සරසතුමන් සමඟ පේරාදෙණියට

පේරාදෙණි සරසවි උයන

මල්ලේ පොල් වියුණුවේ හිමිකාර මා සන්මිත්‍ර අතිගරු සරසතුමන් කොළඹ රාජකීය විද්‍යාලයෙන් පේරාදෙණි විශ්වවිද්‍යාලයට පිවිස දන්ත වෛද්‍ය විද්‍යාව හදාරා ‍එම විශ්වවිද්‍යලෙයේ ම ආචාර්යවරයකු ලෙස ද සේවය කළේ ය. සරසතුමා දන්ත වෛද්‍ය විද්‍යාව මතු නො ව භාෂාසාහිත්‍යකලා, දේශපාලනය ආදී විෂය රැසක රසබර සහ හරබර අදහස් දක්වන්නෙකි. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මාර්කස් ප්‍රනාන්දු නේවාසිකාගාරය (ශාලාව) සහ මාකස්වාදය (මාර්ක්ස්වාදය නො වේ) අලළා පසු ගිය දිනෙක රසබර ආලෝචනයක් ලියා තිබිණ. ඒ පිළිබඳ මා විසින් ලියවුණු සටහනකින් අප අතර අතීතාවර්ජනයක් ඇති විණ. සරසතුමා ද මම ද අතීත මතකයන් ආවර්ජනය කරමින් යළි පේරාදෙණිය වෙත මනසින් ගමන් කළෙමු. එම ගමනේ දී අපට රසකාමී සහෘදයන් කීප දෙනකු ද මුණ ගැසිණ. ඔවුහු ද පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආදිවිද්‍යාර්ථිහු ය. මාර්කස් ප්‍රනාන්දු ශාලාවේ දිගු කලක් වාසය කර ඇති අසංග මාන්පිටිය සහෘදයා අප සමඟ පළමු ව එක් වූයේ ය. ඉකනොමැට්ටා වියුණුවේ හිමිකාර ඉකනොමැට්ටාතුමා ද අප සමඟ එක් වූයේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ ගෙවුණු තම පළමු වසරේ මතකයන් ආවර්ජනය කරමින් ය. යුග කීපයකට අයත් අප අතර සිදු වූ ඒ සොඳුරු අතීතාවර්ජනය මෙලෙස පළ වේ. 

මා සන්මිතු සරසයෙනි

මාර්කස් ප්‍රනාන්දු ශාලාව

ඔබ මාර්කස් ප්‍රනාන්‍දු ශලාව ගැන සඳහන් කිරීම රසවත් අතීත මතකයන් වෙත මා සිත ගෙන යයි. මාකස් ප්‍රනාන්දු පමණක් නො ව හිල්ඩාවේ අවසන් පියපතර ද පැරැණි ආචාර්ය නිවාස (කලක සංඝාවාස) ද ගැන යමක් ලිවිය යුතු ය. අප දෙදෙනා පෙර දිනෙක සාකච්ඡා කර ගත් පරිදි ජනවාරියේ දී ඇරඹෙන අලුත් අඩවියට ඔබතුමාත් මමත් එක් ව පේරාදෙණියේ නේවාසිකාගාර ගැන යුග දෙකක් එක් කරනා ලිපියක් ලියමු.  

ජයතිලක ශාලාව

වාමාංශිකයෝ මුලින් ම නේවාසිකාගාර සෑදීමට විරුද්ධ වූහ. ප්‍රභූ ලිබරල්වාදීන් විසින් දෙන ලද සහයෙන් පේරාදෙණිය නේවාසික සරසවියක් ලෙස ඇරඹිණ. මාර්කස් ප්‍රනාන්දු, විජේවර්ධන, හිල්ඩා ඔබේසේකර, ජේම්ස් පීරිස්, අරුණාශලම්, රාමනාදන් වැනි නම් එකී ශාලාවලට ලැබුණේ එනිසා ය. 

