“අවුල් වන්නට පෙර” අතීත සැමරුම් සටහන් මාලයට මිණි අමුණන අරුණ පෙරේරාණන් සමඟ අතීතයට

“අවුල් වන්නට පෙර”

අරුණ පෙරේරාණන්ගේ “අරූගේ අඩවිය”

වියුණු ලොව මට හමු වූ අප්‍රමාණ මනුෂ්‍යයකු වන අරුණ පෙරේරාණෝ “අරූගේ අඩවිය” නම් වියුණුවේ හිමිකාර රසකාරයෝ ය. එතුමාණෝ තම වියුණුවට “අවුල් වන්නට පෙර” නමින් අතීත සැමරුම් සටහන් මාලාවක් ලියමින් සිටිති. එය කිසි යම් ආකාරයක ස්වයංඅපදාන කාව්‍යයකි. එම සටහන් මාලාව ඇරඹී ඇත්තේ 2013 වර්ෂයේ අගෝස්තු මස 22 වැනි දා ය. මා විසින් මෙම සටහන ලියවෙන දින වන විට “අවුල් වන්නට පෙර” සැමරුම් මිණි මාලයට මාහැඟි මිණි පනස්නවයක් ඇමිණී ඇත; තවත් මිණි රැසක් ඇමිණෙන්නට ද නියමිත බව නිසැක ය. 

අරුණ පෙරේරාණන්ගේඅවුල් වන්නට පෙර” අතීත සැමරුම් සටහන් පිළිබඳ මගේ අවධානය යොමු කළෝ වියුණු ලොව ආලෝචන හෙළ හවුලේ සමාරම්භක නයුවකු වන මයුරවිලයෝ ය. කලක් නැවතී තිබූ “අවුල් වන්නට පෙර” ලිපි මාල‍යට නව මිණි බැඳීම යළි අරඹන්නට අරුණ පෙරේරාණන් යොමු කරවන්නට ද මයුරවිලයෝ අගය කළ මනා කාර්යභාරයක් කළහ. අදින් මාස කීපයකට පෙර “අවුල් වන්නට පෙර” අතීත සැමරුම් සටහන් කියවන්නට ඇරඹූ මම මෙතෙක් පළ ව ඇති ලිපි සියල්ල ම 2016 වසර ගෙවෙන්නට දින දෙකකට පෙර කියවා අවසන් කළෙමි. එම අතීත සමරුම් සටහන්වල සංචිත ව ඇති අව්‍යාජ වූ අතීත රසමදිරාවෙන් මත් වූ මම අරුණ පෙරේරාණනට මෙසේ ලියුවෙමි:

වියුණුවල පළ වූ ලිපි පොතක් ලෙස මුද්‍රණය කර පළ කිරීම (blook) මෙදවස සුලබ යැ. අරුණ පෙරේරාණන්ගේ අතීත සැමරැම් ලිපි පෙළ නම් එවැනි පොතකට මාහැඟි යැ. මා එම ලිපි ඉතා ආශාවෙන් කියැවීමි (මා එසඳහා යොමු කරවූයේ මයුරවිල මිතු සඳ යැ). ඇතැම් ලිපි දෙතුන් වර ද කියැවීමි. ඒවා රසවත් සේ මැ ඉතා වටිනා වූ ද අප්‍රකට කරුණුවලින් පිරී ඇත. 

