ප්‍රේමය අරුමැසි හැඟුමක් විණ – සකල දන හද විල්හි උපදින

ඉංගිරිසි සාහිත්‍යයේ සම්භාවිත ප්‍රේම ජවනිකාව : රොමියෝ සහ ජුලියට් සඳලු තලයේ දී (ශ්‍රීමත් ෆ්‍රාන්සිස් බර්නාර්ඩ් ඩික්සීගේ මෙම ඡායාරූපය සදම්ටනයේ නාගරික කලාගාරයේ ප්‍රදර්ශිත ය).

මම කුරුල්ලෙක් සේ රෝහලෙන් පිටත් වුණෙමි. මමද දැන් යෞවන පෙම් උයනේ කිචි බිචි හඬ අතරේ සිත්සේ ඉගිලෙන්නෙමි. යෞවන ප්‍රේමය විසින් තමන්ගේ සියලු වගකීම් එකින් එක අමතක කර දමයි. එසේ නොකරන්නෝද සිටී.

ඉහත උපුටා දක්වන ලද මනෝරම්‍ය, මනෝබන්‍ධනීය වචනබන්‍ධනයේ රචකයාණෝ “ඇරූගේ අඩවියේ” හිමිකාර සූර අතීතාවර්ජනකාර, ස්වයංඅපදානකාර අරුණ පෙරේරාණෝ ය. ස්වර්ණහංස ජාතකයේ හංස රාජයා රන්පිහාටු එකින් එක, දි‍නින් දින පෙර බවයේ තම බන්‍ධූනට දුන් සේ අරුණ පෙරේරාණෝ ද තම අතීතාවර්ජන රන්පත් කල්යල් බලා නිවිසැනසිල්ලේ ම සහස්සුවහස් පාඨකය සුධීමතුනට ‍සම්ප්‍රදාන කරති. ඉහත උද්කෘත වාක්‍ය කීපය මා විසින් උපුටා ගනු ලැබුණේ “අවුල් වන්නට පෙර” ලිපි මාලාවේ පනස්නව වැන්නෙනි. එකී අමෘතායමාන අදහස් ඛණ්ඩයෙන් මසිත ජනනය කෙරුණු අතීතානුස්මණීය සිතිවිලි මම මෙලෙස සටහන් කරමි. අරුණ පෙරේරාණන් පවසන විචිත්‍ර අදහස අර්ථනාශන, අර්ථභංගුර නො වන සේ මම මෙසේ පළමු ව සුද්ධි සන්න කරමි:

මම කුරුල්ලකු සේ රෝහලෙන් පිටත් වුණෙමි. මම ද දැන් යෞවන පෙම් උයනේ කිචිබිජි හඬ අතරේ සිත් සේ ඉගිළෙන්නෙමි. යෞවන ප්‍රේමය විසින් තමන්ගේ සියලු වගකීම් එකින් එක අමතක කර දැමෙයි. එසේ නොකෙරෙන්නෝ ද සිටිති.

ප්‍රේමය වූ කලී මානව චිත්තය රන්ජනය කරන අසිරිමත් හැඟුමකි.  ප්‍රේමයේ බීජය මානව චිත්තයේ යම් ගැඹුරු තැනෙක සුප්ත ව සිට නිසි කල, නිසි පරිසරය එළඹි සඳ එසැණ සුපුෂ්පිත වේ. ඒ අසිරිමත් මොහොත එළඹි සඳ කවරහු නම් ප්‍රේමය දෑත් විඳහා නවතනු සමත් වෙත් ද? ගඟ දිය පිරී උතුරා යන කලෙක සැඩ, වළකනු කෙලෙස විහිඳා ඔබගේ ‍දෑත? අන් කවර දේශයකින් හෝ මහා සමුද්‍රය මධ්‍යයෙන් හෝ අන් කවර දිශාන්තයකින් හෝ වැටුණු ‍දිය ඉරණම විසින් එසැණ එක්කරවනු ලැබේ. ශ්‍රී හර්ෂදේවයෝ සංස්කෘත රත්නාවලී නාටක පෙළෙහි ලා එබව මෙසේ පවසති:

ද්වීපාදන්‍යස්‌මාදපි මධ්‍යාදපි ජලනිධෙර්දිශොප්‍යන්තාත්
ආනීය ඣාටිති ඝටයති විධිරභිමතං අභිමුඛීභූතඃ

