සංසිද්ධි කියවීම සහ විවිධ කතන්දර

විවිධ දෘෂ්ටි කෝණ – විවිධ කියවීම්

අපගේ හිතවත් මාධ්‍ය සහෝදරයකු සැකය පාදක කර ගෙන මානව සම්බන්ධතා වියවුලට පත්වන ආකාරය නිරූපිත සිදුවීම් කීපයක් පිළිබඳ ද එම සැකය ව්‍යාපාරික අරමුණු සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳ ද විටිනා ලිපියක් ලියා ඇත. අපගේ මාධ්‍ය සහෝදරයා එම ලිපියේ දී  වැදගත් කාරණයක් පිළිබඳ සාකච්ඡා කරයි. ඔහු එම ලිපියේ දී පවසන සංසිද්ධි (phenomena) කීපය විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් (perspectives) විවිධ විධියට කියවන්නට (reading) හැකි ය. මෙම ලිපියේ අරමුණ යම් සංසිද්ධියක් විග්‍රහ කිරීමට විවිධාකාර කියවීම් කළ හැකි බව ද එම විවිධ කියවීම්වලින් එකක් වෙත දැඩි ව එළඹී අනෙක් කියවීම් හෙළා දැකීම අරුත්සුන් වෑයමක් බව ද පෙන්වා දීම ය. මෙම ලිපිය කථිත සංවාදයක් මත පදනම් වන නිසා කථන භාෂාණයෙන් ම ලිය වී ඇත.

1. ප්‍රපංචවේදාත්මක කියවීමක් (phenomenological reading) කරන්න “කැමති අය” (those who like – මේ වචන සරණිය වැදගත්) පවසයි මෙකී සංසිද්ධි හයිඩෙගරියානු (Heideggerian) පූර්ව-තාක්ෂණික අවධියක සිටින පුද්ගලයා නූතන තාක්ෂණය කෙරෙහි දක්වන අභිප්‍රාය (will to technology) හෙවත් බලය කෙරෙහි දක්වන අභිප්‍රාය (will to power) යථාකරණය වීමක් ය කියා. 

2. මනෝ වෛද්‍ය විද්‍යාත්මක කියවීමක් කරන්න කැමති අය පවසයි මෙකී සංසිද්ධිය තමාගේ ලිංගික සහකාරිය හෝ සහකරුවා හෝ තමාට අවංක නො වන නිසා (සාක්ෂ්‍ය නැති ව වුව) ඇය හෝ ඔහු හෝ තමන්ට අහිමි වීමට ඇති හැකියාව (අවධානම යන අරුතින්) පිළිබඳ බිය, සංකාව, අනාරක්ෂිත බව යනාදී වේදිතයන් කෙන්තිය, පිළිකුල, නොරිස්සීම යනාදී වේදිතයන් සමඟ සංයෝජනය වී පුද්ගලයාගේ පෞද්ගලික හා සාමාජීය ජීවිතයට බාධා කිරීමක් ය කියා. වෛද්‍ය විද්‍යාවේ දී අප කැමතියි සංකල්පවලට ලස්සන නම් දෙන්න. එනිසා ඔතෙලෝ නාට්‍යයේ ඔතෙලෝ විසින් ඩෙස්ඩමෝනා සැක කරනු ලැබීම සලකා පෙර කී තත්ත්වය ඔතෙලෝ සහලක්ෂණය (Othello Syndrome) යනුවෙන් නම් කෙරෙයි (මා එම නාමකරණයට අකමැති වන්නේ ඔතෙලෝ විසින් ඩෙස්ඩමෝනා සැක කෙරුණේ සාක්ෂ්‍ය ඇති ව නිසා ය. එම සාක්ෂ්‍ය ඉයාගෝ විසින් නිර්මාණය කරවන ලද බව සැබෑවක් වුවත් ඔතෙලෝට අනුභූතික සාක්ෂ්‍ය ලෙස ඒවා පැවතිණි). 