ලෝකයේ සම්මත ඉතිහාසකරණයට විෂය වන්නේ පාලක පන්තිය හා ආශ්‍රිත ඉතිහාසය යි. එය රේඛීය ඉතිහාසකරණය යි. එම ඉතිහාසකරණය දෘෂ්ටිවාද මත පිහිටයි. වංශකතාවල ඇත්තේ එම ඉතිහාසය යි. එම සම්මත රේඛීය ඉතිහාසයට පොදුජන ජීවිතය විෂය වූයේ නැත. පොදුජන ජීවිතය ගැන වැදගත් තොරතුරු හෙළි වන්නේ සම්මත නො‍ වූ පරිවාර ඉතිහාසකරණයකින් යැ. නුවර යුගයේ ද යටත්විජිත ලාංකීය සමාජයේ ද ජන ජීවිතය ගැන වැදගත් තොරතුරු හෙළි වන්නේ එදවස මෙහි පැමිණි, මෙහි නැවතී සිටි සම්මතයට පරිබාහිර පුද්ගලයන්ගේ අත්දැකීම් පිළිබඳ සටහන්වලින් යැ. අප පසු ගිය සමයේ වරින් වර කතාබස් කළ දෑ ද ලියවුණු දෑ ද අන්තර්ජාලයේ සටහන් ව තිබීම වැදගත් යැ. ඔබ ඔබගේ විටිනා ලිපි පෙළ අනාගතයේ යම් දිනෙක පොතක් ලෙස පළ කරනු මැනවි. ඔබගේ එම අභිලාෂය ඔබගේ ප්‍රිය භාර්යාවට ද දියණියට ද පවසා තබනු මැනවි.

2013 වර්ෂයේ අගෝස්තු මස 21 වැනි දා තම “අවුල් වන්නට පෙර” අතීත සැමරුම් සටහන් මාලාවට හැඳින්වීමක් ලියූ අරුණ පෙරේරාණෝ මෙලෙස පවසති:

මා සඳහන් කල පලාත්,පුද්ගලයන් සම්බන්ධව අත්දැකීම් සහ තොරතුරු ඇත්නම් මා හා එක්වන්න යැයි ඔබෙන් ඉල්ලා සිටිමි. මේවා කියවීමෙන් ඔබට පලක් වේදැයි මම නොදනිමි.නමුත් ජීවිතයේ සැඳෑසමයට පියමන් කරන්නෙකුගේ ජීවිත අත්දැකීම් එසේ මෙසේ ඉවත හෙලිය නොහැකි බව හුඟ දෙනෙකුගේ මතයයි.

අරුණ පෙරේරාණන්ගේ ඉල්ලීම මම වරින් වර, තැනින් තැන ඉටු කළෙමි. ‍මතු පළ කෙරෙන්නේ “අවුල් වන්නට පෙර” අතීත සැමරුම් සටහන් මාලයේ එක් සුවිශේෂී මිණක් අලළා මා විසින් ලියවුණු කෙටි සටහනකි:

දෙදහස් දහහතර (2014) වර්ෂයේ ඔක්තෝබරයේ 28 වැනි දින අරුණ පෙරේරාණෝ තම පනස්වැනි අතීත සැමරුම් සටහන පළ කළහ. අරුණ පෙරේරාණන්ගේ අර්ධ ශතක කාව්‍යය සම්පූර්ණ කෙරුණු පනස් වැනි අතීත සැමරුම් සටහනින් මා විසින් තෝරා ගැනෙන සුචිවචන දෙක “වාස් තිලකරත්න” සහ “උලලේනෝ” ය.

1. වාස් තිලකරත්න

එකල ගම්පහ දිස්ත්‍රික්කය භාරව කටයුතු කල ජවිපෙ සංවිධායක වරයාවූයේ එහි දේශපාලන මංඩල සභික මෙන්ම, අති දක්ෂ කථිකයෙක්වූද, උස මහත සිරුරකින් හෙබි වාස් තිලකරත්නය. මොහු ඉතා දක්ෂ සංවිධායකයෙක් විය. කිහිප වතාවක් මුණ ගැසී ඇත. ඒ යුගයේද ඉතා දක්ෂ සංවිධාන ශක්තියකින් හෙබි ජවිපෙ ගමක්, නගරයක් පාසා අලංකාර මැතිවරණ සටනක් මෙහෙයවිය.(අවුල් වන්නට පෙර – 50)