ශ්‍රී හර්ෂදේවයන්ගේ සංස්කෘත රත්නාවලියේ සිංහල අනුවාදනයේ ලා පියදාස නිශ්ශංකයෝ එබව මෙසේ පවසති:

සමුදුර පත්ලෙහි හෝ අන් දිවයිනැ
නැත හොත් ලොවැ සිව් කොනැ වූ නමුදු
කිසිවකු හට අබිමත දෑ ඉරණම
අනුව ම සිදු වෙයි කොද සැකයක්‌ එහි

ශ්‍රී හර්ෂදේවයන්ගේ සංස්කෘත රත්නාවලිය පාදක කර පියදාස නිශ්ශංකයන් විසින් පරිවර්තනය කෙරුණු සිංහල පෙළ මත පිහිටා පි. වැලිකලයන් විසින් ප්‍රයුංජනය කෙරුණු සිංහල රත්නාවලි නාටකයේ එබව මෙසේ පැවසේ (මෙම පද සංස්කරණය සරච්චන්ද්‍රයන්ගේ අදහසක් බව සැලකේ):

සමුදුරු පත්ලෙන් හෝ දුරු රටෙකින්
සක්වල කෙළවර සිට හෝ ගෙනැවිත්
රිසි වූ විට දෛවය යම් දෙදෙනකු
මුණගස්වා එක්කරවයි සැණෙකින්

අක්මාප්‍රදාහ රෝගයට වෙදකම් සොයා ගිය අරුණ පෙරේරාණන්ගේ ප්‍රේමයේ බිජුවට සුප්ත සමය හැර දා දෙපෙති ලා වැඩෙන්නට වී වෙදකම්  සුව මතු නො ව පෙම්කම් සුව ද ලද සේ ය. 

ප්‍රේමය වූ කලී කවර බලැති, කවර නැණැති, කවර ධනැති තැනැත්‍තකුගේ හදමන වුව ප්‍රකම්පණය කරවනු සමත් හැඟුමකි. සද්ධර්මාලංකාරයේ සඳහන් වන උද්දාල බ්‍රාහ්මණයෝ ශාස්ත්‍රයෙහි ම නිමග්න වූවෝ නිසල විලක් බඳු හදමනැති වූවෝ ය. ස්ත්‍රීහු එතුමනට විෂය නො වූහ. ඒ ස්වර්ණතිලකාවන් උද්දාලයන්ගේ නෙත ගැටී, හද වැදී, මන බැඳී ප්‍රේමයේ බිජුවට දෙපෙති ලා වැඩෙන්නට වන කල් පමණි. ස්වර්ණතිලකාවන් කෙරෙහි පෙම්සිත් පහළ වූ උද්දාල බ්‍රාහ්මණයෝ කවර බසක් පවසන්නෝ ද? සරච්චන්ද්‍රයෝ එබස පේමතො‍වේ ලා මෙසේ පවසති:

විජය (උදයන) සහ යශෝධරා (සාගරිකා) රත්නාවලී නාට්‍යයේ 1998 වර්ෂයේ නිෂ්පාදනයේ දී

ළඳකගේ නෙත් මිණි පහන් ලෙද
දිලෙන බව නෙක කවින් කී බස
නො ඇදහූයෙමි තතු නොදත්තෙන්
ඔබ දුටු වේලේ සැබෑ විය එය 

වරින් වර ආලෝක වන හැටි
වරින් වර යළි නිවී යන හැටි
පසක් නො කළෙමි මෙතුවාක් කල්
ඔබ දුටු වේලේ සැබෑ වීය එය

හදවත් කතරේ මලක් පිපෙන්නට
දිය සීරාවක සිසිලස දෙන්නට
වියළුණු පොළොවෙන් මතු වී එන්නට
සදා නොමැල වී පිපී තිබෙන්නට

මා නිසා නෙත් මිණි පහන් තුළ
දල්වනුය පෙම් දැල්ල නො නිවා
එකලු කරනුය මහද මැදුරත
අරක් ගෙන ඇති අඳුර දුරලා