3. මනෝ විශ්ලේෂණාත්මක කියවීමක් කරන්න කැමති අය පවසයි මෙකී සංසිද්ධිය ආශාව පිළිබඳ කතිකාවක් ය කියා. එහිදී ලැකානියානු උපනිකාය පවසයි මෙම සංසිද්ධි යනු සංකේතීය සරණිය (symbolic order) තුළ භාෂාත්මක ව තම සහකාරිය (හෝ සහකරුවා) පූර්ණ ලෙස සංකේතකරණය කර ගන්නට නොහැකි වීම නිසා ඇති වන ශාංකාව ශමනය කර ගන්නට ෆැන්ටසියේ සරණ යාමක් බවත් තමාගේ ආශාවේ වස්තුවෙන් තමා නොලබන එහෙත් අනෙකා ලබන ප්‍රමෝදය සොයා යෑමේ නව මෙවලමක් (paraphernalia) බිහි කර ගැනීමක් බවත්. ජිජැක්වාදීන් පවසයි මෙම සංසිද්ධි යනු ෆැන්ටසිය අන්තර්විනිවිඳ (interpose) පුද්ගලයා යථාමය/යථ (the real) සමඟ අභිමුඛ කිරීමෙන් ක්ෂිතිමය අත්දැකීමක් ඇති කරවීම සඳහා සිනමාවට විකල්පයක් ටෙලිකොම් සමාගම් විසින් සොයා ගැනී‍මක් ය කියා. (ෆ්‍රොයිඩ් එක්ක නැඟිටින්න හදන එක්කෙනකු මේ දවස්වල සමාජජාලවල රඟන බව ආරංචියි. එයා ගැන වෙන දවසකට ඉතුරු කරමු)

4. මාර්ක්ස්වාදී කියවීමක් කරන්න කැමති අය පවසයි මෙකී සංසිද්ධිය යනු වාණිජ ධනවාදයේ අභිවර්ධනය සමඟ මානව සම්බන්ධතා හුදු හුවමාරු භාණ්ඩ (commodities) බවට පත්වීමේ මාර්ක්සියානු-බෙන්ජමිනියානු න්‍යාය සත්‍යකරණය වීමක් ය  කියා. 

5. දැන් මේ සංසිද්ධි නලින් ද සිල්වා වගේ කෙ‍නකු විසින් කියවුණොත් එයා පවසයි එකිනෙකා සැක කරන තරුණ-තරුණි යුවළ විසින් “සිබෞ” නමැති සංස්ථිතිය නො සලකා හැරීම නිසා නාථ දෙවියන් විසින් ඔවුන්ට දෙන ලද දඬුවම් ප්‍රකාර ව ඔවුන් එකිනෙකා සැක කර මරා ගෙන විනාශ වන බව. (සිබෞ යනු කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුර: එවැන්නක් තිබෙන බව නලිනියානු සිබෞවාදයේ සඳහන් වන අතර සිබෞවාදීන් එවැන්නක් පවතින බව විශ්වාස කරති යි යනුවෙනි)

එක ම සංසිද්ධි සමූහයක් සඳහා විවිධ විග්‍රහ ඉසිරිපත් කළ හැකි ය. මාර්ටින් හයිඩෙගර්ට, ශක් ලකාන්ට, ස්ලාවොයි ජිජැක්ට, කාල් මාර්ක්ස්ට හෝ වොල්ටර් බෙන්ජමින්ට විවිධ ප්‍රපංච විග්‍රහ කරන්නට කතන්දර ගොඩනඟන්නට හැකි (අවසර තිබේ නම් යන අරුතින්) නම් නලින් ද සිල්වාට පමණක් නො ව එයාගේ ගම්වැසියා වූ ලාල් පෙරේරාටත් කතන්දර ගොඩනඟන්නට හැකි (අවසර තිබේ නම් යන අරුතින්) විය යුතු ය. එකී නො කී සෑම කතන්දරයක ම හෙවත් “-වාදයක ම” ඇත්තේ සංකල්ප ය. අප ඇතැම් කතන්දර පිළිගැනීමත් තවත් ඒවා නො පිළිගැනීමත් යනු එම කතන්දරයේ සත්‍යාසත්‍යතාව පිළිබඳ කාරණයක් නො ව එම කතන්දරය පිළිබඳ අපගේ කැමැත්ත හා විශ්වාසය පිළිබඳ කාරණයකි. එනිසා විවිධ “-වාදයන්” වෙනුවෙන් එකිනෙකා ඇන කොටා නො ගනිව්!

