නව්‍ය බෞද්ධ අන්තවාදයට ද සිංහල-බෞද්ධ ජාතිකවාදයට ද ගසන ලීලයෙන් සිංහල ජාතිකත්වයට ගැසීම හෙවත් දේවසිරියානු නව්‍ය නිබන්ධය

“New Buddhist Extremism and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka” යනු අධ්‍යයනය කළ යුතු වැදගත් නිබන්ධයකි (වැදගත් යනු ආවශ්‍යයික ව සාධනීය යන්න ම නො වේ).

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් 2016 ඔක්තෝබරයේ දී පළ කරන ලද “New Buddhist Extremism and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka” ශාස්ත්‍රීය නිබන්ධය වැදගත් බව නිගමනය කළ හැකි ය. වැදගත් යනු ආවශ්‍යයික ව සාධනීය යන්න ම නො වේ.  

සිංහල-බෞද්ධ ජාතිකත්වයේ සම්භවය පිළිබඳ දශක කීපයකට පෙර ආචාර්ය දේවසිරි විසින් ඉදිරිපත් කෙරුණු ප්‍රවාද පද්ධතියට පසු යළි සැලකිය යුතු ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් ඔහු විසින් සිදු කරනු ලැබ ඇති පෙනේ (ඔහු මෑතක දී පළ කළ මුහුණුපොත් නිබන්ධවලට වඩා වැඩි යමක් මෙකී නව නිබන්ධයේ ඇත). 

ආචාර්ය දේවසිරිගේ නව්‍ය නිබන්ධය තුළ ඔහු “නව්‍ය බෞද්ධ අන්තවාදය” (“New Buddhist Extremism“) නම් සමාජ ගතිකයක් ස්වයංනිර්වචනය කර, එය “සිංහල-බෞද්ධ ජාතිකවාදය” සමඟ අනන්‍ය කර පෙන්වන්නට පිටු 41ක් පුරා වීර වික්‍රමයක් කරයි. ආචාර්ය දේවසිරි තම නිබන්ධය පළ කිරීමේ දී එයට යොදන මාතෘකාව වන “New Buddhist Extremism and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka” යන්න මයාකාරී නොමඟ යැවීමකි. ඔහු තම නිබන්ධයෙන් “New Buddhist Extremism” යන්න ශීර්ෂ-පාදන්ත සහ පාද-ශීර්ෂාන්ත ලෙස විග්‍රහ කරයි. “and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka” යන වැදගත් කොටස ඔහු විසින් තම නිබන්ධ මාතෘකාවට එකතු කරනු ලබන්නේ නිබන්ධයට සාමාජීය සහ ශාස්ත්‍රීය වැදගත්කමක් දීමට බව අනුමාන කළ හැකි ය. එකී කොටස නො වන්නට ආචාර්ය දේවසිරිගේ නිබන්ධය ඊනියා “නව්‍ය බෞද්ධ අන්තවාදයක්” ඉස්මතු කරමින්, එය සිංහල බෞද්ධ ජාතිකවාදය සමඟ අනන්‍ය කරමින්, “නව්‍ය බෞද්ධ අන්තවාදයට” පහර දෙන ලීලයෙන් (ජාතික අනන්‍යතා මත පදනම් වනසිංහල ජාතිකත්වයට පහර දීම සඳහා ලියවුණු හුදු ලේඛනයක් වන්නට ඉඩ තිබිණි. “and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka” යන වචන අවධාරණය  කෙරෙන නිබන්ධ මාතෘකාව නිසා ආචාර්ය දේවසිරිගේ නිබන්ධය කියවන්නට, අධ්‍යයනය කරන්නට ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳ උනන්දුවක් ඇති ශාස්ත්‍රවන්තයෝ පෙලඹෙති. 

තම නිබන්ධයට පාදක වන අධ්‍යයනය විසින් පර්යේෂණය කරනු ලබන ගැටලුව සූත්‍රගතකිරීමේ දී නම් ආචාර්ය දේවසිරි අවංකභාවයක් පෙන්වයි:

// The problem researched by this study could be formulated as follows: “While there is a wider belief that these extremist Buddhist organizations are a temporary phenomenon, facilitated by the direct or indirect support of major players in the government, why do they continue to make a decisive contribution to the public- political life even when they do not enjoy such support?” //

එම ගැටලුවට ‍පිළිතුරු සොයන ආචාර්ය දේවසිරි තම නිබන්ධය කොටස් තුනකට බෙදා පළමු වැනි සහ දෙවැනි කොටස් දෙක “New Buddhist Extremism” යන්නෙහි උපත සහ පවත සඳහා වෙන් කරයි. තුන් වැනි කොටස වෙන් කෙරෙන්නේ ද “New Buddhist Extremism” සහ එහි පරිපෝෂණීය ව්‍යාපා‍ර විග්‍රහ කිරීමට ය. ආචාර්ය දේවසිරි තම නිබන්ධයේ හැඳින්වීමේ දී තුන් වැනි කොටස පිළිබඳ මෙසේ ද පවසයි:

In conclusion, it also discusses the impact of the continued activities of these extremist organizations on the fragile relationship between ethno-religious communities in Sri Lanka.

