මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා

වියුණු ලොව මගේ (තරුණ) මිතුරකු ද රසිකයකු ද වන “අරූගේ අඩවිය” වියුණුවේ හිමිකාර අරුණ පෙරේරාණෝ මගේ පරම්පරාවේ පැරණි කතා ඇසීමට බොහෝ ලොල් ය. අරුණ පෙරේරාණන්ගේ මැදිහත් වීමෙන් පසු ගිය දිනෙක “සුරතල් නංගියේ අපේ අම්මා” ලෙස ඇරඹෙන ගීතය පිළිබඳ කතාබහක් ඇති විණ. “සුරතල් නංගියේ අපේ අම්මා” ගීතය ලංකා ගුවන්විදුලියේළමා පිටිය” මුල් වර ගැයුවෝ ට්‍රිලීෂියා අබේකෝන් සහ ඩබ්ලිව්. ඒ. විජේපාල යන දෙදනා ය. මෙම ගීතයේ අවසානයට “අම්මා හොඳයි කීවත් වැරදී – තාත්තා හොඳයි කීවත් වැරදී – එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි – දෙන්න ම හොඳයි කියා” යන පද ගයමින් ට්‍රිලීෂියා සහ විජේපාල සමඟ එක් වූයේ මෙම ගීතයේ පද රචකයා වූ මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා ය. ලංකා ගුවන්විදුලියේ පුරෝගාමි‍යකු වූ යූ. ඒ. එස්. පෙරේරාණන් පිළිබඳ අප්‍රකට කරුණු කීපයක් ද එතුමන්‍ පිළිබඳ කතාබහට අදාළ වෙනත් වැදගත් කරුණු කීපයක් ද අලළා මතු සටහන මා විසින් ලියවෙන්නේ අරුණ පෙරේරාණන්ගේ සහෘද ඉල්ලීම සලකා ය. 

මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා

ධනවත් දැව ව්‍යාපාරිකයකු වූ උස්වත්ත ආරච්චිගේ සයිමන් පෙරේරාගේත්  පතිරගේ ඇලිස් පෙරේරාගේත් පුතණුවන් ලෙස එක්දහස් නවසිය දහය වර්ෂයේ දී කොළඹට නුදුරු මීතොටමුල්ලේ දී මෙළොව එළිය දුටු උස්වත්ත ආරච්චිගේ සිරි පෙරේරා දෙමටගොඩ සාන්ත මතෙව් විද්‍යාලයෙන්නාලන්දා විද්‍යාලයෙන් ද පාසල් අධ්‍යාපනය ලැබුවේ ය. ආදි නාලන්දියකු ලෙස සැලකෙන මුත් යූ. ඒ. එස්. පෙරේරා ආනන්දයෙන් නාලන්දාවට මාරු වූ මුල් කාලීන ශිෂ්‍ය පරම්පරාවට අයත් ය. ඉනික්බිති ව ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වූ හෙතෙම පාලි, සංස්කෘත, සිංහල ආදී භාෂාවන් හදාළේ ය. 

එවකට ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන භාෂාධ්‍යයනාංශයේ ආචාර්ය ව වැඩ සිටි පෙරදිග භාෂා විශාරද වූ ද වන්නම් කීම ජන්මදායාද වූ ද රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ යූ. ඒ. එස්. පෙරේරාණන්ගේ  විශිෂ්ට ආචාර්යවරයාණ කෙනෙක් වූහ. සිංහල භාෂාවේ සම්භවය පිළිබඳ එක් න්‍යායයක කර්තෘවරයා වූ රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝඋදේ පටන් රෑ වන තුරු – රෑ තිස්සෙත් එළි වන තුරු – අතන මෙතන වැටී නිදන -කිරා බුදිද බං – කිරා බුදිද බං” යන සුප්‍රකට පදමුසුවේ රචකයා ද බව ඇතැමෙක් නො දනිති. තම විශිෂ්ට ගුරුවරයා වූ රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් අපවත් වූ කල යූ. ඒ. එස්. පෙරේරාණන් විසින් ගුරු ගුණ සමරමින් ලියූ කව අවසන් කළේ “මින් පසු අපේ සාහිතයට කපුටෝ කොටයි” ලෙස ය. එම කාව්‍ය බන්ධනය යූ. ඒ. එස්. පෙරේරාණන්ගේ බව ද ඇතැමෙක් නො දනිති

