සමහරෙක් ස්වකීය මහා අනෙකා සොයති.

රක්ත-පච්ච-නීල සංක්‍රාන්තියක යෙදෙන්නට මාන බලන සමහරෙක් සිටිති!

පෙර කලැ ජ.වි.පෙ. කැරැලිකරුවකු වැ සිට පසු කලැ එ.ජා.ප.ට කරණම් ගැසූ මගේ පැරැණි හිතවතකු හිටි හැටියේ මැ එ.ජා.ප. විරෝධියකු වැ සිටියි. එමතු නො වැ රාජපක්ෂයනට දවසට තුන් වේලට බැණවදිමින් සිටි හෙතෙම එක් වර මැ රාජපක්ෂයන්ගේ ගුණ ගීයක් ඇසෙන නොඇසෙන තරමට ගන්නට ද පටන්ගෙනැ ඇත. මේ නම් මහත් අරුමයෙක් වන්නේ යැ. මෙම විපර්යාසය ගැන අදහස් දක්වන තවත් මිතුරෙක් “දැන්නම් එයා වෙන දෙවොලකට මාරුවෙන්න වගේ හදන්නේ” යැ යි පවසයි. 

දැන්නම් එයා වෙන දෙවොලකට මාරුවෙන්න වගේ හදන්නේ” යන වදන් පෙළ නම් රුවන් මාලයෙකි. මින් දෑවුරුද්දකට පෙර නම් මා මිතුරාණෝ යහපාලනය නිබඳ වැ වැනුවෝ “යහපාලනය” වූ කලී සද්ධර්මාලංකාරයැ පැවැසෙන කේතුමතී රජදහන මෙරිසිලක පිහිටුවන්නට අවැසි පාලනය බව මැ පැවැසුවෝ යැ. මා මිතුරාණන්ගේ ප්‍රශස්තිකාර පරපුරැ දෙටුවෝ එක්දහස් නවසිය හැත්තෑහතේ දී ද යහපාලනය වැනි මැ පැබැඳුමක් “ධර්මිෂ්ට සමාජයක්” නමින් පකට කළෝ පෙර කී කේතුමතී රජදහන මැ මෙසිරිලක ඇති කරන්නට බස් දුන්නෝ යැ. ධර්මිෂ්ට සමාජකරුවෝ යුරෝප‍යැ ද ඇමෙරිකාවැ ද ජපානයැ ද වූ කුණුකන්දල් මෙසිරිලක ගෙනැවිත් ගොඩගැසුවෝ යැ. රටවැසියෝ ද කෙටි කලකට තුටු වූහ. ‍පරෙවි සඳැසැ සිරි රහල් හිමි පැවැසූ ලෙස:

සුරපුර මෙපුර දෙතටුව සව් සිරින් පුරා
මහබඹ මෙර තුලා කර බලන වර    කිරා
ලූහු බැවිනෙ’දෙව්පුර රැඳුනෙව් සුනෙර සිරා
බට වැනි බරින් දෙරණට මෙපුර මනහරා

එනම් “මහබඹු මෙපුර සහ සුරපුර සව්සිරින් පුරවා මහමෙර තුලා දඬුව කැරැ කිරා බලනැ කලැ මෙපුර බර වැඩි වූයෙන් පහළින් ද සුරපුර බර මඳ බැවින් ඉහළින් ද රැඳුණු ලෙස” මෙසිරිලක සුරපුරයට ද වඩා වැඩි මනහර පුරයක් වන බැව් දනන් සිතන්නට ඇත. තුමු විසින් මැ කර ගත් වින්නැහිය දනනට වැටහෙන කල දාහත් වසක් ගෙවී අවසන් වැ තිබිණ. දාහත් වසක් ගෙවුණු තැනැ “කේතුමතී රජදහන” කෙසේ වුවැ ද විසාලා මහනුවරක් නම් මෙරිසිලක ඉතිරි විණ. ධර්මිෂ්ට සමාජ නයුවන්ගේ බෑණණ්ඩියගේ යහපාලනය වූ කලී වින්නැහියක් මැ බැව් දෑවුරුද්දකින් මැ දනන් වටහා ගෙනැ ඇත. එනම් වාසනාවක් යැ. 

