මනෝවිශ්ලේෂණය, කලා විචාරය සහ ලාංකීය මනෝවිශ්ලේෂකයෝ

මනෝවිශ්ලේෂණය යනු කලා විචාරයේ දී යම් දායකත්වයක් දැක්විය හැකි දැනුම් පද්ධතියකි. එහෙත් කලා විචාරයේ අභිප්‍රායන් මනෝවිශ්ලේෂණයෙන් පමණක් ඉෂ්ට නොවන්නේ ය.

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ වාසය කරන අපගේ මිතුරකු අප වෙත “මනෝවිශ්ලේෂණාත්මක කියවීමක්” ලෙස ඔජ වඩවා යම් පුද්ගලයකු විසින් යම් තැනෙක පළ කරන ලද පල්හෑල්ලක් එවා ඇත. එවැනි පල්හෑලිවලට කලා විචාර ය යි ද ඇතමකු විසින් වහරනු ලබන බව ද අප මිතුරා පවසයි. අප කියවන්නට නොරිසි පල්හෑලි අප වෙත නිරන්තර ව එවීම අපගේ විද්වත් සන් මිතුරාගේ චර්යාවකි. අප සන්මිතුරා එසේ කරන්නේ ම එම පල්හෑලි පිළිබඳ අපගේ අදහස් දැන ගැනීමට බව අපි දනිමු. පෙර පැවසි ඊනියා “මනෝවිශ්ලේෂණාත්මක කියවීමක්” නම් පල්හෑල්ලමනෝවිශ්ලේෂණයකලා විචාරයලාංකීය මනෝවිශ්ලේෂණය ද අලළා අප විසින් අප මිතුරාට පෞද්ගලික ලිපියක් ලියා යැවිණි. එම පෞද්ගලික ලිපිය අප තමන් විසින් පොදු ලිපියක් බවට පත් කර ගත් බව පවසන අප මිතුරා එම ලිපිය පොදු කියවීමක් සඳහා පළ කරන ලෙස ඉල්ලා සිටියි. මතු පළ වන්නේ පොදු කියවීමක් සඳහා සකස් කළ එම ලිපිය ය.

මනෝ වෛද්‍ය විද්‍යාවේ එන borderline personality disorder (සීමාස්ථ පෞරුෂත්ව අක්‍රමිකතාව) යන මනෝ ව්‍යාධි තත්ත්වයේ අභාවිත ෆ්‍රොයිඩියානු අර්ථකථනය තත්ත්වාකාරයෙන් කලාකෘති මත පැහැරීමකි පෙර කී පල්හෑල්ල. මේවා කලා විචාර නො වේ. මේවා කලාව හෝ මනෝ වෛද්‍ය විද්‍යාව හෝ පිළිබඳ හයහතර නොදන්නවුන් එවැනි ම එවුනගේ විස්මය සඳහා කරන නන්දෙඩවිලි ය. මනෝවිශ්ලේෂණය යනු සායනිතක ව ඉතා අල්පසාධනීය දැනුමකි. එය රසවත් ය. සැලකිය යුතු ගුණයක් නම් නැත. යම් තරමක අගුණයක් නම් ඇත. 

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්

මනෝවිශ්ලේෂණය ලාංකීය ශාස්ත්‍රාලීය පරිසරයට අලුත් ආගන්තුක දැනුමක් නො වේ. අඩසියවසකට වැඩි කාලයක් පුරා ෆ්‍රොයිඩ් පමණක් නො ව යුං, ලකාන් වැන්නවුන් ද ලාංකීය ශාස්ත්‍රාලීය ශාස්ත්‍රවන්තයන් විසින් කියවිණි. එහෙත් එය අරුමෝසම් මෝස්තරයක් කර ගැනීමට කිසිවකුට උවමනා වූයේ නැත. මනෝවිශ්ලේෂණයේ රස කෑලි හංදියක් හංදියක් පාසා ඇසෙන ඕපාදූප බවට පත් කරනු ලැබුවේ දීප්ති විසිනි (නූතනත්වයට පසු ලෝකය ගැන කතිකාවක අග්‍රේසරයා වූ රොහාන් එයට පදනමක් දැමූ බව සිහි කළ යුතු ය) . මනෝවිශ්ලේෂණය පමණක් නො ව අපරදිග (බටහිර) දර්ශනය ද ලාංකීය ශාස්ත්‍රාලයේ ප්‍රවේණික උරුමයක් ව පැවතීමෙන් ගලවා සමාජගත කළ දීප්ති තම යුගකාරක සම්ප්‍රදානය විධිමත් ලෙස කළ බව පැවසිය යුතු ම ය. මනෝවිශ්ලේෂණයේ රස කෑලී ප්‍රවර්ධනය කළ දීප්ති නිසා මනෝ විශ්ලේෂණයත් බටහිර දර්ශනයත් යම් විකෘතිකරණයකට ලක් වුවත් එම විකෘතිය විසුළුවක් බවට පත් වූයේ නැත. මනෝවිශ්ලේෂණයේ දීප්තියානු අර්ථකථනය ලැකාන් හා ජිජැක් අතර පැවති සංක්‍රාන්තික හා සසේතුක පරිණාමික රෑපාකාරයක් ලෙස හැඳින් වීම යුක්ති යුක්ත ය. රෑපික ව පවසතොත් දීප්තියානු මනෝවිශ්ලේෂණ අර්ථකථනය යනු බ්‍රෙෂ්ට්ගේ The Caucasian Chalk Circle තුළ ති‍බූ රස කෑලි ගෙන හෙන්රි විසින් නිපැයුණු හුණු වටේ කතාව ය. හුණු වටේ කතාව ප්‍රශස්ත සම්භාවනීය නිර්මාණයකි. පසු කාලීන ව ඇති වූ අනුවර්තන නාට්‍ය විසුළු වීම හෙන්රිගේ වරදක් නො වේ. එලෙස ම වර්තමානයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රවර්ධනය කෙරෙන මනෝවිශ්ලේෂණ අර්ථකථනයන් විසුළු වීම දීප්තිගේ වරදක් නො වේ.