ලංකා විශ්වවිද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ ආචාර්ය ව සිටි ගුණපාල පියසේන මලලසේකරයෝයූ. ඒ. එස්. පෙරේරාණන්ගේ තවත් විශිෂ්ට ආචාර්යවරයාණ කෙනෙක් වූහ. යූ. ඒ. එස්. පෙරේරා ශ්‍රී නාමය දනන් තුඩ තුඩ රැඳෙනා තත්ත්වයට පත් කරවන්නට මලලසේකරයන් දැක් වූ සාදර අනුග්‍රහය ද අගය කළ මනා ය. එදවස ලංකා ගුවන්විදුලියේ සිංහල සේවයේ ගරු උපදේශකයාණ කෙ‍නකු වූ මලලසේකරයෝ යූ. ඒ. එස්. පෙරේරාණන් ගුවන්විදුලිය වෙත යොමු කළහ. ලංකා ගුවන්විදුලියේ ළමා වැඩසටහන් අතර සිළුමිණ බවට ඵෙතිහාසික ව පත් වූ “ළමා පිටියේ” අභිමානවත් පුරාවෘත්තයේ සුනිශ්චිත එක් පරිච්ඡේදයක් නො ව පරිච්ඡේද කීපයක් ම යූ. ඒ. එස්. පෙරේරාණන් හෙවත් සිරි අයියා සමඟ සබැඳි ය. 

මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර: සිරි අයියාගේ විශිෂ්ට ගුරුවරයා

ලංකා ගුවන්විදුලියේ ඉංගිරිසි සේවයේ විකාශනය වූ ළමා වැඩසටහන්වලට අනුරූප ව සිංහල සේවයේ ද පසු කාලීන ව ළමා වැඩසටහන් ආරම්භ විණ. එම සිංහල භාෂා ළමා වැඩසටහන් වර්ණවත් කරන්නට සුදුස්සෝ පරිපාලනය විසින් ඒ කාලයේ දී සොයනු ලදහ. පැට්‍රික් ද සේරම් කුලරත්න, ලොකුසතු හේවගේ මෙත්තානන්ද, ගුණපාල පියසේන මලලසේකර වැනි මහා බෞද්ධ ක්‍රියාකාරීන්ගේ මූලිකත්වයෙන් ඇරඹි නාලන්දාවේ ශ්‍රාස්ත්‍රෝදග්‍රහණය කළ උස්වත්ත ආරච්චිගේ සිරි පෙරේරා ඒ කාලය වන විට නාලාන්දාවේ ම ආචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටියේ ය. ලංකා ගුවන්විදුලියේ සිංහල සේවයේ එවකට විකාශනය වූ ළමා වැඩසටහනට නව මුහුණුවරක් දීමට අභිලාෂී වූ මලලසේකරයෝ තම ශිෂ්‍යරත්නය වූ යූ. ඒ. ස්. පෙරේරාණන් ලංකා ගුවන්විදුලියේ ළමා වැඩසටහන සඳහා යොමු කළහ. එවකට එකී ළමා වැඩසටහන මෙහෙයවමින් සිටියේ චන්ද්‍රා රන්හොටි හෙවත් දමයන්ති අක්කා ය. ඇය විසින් මෙහෙයවුණු ළමා පිටියට කාව්‍ය ගායනය සඳහා එක් වූ යූ. ඒ. එස්. පෙරේරාට පසු කාලීන ව එම වැඩසටහන ‍ඇය සමඟ මෙහෙයවන්නට ද වරම් ලැබිණ. 

අතිපූජනීය පැළෑනේ සිරි වජිරඥාන නා හිමියෝ: ගුවන්විදුලිය ඔස්සේ ධර්මය දේශනා කිරීමේ පුරෝගාමියාණෝ

ලංකා ගුවන්විදුලියේ ඉංගිරිසි සේවයේ ළමා වැඩටහන් මෙහෙය වූ ආන්ටි ජෙනී, අන්කල් නික් ආදීනට අනුරූප ව සිංහල සේවයේ ද සිරියලතා නැන්දා, අරියරත්න මාමා ආදීහු මතු වූහ. චන්ද්‍රා රන්හොටි හෙවත් දමයන්ති අක්කා සමඟ ළමා පිටිය මෙහෙයවන්නට වූ යූ. ඒ. එස්. පෙරේරාගේ නම ද වෙනස් වූයේ ය. දමයන්ති අක්කා සමඟ ළමා පිටිය මෙහෙය වූ සිරි පෙරේරා පළමු ව සිරිමල් අයියා වී පසු ව සිරි අයියා බවට පත් වූයේ ය. සිරිමල් අයියා සිරි අයියා බවට පත් වූයේ ශ්‍රී ලංකාද්වීපයේ පහළ වූ අද්විතීය ප්‍රව්‍රජ්‍ය පඬිරුවනක් වූ ද බම්බලපිටියේ වජිරාරාමයේ නිර්මාතෘ වූ ද ගුවන්විදුලිය ඔස්සේ ධර්ම දේශනා කිරිමේ පුරෝගාමියා වූ ද පැළෑනේ ශ්‍රී වජිරඥාන නා හිමියන් නිසා ය. 