උද්දාල බ්‍රාහ්මණයෝ අප්‍රමාණ ගෞරව ලද උත්තමයෙක් වූහ. එනමුත් ප්‍රේමණීය ස්නේහය හුදු භක්ති-ප්‍රේම-ගෞරවය අභිභවනය කරනා අපේක්‍ෂාපූර්ණ හැඟුමකි. සරච්චන්ද්‍රයෝ පේමතොවේ දී ම එබව මෙලෙස පවසති:

විජය (උදයන) සහ රසාදරී (වාසවදත්තා) රත්නාවලී නාට්‍යයේ 1998 වර්ෂයේ නිෂ්පාදනයේ දී

භක්ති ප්‍රේමය ගෞරවය හෝ
කුමක් කීව ද ඒ එකක්වත්
නො වේ සෙනෙහස
ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක්වත් නො වේ සෙනෙහස
 
දිවා රෑ දෙක හද සමීපේ
දෑස නො පියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස
නොලැබ පරිභව මුත් කිසිත් අන්
මොළොක් තෙපුලක් ලබා ගැන්මට
ජීවිතය තුරු
මුහුණ මත ඇස් රඳා ඉන්නා
දෙයකි සෙනෙහස

ප්‍රේමයේ බීජය ශාක-ශාකපත්‍ර ලා පුෂ්ඵ-පුෂ්ඵඵල ලා වර්ධන-විකසන වන  කල දැනෙන ප්‍රේමයේ සුව අපමණ ය. පෙම්රස සේ සුව දෙන අන් කිසිදු රසඳුනක් නැති බව ම පෙම්පත්හු අදහති. සරච්චන්ද්‍රයෝ සිංහබාහු නාටකයේ සුප්පා දේවිය ලවා එබැව් මෙසේ පවසවති:

ලෝ දහමින් වැදෙනා රළු පහරින්
ගත සිත රිදෙනා කල නිතියෙන්
නැත ලොවේ අන් රසඳුනා
ආදරේ සේ සු‍ව දෙනා

සරච්චන්ද්‍රයෝ සිංහබාහු නාටකයේ දී ම ප්‍රේමයේ අසිරිමත්බව මෙලෙස හඳුන්වා දෙති:

අසිරිමත් වූ දෙයකි මෙලොව ප්‍රේමය නමිනා 
වැනූ පොරණ කිවිඳුන් සොඳ රස මුසු බසිනා 
සියලු බෝග වස්තු ඉසුරු හරිති නෙක් දනෝ 
සව්සැප දෙන සිතුමිණවන් ප්‍රේමය සන්දා

අප වැනි පෘථග්ජන දුහුනනට පමණක් නො ව සකල විධ ලෝක ධාතුවේ සකල විධ ඥානය ම මනා ව වටහා ගත් ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට වුව ස්ත්‍රී රූපය පුරුෂ චිත්තය කෙරෙහි ද පුරුෂ රූපය ස්ත්‍රී චිත්තය කෙරෙහි ද ඇති කරවන අන්‍යෝන්‍ය ආචරණය තරම් ප්‍රබල වූ වෙනත් ආචරණයක් ඇති බව නො පෙනුණි. ඒ බව පාලි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞගුත්තර නිකායේ එකකනිපාතපාළියේ රූපාදිවග්ගයේ මෙසේ සඳහන් වේ:

නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකරූපම්‌පි සමනුපස්‌සාමි යං එවං පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, ඉත්‌ථිරූපං. ඉත්‌ථිරූපං, භික්‌ඛවෙ, පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨතී.

(මහණෙනි, යම් සේ ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත හාත්පසින් මැඬගෙන සිටී ද, මහණෙනි, එබඳු වූ අනික් එක ම රූපයකුදු මම නො දකිමි. මහණෙනි, ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙන සිටී.)

‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකරූපම්‌පි සමනුපස්‌සාමි යං එවං ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, පුරිසරූපං. පුරිසරූපං, භික්‌ඛවෙ, ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨතී.

(මහණෙනි, යම් සේ පුරුෂයාගේ රූපය ස්ත්‍රියගේ සිත හාත්පසින් මැඬගෙන සිටී ද, මහණෙනි, එසේ වූ අනික් එක ම රූපයකුදු මම නො දකිමි. මහණෙනි, පුරුෂ රූපය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙන සිටී.)