අරුණාශලම් ශාලාව

පැරණි වමට පේරාදෙණිය නිතොර විවෘත ව තිබිණි. ඩොරික්, ලෙස්ලි වැනි අය එහි ම සිටි අතර ඇන්. ඇම්., කොල්වින් වැනි අය නිතොර එහි ආ ගියහ. තමන්ගේ කාරය තමන් ම පදවාගෙන එන ඇන්. ඇම්. වැනි අය මාර්කස් ප්‍රනාන්දුහි ආරාධිත දේශනය පවත්වා, සැදෑ සංග්‍රහය ද විඳ, පිට ව යන සොඳුරු අතීතයක් තිබිණි. මාර්කස් ප්‍රනාන්දුහි මා මිතු සරසයන් කෙතරම් කලක් කවර අඩවියක විසුවේ ද? 

මාර්කස් ප්‍රනාන්දු ශාලාව ඇන්. ඇම්. ට විවෘත නම් විජේවීරයන්ට විවෘත වුණා ම මොකෝ?” යන තර්කයක් එකල පැනනැඟිණි. අවසානයේ දී විජේවීරයෝ මාර්කස් කන්දට නො ව ඔගස්ටා කන්දට පැමිණියහ;  කුජීත කතාවක් ද කළහ. කතාව කුජීත වූයේ ඉන් වසර සතළිසකට පමණ පසු ව ය. ඒ ජවිපෙ සහෝදරවරුන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමෙනි. කතාව කුමක් ද යන්න දැන් සිහිවනු ඇත! ගරු සරසයෙනි, ඔබ ඔගස්ටා කන්දෙන් බිහි වූ දන්ත වෛද්‍ය පරපුරේ විය යුතු ය. දැන් නම් එය වෙනත් පිරිසකගේ අඩවියක් ල. 

විජේවර්ධන ශාලාව

ශාලාවල හිමිකම් වෙනස් වන්නට ද වාමාංශිකයෝ බලපෑහ. තරුණයන් විශාල ගණනක් නාදන්හි එක් රුස් වූ විට ඔවුන්ට විප්ලවීය විඥානය පහළවීමට ඇති අවස්ථාව වැඩි ය යි සිතු නිසා දෝ පරිපාලකයෝ රාමනාදන් ශාලාවෙන් තරුණයන් ඉවත් කර විජේවර්ධනයට දැමූහ;  විජේවර්ධනයේ තරුණියන් රමනාදනයට දැමූහ. තරුණයන්ට නාදන් බළකොටුව නැති විණ. ශිෂ්‍යයන් සඳහා ම සැලසුම් කරන ලද නාදනයේ ශිෂ්‍යාවන් රුඳවීම නිසා ඇති වූ “මූලික” ප්‍රශ්නයක් ද තිබේ. එය මෙහි ලිවීම නොනිසි බව මා මෙම සටහන ලියනු බලා සිටින මගේ මැණිකේ පවසන්නී ය. විජේවර්ධනය දෙටු ශිෂ්‍යාවන්ට හිමි වීමෙන් පසු කලෙක එම ශාලාවට අපනාමයක් ද පටබැඳිණි. එය ද මෙහි ලියන්නට “එපා! එපා!” ය යි මැණිකේ පවසන්නී ය. සංඝමිත්තාවෙහිජේම්ස් පීරිස්හි ද සිටි ඇය විජේවර්ධනයට පැමිණි කල මට ඇය දැක ගන්නට කඳු නඟින්නට අවශ්‍ය නො විණි! 

නව අක්බාර් (නිශ්මි) ශාලාව

වාමාංශිකයන් නිසා ශිෂ්‍යයකු වෙනුවෙන් නම් කෙරුණු පළමු ශාලාව ද ඉතිහාසයට එක් විණි (එම නාමකරණය සිදු වන විට මා පේරාදෙණිය සහ කොළඹ පමණක් නො ව රට ද හැර ගොස් ය). අක්බාර්-නෙල් ශාලාවට එහා වූ නිශ්මියට එම නම ලැබුණේ එස්. එම්. නිශ්මි නිසා ය. නිශ්මි ජවිපෙ දෙවැනි විගඩම් කැරැල්ලේ දී මිය ගිය වාමාංශිකයෙකි. වීරසූරිය වෙනුවෙන් නම් නොවුණු ශාලාවක් නිශ්මි වෙනුවෙන් නම් වූයේ ඔහු සරසවියට කළ යම් සේවයක් නිසා විය හැකි ය! නිශ්මියට නව අක්බාරය ය යි පවසනු ලැබීම පිළිබඳ කරුණුකාරණ සරසතුමා දන්න බව මම විශ්වාස කරමි. 