ආචාර්ය දේවසිරි විසින් “it also discusses” යනුවෙන් පැවසෙන විග්‍රහයේ අන්තර්ගය විමසා බලමු. 

එකී විග්‍රහය ආචාර්ය දේවසිරි විසින් පළ කෙරෙන්නේ “New Radical Buddhism, Minorities and Ethno-Religious Coexistence” අනුශීර්ෂය යටතේ විය යුතු ය. ආචාර්ය දේවසිරි එම විග්‍රහය අරඹන්නේ “One of the central political problems faced by Sri Lanka at present is the strained relationships between the different ethno-religious communities.” යන අරුත්බර වැකියෙන් ය. එහෙත් එපමණි. ඉන් පසු ඔහු යුද්ධය අවසාන වීමෙන් සිංහල-බෞද්ධයා සහ දෙමළා අතර පැවති සංඝට්ටනීය දේශපාලන සම්බන්ධය ශමනය නො වූ බව ද රාජපක්ෂාණ්ඩුව සියුම් දේශපාලන තුලනයක් ඇති කරවීමට පශ්චාත් සංග්‍රාමික සමයේ දී අසමත් වූ බව ද යහපාලනාණ්ඩුව  වෙතින් නම් “New Buddhist Extremism” සඳහා දණ්ඩනමුක්තියක් නො ලැබෙනු ඇති බව ද එනමුත් යහපාලනාණ්ඩුව යටතේ ද “New Buddhist Extremism” ප්‍රචලිත ව වර්ධනය වන බව ද පවසයි. ‍මේවා ඵෙතිහාසික කරුණු ය. ආචාර්ය දේවසිරි තම නිබන්ධයට පාදක කර ගන්නා අධ්‍යයනය විසින් විමසන ලද (පෙර උපුටා දක්වන ලද) ගැටලුව සම්බන්ධයෙන් නම් එකී ඵෙතිහාසික කරුණු අදාළ බව සැලකිය හැකි ය. ඉන් පසු නිබන්ධයේ පළමු වැනි සහ දෙවැනි කොටස් මත පදනම් ව ආචාර්ය දේවසිරි නිගමන කීපයකට එළඹේ. එම නිගමන මත ඔහු “What do these conclusions mean in the context of the present political situation?” යන ප්‍රශ්නය විමසා එයට කෙටි ඡේදයක පිළිතුරක් සපයයි. ඉන් පසු “සිංහ ලේ” නම් සංවිධානයක රැලියක ඡායාරූපයකි. ඊටත් පසු විමර්ශන-ලේඛන-නාමාවලිය ය. “New Buddhist Extremism and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka” යන දේවසිරියානු නිබන්ධය නිමි ය. 

ආචාර්ය දේවසිරි විසින් පිටු 41ක් පුරා කරනු ලැබ ඇත්තේ “New Buddhist Extremism” වටා කැරකි කැරකී විවිධ මානයන්ගෙන් එය විමසීම ය. ආචාර්ය දේවසිරි විසින් සූත්‍රගත කෙරුණු ගැටලුව අලළා ඔහු විසින් යම් ප්‍රවාදයක් ගොඩනඟනු ලැබ ඇත. එහෙත් ඔහුගේ නිබන්ධයේ (හෝ පර්යේෂණ පත්‍රිකාවේ) මාතෘකාවේ දී සාටෝපවත් ව සඳහන් කෙරී ඇති “and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka” යන වාක්‍ය ඛණ්ඩයටත්, හැඳින්වීමේ දී (මෙය යම් ආකාරයක පර්යේෂණ පත්‍රිකා සාරසංක්ෂේපයකි) සාටෝපවත් ව සඳහන් කෙරී ඇති “In conclusion, it also discusses the impact of the continued activities of these extremist organizations on the fragile relationship between ethno-religious communities in Sri Lanka.” යන වාක්‍යයටත් අදාළ සැලකිය යුතු අන්තර්ගතයක් එකී පිටු 41ක නිබන්ධය තුළ හමු නො වේ. 