දමයන්ති අක්කා සහ සිරි අයියා විසින් මෙහෙයවන ලද ළමා පිටිය නේක දනන් හදමන බැඳ ගන්නා උච්ච සමයක දී දමයන්ති අක්කා ළමා පිටියෙන් සමු ගත්තා ය. එසේ වූයේ ඇය සරණ බන්ධනයට එළඹීම නිසා ය. චන්ද්‍රා රන්හොටි හෙවත් දමයන්ති අක්කා විවාහ වූයේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේලංකා විශ්වවිද්‍යාලයේ ද උගෙන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග අධ්‍යයනාංශය ප්‍රභාමත් කළා වූ ද කලක් අස්තංගත ව පැවති කුමාරදාසයන්ගේ ජානකීහරණ සංස්කෘත මහා කාව්‍යය මතු කර ගෙන සංස්කරණය කළා වූ ද ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ ආචාර්ය චාර්ල්ස් එඩ්මන්ඩ් ගොඩකුඹුරයන් සමඟ ය. 

දමයන්ති අක්කා ළමා පිටියෙන් සමු ගත් පසු සිරි අයියා එහි ප්‍රමුඛ මෙහෙයවන්නා බවට පත් වූයේ ය. “පොඩි අයට පැණි දී – මට සනසන්න අණ දී – සතියකට උඩ දී – අක්‌ක ගමනක්‌ ගියා පැහැ දී” යන කවි පද සමඟ ළමා පිටියේ ප්‍රමුඛ මෙහෙයවන්නා ලෙස වැඩ කටයුතු ඇරඹූ සිරි අයියාගේ සහයට නො බෝ කලකින් ම එක් වූ චරිතය වූයේ සොමි අක්කා ය. සමාරම්භක සොමි අක්කා වන්නී ඊවා ද සිල්වා ය. ඇය ද මඳ කලකට පසු ළමා පිටියෙන් සමු ගන්නී ඊවා ජයසේකර බවට පත් වන්නී ය. ඊවා ද සිල්වා විවාහ වූයේ ප්‍රාචීන භාෂා සහ බෞද්ධ දර්ශනය පිළිබඳ ශ්‍රාස්ත්‍රවන්තයකු වූ ද පසු කලෙක කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පීඨාධිපති වූ ද ආචාර්ය යූ. ඩී. ජයසේකරයන් සමඟ ය.

ට්‍රිලීෂියා අබේකෝන් ප්‍රථම මනමේ කුමරිය ලෙස

සමාරම්භක සොමි අක්කා වූ ඊවා ද සිල්වාට පසු ව සොමි අක්කා චරිතයට කීප දෙනක් ම පණ පෙවූහ. සිරි අයියාගේ ගම් පියසින් ම පැමිණි ශෝභමාන ‍යෞවනියක් ද පසු කලෙක සොමි අක්කා වූවා ය. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් පේරාදෙණි විශ්වවිද්‍යාලයට පිවිසි ඕ සරච්චන්ද්‍රයන්ගේ මනමේ අභිරංගයේ මනමේ කුමාර බෙන් සිරිමාන්නගේ මනමේ කුමාරිය වී ඉංගිරිසි භාෂාවත් දර්ශනයත් සිනමාවත් තම අතවැසි කර ගත් ආචාර්ය ආරියසේන ජයසේකර ගුණවර්ධනයන්ගේ පාදපරිචාරිකාව බවට පත් වූවා ය. මෙම ලිපිය ලියවෙන්නට නිමිත්ත වූ “සුරතල් නංගියේ අපේ අම්මා” ගීතය ලංකා ගුවන්විදුලියේ “ළමා පිටියට” මුල් වර ඩබ්ලිව්. ඒ. විජේපාල සහ සිරි අයියා සමඟ ගැයූ ට්‍රිලීෂියා අබේකෝන් දැරිය ට්‍රිලීෂියා ගුණවර්ධන සිරිමතිය බවට පත් වූයේ එසේ ය. ලංකා ගුවන්විදුලියේ ප්‍රථම අධ්‍යක්ෂක ජනරාල් වූ බිරිතානි ජාතික ජෝන් ලැම්සන් සමඟ සිරි අයියා මතභේදාත්මක වීමෙන් කලක් ළමා පිටිය අත්හිටුවනු ලැබිණ. ජෝන් ලැම්සන් සේවා කාලය නිමවා සිය රට බලා පිටත් ව ගිය පසු ලංකා ගුවන්විදුලියේ පළමු වැනි ලාංකීය අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස එම්. ජේ. පෙරේරාණෝ පත් කරනු ලැබූහ. එසඳ සිරි අයියා යළි ක්‍රියාකාරී කරවා ළමා පිටිය පුනරාරම්භනය කරවන්නට ද ට්‍රිලීෂියා බොහෝ වෙහෙස වී කටයුතු කළා ය.