මා සන්මිතු සරසයෙනි, ඔබතුමා හිඳගල පැත්තේ නො යන්නට ඇතැ යි සිතමි!!! එකල නම් හිඳගල තහනම් පැත්තකි. ඇයි ද කියා ඔබ අසා ඇති. දැන් නම් හිඳගල ශාලාවක් ද ඇත. 

හිල්ඩා ඔබේසේකර ශාලාව

ශාලා ගැන ලියන විට හිල්ඩාව ගැන ද යමක් ලිවිය යුතු ම ය. හිල්ඩාව ද මුල් යුගයේ දී සුන්දර මාණවිකාවන්ගේ ය. ගුණදාස අමරසේකර ඒ මාණවිකාවන් ගැන කවි ද ලියුවේ ය. හිල්ඩාව කැලඹුණේ හිල්ඩා කුමාරී නිසා ය. ඔබට හිල්ඩා කුමාරි මුණ නො ගැසෙන්නට ඇත!  මම හිල්ඩාවේ වළ දෙසට වන්නට වූ කුටියක කලක නැවතීමි. නාට්‍යවල ගී සුපැහැදිලි ව එතරම් දුරට ඇසීම විස්මයජනක ය. 

මා සන්මිතු සරසයෙනි, වියුණු ලොව අපූර්ව ය. වියුණු ලොවේ දී අහඹු ව හමුවුණු ඔබ මෙතරම් සොඳුරැ මිතුරකු වීම ම එම අසිරිය කියා පායි. ජීවිතයේ සැඳෑ සමයට එළඹි අපි ඔබතුමාගේ මිත්‍ර සන්ථවයෙන් තුරුණු කල මතකයන් වෙත සිත ගෙන යන්නෙමු. පේරා‍ෙදණියේත් කොළඹත් ගෙවුණු ශාස්ත්‍රීය ජීවිතය අසිරිමත් ය. සදම්ටනය ද සොඳුරු ය. එනමුත් පේරාදෙණියත් කොළඹත් පිළිබඳ ඇති මතකයේ සුන්දරත්ව තුළ වදනට නැඟිය නොහැකි අමතර යමක් ඇත. ඒ වදනට නො නැඟිය හැකි හැඟීම අපේකම ය. එම අපේකම රුක ගන්නට හැකි නායකත්වයත් බිහි කරන්නට ඔබතුමා ද මයුරවිලයන් ද සතුරු බළකොටු වැද කරන අභීත සටන ආස්වාදනීය ය. 

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය. 

 

අසංග මාන්පිටිය සහෘදයා සංවාදයට එක් වෙමින් මෙසේ පැවසී ය:

ජේම්ස් පීරිස් ශාලාව

පේරාදෙණි මතකයන් නම් බොහෝ රසවත් කුදලාගමයිනි. පසු කාලිනව ජේ.පී ශාලාවත් තරුණියන්ට වෙන් උනා නොවැ. ජේපී ශාලව පිටි පස්සේන් මාර්කස් කන්ද නගින්න තිබ්බ පඩිපෙලටත් කටු කම්බි වැටක් බැඳුනා. 

(සාරසයින්ට දැමූ ආලෝචනය මැදට පැන්නාට සමාවුව මැනව. යමක් නොලියා ඉන්නට බැරිතරම් එය රසවත්ය..)

 

මම යළි සංවාදයට එක් වෙමින් මෙසේ පැවසීමි:

ප්‍රිය අසංග මාන්පිටිය සහෘද මහත්මාණෙනි,

ඔබතුමා අපගේ අතීතාවර්ජනයෙන් යම් රසයක් වින්දේ නම් එය ම අපට මහත් සන්තුෂ්ටියකි. ඔබතුමාගේ ආලෝචනය තුළ ඔබතුමා විඳි රසයේ මහත්බව මනා ව නිරෑපණය වී තිබේ. අපගේ ආලෝචනය රසවත් විණි නම් එහි ගෞරවය ද හිමි විය යුත්තේ අපගේ පේරාදෙණි සරසවියට ම ය. අප විසින් කෙරුණේ පේරාදෙණි සරසවිය විසින් අපගේ ආත්මයට මුසු කරන ලද අමෘත රසය හැකි පමණ වදනට නඟා බෙදා දීම ය. 