පසු ගිය සමයැ මා මිතුරාණෝ යහපාලනය වැනුවෝ විකුම්සිහයන් මෙසිරිලක සුරපුරක් කළ හැකි මහා ලිබරල නයුවාණන් බැව් නිතොර මැ පැවැසූවෝ යැ. දෑවුරුද්දක් ගෙවුණු තැනැ විකුම්සිහයන් තම ලිබරල නයෙන් හිඳ වූ වූ කප්රුකක් තබා හබරලයක් හෝ නැත. ඔවුනට නළුකමක් සේ මැ මොළයක් ද නැති බැව් දැන් නම් තහවුරු වැ ඇත. යහපාලනය සමඟ මැ මා මිතුරාණන් ද කිච වී, පච වී, ඔද්දල වී ඇත. මා මිතුරාණෝ මෙදවස සැඟවෙන්නට තැනක් ද එල්ලෙන්නට වැලක් ද සොයමින් සිටිති. මගේ අනෙක් මිතුරාණන් විසින් පැ‍වැසෙන “දැන්නම් එයා වෙන දෙවොලකට මාරුවෙන්න වගේ හදන්නේ” යන වදන් පෙළ රුවන් මාලයක් වන්නේ එනිසා යැ. 

එනමුත් අවම ලෙස දසක දෙකක් පමණ මා මිතුරාණන් දන්නා මම හෙතෙම ජ.වි.පෙ. වෙත නම් යළි පිය නොනඟින බව කැට තබා පවසමි. හේතු කාරණ දෙකෙකි:

1.  “යා දෙක නොරත රත – එකට පෑහීමෙක් නැත” යන සිරි රහලුන්ගේ කව්සෙකර පද ලෙස මැ මා මිතුරාණන්ගේ හද මඬල කැකෑරෙන ජ.වි.පෙ. පිළිබඳ කෝපාග්නිය කිසිඳු සිසිල් දියකින් නිවාලනු නොහැකි යැ. 

2. මා මිතුරාණෝ ගොඩබිම කරා නොයන, මඟක් නොදත් නැව්වලට පනින පුඟුලෙක් නො වෙති.

මෙනයින් මා මිතුරාණන් කැරැකී පැමිණෙන්නට මාන බලනුයේ ජය නියත රජපස දෙසට යැ. මා මිතුරාණන් ළඟ දී මැ එසඳහා ද නව න‍යක් සකසනු ඇත. එහෙත් මා මිතුරාණන් තම ආකල්ප සකසා ගන්නා තෙක් ඔවුන් රජපස බලකායේ හතර මායිමට වද්දා නො ගැනීමට මා සන්මිතු මයුරවිල සහ සරස සෙන්පතීන් විසින් වග බලා ගනු ලැබිය යුතු මැ යැ. මක් නිසා ද යත් මා මිතුරාණන් ට්‍රෝජන් අස්ප‍යකු විය හැකි බැවිනි. 

අප මෙම කරුණු කෙතරම් පැවසු වැ ද මා මිතුරාණනට නො වැටහේ. පසු ගිය සමයැ මයුරවිලයෝසරස‍තුමෝ ද මම ද මෙකී කරුණු නන් නයින් මෙහි විවරු කැරැවූයෙමු. මා මිතුරාණෝ යහපාලනය මැ වැනුවෝ යැ. ඇතැම් විට මා මිතුරාණනට වැටහෙනුයේ මතු ආකාර විවරු විය හැකි යැ: 

“මා මිතුරාණෝ විකුම්සිහයන් (හෝ ඔවුන්ගේ එ.ජා.ප. සමාගම හෝ යහපාලනය හෝ) තුළ තම මහා අනෙකා (the Big Other) ගොඩනඟා ගෙනැ තම ආශාවේ වස්තුව (objet petit a) නිර්මාණය කර ගත්හ; විකුම්සිහයන්ගෙන් තමා නොලබන එහෙත් අනෙකා ලබන්නේ යැ යි තමා සිතන අතිරික්ත ප්‍රමෝදය (surplus of jouissance) යනු මෙකී ආශාවේ වස්තුව (objet petit a) යැ. තමා නොලබන අනෙකාගේ අතිරික්ත ප්‍රමෝදය මා මිතුරාණන් තුළ ඇති කරන සාංකාව සමනය කැරැ ගැනුමට මා මිතුරාණන් ගොඩ නැඟූ ෆැන්ටසිය ඔවුන්ගේ වියුණුවෙහි ලිපි සිව්දහසකට වැඩි පමණක ගැබ් වැ පවතී. 

මා මිතුරාණන්ගේ ෆැන්ටසිය බිඳි වැටෙන සංසිද්ධි කීපයක් පසු ගිය සමයැ සිදු විණ (මහ බැංකු අවුල, බදු අවුල, ඉන්ටර්පෝල් අවුල ඈ විසින්). ෆැන්ටසිය බිඳුණු කල පුද්ගලයා අබිමුව වනුයේ යථ (the Real) සමඟ යැ. මෙලෙස යථ (the Real) අබිමුව වීම ක්ෂිතිමය අත්දැකීමකි (traumatic experience). විකුම්සිහයන් (හෝ ඔවුන්ගේ එ.ජා.ප. සමාගම හෝ යහපාලනය හෝ) පිළිබඳ මා මිතුරාණනට භාෂාත්මක ලෝකය තුළ සංකේතකරණය කර ගැනීමට නොහැකි වූ යථ (the Real) උමතු වූ සංසිද්ධි කීපයක් ඔස්සේ ඔවුනට අබිමුව වීමෙන් පසු මා මිතුරාණනට තව දුරටත් විකුම්සිහයන් (හෝ ඔවුන්ගේ එ.ජා.ප. සමාගම හෝ යහපාලනය හෝ) තම ආශාවේ වස්තුව ලෙස පවත්වා ගත නොහැකි යැ. 