එකි‍ෙනකාගේ රූපය පමණක් නො ව ශබ්ද, ගන්‍ධ, රස සහ ස්පර්ශ යන සංවේදන ද එකිනෙකාගේ චිත්තය කෙරෙහි මෙලෙස ම බලපාන බව ද රූපාදිවග්ගයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. 

සහේතුක නොවීම ම ප්‍රේමයේ චමත්කාරය වඩවයි. ස්ත්‍රී-පුරුෂ ශඨමුක්ත (සැළමුතු – කපටිකම් නැති) ප්‍රේමය ජනිත වන්නේ කිනම් හේතු කරණ කර ද? යන්න පැවසීම උගටහ ය. 

සර්වබලධාරී සවර්ඥානී වූ දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාස කෙරෙන කිතු සමයේ වුව ස්ත්‍රී-පුරුෂ බන්‍ධනයට කරණ වන හේතු නොවැටහෙන බව රමණීය භාෂාවෙන් ලියවුණු ජේම්ස් රාජ බයිබලයේ හිතෝපදේශ ග්‍රන්‍ථයේ ආගුර්ගේ හිතෝපදේශ යටතේ මෙසේ සඳහන් ය:

There be three things which are too wonderful for me, yea, four which I know not: The way of an eagle in the air; the way of a serpent upon a rock; the way of a ship in the midst of the sea; and the way of a man with a maid.

එම අදහස බයිබලයේ සුභාරංචි පරිවර්තනයේ මෙසේ සඳහන් වේ:

There are four things that are too mysterious for me to understand: an eagle flying in the sky, a snake moving on a rock, a ship finding its way over the sea, and a man and a woman falling in love.

එවැනි මහාර්ඝ වූ ප්‍රේමය සඵල නොවුණු කල, බිඳුණු කල කවර නම් හැඟුමක් පෙම්පත් හදමන ජනිත වේ ද? මී ළඟට එපිළිබඳ විමසා බලමු.

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

22 thoughts on “ප්‍රේමය අරුමැසි හැඟුමක් විණ – සකල දන හද විල්හි උපදින

    1. මා සන්මිත්‍ර සාරසතුම මා ළබැඳ
      පුදට නිසි ය හද පිපි තුතිමල් සුගඳ
      අවැසි නැති තරම් ඒ තුති පුද නිබඳ
      දැන් ඔබ සමීප ය මා හද වෙත සබඳ

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

  1. ” ස්ත්‍රී රූපය පුරුෂ චිත්තය කෙරෙහි ද පුරුෂ රූපය ස්ත්‍රී චිත්තය කෙරෙහි ද ඇති කරවන අන්‍යෝන්‍ය ආචරණය තරම් ප්‍රබල වූ වෙනත් ආචරණයක් ඇති බව නො පෙනුණි. ”
    එහෙම නොවෙන අයත් ඉන්නවා නේද? එතකොට මේ කියමන කොතරම් දුරට සත්‍යද ?

    Liked by 1 person

    1. The Read Us වියුණුවේ හිතවතාණෙනි,

      මෙහි පැමිණ ඔබතුමාගේ අදහස් පළ කිරීම පිළිබඳ මම පළමු ව ස්තුතිවන්ත වෙමි. ඔබ නඟන පැනය පැනසර ය. මම ඒ හා විසංව‍ාදී නො වෙමි; සුසංවාදී ම වෙමි.

      //එහෙම නොවෙන අයත් ඉන්නවා නේද? එතකොට මේ කියමන කොතරම් දුරට සත්‍යද ?//

      එසේ ය. “එහෙම” නො වන අය ද සිටිති. රූපය පමණක් නො ව ශබ්ද, ගන්‍ධ, රස සහ ස්පර්ශ ඈ අවශේෂ සංවේදන ද සෑම ස්ත්‍රියකගේ ම හෝ සෑම පුරුෂ‍යකුගේ ම හෝ චිත්තය එක ම ප්‍රබලතාවයෙන් හාත්පසින් මැඬගෙන, අල්ලාගෙන නොසිටිය හැකි ය.