පේරාදෙණි සරසවි උයනේ වෘක්‍ෂලතා රන්වන් පුෂ්පාභරණයෙන් සැරසී

මිහිබට නන්දන උද්‍යානයක් සේ ද මිහිබට ඊඩන් උද්‍යානයක් සේ ද මනරම් වු පේරාදෙණියේ සරසවි උයන එහි යම් කලක් ගෙවූ කිසිවකුට හෝ අමතක නොවන්නේ  ය.  පසු කලෙක ලොව කවර තැනෙක සිටිය ද එම මතකය අපගේ ආත්මය තුළ රසාලිප්ත ස්වර සරණියක් සේ ප්‍රතිනාද වෙමින් පවති. මඳ සිහි කැඳවීමකින් වුව එම ස්වර සරණිය වැඩී මතු ව පැමිණේ. අමෘතරසාස්වාදනය කළෝ ම අමෘතරස හඳුනන්නෝ ය. අසංග මාන්පිටිය සහෘද මහත්මා ද අපගේ අතීතාවලෝකන ආලෝචනයෙන් හදමනස රසයෙන් පුරවා ගන්නේ ඒකී ආත්මීය ස්වර සරණිය එතුමන්ගේ ආත්මයේ ඇසෙන නොඇසෙන පමණට නිබඳ ව ප්‍රතිනාද වෙමින් පවතින නිසා ය. 

ලාංකීය සරසවි අතර නිසි ආකාර පරිසරයක සද්භාවයකින් ම ඇරඹි සරසවි ය පේරාදෙණිය සරසවිය බව පැවසිය යුතු ය. කොළඹත් පේරාදෙණියේත් දිගු කලක් රුඳුණු මා එසේ පැවසීම කොළඹ සරසවියට අවමන් කිරීමක් නොවන්නේ ය. 

ගලහා වෘක්‍ෂශ්‍රේණිය හරිත පැහැ ගෙන

ප්‍රතාපවත් වනස්පතිහු ගලහ මඟ දෙපස අභිමානවත් ව නැඟී සිටිති. රන්වන් පුෂ්පාභරණයෙන් සමලංකෘත ලතාවෝ කෝමල ලාලිත්‍යයෙන් එකී වනස්පතීන්ගේ සිරුරු වටා එතී ඉහළට නඟති. උස් ව වැඩුණු තුරුහිස් එක් වී එමඟ සරනා සුවහසක් මාණවකමාණවිකාවන්ගේ හිසට ඉහළින් උඩු වියන් බඳියි. සොබාදම් මව තම දරුවන් මඳ හිරු රැසකින්වත් වෙහෙසවන්නට අකමැති වූ සෙයකි. රන්වන් ආකාස කුසුම් මන්ද මාරුතයෙහි පා වී පහළට වැටෙන්නේ එකී මාණවකමාණවිකාවන්ගේ සුමුදු දෙපයට විල්ලුද පලසක් නිමවමින් ය. හන්තාන කඳුයාය දෙසින් හමා එන මඳ පවනින් අප ගතසිත සැනසේ.  වලා පෙළ කඩින් කඩ සිසිල් දිය බිඳි ඉසිමින් එමඟ සරනවුනට ආශිර්වාද කරන සෙයකි. සන්ධ්‍යාමානයේ දී මෙමඟ සරනා නව්‍ය යෞවන ප්‍රේමයෙන් අභි‍ෂේක ලද ‍මාණවකමාණවිකාවෝ ‍පෙම්මඟට සේන්දු වන්නෝ ය. මහවැලි ගංගා ඉවුරේ තුරුලිය වදුළුහි තනි වන මේ පෙම්වත්හු ශ්‍රී ජයදේවයන්ගේ ගීතගෝවීන්දයේ අතිරමණීය ජවනිකා ඔවුන් සඳහා ම ප්‍රතිනිර්මාණය කර ගනිති. 