වර්තමානයේ “මනෝවිශ්ලේෂණාත්මක කියවීම්” යන සාටෝපවත් ලේබලයෙන් හතු පිපෙන ලෙස තැන තැන මතු වන පල්හෑලි විසින් මනෝවිශ්ලේෂණයට කරනු ලබන හානිය සුළුපටු නො වේ. මක් නිසා ද යත් මෙකී පල්හෑලි මඟින් මනෝවිශ්ලේෂණය ෆ්‍රොයිඩ් තුළ සිර කර තබන බැවින් ය. 

කාල් යුං

ළදරුවකු තම මව සමඟ ද ළදැරියක තම පියා සමඟ ද ලිංගික සම්බන්ධතාවයට දක්වන “ආශාව” (desire) අවිඥානික ව ගතිකාවරෝධනයකට ලක් කර ගැනීම නිසා එකී ළදරුවාගේ හෝ ළදැරියගේ හෝ මනස තුළ ජනනය වන මනෝගතීන් හා භාවයන් ඥානනය කිරීම සඳහා ෆ්‍රොයිඩ් ඊඩිපස් සංකීර්ණය සංකල්පගත කළේ ය. එහි දී ඔහු සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේ එන සොපොක්ලීස්ගේ ඊඩිපස් නාට්‍යාඛ්‍යානයේ එක් චරිතයක නාමකරණය භාවිතා කර ඇත. යුං විසින් සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේ එන සොපොක්ලීස්ගේඉලෙක්ට්‍රා නාට්‍යාඛ්‍යානයේ එක් චරිතයක  නාමකරණය භාවිතා කර සංකල්පගත කරන ලද ඉලෙක්ට්‍රා සංකීර්ණය හෙවත් ළදැරියක තම පියා සඳහා තම මව සමඟ කරන මනෝලිංගික තරඟය, ෆ්‍රොයිඩ් විසින් ඊඩිපස් සංකීර්ණය මඟින් ස්ත්‍රී පුරුෂ ද්විලිංගයට ම සර්වත්‍ර කරන ලදී. ෆ්‍රොයිඩ් ඊඩිපස් සංකීර්ණයේ එක් ලක්ෂණයක් ලෙස පීතෘ සංකීර්ණය සූත්‍රගත කළේ ය. ෆ්‍රොයිඩ් පීතෘ සංකීර්ණය ලෙස හඳුන්වන්නේ පීතෘ චිත්තරූපය/ප්‍රතිබිම්බය(image) හෝ පුරාදර්ශය (archetype) හෝ කෙරෙහි ඇති වන සබැඳියාවල හෝ චිත්තාවේගවල හෝ සමස්තය ය. මෙම පීතෘ සංකීර්ණ සංකල්පය ‍පසු ව ෆ්‍රොයිඩ් සහ යුං සුසංයෝගය විසින් වර්ධනය කෙරිණි. ඒ විසි වැනි ශතවර්ෂයේ පළමු දශකයේ දී ය. 1913 වන විට සිදු වූ ෆ්‍රොයිඩ්-යුං සුසංයෝගයේ ඛණ්ඩනයෙන් පසු මනෝවිශ්ලේෂණය තුළ පීතෘ ප්‍රතිබිම්බ සහ පීතෘ සංකීර්ණ පිළිබඳ කතිකාව නැති ව ගියේ ය. ලකාන් විසින් ගොඩනැඟෙන පියා පිළිබඳ කතිකාව ඉන් පසු ශීඝ්‍ර වර්ධනයක් ලැබී ය. නූතන මනෝවිශ්ලේෂණය තුළ පීතෘ ප්‍රතිබිම්බ හෝ පීතෘ සංකීර්ණ පිළිබඳ ඇසෙන්නේ ද නැත. විසිඑක් වැනි ශතවර්ෂයේ දෙවන දශකයේ අග දි විශිෂ්ටයකුගේ නවකතාවක් පිළිබඳ ඊනියා “මනෝවිශ්ලේෂණාත්මක කියවීමක්” ලියන පුහු පඬියකු බඩ පිනුම් ගසමින්, උඩ පනිමින්, බිම දිගාවෙමින්, පොළොවේ පස් කමින් වචන දෙදහසක් පමණ වමනය කරමින් කර ඇත්තේ දහනව වැනි ශතවර්ෂයේ පළමු වැනි දශකයේ දී සූත්‍රගත කෙරි වර්තමානයේ අභාවිත පීතෘ ප්‍රතිබිම්මයක් ද ඊඩිපස් සංකීර්ණයේ මූලස්වරූපයක් ද අතපත ගෑම පමණි. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියේ 19 වැනි වගන්තියට මුවා වී මෙම බකපඬුවන් කවර මනෝවිකාර දෙඩු ව ද අපට ගැටලුවක් නැත. එහෙත් අප කනගාටු වන්නේ එවැනි පුහු පඬුවන් උත්කර්ෂණයට ලක් කරමින් ඔවුන්ගේ පල්හෑලී ප්‍රවර්ධනය කිරීමේ කුණු කොන්ත්‍රාතුව සෝෂුවරියානු සංඥාර්ථවේදය පිළිබඳ ද ජිජැකියානු මනෝවිශ්ලේෂණ අර්ථකථනවේදය පිළිබඳ ද හදාරා ඇති අප උගත් සරසවියක ම දීප්තිමත් විද‍යාර්ථියකු විසින් භාර ගනු ලැබීම පිළිබඳ ය.