මා විසින් මෙම කරුණු පැවසෙන්නේ දේශපාලන දෘෂ්ටිවාදයක පිහිටා නො ව අතීතාවර්ජනයක් ලෙස ය. වාස් තිලකරත්න ජවිපෙ උදෙසා සුවිශාල ප්‍රායෝගික කාර්යභාරයක් කළේ ය. එය එම පක්ෂයේ මතවාදමය ඉතිහාසය තුළ සම්භාවනීය ය. වාස් තිලකරත්න අත්අඩංගුවට පත් වීමෙන් පසු රහස් පොලිසියට දුන් කටඋත්තරය ඉතා වැදගත් එකකි. පහළමට්ටමේ ජවිපෙ සාමාජිකත්වය මහා කැපකිරීම් කර ජීවිතාවදානමකට ලක් වුව ද ජවිපෙ ඉහළමට්ටමේ නායකත්වය ගත කළ ප්‍රතිවිරුද්ධ ජීවිතය පිළිබඳ එහි ඉතා සංවේදී විස්තරයක් අන්තර්ගත ය. 

වාස් තිලකරත්න (ඡායාරූපය: LankaWeb/Dharman Wickremarathne)

වාස් තිලකරත්න එහි ලා පවසන පරිදි පහළමට්ටමේ සාමාජිකයාට තම දරුවකුගේ රෝගී තත්ත්වයකට බෙහෙතක් ගන්නට රුපියල් තිහක් සොයා ගන්නට නොහැකි ව සිටිය දී ජවිපෙ නායකයනට විෂය වූ ගැටලු වූයේ ජනතාවට නො දැනෙන ලෙස 404 කාරය මාරු කර ගන්නා ආකාරය ය. ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල ව්‍යාපෘති අරමුණ ද සල්‍ලි ගෝනි ද ආදී බොහෝ කරුණු එම කටඋත්තරයේ සඳහන් ය. 1982 වර්ෂයෙන් පසු වාස් තිලකරත්නගේ දේශපාලන චර්යාව විසින් එම කටඋත්තරයේ ඇතැම් කරුණුවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න නඟනු ලැබිය හැකි මුත් ඒවා හුදු ප්‍රලාප ලෙස බැහැර කළ නොහැකි ය. වම තුළ වීරයා ද්‍රෝහියකු වන්නට ගත වන්නේ නිමේෂයකි. 

2. උලලේනෝ

රසවත් කතාවලට දක්ෂ මිනිසකු වූ රන්බණ්ඩා සෙනෙවිරත්න හෙවත් ආර්. බී. ජුබිලි කණුවේ විසූ සමයේ මා අසල්වැසියෙකි. ආර්. බී. පුදුම කටක හිමිකාරයෙකි. කොයි මහරජාටත් ආර්. බී. පැවසිය යුතු දේ කෙළින් ම පැවසුවේ ය. එනිසා ඔහු ගැටලු ද ඇති කර ගත්තේ ය.  

රන්බණ්ඩා සෙනෙවිරත්න

කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේ ආර්. බී. ට රූපවාහිනියේ දොරටු විවර විණ. ආර්. බී. උනන්දුවෙන් වැඩසටහනට සහභාගී වූයේ ය. මංගලෝත්සවයකට යන්න සැරසී සිටිය දී ද ඒ ගමනට පෙර රූපවාහිනියට පැමිණීමට තරම් ඔහු උනන්දු වූයේ ය. බොහෝ දිනවල දී ජයවර්ධන මහත්මාටත් ප්‍රේමදාස මහත්මාටත් ආර්. බී. ඇඟට නො දැනී ඇති පමණට ගැසුවේ ය. එහෙත් ආර්. බී. ගේ ශනිදා රසාංගය වැඩි කල් නො ගොස් ම නතර විණ. ඒත් ආර්. බී. ගේ කට නිසා ය!

ආර්. බී. ට වාමාංශිකයන්ගේ භාෂාව එතරම් ප්‍රිය නො විණි. “උඹලා ඉංගිරිසි පොත්වල තියෙන දේවල් පාලි, සංස්කෘත වචන දා ලා සිංහලයට නඟනවා. දැන් මේ කොල්ලෝ තේරුමක් දන්නෙත් නැති ව උඹලාගේ වචන පාඩම් කරං අපිට කියනවා” යි ඇතැම් විට සෝපහාසාත්මක අභින පා  ඔහු පැවසුවේ ය. ජ.වි.පෙ. සේ ම පැරණි වම පිළිබඳත් ඔහු විවේචනාත්මක වූයේ ය. ආර්. බී. අසූ ගණන්වල අග උතුරුමැද පළාතෙන් ඡන්දය ඉල්ලූ බව මතක ය. 