මේ වූ කලී කිසිඳු ආකාරයක ස්වප්නයක් ‍නොවන්නේ ම ය. මේ වූ කලී ස්වප්න ලෝකයක් නො ව පියෙවි ලෝකයක් ම ය. එම පියෙවි ලොව පවතින්නේ හන්තාන කඳු පාමුල මහවැලි ගං ඉවුරේ පමණි. අසංග මාන්පිටිය සහෘද මහත්මාණෙනි, එවන් නඳුන් උයනක රසය විඳ ගත් ඔබතුමා සරසයනගේ ද මගේ ද හෘද සමානයෙකි. එනිසා සරසයන්ගේ ද මගේ ද අතීතාවලෝකන රසරංජනයට ඔබතුමන්ගේ එක් වීම අපට අප්‍රමාණ ප්‍රීතියකි. අපි අප්‍රමාණ වූ සෙනෙහසින් යුතු ව අසංග මාන්පිටිය සහෘදයා පිළිගන්නෙමු. 

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය. 

 

ඉකොනොමැට්ටාතුමා සංවාදයට එක් වෙමින් මෙසේ පැවසී ය:

//මම හිල්ඩාවේ වළ දෙසට වන්නට වූ කුටියක කලක නැවතීමි.//

සොඳුරු මතකයෙකි. පේරාදෙණියේ මගේ පළමු නවාතැන වූයේ අවසන් (සත්වන) පියපතර තෙවන මහලේ වළ අන්තයෙහි වූ 164 කුටියයි. එහි සඳළුතලයෙන් නිබඳ පෙනෙන (යාබද පිහිටි ඇදුරු නිවහන වැනි) දසුන් ඔබද කලෙකට පෙර දකින්නට ඇතැයි සිතමි.

 

මම යළි සංවාදයට එක් වෙමින් මෙසේ පැවසීමි:

සබඳ ඉකොනොමැට්ටාණෙනි,

සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය හෙවත් වළ

එසේ ය; එසේ ය. මම ද ඒ සිරි දුටිමි. කුටියෙන් පිටතට වන් කල ඉදිරියේ වූ තුරුවැට අතරින් පෙනෙනා ඇදුරු නිවහන ය; වමත දෙස බැලූ කල කොරිඩෝවේ ඈත කෙළවරින් එහා වූ තුරුවැට අතරින් මහවැලි ගඟ ය; දකුණත දෙස බැලූ කල ඈතින් පෙනෙනා හාදු වංගු මානය ය. ඒ අතරේ වළ ය. ඔබ පවසන තැන සිට පැරණි පන්නයේ කැමරාවනින් මා එකල ගත් ඡායාරූපයක් ද ඇත. 

අසිරිමත් හමුවකි. වියුණු ලොව බහුතරය පේරාදෙණි සඟයන් සේ ය!!!

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

 

සරසතුමා සංවාදයට එක් වෙමින් මෙසේ පැවසී ය:

බන්‍ධුල කුදලාගම මැතිතුමනි,

ඔබ ගේ අතීතාවර්ජන අපගේ දෑසට කඳුලු නඟ්වයි…. 

මාර්ස් ශාලාව: වෛද්‍ය ශිෂ්‍යයන්ගේ අතීත මතකය නිසැක ව රුඳෙන ශාලාව ය.

අප ගේ කන්ඩායමේ පිරිමි ලමුන් පලමුව නවකයන් ලෙස මාස හයක් පමන සිටියේ අවසාන වසර ජේශ්ටයන් සමග, අරුනාචලම් සාලාවේය. ඉන් පසු අපව අඟහරු මාලිගාවට (Marrs Hall) පිටත් කර හරින ලදී. විබාගයෙන් පසු අපට වසරක පමන කාලයක් නේවාසිකාගාර අහිමිව සිටියදී සතියක පමන කාලයක් මාකස් සාලාවේද තවත් සතියක් පමන ජේ පී සාලාවේ ද, ඉන් පසු නැවත අඟහරු මාලිගයේ ද ගජේ ගැසූ පසු එවකට උපකුලපති තුමන් වූ සී වී ජයතිලක මහතා වෙත මවිසින්රි ජුව ලිකිතව කරනා ලද අයාචනයකින් පසු මා හට ඒ වන විටත් වසා දමා තිබූ A6 සාලාවේ (අරුනාචලම් ශාලාවට උඩ පාරේ බික්ශු නේවාසිකාගාරයට පසුව තිබෙන..) දොරවල් හැර එහි වාසය කිරීමට ඉඩ ලබා දුන්නේය!