ආචාර්ය දේවසිරි නිබන්ධයක හෝ පර්යේෂණ පත්‍රිකාවක හෝ මාතෘකාවත් හැදින්වීමත් නිවැරදි ව ලියා ගන්නට නො හැකි තැනැත්තකු නො වන බව මම විශ්වාස කරමි. ආචාර්ය දේවසිරි පර්යේෂණ නිබන්ධයක් සම්පාදනය කර යුරෝපීය විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් දිනා ගත්තෙකි; ප්‍රමුඛ ලාංකීය විශ්වවිද්‍යාලයක දශක තුනකට ආසන්න කාලයක් පර්යේෂණ දීමනා ද සහිත ව වැටුප් ලබන ආචාර්යවරයකු ලෙස කටයුතු කරන්නෙකි; දශක තුනකට ආසන්න තම ශාස්ත්‍රාලීය ජීවිතයේ දී එක් ශිෂ්‍යාවක ආචාර්ය උපාධි පර්යේෂණය සඳහා අධීක්ෂණය කර මෙහෙය වූ ප්‍රවීණයෙකි. එහෙව් ශාස්ත්‍රවන්තයකු තම නිබන්ධයක අන්තර්ගතය තුළ මූලික විග්‍රහයක් නො පවතින කාරණයක් නිබන්ධයේ මාතෘකාව සහ හැඳින්වීම තුළ අවධාරණය කිරීම අතපසුවීමක් ලෙස සැලකීමට නො හැකි ය. එය ශාස්ත්‍රීය වංචනිකත්වයකි. එම චර්යාව ඊනියා “නව්‍ය බෞද්ධ අන්තවාදයක්” ඉස්මතු කරමින්, එය සිංහල බෞද්ධ ජාතිකවාදය සමඟ අනන්‍ය කරමින්, “නව්‍ය බෞද්ධ අන්තවාදයට” පහර දෙන ලීලයෙන් (ජාතික අනන්‍යතා මත පදනම් වන) සිංහල ජාතිකත්වයට පහර දීම සඳහා ලියවුණු නිබන්ධයක් ප්‍රවර්ධනය කරනු ලැබීම සඳහා උපයුක්ත කෙරුණු අශාස්ත්‍රීය චර්යාවකි. මෙය ග්‍රාම්චියානු අර්ථයේ සිවිල් සමාජයක ග්‍රාම්ස්චියානු අර්ථයේ චිරන්තන බුද්ධිමතුන්ට පැවරුණු සමකාලීන කාර්යභාරයට නිසි චර්යාවක් විය හැකි ය (එම කාර්යභාරය පැවරුණේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ නම් දහසක් ප්‍රවාද ඉදිරියේ දී බිහිවනු ඇත! එමඟින් නම් ජාතික ප්‍රශ්නය විසඳා ගන්නට රුකුලක් ලැබෙන්නේ නැත). ඒ කෙසේ වුව ද මෙවැනි ශාස්ත්‍රීය විකාර දකින්නට තරම් ආචාර්ය නිව්ටන් ගුණසිංහ අවාසනාවන්ත නො වීම පිළිබඳ අපට සතුටු විය හැකි ය. 

අධ්‍යාශය පිළිබඳ කිනම් වියවුල් තිබුණ ද ආචාර්ය දේවසිරිගේ නිබන්ධය නො සලකා හැරිය යුතු ලේඛනයක් නො වේ. 

දෘශ්‍යමානය තුළ ආචාර්ය දේවසිරි පෙනී සිටින්නේ ජාතික අනන්‍යතා නො පිළිගන්නා “පැරාමය” අස්ථානයක ය යි අයකුට සිතෙන්නට හැකි ය. සබුද්ධික වේශයකින් නව්‍ය බෞද්ධ අන්තවාදය දැඩි ව පිළිකෙව් කරන ආචාර්ය දේවසිරි එම නව්‍ය බෞද්ධ අන්තවාදයේ මූලයන් සිංහල-බෞද්ධ ජාතිකවාදය සමඟ ඵෙතිහාසික බන්‍ධුතාවක පවතින බව ද නව්‍ය බෞද්ධ අන්තවාදය පරිපෝෂණය කෙරෙන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදය විසින් බව ද පැවසෙන ප්‍රවාදයක් සූත්‍රගත කරයි. මෙම ප්‍රවාදය මහා ගවේෂණයක් නො වේ. අජිත් පැරකුම් ජයසිංහ වැනි සමාජ සරසවියේ සමාජ බුද්ධිමතුන් ද කාලයක සිට ව්‍යාවෘත ව සිටින කතිකාව වන්නේ ද මෙය යි. ආචාර්ය දේවසිරි කර ඇත්තේ “පැරාමය” ප්‍රවාදය ම වඩා ශාස්ත්‍රීය ව්‍යාකරණයකින් පළ කිරීම ය (ශාස්ත්‍රාලීය පර්යේෂණ පත්‍රිකා යනු කොහොමත් එවැනි ලේඛන ය! එහි වරදක් නැත). 

නව්‍ය බෞද්ධ අන්තවාදය සිංහල-බෞද්ධ ජාතිකවාදය සමඟ අනන්‍ය කරන්නට වීර වික්‍රමාන්විතයක නිරත වන ආචාර්ය දේවසිරි එමඟින් නව්‍ය බෞද්ධ අන්තවාදයට ගසන මතවාදමය අතුල් පහර සිංහල-බෞද්ධ ජාතිකවාදයට ද ගසයි. ආචාර්ය දේවසිරි සිංහල-බෞද්ධ ජාතිකවාදය ලෙස සලකන්නේ කුමක් ද යන්න මෙම කතිකාවේ දී ඉතා වැදගත් ය.  

සිංහල-බෞද්ධ ජාතිකවාදය ලෙස ආචාර්ය දේවසිරි විසින් සංකල්පගත කරනු ලබන්නේ,

1. අනෙකා (එනම් සිංහල-බෞද්ධ නොවන්නා) මත අධිපතිවාදී ව පදනම් වන සිංහල-බෞද්ධ ජාතික-ආගමික ස්වෝත්තමවාදයක් ද? 

නැත හොත් 

2. සිංහල-බෞද්ධ ජාතික-ආගමික අනන්‍යතා පිළිගන්නා අතර ම අනෙකාගේ ජාතික අනන්‍යතා ද පිළිගන්නා සහභාවයක් ද?

