නඩරාජා රවිරාජ්: උතුරත්-දකුණත් යා කරන්නට සහමන්‍ත්‍රණයේ සේතුවක් වූ සොඳුරු මිනිසා.

නඩරාජා රවිරාජ්, ඔබගේ හඬ සදා නදදෙනු ඇත.

දසකයකට පමණ පෙර අධිආරක්ෂිත කළොඹ නගරයේ දී ඝාතනය වූ නඩරාජා රවිරාජ් පිළිබද පසු ගිය දින කීපය තුළ යළිත් ප්‍රවෘත්ති පළ වන්නට විණ. එදවස නඩරාජා රවිරාජ්ගේ ඝාතනයට සම්බන්‍ධ වූ අයකු මෙදවස පවසන පාපෝච්චාරණ වදන් ජනමාධ්‍යයේ පළ වන්න‍ට විණ. රවිරාජ්ගේ ඝාතනය පිළිබඳ පළ වන සටහන් කියවන මා නෙතග කඳුළු නැඟේ.  ඒ කඳුළු නිමේෂයකින් දෙනයන පුරා විහිදේ. බොඳ ව යන පෙනීම පාදා ගන්නට රිසි මම ඒ කඳුළු පිස දමමි. 

රවී සොඳුරු මිනිසෙකි. උතුරත්-දකුණත් යා කරන්නට සහමන්‍ත්‍රණයේ සේතුවක් වන්නට රවී අපමණ වෙහෙසුණේ ය. බොහෝ දෙමළ දේශපාලනඥයන් මෙන් රවී අන්තගාමී වූයේ නැත. එකල වැඩෙමින් පැවති ජාතික හෙළ උරුමයේත් ජනතා විමුක්ති පෙරමුණේත් දෙමළා නොඉවසන සිංහල මහා ජාතිවාදයේ නොමඳ අපහාසයට ද උපහාසයට ද තර්ජනයට ද ගර්ජනයට ද මුහුණ දෙමින් රවී රූපවාහිනී වාද-විවාද, සංවාද-විසංවාද, තර්ක-විතර්ක ආදියට සහභාගී  වූයේ ය. වමට (නීතිමය වශයෙන්) බොහෝ උදව් කළ කුමාර් පොන්නම්බලම් හැරුණු කළ සැලකිය යුතු සිංහල භාෂණයක් තිබූ දෙමළ දේශපාලනඥයා වූයේ රවී ය. ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයන්නට රවී දකුණේ සිංහලයා සමඟ සංවාද වන්නට අපමණ වෙ‍හෙසුණේ ය.

නඩරාජා රවිරාජ්: දකුණේ සිංහලයාට සිංහල භාෂාවෙන් ම ආමන්ත්‍රණය කළ උතුරේ සොඳුරු දෙමළා ය.

වාකරෙයි සංහාරයට එරෙහි ව කොළඹ දී පැවැති උද්ඝෝෂණයකට සහභාගී වී දිනකට පසු සිව්දෙස රැකවල් ලා සුරකින ලද අධිආරක්ෂිත කොළඹ නගරයේ දී රවී ඝාතනය කෙ‍රිණි. පිබිදෙමින් පැමිණෙන සිංහල මහා ජාතිවාදයෙන් ඔද වැඩී උමතු ව සිටි අගනගරයේ මගේ හිකවත් ඇතැමෙක් “තව කොටියෙකු ඉවරයි” ය යි පැවසූ මූසල හඩ මේ මොහොතේ ද මා දෙසවනෙහි දෝංකාර දෙයි; ඔවුන්ගේ විජයග්‍රාහී ලීලයේ බහුවිධ අභිනයන් මා දෙනයන අභියස මැවී පෙනෙයි. ඉනික්බිති වසර කීපයක් ගෙවෙන්නට මත්තෙන් උතුරේ මහා වර්ගසංහාරයක් දක්වා වැඩුණු යුදකාමයේ මුල්බිජුවට මම එදා මගේ සිංහල මිතුරන්ගේ දෙනෙයන තුළ දුටුවෙමි.