මා මිතුරාණෝ වත්මන මව හෝ සංකේතීය පියා (symbolic father හෙවත් the name of the father) හෝ අහිමි වූ දරුවකු මෙන් තෝන්තුවා වී සිටිති. වත්මනැ මා මිතුරාණන්ගේ හැසිරුම එවන් දරුවකුගේ සේ යැ. මා මිතුරාණන් නො ලසා තම ආශාව යොමු කළ හැකි මී ළඟ මහා අනෙකා (the Big Other) ගොඩනඟා ගෙනැ තම ආශාවේ වස්තුව (objet petit a) නිර්මාණය කර ගත යුතු වැ ඇත. මා මිතුරාණ විසාහි ජ.වි.පෙ. එකී කිරිය සඳහා විකල්පයක් යැ? මගේ අදහස නම් “නැත” යනු යැ. 

මා මිතුරාණෝ අසූව දසකයැ මැදැ විජේවීරයන් (හෝ ජ.වි.පෙ හෝ) තුළ තම මහා අනෙකා (the Big Other) ගොඩනඟා ගෙනැ තම ආශාවේ වස්තුව (objet petit a) නිර්මාණය කර ගත්හ. ඒ ඇසුරින් ඔවුන් විසින් ගොඩනැඟුණු ෆැන්ටසිය අසූව දසකයේ අග වන විට බිඳ වැටිණි. එළියකන්දේ දී ද වීරවිල දී ද ඇති වූ ක්ෂිතිමය අත්දැකීම් (traumatic experience) යනු මා මිතුරාණන්ගේ ෆැන්ටසිය බිඳී ඔවුනට භාෂාත්මක ලෝකය තුළ සංකේතකරණය කර ගැනීමට නොහැකි වූ විජේවීරයන් (හෝ ජ.වි.පෙ හෝ) පිළිබඳ යථ (the Real) අබිමුව වීම යැ. ඉනික්බිති වැ මා මිතුරාණනට විජේවීරයන් (හෝ ජ.වි.පෙ හෝ) තුළ තව දුරටත් ෆැන්ටසිකරණය කළ හැකි, සංකේතනය කර ගත නොහැකි යථ (the Real) නො පවතී. “සංකේතකරණය කර ගන්නට නොහැකියාව” නැති තැනැ ආශාව නො රඳයි (ආශාව යනු අපගේ අහිමි වීම තුළ රඳන්නකි). එනිසා මා මිතුරාණන්ගේ  ආශාව විජේවීරයන් (හෝ ජ.වි.පෙ හෝ) තුළ නො රඳයි.  

වත්මනැ මා මිතුරාණනට මහා අනෙකා (the Big Other) කැරැ ගතැ හැකි  වන්නේ හෙවත් ආශාව යොමු කළ හැකි වන්නේ රජපස වෙත යැ. රජපස යනු මා මිතුරාණනට සංකේත කර ගත නොහැකි දෙයකි. මා මිතුරාණෝ දැනට මැ රජපස තුළ අනෙකා ලබන ප්‍රමෝදය (jouissance) ප්‍රශ්න කරමින් සිටීම යහපත් එළඹුමකි. ළඟ දී මැ මා මිතුරාණන් රජපසගෙන් තමා නොලබන එහෙත් අනෙකා ලබන්නේ යැ යි තමා සිතන අතිරික්ත ප්‍රමෝදය (surplus of jouissance) හෙවත් ආශාවේ වස්තුව (objet petit a) පිළිබඳ ෆැන්ටසිකරණය අරඹනු ඇත. දිනකට වියුණු සටහන් පහ හය ලියැවෙනු ඇත. අප සතුටු විය යුතු නො වේ ද? මොහාන් සමරනායක, චරිත හේරත්, මහින්ද පතිරණ ඈ සුධීමතුන් ලබන ප්‍රමෝදය (jouissance) මා මිතුරාණනට ද මතු දින දැනේවා. 