ආචාර්ය දේවසිරි විසින් සිංහල-බෞද්ධ ජාතිකවාදය යන්න පරිග්‍රහණය කරනු ලබන්නේ පළමු වැනි (එනම් ජාතික-ආගමික ස්වෝත්තමවාදයක් ය යන) අර්ථයෙන් බව සාධනය වන්නේ ඔහු විසින් නව්‍ය බෞද්ධ අන්තවාදය සිංහල-බෞද්ධ ජාතිකවාදය සමඟ අනන්‍ය කරනු ලැබීම නිසා ය. 

එසේ නම් සිංහල-බෞද්ධ ජාතික-ආගමික අනන්‍යතා පැවතිය යුතු නැති ද?  ආචාර්ය දේවසිරි එම ප්‍රශ්නයට සෘජු පිළිතුරක් දීම මඟහරින්නේ  ය. එම ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී අජිත් පැරකුම් ජයසිංහ ප්‍රකට කරවන අවංකභාවය හෝ ආචාර්ය දේවසිරි විසින් ප්‍රකට නො කෙරේ (අජිත් පැරකුම් ජයසිංහ සිංහල හෝ දෙමළ හෝ ජාතික අනන්‍යතා නො පිළිගන්නා බව සෘජු ව ම පවසයි). එම ප්‍රශ්නයට සෘජු පිළිතුරක් දෙන්නට ආචාර්ය දේවසිරිට නො හැකි වන්නේ උතුරේ දෙමළාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආචාර්ය දේවසිරි විසින් අනුයනු ලබන අස්ථානය නිසා ය. ජාතික ප්‍රශ්නයට විසඳුම සන්ධීය විසඳුමකටත් වඩා ඔබ්බට ගිය සහසන්ධීය විසඳුමකි යි විශ්වාස කරන ආචාර්ය දේවසිරි දෙමළ ජනයාගේ ජාතික-ආගමික අනන්‍යතා පිළිගන්නට මැළි වන්නේ නැත. දෙමළ ජනයාට පුළුල් ලෙස දේශපාලන බලය (පරිපාලන බලය පමණක් නො වේ) සිංහල ජනයා සමඟ හවුල්ලේ භුක්ති විඳිය හැකි රාජ්‍යකරණයක් ලංකාවට අවශ්‍ය  වන්නේ අත්‍යන්ත වශයෙන් සිංහල ජනයාට සේ ම දෙමළ ජනයාට ද තම ජාතික අනන්‍යතාවන් සංරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා ඇති අභිලාෂයන් සපුරාලීමට ය. එසේ නැති නම් ලංකාවේ ජාතික ප්‍රශ්නය හුදු පරිපාලන බලය හවුලේ භුක්ති විඳීමෙන් විසඳා ගන්නට බොහෝ කාලයකට පෙර ද හැකි වන්නට ඉඩ තිබිණ. 

නිර්මාල් රංජිත් දේවසිරි

දකුණේ සිංහලයා තම ජාතික-ආගමික අනන්‍යතා පිළිබඳ නඟන හඩ ජාතිවාදයේ නැත හොත් ජාතිකවාදී ස්වෝත්තමවාදයේ මරහඬක් ලෙස නන් නය ශිල්ප දක්වා අරුත් ගන්වන ආචාර්ය දේවසිරි උතුරේ දෙමළා තම ජාතික ආගමික අනන්‍යතා පිළිබඳ නඟන හඩ විමුක්ති ගීතයක් ලෙස සලකයි. මෙම විසංවාදී අස්ථානය දාර්ශනික සුසංවාදයක් බවට පත් කර ගන්නට ආචාර්ය දේවසිරිට සරණ පතන්නට වන්නේ “පීඩිත ජනවර්ගයකගේ ජාතික විමුක්ති අරගලය නිෂේධනීය නො වේ“, “පීඩිත ජාතියක ජාතිකවාදය වූ කලී පීඩක ජාතියක ජාතිකවාදය සමඟ සැසඳිය නො හැකි දෙයකි” වැනි “ඊනියා ස්වාධීන” මතවාදයන්ගෙන් ය. මොරටුවේ වෙල්ස් කුමාර විද්‍යාලයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයටත්  එතැන් සිට නේදර්ලන්තයේ ලෙයිඩ්න් විශ්වවිද්‍යාලයටත් වටවන්දනාවක ගොස් අතරමඟ දී මහා-ආඛ්‍යාන නො පිළිගන්නා ඊනියා පශ්චාත්නව්‍යවාදයේත් ළැග සිට ආචාර්ය දේවසිරි අවසානයේ දී යළි පැමිණෙන්නේ ලෙනින් වෙත මිස අන් කිසි‍වකු වෙත නො වේ. තමා අවසානයේ දී යළි පැමිණෙන්නේ දයා පතිරණ වෙත හෝ වුඩ්රෝ විල්සන් වෙත හෝ බව සිතා ආචාර්ය දේවසිරි සැනසෙන්නේ වුව ගැටලුවක් නැත. 