දකුණේ  සිංහලයා ද උතුරේ දෙමළා ද මේ ලක් දෙරණෙහි සහෝදරත්වයෙන් බැඳී යළි ජීවත් වන සොඳුරු සමයක් බිහි කරවන්නට දකු‍ණේ සිංහලයා සමඟ සංවාදයට පැමිණි සොඳුරු මිනිසකු වූ නඩරාජා රවීරාජ් දකුණේ අධිආරක්ෂිත කලාපයක දී ම ඝාතනය වීම පිළිබඳ සතුටු සිනා නැඟූ මගේ සිංහල මිතුරන් සැබවින් ම එදා කළ යුතු වූයේ දුක් කඳුළු හෙළීම ය. එවකට මා ලිපි ලියමින් සිටි බර්මිංහැම්හි ප්‍රවෘත්ති කාර්යයාංශයට එදින රාත්‍රියේ මා ලියූ ලිපිය මම මෙලෙස අවසන් කළෙමි (මම එම උපුටනය සිංහලයට පරිවර්තනය කර මෙහි පළ කරමි):

ඔහු ඝාතනය කෙරෙන්නට පෙර සිංහල මහා ජාතිවාදීහු ඔහු කොටියකු ලෙස ප්‍රසිද්ධියේ නම් කළහ. ඉන් දින කීපයකට පසු සිදු වූ ඔහුගේ අමානුෂික ඝාතනය දකුණේ ඇසින් බලා සාධාරණීකරණය කිරීමට අවශ්‍ය පදනම සකසා ගනු වස් එම නම් කිරීම සිදු කෙරිණි ද යන සංශය මසිත පවතී. කුමක් කෙලෙස සිදු වුව ද අවසානයේ දී ජාතික ප්‍රශ්නයට සම්මුතිවාදී විසඳුමක් ළඟා කර ගන්නට ව්‍යාවෘත වූ හොඳ හදවතක් ද මනසක් ද තිබූ වටිනා මිනිසකු අපට අකාලයේ අහිමි කෙරෙණි. එහෙත් දකුණේ අධිපති බහුතරය සැබවින් ම වැලපිය යුතු නිමේෂයක ප්‍රමුදිත වන බව පෙනේ. එය දෙමළාගේ පමණක් නො ව සිංහලයාගේ ද අවාසනාව ය. නඩරාජා රවීරාජ් මිතුරාණෙනි, දේව දූතයෝ ඔබගේ සදාකාලික නිද්‍රාව්‍රතයට ගීතිකා ගයත්වා!

රවී පිළිබඳ යුක්තිය ඉටු වේ ය යි මම එකල නො සිතීමි. මම මෙසේ ලියුවෙමි: 

රවීගේ අවසන් සුසුම ගිලිහී ගියේ රජයේ ආරක්ෂාව පැය විසිහතර පුරා ම පැවති ප්‍රදේශයක ය. රවීට නොලැබුණු ආරක්ෂාව ඝාතකයා නම් ලබා ඇති සෙයකි. ඝාතකයා ආරක්ෂිත ව පළා ගොස් ඇති අතර රජය තමන්ට ඝාතකයා හඳුනාගත නොහැකි වූ බව පවසයි. මෙය විසුළුවකි. සොරුන්ගේ මවුන්ගෙන් සොරුන්ගේ ක්‍රියා ගැන පේන අසන්නට තරම් අපි අඥනයෝ නො විය යුතු වෙමු.

දස වසක් ඇවෑමෙන් හෝ රවීගේ ඝාතනය ගැන යථා තතු හෙළි කර ගැනීම අපි අගය කළ යුතු වෙමු. එමඟින් රවීගේ ඥාතීන්ට රවී අහිමි වීමේ අඩුව නොපිරුණ ද තම වියෝවූවාට සැබවින් ම සිදු වූයේ කුමක් ද යන්න දැන ගැනීමේ ඥාතීන්ගේ අභිලාෂය සංසිඳේ. එය යුක්කියේ එක් ස්වරූපයකි.  වත්මන් “යහපාලනය” ආණ්ඩුව නඩරාජා රවිරාජ්ට යම් යුක්තියක් ඉෂ්ට කිරීම පිළිබඳ අපගේ ශීර්ෂප්‍රණාම ය!

දකුණේ ඝාතනය වූවන්ගේ ඥාතීන් ද උතුරේ ඝාතනය වූවන්ගේ ඥාතීන් ද ඉල්ලා සිටින්නේ ද එම යුක්තිය ම බව ආණ්ඩුවට අවබෝධ වේවා! එම සද්කාර්යය ද නොපමා ව ඉටු වේවා!

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s