කොල්ලුපිටියේ පී. බී. අල්විස් පෙරේරා: අතකස සමාරම්භක සභාපති

උස්වත්ත ආරච්චිගේ සිරි පෙරේරා මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා නම් ප්‍රකට කවියා බවට පත් වූ ආකාරය පිළිබඳ ද යම් සටහනක් තබනු නිසි ය. එක්දහස් නවසිය තිස් ගණන්වල මැද දී ඇරඹුණු අගනුවර තරුණ කවි සමාජය හෙවත් අ.ත.ක.ස. එදවස ලංකාවේ කාව්‍යප්‍රබෝධයේ උත්ප්‍රේරකය විණ. කොල්ලුපිටියේ පී. බී. අල්විස් පෙරේරා, බටුවන්තුඩාවේ විල්සන් හෑගොඩ, බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා, කුරුඳුවත්තේ ආතර් එම්. ද අල්විස්, කඩවැද්දුවේ පීටර් පෙරේරාඅගනුවර තරුණ කවි සමාජයේ දිදුල කාව්‍ය තාරකා නාම අතරට මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා නාමය ද එක් විණ. හෙතෙම පසු කලෙක අගනුවර තරුණ කවි සමාජයේ සභාපති ධුරය ද දැරුවේ ය. එකල කවිය පොදුජනයා අතර ප්‍රකට වීමට සංවාදාකාර හිටිවන කවි මඩු ද දායක විණ. එකල බොහෝ කවි මඩුවල සුප්‍රකට කවියකු වූයේ ද මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා ය. කවි මෙන් ම විරිදු ද එදවස ජනප්‍රිය ව තිබිණ. සිරි අයියා විරිදු ගැයුමට ද හපනෙක් වූයේ ය. දෙවැන ලෝක සංග්‍රාම කාලයේ දී විදේශයන්හි යුද සේවයේ යෙදුණු ලාංකික සෙබළුන්ගේ රස විඳුම සඳහා විරුදු ගායන කීපයක් එච්. එම්. වී. ලේබලය යටතේ තැටිගත කරන්නට ද සිරි අයියා දායක වූයේ ය. “දොම්පෙට යන පාර කොයිබ‍ දෝ?”, “බොහො ම ඈත ගම්මානෙක මිනිහෙක් හිටියා” වැනි විරිදු සිරි අයියා විසින් ගායනා කරන ලදී.

මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා කවි ලිවීමට සේ ම කවි ගැයීමට ද ගී ලිවීමට ‍සේ ම ගී ගැයීමට දක්ෂ වූයේ ය. එලෙස ම නාට්‍ය ලිවීමට සේ ම නාට්‍ය රංගනයට ද සිරි අයියා දක්ෂ වූයේ ය. “හරිශ්චන්ද්‍ර නාට්‍යය රචනා කළ සිරි අයියා එහි විශ්වමිත්‍රගේ චරිතය රඟපෑවේ ය. එම නාට්‍යයේ රෝහිත කුමරාගේ චරිතය රඟපෑවේ එවකට නාලන්දාවේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කරමින් සිටි ශිෂ්‍යයෙකි. පසු කලෙක ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සහ සම්භාවනීය නාට්‍යකරුවකු බවට පත් වූ හෙන්රි ජයසේන එම ශිෂ්‍යයා ය. 

