සිරි අයියා පිළිබඳ බී. බී. පෙරේරාණන් විසින් තනි තරුව මැතිනියගේ හදමනලෙන්හි නිධාන කර සුරකින ලද මිනි වන් තතු

මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා

මා විසින් පෙර දිනයෙක ඇරුණ පෙරේරාණන්ගේඅරූගේ අඩවිය” සඳහා ලියවුණු මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා පිළිබඳ සටහනට ප්‍රතිචාර දක්වන, තනි තරුව යන ආරුඪ නාමයෙන් ලේඛනයේ යෙදෙන මැතිනියක විසින් සිරි අයියා පිළිබඳ ඉතා විටිනා තොරතුරු සමුදායක් පළ කරනු ලැබ ඇත.

තනි තරුව මැතිනිය එම වටිනා තොරතුරුවලට පාදක කර ගන්නේ එතුමියගේ ආදරණීය සීයා (මවගේ පියා) වූ බස්නායකගේ බන්‍ධුලසේන පෙරේරා මැතිඳුන් විසින් අතීතයේ දී ඇය වෙත පැවසූ වදන් ය. බස්නායකගේ බන්‍ධුලසේන පෙරේරා හෙවත් බී. බී. පෙරේරා යනු මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා පිළිබඳ ගුණානුස්මරණයේ දී නියත ව ම මතු ව එන ශ්‍රී නාමයකි. බී. බී. පෙරේරාණන් විසින් සිරි අයියා සලකනු ලැබුවේ තම ගුරු ලෙස ය. සිරි අයියා මෙන් ම බී. බී. පෙරේරා‍ණෝ ද ආදි නාලන්දීහු වෙති. මම මගේ ලිපියෙහි ලා මෙලෙස පැවසීමි:

සිරි අයියා මාළිගාකන්දේ දී ද නාලන්දා ශිෂ්‍යයනට ඉගැන් වූ බව එතුමන්ගේ ශිෂ්‍ය බී. බී. පෙරේරාණෝ පවසති.

බස්නායකගේ බන්‍ධුලසේන පෙරේරා හෙවත් බී. බී. පෙරේරාණන් මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරාණන්ගේ හෙවත් සිරි අයියාගේ සමීප බන්‍ධුවකු ද වූ බව මා දැන ගන්නේ තනි තරුව මැතිනියගේ මධුරමනෝහර අතීතාවර්ජනයෙනි. 

මතු පළ වන්නේ සිරි අයියා පිළිබඳ බී. බී. පෙරේරාණන් විසින් තම ආදරණීය ඥාති මිනිබිරිය වූ තනි තරුව මැතිනියගේ හදමනලෙන්හි නිධාන කර සුරකින ලද මිනි වන් අප්‍රකට තොරතුරු සමුදායකි. එම තොරතුරු කියවන සුධීමතුන්ගේ හදමන නැඟෙන කෘතවේදී සිතිවිලිවල පුණ්‍යබලය කීර්තිශේෂභාවෝපගත බස්නායකගේ බන්‍ධුලසේන පෙරේරා හෙවත් බී. බී. පෙරේරාණනට අනුමෝදන් වේවා! මෙම සටහන තනි තරුව මැතිනිය විසින් බී. බී. පෙරේරාණනට පූජා කෙරේ; පූජා වේවා!

තනි තරුව මැතිනියගේ සටහන වෙත මගේ අවධානය යොමු කර වූ අරුණ පෙරේරාණනටතනි තරුව මැතිනියගේ සටහන මෙහි පළ කරන්නට අවසර ගැනීම සම්බන්ධීකරණය කළ “මල්ලේ පොල්” වියුණුවේ හිමිකාර සරසතුමාට ද බොහෝ සේ කෘතඥ වෙමි. 

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

 

තනි තරුව මැතිනියගේ මාහැඟි සටහන මෙලෙස ය:

බ්ලොග්වලින් ඈත්ව සිටි මා නැවත් මෙහි ගෙන්වා ගත්තේ බන්ධුල මහත්මයාගේ සිරි අයියා සම්බන්ධ දීර්ඝ කමෙන්ටුවයි. ඔබතුමාට ඉක්මන් සුවය පතනවා.

සිරි අයියා මගේ සීයාගේ (මවගේ පියා) ඥාති සහෝදරයෙක්. ඔබතුමාගේ විස්තරය දුටුවිට ඥාතිවරයෙකු හමුවූවාක් බඳු හැඟීමක් ඇතිවූ නිසා ලියා තබන්නට සිතුණා. (මගේ අතීතකාමය ඉතා බලවත් බැවින් සමාවන්න)

අවාසනාවකට වගේ සීයා මීට අවුරුදු 3කට පමණ කලින් අප අතරින් වියෝ වුණා. ඔහු අද සිටියානම් බොහෝ රසවත් තවත් විස්තර අසාගන්නට තිබුණාය යන කණගාටුව සහ පසුතැවීම දැරිය නොහැකියි. මගේ සීයාත් නාලන්දයේ ආදි ශිෂ්‍යයෙක්. නමින් බස්නායකගේ බන්ධුලසේන පෙරේරා (නමුත් බොහෝ අය ඔහුව දැන සිටියේ බී බී පෙරේරා යන නමින්). 