රාමනාදන් ශාලාව: 80 දශකයේ දෙවැනි භාගයේ දී මෙම පරිශ්‍රයේ දී නිබඳ ව දැකිය හැකි වූ සුධීමතෙකි මා සන්මිතු සරසතුමා!

පසු කලෙක විශ්ව විද්යාලයේ ආචාර්ය මන්ඩලයේ සේවය කරනා කල අලුත් ශාලා වන නිශ්මි ශාලාව සහ සරසවි උයන ශාලාව සමගද යම් ගනුදෙනුවක් තිබුනි…

ඉන් වසරකට පමන පසු අපට නැවත නේවාසිකාගාර ලැබුනේ අඟහරු මාලිගාවේ වන අතර අවසාන වසර ගත කලේ ජයතිලක ශාලාවේ ය… මා එහි ශලා සන්ගමයේ ලේකම් දුරයට ද පත් වීමට භාග්ය සම්පන්න වීමි!

එම කාලය තුල “බෙටර්” හාෆ් බලන්නට මුලින් ම මිත්තාවට ද, “සදා නාදන්” කෙනෙකු ලෙස නාදනයට ද ඉන් පසු විජේවර්දන සාලාවට ද නිති පතා යෑම දිනචරියාවේ අන්ගයක් විය…

ඔබ සමග මේ අතීත මතකයන් හුවමාරු කර ගැනීමට ලැබීම මගේ භාග්යයකි….

 

මම යළි සංවාදයට එක් වෙමින් මෙසේ පැවසීමි:

මා සන්මිතු සරසයෙනි,

ඔබතුමාගේ ආලෝචනයෙන් අපි අමන්දානන්දයට පත් වීමු. ඔබතුමා නම් මගේ සාංසාරික මිත්‍රයකු විය යුතු ය. ඔබතුමා මා ළබැඳි ෆේ.ගු. සිරිමතියගේ ශිෂ්‍යරත්නයකි. විස්මයජනක හෙළිදරව්ව නම් ඔබතුමා A6 ශාලාවේ ද නවාතැන් ගෙන තිබීම ය. මේවා ශාලා යනුවෙන් හඳුන්වනු ලැබුව ද සැබෑවට ම සංචාරක බංගලා වැනි ගෘහයන් ය. ආචාර්ය නිවාස ලෙස ලේඛනගත කරනු ලැබ තිබුණ ද විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන් සඳහා මෙම ශාලා භාවිත විණි. අරුණාශලම් ශාලාව අසළින් කඳු වැටිය නැඟ මඳ දුරක් ගොස් වම් අත දෙසට ඇති මාර්ගයේ යන කල කඳු ගැටයක පිහිටා තිබූ ශාලාව මෙය ය. එම ගෘහයේ ගත කළ සමය පිළිබඳ අපට ඇති විචිත්‍ර මතකයක් වන්නේ එම ගෘහය පිටුපසින් ඇති තුරු මතින් උදෑසන පැන යන මහා වඳුරු රෑන ය. සැබැවින් ම එය මහා වඳුරු හමුදාවකි. උදෑසනට වෛද්‍ය පීඨය පැත්තට ඇදී යන මෙම වඳුරු රෑන සවසට ආපසු ගමන් යයි. කොහේ ගොස් නිවෙස් බලා ආපසු යන්නේ දැ යි අපි නො දනිමු. එහෙත් වසර ගණනක් පුරා උන් එම ගමන යන්නේ ල! සරසතුමා A6 ශලාවේ සිටි සමයේ උන් එම පෙදෙසේ සිටි බව මතක ද?