අපට ගැටලුව වන්නේ ආචාර්ය දේවසිරි කොළය වසා ගසන්නට යාම ය. තමා ජාතීන්ගේ ස්වයංනීර්ණ අයිතිය (අවශ්‍ය නම් වෙන් වීමේ අයිතිය ද ඇති ව) පිළිගන්නා බව ද ජාතික අනන්‍යතා සංරක්ෂණයට සහ ප්‍රවර්ධනයට ජාතීන්ට ඇති අයිතිය පිළිගන්නා බව ද නිරවුල් ව පවසන්නට ආචාර්ය දේවසිරිට දේශපාලන නිරවුල්භාවයක් නැත. “වාර්ගික-ආගමික සහභාවයක්” (Ethno-Religious Coexistence) යථාකරණය පිණිස නිබන්ධයක් සම්පාදනය කරන ආචාර්ය දේවසිරි එම ක්‍රියාව තුළ ම පීඩිත ජාතියකට (oppressed) මෙන් ම පීඩක  ජාතියකට (oppressor) ද ජාතික-ආගමික අනන්‍යතා සංරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා අභිලාෂයන් පවතින බව අනියමින් පිළිගෙන ඇත. පීඩිත දෙමළ ජාතියට ද පීඩක සිංහල ජාතියට ද ස්වකීය ජාතික අනන්‍යතා පිළිබඳ අභිලාෂ නැති නම් “වාර්ගික-ආගමික සහභාවයක්” ඇති කරන්නේ කුමකට ද? කවුරු සඳහා ද? කෙසේ ද? 

වාර්ගික-ආගමික සහභාවයක්” අවශ්‍ය වන්නේ එම වාර්ගික-ආගමික අනන්‍යතා සිංහල සහ දෙමළ යන ජන සමාජ දෙක විසින් ම පිළිගනු ලබන නිසා ය. ජාතික අනන්‍යතා යනු නැති කළ හැකි හෝ නැති කළ යුතු හෝ ලාක්ෂණික නො වේ. සිංහලයාගේ සිංහලකමත් දෙමළාගේ දෙමළකමත් නො සලකන විසඳුම්වලින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳෙන්නේ නැත. එලෙස ම සිංහලයාගේ සිංහලකම නො සලකා දෙමළාගේ දෙමළකම පමණක් සලකන “ව්‍යාපෘති” විසඳුම්වලින් ද ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳෙන්නේ නැත. ඊනියා “නව්‍ය බෞද්ධ අන්තවාදයක්” ඉස්මතු කරමින් එය සිංහල බෞද්ධ ජාතිකවාදය සමඟ අනන්‍ය කරමින් “නව්‍ය බෞද්ධ අන්තවාදයට” පහර දෙන ලීලයෙන් (ජාතික අනන්‍යතා මත පදනම් වන) සිංහල ජාතිකත්වයට පහර දීමෙන් ආචාර්ය දේවසිරි අපේක්ෂා කරන “වාර්ගික-ආගමික සහභාවය” නම් යථාකරණය නො වන්නේ ය.

“නව්‍ය බෞද්ධ අන්තවාදයත්, එය පරිපෝෂණය කරනු ලබන්නේ ය යි ආචාර්ය දේවසිරි විසින් විශ්වාස කෙරෙන සිංහල-බෞද්ධ ජාතිකවාදයත් නැති කරනු ලැබීමෙන් පසු ව ජාතික ප්‍රශ්නයට විසඳුම් සපයමු” යි පැවසීම “කොටි සංවිධානය නසනු ලැබීමෙන් පසු ව ජාතික ප්‍රශ්නයට විසඳුම් සපයන්නෙමු” යි අතීතයේ දී පැවසීම වැනි කතාවකි. කොටියා නැසී දැන් බොහෝ කල් ය; ජාතික ප්‍රශ්නය නම් තවම විසඳී නැත; විසඳෙන බවක් පෙනෙන්නට හෝ නැත. ජාතික ප්‍රශ්නය විසඳීමට එරෙහි ව පවතින බාධකය ලෙස එදා දකුණ විසින් උතුරේ උත්කර්ෂණීය සතුරකු නිර්මාණය කරනු ලැබ දශක තුනක කාලය නාස්ති කරන ලදී. අද ආචාර්ය දේවසිරි කරමින් සිටින්නේ ජාතික ප්‍රශ්නය විසඳන්නට නො හැකි වන බාධකය ලෙස දකුණේ උත්කර්ෂණීය සතුරකු නිර්මාණය කිරීම ය. ඉතිහාසය පුනර්කරණය වීමේ දී පළමු ව එය සිදු වන්නේ ඛේදවාචකයක් ‍ලෙස ය; දෙවනු ව එය සිදු වන්නේ විගඩමක් ලෙස ය. 

බහුවාර්ගික සමාජයක ජාතික ප්‍රශ්නයට විසඳුම එක් ජාතිකත්වයක් උත්කර්ෂණය කිරීම හෝ සියලු ජාතිකත්ව නාශනය හෝ නො‍ වේ. පීඩිත ජාතියක හෝ පීඩක ජාතියක හෝ ජාතිකත්වය නාශනය කරන්නට වෙර දැරීමට එරෙහි ව ඇති වන ප්‍රතික්‍රියාව ඉතා ප්‍රබල ය. ජාතික අනන්‍යතා සුරැකෙන පරිදි ජාතික ප්‍රශ්නයක් කළමනාකරණය කර ගැනීම ප්‍රශස්ත එළඹුම යි. “ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතික අනන්‍යතා නැති කර පුළුල් දේශපාලන ප්‍රජා ගොඩනැඟීම ය” යන ආකර්ෂණීය වදන්වලට මුවා වී විෂමජාතීය ලාංකීය සමාජය සමජාතීය ලාංකීය සමාජයක් බවට පරිවර්තනය කර ගැනීම අරමුණු කර ගත් වියුක්ත පරිකල්පනීය විසඳුම්වලට වඩා නම් ආචාර්ය දේවසිරි විසින් යෝජනා කෙරෙන “වාර්ගික-ආගමික සහභාවයේ යථාකරණය” සාධනීය එළඹුමකි.  එහෙත් එය කළ හැකි වන්නේ සිංහල ජාතිකත්වයට පහර දී සිංහල ජාතිකත්වය සතුරකු බවට පත් කර ගැනීමෙන් නො වේ.  