දෙවැනි ලෝක සංග්‍රාමයේ බලපෑම නිසා සිරි අයියාගේ විරිදු එච්. එම්. වී. තැටිවල සටහන් වූ බව පෙර සඳහන් කෙරිණි. දෙවැනි ලෝක සංග්‍රාමය සිරි අයියාගේ ගුරුදිවියට ද බලපෑවේ ය. එම ලෝක සංග්‍රාම සමයේ දී සෙබළුන්ගේ නවාතැන් බවට පත් වූයේ අගනගරයේ ප්‍රධාන පාඨශාලා ය. නාලන්දාව ද ඒ අකාරයෙන් සෙබළ මුළු රුඳුණු නවාතැනක් බවට පත් විණි. එනිසා නාලන්දාවෙන් කොටසක් මාළිඟාකන්දේ ද තවත් කොටසක් අගනගරයෙන් පිටත මිනුවන්ගොඩ ද තාවකාලික ව පිහිටුවන ලදී. සිරි අයියා මාළිගාකන්දේ දී ද නාලන්දා ශිෂ්‍යයනට ඉගැන් වූ බව එතුමන්ගේ ශිෂ්‍ය බී. බී. පෙරේරාණෝ පවසති. දීර්ඝ සහ ආශ්චර්යවත් ශාස්ත්‍රීය ජීවිතයක සන්ධ්‍යා යාමය කරා එළඹ සිටින සුන්නද මහේන්ද්‍ර ද මැල් ලෝක සංග්‍රාම සමයේ දී ගම්පහ බැන්ඩියමුල්ලේත් සීදූවේත් ගත කළ තම අතීතය ආවර්ජනය කරමින් තම අයියා (ආනන්ද මෛත්‍රීපාල) ද මාමා ද සිරි අයියාගෙන් මිනුවන්ගොඩ දී ශිල්ප උගත් බව පවසන්නේ පෙර කී මිනුවන්ගොඩ පිහිටු වූ නාලන්දාවේ අනුඛණ්ඩය අලළා විය යුතු ය. 

ගුරු වෘත්තියේ සිටි යූ. ඒ. එස්. පෙරේරාණෝ එක්දහස් නවසිය තිස් ගණන්වල දී නීතීඥ වෘත්තියට එළඹුණහ. ලංකා ගුවන්විදුලි ක්ෂේත්‍රයේ සිරි අයියා නමින් ද ලංකා කාව්‍ය ‍ක්ෂේත්‍රයේ මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා නමින් ද නමක් තැබූ හෙතෙම ලංකා නීති ක්ෂේත්‍රයේ රාජනීතීඥ සිරි පෙරේරා ලෙස නොමැකෙන නමක් තැබුවේ ය. අපරාධ නීති ක්ෂේත්‍රයේ රාජනීතිඥ සිරි පෙරේරා පෑ සුරුවිරුකම් ජනප්‍රවාදගත ය.

මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා එක්දහස් නවසිය හැට ගණන්වල ඉන්දියාවේ ලංකා මහකොමසාරිස් ලෙස නවදිල්ලියේ සේවය කළේ ය. අරුණ පෙරේරාණන්ගේ ප්‍රිය භාර්යාවගේ පියාණන් ද එකල ඉන්දියාවේ මහකොමසාරිස් කාර්යාලයේ සේවය කර ඇත. ඔහු සිරි අයියාගේ සමකාලීන මිත්‍රයකු ව සිටියේ ය. ඉන්දියාවේ ගත කළ තුන් අවුරුද්දක පමණ කාලයේ දී සිරි අයියා එරට බොහෝ බෞද්ධ සංස්කෘතිකස්ථාන ඇසුරු කළ බව පැවසේ. 

සිරිල් ද සොයිසාගේ තරුණ බෞද්ධ සංගමයට තුරුණු වියේ දී ම එක් වූ මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා පසු කාලීන ව එම සංගමයේ සභාපති ධුරය ද දැරුවේ ය. සාර්ථක නීතිඥ වෘත්තියෙන් දුරස්ථ ව බෞද්ධ කටයුතුවලට ම යොමු වන්නට සිරි අයියා මෙහෙයවනු ලැබූ එක් හේතුවක් වන්නට ඇත්තේ ද එතුමා තුළ තිබූ බෞද්ධාගමික නැඹුරුව ය. 

කලල්ඇල්ලේ ආදනන්ද සාගර හෙවත් කේයස් උපැවිදි ව සාගර පලන්සූරිය වූයේ ය.