සිරි අයියා සමග අවසන් මොහොත තෙක්ම ඔහුගේ සහෝදර බැඳීම එලෙසින්ම තිබුණා. රාජකාරි කටයුතු නිසා නිතර කොළඹ නොගැවසුණු කාලවලත් ඔහු බලන්නට යනවා මට මතකයි. එවකට කුඩා දරුවෙක් වූ මට මීට වඩා යමක් ඔහු ගැන ලියන්නට අද සීයා අවශ්‍යම මොහොතක නැහැ.

හෙන්රි ජයසේන

ට්‍රිලිෂීයා අබේකෝන් (පසුව ගුණවර්ධන) මහත්මියත් මීතොටමුල්ලේ නිසාවෙන් ඔහු සමඟ සමීපව සිටියා. නාලන්දාවේදිහරිශ්චන්ද්‍ර‘ වේදිකා නාට්‍යයේ කුඩා රජ කුමාරයාට රඟපා තිබුණේ හෙන්රි ජයසේනයන්. එහි ඔහුගේ පියා (හරිස්චන්ද්‍ර රජු) ලෙස රඟපා ඇත්තේ මගේ සීයා. නාට්‍යය අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මලලසේකර මහත්මයා හෙන්රි ජයසේනයන්ව ඉතා ඉහළින් වර්ණනා කොට ඔහු යම් දිනෙක විශිෂ්ට නලුවෙකු වන බව පැවසුවායැයි මගේ සීයා නිතරම කීවා. පසුකලෙක මගේ මතකයේ හැටියට මානෙල් ජයසේන මහත්මියගේ අභාවයෙන් පසුව හෙන්රි ජයසේන මහත්මයා ඉරිදා ඔබ්සවර් පත්‍රයට ලියන්නට ගත් ලිපි පෙළෙත් ඔය සම්බන්ධව පළ වුණා. සීයා සමඟත් ඔහු දුරකථනයෙන් කථා බහ කළා මට මතකයි.

මට වඩා හොඳින් මේ විස්තර දන්නවා ඇත්තේ මගේ මව්තුමියයි. ඒ වුණත් මෙවැනි පැරණි රසාංගයන් නිතරම පහන් එළියට කදෝ පැණියකු වාගේ මා ආකර්ෂණය කරවාගන්නවා. ඒ අතීත මතක ගෙනා නිසා ඔබ දෙදෙනා බොහොම සමීප බවක් හැඟුණු නිසා මේ කතාව මැදට පැන්නා.

Advertisements

10 thoughts on “සිරි අයියා පිළිබඳ බී. බී. පෙරේරාණන් විසින් තනි තරුව මැතිනියගේ හදමනලෙන්හි නිධාන කර සුරකින ලද මිනි වන් තතු

  1. බන්‍ධුල කුදලාගම මැතිඳුනි…..

    ඔබ ගේ වියුනු සටහන් කියවමින් ඉදිරියට ඇදෙද්දී හමු වන්නේ මිණි මුතු ඈ වටිනා දෙයමය…….

    Liked by 1 person

    1. මා සන්මිතු ගරු සරසතුමනි,

      මෙම ලිපි මෙහි පළ කරවන්නට ද ඒවා ප්‍රචලිත කරන්නට ද ඔබතුමා කරන කාර්යභාරය සුවිශාල ය. මගේ ප්‍රණාමය!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

  2. බන්ධුල කුධලාගම මහතාණෙනි ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහතාණන් කෙනෙක්වන බව මින් මනාව පැහැදිලි වන්නේය. සරසතුමා කියූ ලෙසම බ්ලොග් ලොව මඩ ගොහොරුවක මිණෙන් සැදි ඔබ වැනි නෙළුම් පිපෙනු දැකීමම හද සනසන්නේය. ඔබට බොහොම පින්!

    Liked by 1 person

  3. ජීවත්ව සිටිනා තුරා සිරි අයියා නම් අමතක නොවන්නේමැයි… මන්ද, ගීතය තුලද සිරි අය්යා සිටිනා බැවින්මය. මෙහි ඇති බස හැසුරුම හා පිරිපුන් වදන් තූල මන්මත්වෑ අප කෙතරම් අඳබාලයෝදැයි වේදනාවෙන් පසු වෙමි…

    Liked by 1 person

    1. ප්‍රිය මාතලන් මැතිඳුනි,

      ඔබගේ වදන් මනහර ය; උද්‍යෝගජනක ය. ඔබ අපගේ පරණ පන්නයේ භාෂා ව්‍යවහාරයනට ද සිත් වීම ඔබගේ මැදහත් බව ම ප්‍රකට කරවයි. මේ මගේ පරම්පරාවේ බොහෝ දෙන ව්‍යවහාර කළ, පුරුදු වූ භාෂාව යි. එහෙත් මම ඕනෑ ම භාෂා රටාවකින් ලියවෙන ලිපි කියවමි.