කිසි යම් දැනුම් පද්ධතියක් හෙවත් කතන්දරයක් පිළිබඳ අපගේ කැමැත්ත හා විශ්වාසය ආධානග්‍රාහී ව, ඉතා දැඩි ව වර්ධනය කර ගැනීමෙන් එම දැනුම් පද්ධතිය ඇදහිල්ලක් නැත හොත් ආගමක් බවට පත් වෙනවා. සලකනු ලබන දැනුම් පද්ධතියක් මනා ව දැන ගැනීම හෙවත් එය පිළිබඳ දැනුම්වත්බව යනු සුසංවාදී ව එම දැනුම් පද්ධතිය විශ්වාස කිරීමක් බවට අර්ථකථනය කර ගනු ලබනවා. සමකාලීන ඇදහිලිවල ලාක්ෂණිකයක් වන්නේ ඒවා අදහන්නවුන් තමන් එවැනි ඇදහීමක් නො කරන බව සුවිශේෂ කර පැවසීම යි. නමුත් භාවිතය තුළ ඔවුන් ඉතා අන්තගාමී ආගම් අදහන්නවුන් වෙනවා. එකී දැනුම් පද්ධතිය විසංවාදී ව ප්‍රශ්න කරන අය සලකනු ලබන්නේ එකී දැනුම් පද්ධතිය පිළිබඳ දැනුමක් නැති අය ලෙස යි. මෙම සංසිද්ධිය අපට ප්‍රායෝගික ව නිරීක්ෂණය කළ හැකි යි පසු ගිය දවසක අපගේ මාධ්‍ය සහෝදරයා වෙනත් තැනෙක දැනුම පිළිබඳ ඇති කළ සංවාදය තුළ. 

අපගේ මාධ්‍ය සහෝදරයා විසින් කිසි යම් දැනුම් පද්ධතියක් පිළිබඳ විසංවාදී ප්‍රශ්න කිරීමක් කෙරෙනවා. ඔහු තමන්ගේ ම භාෂාවෙන් (in his own language – සිංහල යන අරුතින් නො ව පොදුවේ ලෝකය සංකේතනය කර ගැනීම යන අරුතින්) පවසන ප්‍රස්තුතය මෙවැන්නක්:

ඕවා (එනම් එනී දැනුම් පද්ධතිය) සංකල්ප. ඕවා පවතින දේවල් තර්කයෙන් විමසීමෙන් සාදා ගන්නා දේවල්. ගැඹුරින් හිතන කෙනකුට වගේ ම පිස්සෙකුටත් ඔය වගේ සංකල්ප හදන්න පුළුවන්.

දැන් අපගේ මාධ්‍ය සහෝදරයා මෙම ප්‍රස්තුතය ඉදිරිපත් කළ සැණින් එතනට නඩා පනිනවා කක්කුස්සි විශ්ලේෂකයෙක්. ඔහු මෙවැන්නක් පවසනවා:

ඔයා නො දන්න දේවල් ගැන කතා නො කර ඉන්නවා නම් හොඳ යි. ඔයාට මේවා (සලකනු ලබන දැනුම් පද්ධතිය) පමණක් නො වෙයි දැනුම යනු කුමක් ද යන්නවත් තේරෙන්නේ නැහැ

එලෙස පවසන එම කක්කුස්සි විශ්ලේෂකයා ඊ ළඟට දැනුම පිළිබඳ “පර්යේෂණ   සාක්ෂ්‍ය”, “සායනික පොළොව”, “දාර්ශනික ප්‍රවණතා” වැනි බර වචන ප්‍රහාරයක් අපගේ මාධ්‍ය සහෝදරයාට එල්ල කරනවා. 

ඉහත නිදර්ශනය අපට වැදගත් කරුණු දෙකක් අවධාරණය කරනවා:

1. අපගේ මාධ්‍ය සහෝදරයාට සලකනු ලබන දැනුම් පද්ධතිය පිළිබඳ දැනුමක් නැති බවට එකී දැනුම් පද්ධතිය පිළිබඳ තමන් දැනුම්වත් ය යි සිතන අය (the people who THINK so) විසින් නිගමනය කෙරෙන්නේ අපගේ මාධ්‍ය සහෝදරයා එම දැනුම් පද්ධතිය සමඟ සුසංවාදීවය අනුගත වීමට අකමැති නිසා ය. ඔහුගේ විසංවාදී ප්‍රශ්න කිරීම එකී දැනුම් පද්ධතියට අපහාස කිරීමකි. මෙය ආගමික කල්ලියක අනුගාමිකයින් විසින් එම ආගම වෙන‍ත් අයකු විසින් ප්‍රශ්න කරනු ලැබීම එකී ආගමේ පාරිශුද්ධත්වය කෙළසීමක් ලෙස සලකනු ලැබීමක් වැනි නො වන්නේ ද? මෙය ‍හුදු ආගමික චර්යාවක් නො ව ආගමික අන්තවාදයකි. 