යූ. ඒ. එස්. පෙරේරා පිළිබඳ ලියවෙන මෙම සටහනට එතුමන්ගේ දේශපාලන සබඳතා පිළිබඳ ද රසවත් කරුණු කීපයක් එක් කළ මනා ය. කොළඹ යුගයේ ප්‍රභාවත් කවියන්ගෙන් දේශපාලනයට සම්බන්ධ වූ ප්‍රකට ම කවියා වූයේ කලල්ඇල්ලේ ආනන්ද සාගර (කේ. ඒ. එස්.) හෙවත් කේයස් (කේ. ඒ. එස්. > කේයස්) ය. කලල්ඇල්ලේ ආනන්ද සාගර උපැවිදි ව සාගර පලන්සූරිය ව වමෙන් දේශපාලනයට පැමිණ බණ්ඩාරනායක සිරිමතුන්ගේ මහජන එක්සත් පෙරමුණ ඔස්සේ පාර්ලිමේන්තුවට ද ගියේ ය. මීතොටමුල්ලේ යූ. ඒ. එස්. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පැමිණි බව පැවසේ. මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා නම් කවියාට හා ගුවන්විදුලි කලාකරුවාට බොහෝ මිනිසුන් බොහෝ සේ ඇලුම් කරමින් මනාප ව සිටිය ද දේශපාලන මනාපයක් (ඡන්දයක්) නම් නොතිබුණු බව නිගමනය කළ හැකි ය. සිරි අයියා ඡන්දයකින් ජය ලැබූ බවක් නම් කිසිවෙක් නො දනිති. සිරි අයියාගේ ඡන්ද කෙරුම කෙසේ වුව ද එතුමා දේශපාලන කවි වාදවල නම් එදවස පැටළුණු බව ප්‍රකට ය. එක්සත් ජාතික පක්ෂයට ඇඟෑලුම්කම් පෑ මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරාණන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇඟෑලුම්කම් පෑ කොල්ලුපිටියේ පී. බී. අල්විස් පෙරේරාණන් අතර වූ දේශපාලන කවි වාද එදවස රසාකර විණ. 

සිරි අයියා “කිවිපති”සම්මානය ලබමින්. සිරි අයියාගෙන් කවි ඉගෙන ගත් ජනපති ප්‍රේමදාසයන් අදාළ සම්මාන ලාංඡනය සිරි අයියාට පළඳවයි. එදෙස බලා සිටින්නේ එවකට අතකස සභාපති වූ චිත්‍රානන්ද අබේසේකර කිවිඳු ය.  

අසිරිමත් දිවි ගමනක සන්ධ්‍යා යාමය කරා එළඹි මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා පරම්පරා කීපයක ආදර ගෞරව ලබමින් කොළොන්නාවේ මීතොටමුල්ල පාරේ තම නිවසට වී ජීවිතයේ අවසන් කාලය ගත කළේ ය. එදවස කුඩා දරුවකු ව සිටි මල්ලේ පොල් වියුණුවේ හිමිකාර මා සන් මිත්‍ර සරසතුමන් සිරි අයියා පිළිබඳ තම මතකය අවදි කරමින් පවසන්නේ සිරි අයියා කොළොන්නාවේ තෙල් පිරිපහදුව ඉදිරියෙන් ඇති පාරේ ගෙයක එතුමාගේ සේවකයන් දෙදෙනකු ද සමඟ ජීවත් වනු තමා එදවස දුටු බව ය. පසු කලෙක එම නිවසේ හෝ එයට ආසන්න නිවසෙක හෝ විද්‍යා ශිල්ප ආයතනය ඇරඹුණු බව ද විද්වත් සරසතුමෝ පවසති.

එක්දහස් නවසිය දහයේ දී ජන්මභාවය ලද උස්වත්ත ආරච්චිගේ සිරි පෙරේරා පසු ව ගුවන්විදුලියේත් කාව්‍යකරණයේත් නීතියේත් නොමැකෙන සටහන් තැබූ පුරෝගාමී සුධීමතකු වූ මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා වී අවසන එක්දහස් නවසිය අනූපහේ දී දශක අටහාමාරක තම අසිරිමත් දිවි සැරිය නිම කරමින් කීර්තිශේෂභාවෝපගත වූයේ ය. එතුමන් අප හැර ගොස් දශක දෙකකට වැඩි කලක් ගෙවී ගොස් තිබුණ ද අදට ද එතුමෝ අප හද තුළ ජීවමාන ව වසති. එතුමන් පිළිබඳ මතකය සදා නොමැකෙන්නට තරම් වන මාහැඟි ශිෂ්‍යශිෂ්‍යා පරපුරක් ද එතුමෝ බිහි කළහ. එම ශිෂ්‍යශිෂ්‍යා පරපුර ද ඔවුන්ගේ ශිෂ්‍යශිෂ්‍යාවෝ ද සිරි අයියා පිළිබඳ බැතියෙන් සිහි කරති.

මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා ශ්‍රී නාමය යුග යුග පුරා නෙක නෙක දනන් තුඩ තුඩ නිති නිති රැව් පිළිරැව් දේවා!

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

5 thoughts on “මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා

  1. සිරි අයියා පිලිබඳව ඔබ එකතුකල අදහසකට “තනි තරුව” නමින් අදහසක් එකතුකර තිබුනා.ඇයත් බ්ලොග් ලියු ලේඛිකාවක්. ඔබ එය නොදකින්න ඇතැයි සිතනා නිසා, මෙතනට එකතු කරන්නම්.