ශක් ලකාන්

ෆ්‍රොයිඩ්ගේ සිට වර්තමානය තෙක් පියා පිළිබඳ මනෝවිශ්ලේෂණයේ වැදගත් සන්ධිස්ථාන කීපයක් ද කලා විචාර විධික්‍රමයක් ලෙස සමකාලීන ලාංකීය මනෝවිශ්ලේෂණයේ පවතින ඌනතාවන් කීපයක් ද අපි මෙලෙස සාකච්ජා කරමු. ෆ්‍රොයිඩ් පවසන “ආශාව” (desire)  යනු මානව ජීවිතයේ වැදගත් ම ගාමක බලය යි. මෙකී “ආශාව” යනු කුමක් ද යන්න විග්‍රහ කරන ලකාන් පවසන්නේ එය හුදු කැමැත්තක් පමණක් නො ව “අහිමි වීම” පිළිබඳ සංවේදනයක් බව ය. ලකාන්ට අනුව මෙම “ආශාව” මානව ජීවිතයේ විවිධ අවධිවල දී විවිධ වස්තු හා සංකල්ප වෙත යොමු වේ. “ආශාව” මෙලෙස යොමු වන වස්තු හා සංකල්පවල සංඝටකයන්ගේ සර්වත්‍ර කුලකය ලකාන් විසින් “මහා අනෙකා” (the Big Other) හෙවත් “සංකේතීය සරණිය” (the symbolic order/the symbolic) ලෙස සංකල්පගත කෙරිණි (ලකාන් මේ සඳහා යොදා ගන්නා the symbolic යන වදන ඔහු යොදන්නේ විශේෂණාර්ථයෙන් නො ව නාමාර්ථයෙන් ය). ෆ්‍රොයිඩ්ට අනුව ළදරුවා හෝ ළදැරිය හෝ තම “ආශාව” අවරෝධනය කර ගන්නේ වන්ධ්‍යකරණයට ලක් වීමට ඇති බිය නිසා වු ව ද ලකාන්ට අනුව එකී “ආශාව” අවරෝධනය කර ගනු ලබන්නේ මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළට ළදරුවා හෝ ළදැරිය හෝ අන්තර්ග්‍රහණය වීමේ දී එකී මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළ පවතින හාෂාත්මක සන්නිවේදනයත්, අන්තර්පුද්ගල සම්බන්ධතාත්, දෘෂ්ටිවාදීමය රීතීනුත්, නීතියට අවනත වීමත් යන සංඝටකයන් සමඟ අනුගත වීමක් ලෙස ය. එනම් මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළට අන්තර්ග්‍රහණය වන ළදරුවා හෝ ළදැරිය හෝ  එකී භාෂාත්මක ලෝකය තුළ ව්‍යභිචාරවාරණිත දෘෂ්ටිවාදමය රීතීන්ට හා නීතීන්ට අනුගත වීමක් ලෙස තම මව හෝ පියා හෝ කෙරෙහි පවතින මනෝලිංගික ආශාව අහිමි කර ගනී. මෙලෙස ළදරුවකු තම මව කෙරෙහි හෝ ළදැරියක තම පියා කෙරෙහි  හෝ දක්වන “ආශාව” අත්හැරීමේ දී ඒ සඳහා විකල්පය ලෙස තෝරාගනු ලබන හැඟවුම්කාරකය (signifier) කුමක් ද යන්න ලකාන් සංකල්පගත කළේ ය. ලකාන් එකී හැඟවුම්කාරකය “පීතෘ නාමය” (the name of the father) ලෙස සංකල්පගත කළේ ය. එනම් මව පිළිබඳ ආශාව අහිමි වීම හැඟවුම්කරණය ලකානියානුපීතෘ නාමය” යි. මෙනයින් අපට පෙනී යනුයේ ලකානියානුපීතෘ නාමය” යනු සංකේතයක් බව ය. එනම් “පීතෘ නාමය” (the name of the father) යන්නට “සංකේතීය පියා” (symbolic father)  යන්න පර්යාය වේ. “පීතෘ නාමය” හෙවත් “සංකේතීය පියා” මේ අනුව පුරුෂ වීම ම අවශ්‍ය නැත. එය අහිමි කරනු  ලැබූ ආශාවට අනුගත ව පුරුෂ හෝ  ස්ත්‍රී හෝ  විය හැකි ය. සැබවින් ම “පීතෘ නාමය” හෙවත් “සංකේතීය පියා” යනු ලකානියානු ශාස්ත්‍රීය සම්ප්‍රදානයේ එන සංකේතීය (the symbolic), විත්තරූපීය (the imaginary) හා යථාමය/යථ” (the real) යන ත්‍රිවිධ සංකල්පයන්ගෙන් එකක් පමණි. එකී ත්‍රිවිධ සංකල්පයට අනුව ලකානියානු පීතෘ කතිකාව සංකේතීය  පියා (symbolic father), චිත්තරූපීය පියා (imaginary father) සහ යථාමය පියා (real father) ලෙස ත්‍රිවිධාකාර ය. 