2. දැනුම යනු කුමක් ද? යන්න පිළිබඳ අපගේ මාධ්‍ය සහෝදරයා නො දනින බවට අරියාදු කරන එකී කක්කුස්සි විශ්ලේෂකයා “ටොන්” ගණන් බර වචන අලවා තතමමින් දැනුම පිළිබඳ කරන නිර්වචනයේ සරල අරුත වූ කලී අපගේ මාධ්‍ය සහෝදරයා තමන්ටත්  අනෙකාටත් තේරෙන ලෙස සැහැල්ලු වචනයෙන් පවසන දෙය ම මිස අන් කිසිවක් නො වේ. අපගේ මාධ්‍ය සහෝදරයා පෙනී සිටින්නෙත් දැනුම යනු හුදු අත්දැකීම හෝ හුදු තර්කනය මත හෝ ගොඩනැඟෙන්නක් නො ව ඒ දෙක අතර, ඒ දෙකෙහි ම සංයෝජනයෙන් ගොඩනැඟෙන්නක් ය යන අස්ථානය සඳහා ම තමයි. ඉතිං ඇයි ඔහුට අරියාදු? අපගේ මාධ්‍ය සහෝදරයා තමන්ගේ අදහස මෙලෙස පැවසුවා නම්:

දැනුම යනු ලොකියානු, බර්ක්ලියානු, හ්‍යුමියානු අනුභූතවාදී ‍නිර්ණායක ඩෙකාටියානු, ස්පිනෝසානු, ලයිබිනිසියානු බුද්ධිවාදී අපෝහන නිර්ණායක සමඟ දාර්ශනික තලයේ දී කාන්ටියානු මැදහත්කරණයකින් සන්දර්භීය සන්තුලනයකට පත් වීමේ ඵලය යි

අපගේ මාධ්‍ය සහෝදරයා එවැනි දාර්ශනික ලෝකය තුළ අර්ථපූර්ණ එහෙත් වාස්තවික ලෝකය තුළ අර්ථශුන්‍ය අපබ්‍රංශයක් පැවසුවේ නම් ඊනියා කක්කුස්සි විචාරකයන් අපගේ මාධ්‍ය සහෝදරයාට අරියාදු කරනු තබා දවස් දෙක තුනකට මුහුණුපොතට එන්නේ ද නැත. 

කිසි යම් දැනුම් පද්ධතියක් නිර්මාණය කරන්නෝ එකී දැනුම් පද්ධතියේ සංකල්ප අනන්‍ය වූ භාෂාවකින් සූත්‍රගත කරති. එම දැනුම් පද්ධතිය අදහන්නෝ එම අනන්‍ය වූ භාෂාව ප්‍රගුණ කරති. මෙය ආගම් සහ භාෂාව අතර ඇති සම්බන්ධය ය. ඛේදනීය තත්ත්වය වන්නේ අවසානයේ දී ආගමික ඇදහිලිවල බොහෝ අදහනන් එම ආගම්වල සංකල්ප නො ව ඒවා සංකල්පගත කර ඇති භාෂාව (සිංහල යන අරුතින් නො ව පොදුවේ ලෝකය සංකේතනය කර ගැනීම යන අරුතින්) සමඟ බැඳීම ය. තමන් අදහන එක ම සංකල්පය වුව වෙනත් භාෂාවකින් පැවසෙන කල මෙකී ආගමික කල්ලිවල අනුගාමිකයන්ට අවිෂය ය. 

අපගේ මාධ්‍ය සහෝදරයා දැනුම සහ විවිධ දැනුම් පද්ධති පිළිබඳ මෙලෝ හසර නො දන්නා අයෙක් නො වේ. එකී කරුණු ගැන ඔහු කාලයක සිට බැරෑරුම් සංවාද ඔහුගේ වියුණුවෙහි දී කර ගෙන යයි. අනුභූතික සාක්ෂ්‍ය, අනුභූතිවාදය, බුද්ධිවාදය, දැනුම පිළිබඳ කතිකාව, ඥාන විභාගය, දාර්ශනිකයන්ගේ නම් වැනි දේ සිංහලෙන් ගූගල් කළ හොත් ප්‍රතිඵල අතර අදටත් ඔහුගේ වියුණුව ඇත. නමුත් එකී කිසිඳු දැනුම් පද්ධතියක බැතිමත් අනුගාමිකයකු වීම ඔහුගේ ලක්ෂණයක් නො වේ. අපගේ මාධ්‍ය සහෝදරයාට කුමක් හෝ තමන්ගේ ම කියා දෙයක් තිබේ. ඇතන්ස්හි ප්ලේටෝ හෝ ගොඩලොව්කාවේ ප්ලෙකානොව් හෝ ලන්ඩනයේ පෝප් හෝ වියානාවේ පොපර් හෝ කුරුඳුවත්තේ පරාක්‍රම හෝ පිළිගනු ලබන අය විසින් අපගේ මාධ්‍ය සහෝදරයා නො පිළිගනු  ලැබීම අපගේ මාධ්‍ය සහෝදරයාගේ  ප්‍රශ්නයක් නො වේ. 