    තනි තරුව says:
    December 28, 2016 at 6:38 am (Edit)
    බ්ලොග්වලින් ඈත්ව සිටි මා නැවත් මෙහි ගෙන්වා ගත්තේ බන්ධුල මහත්මයාගේ සිරි අයියා සම්බන්ධ දීර්ඝ කමෙන්ටුවයි. ඔබතුමාට ඉක්මන් සුවය පතනවා.
    සිරි අයියා මගේ සීයාගේ (මවගේ පියා) ඥාති සහෝදරයෙක්.ඔබතුමාගේ විස්තරය දුටුවිට ඥාතිවරයෙකු හමුවූවාක් බඳු හැඟීමක් ඇතිවූ නිසා ලියා තබන්නට සිතුණා. (මගේ අතීතකාමය ඉතා බලවත් බැවින් සමාවන්න )
    අවාසනාවකට වගේ සීයා මීට අවුරුදු 3කට පමණ කලින් අප අතරින් වියෝ වුණා. ඔහු අද සිටියානම් බොහෝ රසවත් තවත් විස්තර අසාගන්නට තිබුණාය යන කණගාටුව සහ පසුතැවීම දැරිය නොහැකියි. මගේ සීයාත් නාලන්දයේ ආදි ශිෂ්‍යයෙක්. නමින් බස්නායකගේ බන්ධුලසේන පෙරේරා (නමුත් බොහෝ අය ඔහුව දැන සිටියේ බී බී පෙරේරා යන නමින්). සිරි අයියා සමග අවසන් මොහොත තෙක්ම ඔහුගේ සහෝදර බැඳීම එලෙසින්ම තිබුණා. රාජකාරි කටයුතු නිසා නිතර කොළඹ නොගැවසුණු කාලවලත් ඔහු බලන්නට යනවා මට මතකයි. එවකට කුඩා දරුවෙක් වූ මට මීට වඩා යමක් ඔහු ගැන ලියන්නට අද සීයා අවශ්‍යම මොහොතක නැහැ. ට්‍රිලිෂීයා අබේකෝන් (පසුව ගුණවර්ධන ) මහත්මියත් මීතොටමුල්ලේ නිසාවෙන් ඔහු සමඟ සමීපව සිටියා. නාලන්දාවේදි ‘හරිශ්චන්ද්‍ර’ වේදිකා නාට්‍යයේ කුඩා රජ කුමාරයාට රඟපා තිබුණේ හෙන්රි ජයසේනයන්. එහි ඔහුගේ පියා (හරිස්චන්ද්‍ර රජු ) ලෙස රඟපා ඇත්තේ මගේ සීයා. නාට්‍යය අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මලලසේකර මහත්මයා හෙන්රි ජයසේනයන්ව ඉතා ඉහළින් වර්ණනා කොට ඔහු යම් දිනෙක විශිෂ්ට නලුවෙකු වන බව පැවසුවායැයි මගේ සීයා නිතරම කීවා. පසුකලෙක මගේ මතකයේ හැටියට මානෙල් ජයසේන මහත්මියගේ අභාවයෙන් පසුව හෙන්රි ජයසේන මහත්මයා ඉරිදා ඔබ්සවර් පත්‍රයට ලියන්නට ගත් ලිපි පෙළෙත් ඔය සම්බන්ධව පළ වුණා. සීයා සමඟත් ඔහු දුරකථනයෙන් කථා බහ කළා මට මතකයි.

    මට වඩා හොඳින් මේ විස්තර දන්නවා ඇත්තේ මගේ මව්තුමියයි. ඒ වුණත් මෙවැනි පැරණි රසාංගයන් නිතරම පහන් එළියට කදෝ පැණියකු වාගේ මා ආකර්ෂණය කරවාගන්නවා. ඒ අතීත මතක ගෙනා නිසා ඔබ දෙදෙනා බොහොම සමීප බවක් හැඟුණු නිසා මේ කතාව මැදට පැන්නා.
    aruge adaviya says:
    December 29, 2016 at 2:59 pm (Edit)
    මේ අදහස් මෙහෙම එක තැනකට ගෙන ඒම පිලිබඳව තනි තරුවට ඩබල් සැලියුට්!!!!!!!

    Like

    1. අරුණ පෙරේරාණෙනි,

      බී. බී. පෙරේරා‍ණන්ගේ ඥාති මිනිබිරියක විසින් ලියවුණු ආලෝචනයක් මගේ අවධානයට යොමු කිරීම පිළිබඳ මම ඔබට කෘතඥ වෙමි. එය මෙහි පළ වීම මනා පූර්ණයකි. එම සටහන තැබූ තනි තරුව මැතිනියට මගේ ප්‍රණාම ය. බී. බී. සේවය කළේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ විය යුතු ය. රසවත් කරුණු මතු ව එන සැටි අසිරිමත් ය.

