් හෝ කීපයක් හෝ ය. “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍රජාවන් ගොඩනැඟීම” හෙවත් “ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතිකත්වය නැති කිරීම ය” යන අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයාගේ න්‍යාය මඟින් ඔහු ජාතික ප්‍රශ්නයට සපයන ඊනියා විසඳුමේ විනාශකාරීත්වය දැන් පැහැදිලි විය යුතු ය.

වාර්ගික විවිධත්වයන් කළමනාකරණය යනු අපහසු එහෙත් අස්ත්‍යාත්මක ප්‍රවේශයකි. හෙජමොනික පාලනය, සමථකරණය, හවුල්බලහිමිකාරීත්වය, සන්ධීයවාදය, කැන්ටනීකරණය ආදී සහමන්ත්‍රණීය ක්‍රම මඟින් එකී වාර්ගික විවිධත්වයන් කළමනාකරණය සිදු වේ. 

අන්තිම දෙමළාගේ සමෙන් ද පාවහන් සදන තෙක් සටන් කරන්නට කතා කළ ආන්තික සිංහල ස්වෝත්තමවාදී රාජරත්නගේ සිට දෙමළ ජනයා සඳහා වෙන ම රාජ්‍යයක් සඳහා ම සටන් කළ ආන්තික දෙමළ ස්වෝත්තමවාදී ප්‍රභාකරන් දක්වා අන්තවාදීන් විසින් අනුයන ලැබුවේ වාර්ගික විවිධත්වය නිරසන ප්‍රවේශය යි. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍රජාවන් ගොඩනැඟීම” හෙවත් “ජාතිකත්වය නැති කිරීම” යන වියුක්ත වූ ජාතිකත්වනාශනීය න්‍යාය සිත්හි දරා වර්තමානයේ එකී අන්තවාදීන් සමඟ ඒකාත්ම වන්නේ පමණක් නො ව ප්‍රගතිශීලීන් ද තමන් හා එක් විය යුතු බව පවසයි. මේ නම් කවර විසුළුවක් ද? වාමාංශික (මාර්ක්ස්වාදී) හා දක්ෂිණාංශික (ලිබරල්) ප්‍රගතිශීලීන් සිටිය යුතු වන්නේ නාස්ත්‍යාත්මක වූ වාර්ගික විවිධත්ව නිරසනය සමඟ නො ව අස්ත්‍යාත්මක වූ වාර්ගික විවිධත්ව කළමනාකරණය සමඟ ය. 

කලකට පෙර “භාෂා දෙකක් – එක් රටක්”, “එක්සත් – තනි රටක්” වැනි පෝස්ටර් ව්‍යාපාරවලට දායකත්වය දුන් අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයාට සිදු වී ඇති ඛේදවාචකය පිළිබඳ මම අවංක ව කනගාටු වෙමි. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා එක ම ප්‍රස්තුතය අලළා එක් එක් දිනයට එක් එක් අදහස් පළ කරයි. අප පුදුම විය යුතු නැත. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා සිදු කරමින් සිටින්නේ තම ස්වාමියා විසින් නිර්දේශ කරන මාතෘකා සඳහා තම ස්වාමිය‍ා විසින් සපයන උපදෙස් මාලාවට අනුව අන්තර්ගත ලිවීමකි. අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයාගේ ස්වාමියා හෙට දිනයේ දී ‍සන්ධීය නො ව සහ-සන්ධීය ක්‍රමයක් වෙනුවෙන් ලියනු යනුවෙන් පැවසුව හොත් අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයා නිර්ලජ්ජිත ව එය ද කරනු ඇත.  