දැනුම පිළිබඳ දැනුම් පද්ධතිවල ආගමික කල්ලිවාදය යනු අතිභයංකර සම්ප්‍රදායකි. මේ ආගමික කල්ලිවල ව්‍යුහයක් පවතී.  මේවා යම් ශාස්තෘවරයකු වටා ගොඩනැඟී ඇත. ලාංකීය සන්දර්භය තුළ ශාස්තෘවරයා ආවශ්‍යයික ලක්ෂණයකි. ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ වාසය කරන මගේ දාර්ශනික මිත්‍රයෙක් පසු ගිය දා එම අදහස මට මෙසේ ලියා එව්වේ ය:

I think Sri Lankans are attached to the personality. They can’t accept a religion without a figure to worship.” 

ශාස්තෘවරුන්ගේ ද වංශාවලියක් තිබේ. ඔස්ට්‍රියාවේ සිටි ආදී ශාස්තෘවරයාගේ ප්‍රංශයේ සිටි අහවල් ශිෂ්‍ය ශාස්තෘගේ ස්ලෝවේනියාවේ සිටින අහවල් වර්තමාන ශාස්තෘගේ ලංකාවේ සිටින අහවල් ශිෂ්‍ය ශාස්තෘ වැනි හඳුන්වාදීම් ඔවුන්ට ඇත. මෙකී ආගමික කල්ලි විසින් ප්‍රවර්ධනය කරනු ලබන්ගේ තමන්ගේ ශාස්තෘවරයාගේ වංශාවලියට අයත් අයගේ දැනුම පමණි. ෆ්‍රොයිඩ්ට කැමති අය යුංග් ගැන කතා නැත. ලැකාන්ට කැමති අය මෙලනි ක්ලයින් ගැන කතා නැත. දැනුම් පද්ධති අදහන ලාංකීය ආගමික කල්ලිවල ඇතුළතත් ගිනි ය; පිටතත් ගිනි ය. අපගේ මාධ්‍ය සහෝදරයා මෙම ආගමික කල්ලි ගැන වැදගත් ලිපියක් කලකට පෙර ලියුවේ ය. එය නැවත නැවතත් කියවිය යුතු තරම් වටිනා එකකි. 

විවිධ දැනුම් පද්ධති යනු ලෝකය වටහා ගන්නට විවිධ අය ගෙතූ විවිධ කතන්දර වන කල අප එක දැනුම් පද්ධතියක් වෙනුවෙන් ආධානග්‍රාහී ව පෙනී සිට අනෙක් දැනුම් පද්ධති නැති කර දැමීමට වෙහෙසිය යුතු නැත. කිසිඳු දැනුම් පද්ධතියක් සර්ව සම්පූර්ණ නැති බව අප විසින් මතක තබා ගත යුතු ය. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ, ලිවීස් කැරොල්ගේ, ජේ. කේ. රොව්ලිංගේ සිට ජානකී සූරියආරච්චි නැන්දීගේ කතන්දර දක්වා පමණක් නො ව බුදුන්ගේ සිට ජේසුන්ගේ කතන්දර දක්වා ද ඔය කොයි කතන්දරයත් තිබුණාට වරදක් නැත. රිස්සෝ රිසි දේ රිසි සේ රසවිඳිනු ඇත. අපගේ කැමැත්ත හා විශ්වාසය අනෙකා මත බලහත්කාරයෙන් පැටවීම අධිපතිවාදයකි. ආගමික කල්ලිවලින් දැනුම බේරා ගැනීම අද දවසේ දැනුම පිළිබඳ කතිකාවේ වැදගත් ම අරමුණ වී ඇත. එය කරන්නට සිදු ව ඇත්තේ නාසිස්මික (narcissistic) චරිත සමඟ මාරාන්තික සටනකිනි. අපගේ මාධ්‍ය සහෝදරයාණෙනි, ඔබට ඒ සඳහා දායක වන්නට දිරිබල ලැබේවා!

වික්‍රම වික්‍රමාදිත්‍ය වික්‍රමරත්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s