චිත්තරූපීය පියා (imaginary father) යනු “පියා” නම් වන සංකල්පය පිළිබඳ දරුවාගේ පරිකල්පනයේ නිර්මිතය ය. පියා පිළිබඳ මෙකී පරිකල්පනය හොද හෝ නරක, ක්‍රෑර හෝ කාරුණික ආදී රූපික ප්‍රතිවිරුද්ධතාවන්ගෙන් එකක් විය හැකි ය. 

පෙර සඳහන් කෙරුණු පරිදි සංකේතීය පියා (symbolic father) යනු ළදරුවකු තම මව කෙරෙහි හෝ ළදැරියක තම පියා කෙරෙහි  හෝ දක්වන “ආශාව” අත්හැරීමේ දී ඒ සඳහා විකල්පය ලෙස තෝරාගනු ලබන හැඟවුම්කාරකය (signifier) හෙවත් “පීතෘ නාමය” (the name of the father) ය. “පීතෘ නාමය” හෙවත් “සංකේතීය පියා” මේ අනුව පුරුෂ වීම ම අවශ්‍ය නැති බවත්, එය අහිමි කරනු  ලැබූ ආශාවට අනුගත ව පුරුෂ හෝ  ස්ත්‍රී හෝ  විය හැකි බවත් පෙර සඳහන් කෙරිණි. 

ලකාන්ට අනුව යථාමය පියා (real father) යනු ජෛව විද්‍යාත්මක පියා හෝ මව සමඟ ජීවත් වන පුරුෂයා හෝ නො වේ. ළදරුවකු තම මව කෙරෙහි හෝ ළදැරියක තම පියා කෙරෙහි හෝ දක්වන “ආශාව” අත්හැරීම සඳහා යථාර්ථය (reality) තුළ හෝ යථාර්ථයේ යම් ආකාරයක් තුළ හෝ ළදරුවාට හෝ ළදැරියට හෝ මඟ පෙන්වන ඕනෑ ම භාවයකි (any being). එනම් දරුවකුගේ ව්‍යභිචාරකාමය (incestuous desire) අවරෝධනය කරවා, දරුවා මවගේ පැලස (phallus – පුරුෂ සංකේතය) බවට පත් වීමෙන් වළක්වනු ලබන්නේ (වෙනත් ආකාරයකින් පවස‍න්නේ නම් මව විසින් දරුවා පැලස බවට පත් කර ගනු ලැබීම වළක්වනු ලබන්නේ) කිසි යම් භාවයක් විසින් නම් එකී භාවය යථාමය පියා (real father) නමි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් යථාමය පියා (real father) යනු මවගේ අශාවේ වස්තුව ය! 

