හම්බන්තොට සිද්ධිය සහ සමාජාකල්ප

නරක මිනිසුන්ගේ තිරශ්චීනත්වයට වඩා හොඳ මිනිසුන්ගේ නිශ්ශබ්දතාව භයානක ය” – මාර්ටින් ලූතර් කිං, කනිෂ්ඨ.

The Read Us යනු අන්තර්ජාලයට මෑතක දී එක් වූ වියුණුවකි. එහි පළ වන ලිපිවල වැදගත් අදහස් ගැබ් ව පවතී. එහි රචකයා තම අදහස් ආධානග්‍රාහී නො වී අදීන ව ඉදිරිපත් කරන බව පෙනේ. අප සෑම කෙනකුට ම සේ ම එම රචකයාටත් යම් දේශපාලන ළැදියාවක් තිබිය හැකි මුත් සමාජ ප්‍රපංච විශ්ලේෂණයේ දී එම රචකයා ප්‍රකට කරවන නොබැඳියාව ප්‍රශංසනීය ය. පසු ගිය දා සිදු වූ නාවික හමුදාපති විසින් මාධ්‍යවේදියකුට පහර දෙනු ලැබීමේ සිද්ධිය අලළා සිංහල වියුණු ලොව බොහෝ සම්මානනීය වියුණුකරුවන් විසින් ප්‍රකට කරවන ආකල්පය ඉතා භයානක ලෙස පක්‍ෂග්‍රාහී බව පෙනේ. වරද දැක දැක ද එය නිවැරදි බවට විතණ්ඩ තර්ක ගෙන හැර පෑම ඛේදයකි. රාජපක්‍ෂ සමයේ ද මෙවැනි සිදුවීම් සිදු වූ නිසා මෙම සිදුවීම නො සලකා හැරිය යුතු බව පැවසීම මුග්ධකමකි. සමාජය වෙනස් කරන්නට ය යි පවසමින් ලිපි සිව්දහස් ගණනක් ලියන්නවුන් ද එවැනි මුග්ධ අස්ථානවලට එළඹීම ගැන අපි කනගාටු විය යුතු වෙමු. එවන් පසුබිමක The Read Us වියුණුකරුවා විසින් පසු ගිය දා සිදු වූ හම්බන්තොට වරායේ සිද්ධිය අලළා කරනු ලබන විග්‍රහය අපගේ ඇගයීමට ලක් විය යුතු ය. මතු පළ වන්නේ එම වියුණු සටහන පිළිබඳ මා විසින් කෙරුණු කියවීම ය:

ඔබ විසින් මෙ‍ම ලිපියෙන් අවධාරණය කරනු ලබන කරුණු කීපයක් මම මෙසේ සංක්‍ෂිප්ත කරමි:

1. ශ්‍රමිකයන්ට තම ශ්‍රමික හිමිකම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනය කිරීමට අනුල්ලංඝනීය හිමිකමක් ඇත (ඔබ ඒ බව පිළිගනී). එහෙත් ශ්‍රමිකයන් එම හිමිකම අපහරණය කිරීම නොනිසි ය.

2. නාවික හමුදාපතිවරයා මෙම වැඩ වර්ජනය විසඳීමට මැදිහත් වීම නොනිසි ය. එලෙස ම ඔහු එහි දී හැසිරුණු ආකාරය ද ඔහුගේ ධුරයට නොනිසි ය. 

3. මාධ්‍යවේදීන් තම කාර්යභාරය ඉටු කරන ආකාරය පිළිබඳ ගැටලු ඇති මුත් මාධ්‍යවේදියකුට පහර දීම අනුමත කළ නොහැකි ය. 

ඔබගේ මූලික ප්‍රස්තුත තුන විසින් විමසනු ලබන පොදු ගැටලුවක් ඇත. එනම් සමකාලීන ලාංකීය සමාජයේ සාමාජීය මිනිසා තම කාර්යභාරය පිළිබඳ අතිභයානක නොදැනුම්වත්බවක වෙළි සිටින බව ය. මෙම නොදැනුම්වත්බව හුදු දැනුම නොමැති වීමක් පමණක් නො ව විනය පිළිබඳ ද ගැටලුවකි. ශික්‍ෂණය යනු දැනුම සහ විනයේ මුසුවකි. 

බලය භාවිත වන ධුර දරන පුද්ගලයන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ශික්‍ෂණයකින් යුක්ත විය යුතු ය. පැරණි හින්දි චිත්‍රපටවල මෙන් පොලිස් නිලධාරියා වැරදිකරුවන් ය යි තමන්ට සිතෙන පුද්ගලයන්ට වෙඩි තබා වීරත්වයට පත් වන විගඩම් ශිෂ්ට සමාජය අනුමත කරන්නේ නැත. නාවික හමුදාපතිවරයාගේ හැසිරීමට වඩා යම් සාධනීය හැසිරීමක් එහි සිටි ඇතැම් අවශේෂ නිලධාරීන්ට තිබූ බව විඩියෝ දර්ශනවල දැක ගත හැකි විණ. ලන්ඩනයේ නාගරික පොලිස් නිලධාරීන් සමඟ වාදවලට පැටලෙන ඇතැම් තරුණයින් විසින් ඉතා දරුණු ලෙස එම පොලිස් නිලධාරීහු ප්‍රකෝප කරනු ලබති. එහෙත් තම ඉවසීම බිඳ ගෙන පොලිස් නිලධාරීන් විසින් කලහකාරී තරුණයන්ගේ දන්ත ධාතූන් වහන්සේලා උදර කුහරයට වඩම්මවනු ලැබීමක් නම් මා කෙදිනකවත් දැක නැත. 