උලලේනෝ ගීතය ආර්. බී. විසින් ලියනු ලැබුයේ ජවිපෙ හැත්තෑ එකේ කැරැල්ල අනුභූතික ව බව බොහෝ දෙනා දනිති.  මගේ මතකයට මේ මොහොතේ නැඟෙන පරිදි (මෙම මතකය තරමක් අපැහැදිලි ය; යම් වෙනසක් වේ නම් මම පසු ව මෙහි දී ම නිවැරදි කරන්නෙමි) ආර්. බී. මෙම ගීයට පද ගළපන්නට වූයේ අම්පාරේ දී ය. කිසි යම් රාජකාරී කටයුත්තකට අම්පාරේ ගිය ආර්. බී. අම්පා‍ර තානායමේ රැයක් ගෙවන්නට සිදු ව ඇත. අම්පාර තානායමෙන් එහා වූ මහා කැළය දෙසින් රාත්‍රියේ නැඟී එන උලලේන් හඬ ඔහු විසින් උලලේනෝ ගීයට පාදක කර ගනු ලැබූ බව පැවසේ. ආර්. බී. මෙම ගීතය ගයන්නට ගුණදාස කපුගේට දෙන්නේ ඉන් පසු කාලය දී ය.

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

5 thoughts on ““අවුල් වන්නට පෙර” අතීත සැමරුම් සටහන් මාලයට මිණි අමුණන අරුණ පෙරේරාණන් සමඟ අතීතයට

  1. බන්ධුල…….පළමුවෙන්ම මේ ආරම්භ කරපු වැඩේට හදවතින්ම සුබ පතනවා. මෙහි ලියන දේවල් අනිත් අයගේ ඇස ගැටීම පිනිස බ්ලොග් සින්ඩිකේටර්ස් වලට යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

    දෙවනුව.. අකුරු ගැටගසමින් ලියන්නට අත්පොත් තබන මා වැනි කුඩා ලියනප්පුලා පිලිබඳ අගයමින්, ඒවා කියවමින් සහ වටිනා අදහස් එකතු කරමින් ඔබ දක්වන දායකත්වයට බොක්කෙන්ම ස්තූති කරනවා.

    ///මා වැනි බිලින්දා
    වර වර ලඟට කැන්දා
    දුක් සැප කුමන්දා
    අසන නිරිඳෝ වෙන කොයින්දා///////////

    වාස් තිලකරත්න පිලිබඳ මතකයට තවත් දේ එකතුකිරීමත්, මේ දුර්ලභ ඡායාරූපය එකතු කිරීම ගැනත් මේ කංඩායමටම මගේ ස්තූතිය.

    රන්බන්ඩා සෙනෙවිරත්නයන් ලියු ගීත අතරින් මම වඩාත්ම කැමති ගීතයක් වන්නේ කපුගේ ගැයු ඔහුගේම තනුවක්වූ පබළු නගේ ගීතය. කියාගන්න බැරි, ලියාගන්න බැරි සාංකාවකින් හිත බර වෙනවා.ඔහු කොතරම් හැඟීම්බරව ලියපු ගීතයක්ද කියා හිතෙනවා. රන්බන්ඩා සෙනෙවිරත්න සහ ජේආර් ජයවර්ධනගේ සොහොයුරෙක්වූ එච්.ඩබ්.ජයවර්ධන අතරවූ සංවාදයක් ගැන අසා තිබෙනවා. මතකයට එන්නේ නැහැ.