දරැවකුගේ පුරුෂභාවය (masculinity) හෝ ස්ත්‍රීභාවය (femininity) සාමාජීය නිර්ණය වන්නේ යථාමය පියාගේ (real father) මඟ පෙන්වීමෙන් සිදුවන දරුවාගේ ව්‍යභිචාරකාමය (incestuous desire) අවරෝධනය හෙවත් සංකේතමය වන්ධ්‍යකරණය මඟින් ය. භාෂාත්මක නිර්මිතයක් වන සංකේතීය පියා (symbolic father) පරිකල්පනීය නිර්මිතයක් වන චිත්තරූපීය පියා (imaginary father) තරමට ම පරිපූර්ණ නො වන නිසා චිත්තරූපීය පියා (imaginary father) සහ සංකේතීය පියා (symbolic father) අතර යම් හිඩැසක් (gap) පවතී. ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණයේ ලකානියානු දිගුවට අනුව වැදගත් ම සංකල්පය වන්නේ යථාමය පියා (real father) ය. 

සත්‍ය ලෙස ම ලකාන් තම ශාස්ත්‍රීය සම්ප්‍රදානය චිත්තරූපීය සරණියෙන් (the imaginary order) අරඹා සංකේතීය සරණිය (the symbolic order) ඔස්සේ වර්ධනය කරන උච්චතම අවස්ථාව යථාමය සරණිය (the real order) ය. එක්දහස් නවසිය හෑත්තෑව දශකයේ මුල දී මෙකී සරණි ත්‍රිරූපකය පිළිබඳ ලකාන් මෙලෙස පවසයි: 

I began with the Imaginary, I then had to chew on the story of the Symbolic, (with this linguistic reference for which I did not find everything that would have suited me,) and I finished by putting out for you this famous Real

ස්ලාවොයි ජිජැක්

ලකානියානු මනෝවිශ්ලේෂණය තුළ යථාමය/යථ (the real) යනු සංකේතීය සරණිය තුළ හැඟවුම්කරණය කර ගත නොහැකි දෙයකි. එනම් යථාමය/යථ යනු භාෂාවට ඔබ්බෙහි (beyond the language) පවතින දෙයකි. පුද්ගලයාගේ ප්‍රමෝදය රඳා පවතින්නේ යථාමය/යථ, සංකේතීය සරණිය තුළ හැඟවුම්කරණය කර ගත නො හැකි වීම නිසා ය. මක් නිසා ද යත් එම නොහැකියාව පූර්ණය කර ගැනීම සඳහා පුද්ගලයා විසින් ෆැන්ටසියක් නිර්මාණය කර ගනු ලැබීම නිසා ය. පුද්ගලයා යථාමය/යථ වෙතින් ඉවතට විකර්ෂණය වීම යනු ෆැන්ටසිය විස්තීර්ණය වීමකි. ෆැන්ටසිය බිඳ වැටී පුද්ගලයා යථාමය/යථ සමඟ අභිමුඛ වීම යනු ක්‍ෂිතිමය අත්දැකීමකි

ලකාන්ට පසු මනෝවිශ්ලේෂණය වර්ධනය වන්නේ යථාමය/යථ (the real) ඔස්සේ ය. විශිෂ්ටතම ජීවමාන ලකානියානු අර්ථකථනවේදියා වන ස්ලාවොයි ජිජැක්ගේ සමස්ත සම්ප්‍රදානය පාහේ පදනම් වන්නේ යථාමය/යථ (the real) මත ය. ජිජැක් යථාමය/යථ (the real) යන්න ද යළිත් චිත්තරෑපීය (imaginary real), සංකේතීය (symbolic real) සහ යථාමය/යථ (the real real) ලෙස වර නඟයි. සැබවින් ම ජිජැක් යනු යථාමය/යථ පිළිබඳ දාර්ශනියා ය (the philosopher of the real).

මනෝවිශ්ලේෂණය මෙතරම් වර්ධනය වී ඇති යුගයක දී “මනෝවිශ්ලේෂණාත්මක කියවීම්” යන නමින් “පීතෘ ප්‍රතිබිම්බය”, “ඊඩිපස් සංකීර්ණය” ආදී යල්පිනූ සංකල්ප පුනරුච්චාරණය කරමින් ෆ්‍රොයිඩ් වටා කැරකෙමින් සිටීම විකාරයක් නො වන්නේ ද? මනෝවිශ්ලේෂණය ජිජැක්ගේ සිට ෆ්‍රොයිඩ් දක්වා ප්‍රත්‍යාවර්තී ගතිකයකට ‍පත් කිරීම විකාරයක් නො වන්නේ ද? 

වැදගත් ම ප්‍රශ්නය වන්නේ කලා කෘතියක ඇති චරිතයක් මනෝවිශ්ලේෂණයට අනුව සම්පරීක්ෂා කර “එම චරිතයට මේ අක්‍රමිකතාව පවතී”, “මේ චරිතයට අර අක්‍රමිකතාව පවතී” ආදී රෝග විනිශ්චයන් දීමෙන් සිදුවන කලා විචාරය කුමක් ද යන්න ය. ‍එකී ගැටලුව අප විසින් සලකා බැලිය යුතු ය. පළමු ව කලාවේ කාර්යභාරයත් කලා විචාරයේ කාර්යභාරයත් කෙටියෙන් විමසා බලමු.