      එහෙත් බහුතරයක් වූ ස්ත්‍රීහු ද පුරුෂයෝ ද ඔවුනොවුන් වෙත ආකර්ෂණය වෙති; ඔවුනොවුන්ගේ ආචරණයට ලක් වෙති. බොහෝ විට ශෘංගාරාත්මක ප්‍රේමයට ආරම්මණ වන ආරම්භනය ස්ත්‍රී-පුරුෂ බන්‍ධනය ය. එසේ නො වී ස්ත්‍රී-ස්ත්‍රී හෝ පුරුෂ-පුරුෂ හෝ වශයෙන් ජනිත ශාංගාරාත්මක ප්‍රේමයක් ද මානව ශිෂ්ටාචාරය පුරා පැවත ඇත, පවතී, පවතිනු ඇත. එහි කිසිදු වරදක් මම නො දකිමි. ස්ත්‍රී-පුරුෂ ප්‍රේමය ප්‍රබලතාව වර්ණනා කිරීම මඟින් ස්ත්‍රී-පුරුෂ නො වන ප්‍රේමය නිෂේධනය කිරීමක් සිදු නො වේ.

      සියලු කියමන් සත්‍යය වන්නේ සලකනු ලබන සන්දර්භයක් තුළ පමණක් බව මගේ අදහස ය. බුදු සමය හෝ කිතු සමය හෝ අන් කවර සමයක හෝ පැවසෙන “පරම සත්‍යය” ය යි සැලකෙන කරුණු අරබයා වුව මා අනුයන්නේ එකී සත්‍ය ද සන්දර්භානුකූල වන බව ය. සාපේක්‍ෂ සත්‍ය විනා නිරපේක්‍ෂ සත්‍යයක් නැති බව මගේ විශ්වාසය යි.

      මෙම ප්‍රතිචාරය සමඟ මතු පළ ව ඇත්තේ ඔබගේ අදහස් දැක්වීමට පාදක වූ ප්‍රස්තුතයේ මූලාශ්‍ර පිළිබඳ විග්‍රහයකි. විවේකයක් තිබේ නම් කියවා බලනු යහපති.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Liked by 1 person

      1. “මෙම ප්‍රතිචාරය සමඟ මතු පළ ව ඇත්තේ ඔබගේ අදහස් දැක්වීමට පාදක වූ ප්‍රස්තුතයේ මූලාශ්‍ර පිළිබඳ විග්‍රහයකි. විවේකයක් තිබේ නම් කියවා බලනු යහපති.”

        සමාවන්න කුදලාගමයෙනි, මට එය සොයා ගැනීමට නොහැකි. ඔබට කාලය තිබේ නම් මට එහි අත්වැල එවන්න.

        Like

    2. The Read Us හිතවත,

      තාක්‍ෂණික දෝෂයක් නිසා මා ලියූ ආලෝචනය පළ නො විණි. සංස්කාරක මණ්ඩලය විසින් දැන් එම ගැටලුව විසඳනු ලැබ ඇත. පහත පළ ව ඇත්තේ එම විග්‍රහය ය.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Liked by 1 person

      1. මූලාශ්‍ර විග්‍රහය:

        ප්‍රස්තුත ප්‍රකාශයට අදාළ පාලි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞගුත්තර නිකායේ එකකනිපාතපාළියේ රූපාදිවග්ගයේ සඳහන් වන “චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං” යනු “සිත හාත්පසින් මැඬගෙන සිටී ද ” යන අරුත ය. එහි ම සඳහන් වන “නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකරූපම්‌පි සමනුපස්‌සාමි” යනු “එසේ වූ අනික් එක ම රූපයකුදු මම නො දකිමි” යන අරුත ය. ස්ත්‍රී සහ පුරුෂ ද්විපාර්ශ්වය ම අරබයා එකකනිපාතපාළියේ රූපාදිවග්ගයේ සඳහන් එම අදහස ම ස්ත්‍රීය අරබයා පාලි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞගුත්තර නිකායේ පඤ්චකනිපාතපාළියේ නීවරණවග්ගයේ සඳහන් වේ. එහි ලා මෙකී අදහසට පාදක වූ නිදාන කතාව (මාතාපුත්තසුත්තං) ද පැවසේ. එය සංක්‍ෂිප්ත ව මෙසේ ය:

        “එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ (එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ අනේපිඬුසිටාණන්ගේ ආරාමයේ වාසය කරන සේක).