    පබළු නගේ නා..මල් තිලකේ
    පුංචි ඔසරි මැණිකේ..
    සුමනෝ…නුඹ ඇයි නැත්තේ

    වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ
    අඩ හඳ යායට කෙකටිය පිපිලා
    වැව් කන්දේ බෝ ගස් හෙවනේ
    මම අද තනියම ඔලිද ගණිනවා..
    වෙනදා වාගෙම තල මල පිපිලා
    තිබුනට ඇල ලඟ වත්තේ…
    සුමනෝ…නුඹ ඇයි නැත්තේ….

    මල හිරු එලියෙන් කොක්කු ගියාදෝ
    මිහින්තලා ගල පැත්තේ
    පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
    පාන් දෙපස එළි මැද්දේ
    මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
    ඒ දණ්ඩේ ඉස්මත්තේ…
    සුමනෝ…නුඹ ඇයි නැත්තේ….//

    Like

    1. The Public Sphere වෙත පැමිණ වටිනා කරුණු රැසක් දැක්වීම පිළිබඳ අරුණ පෙරේරා මහත්මාට අපගේ ස්තුතිය පිළිගන්වමු. ඔබතුමා මෙම ලිපියේ කර්තෘ වෙත යොමු කළ අදහස් එම කර්තෘ වෙත යොමු කරනු ලැබ ඇත. ප්‍රතිචාර ඉදිරියේ දී ලැබෙනු ඇත.

      අපගේ වියුණුව පාඨකයන් වෙත ගෙන යන්නට ඔබතුමා කළ යෝජනා ගෞරවයෙන් පිළිගෙන ඒවා පිළිබඳ අවධානය යොමු කරන්නෙමු. ඉදිරියේ දී ද ඔබතුමාගේ පැමිණීම අපේක්ෂා කරමු.

      සංස්කාරක මණ්ඩලය,
      The Public Sphere.

      Like

    2. අරුණ පෙරේරාණෙනි,

      ඔබගේ “අවුල් වන්නට පෙර” ලිපි පෙළ මාහැඟි බව මම යළිත් පවසමි. මා සන්මිත්‍ර මයුරවිලයෝ ද එබව පවසන්නෝ ඔබ ලිපි පෙළ “ථේරි ගාථා” වැනි බව පවසති. අරුණ පෙරේරාණෙනි, “ථේරි ගාථා” යනු එසේ මෙසේ සාහිත්‍යයක් නො වේ. ඒ වූ කලී සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ එන අර්ථරසපූර්ණ විශිෂ්ට ගාථා බන්‍ධයකි. ඔබගේ ලිපි පෙළ ඒ හා සම ය යි මයුරවිලයන් වැනි විෂය දන්නා වියතකු විසින් පවසනු ලැබීම යනු සැලකිය යුතු තරම් බර කිරුළකි. එම කිරුළ ඔබට නිසි බව මම පවසමි.

      අරුණ පෙරේරාණෙනි, ආර්. බී. විසින් ජයවර්ධනයන්ගේ සෙහොයුරාට පැවසුණු බස පිළිබඳ මම පසු ව ලියන්නෙමි. එහි දී සිදු වූයේ ජයවර්ධන සහෝදරයා “බණ්ඩා ටොෆි කන්නවා වගේ” යනුවෙන් ආර්. බී. ගෙන් විමසීම ය. කවදත් කටකාර ආර්. බී. එසැණ පිළිතුරු දෙමින් “මම ටොෆි කනවා; ඔබගේ සහෝදරයා රට කනවා” යනුවෙන් පැවැසී ලූ! මෙය සිදු වූ බව පැවැසෙන්නේ පුස්තකාලයේ දී ය.

      ජයවර්ධනයන්ගේ එක් සොහොයුරෙක් වෛද්‍ය වෘත්තියේ යෙදුණේ ය. එම සොහොයුරා සම්බන්ධ කතාවක් ද ඇත. එය ද පසු ව ලියමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

    1. මා සන්මිත්‍ර සරසතුමනි,

      මෙම ලියවිල්ල ලියන්නට මට හේතු සැපයූ අරුණ පෙරේරාණනට මෙම ලිපියට හිමි ගෞරවය පුදනු රිසියෙමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s