      තනි තරුව අවසර දෙන්නේ නම් ඇගේ සටහන ලිපියක් ලෙස සකසා The Public Sphere හි පළ කිරීමට රිසි බව සංස්කාරක මණ්ඩලය පවසයි. ඇගේ සටහන වැදගත් තොරතුරුවලින් සපිරි ය. එවන් තොරතුරු සුරැකිය යුතු ය. ඔබතුමා තනි තරුව හඳුනන්නේ නම් ඇගේ අවසර ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. The Public Sphere යනු පාඨකයා ද රචකයා බවට පත් කරවන එවැනි අරමුණකින් ඇරඹුණු වියුණුවකි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

      1. බන්ධුල….මම තනිතරුව පිලිබඳ පෞද්ගලිකව දන්නේ නැහැ. නමුත් ඇය දක්ෂ බ්ලොග් රචිකාවියක් බව කිව යුතුයි. මේ ලිපිනයෙන් විමසා බලන්න. aashw18@gmail.com

        Like

  2. මුලින්ම ස්තූතියි මේ සටහන පළවූ බව කියූ සරසතුමාට. ඔහු මට මේ ලින්කුව එවා තිබුණා. දෙවනුව මගේ පිළිතුර මෙහි බන්ධුල මහත්මයාගේ අවධානයට යොමුකරවන්නට තරම් කරුණාවන්ත වූ අරූ හෙවත් අරුණ පෙරේරා මහතාට. ඒ සමගම මා වැනි සුහුඹුලෙකුගේ පිළිතුර ඉහළින් භාරගත් බන්ධුල මහත්මයාට. අරූ මා පෞද්ගලිකව හඳුනන්නේ නැති නමුත් ඔහු ලබා දී ඇති විද්‍යුත් තැපැල් ලිපිනය නිවැරදියි. පෞද්ගලික හේතු මත මගේ නම් ගම් බ්ලොග් ලොව ප්‍රසිද්ධ නැති නිසාවෙන් මා ගැන දන්නා අය ඇත්තේ අතක ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයක් විය යුතුයි. නමුත් අරුණ මහතා මා දක්ෂයෙකු ලෙස හැඳින්වීම ගැන මම කෘතඥ වෙමි.

    බන්ධුල මහතාණෙනි, මගේ සීයා දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවය කළ බව සැබැයි. ඔබ ඔහුව දැන සිටියාද? එසේනම් එය මහත් සතුටක්. මගේ පිළිතුරේ ගතහැකි යමක් තිබුණා නම් එය පළ කිරීමේ ගැටළුවක් නැහැ. නමුත් ඒ තොරතුරුවල මුල් අයිතිය මගේ සීයා නමින් පළ කරනවා නම් මම බොහොම සතුටුයි. මොකද ඔහු නොසිටියා නම් අද තනි තරුවක් බිහිවන්නේ නැහැ. සීයාගේ තිබූ ලේඛන සහ කලා හැකියාවන් මටත් යම් තරමකට උරුම වී ඇතැයි සිතන නිසා ඔහුට ගෞර්වයක් ලෙසයි මගේ ඒ ඉල්ලීම.එය ආදරණීය සීයා කෙනෙකුගේ අකල් වියෝවෙන් තවමත් නොඅඩු කම්පනයකට පත්වුණු මිණිපිරියකගේ අහිංසක ඉල්ලීමක් හැටියට සලකන මෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමාගේ දුරකථන අංකයක් ඇත්නම් මට කථා කළ හැකියි. නැවතත් ඔබ සියළුදෙනාටම බොහොම ස්තූතියි. මෙවන් සටහන්වල වටිනාකම කියා නිමකළ නොහැකියි. අරූගේ අඩවියත් මොන තරම් ලෝබකමකින් කියවමින් උන්නත් කාලවේලාවේ අඩුකම නිසා මග හැරුණා. දැන් කාලෝ අයංතේ කියා සිතෙන්නට මේ සටහන් හේතුවක් වී ඇති බවයි හැඟෙන්නේ. තව තවත් ලියා තබන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

    Like

    1. තනි තරුව මැතිනි‍යෙනි,

      ඔබතුමියට බොහෝ ස්තුතියි. මම ඔබතුමිගේ අදහස්වලට අනුකූල ව ලිපියක් සකසා සංස්කාරක මණ්ඩලය වෙත යැවීමි. ඔවුන් එය නො ලසා පළ කරාවි.

      සම්බන්ධීකරණ කටයුතු සිදු කළ අරුණ සහ සරස සුමිතුරනට ද තුති පුදමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s