කලාකරුවාගේ කාර්යභාරය වූ කලී සතතාභ්‍යාසයෙන් සහ ව්‍යුත්පන්නයෙන් ඔපවත් වූ තම ප්‍රතිභාව උපයුක්ත කර සහෘදයාගේ ආනන්ද මණ්ඩලයේ නිම් වළලු සම්ප්‍රසාරණය කරවා මානව ජීවිතය වඩාත් සුපුෂ්පිත සහ සුපරිපූර්ණ වීමට බාධා කරන පසමිතුරු සමාජ සම්බන්ධතාවල නිස්සාර ස්වභාවය ඉස්මතු කිරීමෙන් සහෘදයාගේ ඥාන මණ්ඩලයේ නිම් වළලු සම්ප්‍රසාරණය කරවීම ය. එම කාර්යභාරය නම් මානව ජීවිතය නිදහසේ සුපුෂ්පිත වන්නට බාධා කරන ඊනියා සමාජ සම්බන්ධතාවල අඵලත්වය ඉස්මතු කර ඒවා ප්‍රශ්න කරනු ලබන තැනට රසික ජනයාගේ ආනන්දයත් ප්‍රඥාවත් පුබුදුවාලීම ය. කලාකරුවාගේ කාර්යභාරය එතැනින් නිම ය. විශිෂ්ට කලාකෘති පරිශීලනයෙන් ආනන්ද-ඥාන මණ්ඩල ප්‍රකම්පනය වී නැඟී එන සහෘද මානවයාගේ විප්ලවිය විභවය උපයුක්ත කර, සමාජ-දේශපාලන විප්ලවය සිදු කර, මානව ජීවිතය වඩාත් සුපුෂ්පිත හා සුපරිපූර්ණ කිරීම දේශපාලන කාර්යයකි.

කලාකරුවා තම කලා කෘති නිර්මාණය කරනුයේ මානව සංහතිය අතිදර්ඝ කාලයක් පුරා එක් රුස් කළ අතිමහත් වූ දැනුම් සම්භාරය තම ස්නායු පද්ධතිය තුළට ස්වීකරණය කර ගෙන බව අප ගුරුදේවයන් විසින් මනාව පෙන්වා දෙනු ලැබ ඇත. කලාකරුවා එකී දැනුම් සම්භාරය තම කලා කෘතිය තුළ තැන්පත් කර තිබේ. එනමුත් කලා කෘති පරිශීලනය කරන්නෝ එවැනි  දැනුමක් තමන්ගේ ස්නායු පද්ධතියට ස්වීකරණය කර ගත්තෝ නො වෙති. එනිසා කලා කෘතියක ඇති රසභාව සුපරිපූර්ණ ලෙස විඳීමෙන් ද සාරාර්ථයන් සුපරිපූර්ණ ලෙස වටහා ගැනීමෙන් ද කලාකරුවාගේ හෘදය හා ඒකාත්මික වී සහෘදයකු බවට පත් වීමට එරෙහි වන බාධාවක් රසිකයාට ඇත. එම බාධාව ඇති කරවන කලාකරුවා හා රසිකයා අතර පවතින දැනුම් හිඩැස පිරවීම කලා විචාරයේ කාර්යභාරය ය. රසිකයාට කලා කෘතිය වෙත ළඟා වීමට නො හැකි වන එකී හිඩැස පිරවීමට කලා විචාරකයා විසින් නිපදවෙන සේතුව කලා විචාරය ය. 

මානව ජීවිතය වඩාත් සුපුෂ්පිත සහ සුපරිපූර්ණ වීමට බාධා කරන පසමිතුරු සමාජ සම්බන්ධතාවල නිස්සාර ස්වභාවය ඉස්මතු කර පෙන්වා දීම කිසි යම් කලා කෘතියකින් සිදු වී තිබේ ද? එසේ වී තිබේ නම් එය කෙතරම් දුරට සිදු වී තිබේ ද? එසේ වී නො තිබේ නම් ඒ කවර හේතු නිසා ද? යන ප්‍රශ්න කලා විචාරයේ දී සලකා බැලේ. 

මනෝවිශ්ලේෂණාත්මක කියවීම්” යන නමින් වර්තමානයේ පළ වන රෝග විනිශ්චයපත් (diagnosis cards) ලිවීමෙන් කලා විචාරයෙන් අපේක්ෂිත පූර්වෝක්ත එක් අරමුණක්වත් ඉටු නො වේ. කලා විචාරය යනු මානසික රෝග නිර්ණය කිරීමක් නම් එම කාර්යය කරන්නට හොර මනෝවිශ්ලේෂකයන් අවශ්‍ය නැත. එම කාර්යය කරන්නට සුදුසුකම් ලත් මනෝ වෛද්‍ය විශේෂඥවරු ලංකාවේ සිටිති. 