        තෙන ඛො පන සමයෙන සාවත්‌ථියං උභො මාතාපුත්‌තා වස්‌සාවාසං උපගමිංසු භික්‌ඛු ච භික්‌ඛුනී ච (ඒ කාලය වූ කලී සැවැත් නුවර මව් හා පුත් වූ භික්‍ෂුවක් ද භික්‍ෂුණියක් ද යන දෙදෙනෙක් වස් වැසීමට පැමිණියහ).

        තෙ අඤ්‌ඤමඤ්‌ඤස්‌ස අභිණ්‌හං දස්‌සනකාමා අහෙසුං. මාතාපි පුත්‌තස්‌ස අභිණ්‌හං දස්‌සනකාමා අහොසි; පුත්‌තොපි මාතරං අභිණ්‌හං දස්‌සනකාමො අහොසි. (ඔවුහු ඔවුනොවුන් නිතොර දකිනු කැමති වූහ. මව පුතු නිතර දකිනු කැමති වූවා ය. පුත් තෙමේ මව නිතර දකිනු කැමති වූයේ ය).

        තෙසං අභිණ්‌හං දස්‌සනා සංසග්‌ගො අහොසි. සංසග්‌ගෙ සති විස්‌සාසො අහොසි. විස්‌සාසෙ සති ඔතාරො අහොසි (ඔවුන්ගේ නිතර දැකීමෙන් සංසර්‍ගය වූයේය. සංසර්‍ගය ඇති කල්හි විශ්වාසය වූයේය. විශ්වාසය ඇති කල්හි බැස – එළඹ ගැනීම වූයේ ය).

        ”තෙ ඔතිණ්‌ණචිත්‌තා සික්‌ඛං අපච්‌චක්‌ඛාය දුබ්‌බල්‍යං අනාවිකත්‌වා මෙථුනං ධම්‌මං පටිසෙවිංසු (බැස – එළඹ ගත් සිත් ඇත්තා වූ ඔවුහු ශික්‍ෂාව හැර නො දමා, දුර්‍වල බව ප්‍රකාශ නො කොට, මෛථුන ධර්‍මය ප්‍රතිසේවනය කළහ).”

        මෙකී පවත සුපුරුදු ලෙස සංඟයා වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට සැල කෙරිණි. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

        ‘‘කිං නු සො, භික්‌ඛවෙ, මොඝපුරිසො මඤ්‌ඤති – ‘න මාතා පුත්‌තෙ සාරජ්‌ජති, පුත්‌තො වා පන මාතරී’ති?”

        (මහණෙනි, කිමෙක්ද? ඒ හිස් පුරුෂ තෙම මව පුතු කෙරෙහි නො ඇලෙති යි ද පුතු මව කෙරෙහි නො ඇලේති යි හඟී ද?)

        “නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකරූපම්‌පි සමනුපස්‌සාමි එවං රජනීයං එවං කමනීයං එවං මදනීයං එවං බන්‌ධනීයං එවං මුච්‌ඡනීයං එවං අන්‌තරායකරං අනුත්‌තරස්‌ස යොගක්‌ඛෙමස්‌ස අධිගමාය යථයිදං, භික්‌ඛවෙ, ඉත්‌ථිරූපං. ඉත්‌ථිරූපෙ, භික්‌ඛවෙ, සත්‌තා රත්‌තා ගිද්‌ධා ගථිතා මුච්‌ඡිතා අජ්‌ඣොසන්‌නා තෙ දීඝරත්‌තං සොචන්‌ති ඉත්‌ථිරූපවසානුගා.”

        (මහණෙනි, යමක් මෙසේ ඇළුම් කරන්නේ ද, මෙසේ කැමති වන්නේ ද, මෙසේ මත් කරන්නේ ද, මෙසේ බැඳ ගන්නේ ද, මෙසේ මුසපත් කරන්නේ ද, උතුම් වූ නිවන ලැබීමට මෙසේ අනතුරු කරන්නේ ද එබඳු වූ අන් එක රූපයකුදු මම සර්‍වඥතාඥානයෙන් නො දකිමි. මහණෙනි, එනම් ස්ත්‍රී රූපය යි. මහණෙනි, ස්ත්‍රී රූපයෙහි ඇලුණු, ගැටුණු, ගිජු වුණු, මුසපත් වුණු, ඇතුළත් වුණු සත්ත්‍වයෝ බොහෝ ස්ත්‍රී රූපයාගේ වසඟයට ගියාහු ශෝක කරති.)