අරුන් ශාලාවෙන් ඉහළට ඇති පෙදෙසට ඔබතුමා අපගේ මතකය ගෙන ගිය නිසා පවසමි. සරසවි දේවස්ථානය ද මනස්කාන්ත පිහිටීමකි. දේවස්ථානයේ  සිට බැලූ කල එයට ඉදිරියෙන් වම් අත දෙසට වන්නට දිය ඇළක් තිබිණි. ඒ ඇළේ දිය මඳ කාලයට එහි යට වූ ගල්තලාව මතු වේ. නිස්කලංක සහ මනරම් පරිසරයකි. ඒ අසළ වූ පාලම විශාල කිරීමේ දී මා පවසන අතීත තැන් වෙනස් වූයේ දැ යි මම නො දනිමි. සරසවි පන්සල මැදින් ගොස් වනමඟ ගෙවා දේවස්ථානය පසු කර විජේවර්ධනය ඉදිරියට පැමිණිය හැකි නොනිල “දුර” මඟක් එකල තිබිණි. එම මාර්ගයේ යම් තැනෙක වෙනත් ආගමක පල්ලියක් ඉදි කරන්නට ද පසු කාලීන ව සැලැස්මක් තිබිණි.

සංඝමිත්තා ශාලාව: සරසතුමන් නිබඳ ව රුඳුණු තවත් තැනක් ය!

සංඝමිත්තා කන්ඳ නැඟීමට හිල්ඩාව දෙසින් විකල්ප මාර්ගයක් තිබිණි. සුප්‍රකට වර්ණපාල පුරාවෘත්තය ඒ ආසන්නයේ වූ බව ද සැලකේ! සරසතුමනි, සාරි/ඔසරි හෝ දිග සාය හෝ සුලබ ස්ත්‍රී වස්ත්‍ර වූ එකල සංඝමිත්තා කන්ද නඟින තරුණියන්ගේ යම් ඉරියව්වක් පසු කලෙක මොටෝ රියේ අත්තිරිංග යෙදිමට සමාන කර තිබිණි! 

නිශ්මිය නිස්කලංක පරිසරයක පිහිටියේ ය. එහෙත් එහි ගෘහ නිර්මාණ රටාව මුල් ශාලාවල තරමට ම ප්‍රෞඪ නො වු බව මගේ හැඟීම ය. 

යකා පාලම

එක් අධ්‍යයන වර්ෂයක් හෝ අඩවසක් සරසවි නේවාසිකාගාර නොලැබීම බොහෝ යුගවල පැවති තත්ත්වයකි. පැණිදෙණිය පැත්තේ කුඩා නවාතැනක මම කලෙක සිටියෙමි. යකා පාලමෙන් ගන අඳුරේ මහවැලි ගඟ හරහා යාම ද දැන් නම් කරන්නට සිතන්නටත් නොහැකි සේ ය. 

පේරාදෙණිය ගැන සිදු වූ මේ කතාබහ අගනා ය. මම දැනට නවතිමි. සුබ රාත්‍රියක්!

පේරාදෙණිය සරසවිය සදා දිනේවා!

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය. 

  

සරසතුමා සංවාදයට එක් වෙමින් මෙසේ පැවසී ය:

ගරු බන්‍ධුල කුදලාගම තුමනි,

අප A6 සිටි කල රිලවුන් ගේ නයුවා සිසුවන් හට අභියෝග කරමින් දත් නියවමින් පැරකුම් බ්ලොග් ලියනා ලෙස ගෝසා කරමින් මහා කරදරයක් කල බව මට මතකය….
සරසතුමාගේ සිත්ගත් ගලෙන් බැඳි ගිම්හාන කුටිය

නුදුරුව තිබූ නේවාසිකයේ සන්ග්යා වහන්සේලා සමග ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගෙවූ කාලය අමතක නොවේ… ආනන්ද පන්දු යවයි, බද්දිය කඩුලු රකී, රාහුල පන්දුවට පහර දෙයි, සෝරත මිඩ් විකට් ඉස්තානයේ, අස්සජී ලෝන්ග් ඔන් ඉස්තානයේ ඈ පන්දු රකී…මේ ආඅදී බුදුන් ගේ සාසනයේ නම් කියමින් එක සන්ග්යා වහන්සේ නමක් ක්‍රිකට් තරඟ විචාර ගෙන එයි….