වාර්ගික-ආගමික සහභාවයේ යථාකරණය” සිදු වන්නේ අධිපති (ආචාර්ය දේවසිරි විසින් යෙදෙන විශේෂණයකි) සිංහල ජාතිකත්වය තම සිංහල ජාතික අනන්‍යතා සංරක්ෂණය සහ ප්‍රවර්ධනය කර ගන්නා සේ ම අනෙකාගේ ජාතික අනන්‍යතා සංරක්ෂණය සහ ප්‍රවර්ධනය කර ගන්නට අනෙකාට ඇති අයිතිය ද පිළිගැනීමෙනි. එය ආකල්පමය වෙනසකි. ආකල්පමය වෙනසක් සිදු කරන්නට අප එනිනෙකාගේ අභිලාෂයන් පිළිබඳ සංවේදී විය යුතු ය. දීර්ඝ කාලීන ප්‍රතිවිරෝධතා ඇති වී තිබෙන ජාතීන් දෙකක් එකිනෙකාගේ අභිලාෂයන් වටහා ගෙන ඒවාට සංවේදී වන්නට නම් ඔවුන් අතර සහමන්ත්‍රණයක් ඇති විය යුතු ම ය. එවන් සහමන්ත්‍රණයක් සඳහා ඔවුන් පොලඹවන පරිසරයක් පැවතීම ද ආවශ්‍යයික සාධකයකි. උතුරේ සන්නද්ධ විමුක්ති අරගලය පැවති සමයේ දී සහමන්ත්‍රණයකට ජාතීන් පොලඹවන පරිසරයක් තිබිණි. වර්තමානයේ දකුණ විසින් උතුරේ ප්‍රශ්නය දකුණේ ප්‍රශ්නයක් ලෙස නො සලකන බව පෙනේ.  සත්‍ය ලෙස ම උතුරේ ප්‍රශ්නය දකුණේ ප්‍රශ්නයක් විය යුත්තේ දකුණේ බෝම්බ පිපිරෙන විට පමණක් නො වේ. උතුරේ දෙමළාගේ ප්‍රශ්නය දකුණේ සිංහලයාගේ ද ප්‍රශ්නයක් විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රාජ්‍යකරණය ප්‍රතිසංස්කරණය කිරීමේ පුළුල් දේශපාලන අර්ථයෙන් ය. දකුණේ බෝම්බ පිපිරෙන්නට පෙර උතුරේ සමාරම්භක ජාතික විමුක්ති අරගලය විසින් ඒ බව මනා ව පැවසිණි. 

උතුර නො සලකා දකුණ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්නට සිහින මවන දකුණේ සිංහල සහෝදරත්වයට 2016 වර්ෂයේ දී නො වැටහෙන යථාර්ථය නඩරාජා තංගදුරෙයි 1983 වර්ෂයේ දී කොළඹ මහාධිකරණයේ දී මෙසේ පැවසූවේ ය:

අප ඉල්ලා සිටිනුයේ බෙදී වෙන් වීම නො ව නිදහස ය. අප එය ඉල්ලා සිටිනුයේ පටු අදහසින් නො වේ. අප අපේක්ෂා කරනුයේ දෙමළ ජනයාගේ විමුක්තිය පමණක් නො ව සිංහල ජනයා සඳහා ද වඩා වැඩි යහපත ය. මක් නිසා ද යත්, එතැන් සිට (එනම් දෙමළ ජනයා විමුක්තිය ලද පසු), ඊනියා දෙමළ ප්‍රශ්නය අවස්ථාවාදී සිංහල දේශපාලනඥයන්ගේ ජීවනෝපාය වීම නවතිනු ඇති බැවින් ය. එමඟින් සිංහල ජනයාට තමා මෙදවස බැඳ තැබෙන දේශපාලන, සාමාජීය සහ ආර්ථික විලංගුවලින් නිදහස් වීමට ද සැබෑ වහල්භාවය රඳනා තැන වටහා ගන්නට ද ප්‍රස්තාවක් සැපයෙනු ඇත.