ෆැන්ටසිය යනු නරක දෙයක් නොවන්නේ යැ. ඇතැම් ෆැන්ටසි ජීවිතයැ සබැඳි මැ අංග යැ. මා සන් මිතු සරසතුමනටමාන්පිටිය සිරිමතුනට ද මට ද පැවැති එක් ෆැන්ටසියකි මේ (මෙය පසු කාලයෙක මතු වැ පැමිණි පද යැ. මා මතකයැ රැඳි අයුරින් සඳහන් යැ):

සීතල පින්නේ සතර දිගන්තේ
හන්තානේ නිල් කඳුවැටි අතරේ
තුරුණු වසන්තයේ
කිකිණි සිනා හඬ
ඔබට ඇසේවා මතු දවසේ

මේ ෆැන්ටසිය කිනම් වයසක සිටිය ද ලංකාවේ හෝ ස්වීඩනයේ හෝ එංගලන්තයේ හෝ අන් කිනම් තැනැ සිටිය ද අද ද ගිම්හානයැ මැදියම් රැයැ සිහිනයක් සේ ද සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ ද අප සනසන්නේ යැ; මිතුදම් වඩවන්නේ යැ. අපගේ ෆැන්ටසිය නොබිඳෙන ලෙස පමණක් අප යථ (the Real) කරා එළඹියෙමු.

මා මිතුරාණනට මම වැදගත් රහසක් පවසමි. ඔබ මී ළඟ වර යථට නොනිසි ලෙස ළං නො වන්නැ. මක් නිසා ද යළිත් ඔබගේ ෆැන්ටසිය බිදී, පුද්ගලයා යථ අබිමුව වී, ක්ෂිතිමය අත්දැකීම් ඇති වී ඔබ වියවුල් වියැ හැකි බැවිනි. ඔබට ද අපට ද ආශාව යොමු කරන්නට විකල්ප මහා අ‍ෙනකකු ඉතිරි වැ නැත. මම යළිඳු පවසමි: ඔබට ද අපට ද ආශාව යොමු කරන්නට විකල්ප මහා අ‍ෙනකකු ඉතිරි වැ නැත.

ඔබ ෆැන්ටසිය විනිවිඳ යථ වෙත ළඟා වියැ යුතු සීමාවක් ඇත. ඔබගේ ෆැන්ටසිය නොබිඳෙන තෙක් පමණක් ඔබගේ ආශාව යොමු වන මහා අනෙකාට අදාළ යථ වෙත ළඟා වන්න. අත්දුටු යි; ප්‍රත්‍යක්ෂ යි! සැක නම් සරසතුමන්ගෙන් හෝ මාන්පිටිය සිරිමතුන්ගෙන් හෝ අසා සැක දුරු කර ගනු මැනැවි. 

ඔබගේ ආශාව යොමුවන මහා අනෙකා‍ සොයා පළමු වසරේ දී සංඝමිත්තා කන්ද නඟින ඔබ අවසන් වසරේ දී එම මහා අනෙකා මැ සොයා තැන්නේ පිහිටි විජේවර්ධනයට පිය නඟන්නේ ඔබගේ ෆැන්ටසිය නොබිඳෙන තරමට ඔබගේ මහා අනෙකාට අදාළ යථ වෙත ඔබ ළඟා වුවැ හොත් යැ

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය. 

Advertisements

3 thoughts on “සමහරෙක් ස්වකීය මහා අනෙකා සොයති.

  1. අපූරුයි කුදලාගමයිනි !! බොහෝ අපූරුයි.
    මේ වියුණුව දුටුවේ අදය.
    ඔබටත් සංස්කාරක මඬුල්ලටත් හද පිරි උණුසුම් සුභපැතුම්.
    ඊනියා සමාජ ක්‍රියාකාරීන්ගේ දුර්මත බිඳී යේවා..
    සැබෑ දේශප්‍රේමීන්ගේ හඬ දින දින නැගේවා..
    ‘සාර්වජනික ක්ෂේත්‍රය’ දින දින බැබලේවා !!

    Liked by 1 person

    1. අසංග මාන්පිටිය සහෘදය,

      ඔබට බොහෝ ස්තුතියි මෙහි පැමිණීමටත් මෙහි ඇති ලිපි කියවීමටත්. මෙම ලිපි පළ කරවන්නට මා උනන්දු කර වූ සරසතුමා ඇතුළු සහෘද කැලට ගෞරව හිමි විය යුතු ය. මෙම ලිපිය මා විසින් ලියවුණේ ඔබතුමා පැවසූ රුවන් වැකියක් නිසා බව සිහි කරමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

    2. අසංග මාන්පිටිය මහත්මාණෙනි,

      ඔබගේ කාරුණික වදන්වලට අ‍පගේ තුති! ඉදිරියටත් අප හා රැඳෙනු මැන.

      සංස්කාරක මණ්ඩලය,
      සාර්වජනික ක්ෂේත්‍රය.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s