      භාෂාව සන්දර්භානූල ය. අදහස් සන්නිවේදනය ම ප්‍රාථමික අභිප්‍රාය කර ගනී. රසභාව ජනනය කිරීම ද්විතීක ය. ප්‍රවෘත්ති කියවන බසින් ගැදිපැදි ලියූ කල නොනිසි ය. එලෙස ම ගැදිපැදි ලියන බසින් ප්‍රවෘත්ති කියූ කල ද නොනිසි ය.

      මා මාතලන් මැතිඳුගේ නිරීක්ෂණය කළ අගනා ලක්ෂණයක් නම් සන්දර්භානුකූල ව ලියන්නට දක්වන සූරකම ය. ඔබගේ එම ව්‍යවහාරය විසින් සිහි කරවනු ලබන්නෝ වැල්ලවත්ත ආරච්චිගේ එබ්‍රහම් සිල්වා (ඩබ්ලිව්. ඒ. සිල්වා) සූරීහු ය. එතුමා හද සනසන බසින් ලිවිය යුතු තැන සුමට ය; සුකොමළ ය. හද කලඹන බසින් ලිවිය යුතු තැන රළු ය; රුදුරු ය.

      තරුණ ඩී. එෆ්. කාරියකරවනයෝ කිසියම් කාර්යයක් සඳහා සිල්වා සූරීන් හමුවන්නට ගියෝ ය. තම මොහොත එළඹෙන තෙක් බලා සිටින කාරියකරවනයනට ඈතින් ඇසෙන වදන් නම් රළු ය; රුදුරු ය. සිල්වාණෝ යම් අමන ක්‍රියාවක් කළ අයකුට කන්පුරා, හදපුරා, මන්පුරා යන්නට “සුද්ද” ම සිංහලයෙන් දෙසන්නෝ ය. මොහොතකට පසු කාරියකරවනයෝ සිල්වාණන් අබිමුව වන්නෝ තමනට ද පෙර කී ආකාර දෙසුමක් ම ලැබෙති යි සිතන්නෝ ය. එහෙත් අරුමයකි. මෙහොතකට පෙර අමනකම් ඉදිරියේ යක්ෂාවේෂ වූ ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීහූ එවැනි මනෝවෘත්තියක තමා සිටි බවක් හෝ නො හඟවා සුමට, සුකොමළ බසින් ම කාරියකරවනයන් ඇමතුවෝ ල! (මෙපිළිබඳ විස්තරයක් කාරියකරවනයන්ගේ දසක සතක මතක නම් රසගුලා ස්වයංඅපදාන කාව්‍ය මාලයේ යම් තැනෙක ඇත)

      මාතලන් මැතිඳුන්ගේ පුරෝගාමී වියුණුවේ සංගෘහිත ලිපි සමූහය කියවන කල ද මට සිල්වාණන් සිහි වේ.

      මාතලන් මැතිඳුනි, මෙහි පළ ව ඇති ලිපිවල මා ලියූ දේ ඔබගේ රසවින්දනයට හේතු විණි නම් එය ම මගේ සන්තුෂ්ටිය යි. මගේ මේ කුදු වෑයමේ අරමුණ ද පාඨක සන්තුෂ්ටිය යි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

  4. සිරි අයියාගේ ගීත රස විඳි ළමා විය යළි කැන්දන අගනා වියණුවකි. ඔබ සැමට බොහෝ තුති.
    මා මවගේ සොයුරාණන් එකල වාසය කලේ මීතොටමුල්ල සිල්වා පටුමගෙහිය. මා නාලන්දා විද්‍යාලයට යන සමයේ කලක් එහි නතරව සිටියෙමි. ඔහු සිරි අයියාගේ අසල්වැසි මිතුරෙකු විය. ඔවුන් එක්ව ගෙවූ රසවත් සැඳෑවන්හී තොරතුරු මා බොහෝ අසා ඇත. පසු කාලීනව මෙම මිතුරු කම මදක් පළුදු වූ බැවින්, සිරි අයියා ඇසුරු කිරීම වරම මට අහිමි විය. යන එන අතරමග වදනක් දෙකක් දෙඩීමේ වසනාව නම් හිමි විය.

    රසවත් මතකයන් අවදි කල ඔබ සැමට බොහෝ තුති.

    Liked by 1 person

    1. අසංග මාන්පිටිය මහත්මාණෙනි,

      ඔබගේ කාරුණික වදන්වලට අ‍පගේ තුති! ඉදිරියටත් අප හා රැඳෙනු මැන.

      සංස්කාරක මණ්ඩලය,
      සාර්වජනික ක්ෂේත්‍රය.

      Like

  5. මේ අගනා අඩවිය දුටුවේ අදයි. දාගත්තා මගේ බ්ලොග් රෝලට. බොහොම ස්තුතියි මේවන් සටහන් කියවන්න සැලැස්වීම ගැන.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s