වෙනස් ජාතීන් දෙදකට අයත් වන්නේ වුව, එක ම දූපතක ජීවත් වන සුමිතුරු මානවයන් ලෙස අපි මෙම (නඩු) විභාගයට සහභාගී වනුයේ (සිංහල) ඔබගේ අවබෝධය අපේක්ෂාවෙනි. වත්මන අප අපගේ අස්ථානය සුපැහැදිලි ව දක්වා ඇත. එමඟින් ගලනා අවබෝධය අනාගතයේ දී අප වෙනුවෙන් ඔබගේ හඬ නැඟීමට ඔබ පොලඹවන්නේ නම් අපගේ හදවත් සන්තර්පණයෙන් පිරී යනු ඇත. එම අවබෝධය යථාර්ථයක් බවට පත් නො වූව ද, ඔබ ඔබගේ නිදහස සඳහා ද වත්මන ඔබ සිර කර තබනු ලබන සමාජ සහ ආර්ථික විලංගු සිඳ බිඳ දමන්නට ද  අනාගතයේ දී නැඟී සිටින කල ඔබගේ අධ්‍යාශය පිණිස අප අපගේ පූර්ණ සහය ලබා දෙන බව මම ඔබට මේ මොහොතේ හිතෛෂී ව පවසන්නට අපේක්ෂා කරමි. 

‘යමකු නෙළා ගන්නේ තමා වපුළ දෙය ය’ යන කියමන අපි දැඩි ව විශ්වාස කරන්නෝ වෙමු. එනමුත් මගේ ළබැඳි යාතිකාව නම් බලලෝභී සිංහල දේශපාලනඥයන් විසින් වපුරන ලද දේ අහිංසක සිංහල ජනයා විසින් නෙළනු ලැබිය යුතු නැති බව ය.” 

ශ්‍රී සභාරත්නම්ගේ නායකත්වයෙන් ඇරඹෙන දෙමළ විමුක්ති අරගලයේ මූලාරම්භක සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ පුරෝගාමියකු වූ නඩරාජා තංගදුරෙයි 1983 වර්ෂයේ දී දකුණේ සිංහලයා අමතා කළ එම කතාව තුළ දෙමළ ජනයාගේ සාර අභිලාෂයන් ගැබ් ව තිබේ. උතුරේ ප්‍රශ්නය දකුණේ ප්‍රශ්නවල අනුශාංගික සංඝටකයක් වන්නේ කිනම් ආකාරයකින් ද? ශෙල්වනායගම්ගේ සත්‍යග්‍රහවල සිට සර්වනාශනීය සන්නද්ධ අරගලයක් දක්වා දෙමළ විමුක්ති අරගලයේ මූලාභිලාෂයන් කවරේ ද? යන ප්‍රශ්නවලට පිළිතුරු එම ඵෙතිහාසික කතාව තුළ ලබා දී තිබේ. ලෙනින් 1914 දී The Right of Nations to Self-Determination මැයෙන් ලියූ නිබන්ධයේ “Practicality” in the National Question අනුශීර්ෂය යටතේ පැවසූ “කිසි යම් ජාතියක් විසින් වෙනත් ජාතියක් පරිපීඩනයට ලක් කරනු ලබන්නේ නම්, එම පරිපීඩක ජාතියට නිදහසක් ළඟා කර ගත හැකි ද? එසේ කළ නො හැකි ය.” (“Can a nation be free if it oppresses other nations? It cannot.“) යන ප්‍රකාශයේ පවතින දේශපාලන යථාර්ථය ද නඩරාජා තංගදුරෙයිගේ ඵෙතිහාසික කතාව තුළ ගැබ් ව පවතී.

එහෙත් අවාසනාව නම් දකුණේ බහුතර සිංහල ජනයා සේ ම උතුරේ පශ්චාත් කාලීන සන්නද්ධ විමුක්ති අරගලකරුවන් ද නඩරාජා තංගදුරෙයි එදා සුපැහැදිලි ව ප්‍රකාශ කළ කරුණු නො සලකා හැරීම ය. වර්තමානයේ සිංහල ජාතිකත්වය සඳහා අරගල කරන දකු‍ණේ සහෝදරයන් ද දෙමළ ජාතිකත්වය සඳහා අරගල කරන උතුරේ සහෝදරයන් ද විසින් අධ්‍යයනය කරනු ලැබිය යුතු ම ප්‍රකාශනයක් වන්නේ නඩරාජා තංගදුරෙයි 1983 දී කළ සම්පූර්ණ කතාව ය. සිංහල ජාතිකත්වය ප්‍රවර්ධනය කිරීම යනු දෙමළ ජාතිකත්වය නිෂේධනය කිරීමක් නො වන බව ද දෙමළ ජාතිකත්වය ප්‍රවර්ධනය කිරීම යනු සිංහල ජාතිකත්වය නිෂේධනය කිරීමක් නො වන බව ද එමඟින් වටහා ගත හැකි ය. මෙදවස දකුණේ රජයන මතය වන දෙමළා නො සලකන සිංහලකම ද උතුරේ හිස ඔසවමින් පවතින සිංහලයා නො සලකන දෙමළකම ද විසින් සැම දා අපහසුවට පත් කරනු ලබන්ගේ ඒ ඒ ජාතිකත්වයන්ගේ ජාතික අනන්‍යතාවන්ට අන්‍යෝන්‍ය වශයෙන් ගෞරව කරමින් එක ම රටක් තුළ සියලු ජාතීන් ජීවත් වීම සඳහා උතුරේත් දකුණේත් පීඩිත ජනයා වෙනුවෙන් අරගල කරන වාම සහෝදරත්වය ය. 