ගරු මැතිඳ…. සාලාවට පහලින් තිබූ ගලෙන් බැඳි ගිම්හාන නිවාසය (summer hut) මතකද? 


අසංග මාන්පිටිය සහෘදයා යළි සංවාදයට එක් වෙමින් මෙසේ පැවසී ය:

බොහෝ තුති කුදලාගම සිරිමතුනි, සාරසයෙනි..

මගේ සරසවි දිවියේ මුල් දෙවසර ගෙවුනේ මාකස් ප්‍රනාන්දු ශාලාවේදීය. පලමුවෙන් ඇරඹි නවක වද සමයේදී, එය ගලහා හන්දියට එතරම් ඈතකින් පිහිටා තිබීම ගැන මම දිනපතා සාප කෙලෙමි. සවස හතරට දේශන ඉවර වී, ජයතිලක, අරුනාචලම්, ඇ6, හිල්ඩා, ජේපී ආදී සියලු ශාලාවන් වැඳ, ඒවායේ වසන ජේෂ්ඨ උත්තමයින් බැහැදැක, මාකස් ශාලාවට ඒනවිට මැදියම් රැයත් පසුවේ. පසු කාලීනව නම් එය එතරම් ඈතකින් තිබීම ගැන බොහෝ සතුටට පත්වීමී. සාරසයන් කියූ වඳුරු කරදරය මට සිහිපත් කලේ, මාකස් ප්‍රනාන්දු ශාලාව පිටුපසට පැමිනීමට පුරුදුව සිටි ඕලු මුවන් ජෝඩුවකි. මාගේ රූමා ඔවුන්ව කැමරාවට හසුකර ගැනීමට දරන ලද අනන්ත වූ උත්සාහයද මට සිහිවේ. ..ලියන්නට බොහෝ දෑ ඇත…..  

පේරාදෙණියේ නේවාසිකාගාර ගැන යුග දෙකක් එක් කරනා ලිපියක් ලියමු. ////////// මේ එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිමි.

 

මම යළි සංවාදයට එක් වෙමින් මෙසේ පැවසීමි:

මා සන් මිතු සරසයෙනි,

අල්විස් පොකුණ

ඔබතුමා ගල් ගැන සිහි කළ නිසා තවත් රසවත් මතකයක් අවදි විණ. A6 ගල් ගිම්හාන කුටි සිට කලාගාරයේ ගල්කුළුණු දක්වා ද පමණක් නො ව මහකන්දේ ගල් බංගලාව දක්වා ද මගේ සිත සැණින් දිව යයි. පේරාදෙණියට ගල් සම්බන්ධ කරන්නට ශර්ලි ද අල්විස් සෑහෙන සම්මාදමක් පා ඇත. ඒවායේ යම් හිතුවක්කාර සම්ප්‍රදාය සංකලනයක් දැක ගත හැකි ය. ඇතැම් ගොඩනැඟීම්වල ඉහළ කොටස අනුරාධපුර පොළොන්නරු යුගවලට අයත් වන අතර පහළ කොටස එංගලන්තයේ වික්ටෝරියානු යුගයට අයත් ය. එහෙත් ඒවා චමත්කාරජනක ය. මම නම් තවමත් ඒවාට කැමැත්තෙමි. 

ගල් ගැන කතා කරන කල සරසවිශ්‍රැතියේ (varsity-lore) රසකතාවක් ද සිහි වේ. පෙළ පමණක් දක්වමි. අරැත්විවරු නො කරමි.

සරසවි ඇදුරකුගේ කාරයට ගල් ගැසීමක් ගැන ශිෂ්‍යයනට වරක් චෝදනාවක් නැඟිණි. විනයපාලක විසින් ශිෂ්‍යයෝ ප්‍රශ්න කරනු ලැබූහ. 

විනයපාලක:තමුන් ගල් ගැහැව්වා නේ ද?

ශිෂ්‍යයා:අනේ නැහැ සර්. මම මේ දවස්වල බොක්කෙන් ම ලව්

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය. 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s