වර්තමානයේ ලාංකීය කලා විචාරයට අරක් ගෙන සිටින ඊනියා මනෝවිශ්ලේෂණ විශේෂඥයන් කරමින් සිටින්නේ සාමාජීය  ප්‍රශ්න මනෝවිශ්‍ෙල්ෂණයේ නාමයෙන් පෞද්ගලික ප්‍රශ්න බවට ඌනනය කිරීම ය. පුද්ගලයන් තනි තනි ව වෙනස් වීමෙන් සමාජය වෙනස් කළ හැකි ය යන පුද්ගල කේන්ද්‍රීය දෘෂ්ටිවාදයක් එකී ඌනතිවාදය තුළ පවතී. මෙය ප්‍රතිගාමී අස්ථානයකි. සමාජය පිළිබඳ අර්බුදය එහි සංඝටක වන පුද්ගලයන්ගේ පෞද්ගලික ප්‍රශ්න නො වේ. සමාජයේ ගැටලුව පුද්ගලාගේ මනෝ ව්‍යාධි තත්ත්වයක් නම් එයට විසඳුම කලාව තුළ ‍සෙවීම නිෂ්ඵල ය; එයට විසඳුම මනෝ වෛද්‍ය ප්‍රතිකාරය යි. නමුත් සාමාජීය මිනිසාගේ ගැටලු යනු අත්‍යන්ත ව සමාජ සම්බන්ධතාවල විසංවාදයකි. එය මනෝ වෛද්‍ය විද්‍යාත්මක ව නො ව දේශපාලනික ව විසඳා ගත යුත්තකි.  සමාජ ප්‍රපංචවල හෝ කලා කෘතිවල හෝ පවතින ඊනියා “පීතෘ ප්‍රතිම්බය”, “ඊඩිපස් සංකීර්ණය”, “මවගේ ගර්භාෂය” ආදිය සොයමින් පල්හෑලි ලියා ඒවාට “මනෝවිශ්ලේෂණාත්මක කියවීමක්” යනුවෙන් ලේබල ගසා ගන්නා ලාංකීය විසුළු මනෝවිශ්ලේෂකයන්ට නො හැකි වූ මනෝවිශ්ලේෂණාත්මක සමාජ කියවීම ලකාන්ගෙන් පසු බිහි වූ යුරෝපා  මනෝවිශ්ලේෂකයන් විසින් සිදු කරනු ලැබ ඇත. රුසියානු මාර්ක්ස්වාදීන්ගේප්‍රංශ ව්‍යුහාත්මක මාර්ක්ස්වාදීන්ගේ ද මනෝවිශ්ලේෂණ සම්ප්‍රාප්තිය විසින් එම ඵෙතිහාසික සන්ධිස්ථානය සනිටුවහන් කරන ලදී. ෆ්‍රොයිඩියානු සම්ප්‍රදානය  යනු නො සලකා හැරිය යුතු දැනුමක් නො වේ. මනෝවිශ්ලේෂණයේ පදනම එම මූලාරම්භක දැනුම තුළ පවතී. එහෙත් ෆ්‍රොයිඩ් සමතික්‍රමණය නො කර ෆ්‍රොයිඩ් තුළ සිර වී ෆ්‍රොයිඩියානු වචන කුලකය ම වැමෑරීම නූතන මනෝවිශ්ලේෂණය නො වන්නේ ම ය. ෆ්‍රොයිඩෝ-මාර්ක්සියානු මනෝවිශ්ලේෂණය බිහි වන්නේ පුද්ගලයා සහ සමාජය පිළිබඳ ෆ්‍රොයිඩියානු සහ මාර්ක්සියානු දැනුම සමතික්‍රමණය සහ සමෝධානය මඟින් ය. ලකාන්ගේ සිට අල්තූසර් ඔස්සේ ජිජැක් දක්වා රමණීය වර්ධනයක් මනොවිශ්ලේෂණයේ සිදු වන්නේ මාර්ක්ස්වාදය සමඟ සුසංයෝජනයෙනි.