ආචාර්ය දේවසිරි තම නිබන්ධයේ පිටු 41න් සැලකිය යුතු ගණනක් වැය කරන්නේ නව්‍ය බෞද්ධ අන්තවාදය ඵෙතිහාසික ව විකාසනය වූ ආකාරය පහදන්නට ය (වඩා නිවැරදි ව පවසන්නේ නම් එපිළිබඳ ප්‍රවාදයක් ගොඩනඟන්නට ය). එහෙත් ආචාර්ය දේවසිරිගේ නිබන්ධය මඟින් විමසෙන දාර්ශනික ව රුචිකර ගැටලුව වන්නේ නව්‍ය බෞද්ධ අන්තවාදයේ ඵෙතිහාසික විකාසනය නො වේ. දාර්ශනික ව පිළිතුරු සෙවිය යුත්තේ වාර්ගික-ආගමික සහභාවය යථාකරණයේ ක්‍රමෝපාය කෙසේ ද? යන ගැටලුවට ය. එයට යම් පදනමක් ආචාර්ය දේවසිරිගේ විකාසන කතිකාව විසින් ගොඩනැඟෙන බව සැබෑ ය. එහෙත් නව්‍ය බෞද්ධ අන්තවාදය සිංහල-බෞද්ධ ජාතිකවාදය සමඟ අනන්‍ය කර අවසානයේ දී  (ජාතික අනන්‍යතා මත පදනම් වූ) සිංහල ජාතිකත්වයට පහර දීමෙන් කිසිදු ජාතික-ආගමික සහභාවයක් ඇති වන්නේ නැත. 

ජාතික ප්‍රශ්නය විසඳිමට හැකි වන්නේ බහුතර සිංහලයාගේ සහයෝගය ද විශ්වාසය ද දිනා ගෙන ය. එසේ නැති ව සිංහල ජාතිකත්වයට පහර ගසමින් දාර්ශනික ප්‍රලාප ඇද බෑමෙන් නො වේ. සිංහල සහ දෙමළ ජාතීන් අතර සහමන්ත්‍රණයක ඇරඹුම සඳහා වර්තමානයේ පවතින මහා පොදු සාධකය වන්නේ උතුරේත් දකුණේත් පොදු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රාජ්‍යක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව ය. පශ්චාත් සිවිල් සංග්‍රාමික ලාංකීය සමාජයේ එකී පොදු ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂය මත ඇති කර ගත හැකි කතිකාව ජාතික ප්‍රශ්නය පිළිබඳ සහමන්ත්‍රණයකට නිසි පූර්වමන්ත්‍රණයක් ද වනු ඇත. ඒ සඳහා අවශ්‍ය සමාජ පරිසරය සැකසීමට ශාස්ත්‍රාලීය ශාස්ත්‍රවන්තයන්ට කළ හැකි විශාල කාර්යභාරයක් ඇත. ජාතික ප්‍රශ්නය පිළිබඳ අර්ථකථන නම් ඉතිහාසය පුරා අවශ්‍ය පමණටත් වඩා කරනු ලැබ ඇත. එහෙත් දැන් අවශ්‍ය වන්නේ නිසි වෙනස කිරීම ය. ඒ සඳහා  දැනුම මෙන් ම බුද්ධිය සහ නිර්මාණශීලීත්වය ද අවශ්‍ය වේ. 

ආචාර්ය දේවසිරි පිටු 41ක් පුරා කරන අර්ථකථනය ශාස්ත්‍රාලීය අරමුණු සඳහා නරක ම නැත. “New Buddhist Extremism and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka” යනු ආචාර්ය දේවසිරිගේ මී ළඟ තනතුරු ඉල්ලුම් පත්‍රයට අභිමානයෙන් එක් කර ගත හැකි නිවේශිතයකි. එහෙත් නව්‍ය බෞද්ධ අන්තවාදයට එල්ල කරනු ලබන ප්‍රහාරය සිංහල-බෞද්ධ ජාතිකවාදයට එල්ල කරනු ලැබ, ඒ ඔස්සේ හොර රහසේ ම (ජාතික අනන්‍යතා මත පදනම් වූ) සිංහල ජාතිකත්වයටත් අනියම් ලෙස එල්ල කරනු ලැබීමෙන් ජාතික ප්‍රශ්නය නම් විසඳෙන්නේ නැත. විසඳුම තවත් දුරස්ථ වන්නට නම් හැකි ය. 

Ludwig Feuerbach and the End of Classical German Philosophy” යන ලේඛනයේ ෆොයර්බාක් පිළිබඳ එකළොස් වැනි ප්‍රවාදය ලෙස කාල් මාර්ක්ස් පෙන්වා දෙන පරිදි “මේ දක්වා දාර්ශනිකයන් විසින් නන් නයින් ලෝකය අර්ථකථනය පමණක් කරනු ලැබ ඇත; එහෙත් වැදගත් කාරණය නම් එය වෙනස් කිරීම ය” (“Philosophers have hitherto only interpreted the world in various ways; the point, however, is to change it.“).

මාර්ක්ස් එසේ පවසන්නේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පිළිබඳ ද?

ධීරානන්‍ඳ ගුණහේරත්,

නෙළුම්කුලම.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s