සාමාජීය මිනිසා ශික්‍ෂණය කරනු ලැබීමේ දී සමස්ත සමාජය විසින් දරනු ලබන ආකල්ප ඉතා වැදගත් ය. නොනිසි හැසිරීම් සඳහා ලැබෙන මතවාදමය අනුබලය විසින් එම හැසිරීම් පෝෂණය කර ප්‍රවර්තනය කරනු ලැබේ. සමාජයේ මතවාදමය අනුබලය නොලබන හැසිරීම් ප්‍රවර්තනය වන්නේ නැත. 

වැඩ වර්ජනයට සහභාගී වූ ශ්‍රමිකයන්ගේ කිසි යම් කඩාකප්පල්කාරී අරමුණක් තිබෙන්නට හැකි ය. අගතියට පත් මාධ්‍යවේදියාගේ ද යම් දේශපාලන අරමුණක් තිබෙන්නට හැකි ය.  ඒවා සංශයාත්මක අදහස් ය. එහෙත් නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියාට පහර දුන් බව නම් සංශයාත්මක අදහසක් නො ව සුනිශ්චිත කරුණකි. 

නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියාට පහර දුන් බව නම් සංශයාත්මක අදහසක් නො ව සුනිශ්චිත කරුණකි. 

නොනිසි හැසිරීමක් පිළිබඳ සුනිශ්චිත කරුණු පවතින විට ද එම හැසිරීම සුපැහැදිලි ව හෙළා දැකීමට අද බොහෝ දෙනකු පසුබට වන බව පෙනේ. එය ඉතා නිෂේධනීය ආකල්පයකි. එමඟින් එම නොනිසි හැසිරීම අනියම් ලෙස අනුමත වීම පමණක් නො ව එවන් හැසිරීම් ප්‍රවර්ධනයක් ද සිදු වේ. සමාජය වෙනස් කරන්නට ව්‍යාවෘත පුද්ගලයන් ද දේශපාලන න්‍යායපත්‍ර මත පිහිටා නොනිසි චර්යා ප්‍රවර්ධනය කිරීම සාමාජීය ව්‍යසනයකි. නාවික හමුදාපතිවරයාගේ නොනිසි චර්යාව හෙළා දැකීමට පාලක පන්තිය පසුබට වීමටත් වඩා භයානක වන්නේ සිවිල් සමාජය එම නොනිසි චර්යාව පිළිබඳ දරන අවිනිශ්විත ආකල්පය යි. නොනිසි දෙය ඍජු ව සහ පැහැදිලි ව හඬ නඟා හෙළා දැකීමට නොහැකි සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයන්ගෙන් ඵලක් නැත. ඒවා අවසානයේ දී සේවය කරන්නේ ද පාලක පන්තියේ ප්‍රතිගාමීත්වයට ම ය. 

මා විසින් ඔබගේ සෘජු සහ පැහැදිලි අදහස් දැක්වීම අගය කෙරෙන්නේ පෙර පහදන ලද සමාජ පරිසරයක ය. සමකාලීන ලාංකීය සමාජයේ සාමාජීය මිනිසා ශික්‍ෂණය කරනු ගනු ලැබීමට එරෙහි ව පවතින ප්‍රබලතම  බාධකය වන්නේ නරක මිනිසුන්ගේ නරක චර්යාවන් ම නො ව එම නොනිසි චර්යාවන් ඍජු ව හෝ වක්‍ර ව හෝ සාධාරණීකරණය කරනු ලබන හොඳ මිනිසුන්ගේ නොනිසි ආකල්ප ය. 

කවුරුන් හෝ එම පහර දීම සාධාරණිකරණය කරනවානම් ඔහුද එම වගකීම දැරිය යුතුය.” යන ඔබගේ ඍජු ප්‍රකාශය මම මහත් සේ අගයමි. සිවිල් සමාජය ශක්තිමත් වන්නට ඔබගේ ලිපිය දායක වන්නේ එමඟින් සමාජ ආකල්ප පිරිපහදු වන නිසා ය. 

ඔබ ඔබගේ වියුණුවේ පළ වන ලිපි ෆේස්බුක් සහ ට්විටර් ඔස්සේ ද ජනගත කරන්නේ නම් ඔබගේ අදහස් තවත් පුළුල් පාඨක සමාජයකට ගෙන යන්නට හැකි ය.

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s