ලුවී අල්තූසර්

පූර්ව භාෂාත්මක අවධියේ දී මව තම මහා අනෙකා (the Big Other) බවට පත් වුව ද,  භාෂාත්මක අවධියේ දී පියා තම මහා අනෙකා වන්නා සේ ම මානව ජීවිතයේ පසු අවධිවල දී විවිධ බලාධිකාරීත්වයන් හා සමාජායතනයන් තම මහා අනෙකා බවට  පත් වන බව අල්තූසර් වැනි ප්‍රංශ මාර්ක්ස්වාදීහු න්‍යායසූත්‍රගත කළහ. මාර්ක්ස්ගේ පන්ති අරගල සහ දෘෂ්ටිවාද කතිකාවන් පමණක් නො ව ග්‍රාම්ස්චිගේ සංස්කෘතික බලාධිපත්‍ය (හෙජමනිය) කතිකාව ද සමතික්‍රමණය කිරීමෙන් අල්තූසර් විසින් සුත්‍රගත කෙරුණු දෘෂ්ටිවාදාත්මක රාජ්‍ය ප්‍රතිපාදිතය (ideological state apparatus) යන සංකල්පය මඟින් සිදු වූයේ ද මනෝවිශ්ලේෂණය පුද්ගලමූල භාෂිතයක සිට සමාජමූල භාෂිතයක් දක්වා  පරිණාමනයකි. ප්‍රංශ මාර්ක්වාදීන්ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය, ෆ්‍රැන්කෆර්ට් ගුරුකුලයේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය වැනි දේශපාලනික-දාර්ශනික වර්ධනයන් නො සලකා හැර, ඒවා මනෝවිශ්ලේෂණ න්‍යාය සහ භාවිතය තුළට සංකලනය නො කර, නෙත ගැටෙන සෑම සමාජ ප්‍රපංචයකම “පීතෘ ප්‍රතිම්බය”, “ඊඩිපස් සංකීර්ණය”, “මවගේ ගර්භාෂය” ආදිය සොයමින් පල්හෑලි ලියා ඒවාට “මනෝවිශ්ලේෂණාත්මක කියවීමක්” යනුවෙන් ලේබල ගැසීමෙන් සිදු කෙරෙන ව්‍යාජ වූ සමාජ-දේශපාලන-කලා විචාරවල සඵලත්වයක් නැත. එපමණක් නො ව එවැනි පල්හෑලිවලින් සිදු වන ප්‍රතිගාමී දෘෂ්ටිවාද ප්‍රචාරණය සමාජ ප්‍රගමනය කෙරෙහි නිෂේධනීය ආචරණයක් ද සිදු කරන්නේ ය. දීප්තිගේ සුවිශේෂීත්වය යළි යළිත් ඉස්මතු වන්නේ වර්තමානයේ “මනෝවිශ්ලේෂණාත්මක කියවීම්” නමින් උත්කර්ෂණයට පත් කෙරෙන පල්හෑලි කියවන විට ය. දීප්ති මනෝවිශ්ලේෂණය ලාංකීය සන්දර්භය තුළ භාවිත කළේ සුපැහැදිලි දේශපාලනික ක්‍රියාකාරකමක් ලෙස ය. ඒ සඳහා අවශ්‍ය වන හැදීරීම දීප්තිට තිබිණි. වර්තමානයේ වැසිකිලි අස්සේ රිංගා ගෙන විගඩම් නටන සරලමතිකයන්ට මෙන් “ජිජැක් ද ? ශිශෙක් ද?” වැනි ගැටලුවලට වඩා වැදගත් ගැටලු දීප්තිට තිබිණි. 

අවසාන විග්‍රහයේ දී අපි මෙසේ පවසමු: මනෝවිශ්ලේෂණය කලා විචාරයට යොදා ගැනීම යනු කලාකෘතිවල ඇති චරිත සහ සිදුවීම් අභාවිත ෆ්‍රොයිඩියානු පාරිභාෂික වදන්වලින් නාමකරණය නො වේ. 19 වැනි ශතවර්ෂයේ මුල් දශකයේ සිට විසිඑක් වැනි ශතවර්ෂයේ මුල දක්වා ගත වූ කාලය තුළ මනෝවිශ්ලේෂණය ෆ්‍රොයිඩ් ඇරඹූ තැන සිට බොහෝ දුර ගෙවා පැමිණ ඇත්තේ සුවිශාල වර්ධනයක් සමඟ ය. මනෝවිශ්ලේෂණය යනු පුද්ගලමූල කතිකාවකින් ඇරඹී සමාජමූල කතිකාවක් දක්වා සුපැහැදිලි වර්ධනයක් ලබා ඇති දැනුම් පද්ධතියකි. ෆ්‍රොයිඩ් වටා කැරකෙමින් සාමාජීය ප්‍රශ්න පුද්ගල ප්‍රශ්න බවට ඌනනය කර ගැනීම යනු ජිජැක්ගේ සිට ෆ්‍රොයිඩ් දක්වා මනෝවිශ්ලේෂණ ආපසු ගෙන යාමක් පමණක් නො වේ. එම ආපසු ගමන නතර වන්නේ පුද්ගල පරමෝක්ෂය උත්කර්ෂණයට ලක් කෙරුණු භාරතීය ශාස්තෘවරුන් ළඟ ය. ඔස්ට්‍රියාවෙන් අරඹන මනෝවිශ්ලේෂණ චාරිකාවක් ප්‍රංශය හරහා ස්ලෝවේනියාවට යන්නේ ය යි සිතා බුද්ධ කාලීන භාරතීය සමාජය වෙත ගමන් කිරීම ‍විගඩමක් නො වන්නේ ද? ලාංකීය මනෝවිශ්ලේෂණය ලාංකීය පිස්සු මනෝවිශ්ලේෂකයන්ගෙන් බේරා දෙන්න ය යි අපි කවරකුට නම් පවසමු ද? 

ධීරානන්‍ඳ ගුණහේරත් සහ බන්‍ධුල කුදලාගම විසිනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s