මට වාමාංශිකයන්ගෙන් ද විමසන්නට ප්‍රශ්නයක් ඇත. වාමාංශිකයන්ගේ සම්භාව්‍ය මාර්ක්ස්වාදී සම්ප්‍රදානය තුළ ජාතිකත්වය පිළිබඳ කතිකාවක් ප්‍රමුඛ ව ගොඩනැඟී නැත (සම්භාව්‍ය මාර්ක්ස්වාදය මූලික ව ම අවධාරණය කරන්නේ පන්තිය පිළිබඳ ය). මාර්ක්ස් සහ එංගල්ස්ගේ මූලික සාහිත්‍යය තුළ ජාතිකත්වය පිළිබඳ ම ලියවුණු නිබන්ධන ‍සොයා ගත නොහැකි ය. එහෙත් පෝලන්ත ප්‍රශ්නය, අයර්ලන්ත ප්‍රශ්නය වැනි කාරණ අලළා මාර්ක්ස් සහ එංගල්ස් විසින් ලියවුණු ලිපිවල ජාතිකත්වය පිළිබඳ යම් යම් අදහස් පවතී. ජාතිකත්වය පිළිබඳ මාර්ක්ස්වාදී කතිකාව පුළුල් ව ගොඩනැඟෙන්නේ මාර්ක්ස්වාදයේ ලෙනින්වාදී දිගුව තුළ ය. බහුවාර්ගික සමාජයක් වූ රුසියානු සමාජය තුළ මාර්ක්ස්වාදය ස්ථාපිත කිරීමේ දී ජාතිකත්වය නො සලකා සිටීමට ලෙනින්ට නොහැකි විණ. ජාතිකත්වය පිළිබඳ සේ ම ස්වීකරණය පිළිබඳ ද ලෙනින් විසින් කතිකාවක් ගොඩනැඟිණි. එහෙත් ජාතිකත්වය (සහ ස්වීකරණය) පිළිබඳ ලෙනින්ගේ න්‍යාය ඉතා වරණීය සංකල්පයක් බව පෙනේ. එකී වරණීයත්වය විසින් නන් නය අර්ථකථනයන්ට අවස්ථාව සපයා දෙනු ලැබීමෙන් ජාතිකත්වය (සහ ස්වීකරණය) පිළිබඳ වාමාංශික කතිකාව යම් ව්‍යාකූලත්වයකට පත් ව ඇත. එනිසා මාර්ක්ස්-ලෙනින්වාදී සාහිත්‍යය පුනර්විමර්ශනය කර ජාතිකත්වය පිළිබඳ මාර්ක්ස්වාදී අස්ථානය පිරිපහදු කර ප්‍රකාශ කිරීම සමකාලීන මාර්ක්ස්වාදී න්‍යායාචාර්යවරුන්ගේ වගකීමක් නොවන්නේ ද? එම ප්‍රශ්නය මම මා හිතවත් ධීරානන්ද ගුණහේරත් සහෝදරයා වෙත යොමු කරන්නට රිසියෙමි. 

මට ලිබරල්වාදීන්‍ගෙන් ද විමසන්නට ප්‍රශ්නයක් ඇත. සම්භාව්‍ය ලිබරල්වාදයේ පදනම වන පුද්ගල නිදහස පිළිබඳ කතිකාව වර්තමානය වන විට ගණ නිදහස සහ ගණ අනන්‍යතා පිළිගන්නා මට්ටමකට වර්ධනය වී පවතී. විල් කිම්ලිකා වැනි සමකාලීන විශිෂ්ට ලිබරල්වාදී දාර්ශනිකයන් විසින් බහුසංස්කෘතිකත්වය, ගණ අනන්‍යතාගණ නිදහස සහ ගණ හිමිකම් ආදිය පිළිබඳ ලිබරල්වාදයට එක් කර ඇති නව මානයන් ලාංකීය ලිබරල්වාදීන් විසින් තම කතිකාවට එක් කර ගත යුත් නො වේ ද? මම එම ප්‍රශ්නය අපගේ පැරණි විශ්‍රාමික මිත්‍රයාගෙන් නො විමසමි. මක් නිසා ද යත් ලිබරල්වාදීන්ගෙන් විමසිය යුතු ප්‍රශ්න ලිබරල්වාදයේ කුලී ලියන්නන්ගෙන් විමසීම නිෂ්ඵල කාර්යයක් බැවිනි. එකල නම් මෙවැනි ප්‍රශ්න යොමු කරන්නට නිසි ශිරාල් ලක්තිලක හෝ සිටියේ ය. එහෙත් ඒ ශිරාල් ලක්තිලක අද නැත.

සියලු ජාතික අනන්‍යතාවන් සපපාතික ස්වීකරණය හැර අන් කිසිඳු සම්ප්‍රජන්‍ය ස්වීකරණයකින් හෝ වාර්ගික විවිධත්ව නිරසනයනින් (elimination) හෝ අන්තර්ධාන නො වේවා!

අනාගත පරපුරේ සුරක්ෂිතතාව උදෙසා මම මෙසේ පවසමි: අපගේ පැරණි විශ්‍රාමික වාමාංශික මිත්‍රයාණෙනි, තරුණ පරපුර නොමඟ යැවීම වහා ම නවතා දමනු! 

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s