        ස්ත්‍රී-පුරුෂ බන්‍ධනයේ විවිධ ස්වරූපවල බලවත්බව ත්‍රිපිටකයේ මෙන් ම බයිබලයේ ද ආගමික ව විග්‍රහ වන්නේ නිෂේධනීය වූ ප්‍රවණතාවක් ලෙස ය (මම එම ආගමික දෘෂ්ටිය මත පදනම් නො වෙමි. එනමුත් ප්‍රේමයේ ශක්තිය පිළිබඳ එම මූලාශ්‍රවල ද පිළිගෙන තිබීම පමණක් අවධාරණය කරමි).

        ඉහත නිදාන කතාවෙන් වර්තමානයට අදාළ යම් කරුණක් මතු වේ. වත්මන ලංකාවේ කලා විචාර ක්ෂේත්‍රයේ රජයන සම්ප්‍රදාය වී ඇත්තේ මනෝවිශ්ලේෂණය නම් යමක් බව සැලයි. රසවාද, ධ්වනිවාද, ගුණවාද, භාවිත විචාර, මාර්ක්ස්වාදී විචාර ඈ අපට රුචිකර වූ දෑ යල්පිනූ දේ ල! මනෝවිශ්ලේෂණය නම් දැනුම් පද්ධතියේ පුරෝගාමියකු වූ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මව සහ දරුවා අතර ඇති වන මනෝලිංගික සම්බන්‍ධය විග්‍රහ කරන්නට “ඊඩිපස් සංකීර්ණය” නම් සංකල්පයක් සූත්‍රගත කළේ ය. ඔහු එම නම සොපොක්ලීස්ගේ ඊඩිපස් රජ නාට්‍යයෙන් ගෙන ඇත. එම නාට්‍යයේ ඊඩිපස් තම මව සමඟ බැඳෙයි. නමුත් එසේ සිදු වන්නේ ඊඩිපස් හෝ මව හෝ ඔවුනොවුන්ගේ මවු-පුතු සම්බන්‍ධය නොදැන ය. පාලි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞගුත්තර නිකායේ පඤ්චකනිපාතපාළියේ නීවරණවග්ගයේ මාතාපුත්තසුත්තහි මව් සහ පුතු ඔවුනොවුන් බැඳෙන්නේ මවු-පුතු සම්බන්‍ධය නොදැන නො වේ.

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

        Liked by 1 person

    1. අරුණ පෙරේරාණෙනි,

      මෙම ලිපි බොහෝමයකට වස්තු බීජ සැපයූවෝ ඔබතුමාණෝ ය. මෙම ලිපි බොහෝමයක් මෙහි පළ කරවන්නට ද ඒවා පුළුල් පාඨක පිරිසකට ගෙන යන්නට කටයුතු කළෝ ඔබතුමා, මාතලන් මැතිඳු සහ මා සන්මිත්‍ර සරසතුමෝ ය. එනිසා මෙම ලිපිවලින් යම් දැනුමක් සහ/හෝ රසයක් යම් අයකු ලබන්නේ නම් එහි ගෞරවය ද හිමි විය යුත්තේ පෙර කී සද්සුධීමතුනට ම ය.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

  2. මේ බ්ලොග් අඩවියේ අලුතෙන් පළවෙන ලිපි, බ්ලොග් සින්ඩිකේටර්ස් තුලින් අප්ඩේට් නොවන්නේ ඇයි කියා විමසා බලන්න.

    Like

  3. මේක අඩුයි නේද….?

    ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ…
    පූෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ…//

    ආලයෙන් වෙලි සැදි මෙ ලතා//
    මන්ඩපයෙන් චන්ඩා තප
    බන්ඩිත වේ හිරු රජිඳුගේ….

    Liked by 1 person

    1. ප්‍රිය මාතලන් මැතිඳුනි,

      ඔබතුමා විසින් මතු කෙරෙන කරුණ සැබෑවකි. ප්‍රේමය පිළිබඳ නාට්‍යමූල ව ලියන කල මනමේ අභිරංගය සඳහන් කළ යුතු ව තිබිණි. කලාවට හිතැති ඔබතුමා විසින් එම අඩුව පිරවිණි! ලිපිය කියවා අවසන ඔබතුමාග් “මා” අක්‍ෂරය දුටු සැණ පාඨක සුධීමතුන් ඔබතුමාගේ ආලෝචනය වෙත යොමු වන බව මට නිසැක ය. එසඳ ලිපිය සම්පූර්ණ වේ.

      මා මෙම ලිපිය (අරුණ අරබයා) ලි‍වීමේ දී අවධානය යොමු කළේ නිතොර හමු නො වන නාට්‍ය පෙළ කීපයක් මතු කිරීමට ය. මා රත්නාවලියේ පැරණි පෙළ වෙත ද පේමතොවේ පෙළට ද යොමු වුයේ එනිසා ය. රත්නාවලිය දීර්ඝ නාට්‍යයකි. වර්තමානයේ රඟ දැක්වෙන රත්නාවලිය මුල් නාට්‍යයේ සංක්ෂේපයක් බව හැඟේ. එය පාසල් විෂය නිර්දේශයට අදාළ ව සැකසී ඇති සෙයකි. පේමතොවේ නව නිෂ්පාදනයක් මෙකල රඟ දැක් වේ ද? මාතලන් මැතිඳුනි, ලාංකීය වේදිකාවේ ශෛලිගත නාට්‍යවල වර්තමාන ප්‍රදර්ශන තත්ත්වය පිළිබඳ මා දැනුම්වත් කළ මැනවි. පෙර කී නාට්‍ය ද්වයයේ ම සංගීතය අමෘතරසාකර ය. නාදපති ජයන්ත අරවින්දයෝ එම නාට්‍යවල නාදසිත්තම් කළහ (ජයන්ත අරවින්දයන්ගේ පුත් වරදත්ත අරවින්දගේ මධුර ගීයක් වසර ගණනකට පෙර ඇසීමි. ඉතා රසවත් ය).

      ඌනපූරණ කළ මාතලන් මැතිඳුනට මගේ ප්‍රණාමය!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

      1. වරදත්ත අරවින්ද තවම සිරසෙ වැඩ සටහන් නිශ්පාදකයෙක් ලෙස සේවය කරන බව අසා තිබේ.. වරදත්ත අරවින්දගේ මහප්පා රෝහණ බැද්දගේ මහතා බවත් අසා තිබෙනවා.

        ගායනය : වරදත්ත අරවින්ද පද රචනය : ප්‍රියනන්ද විජේසුන්දර සංගීතය : නන්දසේන කටුවාවල මට ආරාධනාවක් කරාදෝ…..

        Like

      2. අරුණ පෙරේරාණෙනි,

        බොහෝ තුති. ඔහුට ලයාන්විත කටහඬක් තිබේ. එම ගීතය යොවුන් වියේ පෙම සමඟ සබැඳෙන ලෙස රූපරාමු පෙළක් යොදා සැකසූ ලස්සන ගී විඩියෝවක් ද මා දැක තිබේ (නිල විඩියෝව එය විය හැකි ය).

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

        Like

  4. මාතලන් මැතිඳුන් ගේ සින්ඩිකේටරයෙහි බහා තිබූයෙන් ගෙනැ බැලූවෙමි. අරුමයැ……..!!!!!!

    Liked by 1 person

  5. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය වනාහී වචනයකින් කිකලෙකවත් අර්ථකථනයට භාජනය නොවන්නාවූ අතිශය සියුම් වූත් සංකිර්ණ වූත් හැඟීම් සමුදායක සංකලනයක් මිස අනෙකක් නොවේය.
    එය වනාහී විවිධ වූ අවස්ථාවන් කෙරේ විවිධාකාර ලෙසින් ක්‍රියාකාරී වන්නාවූත් ප්‍රතිචාර දක්වන්නාවූත් සංවේදන ගොන්නක එකතුවක්‍ මය.

    Liked by 1 person

  6. සිසිල් සුලන් රැල්ලක් ගත දැවටෙනවා මෙන් හැඟෙනවා.
    කතා දෙකක් නෑ , ඔබගේ ලියවිල්ල නං මසුරං.

    Like

  7. ආලය වන් මනරම් කවි කම් දෙන
    සිතුමිණ කොඳ විස්කම්
    හදවත් වී සමහම් නෙගැයුම් කර
    සිඳ බිඳලයි බව ගෙන්

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s